හේ, නමින් මොනරවිල කැප්පෙටිපොළ ය.
සුද්දාගේ යකඩ සපත්තුවට පෑගී, තැළී, පෙළී මිරිකෙමින් සිටි ජාතියකට නිදහසේ සුවඳ පොදක් ආශ්වාස කරන්නට අවකාශ සැලසූ, ඒ සුවඳ පොද ම ජීව වායුවක් කර ගනිමින් නැඟී සිටින්නට උත්තේජනය සැපයූ උදාර පුද්ගලයා ඔහු ය.
හිරු නොබසින අධිරාජ්‍යය යැයි විරුදාවලියකට හිමිකම් කී, ලෝකයේ මුළු බිම් ප්‍රමාණයෙන් පහෙන් එකක් තම අණසකට නතු කර ගෙන, බලගතු ම අදීරාජ්‍යය යැයි උදම් ඇනූ බ්‍රිතාන්‍ය අධීරාජ්‍යයේ මුඳුන් පෙත්තට ම ලජ්ජා සහගත පරාජයක කම්පනය දැනෙන්නට සැලැස්වූ නිදහස් අරගලයකට නායකත්වය දුන් අභීත පුද්ගලයා ඔහු ය.
හේ නමින් මොනරවිල කැප්පෙටිපොළ ය.
තනතුරින් ඌව පළාතේ ඌව පළාතේ මහ දිසාවේ ය.
සමාජ තත්වයෙන් උඩරට රාජධානියේ ඉහළ ම පෙළේ වංශවතකු මෙන් ම ධනවත් හා බලවත් පවුල් පසුබිමක් තිබූ ඔහු මහනුවර රජුගේ මහාධීකාරම් (අගමැති) වූ ඇහැළෙපොළ නිලමේගේ මස්සිනා විය.
උඩරට බොහෝ ප්‍රභූන්ට නොතිබුණු ආකාරයේ නවීන දැක්මක් මොනරවිල කැප්පෙටිපොළට තිබුණේ ය. සුද්දා ප්‍රතිශක්තිකරණ එන්නත් ක්‍රමය හඳුන්වා දුන් විට අනික් ප්‍රභූන් ඒ ගැන සැකෙන් සහ බියෙන් මඟහරිද්දී එහි ඇති වැදගත්කම වටහා ගත් ඔහු තම අත් එන්නත් කරවා ගත්තේ ය. තම දරුවන්ගේ ද අත් එන්නත් කරවූයේ ය.
සුද්දා සමඟ රාජ්‍ය තාන්ත්‍රික අයුරින් කටයුතු කරන්නට ඔහු දැන සිටියේ ය. ලංකාව පිළිබඳ ව ඉතා වැදගත් කෘති දෙකක් ලියූ වෛද්‍ය හෙන්රි මාර්ෂල් (හෙන්රි මාර්ෂල් එවකට ලංකාවේ බ්‍රිතාන්‍ය හමුදාවේ උඩරට පළාත්වල ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියා විය.) ඔහුගේ CEYLON නැමැති ග්‍රන්ථයේ කැප්පෙටිපොළ පිළිබඳ ව ලියමින් මෙසේ සඳහන් කරයි.
‘… කැප්පෙටිපොළ නිලමේ ඇහැළෙපොළ වලවුවේ නැවතී සිටිය දී ග්‍රන්ථ කර්තෘ වෛද්‍යවරයකු වශයෙන් ඉඳහිට ඔහු හමු විය. ඔහු යුරෝපීයයන් හා ආශ්‍රය කිරීමේ දී අන් සියලු උඩරට නිලමේවරුන්ට වඩා අවංක හා ප්‍රියශීලී විය. මෙබඳු අවස්ථාවන්හි දී ඔහුගේ ඉරියවු ශෝභන හා විශිෂ්ට විය….’
සුද්දන්ගේ සියලු තාන්න මාන්න, ගරු නාම, වරප්‍රසාද භුක්ති විඳිමින් සුව පහසු මහේශාක්‍ය ජීවිතයක් ගත කර මිය පරලොව යන්නට කිසි දු බාධාවක් ඔහුට තිබුණේ නැත.
එහෙත් තම්බි මුදියන්සේ, සියනෑ කෝරලේ මුදලි බණ්ඩාරනායක වැන්නන් සුද්දන්ගේ පා ලෙව කමින් ඔවුන්ට බැල මෙහෙවර කරමින් යස ඉසුරින් පිරි ජීවිත ගත කරද්දී දේශයේ සැබෑ උරුමක්කාරයන් රටේ නිදහස පතා සුද්දාට එරෙහි ව අරගලයක් ආරම්භ කළ විට ඔහු සුද්දාගේ තාන්න මාන්න, අවි ආයුධ අතහැර අරගලකරුවන් සමඟ එක් වුණේ ය. අරගලකරුවෝ කැප්පෙටිපොළ තමන්ගේ නායකයා ලෙස තෝරා ගත්හ. එතැන් පටන් නිදහස් අරගලය ඔහුගේ නායකත්වයෙන් පණ ගැනුණේ ය. ‘ඌවේ කැරැල්ල’ යනුවෙන් සුද්දාත් අපේ රටේ ඇතැම් උගතුනුත් එහි වටිනාකම ලඝු කර දක්වා ඇති නමුත් එය සැබැවින් ම දේශයේ නිදහස පතා දියත් කෙරුණු පළමු වැනි ජාතික නිදහස් සටන විය.
එය කෙතරම් සාර්ථක වූයේ ද යත් ලංකාව අතහැර පලා යන්නට සිදු වනු ඇතැයි මෙරට සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වූ රොබට් බ්‍රවුන්රිග් තැති ගත්තේ ය. වහා ම ආධාර නොලැබුණ හොත් වැඩි දිනක් යුද්ධය අල්ලා ගෙන සිටිය නොහැකි වනු ඇතැයි ආණ්ඩුකාරයා බ්‍රිතාන්‍ය ආණ්ඩුවට අනතුරු අඟවා සිටියේ ය. අවසානයේ හෙතෙම 1818 පෙබරවාරි 21 දා යුද නීතිය පනවා ඌව වෙල්ලස්සේ කෙත් වතු හා ආහාරයට ගත හැකි සියලු ගස් විනාශ කරන ලෙසත් කුඩා දරුවන් හා ස්ත්‍රින් හැර සියලු දෙනා දුටු තැන මරා දමන ලෙසත් ආඥාවක් පැනවූයේ අරගලකරුවන්ගේ ආහාර සැපයුම් මාර්ග විනාශ කර දැමීමෙන් හා සමූල ඝාතනයකින් මිස ඔවුන් නවත්වා ලිය හැකි වෙනත් කිසි දු මඟක් සිතා ගන්නට වත් නොහැකි වූ නිසා ය. එහි දී නම්බුකාර සුද්දාට යුද ආචාර ධර්ම හෝ අවම වශයෙන් මානුෂික හැඟීමක් හෝ තිබුණේ නැත.
එහෙත් බලාපොරොත්තු විය යුතු ව තිබූ ආකාරයට ම ලංකාවේ පළමු වැනි ජාතික නිදහස් අරගලය ගින්නේ, යකඩින් හා ලෙයින් අනුකම්පා විරහිත තිරශ්චීන ආකාරයෙන් මර්දනය කරන ලද්දේ ය. 1817 ඔක්තෝබර් මාසයේ ඇරැඹුණු පළමු වැනි ජාතික නිදහස් සටන එහි අනභිභවනීය නායකයා වූ කැප්පෙටිපොළ 1818 නොවැම්බර් මාසයේ ඉංග්‍රීසින්ට පාවා දීමත් සමඟ අවසන් විය. අදින් හරියට ම අවුරුදු දෙසීයකට පෙර 1818 නොවැම්බර් 25 දා ඉංග්‍රීසීහු මහනුවර බෝගම්රබ වැව අසල පිහිටි වදකභූමියේ දී කැප්පෙටිපොළ නිලමේගේ හිස ගසා දැමූහ.
කැප්පෙටිපොළ නිලමේ මෙන් ම ජීවිත පරිත්‍යාගයෙන් සටනට එක් වී සිටි උදාර ලාංකිකයෝ දහස් ගණනක් ද මේ සටනේ දී දේශයේ නිදහස උදෙසා ජීවිත පූජා කළෝ ය.
ඉංග්‍රීසි යටත්විජිත ආණ්ඩුව 1815 සිට අවුරුදු 133ක් ලංකාව පාලනය කළේ ය. 1948 පෙබරවාරි 04 දා ලංකාවට ඩොමීනියන් තත්වයක් ප්‍රදානය කර මේ රටේ පාලනය තමන්ට ගැති මෙරට ප්‍රභූ පැළැන්තියකට භාර දී ඔවුහු ජවනිකාවෙන් ඉවත් ව ගියෝ ය.
සිය පාලනයේ අභිවෘද්ධිය උදෙසා ඔවුන් මෙහි දී කළ දේවල් අතරින් ඇතැම් ඒවා අදටත් ඉතිරි වී තිබේ. සුද්දාගේ පාලන ක්‍රමය ඉන් එකකි. එහෙත් වැදගත් ම දේ එය නොවේ. සුද්දා අපේ ජාතික අභිමානය විනාශ කළේ ය. ඔහුගේ සංස්කෘතිය මෙහි පැලපදියම් කළේ ය. තමන්ට ගැතිකම් කරන යටත්විජිත ආකල්පයෙන් තොර ව කිසිවක් සිතිය නොහැකි නිවට පරපුරක් බිහි කිරීම උදෙසා වන ක්‍රමයක් මෙහි ස්ථාපනය කළේ ය. ඒ සියල්ල අදටත් මේ රට තුළ ක්‍රියාත්මක වෙයි. සුද්දා හැදූ පාරවල්, රේල් පාරවල්, තේ වතු ගැන ඔජ වඩන බඩගැත්තර කුඩුකේඩු වසලයන් තව මත් මේ රටේ බිහි වන්නේ ඒ නිසා ය. සුද්දා හිටියා නම් මීට වඩා හොඳයි කියන අමනයන් රටට පිළිලයක් වී දුගඳ පතුරවන්නේ ද ඒ ක්‍රමය නිසා ය. ඒ අමනයන්ට තමන්ගේ රට ගොඩගන්නට තබා එසේ ගොඩ ගිය රටවල් ලෝකයේ තිබෙන බවක් වත් නොදැනෙන්නේ ඒ දුර්ගන්ධයෙන් උන්ගේ පිළී ගඳ ගහන ආත්මය ම වැසී ගොස් ඇති නිසා ය.
අපට කැප්පෙටිපොළලාගේ මතකයත් කෙතරම් සුවඳක් දැයි සිතෙන්නේ උන්ගේ දුර්ගන්ධය දැනෙන විට ය.
2018 නොවැම්බර් 25
Dharma Sri Kariyawasam
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...