පුරවැසි කොලම

එදා 2009දී ප්‍රභාකරන්ගේ අතින් ගිලිහුණු ‘ඊලාම් රිලේ බැටන්’ එක දින 3ක් ඇතුළත එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කි මූන් විසින් අතට ගනු ලැබීය. ඒ අනුව එතැන් පටන් ජාත්‍යන්තර බෙදුම්වාදි න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ උගුරෙන් පහළට තල්ලු කිරීම සඳහා තුවක්කුව වෙනුවට මානව හිමිකම් කෙවිට යොදා ගැනීම ආරම්භ විය. එහි දී කෙවිටෙන් තලන අතර ආණ්ඩුවේ අත කැරකවීම සඳහා විවිධ අවස්ථාවල විවිධ උපාංග යොදා ගන්නා බව ද පැහැදිලි ව පෙනුණි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවට එරෙහිව අහඹු ලෙස යුද අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා යොදාගත් දරුස්මාන් වාර් තාව ඒ උපාංග අතුරින් ප්‍රධානම උපාංගය ලෙස සැළකිය හැක. ඉන්පසුව යොදා ගත් ශ්‍රී ලංකාවට එරෙහි පරීක්ෂණ කමිටු වාර් තාව මෙන්ම ඒ මත පදනම් වූ 30/ 1 යෝජනාව ආදී සෙසු සියල්ල ඒ මූලික උපාංගයෙන් උපත ලැබීය. මහින්ද රාජපක්ෂ පාලන යුගයේදී එම අත කැරකවීමේ උපාංග ලිහිල් කර ගැනීම සඳහා යම් ප්‍රති උපාංග යොදා ගැනීමට උත්සාහයක් ගැනුණි.

ඒ ප්‍රති උපාංග අතුරින් උගත් පාඩම් කොමිෂන් වාර් තාව, මැක්ස්වෙල් පරණගම කොමිසම හෙවත් අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කොමිසම ප්‍රධාන තැනක් ගනී. ඉන්පසුව එම දෙවන කොමිසම යටතේ කැඳවූ විදේශීය විශේෂඥ වාර් තා 6 ද ඊට අයත් වේ. එම වාර් තා නිල වශයෙන් එළි දැක්වෙන අවස්ථාව වනවිට මහින්ද රාජපක්ෂ රජය පරාජයට පත්ව සිටි බැවින් ඒවා සැබෑ ලෙසම ප්‍රති උපාංග ලෙස භාවිතා කිරීමට අවස්ථාවක් නොලැබුණි. එම වාර් තා 6 මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විසින් යුද අපරාධ සිදු නොකළ බවට ‍ප්‍රභල කරුණුමය සාක්ෂි සහ නීති තර්ක ඉදිරිපත් කොට තිබුණි. නමුත් ටී.එන්.ඒ පක්ෂයේ විරෝධය නිසා වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ද සේනාධිනායකයා ලෙස එම වාර් තාව තම හමුදාවේ නිර් දෝශී භාවය ඔප්පු කිරීම සඳහා යොදාගත නොහැකි විය. ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ඉතා බරපතළ යුද අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා යොදාගත් 2015 මහකොමසාරිස් වාර් තාව සහ 30/1 යෝජනාව මංගල සමරවීර මහතා විසින් ස්තුති පූර්වකව පිළිගනු ලබන්නේ එවැනි තත්ත්වයක් තුළය.

2015ට පෙර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත කෙරුණු සියලු යෝජනා ශ්‍රී ලංකාවේ රජය විසින් ප්‍රතික්ෂේප කරන්නට යෙදුණි. නමුත් එම පීඩනය දරාගැනීමෙන් ඔබ්බට ගොස් ඊට ප්‍රතිප්‍රහාර දීම සඳහා විධිමත් පියවර ගැනුනේ නැත. ඒ තුළ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් වැළකී ප්‍රශ්නය ඇදගෙන යාමට පසුගිය රජය සමත් විය. නමුත් එම ක්‍රියාවලිය තුළ මානව හිමිකම් සමුළු සැසිවාර වලදී හා ඒ ආශ්‍රිත පිටත ක්‍රියාකාරකම්වලවල දී දෙමළ ඩයස්පෝරාවේ ව්‍යාජ ප්‍රචාර සහ මැදිහත්වීම් වලට ප්‍රතිප්‍රහාර දීම සඳහා වැඩපිළිවෙලක් යෙදීමට පසුගිය රජය අසමත් විය. එහිදී ශ්‍රී ලංකාවේ තානාපති අංශ පවා නිල වශයෙන් ඔවුන් සතු අවස්ථාවන් භාවිතා කොට එසේ දෙමළ ඩයස්පෝරාවට ප්‍රතිප්‍රහාර දීම සඳහා ප්‍රතිඵලදායක උත්සාහයක් නොගත් බව රහසක් නොවේ. අඩු තරමින් දෙමළ ඩයස්පෝරාවෙන් ඉගෙන ගනිමින් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් පිහිටුවා ඒ සඳහා ඉඩක් විවර කිරීමට ඔවුන් විසින් උත්සාහ කළේ නැත. තානාපති අංශ විසින් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය පමණක් හෝ ලබාදුන්නානම් දෙස් විදෙස් දේශප්‍රේමි සංවිධාන වලට ඊට මැදිහත් වීමේ අවකාශය තිබුණි. නමුත් පළමු වතාවට එවැනි මැදිහත්වීමක් ස්වාධීනව සහ ස්වේච්ඡාවෙන් කරනු ලැබුවේ 2016 දී ආචාර් ය අද්මිරාල් සරත් වීරසේකර මහතා විසිනි. ඒ 30/1 යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවල ගෙල සිර කිරීම ආරම්භ කිරීමෙන් පසුව ය. ඒ සඳහා ශ්‍රී ලංකාවේ රජය හෝ තානාපති අංශ විසින් ඒ මහතාට කිසිදු සහායක් ලබා දුන්නේ නැත.
කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුව විසින් 30/1 යෝජනාව භාර ගැනීමට පෙර එනම් එම යෝජනාවලිය ඇමරිකාව විසින් මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට පෙර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් ශ්‍රී ලංකාවේ තානාපති වරයා ඉදිරිපිට දී ටී.එන්.ඒ පක්ෂයේ කැමැත්ත ලබාගත් බව ‘ද අයිලන්ඩ්‘ පුවත්පත වාර් තා කළේ ය. ටී.එන්.ඒ පක්ෂය විසින් යුද්ධය පැවති සමයේ සිට අද දක්වා ඉදිරිපත් කළ සියලු ඉල්ලීම් වල සම්ප්‍රයුක්තය ගත්විට 30/ 1 යෝජනාවේ කොන්දේසි 20 අතුරින් ඔවුනට මූලික වශයෙන් වැදගත් වන්නේ 16 වැනි කොන්දේසිය බව පැහැදිලිය. එනම් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කළ යුතු බවට පනවා ඇති කොන්දේසි යයි. එම ෆෙඩරල් ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොවන්නේ ඊට එරෙහිව පනවා ඇති ‍ව්‍යයවස්ථාමය බාධක නිසාය. එම බාධක ඉවත් කළ හැක්කේ ව්‍යවස්ථ සංශෝධනයක් මගින් පමණි. එම නිසා ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පමණක් ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු වන බව පැහැදිළි වේ.

එසේ නම් සෙසු කොන්දේසි වල අරමුණ කුමක්ද? ඊට තර් කානුකූලව පිළිතුරු සැපයීමේදී එකිනෙකට බැඳුණු අරමුණු දෙකක් හඳුනාගත හැක. පළමුවැන්න ආරක්ෂක හමුදා දුර් මුඛ කිරීම සහ දුර් වල කිරීමයි. ඊට හමුදාවල මානසික තත්වය බිඳ දැමීම මෙන්ම යුදමය හැකියාව දුර්වල කිරීම යන පැතිකඩ දෙකම අයත් වේ. එම උවමනාව සෘජුව බෙදුම්වාදී උවමනාව සමග බැඳී ඇත. බෙදුම්වාදී මාර් ග සිතියමේ අවසන් සැතපුම් කිහිපය තුළදී උතුරින් හමුදාව ඉවත් කිරීම සහ උපාය මාර් ගිකව වැදගත් භූමිය නැවත බාරදීම ආදී ක්‍රියාමාර්ග වලට එකඟ කර ගැනීම සඳහා හමුදාව දුර්වල තත්ත්වයකට පත් කළ යුතුය. දෙවන අරමුණ වන්නේ බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මත කරන තැනට ආණ්ඩුව තල්ලු කිරීම සඳහා කේවල් කිරීමේ උපාංගයක් ලෙස ආණ්ඩුවට බරපතළ දේශපාලන ගැටලු මතු වන තත්වයක් ඇති කිරීමය. ඒ දෙවන අරමුණ ඉටු කර ගැනීම සඳහා 30/ 1 යෝජනාවේ අඩංගු වන ප්‍රධාන උපක්‍රමය වන්නේ 6වැනි යෝජනාව වන දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමයි. එම අධිකරණය අද රටේ පවතින ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක කළ නොහැක. නමුත් එවැන්නක් පිහිටුවීමට එකගවීම යනු ආණ්ඩුවට මාරාන්තික දේශපාලන පාරාවලල්ල කි. නමුත් දැන් සත්‍යවශයෙන්ම හමුදාවට දඬුවම් කිරීම සඳහා එවැනි අධිකරණයක් පිහිටුවීමට අවශ්‍ය නැත. ඒ සඳහා හේතු දෙකක් ඉදිරිපත් කළ හැක. පළමුවැන්න එවැනි විධිමත් අධිකරණයකින් සාක්ෂි ආඥා පනත අදාළ නොවන ආකාරයට අහඹු ලෙස තෝරාගත් හමුදා නිලධාරීන් පිරිසකට දඬුවම් කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. කාම්බෝජයේ පිහිටවූ විධිමත් දෙමුහුන් අධිකරණය මගින් 2004 සිට 2017 දක්වා වසර 13 ක් තුල දඬුවම් කරනු ලැබුවේ තිදෙනකුට පමණි. දෙවන හේතුව නම් මේ වනවිටත් දෙමුහුන් යුද අපරාධ අධිකරණයට වඩා ඉතා ප්‍රබල සහ ප්‍රතිඵලදායක යුධ අපරාධ අධිකරණ යාන්ත්‍රණයක් පනත් 03ක් මගින් පිහිටුවා තිබීම ය. නමුත් එම යාන්ත්‍රණය මේ වනතුරු ක්‍රියාත්මක නොවන බැවින් එහි බලවත්කම මහජනයාට වැටහෙන්නේ නැත. එම යාන්ත්‍රණය ක්‍රියාත්මකවීම පමාවීමට ප්‍රධානම හේතුව වන්නේ බෙදුම්වාදී න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතම උවමනාව වන ව්‍යවස්ථා සංශෝධනය මේ වනතුරු ඉටුකර ගැනීමට ඊට පක්ෂපාත බලවේග අසමත් වීමය. ව්‍යවස්ථා සංශෝධනය සම්මත කොට එය ක්‍රියාත්මක කිරීම ආරම්භ වූ පසුව එම පනත් ත්‍රිත්වය මගින් පිහිටු වන යුද අපරාධ අධිකරණයේ තරම මහජනයාට දැකගත හැකි වනු ඇත.

කෙසේ වෙතත් ජාතික බලවේග විසින් කරනු ලබන පීඩනය නිසා අද වනතුරු ව්‍යවස්ථා සංශෝධන පොරොන්දුව ඉටු කිරීමට ආණ්ඩුව අසමත් වී ඇත. එම තත්වය තුළ මානව හිමිකම් කෙවිටෙන් ආණ්ඩුවට තලන පිරිස් විසින් මානව හිමිකම් කවුන්සලය හරහා 34/1 යෝජනාව සම්මතකොට ඒ සඳහා වසර දෙකක කාලයක් ආණ්ඩුවට ලබා දුනි. නමුත් එම කාලය ලබන මාර් තු මාසයේදී අවසන් වේ. නමුත් මේ වන තුරු ඉටු කිරීමට නොහැකිව ඉතිරිවී ඇති ප්‍රබල කොන්දේසි තුනක් ඇත. පළමුවැන්න 13වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කෙරෙන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම ය. දෙවැන්න සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධාන කොමිසම පිහිටුවීම ය. තුන්වැන්න පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අහෝසි කොට නව පනත ගෙන ඒම මගින් සියලු ත්‍රස්තවාද සැකකරුවන් චූදිතයන් සහ දඬුවම් ලබන්නන් නිදහස් කිරීමය. එම පනත ගැසට්කොට ඇතත් මේ වන තුරු සම්මතකොට නැත. නමුත් යුද්ධයේදී මිය ගිය ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීම සදහා කාර් යාලයක් පිහිටුවීම සදහා හානි පූර්ණ පනත පසුගිය දා සම්මත කරනු ලැබීය. එම තත්ත්වය තුළ ආණ්ඩුවේ ආයුෂ කාලය අවසන් වීමට පෙර එම අත්‍යවශ්‍ය්‍ය කොන්දේසි ඉටු කිරීම සඳහා තවදුරටත් කාලය ලබා දීමට සිදුවේ. නමුත් එසේ කාලය ලබා දීම සඳහා 30/1 සහ 34/1 යෝජනා සම්මත කළ රටවලට හෝ මානව හිමිකම් කවුන්සලයට දේශපාලන අවකාශයක් නොමැත. ඔවුන් එසේ කළහොත් ඔවුන්ගේ ව්‍යාජ බල අධිකාරිය අභියෝගයට ලක් වෙයි. ඒ නිසා දැන් මාර් තු අභියෝගය ජය ගැනීම සඳහා ඔවුන් විසින් කළ යුත්තේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හරහා ඊනියා ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කරන තත්තවයක් නිර් මාණය කිරීමය. ඊට අදාළ මූලික තිර පිටපත ලියන පිරිස් එක් එක් පාර්ශව විසින් රග දැක්විය යුතු භූමිකාවට අදාල පිටුව කඩා ඔවුන් වෙත භාර දෙනු ඇත. එවිට එම පාර්ශව විසින් රඟ දක්වන විවිධ ජවනිකා දෙස බලන මහජනයා ඒවා හුදකලාව තේරුම් ගන්නා බැවින් සමස්ත තිරපිටපත පිළිබඳ ඔවුනට අවබෝධයක් නොලැබෙනු ඇතැයි පිටපත ලියන පිරිස් කල්පනා කරන බව පෙනේ. උදාහරණයක් ලෙස ජනාධිපතිතුමා පසු ගිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී සිදුකළ කථාව මාර් තු අභියෝගය හෙවත් ආණ්ඩුව හරහා ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කිරීමේ සැලසුම සමග බැඳී ඇතැයි මහජනයාට පෙනෙන්නේ නැත.

ජනාධිපතිවරයාගේ එම කතාවෙන් පසුව චම්පික රණවක අමාත්‍යවරයා විසින් සියලු ත්‍රස්තවාදී සැකකරුවන්ට ,චූදිතයන්ට සහ වැරදි කරුවන්ට සමාව දිය යුතු යැයි කියන විට එම ප්‍රකාශය හා මූලික තිරපිටපත අතර සම්බන්ධයක් මහජනයාට පෙනෙන්නේ නැත. එසේ ම ටී. එන්.ඒ.පක්ෂයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා චම්පික ඇමතිවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කොට සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවන්නේනම් ඒ පිළිබදව සලකා බැලිය හැකි බව කියන විටදී ද මහජනයාට මූලික තිර පිටපත පිළිබඳ අවබෝධය ලබා ගැනීම පහසු නැත. ඒ සියල්ලටම වඩා ජාතික බලවේග අතුරින් හදිසියේ මතුවන අය ජිනීවා වලට ගොස් ප්‍රති යෝජනාවක් අවශ්‍ය බව කියමින් ඒ සමස්ථ රහසිගත මෙහෙයුමට සුජාතභාවය ලබාදෙන විට ද මහජනයා විසින් එය ශ්‍රී ලංකාවට හිතකර යෝජනාවක් ලෙස දැකිය හැක. ඒ නිසා ආණ්ඩුව පමණක් නොව මානව හිමිකම් කවුන්සිලය තුළ බලය පෙන්වන බටහිර බලවේග වැටී තිබෙන අමාරු තත්වයෙන් ගොඩ ඒම සදහා විවිධ බලවේග විසින් ඉතා සූක්ෂම ලෙස සහ යම් පමණකට රහසිගතව ඉල්ලා සිටින ඊනියා ප්‍රති යෝජනා වල සැබෑ අරමුණ තේරුම් ගැනීම ඉතා වැදගත්වේ. ඒ අනුව 2019 මාර් තු මාසයේ දී ජාත්‍යන්තර පීඩනයට මුහුණ දීම සඳහා ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට ඉඩ ඇති ඊනියා ප්‍රති යෝජනාව හෙවත් විකල්ප යෝජනාවේ අඩංගුව මෙන්ම එය ඉදිරිපත් කරන ආකාරය සහ එය සාධාරණීකරණය කෙරෙන් ආකාරය තර් කානුකූලව මෙසේ උපකල්පනය කළහැක. සමස්ත ක්‍රියාවලිය සාධාරණීකරනය කිරීම කළ හැක්කේ සහ ඊට වීරත්වයක් ආරෝපණය කළ හැක්කේ ‘අපේ ප්‍රශ්න අප විසින් විසඳා ගැනීමට’ ඉඩ දිය යුතුය යන සාඩම්බර ඉල්ලීම තුළිනි. නමුත් අපේ ප්‍රශ්න අප විසින් විසදන්නේ අපට හරි වැරදි කියා දෙන බලවේගවලට වුවමනා ආකාරයට මිස ඊට වෙනස් ආකාරයකට නොවන බව යෝජනාව ඉදිරිපත් වූ පසුව දැකගත හැකි වනු ඇත. කෙසේ වෙතත් ඊට තාක්ෂණික සහ න්‍යායාත්මක සුජාත භාවය ලබාදීම සඳහා එම යෝජනාව දෙපාර්ශවය විසින් සමාව දීමේ න්‍යාය මත ඉදිරිපත් කෙරෙන බවට විශාල ඝෝෂාවක් ද ඇති කෙරෙනු ඇත. නමුත් ඒ සමාව දීම සිදු වන්නේ යුද අපරාධ චෝදනා ඉවත්කර ගැනීමෙන් හෝ ඒවා නිෂ්ප්‍රභ කිරීමෙන් නොවේ. එහිදී ඊනියා සමාව සඳහා එකඟ වන්නේ යුද අපරාධ චෝදනා පිළිගනිමින් හෙවත් ආරක්ෂක හමුදාව වැරදිකරුවන් බව පිළිගනිමිනි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව වැරදි කරුවන් බව ස්වේච්ඡාවෙන් පිළිනොගන්නේ නම් සමාව දීමේ කතාවක් අදාළ වන්නේ නැත. එසේ ම ඒ සමාවදීමේ යෝජනාවට බෙදුම්වාදී බලවේග විසින් විරුද්ධත්වය පළ කිරීම මගින් ඊට තවදුරටත් සුජාතභාවයක් ලබා දෙනු ඇත.

ඔවුන් එසේ විරුද්ධ විය හැක්කේ දේශපාලන සිරකරුවන් සහ හමුදාවේ යුධ අපරාධකරුවන් එක සමාන ලෙස සැලකිය නොහැකි බවට තර් ක කරමිනි. දැනටමත් ඉදිරිපත් කරන එම තර් කය අනුව සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධාන කොමිසම පිහිටුවීම මගින් එම ගැටළු විසඳිය හැක. මෙය ඉතා ප්‍රබල කේවල් කිරීමක් වන්නේ ඒ තුළින් රට තුළ සිටිමින් අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගැසිය හැකි විදේශීය මැදිහත්වීමකට පාර කැපෙන බැවිනි. ඊට අමතරව සමාවදීමේ නාමයෙන් දැනටමත් ප්‍රායෝගිකව ප්‍රයෝජනයක් නොමැති යෝජනාවක් වන දෙමුහුන් අධිකරණ යෝජනාව ඉවත් කෙරෙණු ඇත. මෙම ක්‍රියාවලියට නායකත්වය දෙන පිරිස රණවිරුවා දංගෙඩියෙන් බේරාගත් විරුවන් යන විරුධාවලියෙන් පිදුම් ලබනු ඇත. ඒ සියල්ලට ඉහළින් ගැටුම් නැවත ඇතිවීම වැළැක්වීමේ මැජික් එක හෙවත් ව්‍යවස්ථා සංශෝධන පොරොන්දුව නැවත අලුත් කෙරෙනු ඇත. බෙදුම්වාදීන්ට ඊට වඩා අවශ්‍ය වන්නේ මොනවාද? එය අප විසින්ම අපගේ බෙල්ලට තොන්ඩුව දමාගෙන කඹයේ අනෙක් කොන මානව හිමිකම් කවුන්සිලයට බාර දීමකි. කවුරු කැමති වුවත් අකමැතිවුවත් ඉන් ගැලවීම සදහා ඇත්තේ එක් මාර් ගයක් පමණි. ඒ 2015 දී ජනාධිපතිතුමාගේ හෝ අමාත්‍ය මණ්ඩලයේ හෝ පාර් ලිමේන්තුවේ අවසරයක් නොමැතිව මංගල සමරවීර අමාත්‍යවරයා විසින් 30/1 යෝජනාව අනුමත කිරීම නීත්‍යානුකූල නොවන බව ප්‍රකාශයට පත් කිරීමය. ඒ සදහා සුදුසුම ක්‍රමවේදය වන්නේ මංගල සමරවීර අමාථ්‍යවරයා විසින් එසේ ලබාදුන් අනුමැතියේ න්‍යායපත්‍රානුකූල භාවය නීර්ණය කිරීම සදහා විශේෂ කමිටුවක් පත්කොට නිර්දේශ ලබා ගැනීමයි. ඊට අමතරව ඒ සදහා ව්‍යවස්ථාවේ 129 වැනි වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමටද ජනාධිපතිතුමාට බලය ඇත. නමුත් මෑත කාලීන අත්දැකීම් අනුව දෙවන ප්‍රෙව්ශය ප්‍රඥාගෝචර නොවාය හැක. ඉන් පසුව කළ යුත්තේ හමුදාවට එරෙහිව යුද අපරාධ එල්ල කෙරෙන වාර් තාව අභියෝගයට ලක්කර එම චෝදනා වලට පිළිතුරු බැදීම සහ 30/1 යෝජනාවට ලබා දුන් සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමය. ඒ හැර අන් විකල්පයක් තිබේනම් ඒ ඊනියා ප්‍රතියෝජනාව නම් වූ පාවාදීමේ විකල්පය පමණි.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More