බලය සඳහා පොරකෑම මේ රටේ තියෙන මූලික ප්‍රශ්නවලින් එකක්. මේක මනුස්ස ස්වභාවයක් කියලා හිත හදාගන්න පුළුවන්කමක් නෑ. හැම රටකම මිනිස්සු බලයට පොරකනවා තමයි. ඒත් කිසිම ජන පදනමක් නැති මිනිස්සු බලයට පොරකෑම එක පැත්තකින් විහිළුවක්. තවත් පැත්තකින් මහ විනාශයක්. අපේ රටේ සමහර මිනිස්සු මේ පොරයට තල්ලුකරන්න රාජයෝග පිස්සුවත් හේතුවෙලා තියෙනවා.
අපේ රටේ ප්‍රධාන වාමංශික පක්‍ෂයකින් ඉවත්කරපු පිරිසක් එකතුවෙලා “අලුත්” පක්‍ෂයක් හැදුවා. මේ විදිහට අලුත් පක්‍ෂ හදන්නේ මතවාදී කාරණා ඉස්මතුකරලා. හැබැයි ඇත්ත කතාව අපි හැම කෙනෙක්ම දන්නවා. පරණ නායකයෝ තවදුරටත් තනතුරුවල එල්ලිලා ඉඳිද්දි දෙවැනි මට්ටමේ අයට ඉහළ යන්න බෑ. ඉතින් පක්‍ෂ ඇතුළෙත් බල පොරයක් ඇතිවෙනවා. ඒ පොරය අවසන්වෙන්නේ දෙවැනි මට්ටමේ අය පිටමංවෙලා අලුත් පක්‍ෂයක් හදාගැනීමෙන්.
මේ කියලු “අලුත්” පක්‍ෂය හැදුණෙත් එහෙම. අලුත් පක්‍ෂයේ නායකයා බවට පත්වුණේ ඉංජිනේරුවෙක්. ඒ මහත්මයා (සහෝදරයා) තමන්ගේ හක්කේ, බොක්කේ හැම තැනම භෞතිකවාදී අදහස්වලින් පිරිලා කියලා ලෝකයට කියන පුද්ගලයෙක්. ලෝකයට එහෙම කිව්වත් මේ “භෞතිකවාදියා” නිතර නිතර අමුතු වැඩක් කළා. ඒ තමයි තමන්ගේ සගයන්ගේ අත් බැලීම. අත් බලලා අනාගතය ගැන කියන්න ඒ මහත්තයාට පුළුවන්. ඒ මහත්තයා මේ විදිහට සගයන්ගේ අත් බලලා තියෙන්නේ තමන්ගේ නායක තනතුර රැකගැනීමේ අදහසින්. තමන්ට වඩා බලවත් “අතක්” තියෙන කෙනෙක් දැක්කාම හෙමින් සීරුවේ ඒ බලවතාට පක්‍ෂය අත් ඇරලා යන තත්ත්වයට වැඩ සළස්වනවා. ඉතින් මේ මහත්තයා “අලුත්” පක්‍ෂයේ අසහාය නායකයා බවට පත්වුණා. පස්සේ කාලෙක මේ අසහාය නායකයා ජනාධිපතිවරණයකටත් තරඟ කරලා ඡන්ද හත්දාහකට චූට්ටක් වැඩියෙන් ගත්තා.
රාජයෝග පිස්සුවත් මෙහෙම එකක් තමයි. ඇත්තටම හුඟක් අයගේ කේන්දරවල රාජයෝග තියෙනවා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ගේ කේන්දරයක් ඇරගෙන බැලුවත් මේ කාරණය තහවුරු කරගන්න පුළුවන්. ආයතනවල ලොක්කෝ, ලොකු ව්‍යාපාර කරන අය වගේ හුඟක් අයගේ කේන්දරවල මේක දකින්න පුළුවන්. මේ රාජයෝගවලින් කියන්නේ රටේ රජවෙනවා කියන එක නෙවෙයි. යම් ආකාරයක නායකයෙක් වෙනවා කියන එක ඒ කාරණයෙන් තහවුරු කරගන්න පුළුවන්.
රාජ්‍ය නායකයා කියන්නෙත් නායකයෙක් හින්දා ඒ අයගේ කේන්දරවලත් රාජයෝග දකින්න පුළුවන්. හැබැයි ඒ අය රජවෙලා තියෙන්නේ තනිකරම ඒ රාජයෝගවල එල්ලිලා නෙවෙයි. රටේ රජවෙන්න නම් ඒ සඳහා උනන්දු වෙන කෙනෙක් කරන්න ඕන වැඩ මහ ගොඩක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රධානම දේ තමයි පිරිස් බලය. මේ අවශ්‍යතාව සමාජයේ හැම මට්ටමකින්ම සම්පූර්ණ කරගෙන තියෙන්න ඕන. පවුල් මට්ටම, යාළු – මිත්‍ර මට්ටම, ප්‍රාදේශීය මට්ටම, ජාතික මට්ටම කියන හැම මට්ටමකම පිරිස් බලයක් තියෙන්න ඕන.
මේ පිරිස් බලය විවිධාකාර ක්‍ෂේත්‍රවල අය විසින් නියෝජනය කරන්නත් ඕන. ආගමික නායකයෝ, ප්‍රාදේශීය දේශපාලන නායකයෝ, උගත්තු, ව්‍යාපාරිකයෝ, කලාකාරයෝ ඒ අතරින් විශේෂයි. රට පුරාම විහිදිච්ච මෙහෙම පිරිස් බලයක් නැති කෙනෙක්ට, අඩු ගණනේ එහෙම පිරිස් බලයක් තියෙන දේශපාලන පක්‍ෂයක අනුදැනුම නැති කෙනෙක්ට මොන තරම් රාජයෝග තිබුණත් වැඩක් වෙන්නේ නෑ.
1996 ලෝක කුසලානය දිනුවාට පස්සේ අපේ ක්‍රිකට් කණ්ඩායම කෙන්යාවේ තරගාවලියකට සහභාගී වුණා. ඒ වෙද්දි කෙන්යාව හිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ අන්තිම කෙළවරේ. ඒත් අපේ කණ්ඩායම කෙන්යාවට පැරදුණා. ඒ ගැන ඇහුවාම “අපි සෙල්ලම්කරන්නේ අනිත් පාර්ශ්වයේ අතපය බැඳලා නෙවෙයි” කියලා අර්ජුන රණතුංග උත්තර දුන්නා.
ජනාධිපතිවරණ සෙල්ලමත් එහෙම එකක්. මේ වෙනුවෙන් ඉදිරිපත්වෙන තවත් පාර්ශ්ව ඉන්නවා. ඒ අයත් රාජයෝග හරි වෙනත් සුදුසුකම් හරි තියෙන අය. ඒ අයගේ අතපය බැඳලා පැත්තකට දාලා තමන් විතරක් තරගකරනවා නම් රාජයෝගයෙන් විතරක් දිනන්න පුළුවන්. ඒත් එහෙම කරන්න බෑ. ඒ හින්දා මේ රාජයෝග තියෙනවා කියලා හිතාගෙන ඉන්න අයට තව වැඩ ගොඩක් කරන්න වෙනවා. තමන්ට පක්‍ෂ, විපක්‍ෂ හැම කෙනෙක් එක්කම ගනුදෙනු කරන්න ඒ අයට පුළුවන් වෙන්න ඕන. හැම ජාතියකම අය තමන්ගේ ළඟට ගන්න පුළුවන් වෙන්න ඕන.
මේ මූලික දේවල් කරන්න බැරි නම්, තමන්ගේ සීමාව තේරුම් ඇරගෙන ඒ අනුව හැසිරෙන එක තමයි මෙහෙම අයට රට වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම වැඩේ.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...