එදා 1988 අග භාගයේදී රට තුළ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වෙමින් පැවැති අවස්ථාවේදී සහ මැතිවරණ වර්ජනයක් සඳහා බලපෑම් එල්ල වෙමින් පවැති අවස්ථාවේදී එම තත්වයෙන් එළියට පැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණට මනරම් අවස්ථාවක් නිර්මාණය විය. ප්‍රචන්ඩත්වය යම් මාත්‍රාකවකට යොදා ගනිමින් කේවල් කිරීම මගින් දේශපාලන පිම්මක් පැනීම එදා ජවිපෙ විසින් තෝරා තිබූ දේශපාලන උපාය මාර්ගය විය. ඒ අනුව ප්‍රචන්ඩත්වයේ ගොදුරක් නොවී දේශපාලන පිම්මක් සහිතව ඉන් එළියට පැනගැනීම සඳහා 1988 ජනාධිපතිවරණය තුළින් අවස්ථාව නිර්මාණය විය. එදා ප්‍රජාතන්ත්‍රවාදී මහජන සන්ධානය ලෙස ජවිපෙ නියෝජනය වන සන්ධානයක් මගින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් කිරීමට සාකච්ඡා ක්‍රියාවලියක් ආරම්භ විය. නමුත් බාහිරින් සහ ජවිපෙ අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණකාරී බලවේග විසින් එම ක්‍රියාවලිය අවුල් කරනු ලැබීය. ඒ සඳහා යොදාගනු ලැබු උපාංගය වූයේ පාර්ශවවලට එකඟ විය නොහැකි කොන්දේසි ඉදිරිපත් කිරීමය. එම සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු ආරම්භ වූයේ ප්‍රචණ්ඩත්වය මහා රැල්ලක් ලෙස උත්සන්න වීමේ අවාසනාවන්ත තත්වයකි. එම තත්වය අවසන් වූයේ මොන තරම් විශාල වන්දියක් ගෙවීමෙන් පසුව ද යන්න ඉතිහාසය විසින් ලේ සහ කඳුළින් ලියා තබා ඇත.
අද වන විට වසර 33කට පසුව වෙනස් හේතු මත සහ පසුබිමක් යටතේ ඊට සමාන තත්ත්වයක් ඉතිහාසය විසින් නිර්මාණය කර ඇත. එය අවසන් වන්නේ ඛේදවාචකයක් ලෙස ද එසේ නැතහොත් විගඩමක් ලෙස ද යන්න ඉතිහාසය විසින්ම තීරණය කරනු ඇත. එහෙත් දේශපාලනය යනු ඉතිහාසයේ නියමයන් වෙනස් කිරීම නොවේද?. ඒ අනුව අද පැන නැගී ඇති ආණ්ඩු විරෝධී මහජන උද්ඝෝෂණ රැල්ල ක්‍රමයෙන් උත්සන්න වන තත්ත්වයක් තුළ සහ බාහිර පාර්ශව විසින් එම තත්ත්වය යොදා ගනිමින් ඔවුන්ගේ දුෂ්ඨ දේශපාලන න්‍යාය පත්‍ර ඉදිරියට තල්ලු කරන තත්ත්වයක් තුළ ජනතාවාදී වාමවාදී සහ ජාතිකවාදී දේශපාලන බලවේග විසින් කළ යුත්තේ කුමක්ද? දේශපාලනයේ අයන්න දන්නා අයෙකුට වැටහෙන පරිද්දෙන් ඔවුන් කළ යුත්තේ පොදු මහජන නැගිටීම් යොදා ගනිමින් සහ එය තමන්ගේ බවට පත්කර ගනිමින් යහපත් සමාජ, ආර්ථික පෙරළියක් සඳහා ආණ්ඩුව සමග කේවල් කිරීම නොවේද?
මේ වන විට ඉතිහාසය විසින් එම අවස්ථාව ලබා දී ඇත්තේ පක්ෂ 11ක සන්ධානය ලෙස හැඳින්වෙන ආණ්ඩුවෙන් ස්වාධීන වූ දේශපාලන බලවේගයට සහ ඔවුන් සමඟ එකතු වීමේ විභවය සහිත ආණ්ඩුවේ ම සෙසු බලවේග වලට බව ඉතා පැහැදිලි ව පෙනේ. එනම් ආණ්ඩුවේ උද්ධච්ච පාලකයින් සදළුතලයෙන් බස්සවා ජනමතය සුවපත් කරන සහ රට අර්බුදයෙන් ගොඩ ගත හැකි ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් යෝජනා කර ආණ්ඩුව ඊට යටත් කිරීම සඳහා අන් කිසිදු බලවේගයකට වඩා ඔවුන්ට අවස්ථාව උදා වී ඇත. ආණ්ඩුව වික්ෂිප්තව අසරණව සිටින තත්වයක් තුළ සහ විපක්ෂ බලවේග විකල්ප වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකර “ගෝඨා ගෝ හෝම්” සටන් පාඨයේ පමණක් එල්ලී සිටින තත්වයක් තුළ එම මනරම් අවස්ථාව නිර්මාණය වී ඇත. ඒ තුළ පක්ෂ 11 බලවේගයට මේ වන විට නායකත්වයක් නොමැතිව කුමන්ත්‍රණකරුවන්ට ගොදුරු විය හැකි ජනතා නැගිටීමට අධ්‍යාත්මික නායකත්වය සැපයීමේ අවස්ථාව ද නිර්මාණය වී ඇත. අවාසනාවකට එම බලවේගය මැණික පය ගැටුනත් එය නොදකින අන්ද මිනිසා ලෙස ඉතිහාසය විසින් නිර්මාණය කළ අවස්ථාව අහිමි කරගන්නා තත්වයක් දක්නට ඇත. මේ වන විට දින 10කට අධික කාලයක් අරාජික තත්ත්වයක් පවතින්නේ ඔවුන් විසින් සර්පයා හිසින් අල්ලා ගැනීම වෙනුවට උගේ නැට්ට දෙස බලා සිටීම නිසා නොවේද? එම තත්ත්වය තුළ බාහිර පාර්ශවවලට පමණක් නොව යම් බාහිර පාර්ශවවල ආශිර්වාදය සහිතව ආණ්ඩුව තුළ සිටිමින් ප්‍රශ්නය සහ උත්තරය යන දෙපැත්තම අවුල් කරන බලලෝභී බලවේග වලට අවස්ථාව නිර්මාණය වීම කණගාටුදායක තත්වයකි.
එම දුෂ්ඨ බලවේග අපේක්ෂා කරන පරිදි උද්ඝෝෂණ රැල්ල තවදුරටත් වර්ධනය වී “ගෝඨා ගෝ හෝම්” සටන් පාඨය යථාර්ථයක් බවට පත් වුවහොත් ව්‍යවස්ථානුකූලව අන්තර්කාලීන ජනාධිපතිවරයා බවට පත්වන මහින්ද රාජපක්ෂ යටතේ බැසිල් රාජපක්ෂට අගමැති ධුරය අතට ගැනීමේ අවකාශය නිර්මාණය වේ. එම පරිවර්තනයෙන් පසුව ඉන්දු ඇමරිකානු න්‍යායපත්‍රයට අනුව පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි එකතු කරගැනීම මගින් ඔහුව ජනාධිපතිවරයා හෙවත් ඔවුන්ගේ ආණ්ඩුකාරවරයා බවට පත් කර ගැනීමේ අවස්ථාව නිර්මාණය වේ. එවැනි තත්ත්වයක් තුළ අර්බුදය සමනය කිරීම කෙසේ වෙතත් යම් පමණකට පාලනය කිරීම සඳහා බලය පාවිච්චි කිරීම මෙන්ම යම් සහන ප්‍රමාණයක් ලබාදීම සඳහා ඉන්දු ඇමෙරිකානු ආධාර ලැබෙනු ඇත. රටට හතුරු මෙම බලවේග වල පැත්තෙන් ගත් විට ඊට විකල්පය ලෙස ඉදිරිපත් වන්නේ ගෝඨාභයගේ නිල බලය සහ බැසිල්ගෙන් නිල නොවන බලය එසේම තිබියදී ව්‍යාජ ආණ්ඩු පෙරළියක් සිදු කිරීමය. එනම් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පිරිස් වලට ආණ්ඩුවක් පිහිටුවන ලෙස ලණුවක් ගිල්ලවීම ය.
ඒ තුළින් සතුරු බලවේග වලට වාසි දෙකක් ලැබේ. පළමුවැන්න අගමැති තනතුරු මුල්කරගෙන පක්ෂ 11 අතර ගැටුමක් නිර්මාණය කිරීමය. දෙවැන්න ජනපතිගේ විධායක බලය සහ බැසිල් රාජපක්ෂයන්ගේ නිල නොවන බලකේන්ද්‍ර තුළ අර්බුදයට මුහුණදීම සඳහා පාලන උපාංග මෙහෙයවීමට නොහැකි වීම තුළ එම ආණ්ඩුව අසාර්ථක කිරීමය. එවැනි තත්වයක් තුළ නැවත වටයකින් ඉන්දු ඇමරිකානු න්‍යාය පත්‍රයට අනුව පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි සෙල්ලමක් මගින් ඔවුන්ගේ ආණ්ඩුකාරවරයා වන බැසිල් රාජපක්ෂ බලයට පත් කිරීමේ අවකාශය නිර්මාණය වේ. ඒ අනුව සතුරු බලවේග වලට ලැබෙන එම අවස්ථාව අහිමි කිරීම මෙන්ම විපක්ෂය අසීරු තත්ත්වයට පත් කිරීම සහ උද්ඝෝෂකයින් ගේ අවධානය දිනා ගැනීමේ අවස්ථාව ලැබෙන්නේ විපක්ෂයේ පක්ෂ 11 සන්ධානයට බව ඉතා පැහැදිලිය. එම තත්වය අන්තර්කාලීන හෝ ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩුවට බලපෑම් කිරීමේ මනරම් අවස්ථාවක් ඔවුන් අභියස නිර්මාණය වී ඇත.
නමුත් එම අවස්ථාව ලබාගැනීම සඳහා මූලික කොන්දේසි කිහිපයක් ඉටු කිරීමට ඔවුන් සමත්විය යුතුය. එනම් පළමුවෙන්ම 1988 දී ජවිපෙ ගොදුරු වූ ආකාරයට බාහිර සහ අභ්‍යන්තර කුමන්ත්‍රණවලට ගොදුරු නොවිය යුතුය. නමුත් අගමැති තනතුර පිළිබද කුමක් කළ යුතුද යන ප්‍රශ්නය සෙසු මූලික ප්‍රශ්න අභිබවා මුලට ගැනීම නිසා 1988 නැවත ප්‍රති නිර්මාණය වන බවක් දක්නට ඇත. ඒ තුළ ඉහත සඳහන් කළ ආකාරයට අගමැති පුටුව අපේක්ෂාවෙන් පක්ෂ 11 අතර සීතල යුද්ධයක් නිර්මාණය වීමේ ඉඩකඩද වර්ධනය වේ. උද්ඝෝෂකයින් අතර ප්‍රභල විරෝධයක් ගොඩනැගී ඇත්තේ ගෝඪාභය රාජපක්ෂයන්ට සහ බැසිල් රාජපක්ෂයන්ට එරෙහිවය. ගෝඨාභය තවදුරටත් ජනාධිපති ලෙස පිළිගන්නේනම් උද්ඝෝෂකයින්ගේ මූලික සටන් පාඨය අභියෝගයට ලක්වේ. එසේ නම් මහින්ද රාජපක්ෂ බලයයෙන් පහ කිරීමේ සටන් පාඨය ද්විතීක වේ.
එහෙත් බැසිල් රාජපක්ෂ ඉවත් කිරීම පමණක් නොව ඔහු සහ මුදල් අමාත්‍යාංශයේ ආර්ථික ඝාතකයින්ට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කිරීම මෙන්ම දූෂිත ඇමතිවරුන්ට යළි ඇමතිකම් නොදීමේ කොන්දේසියක් මගින් මහින්ද විරෝධය යම් පමණකට සමනය වේ. එහෙත් ඒ පිළිබඳව නොසලකා උද්ඝෝෂකයින්ගේ සටන්පාඨ වලින් මානසික බාධක පනවා ගැනීම මගින් දේශපාලන උපාය මාර්ග පටලවා ගැනීම බලවත් දේශපාලන වරදකි. ඒ නිසා බැසිල් රාජපක්ෂ නොමැති තත්වයක් යටතේ පොදුජන පෙරමුණ විසින් සිදුකළ හැකි කකුලෙන් ඇදීමේ ක්‍රියාවලිය වැළැක්වීමේ උවමනාව මත අගමැති ධුරය පිළිබඳ කාථිකාව න්‍යාය පත්‍රයේ ඉහළට ගැනීම වැළැක්විය හැක. ඒනම් අගමැතිවරයාට වෙනත් කිසිදු අමාත්‍ය ධුරයක් හෝ වගකීමක් පැවරීම නොකළයුතු බවට පනවන කොන්දේසිය මගින් මහින්ද විරෝධයට විකල්ප උත්තරයක් ලැබේ. නමුත් ආණ්ඩුව සහ පොදුජන පෙරමුණ පැත්තෙන් ගත්විට මහින්ද චරිතය සම්පූර්ණයෙන්ම පිටමන් කිරීම බරපතළ තීන්දුවකි. එම කොන්දේසිය 1988 දී යොදාගත් වැඩේ නොකෙරෙන කොන්දේසි වලට සමාන වන්නේ ඒ නිසාය. එවැනි තත්වයක් තුළ එම යෝජනාව මුලට ගැනීම මගින් පක්ෂ 11ට අයත් නායකයින් යම් කුමන්ත්‍රණයකට ගොදුරුවූවාද යන සැකය මතුවේ.
කෙසේ වෙතත් පක්ෂ 11 විසින් ආරම්භ කළ සාකච්ඡා ක්‍රියාවලිය පිළිබඳව උද්ඝෝෂකයින් අතර සහ පොදු මහජනතාව අතර විශ්වාසය තහවුරු කිරීම සඳහා අවශ්‍ය වන මූලික කොන්දේසිය වන්නේ අර්බුදය ජය ගන්නා ආකාරය පිළිබඳව නිශ්චිත ඉලක්ක සහගත වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කිරීමය. පසුගිය යහපාලන රජය බලයට පත්වීමේදී වැඩ 100 යෝජනාවක් රටට ඉදිරිපත් කරනු ලැබීය. එසේ නම් මෙම අර්බුදය පියමං කිරීම සඳහා වැඩ 50ක හෝ නිශ්චිත යෝජනාවලියක් රටට ඉදිරිපත් කිරීම දුෂ්කර ව්‍යායාමයක් විය නොහැක. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂයන්ට ගණන් නොදැමූ විවෘත චෙක්පතක් ලබාදීම මගින් තමා කළ වරද පිළිබඳව ජනතාවට ඉතා හොඳ අවබෝධයක් තිබෙන තත්වයක් යටතේ පක්ෂ 11ට ද එසේ විවෘත චෙක්පත් ලබාදීමට ඔවුන් එකඟ නොවන බව ඉතා පැහැදිලිය. එවැනි යෝජනාවලියක් පක්ෂ 11 විසින් ඉදිරිපත් කළා නම් රජය මෙන්ම විපක්ෂයද බරපතළ මතවාදී සහ බුද්ධිමය අර්බුදයකට ලක් වේ. එනම් මෙම යෝජනා පිළිගැනීමට හෝ ඒවා ප්‍රතිඵල දායක නොවේ නම් ඒ පිළිබඳ කරුණු දක්වා ඒ වෙනුවට විකල්ප යෝජනා ඉදිරිපත් කිරීමට ඔවුන්ට බල කෙරේ.
නමුත් පක්ෂ 11 විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ මූලික කොන්දේසි පත්‍රය සමඟ එවැනි වැඩපිළිවෙළක් ඉදිරිපත් නොවීය. අවම වශයෙන් එවැනි ඉලක්ක සහගත නිශ්චිත වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කිරීම අන්තර් පාලන ආණ්ඩුවක් විසින් ඉටුකළ යුතු මූලික පූර්ව කොන්දේසිය විය යුතු බවට සඳහන් කිරීමක් ඔවුන්ගේ යෝජනා 11 අතර දක්නට නොලැබුණි. එහි සඳහන් වූයේ අමාත්‍යාංශ වලට විද්වත් කමිටු පත් කිරීම පිළිබඳව පමණි. එවනි විද්වතුන් බංගලාදේශයෙන් ගෙන්වන බවක් සඳහන් වූවා නම් එම යෝජනා යම් පිළිගැනීමට ලක් වීමට ඉඩ තිබිණි. අද බංගලාදේශයේ ඩොලර් බිලියන 45 ක සංචිත තිබෙන තත්වයක් යටතේ මෙන්ම බහුතර ජනතාවට ආර්ථික ඉඩ ප්‍රස්ථා ලැබෙන ජාතික නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කෙරෙන ආර්ථික මොඩලයක් නිර්මාණය කර ඇති තත්වයක් යටතේ එවැන්නකට ඉඩ තිබුණි. එහෙත් වසර 40කට අධික කාලයක් වත්මන් අර්බුදයට හේතුවන ක්‍රියාමාර්ග සඳහා උපදෙස් දුන් පිරිස් නැවත කමිටුවලට පත් කිරීමෙන් අර්බුදය ජය ගත හැකි බව උද්ඝෝෂකයින්ට ඒත්තු ගැන්විය නොහැකි බව ඉතා පැහැදිලිය.
ඊට අමතරව එසේ නිශ්චිත වැඩපිළිවෙලක අවශ්‍යතාවය අවධාරණය නොකර විද්වත් මණ්ඩල ගැන කතා කරන්නේ ඉහත සඳහන් කළ ආකාරයට “කොළේ වසා ගැසීමට” හෝ නැවත මහජනයාගෙන් විවෘත චෙක්පතක් ලබාගැනීමට දැයි ප්‍රශ්න කිරීමේ හැකියාව ඇත. ඒ සියල්ලටම වඩා උද්ඝෝෂකයින් කිසිම ආකාරයකින් ඉදිරිපත් නොකළ ඉල්ලීමක් පක්ෂ 11 විසින් ඉදිරිපත් කළ යෝජනා අතර අඩංගු විය. එනම් 19වැනි සංශෝධනයට නැවත පණදීම ය. එම ඉල්ලීම පසුගිය දිනවල බෙදුම්වාදි න්‍යායාචාර්යවරුන් විසින් ඉදිරිපත් කරන ලද්දක් වීමද විශේෂ තත්වයකි. ජනපතිගේ බලතල කපා දැමීමේ මුවාවෙන් 13 වැනි සංශෝධනය බලාත්මක කෙරෙන සංශෝධන දෙක තුනක් ඊට ඇතුළත් කිරීම ඔවුන්ගේ අරමුණ බව ඉතා පැහැදිලිව හඳුනා ගත හැක. එදා 2015 දී 19වැනි සංශෝධනය සම්මත කිරීමේදී පැය 2ක කාලයක් තුල කාරක සභා අවස්ථාවේදී කෙටුම්පතේ නොතිබූ සංශෝධන හතළිහක් පමණ ඊට එකතු කළ ව්‍යවස්ථා මකබාස්ලා අද පක්ෂ 11 සමගද සම්බන්ධ වී ඇත. ඊට අමතරව එදා ඒ බලහත්කාරය ඉවසා සිටි සහ ඊට ඡන්දය ලබා දුන් පිරිස් පක්ෂය 11 තුළ සහ ආණ්ඩුව තුළ බලවත් ව සිටිති.
එවැනි තත්ත්වයක් යටතේ මහජනයා කිසිසේත්ම ඉල්ලා නොසිටි ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කිරීම ගොන්කමක් නොවේ නම් බරපතළ රැවටීමකට ගොදුරු වීමක් ලෙස අර්ථ දැක්වීම වැළැක්විය නොහැක. බැසිල් රාජපක්ෂයන් එළියට විසි වී ඇති තත්ත්වයක් යටතේ ද්විත්ව පුරවැසි ප්‍රශ්නය විසඳීම සඳහා මෙම අවස්ථාවේදී ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යවන්නේ නැත. එය තවදුරටත් පසුපස හඹා එන බරපතළ ප්‍රශ්නයක් නම් දේශපාලන කේවල් කිරීම මත පරිපාලන වශයෙන් ඊට පිළිතුරු සෙවිය හැක. ඊට අමතරව පාර්ලිමේන්තු පනතක් මගින් ද ඊට සීමා පැනවිය හැක. ඒ අනුව අදාළ යෝජනා 11 තුළ උද්ඝෝෂකයින්ගේ සහ පොදු මහජනයාගේ හදවතට දැනෙන යෝජනා කිසිවක් නැති තත්ත්වයක් යටතේ ඒ තුළට ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් අහසින් පාත් වන්නේ කුමක් නිසා ද යන්න සොයා බැලීම පක්ෂ 11 ට ද වැදගත් වනු ඇත.
ඒ අනුව තර්කානුකූල නොවන සහ මහජනයාට මෙන්ම අර්බුදයට සාපේක්ෂව වැදගත් නොවන කොන්දේසි නිසා අන්තර්කාලීන හෝ ජාතික එකඟතා ආණ්ඩුවක් පිළිබඳ සාකච්ඡා බිඳ වැටීම රටට හතුරු බලවේග වල ජයග්‍රහණයක් බවට විවාදයක් නැත. එම තත්ත්වය තුළ පක්ෂ 11ට සතුරා විසින් ඉදිරිපත් කරන විකල්ප ත්‍රිත්වයකට ගොදුරු වීමට සිදු විය හැක. පළමුවැන්න නැවත වටයකින් ඔලුගෙඩි සෙල්ලමක් මගින් බැසිල් රාජපක්ෂගේ මැදිහත් වීම මත ආණ්ඩුව ගැට ගසා ගැනීමය. එවිට අර්බුදය තවදුරටත් උත්සන්න වන බැවින් එය වඩා යහපත් යැයි සිතන පිරිසක්ද පක්ෂ 11 තුළ සිටිය හැක. ඔවුන් කවුරු වුවත් එම න්‍යාය අනුර දිසානායක මහතාගේ මූලික ප්‍රතිපත්ති පදනමකි. එනම් රට අරාජික වන විට අර්බුද උත්සන්න වන විට තමාට දේශපාලන අවකාශය පුළුල් වන බව පිළිගැනීමය. එහෙත් සමාජයක් කුණු වන විට අවස්ථාව නිර්මාණය වන්නේ එම කුණු ජරාව මත ජීවත් වන පණුවන්ට පමණක් බව ලෝකය පුරා ඉතිහාසය විසින් නැවැත නැවත ඔප්පු කර ඇත.
පළමු පැයේදී මැදිහත්වී අන්තර්කාලීන් හෝ එකඟතා ආණ්ඩුවකට පවතින ආණ්ඩුව යටත් කිරීමට අසමත් වන තත්වයක් යටතේ සතුරා විසින් පක්ෂ 11අභියසට විසඳුම් දෙකක් විසිකරනු ලබයි අතුරින් පළමුවැන්න ආණ්ඩුව යටත් කිරීම වෙනුවට ඔවුන් යටත් වී ආණ්ඩුවක් හැදීම ය. ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සංශෝධනය කිරීමට සිදුවීම සහ එම දුර්වල යෝජනා මත එකඟතාව ඇති කරගැනීම මගින් ඇති වන්නේ දුර්වල සබඳතාවයක් සහ එකඟතාවයකි. එය වැළැක්විය හැක්කේ ලබාදී ඇති දුර්වල යොජනා සංශෝධනය කිරීම වෙනුවට නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීම සහ අර්බුදය ජයගන්නා වැඩපිළිවෙළක් පිළිබඳ පූර්ව කොන්දේසියක් ඉදිරිපත් කිරීම මගිනි. නමුත් දින දහයක් පමා වී ඇති ඔවුන් තවදුරටත් පමා වන තත්ත්වයක් තුළ එම ඉඩකඩ ඇහිරී යනු ඇත.
එවැනි තත්වයක් තුළ ඉතිරි වන්නේ ඉහත සඳහන් කළ පරිදි බැසිල් රාජපක්ෂ ඉන්දු ඇමරිකානු න්‍යාය පත්‍රයට අනුව ආණ්ඩුකාරයා වීම හෙවත් ඔළුගෙඩි සෙල්ලම මගින් ආණ්ඩුවක් පිහිටුවීමය. මේ වන විට බැසිල් රාජපක්ෂයන් විසින් දියත් කර ඇති මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ ඔහුට යම් තාවකාලික ජයග්‍රහණයක් හිමිවීමේ ඉඩ කඩ ඇත. ඒ මගින් තවදුරටත් මහජන විරෝධය උද්සන්න වී රට අරාජික වන බවට විවාදයක් නැත. බැසිල් රාජපක්ෂයන්ට ඉහළින් සිටින ජාත්‍යන්තර බලවේගවලට අවශ්‍ය වන්නේ එවැනි තත්වයක් බව තේරුම් නොගැනීම පක්ෂ 11 විසින් සිදුකරන බලවත් දේශපාලන වරදකි. බැසිල් රාජපක්ෂට බැන වැදීම මගින් පමණක් එම තත්වය වෙනස් කළ නොහැක. රට අරාජික වන තත්වයක් තුළ එක් පැත්තකින් මැදිහත්වීම් සිදුකිරීමට ජාත්‍යන්තර බලෆ්වේග වලට ඉඩකඩ විවෘතවේ. අනෙක් පැත්තෙන් ඒ තුළ ජාතික ආණ්ඩුවකට ඉඩ කඩ විවර වේ. ඊට අමතරව මෙතෙක් කාලයක් ගෝටා ගෝ හෝම් සටන් පාඨය පමණක් එල්ලී සිටි උද්ඝෝෂකයින් පක්ෂ 11 විසින් ඉදිරිපත් කළ සටන්පාඨ අතට ගැනීම තුළ යම් කුමන්ත්‍රණයක් හෝ වරදවා ගැනීමක් පිළිබඳව ප්‍රබල ඉගියක් මතුවේ.
එවැනි තත්වයක් තුළ විපක්ෂයේ විශ්වාසභංග යෝජනාවට ගොදුරු වීම හැර අන් විකල්පයක් පක්ෂ 11 හමුවේ ඉතිරි නොවනු ඇත. එවැනි තත්ත්වයක් යනු ජනවරමට පටහැනි මහා පාවාදීමක් බව ඉතිහාසය විසින් ඔප්පු කරනු ඇත. විශේෂයෙන්ම ඒ තුළ බෙදුම්වාදයට සහ ඉස්ලාම් අන්තවාදයට ගොදුරු වීම මෙන්ම ඉතිහාසය විසින් ලබාදුන් මනරම් අවස්ථාවක් අත් හැරීම පිළිබඳ ඛේදවාචකය පක්ෂ 11ට අයත් දේශපාලන නායකයින් විසින් සනිටුහන් කරනු ඇත. එය වළක්වාගත හැක්කේ පක්ෂ 11ට අයත් නායකයින් කුමන්ත්‍රණවලට ගොදුරු නොවී අගමැති සිහිනය ඉවත දමා සඳලූ තලයෙන් බැස ඉතිහාසයේ අත්දැකීම් අනුව සිහි බුද්ධිය වර්ධනය කර ගැනීම මගිනි.
වෛද්‍ය වසන්ත බණ්ඩාර
මාධ්‍ය ප්‍රකාශක
ජාතික සංවිධාන එකමුතුව
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...