Uncategorized

බලහත්කාරයෙන් ගොවිතැන කාබනික කරනවාට වඩා තිබෙන කාබනික ආහාරවලට කට හුරුකර ගැනීමත් වැදගත් දඩයම් යුගයක් පසුකළ මානවයා අනතුරුව පිවිසියේ එෙඬ්ර යුගයටයි. තම ගව, බැටළු රැල දක්කාගෙන තැනින් තැනට යද්දී, හිතට ඇල්ලූ ඇසගැටුණු පැළෑටි ගලවා ගෙනැවිත් තම වාසස්ථානය අසල වගාකිරීමත් සමග කෘෂිකර්මාන්ත යුගය ඇරඹුනා යැයි මේ වනවිට විශ්වාස කෙරේ. ඒ මීට බොහෝ කාලයකට පෙරාතුවය. සත්ව රැලෙහි අවශ්‍යතා සපුරනවා මෙන්ම තමා සිටුවාගත් ගහකොළ වලටද යම් සාත්තුවක් දියයුතු බව මිනිසාට තේරුම් ගන්නට එතරම් කලක් ගතවූයේ නැත. ස්වභාවික පරිසරයෙන් ඉවත්කිරීමෙන් අනතුරුව තවත් අයෙකුගේ විධානයකට යටත්ව වෙනත් තැනක ජීවත්වෙන ඕනෑම ජීවියෙකුට තම ජීවිත පැවැත්ම උදෙසා විශේෂිත අවශ්‍යතා මතුවීම ස්වභාවිකය. මේ අනුව ගොවිතැනත් සමගම මිනිසාට ආරම්භ කරන්නට සිදුවූයේ වල්පැළ මර්දනයයි. එනම් වල් මර්දනය කෘෂිකර්මාන්තය තරමටම පැරණිය. ඊළඟට පළිබෝධකයින් හා සටනට ඔහු පිවිසෙන්නට ඇත. අතිරේකව වගාවට පෝෂණ සාත්තුවක් දෙන්නට නම් මිනිසාට සිදුවූයේ සෑහෙන කලක් ගතවීමෙන් පසුව බව අප දන්නා කරුණකි. තවමත් ඇතැම් තැන්වල ක‍්‍රියාත්මකවන හේන් ගොවිතැන වනාහී සොබාදහමේ පෝෂණය පමණක් උකහා ගනිමින් කෙරෙනා ගොවිතැනකි. එසේනම් රසායනික පොහොර භාවිතය යනු කෘෂිකාර්මික පරිනාමය නමැති කතාන්තරයේ අගභාගයේ ලියවුණු පරිච්ෙඡ්දයක් බව පෙනේ. එය ලියන්නට මිනිසාට සිදුවූයේද ආහාර ඉල්ලා විවර වෙන කටවල් ගණන සනහන්නට කෘෂිකාර්මික තීව‍්‍රකරණය නමින් ක‍්‍රියාදාමයක් සමාජයට පිවිසීම හේතුවෙනි.

n25 2 රසායනික පොහොර භාවිතය නතර කරන්නට මේ දිනවල හදිසියේ පියවර ගනිමින් සිටී. රසායනික පොහොර නැතුව ගමනක් යන්නට නොහැකි යයිද, හැකි යයිද කියමින් දෙපැත්තකට බෙදී තර්ක කරනවාද අසන්නට ලැබේ. රසායනික පොහොර හරහා පැමිණෙන කැඞ්මියම් වැනි බැරලෝහ නිසා අපේ පස විනාශ වෙනවා යයිද කවුදෝ කියනවාද ඇසුනි. මුවහම් වලට කෙරෙන එවැනි තඩිබෑම් ගැන දැනුම් තේරුම් ඇත්තෝ කලබල වියයුතු නැත. වරද ඇත්තේ රසායනික පොහොර තුළද, මිලදීගත් තොගයේද යන්න අවබෝධයකින් යුතු නොවීම ගැන ඇත්තේ කනගාටුවකි. මෙම ඇත්තන් ඇෆ්ලටොක්සින් තියෙනවා කියා පසුගිය දිනෙක පොල්ගසට සාප නොකිරීම පුදුමයකි. ගමේ සතිපොළට ගියත් විවිධ මිල ගණන් වලට ගන්නට තක්කාලි ගොඩවල් තිබේ. ඇතැම් ඒවා පණුවන් විදි ඒවාය. තවත් ඒවා නැවුම්ය. ප‍්‍රභේදය අනුවද විටෙක මිල වෙනස් වේ. ලෝක වෙළඳපොලේ පොහොර තිබෙන්නේද විවිධ මිලටය. කැඞ්මියම් වැනි බැරලෝහ සහිත බාල පොහොර ගෙනැවිත් ගොවීන්ට බෙදුවේ කුඹුර කොටන සයිමන් අයියාවත්, ඇඹුල ගෙනියන නන්දාවතීවත් නොවන නිසා අප ඒ ගැන වැඩිපුර කතා කළයුතු නැත. වැටත් නියරත් ගොයම් කනවානම්, විකල්ප ක‍්‍රමයකටවත් ගොවිතැන් කරන්නට ක‍්‍රමයක් ඇතිදැයි සෙවීම සම්බන්ධයෙන් මේ මොහොතේ කෘෂි විද්වතුන් සතුවද ඇත්තේ බරපතළ වගකීමකි. ලෝකයේ පැවතුන හා දැනටත් ඇතැම් තැන්වල ක‍්‍රියාත්මකවන සාම්ප‍්‍රදායික වගා රටා කීපයක් ගැන අපගේ ජ්‍යෙෂ්ඨ කෘෂි විද්වතුන් විසින් හැටේ හැත්තෑවේ දශකයන්හිදී යහමින් පර්යේෂණ පවත්වා තිබේ. මහඉලූප්පල්ලම පර්යේෂණ ස්ථානය යනු එවැනි පර්යේෂණ පැවැත්වූ ප‍්‍රධාන තැනකි. ආකර්ෂණීය පර්යේෂණ ප‍්‍රතිඵල සහිත වාර්තාද එළිදක්වා ඇති අතර, ජාත්‍යන්තර මට්ටමේ සමුළු පවා එම තාක්ෂණයන් සම්බන්ධයෙන් මෙරටදී පැවැත්වූ බව අපට මතකය. ඒ විද්වතුන් බොහොමයක් දැන් විශ‍්‍රාමිකවය. පර්යේෂණ වාර්තා බොහොමයක් පුස්තකාල රාක්ක තුළ කාවුන්, මකුළුවන් ආදීන් සමග සහජීවනයේය. නව පර්යේෂකයන් මේවා කියවන්නේ නැත. ගොවීන් මෙවන් ක‍්‍රම අනුගමනය කරන්නේද නැත. පාලක පාලිත පන්ති දෙකෙන්ම තලූවක් නොලැබෙන්නේ නම්, මූලධර්මයන්ට පණ ඇවිත් සමාජයට පැමිණ කෑගසාවි යැයි සිතිය යුතුද නැත. වීදි බෝග රටාව එක උදාහරණයක් ලෙස ගනිමු. එලෙස නමක් යොදා ඇත්තේ පටු මාවත් වැනි තීරු ඉතිරිවෙන පරිද්දෙන් ගස් පේලි සිටුවා, අතරමැදි වීදි තුල බෝග වගාකිරීම හේතුවෙනි. ලොකු ගස් පෙළ මගින් ආවරණයක් ලැබෙන නිසා වීදිවල වටාපිටාව ගොවියාගේ බෝගය සඳහා හිතකර පරිසරයක් මවනු ලබයි. සෙවන අවශ්‍ය බෝගයකට මේ රටාව නම් ඉතාමත් උචිත සැලැස්මකි. අනවශ්‍ය පරිද්දෙන් පස වියළී යෑමක් මෙන්ම සෝදාපාළුවක් ශාක ආවරණය නිසා වගාබිම තුළ සිදුවන්නේ නැත. ජලයෙන් සිදුවෙන සෝදාපාළුව පමණක් නොව සුළං පහරටවත් මතුපිට පෝෂ්‍යදායී පස ගසාගෙන යන්නේ නැත. හානිය අවම නිසා කුමන වර්ගයකින් හෝ මෙවැනි පරිසරයකට දියයුතු පොහොර ප‍්‍රමාණය ඉතා අවම වන බව පර්යේෂණාත්මකව ලොව පුරා මෙන්ම දේශීයවද සනාථ කරගෙන තිබේ. ලොකු ගස් පෝෂණය උරාගන්නේ පසේ ගැඹුරු තැන් වලිනි. ඒවා ශාක දේහය තුළ ගබඩා කෙරෙන අතර පත‍්‍ර හා අතුකැබලි වියළී පස මත වැටෙමින් එම පෝෂණ ද්‍රව්‍ය මතුපිට පසට මුදාහරී. ගොවියාගේ වගාවට අවශ්‍ය පොහොර ලැබෙන්නේ එලෙසිනි. පේලි වශයෙන් වවනලද විශාල ශාක දැව හෝ යම් පලදාවක් වුවත් ලබාදෙමින් ගොවි ආර්ථිකයට අතිරේක සවියක් වුවද ලබාදෙනවා විය හැකිය. මිශ‍්‍ර බෝග වැවීම තවත් පැරණි රටාවකි. එහිදී සිදුවන්නේ බෝග වර්ග කීපයක් කලවමේ වගාකිරීමයි. අන්තර්බෝග රටාව වශයෙන් මෙය හඳුන්වනවිට බෝග වර්ග දෙක තුනකට පමණක් සීමා කෙරෙන අතර, එයින් එක බෝගයක් වශයෙන් රනිල වර්ගයක් වවමින් පසේ නයිට‍්‍රජන් සැපයුමට එහි සහාය ලබාගනී. රනිල බෝග මගින් පසට නයිට‍්‍රජන් එකතුකරනා බැවිනි. මීට අමතරව අන්තර් බෝග වගාවේදී බෝග අතර පරතරය ගැනද සැලකිලිමත් වෙමින් මිශ‍්‍රබෝග වගාවට වඩා යම්කිසි ක‍්‍රමවත් බවක්ද අනුගමනය කරනවා මෙහිදී දැකිය හැකිය. බෝග කීපයක් ඇති විටදී පසෙන් පෝෂණය ඉවත්වීමද සිදුවන්නේ ඒකාකාරීව නොවේ. ඒ නිසා මූලද්‍රව්‍ය කීපයක හිඟයක් පසතුළ ඇති නොවන නිසා පොහොර යෙදීමද කළයුත්තේ අඩුවෙනි.

කඩින් කඩ බෝග වැවීමේ රටාව තවත් එකකි. සිංහල වචනයෙන් නියම අදහස ගම්‍ය නොවූවත් මෙහිදී කරන්නේ එක බෝගයක අස්වැන්න මුළුමනින්ම ලබාගන්නට පෙර තවත් බෝගයක් එම භූමියේම ස්ථාපනය කිරීමයි. ගොයම් කැපීමට පෙර කුඹුරේ උඳු හෝ මුං වැපිරීම මීට උදාහරණයකි. මෙවිට ගොයම් කපන්නට කුඹුරේ ඇවිදින මිනිසුන්ගේ පයට පෑගෙන මුං ඇට පසතුළ වැළලී යයි. කුරුල්ලන් විසින් සිදුකළ හැකි අහුලාකෑම ඒ අනුව ඇහිරේ. ඉපනැල්ලේ තෙතමනය ඇට පැළවීමට ප‍්‍රමාණවත්ය. ඊළඟ කන්නයේ වී වගාවට පෙර කෙටිකාලීන බෝගයක් වන මුං වගාවේද අස්වැන්න ලැබීම ගොවියාට වාසියකි. අමුතුවෙන් පොහොර දමන්නටද වුවමනා නැත. මෙවැනි බෝග රටාවක් වසරක් තිස්සේ පවත්වා ගන්නේනම් මහපොලොවෙන් උපරිම වැඩක් ගත්තා යැයි සෑහීමකට පත්වීමට ගොවි ජනතාවට හැකිවෙනවා පමණක් නොව අතිරේක වගා කන්නයක් හෝ දෙකක් මෙලෙස සක‍්‍රිය කරගැනීම ආර්ථිකවද මහත් වාසියක් වේ. එක දිගටම භූමිය බෝගයක් මගින් ආවරණය වී තිබීම නිසා වල්පැල මතුවීමද අවමය. එසේනම් වල්නාශක වැනි දෑ පරිසරයට අනවශ්‍ය පරිදි මුදාහැරීමක්ද සිදු නොවේ. මෙම රටා සියල්ල තවත් ටිකක් එහාමෙහා කරමින් අතීතයේ සිටම ගොවීන් භාවිත කළ තවත් රටාවකි බෝගමාරුව. අප පොහොර ගැන පමණක් මෙම ලිපියෙන් අවධානය යොමුකළත් බෝග මාරුවේ ප‍්‍රතිලාභ තවත් බොහොමයක් තිබේ. පළමු බෝගයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් ඒ අයුරින්ම වැදගත් නොවන දෙවන බෝගයක් භූමියට දැමීමෙන්, පසෙන් කෙරෙනා පොහොර ඉල්ලූම මෙම රටාව හරහා තරමක් දුරට සමනය කරගත හැකිය.

”රසායනික පොහොරවලින් බැහැරවෙලා ගමනක් යන්න හිතන අපි, ආහාර රටා වෙනස් කරගැනීමත් හුඟක් වැදගත්. වුවමනාවෙන්ම කාබනික කරගන්නේ නැතිව, ස්වාභාවිකවම කාබනික තත්ත්වයෙන් හැදෙන ආහාර බෝග කොච්චර තියෙනවද? කොස්, දෙල් වගේ දේවල්, එතකොට අල බතල වර්ග, අඟුණකොළ, මැල්ලකොල වගේ පලා වර්ග, ගෙවතුවල වැවෙන තිබ්බටු, තලනබටු, කොහිලදළු වගේ එළවළු. ඇයි අපි ඒවා ප‍්‍රවර්ධනය කරන්නේ නැත්තේ. යම් බෝගයක් කාබනික කරන්න කියලා බලකරනවාට වඩා බොහොම පහසුයිනේ දැනටත් කාබනිකව කෙරෙන වගාවකින් ලැබෙන අස්වැන්නට කට හුරු කරගන්න එක.”

මෙසේ පවසන්නේ විශ‍්‍රාමික කෘෂි විද්වතෙකි. සිසිර කුමාර සේමසිංහ වන ඔහු වයඹ පළාතේ හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂවරයායි. සේවයේ යෙදී සිටියදී ඔහු විසින් තම කාර්යාල පරිශ‍්‍රය තුළ සෙනසුරාදා උදය වරුවේ පැවැත්වෙන විශේෂ සතිපොළක් සංවිධානය කෙරුවා මට මතකය. එය අදටත් ක‍්‍රියාත්මක වනබව හෙතෙම පවසා සිටී. ගම්මුන් විසින් ඒ වෙත රැුගෙන එන්නේ ‘ගමේ ගොඬේ’ නිපදවෙන පලදාවයි. ඒවාට කොහොමටත් පොහොර දමන්නේවත්, ‘බෙහෙත්’ ගසන්නේවත් නැත. ‘කාබනිකයි’ ‘ආරක්ෂිතයි’ ‘වසවිස නැත’ ආදී වශයෙන් ලේබල් හෝ පාට පාට ලාංඡුනද ඒවායේ නැත. නමුත් පැමිණෙන

පාරිභෝගිකයෝ විශ්වාසයෙන් යුතුව ඒවා මිලදී ගනිති. ගොවිතැන කාබනික කරන්නට ගන්නා උත්සාහයට සමගාමීව ජනතාවගේ ආහාර රටාව එහාමෙහා කරන්නටත් බලධාරීන් උත්සාහ ගන්නේනම් ඉලක්කයට ලංවීම අමාරුවන්නේ නැත. වෙළඳාමටත්, පාරිභෝගිකයාටත් පහසුවෙන පරිද්දෙන් මෙවැනි පලදාව සකසන්නටත්, ඇසුරුම් කරන්නටත්, පාරිභෝජනයට පහසු කෑම වට්ටෝරු සාදන්නටත් කෘෂි විද්වතුන්ද කම්මැලි නැතිව ඉදිරිපත් විය යුතුය.

රසායනික පොහොර ඕනෑමයි කියන පිරිස නගනා එක තර්කයක් වන්නේ සීමිත ඉඩම් ප‍්‍රමාණයක් ඇති අප තිබෙන ඉඩමෙන් උපරිම අස්වැන්නක් ගැනීමට රසායනික පොහොර භාවිත කළයුතු බවයි. කෙසේ වෙතත් වයඹ පළාතේ තිබෙන පොල් ඉඩම් අක්කර ලක්ෂ ගණනක් අතරින් කිනම් ප‍්‍රමාණයක් තුළ මේ වනවිට යටි වගාවක් ලෙස අල බතල වවා ඇතිදැයි නිහතමානීව විමසා බැලීම මේ මොහොතේ කාලෝචිත පියවරකි. තෙත් කලාපයේ තිබෙන මුඩු වගුරු ඉඩම් තුළ කොහිල වැව්වානම්, නැව් පිටින් රට පටවන්නට වුවත් කොහිල ප‍්‍රමාණයක් මේ භූමියෙන් උපදිනු ඇත. මේ කිසිවක් මහා ලොකුවට පොහොර යොදා ආරම්භ කළයුතු සංග‍්‍රාමයන් නොවේ. සාම්ප‍්‍රදායික බෝග රටාවන් පිරික්සමින් තමා ජනනය කරගත් පැරණි තොරතුරු වෙතට, වැල යන පැත්තට මැස්ස ගසමින් සිටිනා තරුණ පර්යේෂකයන්ව යොමුකිරීමට, දැනට නිහඬව සිටිනා ජ්‍යෙෂ්ඨ විද්වතුන්ද පෙරට පැමිණිය යුතුව ඇත. මන්දෝත්සාහීව සිටින ඔවුන්ව ඇඟිල්ලෙන් ඇන අවදිකිරීමට බලධාරීන් පියවර ගතයුතුය. කොණ්ඩය කපන හැටි අසාගත යුත්තේ බාබර්ගෙන් මිස කුස්සි අම්මාගෙන් නොවේ. වැඬේ එලෙසින් ඉදිරියට යත්දී, මහජනතාවත් තම ආහාර පුරුදු යම් තරමකින් එහාමෙහා කරගෙන දේශීය කෑමකින් වේලක් දෙකක් ගතකරන්නට හිත හදාගන්නේනම්, රසායනික පොහොර නැවට ටටා කියන්නට ගන්නා වත්මන් උත්සාහය කිසිවිටෙක පරාජය වන්නේත් නැත. මීට වඩා වැඩ පෙන්නපු සෞභාග්‍යයමත් අතීතයක් අප සතුව තිබූ බැවිනි.

x සනත් එම්. බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More