පුරවැසි කොලම

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7(අ) පරිච්ඡේදය සංශෝධනය කිරීම එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නැවත පිහිටුවීම සඳහා මේ වන විට 21වැනි ව්‍යවස්ථා සංශෝධනය නමින් කෙටුම්පතක් කථානායකවරයාට බාරදී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් පුද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන එම පනත් කොටුම්පතට පසුගිය දිනවල ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්‍ෂ 11කට අයත් මන්ත්‍රිවරුන්ගේ එකඟතාවය ලැබී ඇති බවද වාර්තා විය. ඊට අමතරව විජේදාස රාජපක්ෂ මහතා තමා විසින් ඉදිරිපත් කරන ව්‍යවස්ථා සංශෝධනයට සුජාතභාවය ලබාගැනීම මුල්කරගෙන පසුගිය දිනවල මහානායක හිමිවරුන් පවා යොදා ගැනීම සඳහා ගනු ලැබූ සුවිශේෂී උත්සාහයක් පිළිබඳ ද වාර්තා විය.

ඊට අදාලව සමාජ මාධ්‍යවල පළවන තොරතුරු සහ ඒ පිළිබඳව විමසීමේදී වගකිවයුතු අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් විසින් සිදුකළ ප්‍රකාශයක් අනුව මහානායක හිමිවරුන් රැවටීමකට ලක්කිරීමකට සහ ඒ තුළ සංඝ භේදයක් පවා ඇති කිරීමට හේතුවිය හැකි ක්‍රියාවලියක් සිදුවී ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී ඇත. ඊට අමතරව තමාගේ එක ඡන්දයක් මගින් කේවල් කිරීම හරහා පක්‍ෂ 11ක සන්ධානය පවා එම ක්‍රියාවලියට අවනත කර ගැනීමට විජේදාස රාජපක්ෂ මහතා සමත් වී ඇත. එම පක්ෂ 11 විසින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට අදාලව ඉදිරිපත් කළ කොන්දේසි 11 අතරට 21 වැනි සංශෝධනය මගින් 19 වැනි සංශෝධනය නැවත බලාත්මක කිරීමට අදාළ කොන්දේසියක් ද ඇතුල් වී ඇත. එහෙත් එම පක්ෂ කිහිපයක වගකිවයුතු නායකයින් සඳහන් කරන්නේ එම කොන්දේසිය ඇතුල්වූයේ කෙසේදැයි තමා නොදන්නා බවය.

එම පක්ෂ නායකයින්ට අනුව තමා 20 වැනි සංශෝධනයට අත එසවීම මගින් ද්විත්ව පුරවැසියන්ට ඇමතිකම් දැරීමට අවස්ථාව නිර්මාණය කිරීම පිළිබඳව මහජන විරෝධයක් ඇත. ඒ නිසා එම වරද නිවැරදි කිරීම සඳහා මහජන ඉල්ලීමක් තිබෙන බවද ඔවුහු පවසති. එහෙත් මහජන උද්ඝෝෂණ වලදී හෝ සමාජ මාධ්‍ය හරහා හදිසි ව්‍යවස්ථා සංශෝධනයක් මගින් එම වරද නිවැරදි කරන ලෙසට සටන් පාඨයක් ඉදිරිපත්වී නැති බව ඉතා පැහැදිළි කරුණකි. ඊට අමතරව ගෝඨාභය රාජපක්ෂයන්ගේ හිස ඉල්ලා සිටින පිරිස් ඔහු විසින් ලබාදුන් මූලිකම පොරොන්දුව වන නව ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්න කිරීමක් හෝ එය ඉදිරිපත් නොකිරීම පිළිබඳව චෝදනා කිරීමකින් තොරව ඊට විකල්පයක් ලෙස ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කිරීමද ප්‍රේහේළිකාවකි.

හේතුව සෙවීමට වඩා ප්‍රශ්නය යොදාගනිමින් එය විසඳීම

ඊට අමතරව වත්මන් ආර්ථික අර්බුදය පැනනැගීමෙන් පසුව ඊට හේතුවූයේ ජනාධිපතිගේ බලතල පිළිබඳ ගැටළුවක් බවට කිසිදු පාර්ශවයක් විසින් තර්කයක් ඉදිරිපත් කර නැත. පවතින විදේශ විනිමය ප්‍රශ්නයට මුල්වන ප්‍රධාන හේතුව 1977න් පසුව අප රට විසින් නඩත්තු කරන ලද ආර්ථික මොඩලය සහ එම මොඩලය කළමනාකරණය කිරීමේදී, එනම් පාලනයේදී, සිදුවන දුෂණ වංචා සහ අකාර්යක්ෂමතාවයන් බව ඉතා පැහැදිලිය. විශේෂයෙන්ම පසුගිය යහපාලන රජය යටතේ විදේශ විනිමය පාලන පනතට ඇතුල් කළ ඉතා ප්‍රශ්නකාරී ලිහිල් කිරීම නිසා එනම් අපනයන අදායම් බැංකු පද්ධතියට ඇතුල් නොවීම, ඒවා අවභාවිතය සහ කළු වෙළඳපොළ දිරිමත් කිරීම ආදිය ඊට ප්‍රභල ලෙස දායක වී ඇති බව ඔප්පු කළ හැක. මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ආරම්භ කළ ඊනියා නිදහස් වරාය මූලධර්මය යටතේ ප්‍රති අපනයන ජාවාරම් දිරිමත් කිරීම නිසාද රටට විදේශ විනිමය පමණක් නොව බදු ආදායම්ද අහිමිවන බවට සාක්ෂි ඇත. දැන් ඒ සියළු තත්වයන් නිසා පැන නැගුණු ආර්ථික අර්බුදය අවසානයේදී සමාජ, දේශපාලන අර්බුදයක් බවට වර්ධනය වී ඇත. එහෙත් ඊට අදාල සංවාදවලදී ප්‍රශ්නයට හේතුව සෙවීමට වඩා ප්‍රශ්නය යොදාගනිමින් එය විසඳීමේ මුවාවෙන් කළ යුතු දේවල් පිළිබඳව සංවාදයක් කෘත්‍රිමව මතුකරන බවක් පෙනේ.

ඉංග්‍රීසි පුවත්පත් ආශ්‍රිතව සිදුකෙරන එම සංවාද වලදී මතු කෙරෙන එක් ප්‍රධාන තර්කයක් වන්නේ අර්බුදය විසදීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බවය. විශේෂයෙන්ම විජේදාස රාජපක්ෂ මහතා සමඟ තරගකාරීව 19 වැනි සංශෝධනයට සුජාත භාවය ලබාදුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වන ජයම්පති වික්‍රමරත්න මහතාට අනුව මෙම අර්බුදය අවස්ථාවක් කර ගනිමින් ව්‍යවස්ථා සංශෝධනයකට රට තල්ලු කළ යුතුය. ඔහු සමඟ එකඟතාවයෙන් අදහස් පළ කරන බව පෙනෙන ආචාර්ය ජෙහාන් පෙරේරා වැනි අයද ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාවය අවධාරණය කරන බව පෙනේ. ඔහු 13වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ අවශ්‍යතාවය සෑම විටම අවධාරණය කරන අයෙකි. බෙදුම්වාදී න්‍යායන්ට පක්ෂපාතීව අදහස් දක්වන අචාර්ය දයාන් ජයතිලක වැනි අයට අනුව 13වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා අවශ්‍යවන්නේ ඉතා සුළු සංශෝධන “දෙක තුනකි”.

ඒ අනුව පැහැදිළි වන්නේ මෙම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට අශිර්වාද කරන පිරිස් අතුරින් යම් පිරිසක් අවස්ථාව ලැබුණහොත් එම ඊනියා සුළු සංශෝධන 21 වැනි සංශෝධනයට ඇතුල් කිරීමට උත්සාහ කළ හැකි බවය. යම් පිරිසක් 20 වැනි සංශෝධනයට අත එසවීම මගින් සිදුකළ වරද නිවැරදි කිරීම සඳහා ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීධුරය අහිමි කිරීමේ යෝජනාව ඊට ඇතුල් කළ යුතු බවට ඉතා අවංකව අදහස් දක්වන බවටද විවාදයක් නැත. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නැවත පිහිටුවීම, අගමැතිගේ බලතල ශක්තිමත් කිරීම සහ මේ වන විට බැසිල් විරෝධයක් බවට ලඝුවී ඇති ද්වත්ව පුරවැසි ගැටළුව විසදීම ආදී බොහෝ සුන්දර අරමුණු තුළට බෙදුම්වාදී අරමුණු ඇතුල් කිරීමේ පැහැදිලි ඉඩක් ඇත. විශේෂයෙන්ම දෙමළ ජනතාවට සාධාකරණය ඉටුකිරීමේ මුවාවෙන් සහ ජනාධිපතිගේ බලය ක්‍රියාත්මක කරන ආණ්ඩුකාරයාගේ බලතල සීමා කිරීමේ මුවාවෙන් එම උත්සාහයට ඉඩකඩ විවෘත කළ හැක.

පක්ෂ 11ක නායකයින් ජාතියේ මල්වඩම බවට පත්විය හැකිය

එහෙත් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමට අදාළ සංශෝධන, ගැසට් කරනු ලබන 21 වැනි සංශෝධන කෙටුම්පතට ඇතුල් නොකරන බව ඉතා පැහැදිලිය. එවැනි ඊනියා සුළු සංශෝධන ඇතුල් කිරීමේ දොරටුව විවෘත වන්නේ පනත තුන්වනවර කියවීමේ විවාදය දී හෙවත් කාරක සභා අවස්ථාවේදීය. එදා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන අවස්ථාවේදී අද 21 වැනි සංශෝධනය ඉදිරිපත් කරන විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අධිකරණ අමාත්‍යවරයා ලෙස ඉටු කළ සුවිශේෂී සහ කුප්‍රකට කාර්යභාරය 2015 – 04- 21 දින හැන්සාඩ් වාර්තාව කියවන්නෙකුට ඉතා හොඳින් වටහා ගත හැක. එදා ඔහු පෙන්වූ අත්තනෝමතිකභාවය සහ මන්ත්‍රීවරුන් විශේෂයෙන්ම දිනේෂ් ගුණවර්ධණ වැනි ජ්‍යෙෂ්ඨයන් පවා විටෙක නොසළකා හරිමින් සහ විටෙක යටත් කරමින් ඉටුකළ භූමිකාව ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝක පරිමාවෙන්ද ඉතිහාස ගත වනු ඇත.

එම ක්‍රියාවලිය තුළ අවසානයේ දී කෙටුම්පතේ අඩංගු නොවූ සංශෝධන 35කට අධික ප්‍රමාණයක් කාරක සභා අවස්ථාවේදී ඊට ඇතුළත් කිරීමට ඔහු සමත් විය. ඒ ආකාරයට පැය 2යි විනාඩි 30ක් තුළ වගන්ති 35ක් නිසි ලෙස කියවීමකින් තොරව බලහත්කාරය යොදාගනිමින් සම්මත කළ ආකාරය ගිනස් පොතටද ඇතුළත් විය හැක. ඒ පිළිබඳ නාට්‍යානුසාරයෙන් ඉතා අලංකාර චිත්‍රයක් මැවීමට ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා සමත් විය. ඒ අනුව ඔහු විසින් රචිත ‘19 වැනි ව්‍යවස්ථා සංශෝධනය, ජනතා පරමාධිපත්‍යය සහ සිරිකොත ආධිපත්‍යය” නැමැති කෘතිය යොදාගනිමින් නාට්‍ය පිටපතක් ද රචනා කළ හැක. එම ග්‍රන්ථය කියැවීමෙන් මෙවර 21 වැනි සංශෝධනය සම්මත කරන අවස්ථාවක විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා කෙසේ හැසිරෙනු ඇද්ද යන්න සිතින් මවා ගත හැක. පක්ෂ 11ක නායකයින් ජාතියේ මල්වඩම බවට පත්විය හැකි ඔහුගේ මල්වට්ටියට අත ගැසීමට පෙර එම ග්‍රන්ථය කියවා තිබුණේ නම් මහා අනතුරක් පළමු වටයේදීම වළක්වා ගැනීමේ හැකියාව තිබුණි.

කෙසේ වෙතත් ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට පක්ෂව බොහෝ පිරිස් ඉදිරිපත් විය හැකි බැවින් කාරක සභා අවස්ථාවේදී සිදුවිය හැකි දේ පිළිබඳව කල්පනා කිරීම වඩාත් වැදගත් වේ. විශේෂයෙන්ම ද්විත්ව පුරවැසි ප්‍රශ්නය නිසා බැසිල් හිතවාදී මන්ත්‍රීවරුන්ගේ සහාය නොලැබෙන තත්ත්වයක් යටතේ බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී බලවේගවලට මෙන්ම මුදලට විකිණෙන්නට බලා සිටින පිරිස් වලට මනරම් කේවල් කිරීමේ බලයක් ලැබෙන තත්ත්වයක් යටතේ අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය විය හැක. ඇත්ත වශයෙන්ම 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා කාරක සභා අවස්ථාවේදී ඇතුල් කළ යුත්තේ සංශෝධන දෙකකි. පළමුවැන්න 154(බී)2 වගන්තියේ ජනාධිපතිවරයා යන වචනයට පෙර “මහ ඇමති අනුමැතියට යටත්ව” යන වචන ත්‍රිත්වය ඇතුළු කිරීමය. ඒ මගින් මහ ඇමතිවරයාට යටත් කළ හැකි ආණ්ඩුකාරවරයෙකු පත් කළ හැක. කාරක සභා අවස්ථාවේදී එවැනි සංශෝධනයක් ඇතුළු කිරීමේදී සමස්ථ වගන්තිය කියවීමක් සිදු නොවේ.

“පළාත් සභාවේ අනුමැතියට යටත්ව” හෙවත්   මන්ත්‍රීවරුන්ගේ කණින් රිංගීම

එතැන් සිට ආරම්භ වන්නේ ඉඩම් ප්‍රඥප්ති, පොලිස් ප්‍රඥප්ති සහ මහ ඇමති අරමුදල් ප්‍රඥප්ති ආදිය එක පිට එක සම්මත කිරීමේ පරිච්ඡේදයකි. ඒවා සම්මත කිරීම නැවැත්වීම හෝ සම්මත කිරීමෙන් පසුව ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා මධ්‍යම රජයට කිසිදු ඉඩක් ලැබෙන්නේ නැත. විශේෂයෙන්ම ඉන්දියානු රජය ප්‍රමුඛ ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග වල බලපෑම යටතේ මධ්‍යම රජයට අසරණව බලා සිටීමට සිදුවනු ඇත. නැගෙනහිර ටිමෝරය බෙදා වෙන් කිරීමට අදාළව ජාත්‍යන්තර අධිකරණයේ (ෂක්‍න්‍) විභාගයට ගැනුණු පෘතුගාලය එදිරිව ඔස්ට්‍රේලියාව නඩු තීන්දුව අනුව ඒ ආකාරයට පරමාධිපත්‍යය බෙදී යන ආකාරයට බලය බෙදා ඇති අවස්ථාවක මධ්‍යම රජය එම බලතල ක්‍රියාත්මක කිරීමට එරෙහි වන්නේ නම් එම ජනතාවට බෙදී වෙන් වීමේ අයිතිය ලැබේ.

ඒ ආකාරයට මධ්‍යම රජය සහ යම් පළාතක ආණ්ඩුව පත්කරන ජනතාවගේ පරමාධිපත්‍ය බෙදී යන බව තහවුරු කෙරෙන පරීක්ෂණයෙන් සමත් වීම සඳහා තවත් එක් ව්‍යවස්ථා බාධකයක් මඟ හැරීමට සිදු වේ. එනම් සමගාමී ලයිස්තුවට අදාල විෂයන් පිළිබඳ නීති සෑදීම සඳහා මධ්‍යම රජයට තිබෙන බලය පළාත් ආණ්ඩුවේ බලයට යටත් කිරීම අවශ්‍ය වේ. ඒ සඳහා කළ යුත්තේ 154 (ජී)(5)(4) උප වගන්තියේ පාර්ලිමේන්තුව යන වචනයට පෙර “පළාත් සභාවේ අනුමැතියට යටත්ව” යන වචන ත්‍රිත්වය එකතු කිරීමය. එහිදීද වචන ගැන සඳහන් කිරීම මිස සමස්ත වගන්තියේ අර්ථය නිරූපණය වන ආකාරයට වගන්තිය කියවීමක් සිදුනොවේ. ඒ නිසා මෙම සමස්ත ක්‍රියාවලිය පිළිබඳව සුබවාදීව සිතන මන්ත්‍රීවරුන්ගේ මෙන්ම, විජේදාස රාජපක්ෂ මහතා සහ මෙම සංශෝධනයට ආශිර්වාද කරන සෙසු බලවේගවල සැබෑ අරමුණු පිළිබඳ සැකයක් නොමැති මන්ත්‍රීවරුන්ගේ, “කණින් රිංගීම” සඳහා අවශ්‍ය වන්නේ විනාඩි කිහිපයක් පමණි.

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාට අනුව කුමන ආකාරයට සම්මත කළත් පනතක් සම්මත කිරීමෙන් පසුව සහ කථානායකවරයාගේ අත්සන යෙදීමෙන් පසුව ඊට එරෙහිව පැමිණිලි විභාග කිරීමේ බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට නැත. ඒ අනුව එම භයානක වරද හෙවත් පාවාදීම විනාඩි කිහිපයක් තුළ සූක්ෂම ආකාරයට සිදුවුවහොත් වැරදිකරුවන්ට දඩුවම් කළ හැක්කේ ජනතා අධිකරණයට පමණි. ඒ අනුව ව්‍යවස්ථා මරඋගුලක් බවට පත්වුවහොත් ඊට අත ගැසූ පිරිස් වලට ජනාතාධිකරණයේ දඩුවම් ලැබෙන බවට සැකයක් නැත. එහෙත් ඒ මගින් වරද නිවැරදි වන්නේ නැත. එම වරදට ඉඩදීමෙන් පසුව පාර්ලිමේන්තුව තුළ සියදිවි නසා ගත්තද එම වරදට ඔවුන්ට ඉතිහාසයෙන් කිසිදු සමාවක් නොලැබෙන බවටද සැකයක් නැත. ඊට හේතුව එම වරද නිසා වසර 2500ක් පැවති ශ්‍රී ලංකාව නම් වූ රාජ්‍යය අහෝසි වී රාජ්‍යයන් දෙකක් බවට පත්වීමේ ක්‍රියාවලිය ඒ මගින් ආරම්භ වීමය. එය වැළැක්විය හැක්කේ සියළු පාර්ශව විසින් පාර්ලිමේන්තුව තුළදී මෙන්ම ඉන් පිටතදී මහජනයාට එක් පොරොන්දුවක් ලබාදීම මගිනි. එනම් ගැසට් කරන ලද කෙට්මුපතට කාරක සභා අවස්ථාවේදී කිසිදු සංශෝධනයක් ඇතුල් නොකරන බවට ස්ථිරසාර සුවිශේෂි පොරොන්දුවක් ලබාදීම මගිනි.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
මාධ්‍ය ප්‍රකාශක
ජාතික සංවිධාන එකමුතුව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More