අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා හැඳින්වීම සඳහා ‘ප්රගතිශීලි’ යන යෙදුම පාවිච්චි වනු බහුලව දක්නට ලැබේ. වමට හිතැති සමහරුන් ද මෙනමින් මංගල සමරවීරව හඳුන්වා දී තිබුණි. මෙම භාවිතය ‘ප්රගතිශීලී’ යන යෙදුමට තිබෙන අර්ථය අංශක එකසිය අසූවක කරණමක් ගසමින් තිබෙන ආකාරය සම්බන්ධ ලස්සන උදාහරණයකි. ඉතිහාසය තුල, විශේෂයෙන්ම 1956-77 යුගයේ, පොදු ව්‍යවහාරය තුල ලංකාවේ ‘ප්රගතිශීලී බලවේග’ ලෙස හැඳින්වූයේ එක්සත් ජාතික පක්ෂ විරෝධී කඳවුරට අයත් දේශපාලන පක්ෂය. මූලක වශයෙන් සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂවලින් යුක්ත වමේ කඳවුරය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැඳින්වීමටත් මේ නම යොදාගැනුණි.
මෙම බලවේග ‘ප්රගතිශීලී’ යැයි හැඳින්වීමේ දී එම වචනයට නිශ්චිත තේරුමක් විය ; ආර්ථික හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් වූ කැපවීම හා යටත්විජිත විරෝධය යන වටිනාකම්වලට සාපේක්ෂවය ප්රගතිශීලීත්වය යන්නට අර්ථය ලැබුණේ. නිදසුන් ලෙස, වමේ පක්ෂවල සහයෝගය ලැබූ පරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු ‘ප්රගතිශීලී’ ඒවා ලෙස පොදු වහරේ හඳුන්වන ලද්දේ එම ආණ්ඩුව බස්, බැංකු, රක්ෂණය ආදී සේවා ජනසතු කල නිසාය; ආර්ථිකයේ පොදු අංශය පුලුල් කල නිසාය ; පාසල් ජනසතු කොට නිදහස් අධ්‍යාපනය ව්‍යාප්ත කල නිසාය. ඇමරිකාවේ තර්ජන නොතකා සමාජවාදී රටවල් සමග සම්බන්ධතා පටන් ගත් නිසාය.
ජාතික රාජ්‍යය ශක්තිමත් කිරීම හා එය සුබසාධන අක්ෂයක් මත සංවිධානය කිරීමේ එක් අපේක්ෂාවක් වූයේ සමාජයේ පහල පන්තීන් – ‘පොදුජනයා’ ශක්තිමත් කිරීමය. 1956 බණ්ඩාරනායක බලයට පත්වීම මාර්ටින් වික්‍රමසිංහ ‘බමුණු කුලය බිඳවැටීම’ ලෙස හැඳින්වූයේ එවකට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කල, යටත් විජිත ගැති ප්‍රභූ පන්තියට දේශපාලන බලය අහිමි වීම සංකේතාත්මකව නිරූපණය වීම යන තේරුමින්ය.
මෙය ලංකාවේ සිදුවූ හුදෙකලා දෙයක් නොව, එවකට ලෝකය පුරාවට වූ ප්රවණතාවයක පිලිබිඹු වීමකි. සැමුවෙල් මොයින් නම් මානව හිමිකම් විෂය පිලිබඳ ඉතිහාසඥයා මෙම අවධිය හඳුන්වන්නේ ‘ජාතික සුබසාධනයේ යුගය’ (Age of national welfare) ලෙසය. ජාතික රාජ්‍යයේ මැදිහත්වීමෙන්, ‘ඇති හැකි අය’ හා ‘නැති බැරි අය’ අතර පරතරය අඩු කිරීම, පහල පන්තීන් බලවත් කිරීම ජාතික සුබසාධනවාදයේ එක් කේන්ද්‍රීය අදහසකි. කෙසේ වුවද, මේ යුගයේ ජාතික සුබසාධනවාදය තුල වූ ලොකුම දුර්වලතාවය වූයේ ඒ තුල සමාජ-ආර්ථික සමානාත්මතාවය ඇගයුමක් ලෙස සැලකුවත්, ‘අනන්‍යතා’ මත පදනම් වූ අසමානතාවයන් පිටුදැකීම ; උදාහරණ ලෙස, ස්ත්‍රී පුරුෂ භේදය මත වෙනස් කොට සැලැකීම්, වාර්ගික හා ආගමික බහුතරවාදය ආදිය හරයාත්මක ඇගයුම් ලෙස ප්‍රමාණවත්ව පිලිගනු නොලැබීමය. සමහර සුබසාධන රාජ්‍යයන් ගොඩනැගුණේම, මෙකී සමහර වෙනස් කොට සැලකීම් ( විශේෂයෙන්ම වාර්ගික-ආගමික විෂමතා) ආයතනගත කරමින්ය.
මේ සම්බන්ධ හොඳම නිදසුන, ඇමරිකාවේ ෆ්රැන්ක්ලීන් රූස්වෙල්ට් යටතේ දියත් වූ නව සම්මුතිය (New deal) වැඩපිලිවෙල තුල පහල පාන්තික සුදු ජාතිකයන් අති විශාල සංඛ්‍යාවකගේ ජීවන තත්වය උසස් වී, බොහෝ අය මැද පන්තිකයන් බවට පත්වීම සහ කලු ජාතිකයන් එම වැඩසටහන තුල නොසලකා හැරීමය.
ලංකාවේ ජාතික සුබසාධන ව්‍යාපෘතියේ පැවැති බරපතල සීමාවක් වූයේ ඒ තුල දක්නට ලැබුණු වාර්ගික පක්ෂපාතීත්වයයි. එනම් සිංහල-බෞද්ධ නොවන ජනයාගේ අභිලාෂයන් නිසි ලෙස සැලකිල්ලට ගැන්මට දැක්වූ අසමර්ථතාවයයි.
1980 ගණන්වලින් පසුව ලෝකයේ බලවත් වූ නව ලිබරල් පැරඩයිමය මගින් කලේ ඉහත කී ජාතික සුබසාධන ව්‍යාපෘතිය තීරණාත්මකව පරාජය කිරීමය. ඇති නැති පරතරය අඩු කිරීම සඳහා රජය විශාල වීම ආර්ථික දියුණුවට බාධාවක් බවත්, ඇති නැති පරතරය යනු ප්‍රශ්නයක් නොවන බවත්, රටක් දියුණු වන්ට නම් ‘ඇත්තන්’ ට වැඩියෙන් පොහොසත් වීමට ඉඩ ලබා දිය යුතු බවත්, ඔවුන් පොහොසත් වන විට ඔවුන් උපයන ධනය පහලට රූටා ගිහින් ‘නැත්තන්ට’ මොකක් හෝ දෙයක් ලැබෙන බවත් ඒ අනුව කියැවිණ. වැදගත් වන්නේ සමාජ ආර්ථික සමානාත්මතාවය ඇති කිරීම නොව ‘දිලිඳුකම පිටුදැකීමයි’ යන ලෝක බැංකු උද්ධෘතය මගින් සංකේතනය වන්නේ මේ ලෝක දර්ශනයයි.
මේ තුල ප්‍රවර්ධනය කෙරුණේ ජාතික සුබසාධන යුගය තුල පහල පාන්තික ජන කොටස් ලද ජයග්‍රහණ ධනවත් ව්‍යාපාරිකයන්ගේ වාසිය පිණිස ආපසු හැරවීමේ ‘ප්‍රති විප්ලවයකි’ ; සුබසාධන සේවා පෞද්ගලිකකරණය, පොදු සම්පත් ධනවත් ව්‍යාපාරිකයන්ට කොල්ල කන්නට ඉඩ හැරීම, ගොවීන් අස්වාමික කෙරෙන ඉඩම් ප්‍රතිසංස්කරණ, කම්කරු නීති ලිහිල් කිරීම ආදිය මේ වට්ටෝරුවේ අංගෝපාංගයන්ය. මේ වූ කලී එක්තරා යුගයක ‘ප්රගතිශීලී’ යැයි අර්ථ දැක්වුණු දෙයෙහි සම්පූර්ණ ප්රතිවිරුද්ධයයි.
අපගේ කථා නායකයා තම දිවි සැරියේ අවසන් අර්ධය ගත කලේ මෙම නව පැරඩයිමයේ ආන්තික ප්රකාශනයක් ලෙසය. ලංකාවට තිබෙන ලොකුම කොඩිවිනය අපේ රටේ ‘සමාජවාදී මානසිකත්වය’ බව කියන විට, එක්සත් ජාතික පක්ෂය රටට කල ලොකුම සේවය විවෘත ආර්ථිකය හඳුන්වාදීම බවට අයවැයෙන් පුරසාරම් කියන විට, චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කල ලොකුම දායකත්වය එම පක්ෂය ‘සෝවියට් පන්නයේ සමාජවාදී පැරඩයිමයෙන්’ මුදා ගැනීම බව කියන විට මංගල සමරවීර මහතා පූර්ව අර්ථයෙන් ගත්කල පට්ට ප්රතිගාමියෙකි. ප්රගතිශීලී බලවේගවල සතුරෙකි.
එහෙත් වර්තමානයේ වෙනසට හේතු කිම? ගෝලීය නව ලිබරල්වාදය හුදු තනිව වැඩුණා නොවේ. ඊට ගමන් සගයෙක් හිටියේය. ඒ අන්තර්ජාතික ‘මානව හිමිකම්’ ව්‍යාපෘතියයි. ජාතික සුබසාධනයේ යුගය විසින් නොසලකා හල ක්ෂේත්රය ; එනම් අනන්‍යතා මත වෙනස් කොට සැලකීම හෙලා දැකීමේ ක්ෂේත්රය අන්තර්ජාතික මානව හිමිකම් කතිකාවේ ස්වරූපයෙන් 1970 ගණන්වල සිට වර්ධනය වූයේය. මෙලෙස වර්ධනය වූ මානව හිමිකම් කතිකාවේ හා නව ලිබරල් ව්‍යාපෘතියේ පොදු ලක්ෂණ කිහිපයක් විය. දෙකම තනි පුද්ගල අයිතිවාසිකම් වැදගත් කොට සැලකයි. රජයට ‘එරෙහිව’ පුද්ගලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. රජය දෙස සහ ‘බහුතරය’ දෙස සැක ඇසින් බලයි. ජාතික රාජ්‍යයේ ස්වාධිපත්‍යය අමිත්රත්වයෙන් යුක්තව සලකයි.
සීතල යුද්ධයෙන් පසුව නිර්මාණය වූ ජාත්‍යන්තර ලෝක පර්යායේ වැදගත්ම ලක්ෂණය නම් නව ලිබරල් ව්‍යාපෘතිය හා අන්තර්ජාතික මානව හිමිකම් කතිකාව අතර වර්ධනය වූ කතිකාමය සුසම්බන්ධයයි. සමාජ පීඩාවේ විවිධ ප්‍රභේදවලට එරෙහි වීම යන අර්ථයෙන් ප්රගතිශීලී විභවයක් තිබූ මානව හිමිකම් විෂය පථය නව ලිබරල්වාදය විසින් අවශෝෂණය කර ගැනුණි. මේ අනුව ගැහැණු ලමුන්ට අධ්‍යාපනය ලබාදීමේ වැදගත්කම ගැන ලෝක බැංකුව කථා කරයි. කෙන්යාවේ සමලිංගිකත්වය අපරාධ වරදක් වී තිබීම ගැන බැරැක් ඔබාමා කණගාටු වෙයි. කම්කරුවන්ට නිසි ලෙස වැටුප් නොගෙවන්නේ යැයි චෝදනා ලබා සිටින Amazon සමාගම Black lives matter වෙනුවෙන් සහයෝගීතා පුවරු සවි කරයි. උණ හැදුණු ස්ත්‍රී කම්කරුවන්ට නිවාඩු නොදී වැඩ ගන්නා ලංකාවේ ඇතැම් ගාමන්ට් කොම්පැනි ‘කාන්තා දින සැමරුම්’ තබමින්, තම ආයතන ස්ත්‍රීන් සවිබල ගැන්වීමේ යෙදී සිටින බව කියා සිටී.
මංගල සමරවීර මහතා විශේෂ වන්නේ මෙම නව ලිබරල් ගෝලීය හෙජමොනිය සිංහල සමාජය තුල වඩාත්ම අමුවෙන් නියෝජනය කල දේශපාලනඥයා ඔහු වීම නිසාවෙනි. ජාතිවාදයට විරුද්ධ නිසා, සමලිංගිකත්වයට පක්ෂ නිසා, ස්ත්රීන්ට මත්පැන් බීමට අයිතිය තිබෙන බව කියන නිසා හෙතෙම ප්‍රගතිශීලියෙක් යැයි අපගේ ‘ප්‍රගතිශීලීහු’ සලකති. ලංකාවට තිබෙන ලොකුම කොඩිවිනය ජනතාවගේ සමාජවාදී මානසිකත්වය යැයි සිතන, සමාජවාදි අදහස්වලට වෛර කරන දේශපාලනඥයෙක් නැති වීම නිසා අපේ රට මහා හිස් තැනක් වනු ඇතැයි විස්සෝප වෙති. මොකක් මේ වෙලා තියෙන්නේ? සිංහල සමාජයේ දේශපාලන සාකච්ඡාව තුල ආර්ථික හා සමාජ සාධාරණත්වය පිලිබඳ ඇගයුම දුර්වල වි ගොස් තිබෙන ආකාරය පිලිබඳ මනා පිලිබිඹුවකි මෙය. වාමාංශික අර්ථයෙන් ‘ප්රගතිශීලී’ යන්නට වූ තේරුම වෙනුවට ප්රගතිශීලීත්වය පිලිබඳ නව අර්ථයක් ; අපට පුරුදු භාෂාවෙන් කියනවා නම් ප්‍රගතිය හා යහපත පිලිබඳ ඉතාම ප්රතිගාමී අර්ථයක් වර්ධනය වෙමින් තිබේ.
(රමිදු ලක්කික පෙරේරා)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...