මෙවර ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවේදී බෙදුම්වාදී ත්‍රස්තවාදය පමණක් නොව ඉස්ලාම් අන්තවාදය ද ආරක්ෂා කිරීම සඳහා කොමසාරිස්වරිය විසින් ප්‍රකාශ සිදුකරන ආකාරය දක්නට ලැබුණි. එසේ සිදුවන්නේ එක් පැත්තකින් ශ්‍රී ලංකාවේ රජය පාස්කු ප්‍රහාරයට වගකිවයුතු බවට ඉස්ලාම් අන්තවාදීන් ආරක්ෂා කිරීම සඳහා යම් පිරිස් විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයන් සිදුකරන තත්වයක් තුළය. අනෙක් පැත්තෙන් මානව හිමිකම් සමුළුව විසින් ශ්‍රී ලංකාවේ රජය ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග විවේචනය කරන තත්වයක් තුළ ආණ්ඩුවට චෝදනා කරන බලවේග සදහන් කරන්නේ ආණ්ඩුව ඉස්ලාම් අන්තවාදයට එරෙහිව නිසි පියවර නොගන්නා බවය. එවැනි පරස්පර මතවාද ඉදිරිපත්වන තත්වයක් තුළ මානව හිමිකම් සංවිධානය නම් වූ සංවිධානයක් සංස්ථාගත කිරීම සඳහා පුද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම විශේෂ තත්වයකි.
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් අගෝස්තු මස 3 දින පාර්ලිමේන්තුවේ පළමුවන කියවීම සිදුකළ එම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කොට ඇත්තේ 2021 ජූලි මස 20 දිනයි. එවැනි පනත් කෙටුම්පතක් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විට ස්ථාවර නියෝග යටතේ ඒ සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගත යුතුය. එම අනුමැතිය අවශ්‍ය වන්නේ අදාළ පනතේ කෙටුම්පත ව්‍යස්ථාවට අනුකූල බව සහතික කිරීම සඳහාය. නමුත් මෙම පනත් කෙටුම්පතට අදාලව පාර්ලිමේන්තුවේ පළමුවර කියවීමට පෙර ස්ථාවර නියෝගවලට අනුව නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගෙන නැත. එසේවුවත් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ පළමුවර කියවීමෙන් පසුව ඕනෑම රටවැසියෙකුට එම පනත් කෙටුම්පතට එරෙහිව දින 7 ක් ඇතුලත ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ හැක. ඒ අනුව ජාතික සංවිධාන එකමුතුව, ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සහ විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය නියෝජනය කරමින් තිස්ස අත්තනායක මහතාගේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරනු ලැබීය.
එම පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාල පනත ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් එය සම්මත කිරීම සදහා තුනෙන් දෙකක විශේෂ බහුතරය සහ ජනමතවිචාරණයක් අවශ්‍ය බවට තීන්දු කරනු ලැබීය. ඊට හේතුව එම පනත් කෙටුම්පත මඟින් අදාළ මානව හිමිකම් සංවිධානයට රාජ්‍ය බලතල සහ රාජ්‍ය නොවන බලතල පැවරීමය. ව්‍යවස්ථාවේ 3 සහ 4 වැනි වගන්ති අනුව මහජනයාගේ පරමාධිපත්යව බලය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය මඟින් ක්‍රියාත්මක වේ. මෙම පනතේ 6 වැනි සහ 7 වැනි වගන්ති මඟින් අදාළ මානව හිමිකම් සංවිධානයට විධායක බලය පමණක් නොව අධිකරණ බලයද ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන සලසා ඇත. තිස්ස අත්තනායක මහතා යොදා ගනිමින් සංස්ථාගත කිරීමට උත්සාහ කළ මානව හිමිකම් සංවිධානයේ ලිපිනය පමණක් පනත් කෙටුම්පතේ සඳහන්ව ඇත. එම සංවිධානයේ වගකිවයුතු නිළතල දරණ පුද්ගලයින් පිළිබඳව සහ එම සංවිධානය කොපමණ කාලයක් රටේ ක්‍රියාත්මක වූවාද යන්න පැහැදිළි නැත. එහෙත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා ආචාර්ය අල්හාජ් එම්.එන්.එම් අෂීම් නැමැත්තෙකු බව දැනගැනීමට ඇත.
එම පනත් කෙටුම්පත මීට පෙර 2013 දී කෙටුම්පත් අංක 271 ලෙස 30 – 9 – 2013 දින ගැසට්කර ඇත. එදා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ රිෂාඞ් බදිඋදීන් මන්ත්‍රීවරයාගේ සඟයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. ෆරුක් මහතා විසිනි. එහෙත් එදා ඊට විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී නැති බැවින් එම පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් විවාදයට ගැනීමට කටයුතු කර නැත. ඉන් පසුව 2015 දී කෙටුම්පත් අංක 15 ලෙස 8.9.2015 දින නැවත ගැසට් කර ඇත. එදා ඊට දායක වී ඇත්තේ මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීි අලි සහීර් මහතාය. එම අවස්ථාවේදී අධිකරණ අමාත්‍යවරයාව සිටි විජේදාස රාජපක්ෂ මහතාගේ අනුමැතිය ඊට නොලැබුණු බැවින් පනත සම්මත කිරීම දක්වා ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට නොහැකි වූ බව වාර්ථා වේ. ඒ අනුව පෙනී යන්නේ මෙම පනත සම්මත කිරීම සඳහා යම් පිරිසක් විසින් දීර්ඝ කාලයක සිට ප්‍රභල උත්සහායක් ගනිමින් සිටින බවය. මෙවර අදාළ කාර්යයට තිස්ස අත්තනායක මහතා යොදා ගැනීමේ රහස පැහැදිළි නැත.
එහෙත් නැවත වටයකින් එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වර්තමාන රජයේ විෂයභාර අමාත්‍යවරයාගේ ආශිර්වාදය සහ දැනුවත්භාවය තිබිය යුතු බව ඉතා පැහැදිළිය. අමාත්‍යවරයාගේ වාර්තාව සහ ඉන් පසුව ඒ මත පදනම්ව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව අදාළ පනත් කොටුම්පත දෙවනවර කියවීම හෙවත් විවාදයට ගැනීම සිදුකළ නොහැක. එහෙත් අධිකරණ අමාත්‍යවරයා විසින් පනත් කොටුම්පතට අදාලව වාර්තාවක් මාස 6ක් ඇතුළත ඉදිරිපත් නොකළහොත් අනුමැතිය ලැබුණා සේ පළකා පනත් කොටුම්පත විවාදයට ගත හැක. ජාතික සංවිධාන විසින් එසේ පනත සම්මත කිරීමට අදාළ දෙවන පියවරට යාමට පෙර පළමු අවස්ථාවේදීම ඊට එරෙහිව අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරනු ලබන්නේ අමාත්‍යවරයාගේ වාර්තාව පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි බැවිනි. නඩු තීන්දුව ලැබුණු පසුව දැන් එම ක්‍රියාවේ වැදගත්කම පැහැදිළි වී ඇත. මෙම අතීත සහ වර්තමාන ක්‍රියාවලිය අධ්‍යනය කිරීමේදී පැහැදිළි වන්නේ යම් පිරිසකට මානව හිමිකම් කොමිසමට සමාන බලවත් මානව හිමිකම් සංවිධානයක් පිහිටුවා ගැනීමේ ප්‍රභල උවමනාවක් තිබෙන බවය. ඊට අමතරව එම පිරිස දේශපාලන වශයෙන් බලවත් පිරිසක් බවද පැහැදිළි වේ. පසුගිය දිනවල එක්තරා බටහිර තානාපති කාර්යාලයක් විසින් මානව හිමිකම් ප්‍රචලිත කිරීම සඳහා විශාල වශයෙන් අරමුදල් දෙන බවට පුවත්පත් දැන්වීම් පළකර තිබුණි. මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම ශ්‍රී ලංකාවේ ඉතා ලාභදායි ව්‍යාපාරයක් බවට විවාදයක් නැත. එහෙත් මෙම සංවිධානය ඉන් බොහෝ ඔබ්බට යන අරමුණු සහිත සංවිධානයක් බව පනත හරහා පවරාගැනීමට උත්සහා කරන බලතල අනුව පැහැදිළි වේ.
එම පනතේ 7 වැනි වගන්තිය මඟින් අදාළ රාජ්‍ය නොවන සංවිධානයට රාජ්‍ය සහ රාජ්‍ය නොවන කටයුතු සඳහා බලතල ලැබේ. ඒ අනුව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවරයාට හෝ ඕනෑම නම්කළ සමාජිකයෙකුට පොලීසියද ඇතුලත් ඕනෑම රාජ්‍ය, දෙපාර්තමේන්තුවකට ඇතුල් වී යම් පුද්ගලයෙකුට එරෙහිව එම අදාල ආයතනය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග ප්‍රශ්ණ කළ හැක. එසේ මැදිහත්වීමට ඔවුනට බලය ලැබෙන්නේ අදාළ පුද්ගලයාගේ මානව හිමිකම් රැකීමේ නාමයෙනි. එහිදී ප්‍රශ්ණ නිරාකරණය කිරීමටද ඔවුන්ට බලය පැවරේ. එය එක්තරා ආකාරයකට අධිකරණය සතු බලයකි. එසේම ඕනෑම පොලිස් ස්ථානයකට ඇතුළු වී අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් පිළිබඳව සොයා බැලීමේ සහ ප්‍රශ්ණ කිරීමේ බලයද එම සංවිධානයේ සාමාජිකයින්ට ලැබේ. ඊට අමතරව 7 වැනි වගන්තිය අනුව ඕනෑම මහජන නියෝජිතයෙකු විසින් එම සංවිධානයට ඉදිරිපත් කරන පැමිණිල්ලක් පිළිබඳවද ඉහත සඳහන් ආකාරයට ක්‍රියා කිරීමට ඔවුනට බලය ලැබේ. ඒ අනුව එම සංවිධානට එක්තරා ආකාරයකට මානව හිමිකම් කොමිසමට විකල්ප සංවිධානයක් ලෙස ක්‍රියා කිරීමේ බලයක් ලබා ගැනීමේ උවමනාවක් තිබෙන බව පැහැදිළි වේ.
එසේ වුවත් එම පනත් කෙටුම්පතේ 6 වැනි වගන්තිය අනුව ඕනෑම රටවැසියෙකුට එම සංවිධානයේ සාමාජිකයෙකු වීමේ හැකියාව නැත. ඊට අමතරව එම සංවිධානයේ සාමාජිකයින් වර්ග කිරීමේ හැකියාවද ඇත. ඒ අනුව එම මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට එසේ වර්ග කරන ලද සාමාාජිකයින්ට ඉහත සඳහන් බලතල පැවරීමේ හැකියාව ඇත. රාජ්‍ය නොවන සංවිධානයකට රාජ්‍යයක බලය ලබා ගැනීම අවශ්‍ය වන්නේ යම් අවස්ථාවක රාජ්‍යයට එරෙහිව හෝ රාජ්‍යයම අකර්මන්‍ය කිරීම සඳහා එම බලතල භාවිතා කිරීමට විය හැක. උදාහරණයක් ලෙස අනාගතයේදී බෙදුම්වාදී සංවිධාන හෝ ඉස්ලාම් ආගමික අන්තවාදී සංවිධාන විසින් තම න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යන අවස්ථාවක ඊට එරෙහිව රාජ්‍යයට ප්‍රභල පියවර ගැනීමට සිදු වනු ඇත. එම බලවේග තම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන කාල රාමු වෙනස් කළද අරමුණු අත්හැර නොදමන බව ඉතා පැහැදිළිය. ඒ අනුව එවැනි ගැටුම්කාරී අවස්ථාවක රාජ්‍යය බලය භාවිතා කළ හැකි මෙවැනි සංවිධානයකට පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම හෝ අත්අඩංගුවට ගත් පුද්ගලයින් රඳවා තබා ගැනීම හෝ ඔවුන්ගෙන් ප්‍රශ්ණ කිරීම වැළැක්වීම සඳහා මැදිහත්වීමේ හැකියාව ලැබේ. එවැනි අවස්ථාවක මානව හිමිකම් ආරක්ෂා කිරීමේ නාමයෙන් මානව හිමිකම් කොමිසමට සමාන්තර සංවිධානයක් ලෙස දේශීයව පැමිණිළි ගොනු කිරීමට සහ ජාත්‍යන්තරව ඒවා විවිධ පාර්ශව වලට ඉදිරිපත් කිරීමටද අවස්ථාව ලැබේ.
එවැනි රාජ්‍ය බලය සහිත සංවිධානයක් විසින් ඉදිරිපත් කරන පැමිණිලි වලට සහ මැදිහත්වීම් වලට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබේ. ඒ මඟින් අර්බුදයකදී රාජ්‍යයට ක්‍රියාත්මක විය නොහැකි ආකාරයට බාධා එල්ල කිරීමේ හැකියාව ලැබේ. විශේෂයෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන පුද්ගලයින්ට එරෙහිව අපරාධ හෝ යුධ අපරාධ චෝදනා ගොනු කිරීමට ඇති හැකියාව නිසා එවැනි සංවිධානයකට යස්මින් සුකාගේ භූමිකාව අතට ගැනීමට හැකියාව ලැබේ. එදා 2010 දී දරුස්මාන් කමිටුව පිහිටුවීමේදී ඇය එම කමිටුවේ සාමාජිකයෙකු ලෙස එක්තරා ආකාරයකට විනිෂ්චයකරුවෙකුගේ භූමිකාව ඉටු කරනු ලැබීය. ඉන් පසුව එම කමිටුවේ වාර්තාව මඟින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට යුද අපරාධ චෝදනා එල්ල කිරීමෙන් අනතුරුව ඇය ඊනියා වින්දිතයින් හෙවත් පැමිණිලිකරුවන් ලෙස පෙනී සිටින චූදිතයින් වෙනුවෙන් විවිධ ජාත්‍යන්තර වේදිකාවල පෙනී සිටිනු ලබයි. එනම් විනිසුරුවරයා විත්තියේ නීතිඥයා බවට පරිවර්තනය වී ඇත. ඇයගේ ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය නැමැති රාජ්‍ය නොවන සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවල උසස් නිලධාරීන් 57 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කොට ඇත.
තිස්ස අත්තනායක මහතා ඉදිරිපත් කළ පනත් කෙටුම්පත මගින් පිහිටුවීමට නියමිත වූ මානව හිමිකම් සංවිධානයටද එවැනි භූමිකාවක් අත්පත්කර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය බලතල අදාළ පනත් කෙටුම්පතට ඇතුල්කර තිබෙන බව ඉතා පැහැදිළිය. මෙ ක්‍රියාවලිය සහ එහි අවශ්‍යතාවය තේරුම් ගැනීමේදී සමස්ථ මහා පින්තූරය දැකීම ඉතා වැදගත් වේ. මෙවැනි බලවත් සංවිධානයක් රටතුළ පිහිටුවීම අවශ්‍ය වන්නේ මේ වන විට ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාවට එරෙහිව සිදු කෙරෙන මහා වටැලීමට අදාළ අනිවාර්යය අංගයක් ලෙස බව ඉතා පැහැදිළිය. මූලික වශයෙන් එම වටලෑමේ ප්‍රධාන පෙරමුණු 07 ක් හඳුනාගත හැක. ඉන් පළමු වැන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා බලපෑම් කිරීමය. එම බලපෑම 2015 දී මානව හිමිකම් සමුළුවේ 30/1 යෝජනාව මඟින් පළමුවරට ඉදිරිපත් වූ අතර ඊට අදාළ බලපෑම දිගින් දිගටම සිදු විය. මෑත කාලීනව පසුගිය වසරේදී යුරෝපා පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් සම්මත කර පනත සංශෝධනය නොකරන්නේ නම් ජී.එස්.පී සහනය අහිමි කරන බවට බලපෑම් කරනු ලැබීය. වර්තමාන රජය එම බලපෑම් වලට සම්පූර්ණයෙන්ම යටත් වූ බවක් කිව නොහැකි වුවද අදාළ පනත සංශෝධනය කිරීම සඳහා යම් පියවර ගනිමින් සිටින බව රහසක් නොවේ. ඒ අනුව අනාගතයේදී පනත සංශෝධනය කළහොත් මෙම ඊනියා මානව හිමිකම් සංවිධානයේ කාර්යභාරය වඩා පහසුවනු ඇත.
එම වටලෑමේ දෙවන අරමුණ ලෙස සැලකිය හැක්කේ මානව හිමිකම් සමුළුවේ 46 වැනි සැසිවාරයේදී සම්මත කළ 46/1 යෝජනාව අනුව පිහිට වූ යුද අපරාධ චෝදනා සහ ඊට අදාළ සාක්ෂි ගොනු කිරීමේ යාන්ත්‍රණයයි. එම යාන්ත්‍රණය සඳහා මුදල් වෙන්කර මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර 2022 පෙබරවාරි මාසයේදී අදාළ වාර්තාව නිකුත් කිරීමට නියමිතය. එම වාර්තාව නිකුත් කිරීමෙන් පසුව චූදිත හමුදා නිලධාරීන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නඩු නිමිති පහළ වේ. ඒ අනුව විවිධ රටවල නීති පද්ධතීන්ට අනුව එම නිළධාරීන් උසාවියට ඉදිරිපත් නොකර නඩු කටයුතු පවත්වාගෙන යාමට මෙන්ම අදාළ නිලධාරීන් පිටුවහල් කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීම් කිරීමට හැකියාව ඇත. එසේම එවැනි නිලධාරියෙකු විදේශීය රටකදී අත්අඩංගුවට ගැනීමට සහ යම් රටවල එම නිලධාරීන් සහ පවුල්වල සමාජිකයින් අසාදුලේඛන ගත කර වීසා ලබා නොදීම ආදී ක්‍රියාමාර්ග ගත හැක.
ශ්‍රී ලංකා රාජ්‍යට එරෙහිව ක්‍රියාත්මක වන තුන්වන පෙරමුණ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ජාලය වන අතර යස්මින් සුකාගේ ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය ඒ අතුරින් ඉදිරියෙන්ම සිටියි. ඇය විසින් ශ්‍රි ලංකාවේ යුද්ධයට නායකත්වය දුන් උසස් නිලධාරීන් 57 දෙනෙකුගේ ලැයිස්තුවකට අදාළව චෝදනා ඉදිරිපත් කර ඇත. ඉහත සඳහන්කළ චෝදනා ගොනු කිරීමේ ජාත්‍යන්තර යාන්ත්‍රණයට අවශ්‍ය තොරතුරු ලබා දීමේ ක්‍රියාවලියට මෙන්ම බලපෑම් කිරීමේ ක්‍රියාවලියට ඇය ප්‍රභල මැදිහත්වීමක් සිදු කරන බව රහසක් නොවේ. එවැනි සාක්ෂි සහ නඩු භාණ්ඩ 120000ක් එකතු කර තිබෙන බව මහකොමසාරිස් මිෂේල් බැසෙලේ පවසයි. ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන හතරවන පෙරමුණ බෙදුම්වාදී දෙමළ ඩයම්පෝරා කල්ලි බලවත් ලෙස ක්‍රියාත්මක වන රටවල රාජ්‍යයන් විසින් කරනු ලබන මැදිහත්වීම් ලෙස හඳුනාගත හැක. කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත ආණ්ඩුව විසින් දෙමළ සමූල ඝාතන සතියක් නම් කිරීම සඳහා පනතක් සම්මත කරන්නේ එවැනි එක් පියවරක් ලෙසයි. අංක 102 පනත ලෙස හදුන්වා ඇති එම පනත අනුව අදාල සතිය තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍යය දෙමළ ජනතාව සමූලඝාතනය කළ බවට චෝදනා එල්ල කිරීම සදහා විවිධ ප්‍රචාරක, පරයේෂණ සහ සමාජ ක්‍රියාකාරකම් දියත් කෙරෙනු ඇත.
ඊට සමගාමීව ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට අංක 413 යෝජනාව නමින් යෝජනාවක් ඉදිරිපත් වූ අතර ඒ මඟින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටළුව විසඳීම සඳහා එම ජනතාවට පෙඩරල් බලතල ලබාදිය යුතු බව යෝජනා කෙරුණි. ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රියාත්මක වන පස්වන සටන් පෙරමුණ ජාත්‍යන්තර වටලෑමට එරෙහිව හඬ නගන සංවධාන සහ පිරිස් නිහඬ කිරීමය. එදා 2015දී 30/1 යෝජනාව සම්මත කිරීමෙන් ආරම්භ වූ ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර මෙහෙයුමට එරෙහිව ශ්‍රී ලංකාවේ රාජ්‍යයෙන් සැළසුම් සහගත ප්‍රති මෙහෙයුමක් දියත් නොවීය. එම අඩුව පුරවනු ලැබුවේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය වැනි සංවිධාන සහ ප්‍රභල භූමිකාවක් ඉටුකළ පුද්ගල චරිත කිහිපයක් විසිනි. ඔවුන් නිහඩ කිරීම මුල් කරගෙන යස් මින් සුකා විසින් එවැනි ප්‍රභල ක්‍රියාකාරිකයෙකු වූ පොදුජන පෙරමුණේ ලන්ඩන් ශාඛාවේ ලේකම්වරයාට එරෙහිව එරෙහිව එංගලන්තයේ නීතියක් භාවිතා කරමින් නඩු පවරා ඇත. එම නඩුව සදහා ඔහුට පුද්ගලිකව විශාල මුදලක් වැය කීරීමට සිදු වන අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඔහු වෙනුවෙන් මේ වනතුරු ඉදිරිපත් වී නැත. එවැනි තත්වයක් තුළ රට වෙනුවෙන් හඬ නගන සෙසු පිරිසට ප්‍රභල නිශේධාත්මක මානසික බලපෑමක් සිදුවේ. කෙසේවෙතත් පසුගිය දිනවල ඉතාලියේදී ශ්‍රී ලාංකිකයින් ඇමතූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් තමා ඊට මැදිහත්වන බව දන්වා ඇත. එය සතුටට කාරණයකි.
එම ජාත්‍යන්තර තත්වයන් එසේම පවතිද්දී රට තුලද විවිධ පෙරමුණු ගොඩ නැගෙමින් ඇත. සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරය යොදා ගනිමින් නීතිගත කිරීමට උත්සහා කරන ඉහත සඳහන් කළ මානව හිමිකම් සංවිධානය මඟින් දියත්වන ක්‍රියාවලිය සයවන පෙරමුණ ලෙස හැඳින්විය හැක. ඊට සමගාමීව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපරාධ සහ අන්තරාකාරී ඖෂධ කාර්යාල මඟින් අරමුදල් යොදවා ත්‍රස්තවාදී සැකකරුවන් වෙනුවෙන් සාර්ථකව පෙනී සිටීම සඳහා ශ්‍රී ලංකාවේ දී නීතිඥයින් පුහුණු කිරීමේ වැඩ සටහනක් දියත් කර ඇත. ඊට පහසුකම් සැලසීම සඳහා යොදාගෙන ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයයි. නීතිඥවරුන් පුහුණු කිරීම වරදක් නොවුනද එහි අවසන් අරමුණ ඉහත සඳහන් කළ මහා පින්තූරයේම කොටස් බව ඉතා පැහැදිළිය. නමුත් ශ්‍රී ලංකාවේදී විදේශ අමාත්‍යංශය හෝ ආරක්ෂක අමාත්‍යාංශය මෙම මහා පින්තූරය තේරුම් ගන්නා බවක් නොපෙනේ. අඩු තරමින් චෝදනා එල්ල වන ආරක්ෂක හමුදා ප්‍රධානීන් හෝ ප්‍රශ්ණයේ ගැඹුර තේරුම් නොගැනීම කණගාටුදායක කරුණකි.
කෙසේ වෙතත් මෙවර සමුළුවේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් සිදුකළ ප්‍රකාශය අගය කළ යුතුය. ශ්‍රී ලංකාව මීට පෙර 30/1 යෝජනාවේ සමඅනුග්‍රහයකත්වයෙන් ඉවත්වන බව ප්‍රකාශ කළ අතර 46/1 යෝජනාවට විරුද්ධ විය. ඒ අනුව එම යොජනාව මත පදනම්ව ගනු ලබන බාහිර ක්‍රියාමාර්ග පිළිනොගන්නා බව ප්‍රකාශ කිරීම ඉතා තර්කානුකූල වේ. නමුත් ඉන් පසුව ගතයුතු තර්කානුකූල සහ තීරණාත්මක පියවර මගින් ආණ්ඩුවේ එම ප්‍රතිපත්තිමය ස්ථාවරය අභියෝගයට ලක්වේ. එනම් දැනට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නායකයින්ට එරෙහිව චෝදනා ගොනුකිරීමේ ජාත්‍යන්තර යාන්ත්‍රණයට අභියෝග නොකර සිටීම බරපතළ උපායමර්ගික වරදකි. එය කළ හැක්කේ පසුගිය රජය විසින් ඉල්ලා නොසිටි සහ අද වනතුරු මානව හිමිකම් සමුළුව විසින් ලබාදී නොමැති ස්වභාවික යුක්තිය ඉල්ලා සිටීම මගිනි. එය ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සාමාජිකයින්ගේ මූලික මානව අයිතිවාසිකමකි. අප රටේ රණවිරුවන්ට 2015 මහ කොමසාරිස් වාර්තාව මගින් එල්ල කරනු ලැබූ යුද අපරාධ චෝදනා වලට ශ්‍රි ලංකා ආණ්ඩුව විසින් මේ වනතුරු පිළිතුරු බැදීමක් සිදුකොට නැත. ඒ අනුව එසේ එල්ල කරනු ලැබූ මූලික චෝදනා 8 ට එරෙහිව කරුණුමය සහ නීතිමය සාක්ෂි මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාවේ රජයේ මූලික වගකීමකි. එම වගකීම ඉටු කිරීම පමා වන සෑම දිනක්ම අප රටේ ආරක්ෂක හමුදා නායකයින්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ ජාත්‍යන්තර යානත්‍රණය පිටුපස ඇති අරමුණට වාසදායක වනු ඇත.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...