පුරවැසි කොලම

ඉතා ඉක්මනින් කොවිඩ් – 19 වසංගතය අවසන් වන බවක් නො පෙනෙයි. මිනිසුන් එයින් මුදවා ගැනීම සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම ද යෝජනා කෙරෙයි. කෙසේ වුව ද, ඒ සම්බන්ධයෙන් පවතිනුයේ විශාල අවිනිශ්චිත බවකි. මෙම කරුණ සහ ආශ්‍රිත අනෙකුත් කරුණු ගැන විමසීමට අප මුණ ගැසුණේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ මහතා ය. දැනට ගම්පහ මහ රෝහලේ කායික විශේෂඥ වෛද්‍යවරයා වශයෙන් ද හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කරන ඔහු හදිසි වෛද්‍ය කර්ම පිළිබඳ ගෝලීය අධ්‍යයන සභාවේ මහ ලේකම් තනතුර ද හොබවයි. ඉන්දියාවේ පැට්නා නුවර පිහිටි ඉන්දිරා ගාන්ධි වෛද්‍ය අධ්‍යයන ආයතනයේ බාහිර මහාචාර්යවරයකු වශයෙන් කටයුතු කරන ඒ මහතා දැඩි සත්කාර පිළිබඳ ලෝක සහයෝගිතා මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර සම්බන්ධිකාරක ලෙසින් ද ක්‍රියා කරයි. ශ්‍රී ලංකා අවදානම් සත්කාර සංසදයේ ආරම්භක සභාපති වශයෙන් ද කටයුතු කළ මහාචාර්ය මුණසිංහ මහතා හදිසි අනතුරු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සැකැසීමේ දී ද මූලික දායකත්වයක් ලබා දෙයි.
කොරෝනාව කියන්නේ මොන වගේ ලෙඩක් ද?
අපේ බටහිර වෛද්‍ය ක්‍රමයෙන් කියන විදිහට මේක වයිරස් රෝගයක්. වයිරසයක් කියන්නේ අන්වීක්‍ෂයකින් බැලුවත් පේනේනේ නැති තරම් පුංචි රෝග කාරකයක්. මේවාට පුළුවන් ඕනෑ ම ජීවි දේහයකට ඇතුළු වෙලා වර්ධනය වෙන්න. මිනිස්සු, සත්තු, ගහ කොළ විතරක් නෙවෙයි බැක්ටීරියාවලට පවා ඇතුළුවෙන්න මේවාට පුළුවන්. වයිරස් කියන්නේ ඒ තරම් ම පුංචි රෝග කාරකයක්. දැන් පැතිරිලා තියෙන කෝවිඩ් – 19 රෝගයට අදාළ වයිරසයත් එහෙම එකක්. මේ වයිරසය ආසාදනය වීමෙන් ස්වශන පද්ධතිය ආශ්‍රිතව හැදෙන රෝගයක් විදිහට තමයි කෝවිඩ් – 19 හඳුන්වන්නේ.
මේ වයිරසයේ විශේෂත්වය මොකක්ද?
වයිරස් හින්දා හැදෙන ලෙඩ ගොඩක් තියෙනවා. මේක RNA වයිරසයක්. සාමාන්‍ය හෙම්බිරිස්සාව, ඉන්ෆ්ලුවන්සා, සාර්ස්, ඩෙංගු, ජලභීතිකාව වගේ අපි දන්න කියන ලෙඩ ගොඩක් RNA වයිරස් හින්දා හැදෙනවා. ඩෙංගු බෝවෙන්නේ මදුරුවෝ හරහා. ජලභීතිකාව බෝවෙන විදිහ අපි හැමෝ ම දන්නවා. දැන් තියෙන කෝවිඩ් – 19 ලෙඩේ බෝ වෙන්න ඒ වගේ වාහකයෙක්ගේ මැදිහත්වීමක් ඕන නෑ. මේක හැදිච්ච කෙනෙක්ගෙන් තව අයට පැතිරෙන්න පුළුවන්. ඒ වගේ ම, මේක ඉතාමත් වේගයෙන් පැතිරෙනවා. ලෝකය පුරාමත් පැතිරිලා තියෙනවා.
කෝවිඩ් – 19 හැදුණා කියලා හඳුනාගන්නේ කොහොම ද?
ඒක නම් එච්චර ලේසි නෑ. මේ වයිරසය ආසාදනය වෙච්ච බහුතරයක් කිසිම රෝග ලක්‍ෂණයක් පෙන්නන්නේ නෑ. ඉතිරි අයත් පෙන්නන්නේ සාමාන්‍ය ස්වශන ලෙඩ හැදුනාම මතුවෙන රෝග ලක්‍ෂණ. මේ වයිරසය ආසාදනය වෙලා ද කියලා තහවුරු කරගන්න දැන් PCR පරීක්‍ෂාව කරනවා. ඊට අමතරව Rapid antigen test කියලා පරීක්‍ෂාවකුත් කරනවා. ඒත් මේ සම්බන්ධ යම් යම් ගැටලු තියෙනවා.
ඒ මොනවා ද?
උගුරේ සහ ඒ ආසන්නයේ තියෙන සෙම ටිකක් ඇරගෙන තමයි PCR පරීක්‍ෂාව කරන්නේ. මේ විදිහට ගන්න නියැදියේ වයිරසයත් එක්ක බැඳිච්ච DNA ප්‍රමාණය ඉතාමත් වේගයෙන් පිටපත් කරන එක තමයි මේ පරීක්‍ෂාවේ දී වෙන්නේ. ඒ කියන්නේ ආශ්‍රිත සටහන් පොඩි ප්‍රමාණයක පිටපත් බිලියනයක් වුනත් මේ ක්‍රමයේ දී හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඒ විදිහට වැඩි කරගත්ත නියැදියේ අපි මේ වයිරසයට අදාළ කරුණු නිරීක්‍ෂණය කරනවා. ශරීරයේ තියෙන සම්පූර්ණ වයිරස් ලෝඩ් එක (ප්‍රමාණය) ගැන අදහසක් ඒ හරහා ලැබෙන්නේ නෑ.
එතකොට ඇන්ටි-ජෙන් පරීක්‍ෂාව?
වයිරසය ආසාදනය වෙලා දවස් දෙක තුනක් ඇතුළත මේ පරීක්‍ෂාව කළාට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ. ආසාදනයෙන් දවස් පහක් හයක් ගත වුනාම වයිසරය උපරිම මට්ටමට වර්ධනය වෙනවා. අන්න ඒ වෙලාවට ඇන්ටි-ජෙන් පරීක්‍ෂාව ප්‍රතිඵල පෙන්වනවා. තව දවස් දෙක තුනක් ගත වුනාම වයිරසයේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඉතින් මේ පරීක්‍ෂාවෙන් ප්‍රතිඵල ලැබෙන්නේ වයිරසයේ ක්‍රියාකාරීත්වය උපරිම වෙලා තියෙද්දි විතරයි.
මේ රෝගයට තියෙන ප්‍රතිකාර මොනවා ද?
කෝවිඩි – 19 රෝගයට කියලා නිශ්චිතව හඳුනාගත්ත ප්‍රතිකාරයක් තවමත් බටහිර වෙදකමේ නෑ. අපි දැනට කරන්නේ රෝගීන් ස්වශන ආබාධවලින් පෙළෙනවා නම් ඒවා මග ඇරවා ගන්න උදව් කරන එක. ඒ වගේ ම, උණ අඩු කරගන්න, කැස්ස සමනය කරගන්න ප්‍රතිකාර කරන එක.
එතකොට කෝවිඩ් එන්නත?
ඒක තවමත් පර්යේෂණ මට්ටමේ තියෙන්නේ. මේ වෙද්දි ලෝකය පුරාම ඖෂධ සමාගම් 57 ක් මේ වෙනුවෙන් එන්නත් හදන්න පර්යේෂණ කරනවා. සමාගම් කීපයක් දෙවැනි අදියර දක්වා ඒ පර්යේෂණ කරලා තියෙනවා. ජර්මන්, ඇමෙරිකන්, බ්‍රිතාන්‍යය සහ රුසියානු සමාගම් තුන්වැනි අදියරටත් ඇවිල්ලා. මේ එන්නත් ඉතා මිල අධික වෙන්න ඉඩ තියෙනවා. දැනට මේවා ඇනවුම් කරලා තියෙන රටවල්වලින් බහුතරයක් ඉතාමත් පොහොසත් ඒවා. සාමාන්‍යයෙන් අපි වගේ සංවර්ධනය වෙන රටවල්වලට මේ එන්නත් ලැබෙන්න තව අවුරුදු දෙක තුනක් ගත වෙන්න ඉඩ තියෙනවා.
ඒ දක්වා කරන්න පුළුවන් මොනවා ද?
ඒ දක්වා කියලා අපි හිතන්න ඕන නෑ. මේ වගේ ලෙඩවලින් ආරක්‍ෂා වෙන ක්‍රම අපේ රටේ ඕන තරම් තිබුණා. අපි කරන්න ඕන මූලික ම වැඩේ ආරක්‍ෂා වෙන එකනේ. ඒ කියන්නේ වයිරසය ආසාදනය කරගන්නේ නැතුව ඉන්න එක. අපිට කරන්න පුළුවන් දෙවැනි වැඩේ තමයි තමන්ට ආසාදනය වුනොත් අනිත් අයට බෝ කරන්නේ නැතුව ඉන්න එක. මේක කරන්න මහ වියදමක් දරන්න ඕන නෑ.
ඒ කොහොම ද?
අපි පුංචි කාලේ බෝවෙන රෝගවලින් ආරක්‍ෂා වුනේ කොහොම ද? අපි ඒවාට කිව්වේ දෙයියන්ගේ ලෙඩ කියලා. පොඩි කාලේ පැපොල හැදිච්ච වෙලාවේ කරපු දේවල් මට තාමත් මතකයි. මාව වෙන් කරලා තිබ්බා. අපේ ගෙදර ඉස්සරහා කොහොඹ අත්තක් එල්ලුවා. මට කෑම බීම දුන්නේ අම්මා. වැසිකිලයට යද්දි වුනත් මාව රෙද්දකින් පොරවලා ඇරගෙන ගියේ. ඉතින් ඒ දේවල් ඒ විදිහට ම මේකටත් කරන්න පුළුවන්. මේවාට වියදම් යන්නේ නෑ.
මේක කොච්චර කාලයක් කරන්න ඕන ද?
මම කලින් කිව්වා වගේ මේ වයිරසය ආසාදනය වෙලා දවස් දෙක තුනක් යන කල් ඒක පැතිරෙන්න තියෙන ඉඩ අඩුයි. දවස් පහක් හයක් ගත වුනාම තමයි මේක පැතිරීමේ හැකියාව උපරිමයට එන්නේ. ඊට පස්සේ ආයෙත් ඒ හැකියාව අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් වයිරසය ආසාදනය වෙච්ච කෙනා සති දෙකක් විතර වෙන් කරලා තිබුණාම හොඳට ම ඇති.
ඒ කාලය තුළ අසනීප තත්ත්වය උග්‍ර වුනොත්?
සාමාන්‍යයෙන් උග්‍ර දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන අයට, හෘද රෝගවලින් පීඩා විඳින අයට, වෙනත් ඒ වගේ අසනීප තියෙන අයට මේ රෝගයෙන් හානි සිද්ද වෙන්න පුළුවන්. එහෙම අය ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඒ අයගේ මූලික ලෙඩවලට අවශ්‍ය ප්‍රතිකාර අඩුවක් නැතුව කරන්න ඕන. ඒ වෙනුවෙන් රෝහල් ගත කරන්න වුනත් පුළුවන්.
එහෙම අය මේ ලෙඩේ හින්දා මරණයට පත් වෙන්නත් පුළුවන් නේ ද?
ඒ විදිහෙ මරණ සෑහෙන ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. කොහොම වුනත් මේ මරණවලට අදාළ පූර්ණ මරණ පරීක්‍ෂණ පැවැත්වීමක් දැන් කරන්නේ නෑ. දැන් කරන්නේ වාචික මරණ පරීක්‍ෂණ විතරයි. මේ මළ සිරුරු කපන්න ඕන නෑ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා දැනුම් දීලා තියෙනවා. ඉතින් මේ මරණවලට අදාළ ඇත්ත හේතුව අපි දන්නේ නෑ. අපි අතර තියෙන්නේ යම් යම් අනුමාන විතරයි. හැබැයි ඉතාලියේ නම් මේ සම්බන්ධ මරණ පරීක්‍ෂණ ගණනාවක් කරලා තියෙනවා.
ඒ පරීක්‍ෂණවල ප්‍රතිඵල කොහොම ද?
ඉතාලියේ ඒ පරීක්‍ෂණ කරපු අය අපි මුලින් ම අගය කරන්න ඕන. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ඉක්මවලා ගිහිල්ලා තමයි ඒ අය අදාළ මරණ පරීක්‍ෂණ කළේ. මේ රෝගයෙන් මියගිය අයගේ ලේ කැටි ගැහිලා තියෙන බවක් ඒ පර්යේෂකයෝ හොයා ගත්තා. ඒක විශේෂ නිරීක්‍ෂණයක්. ඉතින් දැන් ඒ නිරීක්‍ෂණය මත පදනම් වෙලා අසාධ්‍ය රෝගීන්ට ඇස්පිරින් ලබාදීම කරනවා.
කෝවිඩ්වලට විකල්ප වෙදකම්වල ප්‍රතිකාර තියෙන්න පුළුවන් ද?
මේ “විකල්ප වෙදකම්” කියන කතාවට මම කැමැති නෑ. ලෝකයේ හැම රටක ම බටහිර වෙදකමට අමතරව ඒ අයගේ දේශීය වෙදකම් තියෙනවා. අපේ රටේ, ඉන්දියාවේ, චීනයේ, තායිලන්තයේ මේ හැම රටක ම තියෙනවා. මේවා “විකල්ප වෙදකම්” නෙවෙයි. ඒ රටවල්වල මිනිස්සු විසින් අවුරුදු දහස් ගණනක් තිස්සේ වර්ධනය කර ගත්ත දැනුම ඒ වෙදකම්වලට පදනම් වෙලා තියෙනවා. ඉතින් ඒ වෙදකම්වලින් මේ ලෙඩේ සනීප කරන්න පුළුවන් කියලා කියනවා නම් අපි ඒකට ඇහුම්කන් දෙන්න ඕන. ඉඩ දෙන්න ඕන. ඒ සඳහා අවශ්‍ය හැම පහසුකමක් ම සළස්වලා දෙන්න ඕන.
ඒ ප්‍රතිකාරවල සාර්ථකත්වය මනින්නේ කොහොම ද?
අවසාන ප්‍රතිඵලය නම් බටහිර ක්‍රමවලින් වුනත් මනින්න පුළුවන්. ඒත් ඒ ප්‍රතිකාර ක්‍රම අපේ ක්‍රමවලින් පරීක්‍ෂා කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. ඒවාට අදාළ වෙනත් දැනුම් පද්ධති. වෙනත් මූලධර්ම. අපි කොහොම ද අපේ මූලධර්මවලින් ඒවා ගැන කියන්නේ? ඇත්තෙන්ම කරන්න ඕන ඒ අයට ඉඩ දෙන එක. ඒ වගේ ම අවශ්‍ය පහසුකම් සළස්වන එක. ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් අපිට නෑ.
මේ වෙනුවෙන් සායනික පරීක්‍ෂණ කරන්න බැරි ද?
අපි අපේ බටහිර වෙදකමේ සායනික පරීක්‍ෂණ කරනවා තමයි. ඒත් මේ ක්‍රම ගැනත් යම් යම් ගැටලු තියෙනවා. මිනිස්සු සමානයි කියන උපකල්පනයේ රැඳිලා තමයි අපි සායනික පරීක්‍ෂාවලට කණ්ඩායම් වෙන් කරන්නේ. ඒත් මිනිස්සු එහෙම සමාන නෑනේ. එක පුද්ගලයෙක් වුනත් මොහොතක් පාසා වෙනස් වෙනවා. ඉතින් මේවාට අදාළ උපකල්පනවල ම ගැටලු තියෙනවා. සත්තුන්ට බෙහෙත් දීලා පරීක්‍ෂා කරන එකත් එහෙම වැඩක්. මිනිස්සු සහ මීයෝ අතර කොච්චර නම් ලොකු වෙනසක් තියෙනවා ද? ඒ හින්දා දේශීය වෙදකමට තමන්ගේ ක්‍රම අනුගමනය කරන්න දෙන එක තමයි වඩා හොඳ.
හොරු, වංචාකාරයේ ඉස්සරහට එන්නත් පුළුවන් කොහොම ද?
නියම වෛද්‍යවරු ඉස්සරහට එන එක වැළැක්කුවාම තමයි හොරු, වංචාකාරයෝ ඉස්සරහට එන්නේ. කිසිම සුදුසුකමක් නැති අය ලව්වා අපේ රටේ දේශීය වෙදකම පාලනය කරන්න යනවා නම් නියම වෛද්‍යවරු ඉස්සරහට එන්නේ නෑ. දේශීය වෛද්‍යවරුන්ට තමන්ගේ පාලන සභාවක් හදා ගන්න ඉඩ දෙන්න ඕන. අපේ දේශීය වෙදකම සහ ආයුර්වේදය කියන්නේ දෙකක්. ඉතින් ආයුර්වේද වෛද්‍ය සභාවෙන් දේශීය වෙදකම පාලනය කරන්න හොඳ නෑ.
ලෙඩවලට පෙති එන්නත් ඇරෙන්න වෙන බෙහෙත් නැති ද?
ඕන තරම් තියෙනවා. සංගීත චිකිත්සාව කියලා කියන්නේ එහෙම එකක්. බටහිර රටවල්වල මේ චිකිත්සාව ක්‍රියාත්මක කරනවා. ඇමෙරිකානු සංගීත චිකිත්සා සම්මේලනය කියලා එකකුත් තියෙනවා. ඇත්තෙන්ම අපේ රටේ ඉස්සර බලි, තොවිල්, ගම්මඩු නටලා කළෙත් එක්තරා ආකාරයක් සංගීත චිකිත්සාවක් කියලා කියන්න පුළුවන්. අපි ඒ ගැන තව තව හොයන්න ඕන. එහෙම නැතුව ඒවාට ගරහලා එන්නත්, පෙති පස්සේ විතරක් ගිහිල්ලා ලෙඩවලින් අත් මිදෙන්න බෑ.
ඒ කියන්නේ අපි ඒ දේවල් හෙළා දකින්න හොඳ නෑ?
බටහිර වෙදකම භෞතිකවාදී ලෝක දෘෂ්ටියක් උඩ නිර්මාණය වෙච්ච එකක්නේ. ඒත් ලෝකය භෞතිකවාදී විදිහට විතරක් තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. මේ කාරණය හොඳින් තේරුම් ඇරගෙන අපි අපේ දේවල් ගැන නැවත හිතන්න ඕන. එහෙම නැතුව ඒ දේවල් දිහාත් භෞතිකවාදී ලෝක දෘෂ්ටියෙන් බලනවා නම් වැඩක් වෙන්නේ නෑ. එහෙම භෞතිකවාදී කණ්ණාඩියෙන් මේ දැනුම දිහා බලන අයට මේ දේවල්වල සැබෑ වටිනාකම පේන්නේ නෑ. එහෙම අය තමයි මේ දේවල්වලට ගරහන්නේ. ඒකත් එක්තරා ආකාරයක ලෙඩක්.
සාකච්ඡා කළේ: චමින්ද ඒකනායක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More