ව්‍යාපාරික පුවත්

කහ කුඩු අද ලංකාවේ බහුතරයක්ම කතා කරන ප‍්‍රභලම මාතෘකාවක් බවට පත්වී තිබෙනවා. එයට හේතුව කොරෝනා වසංගතයත් එක්ක ලංකාවේ කහ කුඩු වල මිල ඉතා අධික ලෙස ඉහළ යෑම වගේම ඉල්ලූමට සරිලන කහ කුඩු රට තුළ නොමැති වීම.

* ඇයි එහෙම වෙන්න හේතුව?

ලාංකීය ජනතාවගේ පරිභෝජනය සඳහා වාර්ෂිකව මෙටි‍්‍රක් ටොන් 7000ක් අවශ්‍ය වෙනවා. එම මෙටි‍්‍රක් ටොන් 7000 ක්ම හැත්තෑව දශකයේ සිට අනූව දශකය දක්වා නිෂ්පාදනය කරේ දේශීය කහ ගොවි කර්මාන්තයෙන්. ඒ කියන්නේ 100%ක්ම කහ නිෂ්පාදනය කරේ අපේ රටේ ගොවියන්. එතකොට කහ වලින් ලැබෙන මුළු ආදායමම අයිති වුණේ අපේ රටට.

* අනූව දශකයෙන් පස්සේ මොකක්ද වුණේ?

අපේ රටට වාර්ෂිකව පාරිභොජනයට අවශ්‍ය කහ කුඩු මෙටි‍්‍රක් ටොන් 7000න් 5000ක්ම ඉන්දියාවෙන් ගෙන්වන්න පටන් ගත්තා. ඉතුරු මෙටි‍්‍රක් ටොන් 2000 නිෂ්පාදනය කරේ ලාංකීය ගොවීන්. එයට හේතුව ලෙස එවකට රජයන් පෙන්වා දුන්නේ කහ කුඩු ලංකාවේ නිෂ්පාදනය කරනවාට වඩා ලාභයට ඉන්දියාවෙන් ගෙන්වන්න පුළුවන් කියලා.

එතන අපිට බැලූ බැල්මට සාධාරණ හේතුවක් ලෙස පෙනුනත් ස්වයංපෝෂිත රටක් තනන්නනම් පාලකයන් කළ යුත්තේ කහ කුඩු ඉන්දියාවෙන් ගෙන්වන එක නෙමෙයි.

* ලංකාවේ නිෂ්පාදනය වෙන කහ කුඩු වලට මිල අධික වෙන්න හේතුව කුමක්ද?

අපි මෙහෙම හිතමුකෝ….. ඇයි අපේ රටේ පහසුවෙන්ම නිෂ්පාදනය කරන්න පුළුවන් කහ කුඩු වල මිල අධික වෙන්නේ?

එයට හේතුව තමයි අපේ රටේ නිසි සැලැස්මක් නැති කම. ඒ වගේම කාර්යක්ෂමතාව නැතිවීම. මෙටි‍්‍රක් ටොන් 7000ක් රටේ නිෂ්පාදනය කරලත් අධික මිලට ගැනීමට හේතුව තමයි කුඩා බිම් ප‍්‍රමාණයන්වල වගා කිරීම. එතකොට කුඩා භූමි ප‍්‍රමාණයෙන් වගා කිරීමේදි ඒවට යන පිරිවැය වැඩියි. නමුත් විශාල භූමි ප‍්‍රමාණයක වගා කෙරේනම් ඒකට යන පිරිවැය අඩුයි.

එහෙනම් රජයන් ඒ ගැන අවබෝධයක් ඇතුව රජයේ ඉඩම් හෝ ගොවින්ට ලබා දීලා විශාල භූමිවල වගා කෙරේනම් රටට කහ වලින්ම විශාල ලාභයක් උපයාගන්න පුළුවන්.

ටික කාලෙකට කහ කුඩු වල මිල ඉහළ ගියත් රටට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා කහ කුඩු ඉතුරු කරගන්න පුළුවන් වුණොත් කහ වල මිල ඉන්දියාවෙන් ගෙන්වනවාට වඩා අඩු මිලට ලංකාවෙන්ම නිෂ්පාදනය කරගන්න පුළුවන් වගේම පිටරටවල් වලටද බෙදාහරින්නත් පුළුවන් වෙනවා. එතකොට දේශීය ගොවියනුත්  රැකෙනවා. රටේ මුදල් රට තුළම ඉතිරිත් වෙනවා. එහෙත් එවකට හිටපු කිසිම රජයක් මේ වගේ අඩු පාඩු තේරුම් අරන් දේශීය ගොවියන්ව  රැකගන්න උත්සාහ කරේ නෑ. තමන්ගේ හිතවතුන් ලව්වා ඉන්දියාවෙන් කහ ගෙන්වලා කීප දෙනෙක්ට වැජඹෙන්න බලාගෙන දේශීය කහ ගොවි කර්මාන්තයම විනාශ කරලා දැම්මා.

* දැන් මොකද්ද ඒකෙන් රටට වෙච්ච හොඳ?

කොරෝනා වගේ වසංගතයක් ආ සැණින්ම පිටරටින් ගෙන්වන ගොඩාක් දේවල් සීමා වුණා. එයින් අප රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් කහ කුඩු වගේ දේවල්ද මිල ඉහළ ගියා.

* එයට හේතුව දැනට රට තුළ ඉල්ලූමට සරිලන කහ කුඩු නිෂ්පාදනයක් නොමැති වීම නොවේද?

උඩ අපි කතා කරේ ලංකාවේ කහ හිඟ වීමට හේතුවනේ? නමුත් ඒ එක්කම මෙතන තවත් ලොකු මාෆියාවක් තිබෙනවා. ඒ කියන්නේ සමහරවිට කහ මාෆියාව පිටුපසින් පැවති රජයන්වල ප‍්‍රභල දේශපාලකයන් වගේම ඔවුන්ගේ හෙංචයියන්ද ඉන්නට පුළුවන්. අන්න ඒ අයගෙත් ප‍්‍රධානම අරමුණ තමයි ලංකාවේ කහ ගොවි කර්මාන්තය නැත්තටම නැති කරලා දාන එක.

එහෙම කරොත්නේ කහ මාෆියාව පිටිපස්සේ ඉන්න ගේම් කරුවන්ට පුළුවන් මේ හරහා කූට ලෙස මුදල් හම්බ කරන්න?

* කහ පිටරටින් ගෙන්වන එක නැති කරලා දැම්මොත් කොහේද මේ ජාවාරම් කරුවන්ට පැවැත්මක්?

ඒ එක්කම මෙතන තවත් කතාවකුත් හැංගිලා තියෙන්න පුළුවන්නේ? මොකද දැනට කහ ගෙන්වීම රජයෙන් තහනම් කරත් ඒ තහනම් නියෝගයවත් ගණන් නොගෙන කිලෝ දහස් ගණනින් හොරෙන් කහ ගෙන්වන්නේ ඇයි? කහ වලින් ඔච්චර ලාභයක් තියෙන හින්දද? නැතිනම් කහ මුවාවෙන් වෙන මොකක් හෝ නීති විරෝධී ජාවාරමක් සිදු වෙනවාද? මේ ගැන හරියට හොයලා බැලීමත් රජයේ වගකීමක්.

අපි නිකමට හිතමු අපිට සාමාන්‍ය ලාභයක් තිබෙන දෙයක් පිටරටින් ගෙන්වනවා කියලා? නමුත් කාලයක් යද්දි අපි පිටරටින් ගෙන්වන එක රජයෙන් තහනම් කරනවා. නීතියට ගරු කරන පුද්ගලයෙක්නම් කරන්නේ එක පාරටම තමන් කරපු බිස්නස් එක නවත්තලා දානවා. නමුත් තවත් සමහරුන් ඉන්නවා රජයෙන් තහනම් කරත් එක එක මාර්ගවලින් හොරෙන් ගෙන්වන. ඒත් ඒ ගෙන්වපු දේ රජයෙන් ඇල්ලූවා කියමුකෝ. ඊට පස්සේ ඔහු කරන්නේ ගිය දේ ගියාවේ ආයේනම් ඕවා ගෙන්වන්නේ නෑ අන්තිමට අතේ තියෙන සල්ලි ටිකත් නැති වෙලා යන එන මන් නැති වෙන්නයි වෙන්නේ කියලා හිතලා ඒ බිස්නස් එක නවත්තලා දාන එක. එහෙත් මේ දෙකටම නැතිව හොරෙන් ගේන එක රජයෙන් කොච්චර ඇල්ලූවත් නැවත නැවත හොරෙන් ගෙන්වනවානම් එතන මොකක් හරි ලොකු හොරයක් තියෙන්න පුළුවන් නේද?

* එහෙනම් කහ කිලෝ දහස් ගණනින් අල්ලන්න අල්ලන්න බය නැතුව හොරෙන් ගෙන්වනවා කියන්නේ කහ රත්තරන්ද?

මොකද ඔය කියපු ජාති තුන තමයි කොච්චර ඇල්ලූවත් එක පාරක් හොරෙන් පන්න ගත්තොත් ඒ අල්ලපු පාඩුවට වඩා දහගුණයකින් ලාභයන් උපයන්න පුළුවන් දේවල්. එතකොට කහ කියන්නෙත් එහෙම ජාතියක්ද? මටනම් හිතාගන්නවත් බෑ….

දැන් බලන්න මේ දවස් කීපයකටම කෝටි 11ක් වටිනා නීති විරෝධී කහ මෙරටට ගෙන්වලා තිබෙනවා. ඒවා ආරක්ෂක අංශ විසින් අල්ලලත් තියෙනවා. එහෙම අල්ලලත් තවමත් හොරෙන් ගෙන්වනවා. ඒකට රේගුවේ නිලධාරීන්ගෙත් සහාය ලැබෙනවා.

එහෙනම් රටට ගෙන්වීමට තහනම් කරපු දෙයක් විශාල ලෙස මුදල් වියදම් කරලා ලොක්කෝ සික්කෝ හැම කෙනෙක්ටම විශාල අල්ලසක් දීලා ගෙන්වනවා කියන්නේ ඇත්තටම ඕවායේ තියෙන්නේ කහ කුඩු කියලා විශ්වාස කරන්න පුළුවන්ද?

මේ ළඟකදිත් රේගුවේ නිලධාරීන්ගේ සහාය ඇතුව උළුඳු, වීදුරු කියලා ව්‍යාජ ලේඛන සකස් කරලා කහ ගෙන්වලා බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ ගබඩාවක සඟවලා තියෙද්දි ආරක්ෂක අංශය විසින් සොයාගෙන තිබෙනවා. ඒ කහ කුඩු තොගය රේගුවෙන් පිට කරපු රේගු නිලධාරීන් තුන් දෙනෙක් අත්අඩංගුවටත් අරන් තිබෙනවා.

මේ සිද්ධියෙන්ම අපිට හිතාගන්න පුළුවන් තමන්ගේ  රැකියාව නැතිවෙනවා වගේම තමන්ට සිර දඬුවම්ද විඳින්නට සිදු වෙනවා කියා දැන දැනම රේගු නිලධාරිනුත් මෙම ජාවරමට සම්බන්ධ වෙලා ඉන්නේ පොඩි මුදල් අල්ලස් වෙනුවෙන්ද? එහෙම වෙන්න බෑ…… කවුද කැමති පොඩි මුදල් අල්ලස් ලබාගෙන තමන්ගේ  රැකියාවත් නැති කරගෙන සිර දඬුවම් විඳින්න?

එහෙනම් මෙතන තියෙන්නේ පොඩි මුදල් හුවමාරුවක් නෙමෙයි.

කෝටි ගණනින් මුදල් අල්ලස් ලබා දෙනවා රේගු නිලධාරීන්ට. ඒ විශාල මුදල් නිසා තමයි රේගු නිලධාරිනුත් කිසිම බයක් සැකක් නැතුව මේ ජාවාරමට සම්බන්ධ වෙලා ඉන්නේ.

එහෙනම් මේ දිගට හරහට අල්ලන කහ කුඩු රස පරීක්ෂක වාර්තාවට යවලා හොයලා බලන්න ඕනි මේ කහ අස්සේ තිබෙන්නේ මොනවාද කියලා? කවුද දන්නේ ඕවායේ තියෙන්නේ මත් කුඩුද? නැතිනම් ජනතාවට වෙන වෙන ලෙඩ රෝගවල් ඇති කරන වස විසද කියලා?

අපිට දැන් හිතාගන්න පුළුවන්නේ රටේ කහ නිෂ්පාදනය බිඳ වැටෙන්න මේ පිටුපසින් විශාල පිරිසක් ඉන්නවා වගේම ඒ වෙනුවෙන් විශාල ප‍්‍රමාණයේ මුදල් වියදම් කරන බව?

එහෙනම් රජය මුලින්ම කරන්න ඕනි මෙම ජාවාරමට සම්බන්ධ සියලූ දෙනාවම නීතියේ  රැහැනට කොටුකිරීම. ඊට පස්සේ ඔය කහ කුඩු මාෆියාව නැති වෙලාම යාවි. 2019දි පාරිභෝජනය සඳහා කහ මෙටි‍්‍රක් ටොන් 7500ක අවශ්‍යතාව තිබුණත් රටේ නිෂ්පාදනය වෙලා තිබෙන්නේ මෙටි‍්‍රක් ටොන් 1200ක් පමණයි.

නමුත් එම නිෂ්පාදනය රටේ අවශ්‍යතාවට විශාල අඩුවක් නිසා මෙටි‍්‍රක් ටොන් 5382 ක් පිටරටින් ගෙන්වලා තිබෙනවා. ඒ වෙනුවෙන් වැය කරපු මුදල මිලියන 1200ක්. මිලියන 1200ක් කියන්නේ සෙල්ලමක්ද? මෙම විශාල අවුල හොඳින් තේරුම්ගත් වර්තමාන රජය දැනට හෙක්ටයාර් 1500ක පමණ භූමි ප‍්‍රමාණයක කහ වගා කර තිබෙනවා. ඒවායේ අස්වැන්න 2021 ක පෙබරවාරි මාසය වෙද්දි ලබාගන්නත් පුළුවන් වෙනවා.

එම අස්වැන්නෙන් මෙටි‍්‍රක් ටොන් 22,500ක් පමණ ලබාගන්නත් පුළුවන් වෙනවා. එයින් මෙටි‍්‍රක් ටොන් 4000ක් බීජ ලබා ගැනීම සඳහා වෙන් කරත් ඉතුරු ප‍්‍රමාණයෙන් රටේ අවශ්‍යතාවට ඇති වෙන්න කහ බෙදාහරින්නත් පුළුවන්කම ලැබෙනවා. රජය මේ තරම් වෙහෙසක් දරාගෙන ස්වයංපෝෂිත රටක් බවට පත් කරන්න මුල් අඩිතාලම් ටික සාර්ථකව දාද්දි එම අඩිතාලමට වටිනාකමක් ලබා නොදෙමින් ඒවා නැති කරලම දාන්න හදන්නේ කහ කුඩු මුවාවෙන් ක‍්‍රියාත්මක වෙන මහා පරිමාණයේ ජාවාරමක් පිටුපසින් ක‍්‍රියාත්මක වෙන්නට පුළුවන් කියලයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More