පුරවැසි කොලම

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම නිසා ආරම්භ වූ දේශපාලන අර්බුදය එක්වරම ව්‍යවස්ථා අර්බූදයක් බවට පත්වූයේ නැත. ඊට හේතුව ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථානුකූලව තමාට පැවරී ඇති බලතල අනුව ක්ෂණිකව නව ආණ්ඩුව පත්කිරීම ය. නව ආණ්ඩුවක් හෙවත් නව අගමැතිවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම අවශ්‍ය වන්නේ එක් පාර්ශවයක් ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම නිසා ව්‍යවස්ථාවට අනුව අමාත්‍යමණ්ඩලය සහ අගමැතිවරයාගේ ධූරකාලය අහෝසිවීම නිසාය. එවැනි තත්ත්වයක් ඇති වන්නේ ඊට පෙර ඉතිහාසයේ පැවැති සබාග ආණ්ඩුවලට වඩා එසේ අහෝසි වූ ආණ්ඩුව සුවිශේෂී වීම නිසා ය. එනම් එම ආණ්ඩුව පිහිටුවන්නේ ව්‍යවස්ථාවේ පවතින විශේෂ ප‍්‍රථිපාදනයකට අනුව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයට යටත්වය. නමුත් ඉතිහාසයේ පැවැති සභාග ආණ්ඩු බිහි වන්නේ හුදු පාර්ශ්ව අතර පවතින එකඟතාවයක් මත පමණි.

කෙසේවෙතත් එසේ ජනාධිපතිවරයා විසින් ඉතා කෙටි කාලයක් තුල බිඳවැටුණු ආණ්ඩුව වෙනුවට නව ආණ්ඩුවක් පිහිටුවීම නිසා රටේ අරාජික තත්ත්වයක් ඇති වීම වැළැක්විණි. එහිදී පමා වීමක් සිදු වූවා නම් දේශපාලන ගැටලූකාරී තත්ත්වයක් මතු වී විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ව්‍යවස්ථා අර්බුදයක් හෙවත් ව්‍යවස්ථාමය ‘හිරවීමක්’ සිදු වී රට අරාජික වීමට ඉඩ තිබුණි. එහෙත් පැවැති ආණ්ඩුව බිඳ වැටීම සහ නව ආණ්ඩුව පත් වීම අතර කාලය තුළ ආණ්ඩුව බිඳ වැටී ඇති බව සහ නව ආණ්ඩුවක් අවශ්‍ය බවට සමාජ මතයක් නිර්මාණය කලානම් පවතින අර්බුදයේ හැඩතළ වෙනස් වීමට ඉඩ තිබුණි. එසේ වූවානම් නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසු එම ආණ්ඩුව පිළිනොගැනීම මගින් ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය කිරීමට කථානායකවරයාට දේශපාලන අවකාශයක් ලැබෙන්නේ නැත. අවසානයේදී එ් ආකාරයට කතානායකවරයා විසින් විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර බරපතළ ගැටුමක් නිර්මාණය කිරීම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ආණ්ඩුවක් තේරීමේ බලය ජනතාවට පැවරීමට ජනාධිපතිවරයාට සිදු විය. එය එතුමා විසින් ගනු ලැබු නිවැරදි, යුක්ති සහගත සහ නිර්භීත තීන්දුවක් බවට විවාදයක් නැත.

නමුත් ජාතික ආණ්ඩුව බිඳවැට්ටවීමට හේතු වූ පිරිස්ම නව ආණ්ඩුවට ද අභියෝග කිරීම මගින් විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර වූ බල අරගලයයට අධිකරණයද පටලවා ගනු ලැබීය. එ් අනුව දේශපාලන පක්ෂ හයක මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින් ජනාධිපතිවරයාගේ තීන්දුව මගින් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයය හමුවේ පෙත්සම් ගොනු කරනු ලැබීය. කෙසේ වෙතත් පුවත්පත්වල පළ වන තොරතුරු අනුව පෙනී යන්නේ ඔවුන් විසින් ජනාධිපති වරයාගේ තීන්දුව අභියෝගයට ලක්කරන්නේ ව්‍යවස්ථාවේ 33 සහ 70 යන වගන්ති නිර්වචනය කිරීමට සාපේක්ෂව බවය. ඊට හේතුව ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීන්දුවේ වලංගු භාවය අභියෝගයට ලක් වන්නේ එම වගන්ති දෙකේ අඩංගු ප‍්‍රතිපාදන මත වීම විය හැක. නමුත් එහි දී පැන නගින මූලික ප‍්‍රශ්නය වන්නේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක දී එම වගන්ති නිර්වචනය කිරීම අදාල වන්නේ කෙසේද යන්නය.

එම මන්ත‍්‍රීවරුන් විසින් ජනාධිපතිවරයා ගේ තීන්දුව මගින් තමාගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට පෙත්සම් ගොනු කරන්නේ නම් සාමාන්‍ය දැනුම අනුව එසේ කළ හැක්කේ 12 වැනි වගන්තිය යටතේ ය. එනම් නීතිය හමුවේ සමානව ආරක්ෂාව ලැබීමේ අයිතිය ඔවුන්ට නොලැබෙන බවට පැමිණිලි කරමිනි. වෙනත් වචන වලින් කියනවනම් ජනාධිපතිවරයා ගේ තීන්දුව මගින් පෙත්සම්කාර මන්ත‍්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ සම්පූර්ණ කාලය තුළ තම ධුරය දැරීමට ඇති අයිතිය අහිමි වූ බව කියමිණි. නමුත් 12 වැනි වගන්තියට අනුව සාමානයන් අතර අසමාන ව සලකන බව ඔප්පු කළ යුතුය. එ් අනුව ජනාධිපතිවරයා විසින් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා පෙත්සම්කාර මන්ත‍්‍රීවරුන්ට සහ සෙසු මන්ත‍්‍රීවරුන්ට වෙනස් ආකාරයකට සැලකීමක් සිදු වන බව ඔප්පු කිරීමට සිදු වේ. නමුත් එම තීන්දුව මගින් සියලූම මන්ත‍්‍රීවරුන්ට තම ධුරය හෙවත් රක්ෂාව අහිමි වේ. එසේ මන්ත‍්‍රීවරුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වී ඇත්නම් ඊට යම් සහන ඉල්ලා සිටීම හැර ජනාධිපතිවරයාගේ තීන්දුවට අදාළ වගන්ති නිර්වචනය කිරීම සඳහා ඉල්ලීමක් කළ හැකිද යන්න සාමාන්‍ය ජනතාවගේ මනසේ පැන නගින ප‍්‍රශ්නයයකි.

කෙසේවෙතත් කතානායකවරයා විසින් නිර්මාණය කරන ව්‍යවස්ථා අර්බුදය ට අදාලව ව්‍යවස්ථාවේ 129 වැනි වගන්තිය යටතේ නිර්වචනය ඉල්ලා සිටීමේ බලය ජනාධිපතිවරයා සතු වන බවට විවාදයක් නැත. ජනාධිපතිවරයා විසින් ආරම්භක අවස්ථාවේදීම එසේ 30 සහ 70 වගන්තිවලට අදාල බලතල පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්වචනය ලබාගත්තානම් මන්ත‍්‍රීවරුන් තම රැුකියාව අහිමි වීම පිළිබඳව හිත හදා ගැනීමට ද ඉඩ තිබුණි. එසේ වූවා නම් ඉතා දුර්වල පදනමක් මත මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කොට අතුරු තහනම් නියෝග ලබා ගැනීමට හැකියාවක් නොලැබීමට ඉඩ තිබුනි. එසේ අධිකරණයෙන් සෘජුව නිර්වචන ඉල්ලා සිටීමේ බලය ජනාධිපතිවරයා සතුව පමණක් පැවතිය ද අභියාචනාධිකරණය හරහා නිර්වචන ලබාගැනීමේ හැකියාවක් එම පෙත්සම්කරුවන්ට තිබුණි. එ් සඳහා රීට් ආඥාවක් ඉල්ලා සිටිය හැකි වුවත් ඔවුන් එසේ කළේ නැත. බොහෝවිට ඊට හේතුවිය හැක්කේ මැතිවරණය පැවැත්වීමට පෙර එවැන්නක් ලබා ගැනීම ප‍්‍රායෝගික නොවීම විය හැක.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉතා කාර්යක්ෂමව පෙත්සම් භාර දුන් දිනට පසු දිනම අතුරු තහනම් නියෝගයක් ලබා දීම නිසා එම මන්ත‍්‍රීවරුන්ට විශේස සහනයක් ලැබුණි. එසේ නොවුවානම් විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව 14 වැනිදා කැඳවීම්ට හැකි වන්නේ නැත. ස්ථාවර නියෝග අත්හිටුවමින් විශ්වාසභංග යෝජනා සම්මත කරමින් පාර පාර්ලිමේන්තුව ‘වීීදි සටන් බිමක්’ බවට පත් කිරීමට ද මන්ත‍්‍රීවරුන්ට අවස්ථාව ලැබෙන්නේ නැත. කෙසේ වෙතත් නීති විශාරදයින්ගේ තර්ක වලට අනුව අතුරු තහනම් නියෝගය මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන තත්ත්වය වෙනස් වන්නේ නැත. එසේ නම් එම නියෝගය මගින් සිදුවන්නේ එ් වනවිට තිබුණු තත්වය එසේම පවත්වාගෙන යාමට නියම කිරීම පමණි. එ් අනුව තිබෙන තැනින් ඉදිරියට යාමට මෙන්ම පසුපසට යාමට ද නොහැක. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර තිබූ තත්ත්වය ඇතිවන්නේ පසුපසට ගියහොත් පමණි. එනම් 14 වැනිදා වනවිට පැවතිය යුත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද තත්ත්වයකි. විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව කැඳවීම මගින් අධිකරණ නියෝගය උල්ලංඝනය වීමක් හෝ එය නො සලකා කටයුතු කිරීමක් සිදු වේ. එය අධිකරණයට අපහාස කිරීමක් ලෙසද සැලකිය හැක. දැන් රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාද අධිකරණය විසින් ඉදිරි තීන්දුු ගැනීමේදී ඇතිවිය හැකි බෙදීම් පිළිබදව ප‍්‍රසිද්ධධියේ අදහස් ප‍්‍රකාශ කිරීම නිසා තවදුරටත් අධිකරණයට අපහාස සිදුවන බවට තර්ක කළ හැක.

අනෙක් පැත්තෙන් ගත් විට එසේ අතුරුතහනම් නියෝගයට පටහැනි ආකාරයට කටයුතු කිරීම මගින් අධිකරණයේ අවසන් තීන්දුවට බලපෑමක් සිදු වේ. එය විවස්ථාදායකය විසින් අධිකරණයට බලපෑම් කිරීමක් ලෙස ද සැලකිය හැක. උදාහරණයක් ලෙස අවසාන තීන්දුව වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මගින් පෙත්සම්කරුවන්ගේ අයිතිවාසිකම් කඩ නොවන බව නම් එතැන් සිට මැතිවරණ ක‍්‍රියාවලියට ඉඩ සැලසේ. නමුත් ඉහත සඳහන් කළ ආකාරයට විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග යෝජනාවක් සම්මත කළා නම් නව ආණ්ඩුවක් පිහිටුවීමට සිදු වේ. එවැනි තත්ත්වයක් තුළ නව ආණ්ඩුවක් පිහිටුවූවා නම් අධිකරණයේ අවසාන තීන්දුව ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව ප‍්‍රබල ව්‍යවස්ථා බාධකයක් එල්ල වේ. එවිට විධායකය සහ ව්‍යවස්ථාදායකය පමණක් නොව අධිකරණය ද ව්‍යවස්ථා අර්බුදයක පැටලේ.

එම තත්ත්වය තුළ මේ වන විට වි්‍යවස්ථා අර්බුදයකින් ඔබ්බට ගොස් ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයක් දක්වා වර්ධනය වෙමින් පවතින වත්මන් දේශපාලන අර්බුදයට විසඳුම කුමක්ද? එක් පැත්තකින් විධායකය විසින් ව්‍යවස්ථානුකූලව පත් කළ ආණ්ඩුව පෙරළා දැමීමට ව්‍යවස්ථාදායකය උත්සාහ කරයි. එය ව්‍යවස්ථා විරෝධී බල පෙරලියකට උත්සාහ කිරීමකි. එ් නිසා එය කුමන්ත‍්‍රණයක් ලෙස නිර්වචනය කළ හැක. හමුදාවක් විසින් එවැන්නක් සඳහා උත්සාහ කරන විට එය හඳුන්වන්නේ හමුදා කුමන්ත‍්‍රණයක් ලෙස ය. අනෙක් පැත්තෙන් විධායකයේ තීන්දුව අභියෝගයට ලක්වී ඇති අතර අධිකරණ තීන්දුවට බලපෑම් එල්ල වන ලෙස ව්‍යවස්ථාදායකය ක‍්‍රියා කරයි. නමුත් විධායකයට අධිකරණයට බලපෑම් කිරීමේ හැකියාවක් නැතත් අධිකරණයෙන් නිර්වචනයක් ඉල්ලා සිටීම මගින් අතුරු තහනම් නියෝගය අවභාවිතා කිරීම වැළැක්වීමේ හැකියාව ඇත. එසේම 33 (2* වගන්තිය අනුව තමාගේ තීන්දුවේ වලංගුභාවය විමසා සිටිමේ අයිතිය ද විධායකය සතු වේ. ඊට අදාළ කරගත හැකි නඩු තීන්දුවක් 2002 දී හත් දෙනෙකුගෙන් සමන්විත ජ්‍යේෂ්ඨ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදී ඇති නිසා එය පහසුවෙන් කළහැකිව තිබුණි. එසේම අතරමැදි විසඳුමක් ලෙස නඩු තීන්දුව ලබා දෙන තෙක් පාර්ලිමේන්තුව තුළ පවතින ගැටුම් බාහිර සමාජයට කාන්දුවීම් වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුව කල් තැබීමේ හැකියාව ද ඇත.

නමුත් විධායකය විසින් එ් එක් පියවරක් හෝ ගන්නා බවක් පෙනෙන්නේ නැත. එ් නිසා විවිධ බාහිර පාර්ශව, විශේෂයෙන්ම දෙස් විදෙස් බෙදුම්වාදී බලවේග විසින් රට තුළ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණයය කිරීමට ගන්නා වූ උත්සාහයට තල්ලූවක් ලැබේ. පවතින දේශපාලන අර්බුදය තුල දක්නට ලැබෙන විශේෂ ප‍්‍රවණතාවයක් නිසාද ජාතිවාදී බෙදුම්වාදී බලවේග මරු විකල්ලෙන් දඟලන බව පෙනේ. එම ප`වණතාවය මෛත‍්‍රි – මහින්ද සමගියයි. එමඑ කතුව රටේ ඡුන්දදායකයන්ගෙන් 56% නියෝජනය කරයි. ඒ නිසා එම සමගිය දිගටම පැවතුනහොත් ඔවුන්ගේ ඊනියා කේවල් කිරීමේ බලය කාණු පල්ලට වැටෙන බව ඔවුහු ඉතා හොඳින් දනිති. එම තත්ත්වය වළක්වා ගත හැක්කේ ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීන්දුව පරාජය කොට මෛත‍්‍රි – මහින්ද සමගිය කඩා බිඳ දැමීම මගින් පමණි. ලබන වසරේ බලය ඔඩොක්කුවට වැටෙන තෙක් ආණ්ඩුව පෙරලන්නේ නැතිව නිවීසැනසිල්ලේ සිටියානම් කොතෙක් සනීප දැයි ප‍්‍රශ්න කරන පිරිස් ද එ් සමගියට අකමැති වුන් බවට විවාදයක් නැත.

කෙසේ වෙතත් ආණ්ඩුව දිගටම තිබුණානම් සිදුවන දේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එළිය සංවිධානයේ රැුස්වීමකදී විචිත‍්‍ර ලෙස පැහැදිලි කරන්නට යෙදුණි. ඊට ඌණ පූර්ණ අවශ්‍ය නැත. එහෙත් ඊට යමක් එක් කළ යුතුනම් එක් කළ යුත්තේ එක් දෙයක් පමණි. එ් එදා 2003 දී සෝමවංශ අමරසිංහයන් ගේ නායකත්වය සහිත ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවති ආණ්ඩුව පෙරළා දැමීම නිසා රටට සිදු වූ යහපත ගැන පමණි. ව්‍යවස්ථානුකූලව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව එදා පැවැති ආණ්ඩුව නියමිත කාලයට පෙර පෙරළා දැමීම නිසා සටන් විරාම ගිවිසුම සහ තාවකාලික ආණ්ඩුව හරහා දිගේලි කොට තිබූ බෙදුම්වාදි න්‍යාය පත‍්‍රය තීරණාත්මක මොහොතක දී පරාජය කළහැකි විය. එසේ නොවූවානම් 2005 දී මහින්ද රාජපක්ෂ මහතාට බලයට පත්වී අවසන් කරන්නට යුද්ධයක් ඉතිරිවන්නේ නැත. එසේ වූවා නම් අද අප සුඩානය මෙන් බෙදී වෙන්වී එකිනනෙකා මරා ගන්නා ජාතියකි. නමුත් අද අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය තුළ ජනතා විමුක්ති පෙරමුණ එසේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සහ ව්‍යවස්ථානුකූලව ආණ්ඩු පෙරළිම අනුමත කරන්නේ නැත. ඔවුන්ට අනුව ඒ ආණ්ඩුව කුමන ආකාරයට රට අනතුරට ඇද දැම්මත් පැරණි ජනවරමට අනුව සම්පූර්ණ කාලයම ආණ්ඩු කිරීමට ඉඩ දිය යුතුය. මහජන මතය යනු අවසානයට පැවැත්වූ මැතිවරණයේදී පෙන්වන මතය බවද ඔවුන් දැන් පිළිගන්නේ නැත.

මන්ත‍්‍රීවරුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ සලකා බැලිය යුත්තේ එවැනි සංකීර්ණ දේශපාලන පසුබිමක් තුළය. මන්ත‍්‍රීවරුන් 225 දෙනෙකුගේ රස්සාව රැුකීමේ උවමනාව ඡුන්ද ඡුන්දදායකයින් එක්කෝටි හැට ලක්ෂයක ඡුන්ද අයිතිය හෙවත් පරමාධිපත්‍ය බලය අහිමි කිරීම සමග සැසදිය හැකි ද?. අනෙක් පැත්තෙන් ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීන්දු ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී සහ ව්‍යවස්ථා විරෝධී නම් එතැන ප‍්‍රශ්නයක් ඇත. ඒ නිසා අධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් ඊට පෙර ලබා දී ඇති අධිකරණ තීන්දු අනුව එ් පිළිබඳ දේශපාලන විග‍්‍රහයක් කිරීම මගින් වරදක් සිදු නොවේ. එසේ ජනතාව දැනුම්වත් කිරීම මගින් සමාජයේ පවතින ගැටුම්කාරී තත්වය සමනය කිරීමට උදව්වක් ලැබේ. එ් සඳහා පාදක කරගත හැකි ඉතාමත් සුවිශේෂී නඩු තීන්දුවක් ජ්‍යේෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත හත් දෙනෙකුගේ විනිසුරු මඩුල්ලක් විසින් 2002 දී ලබා දී ඇත.

එදා 2002 වසරේ සැතප්තැම්බර් මාසයේ දී ගැසට් කරනු ලැබූ එවකට 19 වැනි සංශෝධනය ලෙස හැඳින්වූ ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ මගින් එ් වන විට ජනාධිපතිවරයා සතු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය වසර හතරයි මාස හයක් දක්වා අත්හිටුවීමට එදා පැවති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව විසින් උත්සාහයක් ගනු ලැබීය. එ් අනුව 2015 දී 19 වැනි සංශෝධනය මගින් ව්‍යවස්ථාවේ 70 වගන්තිය සංශෝධනය කොට ඉටු කරගනු ලැබුවේ එම වුවමනාව බව ඉතා හොඳින් පැහැදිලි වේ. එදා මීට වසර 16කට පෙර ගනු ලැබූ එම උත්සාහය සාර්ථක වූවා නම් ඉහත සඳහන් කළ ආකාරයට 2003 දී රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව වසර තුනක් ගත වන විට පෙරළා දමා බෙදුම්වාදී මර උගුලෙන් රට ගලවා ගැනීමට ඉඩ ලැබෙන්නේ නැත. එදා හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ප‍්‍රමුඛ ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් සමන්විත් එම සුවිශේෂී විනිසුරු මඩුල්ල විසින් ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුව නිසා එනම් අධිකරණය විසින් විවස්ථාදායකයේ ව්‍යවස්ථා කුමන්තු‍්‍රණය පරාජය කළ නිසා රටේ ඉරණම වෙනස් විය. එ් අනුව වර්තමානයේදී ආන්ඩුවේ යම් පෙත්සම් කරුවන් විසින් පස් දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටීමේ තර්කය පැහැදිලි නැත.

අද මෙන් එදා සිටි ජනාධිපතිවරියගේ තීන්්දුව ආපසු හැරවීම සඳහා ව්‍යවස්ථාව නිර්වචනය කළ හැකි තත්ත්වයක් තිබුණා නම් ආණ්ඩුව විසුරුවා හැරීමේ තීන්දුව අභියෝගයට ලක් කිරීමට ඉඩ තිබුණි. එසේ කළ නොහැකි වන්නේ එම නඩු තීන්දුව මගින් 70 වැනි වගන්තිය සංශෝධනය කිරීම වැළැක්වීම නිසාය. එනම් වෙනත් ජනාධිපතිවරයා සතු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය පාර්ලිමේන්තුවේ සම්පූර්ණ කාලයෙන් අඩකට වැඩි කාලයකට අත්හිටුවීමේ සංශෝධනයක් සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දු කිරීම නිසාය. ඊට හේතුව එම සංශෝධනය මගින් ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තිය උල්ලංඝනය වීම ය. එසේ නම් 19 වැනි සංශෝධනය මගින් ජනමත විචාරණයකින් තොරව 70 වගන්තිය සංශෝධනය කොට වසර හතරයි මාස හයක සීමා ව නැවත පනවන්නේ කෙසේද? 19 වැනි සංශෝධනයයේ නිර්මාතෘවරුන් එ් සඳහා සුවිශේෂී උපක‍්‍රමයක් යොදා ගනු ලැබූ බව පෙනේ. විශේෂයෙන්ම එදා 2002 දී පැවති නඩු විභාගයට ඉදිරිපත් වූ අතර මැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි එම්.ඒ සුමන්දිරන් සහ ජයම්පති වික‍්‍රමරත්න යන නීතිඥවරුන්ට මේ පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් තිබූ බව පිළිගත හැක.

එම සුවිශේෂී උපක‍්‍රමය අනුව අධිකරණයට ඉදිරිපත් කරන කෙටුම්පත්තේ 70 වගන්තිය මගින් පනවන සීමාව නිෂේධනය වන ලෙස 33 (2* වගන්තිය මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට අමතර බලයක් ලබා දේ . එම අමතර බලය මගින් 2002 නඩු තීන්දුව මග්න් නිර්දේශ කළ ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා සතු පරමාධිපත්‍ය බලය ආරක්ෂා වේ. එසේ නොවූවානම් 19 වැනි සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වන බව පැහැදිලිය. එ් අනුව 2002 දී තිබූ උවමනාව කෙසේ හෝ නැවත සහතික කරගැනීමට නම් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට අධිකරණ තීන්දුව ලබා ගැනීමෙන් පසුව අදාළ වගන්තිය සංශෝධනය කිරීම හෝ ඉවත් කිරීම අවශ්‍යවේ. එසේ කළ හැක්කේ පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථා විවාදයේ දී ය. 19 සංශෝධනයට අදාළව එවැනි සංශෝධන හතළිහක්් පමණ සිදු කළත් ඒ දෙය කළ නොහැකි විය. ඊට හේතුව එසේ කෑලි ගැලවීමට තීන්දු කළ ව්‍යවස්ථා ඉංජිනේරුවා එම පාර්ලිමේන්තුව තුළ භෞතිකව නියෝජනය නොවීම විය හැක. පවතින තත්ත්වය එසේ නම් ජනමත විචාරණයකින් තොරව සම්මත වූ 19 ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති සතු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය වෙනස් වී නැති බව පැහැදිලි වේ. එම තත්වය විධායකය , ව්‍යවස්ථාදායකය සහ අධිකරණය විසින් දැඩි සැලකිල්ලට ලක්කරන්නේ නම් වර්තමාන අර්බුදය විසදීමට පහසුවෙන් දොරක් විවර වේ.

කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More