පසුගිය 12 වෙනි දින ජිනිවාහීදී ආරම්භවුන 48 වන මානව හිමිකම් සමුළුවේදී විදේශ ඇමති ගරු ජී. එල්. පීරිස් මහතා ව්සින් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාචික වාර්තාවේ සඳහන් කරන ලද බාහිර යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම අනුමත නොකරමි යන්නෙන් දුන් පිළිතුර පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ප්‍රසාදය ප්‍රකාශ කරන්නෙමු. එසේම එදින රටවල් 19 කින් 15 ක්ම අප රටට සහයෝගය දැක්වීමට සුදුසු වාතාවරණයක් ඇතිකිරීම පිළිබඳවද එතුමාට ප්‍රශංසාව පිරිනමන්නෙමු. තවද ඉතාලියේ බොලොඤ්ඤෝ නුවරදී “ලන්ඩන් ඉනීශියේටිව්” සංවිධානයේ සාමාජික ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ පෝලන්තයේ සභාපති සේනක රාජපක්ෂ මහතා වෙත ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ස්ථිර කර තිබුනේ “ලංඩන් ඉනීශියේටිව්” සංවිධානයේ සභාපති ජෙයරාජ් පලිහවඩන මහතාට විරුද්ධව යස්මින් සූකා පනවා ඇති අපහාස නඩුවට ලංකා රජය මැදිහත්වන බවයි. මෙය ඉතා හොඳ ප්‍රවණතාවයක් වන අතර ඒ පිළිබඳවද ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ප්‍රණාමය පුද කරන්නෙමු.
පළමු කාරණාවට සුළුවෙන් හෝ මෙසේ ප්‍රශංසා කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසුනේ පසුගිය සැසිවාරයේදී අදිසි හස්තවල බොරුවලවල් වලින් බේරී සියතින් ගෙලට තොණ්ඩුව දා ගැනීමෙන් වැලකී සිටීමට එවක විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාට හැකිවුන නිසා බවද සිහිපත් කරන්නෙමු. යම් හෙයකින් 30/1 ට ලබාදුන් මාදිලියේ අනුග්‍රාහාත්මක ප්‍රතියෝජනා මාලාවක් සඳහා පසුගිය සැසිවාරයේදී එකඟ වූයේනම් මෙවන් ප්‍රශස්ථ යමක් සිදුකිරීමට අභිනව විදේශ ඇමතිවරයාට ඉඩක් ලැබෙන්නට නොතිබුණි. එබැවින් එවන් බොරුවලවල් මග හැර ගෙලට සියතින් තොණ්ඩුව ලා ගැනීම සිදු නොකල හිටපු විදේශ ඇමතිතුමාටද නැවතත් ප්‍රශංසා කරන්නෙමු. එසේ වුවද තවමත් ප්‍රතියෝජනා ගෙන ඒම ඒකායන විසඳුම ලෙස සලකමින්, ඒ පිළිබඳව විද්වතුන් අනීතිකව පොළඹවමින් හොල්මන් කරනලද අවතාර පෙර සේම බලවත්ව විදේශ අමාත්‍යංශයට තවමත් අරක්ගෙන සිටී. මේ වනවිට ඔවුන් රූපාන්තරණය වී ඇති සෙයක් දක්නට ලැබෙන නමුදු එහි යළි වෙනසක් සිදු නොවේ යැයි සිතීම උගහටවේ.
මිෂෙල් බැචලේ මහත්මිය හිතන ආකාරයට සංශෝධනය කරන ලද ත්‍රස්ථවාදී පනතක් ඉදිරිපත් කිරීමේදී හෝ වගවීම පිළිබඳව සහයෝගයෙන් කටයුතු කිරීමේ සීමාවේදී වත්මන් රජයට අනිවාර්යයෙන් ගැටීමක් කරා යොමුවීමට සිදුවනු ඇත. ඊට හේතුව වන්නේ 57ක් ලෙස හඳුන්වා ඇති යුද අපරාධකරුවන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් වත්මන් රජය තුල හා ආශ්‍රිතව ස්ථානගතව සිටීමයි. බැචලේ මහත්මිය සිතන්නේ නවසීලන්තයේ ආකාරයේ ත්‍රස්ථවාදියා හඳුනාගත් පසුවද ඔහුව අත්අඩංගුවට නොගෙන ඊනියා මානව හිමිකම් සංවිධාන වල පදයට නැටවිය හැකි ප්‍රති ත්‍රස්ථ පනතක් ස්ථාපනය කිරීමනම්, එහිදී ත්‍රස්ථවාදියෙක් වැටලීමට යෑමේදී ඒ පිළිබඳව ඊනියා මානව හිමිකම් සංවිධාන දැනුවත් කිරීම ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමනම්, එවන් ත්‍රස්ථ මර්දන පනතකින් සිදුවෙන අනර්තය අවබෝධ කරගැනීම අපහසු නැත.
එසේම වගවීම පිළිබඳව ඔය පසසන්නාවූ එකඟතාවය පිළිබඳව සීමාව ලබන මාර්තු මස ඉදිරිපත්වෙන වාර්තා වලින් පසුව කෙසේ දීර්ඝ කිරීමට සිදුවේද යන්න පිළිබඳව මෙවර ඉඟියක් නොලැබුනද පූර්ණ ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් ඇත්තන් හට එය එතරම් අපහසු කටයුත්තක් නොවේ. දැනටමත් යස්මින් සූකා ඉදිරිපත් කර ඇති හා සකසමින් පවතින්නාවූ, 47/1 හා අනුකූල වාර්තා 2022 මාර්තු මාසයේදී ඉදිරිපත් කළ පසුව දැනටමත් යුද අපරාධ කරුවන් ලෙස සඳහන් කර ඇති 57 ක් වූ යුද විරුවන්ගේ ඉදිරි ජීවිතය තීරණය වනු ඇත. එහිදී අනිවාර්යයෙන් මෙවර මදසුමටව ගතකරාවූ මධුසමයක් නොව කටු යහනක යහන්ගතවීමේ පහස නොඅඩුව ලැබෙනු ඇත. සමහරවිට එවන් අවස්ථාවක නැවතත් ප්‍රතියෝජනා මාපිලුන් සැඟවී ඇති තැන් වලින් එලියට පැමිණෙනු ඇත. එයට පසුබිම බැචලේ මහත්මිය පසසනලද ජනාධිපතිතුමා විසින් ඉඩදී හෝ හඳුනාගෙන ඇති සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් දැනටමත් පෝෂණය කරමින් සිටිනු ඇතැයි සිතිය හැක. මෙවන් සැකයක් වර්ධනයට හේතුව වන්නේ මෙම රජය ගෙන ඒමට සහයෝගය දැක්වූ කිසිදු ගිහි හෝ පැවිදි සමාජයක් සමග කිසිදු කතිකාවතක් මැතිවරණයෙන් පසුව සිදුවී ඇති බවක් වාර්තාවී නොතිබීම නිසාය.
ලොහාන් රත්වත්තේ නාටකයද අනිවාර්යයෙන් ලබන සැසිවාරයේදී විශාල කාර්‍යභාරයක් ඉටුකරනු ඇත. රාජකාරි පිස්තෝලය වුවද යම් හෙයකින් ගැස්සුනිනම් මෙවර ජිනීවා සමුළුව රටට එකම මළගෙයක් කරවන්නට ඉඩ තිබුනි. සාමාන්‍යයෙන් ජිනිවාහී මානව හිමිකම් සමුළුවක් ආරම්භ වීමට පෙර හා එය පවතින අතරතුර එල්ටීටීඊ ලැදි ද්‍රවිඩ සංවිධාන විසින් රජය අපහසුතාවයට පත්කිරීම සඳහා විවිධ ක්‍රියාකාරකම් සිදුකරනු ඇත. මෙවර එය ලොහාන් රත්වත්තේ විසින් ඉහටත් උඩින් සිදුකරන්නට යෙදුනි. පීසීආර් පරීක්ෂණයක් කිරීමට යෑමේදී පීඑච්අයි මහත්මයෙකුට අවහිරයක් සිදුකරනු ලබන්නෙකුව පවා ක්ෂණිකව අත්අඩංගුවට ගෙන සිර ගතකරනු ලබන වාතාවරණයක් තුල, උග්‍රලෙස මානව හිමිකම් උල්ලංඝනය සිදුවී ඇති ක්‍රියාවකදී එය දොඩම් ලෙල්ලක් ගලවන්නාසේ සුළුකොට තැකීම කෙසේවත් රටට සුභදායක වන්නේ නැත. මෙහිදී එක රටක් එක නීතියක් යන්නද චෞරලෙස අපහරණය වී ඇත. ඒ සමූහ දූෂණය සඳහා බන්ධනාගාර නිලධාරීන් පවා සහභාගී වී ඇත. මේ සඳහා සහභාගීවූ සමූහයටම අදාල දූෂණ චෝදනාව සඳහා උපරිම ඳඬුවම් ලබාදිය යුතුය. එය එක් රාජ්‍ය ඇමති තනතුරෙන් පමණක් ඉල්ලා අස්වීම ප්‍රමාණවත් නොවනු ඇත. මේ පිළිබඳව මෙම ලිපියේ සඳහන් කිරීමට සිදුවූයේ මෙවන් කුණු බිත්තරද රනවිරුවන් අතර සිටින්නට ඉඩ ඇත. විද්වත් මණ්ඩලයක් මගින් සම්පාදනය කරන ලද විරුවන්ගේ විත්තිවාචිකයේද ඒ පිළිබඳව සඳහන් කර ඇත. මෙවන් කරුණු පිළිබඳව සුදුසු ලෙස පරීක්ෂා කළ යුතුව ඇත. එසේ නොවුණහොත් එයද පශ්චාත් යුද සමයේ මානව හිමිකම් කඩවීමේ නොවිසඳුන චෝදනා අතරට වැටෙනු ඇත.
එබැවින් මෙවර සැසියේදී යස්මින් සූකා වැන්නවුන්ගේ වාර්තා පිළිබඳව සඳහනක් නොකරමින් ජනාධිපතිවරයා විසින් ඉටුකරන ලද කාර්‍යයන් පමණක් ඇගයීම සුනාමිය ඒමට පෙර ගොඩබිමින් ඈතට මුහුදු රළ ඉවත්වීමෙන් ඇතිවෙන නිසල තාවයක් වැන්නක් විය හැකි බව පැහැදිලිව පෙනෙන්නට ඇත. 2022 මාර්තු යන්න රටට අනිවාර්යයෙන් සෙනසුරු මහදසාවේ නරකම කාලය උදාවීමක් වනු ඇත. මදසුමට මධුසමයේ පහසින් වශීවී පුවත්පත් සාකච්ඡා පමණක් පවත්වමින් මොණර පිල් විදහමින් පමණක් පසුවුවහොත් එය වටයක් කරකැවීමේදී දර්ශණයවන මොනර පශ්චාත්භාගය මෙන් අවසානයෙදී දිස්වනු ඇත. සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව පුවත්පත් සාකච්ඡාවක් පවත්වා ඊළඟ සමුළුව ආරම්භ වන තෙක් ශිශිරකරණය වීම කොහෙත්ම ප්‍රමාණවත් වන්නේ නැත. අසීමාන්තික වර්ණනය සතුරාගේ ප්‍රහාරයේ ප්‍රභලතාවය අඩු කිරීමේ අවියක් ලෙස මෙම මදසුමට මධුසමය ලෙස හැඳින්වීමද වරදක් නැත. එබැවින් රජය විකල්ප ක්‍රියාමාර්ගයකට යා යුතුය.
දණින් වැටී අයදිනවාට වැඩිය දෙපයින් සිට ප්‍රශ්නයට මුහුණදීමෙන් වඩා ප්‍රතිඵල ලැබෙන බව රටවල් 19 න් 15 වක්ම අප රටට පක්ෂපාතීව කතාකිරීමෙන් පැහැදිලිවේ. එහෙත් මානව හිමිකම් සමුළුව තුල පූර්ණ ජයග්‍රහණයක් සඳහා තව දුරක් යාමට නියමිතව ඇත. එය එදාවේල හම්බ කරන්නාමෙන් එක් එක් සමුළු වාරයේදී එක් එක් පැලැස්තර ක්‍රියා මාර්ග ගැනීම හෝ ප්‍රකාශ නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් නැත. ඒ සඳහා නිශ්චිත ක්‍රියා මාර්ගයක් පැවතිය යුතුය. එහිදී ඉහත විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙස සඳහන් කලද, අප විසින් 2017 වසරේ සිට පැහැදිලිව පෙන්වා දී ඇති, යුද අපරාධ කරුවන් ලෙස හංවඩු ගසා ඇති අපේ රනවිරුවන්ට ස්වභාවික යුක්තිය ඉල්ලා සිටීම සිදුකල යුතුය. ඒ සඳහා අවශ්‍ය 17 ක් වූ සාමාජික සංඛ්‍යාවක් මානව හිමිකම් කොමිසමෙන් සොයා ගැනීම අපහසු නොවනු ඇත. දැනටමත් ඒ සඳහා 15 ක් සාමාජික රටවල් ඇතිබව පැහැදිලිව පෙනෙන්නට ඇත. රණවිරුවන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉල්ලීම ලබන මාර්තු මසට පෙර මානව හිමිකම් කොමිසමේ විශේෂ සැසියකට යොමුකළ යුතු හෙයින් ඒ සඳහා යුහුසුළුව රජය ක්‍රියාත්මක විය යුතුය. යුද අපරාධ චෝදනා ලද රණවිරුවන් වෙනුවෙන් එසේ ස්වභාවික යුක්තිය ඉල්ලීමෙන් හා ඒ සඳහා විත්තිවාචකයක් ඉදිරිපත් කිරීමෙන් හා එය ජයග්‍රහණය කරවීමෙන් පසුගිය මානව හිමිකම් කොමිසමේ සම්මත කරගත් 47/1 යෝජනාවේ සඳහන් සර්ව ලෝක නීතිය අපේ රණවිරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කිරීම බල රහිත කරවනු ඇත. එයින් ඇමරිකන් ඩොලර් මිලියන 2.8ටේ කූට ව්‍යාපෘතියද නවතා දැමීමට හැකිවෙනු ඇත. එයින් යස්මින් සූකා ආදීන් විසින් දිගින් දිගටම ව්‍යාජ යුද අපරාධ වාර්තා සෑදීමටද තිත තැබීමට හැකිවෙනු ඇත. මෙය සිදු නොකරනු ලබන්නේනම් ජයරාජ් වැන්නවුන් තවත් විශාල සංඛ්‍යාවක් හා 57ක්වූ යුද අපරාධ කරුවන් වෙනුවෙන්ද රජයට මැදිහත් වීමට සිදුවීම නොවැලැක්විය හැක. යම් හෙයකින් ඒ වනවිට ඊනියා යහපාලන රජයකට සමාන රජයක් පැවතුනහොත් ජයරාජ් ආදීන් හා 57 ක් වූ යුද අපරාධ කරුවන්ට දෙවියන් යදිනවා හැර අන් යමක් කිරීමට ඉතිරිවනු නොමැත. එහිදී එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයට පැමිණිලි ගොනු කිරීමෙන්ද පලක් නොවනු ඇත.
යසස් ධර්මදාස
ලේකම්, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...