නත්තල හා බැඳි සුබ ආරංචි තුනක් බයිබලයේ තිබේ.
අනාගත ක‍්‍රිස්තු ක‍්‍රියාකාරකම් මගින්, ‘‘වහලූන් හා පීඩිතවූවන් මුදනු ලැබේ…..’’ (ලූක් 4:18)
දෙවන සුබාරංචිය හෙළි කළේ කිතු හිමිගේ මවමය. කිතු හිමි කලලය සිය ගර්භාෂයට පිවිසි බව දැන, සිය බන්ධුවරියකට ඒ බව දන්වන්නට ඈ ගිය දිනය.
‘‘එතුමා දුෂ්ට නරපතීන් සිහසුන්වලින් ඇද දමා ධනවතුන්ගේ අත් හිස් කරන්නේය. උඩගු සිතැත්තන් විසිරුවා හැර දුප්පතුන්ට අත දී උසස් කරන්නේය.’’ (ලූක් 1:5153)
කිතුහිමි උපදින්නට වසර දහස් ගණනකට පෙර යෙසායා දිවැසිවරයා කිතු හිමි ගැන පැවසූ අනාවැකියක් ද බයිබලයේ පරණ ගිවිසුමේ සඳහන්ව තිබේ.
‘‘එතුමා ඇද මාවත් දිග හරින්නේය. කඳු කපා හෙල් සමතලා කරන්නේය.’’ (යෙසායා 40:4) එහි සමාන්‍ය අදහස කිතු හිමි ඉපිද උස් මහත්වී, පලස්තීන සමාජයේ මිනිසුන් අතර ඇති උස් මිටි විෂමතා දුරු කරන බවය. පලස්තීන ජනතාව එක සමාන සමාජයක සාමාජිකයන් කරවන බවය.
එදා පලස්තීන සමාජයේ පැවැති ප‍්‍රධාන විෂමතාව වූයේ ද සම්පත් (ධනය) සමසේ බෙදී නොයෑමය.
මෑතක ප‍්‍රැන්සිස් පාප්තුමා, අදත් ලොව පුරා මිනිසුන් අතර පවතින ඒ විෂමතාව හැඳින්වූයේ, ‘‘ලෝකයේ ඉතා සමෘද්ධිමත් ධන කුවේරයන් හා අති දුගී ජන බහුතරය අතර පවතින ගර්හිත පරතරය’’ ලෙසය. (2014-ලෝක ජනමාධ්‍ය දින පාප් පණිවුඩය)
ප‍්‍රථම නත්තල් සමයේත් පැවැති ඒ ගර්හිත සමාජ තත්ත්වය, ඉන් ශතවර්ෂ විස්සකට පසු අදත්, ලොව පුරා (තවත් වැඩෙමින්) තිබේ. ලෝක ජනගහනයේ අධිකම සංඛ්‍යාව ආගමිකව කිතුනුය. ඔවුනතර ද බහුල වූයේ දුගීන්ය.
පාප්තුමා පෙර කී ප‍්‍රකාශය සමග, ලෝකයේ සිය කිතුනු ගිහි, පූජක, හා රදගුරු සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් ද කළේය. දුගී ධන ගර්හිත සමාජ පරතරය දුරු කරන්නට වහා පියවර ගන්නා ලෙසය.
පසුගිය වසර හතර තුළ ඒ පාප් නිර්දේශය ක‍්‍රියාත්මක කළ මෙරට කතෝලික රදගුරු වරයකු ගැන අපට සුබාරංචියක් දැන ගත නොහැකි විය. ඒ නිසාම රදගුරුවරුන් යටතේ ආගමික කටයුතු කරන පූජකවරු අතරින් ද අපට එබන්දකු ගැන දැන ගත නොහැකි විය. ගිහියන් ගැන කවර කතාද?
ඔවුනතර වෙන පුරුද්දක් තිබේ. බැතිමතුන් ලවා පඬුරු ලෙස විටින් විට එකතු කර ගන්නා, වියළි ආහාර හා ඇඳුම් පැළඳුම්, තෝරා ගත් දිළිඳුන් පිරිසකට පරිත්‍යාග කිරීම. ඒ දිළින්දෝ හැමදාමත් ඒ පරිත්‍යාග තමන්ට ලැබෙන තුරු බලා සිටිති.
මෑතක ශාන්තුවරයට ඔසවන ලද, ඔස්කා රොමියුරෝ රදගුරු හිමි, බ‍්‍රසීල කතෝලික සභාව ද එසේ කරනු බලා සිටියේය. එතුමා බ‍්‍රසීල කතෝලික සභාවට යෝජනාවක් කළේය. පඬුරු එකතු කර දුප්පතුන්ට බෙදා දෙනු වෙනුවට ඔවුන් දුප්පත් කමින් මුදවා ගන්නට ක‍්‍රියා මාර්ග ගන්නා ලෙසය.
ඒ අතර එතුමා ද දුප්පතුන්ට වියළි ආහාර බෙදුවේය. ඒ දුටු බ‍්‍රසීලියානුවෝ එතුමා ‘‘ශාන්තුවරයකු’’ ලෙස හැඳින්වූහ. එතුමා, ඒ දුප්පතුන්, දුප්පත්කමින් මුදා ගන්නට පියවර ගන්නැයි බ‍්‍රසීල කතෝලික සභාවෙන් ඉල්ලා සිටි විට, බ‍්‍රසීල ජනතාව එතුමා ‘‘කොමියුනිස්ට්කාරයකු’’ ලෙස හංවඩු ගසා වෙඩි තබා මරා දැම්මේය.
කිතු හිමිට මරණය උරුම වූයේ ද, තමන් අනුගමනය කළ පලස්තීනුවන්, දුගී කමින් හා නූගත්කමින් මුදා ගන්නට ප‍්‍රායෝගික ක‍්‍රියාමාර්ග ගත් නිසාය.
නත්තල් දා උපන් කිතු හිමි, එබඳු, පැවැති ක‍්‍රමයට වෙනස්, සමාජයේ මධ්‍යමයටත් වඩා පහළ, දුගී හා නූගත් මිනිසුන්ගේ, ගැලවුම්කාරයා වන බව, බයිබලීය දිවැසිවරුන්, එතුමා උපදින්නට ශත වර්ෂ ගණනකට පෙරම ප‍්‍රකාශ කර තිබුණි.
එතුමා, සිය ජන ගැලවුම් ක‍්‍රියාමාර්ග ගන්නට පූජකවරු හෝ රදගුරුවරු පත් කරගෙන සිටි බවට සාධක බයිබලයේ නැත. එතුමා ඒ සඳහා තෝරාගෙන සිටියේ වැඩිමහල් ගිහියන්ය. කිතු හිමි සියලූ කටයුතු කළේ ඔවුන් සමගය. කිතු හිමි ඉදිරියේ ඔවුන් ‘‘ගෞරවනීය වැඩිමහල්ලන්’’ විය.
අද, එබඳු වැඩිමහල් ගිහියන් කතෝලික සභා නායකත්වයේ නැත. ඒ බඳු ගිහි නායකත්වයක් මුල් කිතුනු කණ්ඩායම්වල පැවැති බව, අදත් මෙරට බොහෝ කතෝලික සභා සාමාජිකයන් දන්නේ නැත. ඔවුන් බයිබලයේ සඳහන් මුල් කිතුනු සමාජ ගැන කිසිවක් නොදන්නා හෙයිනි. ඒ ප‍්‍රථම කිතුනු සමාජ පුවත් සාමාන්‍යයෙන් කිතුනුවන් දැනගන්නවාට අකැමැති වූ ආදි කතෝලික සභා, බයිබලය කියවීම ගිහියන්ට තහනම් යැයි හගවා තිබුණි.
1950 පමණ දක්වා, තමන්ට බයිබලය කියවීම තහනම් බවට මතයක්, මෙරට කිතුනුවන් අතර ද විය. අප කුඩා වියේ අපේ අම්මලා හැකිතරම් උත්සාහ කළේ අපව බයිබලයෙන් ඈත් කර තබන්නටය. මුසා නොවන බයිබල් සත්‍යතා ගිිහියන් දැනගත් විට රදගුරු – පූජක නිලවලට කුමක්වේ දැයි ඒ අවධියේ මෙරට සභා පාලකයන් බියෙන් සිටින්නට ඇත.
සැබෑ කිතුනු නායකයන් ගිහි සාමාජිකයන්ගේ සේවකයන් විය යුතු බව බයිබලීය නියමයයි. නායකයා අන්තිමයා විය යුතු බව බයිබලීය නිගමනයයි. ඒ බයිබලීය නියමය අද කතෝලික ලෝකයේ කොහේවත් ක‍්‍රියාත්මක නැති බව අපේ ප‍්‍රත්‍යක්‍ෂය.
නත්තල් දා ඉපිද, වයස තිහේ දී ප‍්‍රසිද්ධ ජීවිතය ඇරඹූ කිතු හිමි, ප‍්‍රජා නායකයෙක් මිස ආගමික නායකයෙක් නොවීය. පලස්තීන සමාජය දුකෙන් මුදා ගැනීම එතුමාගේ ලෞකික අරමුණ වූවා නිසැකය. ඒ සමගම එතුමා ලොව තුළ ඉටු කරන්නට සිය දේව තාත්තාට වූ පොරොන්දුවක් ද තිබුණා. නිසැකය. ඒ මත දෙක අප තුළට කාවැද්දුවේ 1964-70 අතර අපට ආශ‍්‍රය කරන්නට ලැබුණ සිරි ඔස්කා අබයරත්න පියනමය. (එතුමා අද ඉතා වියපත්ය. 71 කැරැල්ලක් සමග එතුමා ද අතුරුදන් විය. කලකට පසු යළි සියරට පැමිණ ‘‘කිතුදන පුබුදුව’’ නමින් කතෝලික සභාව තුළම නව ගිහි සංවිධානයක් පිහිටුවූයේ එතුමාය. දැන් එතුමා එක්තැන්ව පදිංචිව සිටින්නේ, රාගම, වල්පොළ, ප‍්‍රසංශාරාමයේය. කිතුදන පුබුදුව, අදත් සම්පූර්ණයෙන්ම ගිහි නායකත්වයෙන් පවත්වාගෙන යන කතෝලික ගිහි ආගමික සංවිධානයකි)
1971 අපේ‍්‍රල් කැරැල්ලක් සමග අහෝසි කර දැමුණු කොළඹ පදවි කතෝලික තරුණ ව්‍යාපාරය ඇරඹුවේ එතුමාය. තෝමස් කුරේ හිමි කොළඹ අගරදගුරු සමයේය. ඔස්කා අබයරත්න පියනම මෙරට තරුණ පරපුර තුළ පැවැති බයිබලීය තහංචිය දුරු කර දැම්මේය. හැම තරුණ හමුවීමකදීම එතුමා සාකච්ඡා ඇරඹූයේ බයිබලයේ කොටසක් අප හා කියවා, ඉන් ධ්වනිත ලෞකික හා ලෝකෝත්තර අදහස් අපේ සිත්වලින් කිසිදා බැහැර නො වන ලෙස තදින් කා වද්දමිනි.
තුන්වන සියවස වන විට කිතු දැක්මට අනුව ජීවත් වන මිනිස් කණ්ඩායම් පලස්තීනයේ හා ජුදයාවේ බිහිව සිට ඇත. ක‍්‍රිස්තු වර්ෂ 325 පමණ වන විට ග‍්‍රීක හා රෝම ශිෂ්ටාචාර විසින් ගිලගත් ඒ කි‍්‍රස්තියානි ශිෂ්ටාචාරය පසුව බටහිර ශිෂ්ටාචාරයක් විය. අපේ රටේ අද ඇත්තේ බටහිරින් ආ ඒ ක‍්‍රිස්තියානි ශිෂ්ටාචාරයයි. ශිෂ්ටාචාර යනු මිනිස් සමූහයන් ජීවත් වන ආකාරය. එහෙත්, අද අපේ රටේ කිතුනුවන් අතර ඇත්තේ, ඔවුන් ජීවත් විය යුතු ඒ ක‍්‍රිස්තියානි ජීවිත ක‍්‍රමය (ශිෂ්ටාචාරය) නොවේ. ක‍්‍රිස්තියානි ආගමක්ය. ඇදහිල්ලක්ය. ක‍්‍රිස්තියානිය ඇතුළු මෙරට ඇති හැම ආගමක්ම අද ‘‘ඇදහිලි’’ මිස ජීවත් වන ක‍්‍රම නොවේ.
කිතු හිමි නැමඳිය යුත්තෙක්ද? සමාජ ක‍්‍රියාකාරිකයෙක්ද? එතුමා හඳුන්වා දුන්නේ තමා සේ කරැන්නැයි කී යහපත් සමාජ ක‍්‍රියාකාරකම්ය.
දකුණු කම්මුලට ගසන්නාට වම් කම්මුලත් පාන?
තමාට මෙන් තම අසල්වැසියාටත් පේ‍්‍රම කරන?
සභා නායකයන්, සභා සාමාජිකයන්ගේ සේවකයන් වන? තණ්හාවෙන් තොරව බෙදාහදා ගන්නා? විපතට පත්වූවන් දිවිපුදා හෝ විපතින් ගලවා ගන්නා?
කිතු හිමිට පමණක් දෙවැනි, ක‍්‍රිස්තු ශ‍්‍රාවක පාවුලූ තුමා හඳුන්වා දුන් හොඳ චරිතයක් හා ආදර්ශවත් පවුලක් ගොඩනගා ගැනීමේ….
ශිෂ්ටාචාර, අද කිතුනුවන් අතර තිබේද?
මුල් ක‍්‍රිස්තියානි සමාජ ලක්‍ෂණ? (ක‍්‍රියා 2:42)
‘‘ඔව්හු ඉගැන්වූහ…………. බෙදා ගත්හ……… තමන්ට කියා වෙන්කර ගත් යමක් ඔවුන්ට නොවූහ………. යාච්ඤා කළේ ඇතුළු ගෙට වැද රහසේය. දන් දුන්නේ හොරණෑ ගසමින් ගොස් ප‍්‍රසිද්ධියේ නොවේ………’’
‘‘ඔවුන’’තර සිටි ඇඳුම් දෙකක් හිමි තැනැත්තා, එක් ඇඳුමක්වත් නැත්තකු දුටු විට, තම දෙවන ඇඳුම ඔහුට පරිත්‍යාග කළේය.’’
‘‘ඔවුන් සියල්ල තබා ගත්තේ පොදුවේය.’’
‘‘ඔවුන් ජීවත් වූයේ කණ්ඩායම් ලෙස එකටය.’’
‘‘ඒ ක‍්‍රිස්තියානි කණ්ඩායම්වලට එක් වූ අය තමන් සතු සියල්ල විකුණා එකිනෙකාගේ වුවමනාවල හැටියට බෙදාගත්හ.’’
නත්තල් දා උපන්නේ අලූත් දරුවකු පමණක් නොවේ. පෙර සඳහන් කළ අන්දමේ අලූත් ශිෂ්ටාචාරයක්ය.
ඒ ශිෂ්ටාචාරය තුළ ධන කුවේර නිර්ධන පරතර නොවීය. තිබුණේ සාධාරණය හා යුක්තියය. ඔවුන, තර ජාති, භාෂා, වර්ණ, ආගම්, භේද නොවීය.
බයිබලීය විශාරදයන් ඒ ජීවන ක‍්‍රමය හඳුන්වන්නේ, සාමයේ හා සංහිඳියාවේ ශිෂ්ටාචාරයක් ලෙසය.
මේ නත්තලෙන් පසුවවත් ලාංකීක කිතුනු සභාවන් සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි, පදනමින් තවදුරටත් වෙන්ව නොසිට, සිය සංවිධානවල සාමාජික සංඛ්‍යාව තරකර ගැනීමේ තරගයෙන් මිදී, බයිබලයේ දේව රාඡු්‍ය සංකල්පය හා බුදුදහමේ ධර්ම රාඡු්‍ය සංකල්ප මුසුකරගෙන රටට නව ශිෂ්ටාචාරයක් හඳුන්වා දීමේ වෑයමක් ඇරඹිය යුතුව තිබේ.
වසරකට වරක් පවත්වන ක‍්‍රිස්තෝත්පත්ති සැමරුම සාම්ප‍්‍රදායික උත්සවයක් නොව නව ශිෂ්ටාචාරයක උපතක් කර ගත හැක්කේ එවිටය.
රටේ සිංහල දෙමළ ජන වර්ග දෙකම කිතුනු සභාවල සාමාජිකයෝය. ඒ කිතුනු සභාවල මේ මොහොතේ වගකීම, රටට උචිත ආණ්ඩුවක් ගොඩනගා ගැනීමට වඩා, ඒ ජනවර්ග දෙක එක්කර දිවි පුදා හෝ එක් නූතන ජනවර්ගයක් බිහිකර ගන්නා වෑයමක යෙදීමය. රටට උචිත ආණ්ඩුව තනා ගැනීම සිංහල බෞද්ධයන් විසින් කර ගනු ඇත. අප කළ යුත්තේ ඔවුනට නොහැකි දේය.
මා මේ අදහස ඉදිරිපත් කරන්නේ, රට සිංහල බෞද්ධ, මේ රට රැක ගැනීමේ වගකීම දැරිය යුත්තේ සිංහල බෞද්ධයන්ය. අපි අහසට අත පා කෑ කෝ ගසා යදිමින්, රට රැක දෙන ලෙස දෙවියන්ට කන්නලව් කරමු යැයි තීන්දු කර සිටින කිතුනුවනට නොවේ.
සිරිල් එෙඞ්රමුල්ල
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...