අද ගෝඨාභය වෙනුවෙන් හඬක් නගන්න කෙනෙක් ඉදිරිපත් නොවන්නේ ගෝඨාභයගේම වරද නිසා. එම වරදවල් විවිධ පැති ඔස්සේ විවිධ වචන වලින් සඳහන් කළ හැකි වුවත් ගෝඨාභයව ජනාධිපති තනතුරට රැගෙන ඒමට විශාල කාර්යභාරයක් කළ ජාතික සංවිධාන පාර්ෂවයෙන් සඳහන් කළ හැක්කේ එතුමාගේ ක්රියාකළාපය පිළිබඳව විශාල කළකිරීමක් හා ඉච්ඡාභංගත්වයක් ඇති බවයි. කරුණු එසේ වුවත් ජාතික සංවිධාන වලට අතහැරිය නොහැකි වගකිමක් සහ කාර්යභාරයක් තිබෙනව. ඒ ඔස්සේ තමයි මේ පවතින අර්බුදය පිළිබඳව අපගේ කියවීම රඳාපවතින්නෙ.
අපේ ව්‍යවස්ථාවත් සාමාන්‍ය තත්ත්වයක් යටතේ පවතින ව්‍යවස්ථාවක් නම් ව්‍යවස්ථාව එපා හෝ තියෙන ව්‍යවස්ථාව කුණුකූඩයට දැමිය යුතුයි කියා අරගල කර හැකියි. එසේම ජනාධිපතිටත් ගෙදර පල කියා අරගල කර හැකියි. නමුත් අපේ ව්‍යවස්ථාවේ භයානකම ගැටගැසීම තමයි 13 වන ව්‍යවස්ථා සංශෝධනය. මේ 13 වන ව්‍යවස්ථාව සංශෝධනය තියෙන තාක් කල් අපේ රටේ ජනාධිපති පදවිය තිබිය යුතුයි. එසේම “සමනල” කුලයේ කෙනෙක් අතට එම තනතුර පත්නොකළ යුතුයි. එසේම ද්විත්ව පුරවැසියෙකුටත් එම තනතුර ලබදීම නොකළ යුතුයි. එසේම බෙදුම්වාදීන්ට කප්පම් දීමට සූදානම් තැනැත්තෙකුටද එම තනතුර ලබා ගැනීමට ඉඩ නොතැබිය යුතුයි.
ඒකට හේතුව වන්නේ ඉන්දියාවේ ප්‍රාන්තවල පැවැත්ම ඉන්දියාවේ ජනාධිපතිගේ අභිමතය පරිදි මධ්‍යම ආණ්ඩුව සතුව පවතින ආකරයට ශ්‍රී ලංකාවේ පළත් සභාවල පැවැත්ම විධායක බලය පවතින ජනාධිපති අත පැවතීමයි. ඉන්දියාවෙත් ප්‍රාන්ත වලට මධ්‍යම ආණ්ඩුවෙන් ගැලවී යා නොහැකි ලෙස පනවා ඇති නීති පවතින්නාසේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේත් එවන් නීති ඇතුලත් කර තිබෙනව. එයින් එක නීතියක් තමයි පළාත් සභාවල ආණ්ඩුකාරවරයා හෝ වරිය පත්කිරීම. එය තනිකරම විධායක ජනාධිපතිගේ අභිමතය පරිදි සිදුවිය යුත්තක්. ඉන්දියාවේ ප්‍රාන්ත සභාවල පැවැත්ම ප්‍රාන්ත සභාවල මහ ඇමතිගෙ අනුමැතියට යටත්ව ජනාධිපති හෝ මධ්‍යම රජය විසින් ක්‍රියාත්මක කළ යුතුයි කියා සඳහනක් නෑ. යම් හෙයකින් ගෙන ඒමට යෝජිත ව්‍යවස්ථා සංශෝධනයකින් 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් එම වගන්තිය සංශෝධනය කළහොත් ශ්‍රී ලංකාවේ ඒකීය භාවය තවදුරටත් නොරැකෙනු ඇති. එබැවින් පවතින ව්‍යවස්ථාව යටතේ ජනාධිපති තනතුර කිසිසේත්ම අතහැර දැමීමක් සිදුකළ නොහැකියි. එසේම අමතක නොකළ යුතු තවත් කාරණයක් තමයි පාර්ලිමේන්තුවේ බලය හා ජනාධිපති තනතුරේ බලය යන දෙකම ඔය කියන සමනළ, ද්විත්ව හා බෙදුම්වාදී කුල වලට ගියොත් ඔය කියන භයානක තත්ත්වයක් තමයි ඇතිවන්නේ. උදාහරණයක් ලෙස චන්ද්‍රිකා මැතිණිය ජනාධිපතිව සිටියදී රනිල් අගමැතිව සිට රනිල් පාර්ලිමේන්තුවවත් දැනුවත් නොකර නිෂ්ඵල සටන්විරාම ගිවිසුමක් ගැසීම සහ එල්ටීටීඊයට වසර 10 කට උතුර සහ නැගෙනහිර පාලනය සඳහා අන්තර්වාර පාලනයක් ඇතිකිරීමට උත්සාහ කිරීම සඳහන් කළ හැකියි. කොහොමත් ඔය සමනල වර්ගයේ අගමැතිතුමා පාර්ලිමේන්තුව හා ජනාධිපතිට හොරෙන් ගිවිසුම් ගැහීමට බොහොම ප්‍රසිද්ධයි. 2015 දී ජිනිවාවලත් 30/1 ගිවිසුම ගැහුවෙ පාර්ලිමේන්තුව හා ජනාධිපති දැනුවත් නොකර. දැනුත් මේ ඇතිවී තිබෙන වාතාවරණය හමුවේ නැවතත් ඔහු අගමැති වීමේ සිහින දකිනව. මෙවර ඔහු අගමැති වුවහොත් මොන වර්ගයේ ගිවිසුම් හොරෙන් ගසාවිද කියන්න දැන්ම කල් වැඩියි.
අනෙක් කාරණය “ගෝඨා ගෝ හෝම්” පිටුපස බෙදුම්වාදීන් සිටීම. “ගෝඨා ගෝ හෝම්” කරලියට පැමිණීමට කාරණා කිහිපයක් බලපෑවා. ඒවා, 1) බිලියන ගනනක ඩොලර් ප්‍රමාණයක් උගන්ඩාවට යැවීම හා අනෙකුත් සඳහන් කර ඇති විශාල ආයෝජන ප්‍රමාණයක් රාජපක්ෂ වරුන් විදේශවල කර ඇති බවට තිබූ චෝදනාව 2) මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් සඳහන් කර තිබූ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පසුගිය මාස 9 ක කාලයක් තිස්සේ හමුවීමට අවස්ථාවක් ලබා නොදීම 3) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයෙන් නෙරපා දැමීම යන විශේෂ කාරණායි. එම කාරණා අතරට විදුලිය කැපීම, ගෑස් නොමැතිවීම, ගෑස් සහ ඉන්ධන මිළ ගනන් ඉහළ යෑම, ගෑස් සහ ඉන්ධන පෝලිම් දිගුවීම ආදී මහජනයාගේ එදිනෙදා ජීවිත පවත්වා ගෙන යාමේදී ඇතිවූ දුෂ්කරතා දිනපතා උත්සන්න වීම විසින් තව තවත් තීව්ර කරනු ලැබුවා. ඉහත සඳහන් විශේෂ කාරණා හේතුවෙන් වෙනදාමෙන් සුපුරුදු පරිදි පාරිභෝගික කාරනා වලට අදාල මිල අඩුකිරීම, සැපයුම ස්ථාවර කිරීම යන ඉල්ලීම් වෙනුවට විශේෂ කාරනා වලට මූලිකවම ඉල්ලක්කයක් ලෙස සියලුම රාජපක්ෂ වරුන් වෙනුවෙන් ජනාධිපති රාජපක්ෂව ඉලක්කයට ගැනීමයි සිදු වුනේ. මෙය කාලයක් තිස්සේ බෙදුම්වාදීන්ට අවශ්‍ය සහ උත්සාහ දරමින් සිටිය අවස්ථාවක් වන අතර පාරිභෝගික අවශ්‍යතා වල පීඩනය ඉහවහා ගොස් හිටිය ජනතාවට ඉහත විශේෂ කාරනා වෙනුවෙන් ඇතිව තිබූ ක්‍රෝධය මුදා හැරීමක් විය. මෙම ක්‍රෝධ සහගත මුදා හැරීම බෙදුම්වාදීන්ට ආශිර්වාදයක්ම විය. එල්ටීටීඊ ත්‍රස්ථවාදය පරාජයකොට අවියෙන් රට බෙදීමට ගෙනගිය ව්‍යාපාරය මැඩලීම වෙනුවෙන් ද්‍රවිඩ බෙදුම්වාදීන්ට රාජපක්ෂවරුන්ගේ පැවැත්ම නැවැත්වීමට, ඒ වෙනුවෙන් ඔවුන්ට ඳඬුවම් කිරීම, ඔවුන්ගෙන් පලි ගැනීම අත්‍යාවශ්‍ය අංගයක්ව පවතී. දකුණේ සිංහල සමාජය තුළින්ම එය ඉටුකර ගැනීමට ඇති හොඳම අවස්ථාව ඉහත විශේෂ කාරණා හේතුවෙන් ඇතිව තිබූ ක්‍රෝධය බව බෙදුම්වාදීන්ට මනාව වැටහෙන්නට ඇත.
පසුගිය දිනක බෙදුම්වාදී සුමන්දිරන් මහතා ගෝල්ෆේස් පැමිණ දකුණේ ඔල්වරසන් හඬ මැද පැවසුවේ දකුණේ ජනතාවගේ පවතින පීඩනයෙන් නිදහස් වීමට ඔවුන් උදව් කරන බවත් දකුණට වැඩිය එම පීඩනය උතුරේ සියගුණයකට වැඩිය වැඩි බවත්ය. නමුත් අද වෙනකම් දකුණේ අයට වැඩිය උතුරේ දෙමළ අයට ඇති පීඩනය කුමක්ද කියා පැවසීමට ඔය බෙදුම්වාදීන් සමත් වෙලා නෑ. එසේ පිළිතුරු දීමට බෙදුම්වාදීන් ඉදිරිපත් වෙලත් නැහැ. බෙදුම්වාදී නායකයින් එම ප්‍රශ්ණයට පිළිතුරු දීම මග හරිනව. බෙදුම්වාදී නායකයින්ට එය කීමට අපහසු ඔවුන් ඊට වගකිවයුතු නිසා. උතුරේ දැනටත් පවතින කුල පීඩනය තමයි ඔය කියන දකුණට වැඩිය සියවාරයක් වැඩියෙන් පවතින පීඩනය. එය රාජපක්ෂල හදපු පීඩනයක් නොවෙයි. 1957 දී සිංහල ආණ්ඩුවකින් තමයි උතුරේ කුල පීඩනය යම්කිසි දුරකට හෝ අඩුකිරීමට හේතුවෙන පනතක් ගෙන ආවෙ. අදටත් මෙම කුල පීඩනය උතුරේ පවතිනව. සමහර පළාත්වල එම කුලේ අයට ඔවුන්ගෙ ගෙවල්වල එලියෙ බිත්තිය දනහිසෙන් ඉහලට බැඳිය නොහැකියි. ඔය කියන සුමන්දිරන්ලගෙ පීඩනය නැතිකරගත හැක්කේ ඔවුන් ගෝත්‍රික ගතිවලින් මිදුනොත් පමණයි.
යහපාලන ආණ්ඩුව කාලෙ රටට අයහපත්වෙන බොහෝ දේවල් සිදුවුනත් මිනිස්සු පාරට බැස්සෙ නැහැ. හේතුව දැන්වගේ මිනිස්සුන්ට දැනෙන පාරිභෝගික ප්‍රශ්නයක් තිබුනෙ නෑ. ඒකට හේතුව හම්බන්තොට වරාය විකුණා ගත්ත සල්ලිවලිනුත්, අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 13ත් වියදම්කර ජනතාවගේ මූලික පාරිභෝගික අවශ්‍යතා සපුරා දීමයි. මේ රජය පත්වී ගත්ත කුමණම තීරණයක්වත් ජනතාවගේ යහපතට හේතු වුනේ නෑ.
රාජපක්ෂලාගේ ඩොලර් බිලියන 18ක මුදලක් උගන්ඩාවට යැව්වායැයි චෝදනාව අද මුසාවක් වෙලා. එම මුසාව නිසා ලංකාවේ තවත් කර්මන්ත ශාලාවක් වැසීයෑමේ තර්ජනයට මුහුණදීල තියෙනව. මීට පෙර වෙඩි තැබීමකින් ජීවිතයක් පවා අහිමිවුන රතුපස්වල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රබර් කර්මාන්ත ශාලාව වැසීයාමත් මෙම වර්ගයේ මුසාවාද වල විපාකයක්. අද එම කර්මාන්ත ශාලාව බංගලිදේශයේ ස්ථාපනය කරල තියෙනව. එයින් බංගලි වැසියන්ට රැකියා සම්පාදනය කර තියෙනව. එහෙම කිරීමෙන් තමයි බංගලිදේශයට හැකිවෙලා තියෙන්නෙ ඩොලර් බිලියන 42ක සංචිත ඇතිකරගන්න. අපේ මෝඩ දකුණේ ජනයා ක්‍රෝධයෙන් අන්දව බොරුවෙන් මුලා වෙලා තම අවස්ථාවන් නැතිකර ගන්නව.
එම නිසයි අප කියන්නෙ බෙදුම්වාදීන්ට අවශ්‍ය “ගෝඨා ගෝ හෝම්” කියන කෙටි පණිවුඩයේ තවදුරටත් එල්ලෙන්න එපා කියල. සමාජ ජාල තාක්ෂණයෙන් පොහොසත් තරුණ සමාජය හුදෙක් ස්මාර්ට් ෆෝන් කෙටි පණිවුඩ සමාජයක් නොවී වඩා ගැඹුරින් සමාජ ප්‍රශ්ණ දෙස බැලිය හැකි පරපුරක් වීම අත්‍යාවශ්‍යයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...