පුරවැසි කොලම

වරලත් ඉංජිනේරු සංජීව විජේසිංහ

මෙරට වාරි කර්මාන්තය ගැන කතා කිරීමේ දී “වැව” අමතක කළ නො හැකි ය. “අහසින් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයවව්” පළමුවැනි පරාක්‍රමබාහු රජතුමාගේ ඒ උදාන ප්‍රකාශය ද හෙළ රජදරුවන් වැව හා තිබුණු සබඳතාව ප්‍රකට කරන්නකි. හෙළ රජදරුවෝ එදා තැනූ යෝධ වැව් අදටත් වියළි කලාපයේ ජල අවශ්‍යතාව වෙනුවෙන් ඉටුකරන මෙහෙය සුවිශේෂී ය. එහෙත් වැව පිළිබඳ තියෙන වත්මන් අවබෝධය එතරම් නිවැරැදි නොවේ. අද දිනයේ ද වියළි කලාපයට ජලය සැපයීම අරමුණු කරගනිමින් වාරි යෝජනා ක්‍රම ක්‍රියාත්මක වුව ද ඒවායේ සාර්ථකත්වය පිළිබඳ විවිධ ගැටලු පවතී. මේ, ඒ පිළිබඳ වරලත් ඉංජිනේරු සංජීව විජේසිංහ සමග කළ සංවාදයකි. ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරවරයකු වශයෙන් කටයුතු කරන ඔහු දීර්ඝ කාලයක් තිස්සේ මෙ රට වැව් පද්ධති පිළිබඳ අධ්‍යයනයක යෙදී සිටියි.. වරලත් ඉංජිනේරු කපිල පීරිස් සමග බිසෝකොටුව පිළිබඳ ඔහු කළ පර්‌යේෂණය ද එහි දී විශේෂ වේ.

වියළි කලාපයේ මිනිස්සු මුහුණ දෙන ප්‍රධාන ම ප්‍රශ්නය ජලය නැතිකම නේ ද?

බැලූ බැල්මටම ඒක පේනවානේ! මේ ප්‍රශ්නය විසඳන්න කියලා විවිධාකාර ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරලා තියෙනවා. ජල ප්‍රවාහ හරස් කරලා වේලි අමුණු හැදුවා. කොන්ක්‍රීට් ඇල මාර්ග හැදුවා. උමං මාර්ග හැදුවා. ඒවා යොදාගෙන වියළි කලාපයට ජලය ගෙනියන එක තමයි ඒ වැඩවලින් කළේ. ඒ ඇරුනාම උස්සාන වාරි ජල යෝජනා ක්‍රමත් ක්‍රියාත්මක කළා. මෑතක දී හදලා ඉවර කරපු මොරගහකන්ද සැලසුම් කළෙත් ඒ වෙනුවෙන්මයි. ඒත් වියළි කලාපයේ ජල ප්‍රශ්නය තවමත් විසැඳිලා නෑ.

මෙහෙම වුනේ ඇයි?

මහවැලි යෝජනා ක්‍රමය සැලසුම් කළේ උතුරු ප්‍රදේශවලට ජලය ගෙනියන්න. ඒ යෝජනා ක්‍රමය යටතේ නව ජය ගඟ කියලා එකක් හැදුවා. කලා වැවේ ඉඳලා තිසා වැවට ජලය ගෙනියන්න හදපු ඇලක් අපිට තිබුණා. ඒ තමයි පරණ යෝධ ඇල. හැතැප්මකට අඟලක බැස්මක් තියෙන විදිහට ඉදි කළා කියන ඒ නිර්මාණය ගැන අපි ආඩම්බර වුනා. ඒත් අපි කළේ මොකක්ද? ඒ පරණ යෝධ ඇල කාර්යක්‍ෂම නෑ කියලා තීරණය කරලා තියුණු බෑවුමක් තියෙන විදිහට නව ජය ගඟ හැදුවා. ඒත් පරණ යෝධ ඇල කියන්නේ නිකම් ම නිකම් ඇලක් විතරක් නෙවෙයි. ඒක මහ විශාල ජල පද්ධතියක්. පරණ යෝධ ඇලයි ඒ ආශ්‍රිතව හදලා තිබුණු කුඩා වැව් විශාල ප්‍රමාණයකුයි එකිනෙකින් පෝෂණය වුනා. නව ජය ගඟ හදපු අය මේ ගැන හිතුවේ නෑ. අර කුඩා වැව් සිය ගණනක් කපලා ඒ බිම්වලත් කුඹුරු හැදුවා. මේවා සැලසුම් කරපු අය ඒ වැව්වලට කිව්වේ අකාර්යක්ෂම ජලවාෂ්පීකරණ තැටි කියලා.

වැවක් කියලා කියන්නේ ජලය ගබඩා කරන ටැංකියක් විදියට සළකන පිරිසකුත් ඉන්නවා නේ ද?

ඔව්. මෙන්න මේ අදහස හින්දා තමයි අපිට වැරැදිලා තියෙන්නේ. බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී සුදු ජාතික උගත්තු වැව් දැක්කේ මේ විදිහට. ඒ අය අතින් සිද්ද වෙච්ච ලොකු සේවාවකුත් තියෙනවා. සමහර සුදු ජාතික උගත්තු අපේ වැව්වලට අදාළ සමහර විස්තර ලේඛනගත කළා. ඒක අගය කරන්න ඕන. ඒත් වැව කියන්නේ මොකක් ද කියලා හඳුනා ගන්න, ඒවා ඒ ආකාරයට ගොඩ නැගුවේ ඇයි කියලා තේරුම් ගන්න ඕන කරන මූලික අවබෝධයක් ඒ අයට තිබුණේ නෑ. එංගලන්තේ වැව් නෑනේ. ඒ අයගේ අත්දැකීම්, එහෙමත් නැතිනම් ඒ අය ලබපු අධ්‍යාපනය අනුව තමයි ඒ සුදු මහත්තුරු වැව ගැන තේරුම් ගත්තේ. ඒ ගැන ඒ අයට දොස් කියන්න අපිට බෑ.

අපේ හුඟක් උගත්තු හිතන්නෙත් ඒ විදිහටමනේ …

වැවේ උරුමය ලබපු අපේ උගත්තුන්ට සුදු ජාතිකයන් ඉක්මවලා ගිහිල්ලා හිතන්න බැරි වෙච්ච එකට නම් සමාවක් දෙන්න බෑ. අපේ සිංහල අධ්‍යාපන ක්‍රමය බිඳ වැටිලා තියෙන බව ඇත්ත. පිරිවෙන් අධ්‍යාපනයත් ගිලිහිලා යන්න පටන් අරගෙන. අද වෙද්දි අපේ මුළු අධ්‍යාපනය ම බටහිරකරණයට ලක්වෙලා. අපි ඔක්කොටම බටහිර අධ්‍යාපනය බලපාලා තියෙනවා. ඒකෙන් කැඩිලා වැව දිහා බලන හැකියාව අපේ සමහර උගත්තු නැති කරගෙන. අපි අපේ ඕන එපාකම් සහ අත්දැකීම් පදනම් කරගෙන වැව ගැන හිතන්න ඕනෑ. ඒ සඳහා අපිට ලොකු වීරියක් වඩන්නත් වේවි. ඒ මාර්ගයෙන් අපිට වැව ගැන අපේ දැනුමක් නැවතත් නිර්මාණය කර ගන්න පුළුවන්.

ඇත්තටම වැවෙන් වෙන්නේ මොකක්ද?

වියළි කලාපය හැම අතින්ම වියළියි. සුළඟ පවා වියළියි. රතු දුඹුරු පාට පසේ තියෙන වැලි සහිත බව හින්දා ජලය රැ‍ඳෙනවත් අඩුයි. වැස්සත් අඩුයි. කාලෙකට විතරයි වහින්නේ. මේ කලාපය පුරා ගලන ස්වභාවික දිය පාරවල්වල, ඒ කියන්නේ, ඔය, ආර කියන නම්වලින් හඳුන්වන “ගංගාවල” අවුරුද්ද පුරාවට ම ජලය ගලන්නේ නෑ. පිහිටි ගලත් මතුපිට පස් තට්ටුවට කිට්ටුවෙන්මයි තියෙන්නේ. දවසේ වැඩි කාලයක් පුරාවට හිරු එළිය තදින් ම වැටෙනවා. ඒත් මේ පොළොව බොහොම සරුසාරයි. ඉතින් මිනිසා ඇතුළු සියළු සත්වයන්ට, ගහකොළට වඩා හිතකර සරුසාර බිමක් බවට ඒක පත් කරන එක තමයි වැවෙන් සිද්ද වුනේ. වඩාත් නිවැරදිව කියනවා නම් ස්වභාවය නියම විදිහට වටහාගෙන ජීවය පෝෂණය වෙන විදිහට නිර්මාණය කරපු පාංශු-ජල සංරක්‍ෂණ පද්ධතියක මූලික ම අංගයට තමයි වැව කියලා කියන්නේ.

පාංශු-ජල සංරක්‍ෂණ පද්ධතියක් ..?

ඔව්. ඉර හඳ තියෙන කල් පවතින්න හදපු පාංශු-ජල සංරක්‍ෂණ පද්ධතියක්. පස ඇතුළේ ම තමයි මේ ක්‍රමයේ දී ජලය ගබඩා කරන්නේ. ඒ වගේ ම පස ඇතුළේ ම තමයි මේ ක්‍රමයේ දී ජලය ප්‍රවාහනය කරන්නේ. ඒ වගේ ම ජලය පිරිසිදු කරන්නේත් නැවත නැවත භාවිතයට සුදුසු තත්ත්වයට පමුණුවන්නේත් පසමයි.

මුළු වියළි කලාපය ම එක විදිහේ එකක් නෙවෙයිනේ …

මේ විදිහේ පද්ධති මහ විශාල ගණනක් රටේ විශාල භූමි ප්‍රමාණයක් ආවරණය වන විදිහට අපේ මුතුන්මිත්තෝ හදලා තිබුණා. ඒවා හදලා තිබුණේ එකම විදිහකට නෙවෙයි. පස, දේශගුණික සාධක, භූමියේ පිහිටීම වැනි සාධක පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් ඇතුව තමයි ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගැලපෙන විදිහට ඒවා හදලා තිබුණේ. කුඩා වැව් වැඩිම ප්‍රමාණයක් දකින්න ලැබෙන්නේ වයඹ පළාතේ. තිසා වැව, නුවර වැව, නාච්චදූව වැව, යෝධ වැව වගේ මහ වැව් වැඩියෙන් ම තියෙන්නේ උතුරු මැද පළාත ආශ්‍රිතව. අමුණු වැඩියෙන් ම දකින්න තියෙන්නේ තෙත් කළාපයේ. ඒ පළාත්වල වැව් දක්නට ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. ඌව, හම්බන්තොට වගේ ප්‍රදේශවල වැටියෙන් ම තියෙන්නේ වැටි කියන ක්‍රමය.

මේවා පද්ධතියක් විදිහට හැදෙන්නේ කොහොම ද?

වැව් තියෙන්නේ තනියෙන් නෙවෙයි. පුංචි වැව් දෙකක් හරි ඊට වැඩි ගණනක් හරි එකතු වෙලා එල්ලංගා පද්ධතියක් හැදෙනවා. මේ පද්ධතියට වැව් වගේ ම ඒවා එකිනෙක එක්ක සම්බන්ධ කරන ඇල මාර්ගත් අයිතියි. ඉහළ වැවක ඉඳලා පහළට ගලාගෙන එන වෙල්පහු ජලය තවත් වැවකට එකතු වෙනවා. මේ ඉහළ පහළ වෙනසත් ලොකු එකක් නෙවෙයි. ඒවා සම්බන්ධ කරන ඇල මාර්ග සහ කුඹුරු බොහෝ දුරකට සම මට්ටමක තමයි තිබුණේ. මේ සමස්ත පද්ධතිය හින්දා භූගත ජල මට්ටම වැඩි කරනවා. ඒ මාර්ගයෙන් පසේ සඵල ජල ධාරිතාව ඉහළ නංවනවා.

ඒ විදිහේ එල්ලංගා පද්ධති දැන් තියෙනවා ද?

ඔව් අදටත් මේ එල්ලංගා පද්ධති යම් ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවා. කැකිරාවේ ඉඳලා මරදන්කඩවල පාරේ අනුරාධපුරයට යද්දි මුණ ගැහෙන තිරප්පනේ, මහකනමුල්ලේ, උලගල්ලේ එල්ලංගා පද්ධති තියෙනවා. හබරණ ප්‍රදේශයේ බෙල්ලන්කඩවල තියෙන එල්ලංගා පද්ධතියත් තවත් උදාහරණයක්. මේ සමහර එල්ලංගා පද්ධතිවල කුළු වැව් සමහරක් ගොඩවෙලා. ඒ හින්දා ඒ පද්ධතිවල ක්‍රියාකාරිත්වයට බාධා එල්ල වෙලා තියෙනවා.

බිසෝ කොටුවේ තියෙන විශේෂත්වය මොකක්ද?

වැව් බැම්මේ ඇතුල් පැත්තෙන් ඉදි කරලා තියෙන බිසෝ කොටුව කියන්නේ සිංහලයන්ගේ විෂිශ්ඨතම නිර්මාණයක්. බිසෝ කොටුව නිර්මාණය නො කළා නම් මහ වැව් නිර්මාණය නොවෙන්නත් ඉඩ තිබුණා. අඩි 30ක් 40ක් උසක් තියෙන ජල කඳක් වැව් බැම්මට හානියක් නොවන විදිහට ඒ ජල ක‍ඳේ පීඩනය සහ වේගය හොඳින් පාලනය කරලා මුදා හරින්න සූදානම් කරන එක තමයි බිසෝ කොටුවෙන් කෙරෙන්නේ. එහෙම පීඩනය සහ වේගය පාලනය කරපු ජල කඳ පිටත සොරොව් කටින් එළියට මුදා හරින්නේ ඉතාම සෙමෙන්. මේ වැඩේ කරන්නේ ජලය මත ජලය හැප්පෙන්න සැලැස්වීමෙන්. ස්වභාව ධර්මයේ හැසිරීම් හොඳින් තේරුම් ඇරගෙන මේ නිර්මාණය කරන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්.

වැව් ප්‍රතිසංස්කරණ කටයුතුත් කාලයක් තිස්සේ කරනවා නේද?

වැව් ප්‍රතිසංස්කරණය කරනවා කියලා මොනවා ද කරන්නේ? වැව් හාරනවා. වැව් බැමි ප්‍රතිසංස්කරණය කරනවා. වැව්වල රොන් මඩ අයින් කරනවා. ඒත් සමස්ත වැව් පද්ධතිය ගැන හෙවිල්ලක් නෑ. අතරින් පතර තෝරා ගත්ත වැව් එක දෙක වෙන වෙනම හදලා වැඩක් නෑ. සමස්ත පද්ධතිය ම නැවත හදන්න ඕන.

අපේ වැව් පද්ධති පණ ගන්වන්න නම් රජය මොනවා ද කරන්න ඕනෑ?

අපේ වැව් පද්ධතිය බිද වැටෙන්න හේතු මොනවා ද කියලා හොයලා බලන්න ඕන. ඒ අතර මුලින්ම තියෙන්නේ වැව පිළිබඳ වැරදි ආකල්ප. වැවක් කියලා කියන්නේ ජලය එක් රැස් කරලා පස්සේ බෙදා හරින්න යොදා ගත්ත ටැංකියක් නොවන බවත් ඒක අපේ මුතුන් මිත්තන් නිර්මාණය කරපු තිරසාර පාංශු-ජල සංරක්‍ෂණ පද්ධතියක මූලික අංගයක් බවත් අපි තේරුම් ගන්න ඕන. මේ දැනුම මිනිසුන් අතරට විශේෂයෙන්ම උගතුන් අතරට විධිමත්ව ගෙනියන වැඩපිළිවෙළක් රජය පටන් ගන්න ඕන. එහෙම කළාම නව ව්‍යාපෘති ආරම්භක අවස්ථාවේ දී ම නියම විදිහට ඒවා සැලසුම් කරන්න පුළුවන්.

මේ පද්ධති ටික නැවත හදලා දෙන එක ආණ්ඩුවේ වගකීමක් නේ ද?

මේ හැම වැඩක් ම ආණ්ඩුව කරන්න ඕන නෑ. රජය මේ වැඩ බාර ගැනීම හින්දා සිද්ද වෙලා තියෙන නරක ම දේ තමයි වැවේ වගකීමෙන් වැවෙන් පෝෂණය ලබන මිනිස්සු ඈත් වෙච්ච එක. ඒකත් වැව් පද්ධති බිද වැටීමට හේතු වුනා. සම්ප්‍රදායිකව මේ වැඩේ කළේ ගමේ මිනිස්සු. ආණ්ඩුව භාර ගන්න ඕන මොනවා ද භාර නො ගන්න ඕන මොනවා ද කියන එක තීරණය කළ යුතුයි. කුඩා වැව්, අමුණු සහ ඇල මාර්ගවල නඩත්තුව සහ ප්‍රතිසංස්කරණය ඒවායින් පෝෂණය ලබන ගමට හරි ගම් කිහිපයට හරි භාර කරන්න ඕන. මහ වැව්වල නඩත්තුව විතරක් රජයට භාර ගන්න පුළුවන්.

වැව් ගැන දැනුමක් අලුත් පරම්පරාවල අයට නෑ. මේ අඩුපාඩුව නැති කරන්න මොනවද කරන්න ඕනෑ?

පාසල් අධ්‍යාපනයේ ඉඳලා ම මේ අඩුපාඩුව නැති කරන්න ඕනෑ. ඒ සඳහා පොත පත සුලබ කරන්න ඕන. කුඩා දරුවන්ට කියවන්න පුළුවන් නිර්මාණාත්මක කෘති හරහා මේ දැනුම ප්‍රචලිත කරන්න පුළුවන්. නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපටි නිර්මාණ හරහා වගේම කථික තරග, චිත්‍ර තරග, රචනා තරග හරහාත් වැව පිළිබඳ සංවේදීතාවක් ඇති කරන්න පුළුවන්. ඊට අමතරව යම් ප්‍රයෝගික පුහුණුවක් සහ අත්දැකීමක් ලබා දෙන වැඩපිළිවෙළක් තියෙන්නත් ඕන. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ අම්පාරේ මහඔය පැත්තේ ගමකට අපි ශිෂ්‍යයෝ පිරිසක් එකතු වෙලා ගිහිල්ලා වැවක් හදන වැඩකට උදව් වුනා. සතියකට වැඩි කාලයක් අපි ඒ වැඩේ කළා. ඒක අපි ස්වේච්ඡාවෙන් කරපු වැඩක්. මේ වගේ ප්‍රායෝගික වැඩ අපේ අධ්‍යාපනයට ඇතුළත් කරන්න පුළුවන්.

විශ්වවිද්‍යාලවල වැව ගැන පර්යේෂණ කෙරෙනවා ද?

නො කෙරෙනවා කියලා කියන්න බෑ. ඒත් ඒවා ගොඩක් වෙලාවට එක එක අංශවලට සීමා වෙලා. පුරාවිද්‍යාවට අදාළව එහෙම නැතිනම් අභිචාර විධි අධ්‍යයනයට අදාළව එහෙමත් නැතිනම් සමාජ විද්‍යාවට අදාළව කෙරෙන පර්යේෂණවලට ඒවා සීමා වෙලා. ඒවාත් ඕන තමයි. ඒත් වැව පිළිබඳව කෙරෙන ගැඹුරු අධ්‍යනයක අවශ්‍යතාව අද ඉහළින් ම තියෙනවා. ජලය කියන්නේ අපි හැම දෙනාටම නැතුවම බැරි දෙයක්.

වැව ගැන පර්යේෂණ කරන සෑහෙන පිරිසකුත් ඉන්නවානේ …

විශ්වවිද්‍යාලයෙන් පිට “ජාතික විද්‍යා පදනම” වගේ රාජ්‍ය ආයතනවලට ගොනු වෙලා මේ ක්‍ෂේත්‍රය ගැන කාලයක් තිස්සේ පර්යේෂණ කරන පිරිසක් ඉන්නවා. මාකස් කරුණානායක මහාචාර්යතුමාගේ සභාපතිත්වයෙන් තියෙන කමිටුවකින් තමයි මේ පර්යේෂණ මෙහෙයවන්නේ. මේ වැඩේට විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. මහාචාර්ය එම්. යූ. තෙන්නකෝන්, වරලත් ඉංජිනේරු කපිල පීරිස්, ආචාර්ය පී. බී. ධර්මසේන, පුරාවිද්‍යාඥ තුසිත මෙන්ඩිස්, පාරම්පරික ඥාණ ගවේෂකයෙක් විදිහට සැළකෙන මතුගම සෙනෙවිරුවන් කියන අය මේ වැඩේට එකතු වෙලා ඉන්නවා. මේ වැඩ සාර්ථකව ඉදිරියට ගෙනි යන්න ලැබුනොත් වැදගත් ප්‍රථිඵල ලබාගන්න පුළුවන් කියලා මට හිතෙනවා.

සාකච්ඡා කළේ: දිහාන් බණ්ඩාර කීරියවත්ත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More