පුරවැසි කොලම

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් වලින් 40% ඇමරිකාවේ නිව් ෆෝටේ‍රස් එනර්ජි(NFE) නම් වූ සමාගමකට විකිණීම රජයට අයත් පුද්ගලික සමාගමක වානිජ ක්‍රියාකාරකමක් ලෙස හුවා දැක්වීමට බලශක්ති අමාත්‍යවරයා උත්සාහ දරා ඇත. එම ගනුදෙනුව පිළිබඳව ව්‍යාජ ලෙස බිල්ලන් මවන්නට එපා යැයි සමාජ මතයක් හැදීමට ද යම් පිරිස් උත්සාහ ගන්නා බව පෙනේ. එම සංවාදය තුළ රජයට අයත් පුද්ගලික සමාගමක කොටස් විදේශීය පුද්ගලික සමාගමකට විකිණීමට වඩා සිය දහස් ගුණයකින් බරපතළ ඒ සමග බැඳුණු අනෙක් ගනුදෙනුවක් පිළිබඳ සංවාදය යටපත්වේ. එනම් ලක්දනවි බලාගාරයට සහ අනාගතයේදී සෙසු ද්‍රවිකෘත ස්වාභාවික ගෑස්(LNG) බලාගාරවලට ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව සහ ඊට අදාළ යටිතල පහසුකම් කොන්ත්‍රාත්තුව මගින් රජයට සිදුවන සිතාගත නොහැකි බරපතළ පාඩුව පිළිබඳ සැබෑ තත්ත්වය සැඟවීමක් සිදුවේ.’

එක් පැත්තකින් කොටස් වෙළඳපොලේ ක්‍රියාත්මක වන සමාගමක කොටස් විකිණීම වැනි සාමාන්‍ය ගනුදෙනුවක් ලෙස යුගදනවි ගනුදෙනුව හුවා දැක්වීම මගින් සැබෑ තත්ත්වය සැඟවීමක් සිදුවේ. නමුත් එය සමාන කළ හැක්කේ ගැබ්බර එළදෙනෙකුට තණකොළ මිලදී ගැනීම සහ පැටවා බිහිකරනතෙක් කිරි බීම සඳහා එළදෙන උගසට තැබීම වැනි ක්‍රියාවකටය. යුගදනවි බලාගාරය ක්‍රියාත්මක කරනු ලබන වෙස්ට් කෝස්ට් පවර් ලිමිටඩ් (WCPL) නම් වූ මහා භාණ්ඩාගාරයට කොටස් 50% හිමි සමාගම සැබෑ ලෙසම ඉතා ඉහළ ලාභ ඉපැයීම ආරම්භ කරනු ලබන්නේ ලබන වසරේ සිටය. ඊට හේතුව එම බලාගාරය ඉදිකිරීම සඳහා එච්.එස්.බී.සී(HSBC) බැංකුවෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක ණය මුදල ගෙවා අවසන් වීම ය. ඒ සමගම එම සමාගම විදුලිබල මණ්ඩලය සමඟ අත්සන් කර ඇති ගිවිසුම අනුව තවත් වසර 15ක කාලය සඳහා ඉතා ඉහළ මිලකට විදුලිය විකිණීමට හැකිවේ. එම බලාගාරය දැනට ඩීසල් බලාගාරයක් ලෙස විදුලි ඒකකයක් රුපියල් 26කට විකුණන අතර එය ගෑස් වලට පරිවර්ථනය කළ පසුව පිරිවැය අඩුවන බැවින් ඒකකයක මිල රුපියල් 19ක් පමණ වනු ඇත. වසර 25ක කාලයක් සඳහා ඉදිකර ක්‍රියාත්මක කර පවරා දීමේ (BOT) ක්‍රමයට සිදුකරන ලද එම ආයෝජනය අනුව අදාළ බලාගාරය තවත් වසර 15කින් විදුලිබල මණ්ඩලයට අයත් වේ. නමුත් එමගින් අදාල සමාගමේ පැවැත්ම සහ ඇමරිකානු සමාගමට විකුණන ලද කොටස් වල අයිතිය අහෝසි නොවේ. ඒ නිසා වසර 15කින් පසුව ඇමෙරිකානු සමාගමට කොටස් අයිතිය අහෝසිවන බව ඇගවීම වරදකි.

එම ආයෝජන ක්‍රියාවලියවලිය ආරම්භ කරනු ලබන්නේ ලංකා ට්‍රාන්ස් ‌‌ෆෝමර්ස් නම් රාජ්‍ය සමාගමට අයත් ලක්දනවි නම් වූ සමාගම විසිනි. ඒ අනුව යුගදනවි බලාගාරය ක්‍රියාත්මක කිරීමේ සමාගම වන WCPL නම් වූ සමාගම බිහි කරනු ලබන්නේ ලක්දනවි සමාගම විසිනි. එම සමාගම මීට’ පෙර පුත්තලම හෙළදනවි බලාගාරයට ද ආයෝජනය කරනු ලැබීය. නමුත් යුගදනවි බලාගාරය ඉදිකිරීම සඳහා HSBC බැංකුවෙන් ණය ලබා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් ඇපයක් තැබීමේදී නීතිමය ප්‍රශ්නයක් මතුවිය. එනම් විදේශ ණය පනත අනුව රජය විසින් ඇප විය හැක්කේ රජයට බහුතර කොටස් අයිතිය සහිත සමාගමක් සඳහා පමණි. අදාළ සමාගමේ කොටස් අයිතිය 50% ක් මහා භාණ්ඩාගාරය විසින් ආයෝජනය කරනු ලබන්නේ එම නීතිමය අවශ්‍යතාවය නිසාය. දැන් ලබන වසරේ එම ඇපය අවසන් වන බැවින් රජයට අයත් කොටස් වලින් 41% ආපසු ලක්දනවි සමාගමට ලැබෙනු ඇත. එම කොටස් ප්‍රමාණය විදේශීය සමාගමට විකුණා රටේ ඩොලර් නොමැති අවස්ථාවක ඩොලර් මිලියන 250ක් ලබා ගැනීම වරදක් ද යනුවෙන් ප්‍රශ්න කරන්නේ මෙම සංදර්භය තුළ ය. කෙසේ වෙතත් එම කොටස්වල වටිනාකම අවතක්සේරු කර විකිණීමක් සිදුවන බවට ද චෝදනා එල්ල වේ.’

ටෙන්ඩර් කැඳවීමකින් තොරව  LNG ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව NFE සමාගමට

මීට පෙර 2008 දී ලබාදුන් නඩු තීන්දුවකට අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ රජයට එල්.එම්.එස්. නම් වූ නැව්වලට තෙල් සපයන ඉතා ලාබදායී රාජ්‍ය ව්‍යාපාර අවතක්සේරු කර’ විකිණීම පිළිබඳව එවකට සිටි භාණ්ඩාගාර ලේකම්වරයා වැරදිකරුවකු බවට පත්විය. විදේශීය විශේෂඥයන්ගේ මතය අනුව ඉඩම් හෝ දේපල තක්සේරු කරන ආකාරයට බලශක්ති උත්පාදන සමාගමක වටිනාකම තක්සේරු කළ නොහැක. කෙසේ වෙතත් රාජ්‍ය දේපල පුද්ගලික අංශයට විකිණීමේ දේශපාලන ප්‍රතිපත්තිමය වරද එනම් ආණ්ඩුව මැතිවරණයට පෙර ඉදිරිපත් කළ ප්‍රතිපත්ති වෙනස් කිරීමේ වරද, තක්සේරුව නිවැරැදිව කිරීම මගින් නිවැරැදි වන්නේ නැත. එසේම රාජ්‍ය දේපළ අවතක්සේරු කර විකිණීම අල්ලස් පනත යටතේ දූෂණය නම් වූ අපරාධ වරදටද ලක්විය හැකි ක්‍රියාවකි. එම චෝදනාවෙන් ගැලවිය හැක්කේ ප්‍රතිපත්තිමය වශයෙන් නිවැරදි නොවූවත් තාක්ෂණික වශයෙන් නිවැරදි වන ආකාරයට ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් කැඳවීම මගිනි. ශ්‍රී ලංකාවේ රජය විසින් 2019දී ගැසට් කරන ලද බලශක්ති ප්‍රතිපත්තිය අනුව බලශක්තියට අදාල සියලු ගනුදෙනු සිදුකළ යුත්තේ තරගකාරී ලංසු කැඳවීම මගින් පමණි. ඒඅනුව’ මෙම කොටස් විකිණීමේ ක්‍රමවේදය මගින් රටේ නීතියක් බවට පත්වී ඇති බලශක්ති ප්‍රතිපත්තිය බරපතළ ලෙස උල්ලංඝණය වේ.

ඊට අමතරව එසේ ඩොලර් මිලියන 250ක විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලැබීම යාචකයෙකුට ලොතරැයියක් ඇදීම වැනි යහපත් දෙයක් ලෙස හුවා දැක්වීමට යම් අමාත්‍යවරුන් උත්සාහ දැරුවද සමස්ත ගනුදෙනුවේ තත්ත්වය ඊට වෙනස් වේ. මෙම කොටස් විකිණීමේ ගනුදෙනුව මගින් යටපත් කිරීමට උත්සාහ කරනු ලබන ගෑස් සැපයීමේ සහ අදාල යටිතල පහසුකම් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව මගින් ඇමරිකානු සමාගමට ලබාදෙන ඒකාධිකාරිය නිසා රටට සිදුවන දීර්ඝ කාලීන අනර්ථය ඉතා බරපතළ වේ. උදාහරණයක් ලෙස ටෙන්ඩර් කැඳවීමකින් තොරව LNG ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ඇමරිකානු NFE සමාගමට ලබාදීම නිසා වසර 5ක් සඳහා ධාරිතා ගාස්තු පමණක් ඩොලර් මිලියන 253ක් ගෙවීමට සිදුවේ. වසර 5ක දී ගෑස් සැපයීම මගින් පමණක් එම සමාගම ඉපැයීමට නියමිත ආදායම ඩොලර් මිලියන 6000කි. එහිදී මෙම ගිවිසුම වසර 5කට පමණක් අදාල බවට සඳහන් කිරීම මගින් සමස්ත ගනුදෙනුවේ බරපතලකම සැඟවීමට උත්සාහ කරන බවක් ද පෙනේ. එහෙත් ගිවිසුම වසර 15ක් වැනි දීර්ඝ කාලයට අත්සන් කිරීමට වඩා වසර 5කට වරක් නව ගිවිසුම අත්සන් කිරීම අදාල සමාගමට වාසිදායක බව විශේෂඥයෝ පවසති.

මෙම ගනුදෙනුවට අනුව යටිතල පහසුකම් සැපයීම සහ ගෑස් සැපයීම යන කොන්ත්‍රාත් සියල්ල එක සමාගමකට ලබා දීම නිසා මෙම ගිවිසුම අනිවාර්යෙන්ම දීර්ඝ කිරීමට රජයට සිදුවේ. විදුලිබල මණ්ඩලයේ මූලික ප්‍රතිපත්ති අනුව එසේ යටිතල පහසුකම් සහ ගෑස් සැපයීම ඒකාබද්ධ කිරීම ද බරපතළ ප්‍රතිපත්තිමය සහ වාණිජමය වරදකි. විදුලිබල මණ්ඩලය මඟින් පළමුව ටෙන්ඩර් කැඳවන ලැබුවේ FSRU නම් වූ පාවෙන ගෑස් ගබඩාව සහ එය රැඳවීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම මෙන්ම කෙරවලපිටිය සිට කැලණිතිස්ස බලාගාරය දක්වා නල පද්ධතිය ඉදිකිරීම යන කොන්ත්‍රාත් ත්‍රිත්වයේ සඳහා පමණි. ඒ අනුව ගෑස් මිල දී ගැනීම වෙන් වශයෙන් තරගකාරී මිලගණන් වලට අනුව සිදුකිරීමේ හැකියාව ලැබේ. නමුත් කැඳවූ ටෙන්ඩර් එසේම තිබේ දී ටෙන්ඩර් පටිපාටියට පිටින් විශේෂ කැඳවීමක් අනුව ඇමරිකානු සමාගමට යටිතල පහසුකම් සහ ගෑස් සැපයීම යන සමස්ත පද්ධතිය පවරාදීම මගින් ප්‍රතිපත්තිමය වරදකට අමතරව ගෑස් මිළ දී ගැනීමේදී දීර්ඝකාලීන පාඩුවක් සිදුවේ.

විදුලි බිල ද ඉහළට

එසේ විදේශීය සමාගමකට ප්‍රතිපත්තියට සහ නීතියට පිටින් ලබා දෙන විශේෂ සැලකීම නිසා හෙවත් තරගකාරී නොවන ලෙස ලබාදෙන ලද කොන්ත්‍රාත්තුව නිසා රජයට සිදුවන පාඩුව ලෝකයේ වෙනත් කිසිදු රටක සිදුවනවා යැයි සිතිය නොහැක. මෙම ගෑස් සැපයීමේ ගිවිසුම අනුව මෙගාවොට් 300ක යුගදනවි බලාගාරය සහ මෙගාවෝට් 350ක අනාගත සොබාදනවි බලාගාරයට අමතරව කැළණිතිස්ස බලාගාරය ගෑස් වලට පරිවර්තනය කිරීම ආදිය මගින් උපරිම වශයෙන් මෙගාවෝට් 900ක් සඳහා ගෑස් අවශ්‍යතාවය සැපිරීමට නියමිතය. එහෙත් එම සමාගමට මෙගාවෝට් 1600ක් සඳහා ධාරිතාවයක් පවත්වාගෙන යාමට ඉඩ දීම නිසා ඉහත සඳහන් කළ අධික ධාරිතා ගාස්තුවලට අමතරව භාවිතා නොකළ ද මිලදී ගැනීමට සිදුවන අවම ගෑස් ප්‍රමාණයක් නියම වේ. ඒ අනුව ඇමරිකානු සමාගමට සෑම මසකම ඊට පෙර මාසයේ දී බලාගාරවලට විකුණ ලද ගෑස් නැවත විකිණීමට හැකියාව ලැබේ. ඒ මගින් රජයට බරපතළ දීර්ඝකාලීන පාඩුවක් සිදුවන අතර විදුලිබල මණ්ඩලයේ පාඩුව පමණක් නොව විදුලි බිල ද ඉහළ යාම සිදුවනු ඇත. ඊට අමතරව ඒ අයුතු බැඳීම නිසා විදුලිබල මණ්ඩලයට සෙසු පුනර්ජනණීය බලශක්ති උත්පාදනය සඳහා අනාගතයේ දී ඇති විය යුතු උනන්දුව ද අඩුවනු ඇත.

ඒ ආකාරයට සිතාගත නොහැකි අසාධාරණ කොන්දේසිවලට යටත් වීම සහ ටෙන්ඩර් කැඳවීමකින් තොරව එම කොන්ත්‍රාත් ලබා දීම නිසා රජයට පාඩු සිදු කිරීම ද අනාගතයේදී බරපතළ අපරාධ වරදක් ලෙස අර්ථ දැක්වීමට ඉඩ ඇත. ඉහත සඳහන් කළ ආකාරයට එය අල්ලස් සහ දූෂණ පනත යටතේ දූෂණයට අදාළ වරදකි. එවැනි නඩුවකදී එම වරද මගින් අදාල බලධාරීන්ට අයුතු මූල්‍ය වාසියක් ලැබුනු බවක් ඔප්පු කිරීම අවශ්‍ය නොවේ. එහිදී අවශ්‍ය වන්නේ චේතනාන්විතව හෝ එසේ නොමැතිව රජයට පාඩුවක් සිදු කළාද යන්න ඔප්පු කිරීම පමණි. මෙම සමස්ත ගනුදෙනුව ශ්‍රී ලංකාවේ සිදුවූ සහ අනාගතයේදී තවත් වසර 10ක දී සිදුවිය හැකි විශාලතම ගනුදෙනුව හෙවත් කොන්ත්‍රාත්තුව ලෙස සැලකිය හැක. ඒ අනුව මෙම ගනුදෙනුව මගින් අදාළ විදේශීය සමාගමට ලැබෙන අයුතු ලාභය හෙවත් ශ්‍රී ලංකාවේ රජයට සිදුවන පාඩුව බැඳුම්කර වංචාවට වඩා බෙහෙවින් බරපතළ වන බවට සැකයක් නැත.

මෙම ගනුදෙනුවේ ආර්ථික පැතිකඩ විශ්ලේෂණය කරන විද්වතුන්ට අනුව එහි තර්කානුකූල භාවය ද බරපතළ ලෙස ප්‍රශ්න කිරීමට ලක් වේ. උදාහරණයක් ලෙස අදාළ ඉංජිනේරු ක්ෂේත්‍රයේ විශේෂඥයන්ට අනුව ඩොලර් මිලියන 200කට පමණ පාවෙන ගෑස් ගබඩාවක්(FSRU) මිලදී ගත හැක. සෙසු ටෙන්ඩර් දෙක වන ගබඩාව රදවනු ලබන යටිතල පහසුකම් (Mooring System) සහ නල එලීම යන ආයෝජන සඳහා පිළිවෙළින් වැය වන්නේ ඩොලර් මිලියන 30ක් සහ ඩොලර් මිලියන 25 ක් පමණි. ඒ අනුව ඒ සියල්ලේ එකතුව ඇමරිකානු සමාගම විසින් ගෑස් ධාරිතාව පවත්වාගෙන’ යාම සඳහා අයකරන ඩොලර් මිලියන 253 ට වඩා අඩුවේ. එසේ නැතහොත් යුගදනවි බලාගාරයේ කොටස් 40%’ විකුණා ලබා ගන්නා මුදලට සමාන වේ. ඒ අනුව විදේශ ආයෝජන නාමයෙන් සහ රටට ඩොලර් ගෙන ඒමේ නාමයෙන් ප්‍රතිපත්තියට සහ නීතියට පිටින් කරනු ලබන ගනුදෙනුවල ආර්ථික විද්‍යාත්මක දුප්පත්කම පැහැදිලි වේ.’

පරිපාලන වැරදි මෙන්ම පටිපාටිය සහ සම්ප්‍රදාය උල්ලංඝනය කිරීම් 13ක්

ඒ සියල්ලට අමතරව මෙම සමස්ත ක්‍රියාවලිය තුළ මහජනයාට පමණක් නොව අමාත්‍ය මණ්ඩලයටද තොරතුරු සැඟවීම සහ ඔවුන් නොමග යැවීම සිදු වී ඇත. මෙම ලියුම්කරුගේ අධ්‍යනයන්ට අනුව අදාළ බලධාරීන් විසින් එවැනි පරිපාලන වැරදි මෙන්ම පටිපාටිය සහ සම්ප්‍රදාය උල්ලංඝනය කිරීම් 13ක් සිදු කර ඇත. ඒ අතර අදාළ ඇමරිකානු සමාගම ඉතා සූක්ෂම ලෙස වානිජ ගනුදෙනුවකදී පවත්වාගත යුතු අවම සදාචාරය බිඳ දමා ඇත. එම සමාගම තම යෝජනාව පළමුව ඉදිරිපත් කරන්නේ ඇමරිකානු තානාපතිනිය මගිනි. ඒ බව එවකට සිටි විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා 2020 ජූලි මාසයේදී ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් පිළිගෙන ඇත. ඉන්පසුව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා 2020 ඔක්තෝබර් මාසයේදී ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් නිර්දේශ කර ඇත්තේ ඇමරිකානු සමාගමේ යෝජනාව ඊට අදාලව වෙනත් සමාගම් විසින් ඉදිරිපත් කරන ප්‍රති යෝජනා සමග ඇගයීමට ලක් කළ යුතු බව සහ ආයෝජකයා තෝරාගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීය යුතු බව ය. එහෙත් 2021 පෙබරවාරි මාසයේදී (LNG) ගෑස් සඳහා යටිතල පහසුකම් වලට ටෙන්ඩර් කැඳවූ පසුව අදාළ සමාගම ටෙන්ඩර් ක්‍රියාවලියට සහභාගී නොවී අප්‍රේල් මාසයේදී මුදල් අමාත්‍යාංශයට ආයෝජන යෝජනාව ඉදිරිපත්කළ බව සහ තානාපතිනිය මගින් බලපෑම් කළ බව සැගවිය නොහැක.

මෙම ඇමරිකානු සමාගම සමග (LNG) ගෑස් විකිණීමට අදාළ කොන්දේසි පත්‍රිකාව අත්සන් කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාට අනුමැතිය ලබා දෙන්නේ 6/9/2021 දින අමාත්‍ය මණ්ඩල රැස්වීම මගිනි. නමුත් එම සමාගම නව ගෑස් බලාගාරයක් පිහිටුවීම සඳහා ලක්දනවි සමාගමේ බහුතර කොටස් අයිතිය සහිතව පිහිටුවනු ලබන සොබාදනවි සමාගම සමග ගෑස් විකිණීමට අදාළව මූලික ගිවිසුමක් රහසිගතව ඇතිකරගනු ලබන්නේ ජුලි මාසයේදීය. එම ගිවිසුම පිළිබඳව හෝ සොබාදනවි සමාගම විදුලිබල මණ්ඩලය සමඟ අත්සන් කළ ගිවිසුම සහ භාණ්ඩාගාර ලේකම්වරයා අදාල සමාගම සමග අත්සන් කළ ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම පිළිබඳ විස්තරාත්මක තොරතුරු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් නොකළ බව එළිදරව් විය. සොබාදනවි සමාගම මෙගාවෝට් 350ක ඛභඨ බලාගාරය සඳහා අයෝජනය කිරීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 190න් 30% සමාගමේ ප්‍රග්ධන කොටස් විකිණිම මගින් ලබාගැනීමට අදහස් කරන බව වාර්තා විය. ඒ අනුව එම ගිවිසුම කුමක් දැයි දැනගැනීමට අමාත්‍ය මණ්ඩලයට අයිතියක් සහ වගකීමක් ඇත. ඒ ආකාරයට මෙම සමස්ත ක්‍රියාවලිය තුළ අමාත්‍ය මණ්ඩලයට නිසි තොරතුරු ලබාදීමට අදාළව තවත් බොහෝ වැරදි සිදු වී ඇත. 6/9/2021දින අමාත්‍ය මණ්ඩලයට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරනු ලබන්නේ රැස්වීම පටන් ගැනීමෙන් පසුව බවට ද වාර්තා විය. ඒ අනුව ඇමතිවරුන්ට පූර්වගාමීව එම පත්‍රිකාව සහ ඊට අමුනා තිබෙන ලේඛන අධ්‍යනය කිරීමට අවස්ථාව ලැබී නැත.

ඊට පෙර 5/7/2021 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමට මුදල් අමාත්‍යංශය විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරනු ලබන්නේ ඒ ආකාරයටම න්‍යාය පත්‍රයට ඇතුල් කිරීමෙන් තොරව ය. ඒ අනුව පෙනී යන්නේ එම ක්‍රියාවලිය අහම්බයක් නිසා හෝ හදිසිය නිසා පමණක් සිදුව ඇති දෙයක් නොවන බවය. ඊට අමතරව ඇමරිකානු සමාගමට කොටස් විකිණීමට අදාළ ගිවිසුම 6/9/2021 දින අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමුණා නොතිබූ බවද වාර්තා විය. ඒ නිසා අමාත්‍ය මණ්ඩලය විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට අවසර දෙනු ලබන්නේ තමා නොදන්නා ගිවිසුමක් අත්සන් කිරීම සඳහාය. මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අදාළ පත්‍රිකාවේ සඳහන් වී ඇත. එවැනි හාස්‍යජනක ක්‍රියා මගින් අමාත්‍ය මණ්ඩලයේ ගෞරවයට හානි සිදුවන බව සහ ජනතාවගේ විධායක බලයට අදාළ පරමාධිපත්‍යය අභියෝගයට ලක්වන බව සැඟවිය නොහැක. ඊට අමතරව මෙම ගනුදෙනුවට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා විදුලිබල අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යාංශය ඒකාබද්ධව ඉදිරිපත් කළ යුතු වුවද එසේ නොකිරීමට හේතුව පැහැදිලි නැත. මේ වැරදි සියල්ල නිවැරදි කිරීමේ වගකීම ජනාධිපතිවරයාට පමණක් නොව සියලුම අමාත්‍යවරුන්ට පැවරෙනු ඇත. ඔවුන්ගේ ක්‍රියාපිළිවෙත අනුව ඉතිහාසය විසින් තම විනිශ්චය ලබාදෙනු ඇත.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



One thought on “යුගදනවි බලාගාර ගනුදෙනුවේ ඇත්ත සහ බොරුව”

  1. ඉතා වැදගත්. නිවැරදි පැහැදිලි කිරීමක්. ස්තුතියි!

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More