පුරවැසි කොලම

උතුරු පළාත යනු ඓතිහාසික බෞද්ධ පූජා භූමියකි. දෙවැනි වරට මෙරටට බුදුරදුන් වැඩම කරනු ලැබූයේ යාපනේ නාගදීපයටය. ශ‍්‍රී මහා බෝධි දකුණු ශාඛාව රැගෙන සංඝමිත්තා තෙරණිය අනුරාධපුරයට වැඩම කරනු ලැබුයේ ද යාපනය හරහාය. නාග ගෝත‍්‍රික වැසියෝ දින හතක් පුරාවට ශ‍්‍රී මහා බෝධි ශාඛාවට පුද පූජා පැවැත්වූ බව ‘නා ලොව සතියක් පුද ලද බෝධිය. යන්නෙන් අර්ථවත් වේ. මහරහතන් වහන්සේලා දහස් ගණන් වැඩ සිටිය” බෞද්ධ වෙහෙර විහාරවලින් පිරුණු උතුරුකරයේ මේ වන විට බෞද්ධ පුරාවස්තු ආරක්‍ෂා කරගැනීමට නීතියේ පිහිට පැතීමට සිදුව ඇත. විහාරස්ථානවල චෛත්‍ය ඉදිකරනවාට එරෙහිව උසාවි යන තරමට උතුරු පළාතේ අන්තවාදී කණ්ඩායම් ප‍්‍රබලත්වයට පත්ව සිටිති. ඓතිහාසික බෞද්ධ පුදබිම්වලට වැඩම කරන භික්‍ෂූන් වහන්සේලාට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කරන තරමට උතුරේ අන්තවාදීහු තිරිසනුන් බවට පත්ව සිටිති.

එවැනි ගෝත‍්‍රික අන්තවාදයක් ක‍්‍රියාත්මක වන උතුරු පළාතේ මුලතිව් තන්නිමුරුප්පු රක්‍ෂිතයේ පිහිටි ඓතිහාසික කුරුන්දාශෝක විහාරස්ථානයේ නටබුන් පරීක්‍ෂා කිරීමට පැමිණි භික්‍ෂූන් වහන්සේලා ඇතුළු බෞද්ධ බැතිමතුන් පිරිසකට දෙමළ තරුණයන් සහ දේශපාලනඥයන් පිරිසක් පරුෂ වචනයෙන් බැණ වදිමින්” තර්ජනය කර මහා කලබගෑනියක් ඇති කරන අයුරු පසුගියදා මාධ්‍යයෙන් ප‍්‍රසිද්ධ විය. ඔඞ්ඩුසුඩාන් පොලිසිය මැදිහත්වී එම කලහකාරී දමිළ තරුණයන්ව පාලනය කර පුරාවිද්‍යා භූමියේ අයිතිය සම්බන්ධයෙන් අධිකරණයට නඩුවක් ගොනු කළ බවද වාර්තා විය. මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණයේ විභාග කරනු ලැබූ එම නඩුවේ තීන්දුව ලෙස පසුගිය 22 වැනිදා ප‍්‍රකාශයට පත් වූයේ ඓතිහාසික කුරුන්දාශෝක විහාර භූමිය සංරක්‍ෂණ කටයුතු සිදුකරගෙන යෑමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවසරය ලබාදෙමිණි. එම ඓතිහාසික බෞද්ධ පූජා භූමිය සම්බන්ධයෙන් එම තීන්දුව ප‍්‍රකාශයට පත් කරන ලද මුලතිව් මහෙස්ත‍්‍රාත්වරයාට ජාතියේ ප‍්‍රණාමය පුද කළ යුතුය. එමෙන්ම එම නඩු තීන්දුව උතුරු නැගෙනහිර බෞද්ධ පුරාවිද්‍යා භූමි කොල්ලකරුවන්ට වැදුණු අතුල් පාරක් වැනිය. එහෙයින් ජාතියක් වශයෙන් එම නඩු තීන්දුව සම්බන්ධයෙන් අප සතුටු විය යුතුය.

එම ජයග‍්‍රහණයෙන් පසු ඓතිහාසික කුරුන්දාශෝක පූජා භූමිය සොයාගෙන පසුගිය දිනක අපි මුලතිව් ප‍්‍රදේශයට ගියෙමු. මුලතිව්

නගරයේ සිට බී 297 කෝකිලායි මාර්ගයේ අලම්පිල් දක්වා කිලෝ මීටර් දොළහක් පමණ දුර ගෙවා” දකුණට කුමුලමුනෙයි දෙසට ඇති මාර්ගයේ කිලෝ මීටර් දහතුනක් පමණ රළු බොරළු මගෙහි ගමන් කළ අපට තන්නිමුරුප්පු රක්‍ෂිතය හමු විය. එතැනින් එහාට වාහන ගමන් කළ නොහැකිය. මහා රූස්ස ගස්වලින් කළුවර වූ ඝණ කැලෑව මැදින් ගමන් කර තරමක කඳු ගැටයක් තරණය කළ විට විශාල තැනිතලා බිමක ඓතිහාසික කුරුන්දාශෝක විහාරයේ අවශේෂ කොටස් දැකගැනීමට ලැබිණි. එම භූමියට පිවිසෙන ස්ථානයේම කැඩි බිඳී ගිය සඳකඩ පහණක කැටයම් සහිතව ඉහළට නඟින පඩි පෙළකි. එම පඩිපෙළ ආසන්නයේම පිළිම ගෙයක අවශේෂ කොටස් දැකගැනීමට ලැබිණි. ඒ අසල අඩි හත” අටක් ගැඹුරට හෑරූ වළක් ද ඇස ගැටිණි. එය පුරාවස්තු සොයන කම්බ හොරු විසින් සිදු කරන ලද කැණීමක් බව වටහාගැනීමට අපට අසීරු නොවිණි.

කඳු මුදුනේ තැනිතලා බිමෙහි හිස හැරෙන සෑම දෙසකම බෞද්ධ නටබුන්ය. දෙනෙත්වලට රිසි සේ තැන්න පුරා ඇවිදින්නට ඉඩ හැර මම තැනිතලා භූමිය පුරා ඇවිද ගියෙමි. පෙනෙන හැටියට එම තැනිතලා භූමිය අක්කර විස්සකට වැඩි මිසක් අඩු නැත. තැනිතලාව පහළට බෑවුම් වන සීමාව වටා විශාල ප‍්‍රාකාරයක් ඉදිකර තිබූ බව තැන” තැන ඉතිරි වී තිබෙන කබොක් ගල් බැම්මේ අවශේෂ කොටස්වලින් මනාව පැහැදිලි වේ. තැනිතලා භූමියේ එක් දිසාවකට මඳ දුරක් ගමන් කරන විට කුට්ටම් පොකුණට සමාන විශාල පොකුණක් දැකගැනීමට ලැබේ. තැනිතලා භූමියේ දකුණු දෙසට” මුල්ලට වන්නට කටු කොහොළින් වැසී ගිය ගොඩැල්ලක් ඇස ගැටිණි. අඩි එකසිය විස්සක් පමණ විශ්කම්භයකින් යුත්” අඩි විස්සක් පමණ ඉහළට මුදුන් වී තිබුණු ගොඩැල්ල සහිත බිමට ගමන් කිරීමට දෙපසකින් පඩිපෙළ දෙකක් ද පිහිටා තිබිණි. ගඩොළු ශේෂ හා කැඩුණු පස් කන්දක ස්වරූපය ගත් එම ගොඩැල්ල දකින විට පුංචි දරුවකු වුවද එය විශාල ස්තූපයක ගරා වැටුණු කොටස් බව වටහා ගන්නවා නොඅනුමානය.

පෙනෙන හැටියට එම ස්තූපය මළු දෙකකින් සමන්විතය. පළමු මළුවේ ශිලා ස්ථම්භ කිහිපයක් හා ගල්තලාව මත කණු වළවල් කිහිපයක් දැකගැනීමට තිබේ. තැනිතලා බිමෙහි තවත් ස්ථානයක ගල් කණු සමූහයක් දැකගැනීමට ලැබිණි. අනුරාධපුර යුගයට අයත් කැටයම් සහිත සඳකඩ පහණ” කොරවක් ගල් හා ගල් කණුවලින් යුත් නටබුන් ගොඩනැඟිල්ලක් ද වේ. මීට අමතරව පිළිම පාදමක සාධක ද වේ. තැනිතලා භූමියෙන් පහළ බෑවුමේ ද තැන” තැන විසිරුණු ගල් කණු” පැරැණි ගඩොල් කෑලි ඇස නොගැටුණාම නොවේ. එමෙන්ම සෑය ආසන්නයේ සිට එක් දිසාවකට ඈතට විහිදී ගිය පඩි පෙළක නටබුන් කොටස් ද තැන” තැනින් ඉස්මතුව දිස් වේ. නිධන් හොරු විසින් ස්තූපය මැද වළක් හාරා දාගැබ සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති අයුරු පෙනෙන විට නම් සිත ශෝකයෙන් බරිත විය. පුරාවස්තු විනාශ කරන කාපාලූවන් ගැන කෝපයක් ඇති විය. මොහොතකට අපි ස්තූපය අසල ගල් පඩි පෙළ මත හිඳ ගත්තෙමු.

ඓතිහාසික කුරුන්දාශෝක විහාරය මුලතිව් දිස්ත‍්‍රික්කයේ පිහිටි පුරාවිද්‍යා ස්ථාන අතර සුවිශේෂී ස්ථානයකි. ලංකාවේ ලියැවුණු අට්ඨකථාවන් ලෙස මහා අට්ඨකතාව” පච්චරි අට්ඨකතාව සහ කුරුන්දි අට්ඨකථාව යනුවෙන් අට්ඨකතා තුනක් පවතින බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. එකී කුරුන්දි අට්ඨකතාව නම් සුවිශේෂී අට්ඨකතාව ග‍්‍රන්ථාරූඪ කර ඇත්තේ මේ ඓතිහාසික කුරුඳුවෙලි විහාරය නම් උතුම් පින්බිමේදී බව ඉතිහාසයේ සඳහන් වේ. ඛල්ලාඨනාග රජු (ක‍්‍රි.ව. 100 – 103) මෙම විහාරය ගොඩනැඟූ බවත් පළමුවැනි අග්බෝ (කි‍්‍ර. ව. 571 -604) පළමුවැනි විජයබාහු (කි‍්‍ර. ව. 1055 – 1110) යන රජවරුන් කුරුන්දි විහාරයට විවිධ අනුග‍්‍රහයන් දැක් වූ බවත් මහාවංශයෙහි සඳහන් වේ. එමෙන්ම බුදුන් වහන්සේ මෙම ස්ථානයට වැඩි බවද ජනප‍්‍රවාදයේ සඳහන් වේ. 1905 පාලන වාර්තාවේ සඳහන් පරිදි මෙරට ඇති විශාලතම ශිලා ලේඛනය පිහිටා ඇත්තේ ද මේ උතුම් පින්බිමේය. එම ශිලා ලේඛනය ලියැවී ඇත්තේ තුන්වන මිහිඳු රජුගේ ජල ගැටලූවක් විසඳීම සම්බන්ධයෙන් බවත් ඉතිහාස පොත්පත්වල සඳහන්ය. එමෙන්ම මේ ස්ථානයේ ඇති සෑය ‘වටදාගෙයක්. බවද එම පාලන වාර්තාවේ සඳහන්ව ඇත. ඉන්දියාවේ සාංචි ස්තූපයේ හැඩයට ඇති මෙරට එකම සෑය මෙම ස්තූපය බව ද ඉතිහාසයේ සඳහන් වේ. එවැනි ඉතිහාසයක් සහිත කුරුන්දාශෝක විහාරයේ අයිතිය සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතීමට සිදුවීම ගැන ජාතියක් වශයෙන් අප කම්පා විය යුතුය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගර්හිත තත්ත්වය තේරුම් ගෙන කිසිදු බාධාවකින් තොරව නිධන් හොරු විසින් රිසි සේ පින්බිම හාරමින් පුරාවස්තු සොයමින් සිටින පසුබිමක මේ ස්ථානයට ප‍්‍රථමයෙන් වැඩ කර ඇත්තේ වැලිඔය සපුමල්තැන්න ආරණ්‍ය සේනාසන නායක ස්වාමීන් වහන්සේ වන ශාසන කීර්ති ශ‍්‍රී ගල්ගමුවේ සන්තබෝධි හාමුදුරුවෝය. උන්වහන්සේ දැනුදු මේ ස්ථානයේ වැඩ සිටිති. උස් බිමෙහි සිට ගල් පඩි පෙළක් බැස අපි උන්වහන්සේ අසල නතර වීමු.

‘‘මේ පුරාවිද්‍යා ස්ථානය ගැන මම දැනගත්තේ උතුරු නැගෙනහිර පුරාවිද්‍යා භූමි සම්බන්ධයෙන් ලියැවුණු පොතකින්. ඒ තොරතුරු ඔස්සේ තමයි මම මේ ස්ථානය සොයාගෙන ආවේ. ඊට පස්සෙත් දෙතුන් වතාවක් මේ ස්ථානයට පැමිණ පුරාවස්තු පරීක්‍ෂා කළා. නිධන් හොරු පුරාවස්තු විනාශ කරලා තියෙනවා දැකලා මම දැඩි සේ කම්පාවට පත් වුණා. මේ උතුම් පින්බිම සංරක්‍ෂණය කර ආරක්‍ෂා කරගන්න ඕනා කියන සිතුවිල්ල මගේ හිතේ ඇඳුණා. ඊට පස්සේ පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂතුමාට කතා කරලා ඒ බව මම දැනුම් දුන්නා…..

‘‘බොහෝම හොඳයි අපේ හාමුදුරුවනේ” අපිත් කැමතියි ඔය පුරාවිද්‍යා භූමිය සංරක්‍ෂණය කරන්න. ඒත් අපිට වියදම් කරන්න සල්ලි නෑ. ශ‍්‍රමිකයන් අඩුයි….. පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂතුමාගෙන් මට ලැබුණේ එවැනි පිළිතුරක්.
‘‘හරි… අධ්‍යක්‍ෂතුමා මේ පින්බිමේ සංරක්‍ෂණයට අවශ්‍ය මුදල් ශ‍්‍රම දායකත්වය මම සම්පාදනය කරලා දෙන්නම්. ඔබතුමලා වැඩ පටන් ගන්න….. මම එතුමාට එහෙම කියලා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්තුමාටත් ඒ බව ලිපියකින් දැනුම් දුන්නා. මගේ ලිපිය ගැන සලකා බලා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්තුමා මට ලිපියක් යොමු කරමින් වව්නියාව සහ මන්නාරම පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ පියතිලක බණ්ඩා මහතා සමඟ සාකච්ඡා කොට එතුමාගේ උපදෙස් පරිදි එම කටයුත්ත ආරම්භ කරන්න කියලා දැනුම් දුන්නා. ඒ අනුව ප‍්‍රථමයෙන් සංරක්‍ෂණ කටයුතුවල නියැළෙන පුරාවිද්‍යා නිලධාරීන්ට නතරවීමට තාවකාලික නිවස්නයක් සකස් කරන්න අවශ්‍ය ගොඩනැඟිලි ද්‍රව්‍යයත් අරගෙන පසුගිය සැප්තැම්බර් මාසේ දවසක අපි පිටත් වුණා. පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ පියතිලක බණ්ඩා” ප‍්‍රධාන පුරාවිද්‍යා ප‍්‍රාදේශීය නිලධාරීන් කිහිප දෙනෙකුත් ගමනට සම්බන්ධ වුණා. තවත් දායකයින් කිහිපදෙනකුත් ගමනට එකතු වුණා. දහවල් එක පමණ වන විට අප එම පුරාවිද්‍යා භූමියට ළගා වුණා. ඒ වන විට පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂතුමා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද එම ස්ථානයට කැඳවා තිබුණා. සංරක්‍ෂණ කටයුතු සහ තාවකාලික නිවස්නය සැදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී එක් ලියැවිල්ලක අඩුපාඩුවක් පැවති නිසා ගොඩනැඟිල්ල හැදීම කල් තබා” එම ලියැවිල්ල සම්පූර්ණ කරගෙන නැවත පැමිණෙන අදහසින් අපි පිටත් වුණා. රාජ්‍ය නිලධාරීන් එක් පසකටත්” අපි නැදුක්කේනී හරහා වැලිඔය දෙසටත් ගමන් කළා. තන්නිමුරුප්පු වැව පසු කර කිලෝ මීටර් හයක් විතර එනකොට මෝටර් බයිසිකල් තිහක විතර පැමිණි දමිළ තරුණයන් පිරිසක් අපේ වාහන නතර කරලා මම වැඩිය කැබ් රථයට” බඩු ගෙනිච්ච ලොරියට ගහලා” මටත් ගහන්න හැදුවා. ‘මේ අපේ නිජබිම තොපිට මේක අයිතියක් නෑ. කියලා තර්ජනය කළා. ඒ පිරිස අතර දෙමළ ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක්ම හිටියා. අපිත් එක්ක ගිය පොලිස් නිලධාරීන්ටත්” පසුව ඒ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ටත් ඔවුන්ව පාලන කරගන්න අසීරු වුණා. හමුදාවත් ඇවිත් තමයි සිද්ධිය පාලනය කළේ. ගෙනිච්ච බඩු භාණ්ඩත් අරගෙන පොලිස් ආරක්‍ෂාව පිට අපි ආපසු ආවා. ඊට පස්සේ පූජා භූමියේ අයිතිය සම්බන්ධයෙන් ඕඞ්ඩුසුඩාන් පොලිසිය මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පැවරීමක් සිදු කරලා තිබුණා…..

‘‘අපේ පැත්තෙන් නඩුවට පෙනී හිටියේ නීතිඥ නුවන් බෙල්ලන්තුඩාව මහත්තයයි” නීතිඥ සමිත් ලියනගේ මහත්තයි. ඒ මහත්වරුත් ස්වේච්ඡාවෙන් නඩුවට ඉදිරිපත් වෙලා රුපියලක්වත් අය කළේ නෑ. ඒ වගේම කොළඹ ඉඳලා තමන්ගේ මුදලින් වාහනවලට තෙල් ගහගෙන ඇවිත් තිබුණා. අනිත් පාර්ශවයෙන් හැම නඩු වාරයකටම නීතිඥයො දහයකට වැඩිය ඉදිරිපත් වුණා. අවසාන නඩු වාරයේදී ජනාධිපති නීතිඥයෙක් ඇතුළුව නීතිඥවරු විසි පස් දෙනෙක් පෙනී හිටියා. ඒත් අපේ නීතිඥයො දෙන්නා නියම විදිහට තර්ක ඉදිරිපත් කරලා නඩුව දිනුවා…..සන්තබෝධි හාමුදුරුවන්ගේ මුහුණ මල්වත්තක් සේ පිපී හැඩ විණි. ඒ අන්තවාදයට යට වූ උතුරු පළාතේ එක් බොදුබිමක් සිංහල ජාතියට උරුම කරදීමේ උපන් සතුට වෙනුවෙනි.

එහෙත් රජයේ හෝ පෞද්ගලික ඉඩමක අවුරුදු සියයකට වඩා පැරැණි පුරාවිද්‍යාත්මක ස්මාරකයක් ඇති නම් එම ස්මාරකයේ අයිතිය ඇත්තේ රජයටය. එවැනි පුරාවිද්‍යාත්මක නීති සහිත රටක මුලතිව් තන්නිමුරුප්පු රක්‍ෂියේ පිහිටි ඓතිහාසික කුරුන්දාශෝක පුරාවිද්‍යා භූමිය සංරක්‍ෂණය කිරීමට උසාවි යෑමට ඇවැසි නැත. උතුරු නැගෙනහිරදී අපේ උරුමය ආරක්‍ෂා කරගැනීමට අද අපිට උසාවි ගානේ රස්තියාදුවීමට සිදු වී ඇත්තේ පාලකයන් විසින් රටේ මහා ජාතියේ කශේරුකාව බිඳ දමා ඇති නිසාය. දැන් අප මේ අත්විඳිමින් සිටින්නේ පිටකොඳු බිඳී යෑමේ වේදනාවය.

තරංග රත්නවීර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More