අගය එකතු කළ නිෂ්පාදන ලෙස ගම්මිරිස් ලෝක වෙළෙඳපොළට සැපයීම ප්‍රධාන උපායමාර්ගයක් විය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
ගම්මිරිස් ප්‍රශ්නයට දීර්ඝකාලීන විසඳුමක් සෙවීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡාවක් අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
පහළ වැටී ඇති ගම්මිරිස් මිල ඉහළ නංවා වගාකරුවන් ආරක්ෂා කර දෙන්නැයි පසුගිය දිනවල දිස්ත්‍රික්ක කිහිපයක චාරිකා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ගොවීහූ ඉල්ලා සිටියහ.
2015ට පෙර ගම්මිරිස් කිලෝවකට රුපියල් 1,300- 1,500ත් අතර මිලක් ලැබුණු අතර දැන් එය රුපියල් 450ත්-500ත් දක්වා අඩු වී තිබේ.
අමු ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 150ත්- 175ත් අතර වේ.
“ලොව ඉහළ ගුණාත්මක තත්ත්වයක් සහිත ගම්මිරිස් නිෂ්පාදකයා ශ්‍රී ලංකාවයි. මෙරට ගම්මිරිස් සඳහා ලෝක වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් පැවතිණ. අපනයනයෙන් 75%ක පමණ ගැණුම්කරු වූයේ ඉන්දියාවයි. ඇමරිකාවෙන් සහ යුරෝපා රටවලින් ද ඉහළ ඉල්ලුමක් තිබූණා,“ යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.
අඩු ගුණාත්මක අගයෙන් යුත් ගම්මිරිස් වියට්නාමයෙන් ගෙන්වා දේශීය ගම්මිරිස් සමග මිශ්‍ර කර ලෝක වෙළෙඳපොළට ප්‍රති අපනයනය කිරීම පසුගිය වසර කිහිපය තුළ සිදුව තිබේ.
මේ නිසා ඉන්දියාව ඇතුළු සෙසු රටවලින් ගම්මිරිස් සඳහා ඉල්ලුම සීග්‍රයෙන් පහත වැටිණ.
“මම බලයට පත්වීමෙන් පසු ගම්මිරිස් ආනයනය සම්පූර්ණයෙන් නතර කළා. ඒ සමග ගුණාත්මක බවින් ඉහළ ගම්මිරිස් අපනයනයට නැවත අවස්ථාව උදා වුණා. සියලු තානාපති කාර්යාල මගින් මේ පිළිබඳ ව ගැණුම්කාර රටවල් දැනුවත් කර විදේශීය වෙළෙඳපොළ දිනාගත යුතුයි,” ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ඉන්දියාව සමග සාකච්ඡා කර දැනට වැඩි ගම්මිරිස් ප්‍රමාණයක් සැපයීම කෙරෙහි ද අද රැස්වීමේදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මේ අතර නව අපනයනකරුවන් බිහි කරමින් අපේ ගම්මිරිස් සඳහා ලෝක වෙළෙඳ පොළෙහි ඉල්ලුම වැඩි කිරීම සහ පසු අස්වනු තාක්ෂණික ක්‍රම දියුණු කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.
වියළීම, විෂබීජහරණය, දිස්ත්‍රික් මට්ටමින් සැකසුම් මධ්‍යස්ථාන ස්ථාපනය කර ගම්මිරිස් සඳහා ඉහළ අගයක් එකතු කළ හැකිවන පරිදි සකස් කිරීම සඳහා අවශ්‍ය පියවර කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රමුඛ ආයතන එක්ව සැලසුම් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
අවශ්‍ය යාන්ත්‍රෝපකරණ සඳහා ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය කරනු ලැබීය.
වැඩි මිලක් ලබාගත හැකි ගම්මිරිස් වර්ග වගාවට ගොවීන් උනන්දු කිරීමටත්, අවශ්‍ය දැනුම ලබාදීමටත් ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට පැවසීය.
ගම්මිරිස් අස්වැන්නට ඉහළ මිලක් සහතික කිරීම සෑම තීරණයකම අවසාන ප්‍රතිඵලය විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
සියලු තීරණ වහාම ක්‍රියාත්මක කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඉදිරි දෙවසර තුළ ගම්මිරිස් සඳහා ඉහළ මිලක් ලබාගැනීම ඉලක්කය කරගත යුතු බව ද පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...