පුරවැසි කොලම

ධර්මසේන හිමියන් විසින් කුරුණෑගල යුගයේ රචනා කරන ලද ‘සද්ධර්ම රත්නාවලියේ’ කතාවක ඇතුළත් ‘රත්තරන් කැබැල්ලක් කරේ එල්ලනු ලැබූ බොහොඬාගේ හෙවත් කටුස්සාගේ චරිතය’ නැවත සිහියට නැඟෙන්නේ එබඳු දේශපාලන බොහොඬන් දෙදෙනකු විසින් මේ දිනවල මෙරට මාධ්‍ය අබිමුව ඉදිරිපත් කරමින් සිටින නාටකයක් නිසාය. මේ දේශපාලන බොහොඬන්ගේ චරිතයට පණ පොවන එකකු ‘ලොකුගේ’ නම් වන අතර, අනෙකා ‘සාගර’ය. නාටකයේ නම ‘ජාත්‍යන්තර කුමන්ත්‍රණ’ නම් වේ. ලොකුගේට හා සාගරට අනුව, ‘රට වසා දමන ලෙසට ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කළ සුලු පක්ෂ කිහිපය නිරතව සිටින්නේ ආණ්ඩුව පෙරළීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයකය. පසුගිය දිනවල ඇමරිකාව විසින් මෙරට රාජ්‍ය නොවන සංවිධානයක් වෙත ලබා දී ඇති මුදල් මේ කණ්ඩායම සඳහාද ලැබී ඇත්දැයි ඔවුන් දෙදෙනාට සැකයක් තිබේ. අපි මේ ආණ්ඩුව පෙරළීමට කිසිවකුටත් ඉඩ තබන්නේ නැත.’

‘ලොකුගේ’ කවුද?

මෙරට දේශපාලන ඉතිහාසයේ මහා කුමන්ත්‍රණකරුවා වූයේ ජේ.ආර්. ජයවර්ධනය. ඔහුගේ රාජ්‍ය පාලන සමයේ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිතිය වූ ‘ජාතික සේවක සංගමය’ විපක්ෂ දේශපාලන ක්‍රියාකාරකම් මර්දනය සදහා මැර සංස්ථාවක් ලෙස ක්‍රියාකළ අතර, 80 මහා වැඩවර්ජනය කළ සේවකයින්ට පහරදීම, අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහි බලවේගවලට පහරදීම, 1983 කළු ජූලියට අදාළ භූමියේ වැඩ කොටස වූ දෙමළ ජනතාව සංහාරය කිරීම ඇතුළු මෙකී නොකී අන්ත ප්‍රතිගාමී ක්‍රියාකාරකම් රැසකට ජාතික සේවක
සංගමයේ ක්‍රියාකාරීන්ගේ දායකත්වය ලැබිණි. එවක මෙම ජාතික සේවක සංගමය මෙහෙය වූ ප්‍රධාන නායකයා වූයේ සිරිල් මැතිව් වන අතර, අනෙක් ප්‍රමුඛයා වූයේ ‘ගාමිණී ලොකුගේ’ය.

ලාංකේය ඉතිහාසයේ 80,000ක් පමණ වූ සුවිශාල රජයේ සේවකයින් පිරිසකගේ රැකියා අහෝසි කරමින් ඔවුන් මහමඟට ඇද දැමූ මෘග පාලකයා ලෙස ජේ.ආර්. ජයවර්ධන ඉතිහාසයට එක්ව තිබේ. වර්ජකයින් විශාල සංඛ්‍යාවක් තම පවුල්වල ජීවිත රැක ගැනීමට නොහැකි තත්ත්වය තුළ දිවිනසාගත් අතර, එසේ දිවි නසාගත් පිරිස 52ක් ලෙස වාර්තා වී තිබේ. ගාමිණී ලොකුගේ හැදුණු වැඩුණු දේශපාලන ගර්භාෂය වන්නේ ජේ.ආර්.ජයවර්ධනගේ මේ ශාපලත් පාලනයයි. ජාතික සේවක සංගමයට මඟ පෙන් වූ නායකයකු ලෙස මෙරට
කම්කරු හා ප්‍රගතිශීලි බලවේග මර්දනය කිරීමට ඔහු විසින් ලබා දෙන ලැබූ ප්‍රතිගාමී දායකත්වය මෙරට අන්ධකාර පරිච්ඡේදයක් නියෝජනය කරන අතර, එහෙව් ලොකුගේ වර්තමාන ආණ්ඩු බලය හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිතිය වන ‘ප්‍රගතිශීලී සේවක සංගමයේ’ ප්‍රධානියකු වීමම මෙරට කම්කරු ව්‍යාපාරයට කළ කාලකන්නි සරදමක් මිස අන් යමක් නොවේ. එවක ‘ප්‍රගතිශීලී’ නම පවා නයාට අඳුකොළ මෙන් වූ දේශපාලනයක් නියෝජනය කළ ලොකුගේට ‘ප්‍රගතිශීලී’ විශේෂණය සහිත වෘත්තීය සමිතියක් නියෝජනය කළ හැකි නම්, ‘ගෝනවල සුනිල්’ අද සිටියා නම් ‘සංස්කෘතික ඇමති’ ධුරයටද, ප්‍රේමදාස යුගයේ පාතාල දේශපාලනයේ ප්‍රධාන භූමිකාවක් ඉටුකළ ‘සොත්ති උපාලි’ ‘බුද්ධ ශාසන ඇමති’ ධුරයටද පත් නොවීමට
කිසිදු හේතුවක් නැත.

ශරීරයෙන් කරන දේශපාලනයක් මිස මොළයෙන් කරන දේශපාලනයක් ගැන හාංකවිසියක දැනුමක් හෝ සිය දේශපාලන ජීවිත කාලය තුළම අත්දැකීමක් නොමැති හෝ ලොකුගේ ‘විදේශ කුමන්ත්‍රණ’ ගැන කතා කිරීම විහිලුවක් නොව, ‘කුමන්ත්‍රණවලටද’ අගෞරවයක් බව සදහන් කළ යුතුමය. මේ මාධ්‍ය සංදර්ශනවලදී, පසුදා තමන්ගේ රැකියාවට අත්වන ඉරණම පසෙක තබා ‘විදේශ කුමන්ත්‍රණවල ස්වභාවය’ ගැන දිගින් දිගටම ප්‍රශ්න කළ හැකි මාධ්‍යකරුවකු සිටියහොත්‍ ලොකුගේට සිදුවන්නේ කුමක්ද? ලොකුගේලා දේශපාලන වාසනාවට,
තමන් කියන වචනයෙන් නිවී සැනහෙන කීකරු මාධ්‍යවේදීන් මිස, දිගින් දිගටම ප්‍රශ්න කරන අකීකරු මාධ්‍යවේදීන් මෙරට මාධ්‍යවල නැත. එපමණක් නොවේ. පසුගියදා සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී
‘විදුලි බල අමාත්‍ය’ ධුරයට පත් කෙරුණේද මොහුමය. ආණ්ඩුව අනුදක්නා ‘අමාත්‍යාංශ බෙදීමේ විද්‍යාත්මක ක්‍රමවේදය’ අනුව ගාමිණී ලොකුගේට ‘විදුලි බල අමාත්‍යාංශය’ ගැලපේ නම්, ඊට වඩා එම අමාත්‍ය ධුරයට ගැලපීමක් ‘කොන්ක්‍රීට් විදුලි කණුවකට’ තිබෙන බව පැහැදිලිය.

කිසිදු වැදගත් දෙයකින් ජනමාධ්‍ය ඉඩක් ලබා ගත නොහැකි ලොකුගේ, මාධ්‍යයක පෙනී සිටින්නට ඉඩක් පාදාගන්නේ මෙබඳු ගොංපාට්වලිනි. දැනට මාස කිහිපයකට පෙර පිළියන්දල ප්‍රදේශයේ සංචරණ සීමා සම්බන්ධව මැදිහත් වෙමින් සතියක් දෙකක් මෙරට මාධ්‍යවල නම කියවාගත් ලොකුගේ, දැන් ‘කුමන්ත්‍රණ’
නාටකයක් ඔස්සේ මාධ්‍යවල පෙනී සිටී. එදා වේල මාධ්‍ය දේශපාලනයක නියුතු මෙරට මාධ්‍යද මෙබදු අශූචි ගොඩවල් නැවත නැවත ඉහළට එසවීමෙන් කරන්නේ එම දේශපාලන බොහොඬන් මෙරට පොදු ජන මනස තුළ පොරවල් කිරීමය. එහි ප්‍රතිඵලය මෙබඳු ‘වොයිස් කට්’, ‘පුවත්පත් සාකච්ඡා’ ඊළඟ මැතිවරණයේදී ඔවුන්ගේම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර තුළ ආයෝජනය කිරීමය.

‘සාගර’ කවුද?

මෙරට මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ ලයිස්තුවේ ‘ලංකා ජාතික පෙරමුණ’ (ලාංඡනය – ක්‍රිකට් පිත්ත) නමින් දේශපාලන පක්ෂයක් පැවති අතර, එහි නායකයා වූයේ විමල් ගීගනගේ නමැත්තෙකි. ලේකම්වරයා වූයේ සාගර කාරියවසම් නමැත්තෙකි. මෙම දේශපාලන පක්ෂය මෙරට පළාත් පාලන ආයතනයක් හෝ පළාත් සභාවක් හෝ පාර්ලිමේන්තුව හෝ නියෝජනය කළ දේශපාලන පක්ෂයක් නොවූ අතර, මැතිවරණවලට ලයිස්තුවක් ඉදිරිපත් කර ඒ අනුව නියමිත වරප්‍රසාද භුක්ති විඳිමින්, විද්‍යුත් මාධ්‍යවල පෙනී සිටීමට ඉඩ ලබාගනිමින්, ඒ මොහොතේ අවශ්‍යතාව අනුව ප්‍රධාන දේශපාලන පක්ෂයකට විවිධ වරදාන වෙනුවෙන් කඩේ යමින් මෙබඳු වර්ගයේ දේශපාලන පක්ෂ කරන සනීප දේශපාලනයේ නියුතු පක්ෂයක් විණි.

“ ලංකා ජාතික පෙරමුණ වෙත දේශපාලන සැලසුම්කරු බැසිල් රාජපක්ෂගේ අවධානය යොමු වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2015 ජනවාරි මාසයේ පරාජය වීමෙන් පසුවය. බැසිල් රාජපක්ෂ එම පක්ෂය අත්පත්
කරගත්තේය. එම වසරේ අගෝස්තු පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට සති කිහිපයකට පෙර බැසිල් රාජපක්ෂගේ මැදිහත්වීමෙන් ලංකා ජාතික පෙරමුණ, ‘අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ’ (ලාංඡනය – මල් පොහොට්ටුව) ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුව / මැතිවරණ කොමිසම ලියාපදිංචි කළේය. විමල් ගීගනගේගේ
පක්ෂයේ මහ ලේකම් වූ සාගර කාරියවසම් ‘ලංකා ජාතික පෙරමුණේ’ සහ ‘අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණේ’ ද මහ ලේකම් විය. පරාජිත මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් කණ්ඩායමේ බලාපොරොත්තුව වූයේ ‘අපේ ශ්‍රී ලංකා නිදහස්  පෙරමුණ’ හරහා 2015 මහා මැතිවරණයට තරග කිරීමයි. නමුත් අවසන් මොහොතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති කරගත් ගිවිසුමක් යටතේ මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම එක්සත් ජනතා නිදහස් සන්ධානය තරග කළේය. මහමැතිවරණයට සතියකට
පෙර ශ්‍රීලනිප නායකයා තමන් නායකත්වය දෙන සන්ධාන ජයග්‍රහණය කළත් මහින්ද රාජපක්ෂව අගමැති නොකරන බවට කළ ප්‍රකාශය නව පක්ෂයක් ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව රාජපක්ෂ පිළට අවධාරණය කෙළේය. එහි ප්‍රතිඵලය වූයේ ‘අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ’ ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ ලෙස නැවත ලියාපදිංචි කිරීමයි. එය සිදුවූයේ 2016 නොවැම්බර් මාසයේදීය. එම පක්ෂයේද මහා ලේකම් වූයේ කලක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ සාගර කාරියවසම්ය.” (‘පොහොට්ටුව පිපිරවූ තෙල් ගැටුම’, ශමින්ද්‍ර
ෆර්ඩිවනැන්ඩෝ, දිවයින ඉරිදා සංග්‍රහය, 2021 ජූනි 20)

මේ, සාගර කාරියවසම් නමැත්තාගේ දේශපාලන ආගමනයේ ඉතිහාස කතාවයි. (ඔහුගේ පියා වූ ඇල්බට් කාරියවසම් මහතා ශ්‍රී ලංකාවේ හතරවැනි මහා මැතිවරණයට මහජන එක්සත් පෙරමුණෙන් බෙන්තර – ඇල්පිටිය ආසනයට තරගකොට පරාජය වීම හා ඉන්පසු ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්ව ජයග්‍රහණය කොට සිරිමා බණ්ඩාරනායක රජයේ නියෝජ්‍ය වැවිලි අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමත්, 1977 පරාජයත් සමග ඇල්බට් කාරියවසම් මහතාගේ දේශපාලනය අවසන්වීමත් පුත්‍ර රත්නයේ දේශපාලන ආගමනයට අදාළත්වයක්
නැත.)

මෙහෙව් සාගර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා වීම හා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට පත් වීම යනු, ලාංකේය දේශපාලනයේ ජීවිතයත් – මරණයත් අතර දෝලනය වෙමින් සටන් කරමින් දශක කිහිපයක් තිස්සේ දේශපාලනයේ නියුතු ප්‍රගතිශීලී පක්ෂ නියෝජනය කළ විවිධ දේශපාලන චරිත විසින් මෙරට ඉතිහාසය තුළ තැබූ සලකුණු අනුව ගත් විට, දේශපාලන ඉතිහාසයක් මෙන්ම භූගෝලයක්ද නැත්තෙකුට හිමි වූ ‘පිං චාන්ස්’ එකකට වඩා වැඩි යමක් නොවේ. නමුත් සාගරගේ මෙම පත්වීම හා ඔහුගේ ‘දේශපාලන
හැසිරීම’ දේශපාලන අඳබාලයකුගේ හෝ දේශපාලන තොත්ත බබකුගේ ‘බබා පාට්’ එකක් ලෙස සලකන්නට අප සූදානම් නැත.

ඉකුත් දෙදහස් ගණන්වල මුල මෙරට ඇමරිකානු තානාපතිවරයා ඇමරිකා විදේශ කටයුතු දෙපාර්තමේන්තුව වෙත යවන කේබල් පණිවිඩයක සඳහන් වී ඇත්තේ ඔවුන්ට මෙරට තුළ සිටින හොඳම තොරතුරුකරුවා මිලින්ද මොරගොඩ ලෙසත්, ඊළඟ හොඳම තොරතුරුකරුවා ජී.එල්.පීරිස් ලෙසත්ය. මෙහෙව් ඉතිහාසයක් සහිත ජී.එල්.පීරිස් ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ’ සභාපතිවරයා වීමේ තර්කනය වටහා ගැනීමට ‘දේශපාලන අභිධර්මයක්’ හදාරා තිබිය යුතු නැත. එසේම අනෙක් අතට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ‘මහා ලේකම්වරයා’ ලෙස, (ඔහුගේ හැසිරීම අනුව මෙම තනතුර ‘එක්සත් ජාතීන්ගේ මහලේකම් තනතුරටත්’ වඩා ඉහළ බව පෙනේ.) වර්තමාන ආණ්ඩුව තුළ සිටින මෙරට දේශපාලනයේ තීරණාත්මක ඉතිහාසයක් නියෝජනය කළ පුද්ගල චරිතවලට පහර දෙමින්, ඔවුන්ට ඉල්ලා අස්වීමට බල කරමින් කරන ‘ඩෙඟා නැටුම’ පිටුපස ඇති කුමන්ත්‍රණය පිටුපස සිටි විදේශ බලවේගය කවුදැයි අනාවරණය වනු ඇත්තේ තවත් දශකයකට හමාරකට පසුව විය හැකිය. ඇමරිකානු හා ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියකු ජාතික සංවිධායකවරයා වූත්, ඇමරිකාව තමන්ගේ හොඳම
තොරතුරුකරුවකු ලෙස චරිත සහතිකයක් ලබා දුන් පුද්ගලයකු සභාපතිවරයා වූත්, පක්ෂයේ මහා ලේකම්වරයා මේ ඉටුකරමින් සිටින දේශපාලන කොන්ත්‍රාත්තුව කාගේ දැයි අමුතුවෙන් කිය යුතුද?

මෙරට ඉතිහාසය තුළ කිසිවිටෙකත් තනි බලවේගයක් ලෙස ගුරුවරුන් තමන්ගේ ඉල්ලීම් ඉල්ලා වීථි සටන්වලට යොමු වුණේ නැත. නමුත් ජී.එල්.පීරිස් අධ්‍යාපන අමාත්‍යවරයා යටතේ ගුරුවරුන් පාරට බැස සටන් කළ අතර, එමගින් මෙරට ගුරු භූමිකාව සමාජයේ දෝෂ දර්ශනයට ලක්වීමත්, මෙම ගුරු උද්ඝෝෂණ හේතුවෙන් වර්තමාන ආණ්ඩුවද දැඩි අපහසුතාවකට පත් වීමත් සිදුවිණ. මෙබඳු දුෂ්කර මොහොතක මෙරට ආණ්ඩුවක් මෙතරම් අපහසුතාවට පත් වූ තවත් අවස්ථාවක් නැති තරම්ය. තෙල් මිල වැඩි කිරීම මත උදය ගම්මන්පිල අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස බලකළ මේ මහා ලේකම් සාගර නමැත්තා මෙම ආණ්ඩුවට මෙතරම් ආදරේ නම් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ජී.එල්. පීරිස්ට කළ යුතුව තිබුනේ හත් වටයක් කරකවා සක්වල ගලෙන් එපිටට විසි කර දැමීමය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ‘සභාපතිධුරයේ’ පස් නොපාගන ලෙසට මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමය. ගුරුවරුන් පාරට ගෙන්වමින් රජය පත්කළ අපහසුතාවට ජී.එල්.පීරිස් අමාත්‍යවරයාගේ හත්මුතු පරම්පරාවට දෙස් තැබීමය. නමුත් මේ එකදු හැසිරීමක් හෝ මේ ‘මහා ලේකම්වරයා’ වෙතින් මෙරට
ජනතාවට දක්නට නොලැබිණ.

ඉතිං මේ අනුව ගත් විට ඇත්ත කුමන්ත්‍රණයේ තමන්ට අදාළ කොටස් නියෝජනය කරමින් සිටින්නේ කවුද යන්න මෙරට දේශපාලනයේ ඉතිහාසය මෙන්ම භූගෝලයද දන්නා අපට රහසක් නොවේ.

මෙරට බෙදා වෙන්කිරීමේ අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය පරාජය කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වය යටතේ මැදිහත් වූ දේශපාලන චරිත ඉලක්ක කොට ප්‍රහාර එල්ල කරමින්, ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්කිරීමට සැලසුම් කරමින් මෙරට හැට නව ලක්ෂයේ බලාපොරොත්තු ඇමරිකානු න්‍යාය පත්‍රයක් වෙත ගෙන යාමට කැස කවන මේ දේශපාලන බොහොඬන්ට අවසානයේ හිමි විය යුත්තේ දේශපාලන අශූචිවලක් මිස අන් යමක් නොවේ. එතෙක් ජනාධිපතිවරයාගෙන් කළ යුතු ඉල්ලීමක් ඇත.
“හුජ්ජ කොල්ලන්ට පිස්සු කෙළින්න දෙන්න එපා !”
එපමණකි.

විශේෂ ලියුම්කරුවකු විසිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More