රසායනික පොහොර භාවිතය අවසන් කිරීම සම්බන්ධයෙන්
අතිගරු ජනාධිපතිතුමන් වෙත,
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ මව්බිම ලංකා පදනම ඒකාබද්ධව ඉදිරිපත් කරන අතුරු වාර්තාව
අද වනවිට ශ්‍රී ලාංකිකයෝ මහත් අවාසනාවන්ත ඉරණමකට මුහුණපා සිටිති. නිදන්ගත රෝග රාශියකට බිලිවෙමින්, මියැදිමින් සිටිති. වැඩිහිටියන්ගෙන් පස්දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාවෙන් පෙලෙන අතර කුඩා දරුවන් අතරද රෝගය ප්‍රචලිත වෙමින් පවතියි. දිනකට පිළිකා රෝගීන් 68ක් හමුවෙන අතර 38ක් මියැදෙති. ලක්ෂ දෙකකට වඩා නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩා විඳින අතර සෑම වසර හතරකට වරක්ම මෙම සංඛ්‍යාව දෙගුණ වෙයි. භයානක කොවිඩ් රෝගය, රෝගීන් සියයකින් දශම හයකට ආසන්න සංඛ්‍යාවක් පමණක් බිලි ගනිද්දී, මේ නිදන්ගත රෝග බොහෝ කල් දුක්දී අවසන සෑම රෝගියෙකුම පාහේ මරණය වෙත ඇදගෙන යයි.
මේ සියලු රෝග අඩ සියවසක් පමණ තිස්සේ අප ආ ගමනේ ප්‍රතිපල වෙයි. වස විසෙන් පිරි ආහාරවේලත්, රසායනයන්ගෙන් අපවිත්‍රවූ ජලයත්, ගොවියා කෘෂි රසායනයන්ට නිරාවරණය වීමත් ඉන් මුල් තැනක් ගනී. කිසිවිටෙක කිසිවෙකුට එයින් මිදෙන්නට නොහැකි යැයි විද්වතුන් පවා සිතන තරමට, ඊට අනුගතව ජීවත්වීම හැර එයින් ගැලවීමක් නැතැයි කෙනෙකුට සිතෙන තරමට පවතින ආර්ථික රටාව අප ග්‍රහණය කොට ගෙන ඇති යුගයකට අපි එළැඹ සිටිමු. වස විසෙන් තොර වගාවක් සඳහා අනිවාර්‍ය වූ ගමනකට ගෙන ඇති දේශපාලනික තීරණය, තීරණාත්මක වන්නේ එහෙයිනි. මිනිස් ජීවිත සහ සොබා දහම තුට්ටුවකට මායිම් නොකර ආර්ථික, තාක්ෂණික සහ දේශපාලනික තර්ක ගොඩනැගීමෙන් මිදී නිවැරදි තීරණය නිර්භයව ගැනීම මෙහිදී අගය කළ යුතු වෙයි.
අඩ සියවසක් තිස්සේ මෙම ව්‍යසනය කළමණාකරනය කිරීමට අසමත් වූයේද, කෘෂි ක්ෂේත්‍රයේ විද්වතුන් කොපමණ සිටියත් පලක් නොවූයේද ඔවුන්ගේ අසමර්ථ කමකට වඩා මෙය විසඳීමට තද දේශපාලන තීන්දුවක් අවශ්‍ය වූ හෙයිනි. ප්‍රමාදවී හෝ දැන් තීන්දුව හිමිව තිබේ. එය පිළිගෙන ක්‍රියාත්මක කිරීම එක් ක්ෂේත්‍රයක හෝ පාර්ශවයක වගකීමක් නොවේ. එය මුලුමහත් ජනතාවගේම වගකීමකි. තමාගේත්, අනුන්ගේත් පැවැත්ම වෙනුවෙන් ඉටුකළයුතු වගකීමකි. කැපවීම් සහ කැපකිරීම් සහිතව මතු පරපුර වෙනුවෙන් ඉටු කළයුතු වගකීමකි.
පවතින සම්පත් සහ යාන්ත්‍රණයන් සමග එවන් සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික දුෂ්කරතා මතුවීම අරුමයක් නොවේ. නමුත් ඒ ගන්නා ලද දේශපාලන තීරණය හා අනුගත නොවී කඹ අදිමින් සිටියහොත් නැවත මුල් තැනට පත්වනවාටත් වඩා රටක් ලෙස අභාග්‍යයට පත්වීමට වැඩි ඉඩක් තිබේ. එවිට ගොවියාට යෝජිත නව වගා රටාව වෙනුවෙන් ලැබිය යුතු සහය නොලැබීමෙන් ඔවුනට වගාව එපාවනු ඇත. තමාගේ බිම්කඩ විකුණා දමා වෙනත් රැකියාවකට ගොවියා යොමුවනු ඇත. අවසානයේ වගා බිම් බහුජාතික සමාගම් අතට පත්ව රටවැසියන් කුලීකාරයන් බවට පත්වනු ඇත. එහෙයින් මෙම තිරණය ආපසු හැරවීම හෝ අනුගතවීම ප්‍රමාද කිරීම යනු කුමන හෝ අයුරෙකින් අපගේ අවසානය ළඟා කර ගැනීමකි. එනිසාම රෝගී ජනතාවක් බිහිවීම වැළැක්වීම පිණිස මෙන්ම ගොවිතැන එපාවී අතහැරදමන, ඉඩමක් නැති ජනතාවක් බිහිවීම වැළැක්වීම පිණිස ද පැහැදිලි වැඩ පිළිවෙලක් අවශ්‍ය වෙයි. ඒ සඳහා මූලික අඩිතාලම සැපයීම වගකීමක් ලෙස හඳුනාගත් අපි, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ මව්බිම ලංකා පදනම ලෙස මෙසේ අතුරු වාර්ථාවක් සම්පාදනය කරනුයේ කඩිනමින් රටක් ලෙස අප යා යුතු ගමන නිවැරදි මගකට යොමු කොට ගැනීම උදෙසාය. නුදුරේදීම වඩා සවිස්තරාත්මක මෙන්ම වැඩපිළීවෙල, දත්ත, සැළසුම් සහ නිර්දේශ ඇතුළත් පූර්ණ වාර්තාවක් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ද සහය නොඅඩුව ලබාගනිමින් සම්පාදනය කිරීමට කටයුතු කරන බවට සහතික කරමු.
මෙම අතුරු වාර්තාව සකස් කිරීමේදී අප පිළිගත් මූලික ස්ථාවරයන් –
•මනුෂ්‍ය ජීවිත සහ පරිසරයට මහත් ව්‍යසනයක් වන රසායනික පොහොර සහ කෘමිනාශක වල්නාශක භාවිතය නතර කිරීම හැර වෙනත් විකල්පයක් නොමැත.
•මේ තීන්දුව නිර්භයව ගැනීම ඉතා වැදගත් වන අතර ඊට අදාලව ප්‍රකට කළ දේශපාලන පෞරුෂයට ගරු කළ යුතුය. එහිදී ක්‍රම ක්‍රමයෙන් අඩු කිරීම ප්‍රායෝගික නොවන තත්වයක් නිසා මේ අයුරින් ක්ෂණික තීරණයක් ගැනීම ප්‍රායෝගිකව වඩා නිවැරදි වේ.
•මේ තීරණය ක්‍රියාත්මක කළ හැකිද යන්න සොයාබැලීම නොව ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න සොයාබැලීම අපේ කාර්යය විය යුතුය. තීරණය ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටළු සහ එම ගැටළුවලට දිය යුතු විසදුම් යන දෙඅංශයම එහිදී අප අනාවරණය කරගත යුතුය.
•ඇති වියහැකි ප්‍රායෝගික දුෂ්කරතාවලට පිළියම් යොදමින් මේ තීරණය හරහා රටට ජයග්‍රහණ දිනාගැනීමට අවශ්‍ය යාන්ත්‍රණය හඳුනාගැනීම, ඒ යාන්ත්‍රණය ජනාධිපතිතුමාට ඉදිරිපත්කිරීම, ඒ යාන්ත්‍රණය ඔස්සේ රජය සේම ජනතාවත් අන්‍යොන්‍ය සහයෝගයෙන් රැගෙනයාම සහ කවර හෝ ප්‍රායෝගික දුෂ්කරතාවක් යනු ජයගතයුතු තත්වයක් මිස මේ තීරණය ආපසු හැරවීමට හේතුවක් නොවිය යුතු බවට දැඩිව අවධාරණය කිරීම අපේ යුතුකමකි, වගකීමකි.
•රසායනික පොහොර වෙනුවට විකල්පය නිවැරදි ගොවිතැන් රටාවය. නිවැරදි ගොවිතැන් රටාවේ ප්‍රධාන සංකල්පය විය යුත්තේ මියගිය සහ විනාශ වී ගිය පාංශු සම්පත යථාවත් කිරීම සහ නිරෝගී පාංශු සම්පතක් එකදිගට පවත්වාගෙන යාමයි.
• නිරෝගී පාංශු සම්පතක් එකදිගට පවත්වාගෙන යාම නමැති ඉලක්කය සපුරාගැනීම සදහා
1. භූමියේ නිසි PH අගය පවත්වාගැනීම
2. භූමියේ කාබනික සංඝඨක ප්‍රමාණය වැඩිකිරීම
3. භූමියේ ජලය සහ වාතය නිසි ප්‍රමාණයන්ගෙන් පවත්වාගැනීම
4. ඉහත ඉලක්කයන් සපුරන ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමාණය වැඩි කිරීම සහ අවශ්‍ය කලාප සදහා ඒ් ක්ෂුද්‍ර ජීවින් බාහිරින් සපයාගෙන ඒකතු කිරීම
5. ජෛවීය අගුරු(Bio Cha) වර්ග, නිර්දේශයන්ට යටත්ව පසට ඒකතු කිරීම
6. පසේ තෙතමනය ආරක්ෂා කරගැනීමට ස්වාභාවික වැසුම් යෙදීම
7. අතුරු භෝග වගාව සහ භෝග මාරුව දිරිමත් කිරීම
8. කොම්පෝස්ට්, ගොම, සත්ව වසුරු, ජෛව මුත්‍රා ආදිය යෙදීම
9. ගැඩවිලුන් වැනි හිතකර සත්ව ගණත්වය වැඩි කිරීම, අවශ්‍ය විට බාහිරින් ඒකතු කිරීම, ඒ් සදහා ගැඩවිලි ව්‍යාපෘති හදුන්වාදීම
10. ඒ්කාබද්ධ පළිබෝධනාශක ව්‍යාපෘතිය යළි හදුන්වාදීම
11. පරිසරයට හානි නොවන සහ විද්‍යාත්මක පාරම්පරික දැනුම අවශ්‍ය අවස්ථාවන්හිදී යොදාගැනීම සහ තවත් නොයෙක් විකල්ප හදුනාගත හැකිය.
•මෙයින් පැහැදිලි වනුයේ රසායනික පොහොර වෙනුවට විකල්පය ලෙස නිවැරදි ගොවිතැන් රටාවක් ඇතිකරගැනීමේදී ඒ සදහා ඇති එකම විකල්පය කාබනික පොහොර පමණක් නොවන බවත් කාබනික පොහොර යනු ඒ් ඉලක්කය ළගාකරගත හැකි එක් ආකාරයක් පමණක් බවත් ය.
•ඉහත කී නිවැරදි ගොවිතැන් රටාව, රටේ සාමාන්‍ය කෘෂිකාර්මික රටාව බවට වසර 3කින් පත්කිරීමේ මාර්ග සිතියමක් සකස් කළ යුතුය. රසායනික පොහොර තහනම ඒ මාර්ග සිතියමෙහි ආරම්භක ලක්ෂය ලෙස හදුනාගත යුතුය.
•තහනම් කර ඇත්තේ රසායනික පොහොර ආනයනය ද භාවිතාවද යන්නත් ඊට අදාල නියාමනයන් මොනවාද යන්නත් අදාල තහනමේ අරමුණ හා ඉලක්කයත් ජනතාවට පැහැදිලි කළ යුතුය.
රසායනික පොහොර තහනම නිසා අප හමුවට එන අභියෝග
1.ක්ෂණික පොහොර හිගයක් ඇතිවීම හා ඊට පිළියම් –
•ජනතාව මේ වන විට හුරුව සිටින රසායනික පොහොරවල අද පවතින ක්ෂණික හිගයට හේතුව වන්නේ පොහොර සැගවීමයි. මීට පිලියම් යෙදීමේදී ප්‍රධාන පොහොර සපයන්නන් ලෙස කටයුතු කරන රාජ්‍ය ආයතන මගින් දැනට ගෙන්වා ඇති පොහොර ප්‍රමාණය සැපයුම්කරුවාගේ සිට පාරිභෝගිකයා දක්වා සෘජුව සැපයෙන රාජ්‍ය යාන්ත්‍රණයක් ඇති කිරීමයි.
• අපේ රටේ දැනට ඇති පොහොර අධි භාවිතාව ද මේ සමගම නියාමනය කළ යුතුය. ඒ සදහා නිර්දේශිත ප්‍රමාණයන් පමණක් නිකුත් කිරීමටත්, දැනට රට තුළ ඇති රසායනික පොහොර ප්‍රමාණය පවා නිසි මාත්‍රාවෙන් පමණක් යොදවන බවට වග බලාගන්නා ක්‍රමයක් සකස් කිරීමටත් පියවර ගතයුතුය.
• තවද දැනට වෙළදපොලේ ඇති පොහොර ප්‍රමාණය අවසන් වන තෙක් ඒවාට උපරිම සිල්ලර මිලක් නියම කර මිළ පාලනයකට යටත් කළ යුතුය.
2. ක්ෂණික අස්වනු හිගයක් ඇතිවීම හා ඊට පිළියම් –
• දැනට ලංකාවට ආනයනය කර ඇති පොහොර ප්‍රමාණය නිසි කළමනාකාරීත්වයකින් යුතුව පරිභෝජනය කිරීමෙන් පමණක් වුව මෙය වළක්වා ගත හැකිය. මන්දයත් දැනටත් ඉදිරි වසර කිහිපයකට සරිලන රසායනික පොහොර ගෙන්වා ඇති බවට සංඛ්‍යාලේඛණ සාක්ෂි සපයන බැවිනි. වසර තුනක පමණ කාලයකින් සම්පූර්ණයෙන් රසායනික් පොහොරින් නිදහස් වන ආකාරයේ පොහොර යෙදවුම් සූත්‍රයක් සකස් කර එය සියුම්ව නිරීක්ෂණ කරමින් පවත්වාගෙනයා යුතුය. මෙය අවශ්‍ය වනුයේ ඉතා කෙටි කාලයකට පමණි.
• ඊළග කන්න හතරක් තුළ පැමිණේයයි අනුමාන කරන අස්වැන්න අඩුවීමට මුහුණදීම සදහා වන යාන්ත්‍රණයක් සකස් කළ යුතුය. ඒ සදහා මූලික අවශ්‍යතාවය වන්නේ පිළිගතහැකි, නිවැරදි සංඛ්‍යාලේඛණ සහ දත්ත සම්පාදනය කරගැනීමයි.
• අපේ පරිභෝජන රටාව වෙනස් කිරීමෙන්, පසු අස්වනු හානිය අවම කිරීමෙන්, ප්‍රවාහන හානි අවම කිරීමෙන් සහ කල්තබාගැනීමේ ක්‍රම කාර්යක්ෂම කිරීමෙන් ආහාර නාස්තිය අඩු කිරීමත් අනාගතයේ එතැයි අනුමාන කරන අස්වනු අඩුවීමට විකල්ප ලෙස භාවිතා කළහැකි වනු ඇත.
3. දැනට පවතින බීජ සදහා යෝජිත නව ක්‍රමය නොගැලපෙන්නේය යන මතය සහ ඊට පිළිතුරු
• දැනට රටේ භාවිතාවන බීජ සමග මේ සංකල්පය ප්‍රායෝගික නොවන බවට ඇති මතය නිවැරදි නොවේ. අදාල තත්වයන් සහ සංයෝග ලැබුනොත් ඔිනෑම බීජයක් හොදින් වැඩෙනු ඇති අතර දෙමුහුන් බීජ යනු අදාල තත්වයන් ලැබීමේදී වෙනත් බීජවලට වඩා සාර්ථකව ප්‍රතිචාර දක්වන සහ දුෂ්කර තත්වයන් වඩාත් කළමනාකරණය කරගත හැකි බීජවර්ග වේ.
• නමුත් මෙහි පවතින අනතුර නම් අපගේ තීරණය හමුවේ බහුජාතික සමාගම් විසින් වගාවේදී අසාර්ථක වන ආකාරයේ බීජ සකස් කර එවීමට ඇති හැකියාවයි. ඒ නිසා අපේ පාරම්පරික බීජ සංචිතය සොයා ආරක්ෂා කරගැනීමත් වගා කටයුතු සදහා ඒ් අපට ආවේනික පාරම්පරික බීජ හැකි සෑම අවස්ථාවන්හිදී යොදා ගැනීමත්, අවසානයේ අප රටක් ලෙස බහුජාතික සමාගම්වල බීජ වෙනුවට මෙරට දේශීය බීජවලින්ම යැපෙන තත්වයට පත්කිරීමත් මේ සටනේ කොටසක් ලෙසම හඳුනාගැනීම අත්‍යවශ්‍ය වේ.
4. යෝජිත ක්‍රමවේදයට හුරුවීම සදහා ගොවි ජනතාවට යම් කාලයක් ගතවීම
• ගොවිජනතාව දැනුවත් කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රණය හරහා වහ වහා සිදු කළ යුතුය. රජයේ මාධ්‍ය සහ වෙනත් ආයතනයන්ගේ සහය ඇතුව නිසි ක්‍රම්වේදයකට සහ පිළිවෙලකට සකස් වුණු උපදේශන සිදු කළ යුතුය. මෙහිදී පැහැදිළි ක්‍රමවේදයන් සහ උපදෙස් ලබාදීම අනිවාර්ය වේ.
• රජය සහ ගොවියා අතර හොඳ සුහදත්වයක් පවත්වා ගත යුතු අතර ගොවියාට සිදුවන අලාභානි වෙතොත් ඒ් සඳහා සකස්කරන හානි පූරණ ක්‍රමවේදය සකස් කළ යුත්තේ ද ඉහත කී නිවැරදි ගොවිතැන් රටාව ප්‍රවර්ධනය වන අයුරිනි.
5. කෘෂි නිළධාරීන්ගේ කැපවීම ඉහල නංවා ගැනීම
• මෙම තීරණය මල්පළගැන්වීමට නම් කෘෂි නිලධාරීන්ගේ ඉහළ කැපවීමක් අනිවාර්‍යය වේ. එහෙයින් ඔවුන්ට අයත් ප්‍රදේශයේ අත්කර ගන්නා සාර්ථකත්වය හඳුනා ගැනීමට මෙන්ම ඔවුන්ගෙන් ගොවිජනතාවට ඉටුවන කර්තව්‍ය හඳුනාගැනීමට අවශ්‍ය දර්ශකයන් සම්පාදනය කොට සෑම කන්නයකදීම සැලකිය යුතු දිරිදීමනා ගෙවීම් ආදිය හරහාත්, කලාපීය සහ ජාතික වශයෙන් ඔවුන්ගේ සාර්ථකත්වය ඇගයෙන ක්‍රමවේදයන් හරහාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කැපවීම දිරිමත් කළයුතුය.
6. ආහාර අර්බුදයක් ඇතිවන බවට මතයක් පැතිරීම
• එම මතය නිවැරදි තොරතුරු සහ සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරමින් සමනය කළ යුතුය. නවීන තාක්ෂණික යෙදවුම් මගින් රට පුරා ඒ් ඒ් වර්ගයේ ආහාර ඇති තැන් හදුනාගත හැකි ක්‍රමවේදයක් ඇති කළ යුතුය. අවශ්‍ය අවස්ථාවන්හිදී ක්‍රියාත්මක වන, හමුදාව මැදිහත්වූ මිලදීගැනීමේ සහ බෙදාහැරීමේ යාන්ත්‍රණයක් සකස් කළ යුතුය.
• ඒ සමග සාමාන්‍ය ජනතාව තමන්ට හැකි පමණ තමන්ගේ ගෙවත්තේ හෝ යමක් වවා ගැනීමේ ප්‍රවනතාවයක් ඇතිවන අතර, ගොවියා තුලද අඩු අස්වැන්නකට වුව හොඳ මිලක් ලබා ගැනීමේ අවස්තා ඇතිබවද දැනුවත් කොට දිරිමත් කිරීමට හැකිය. නිවැරදි ක්‍රියාවලිය අනුගමනය කිරීමෙන් මෙවන් සිදුවීමක් වලක්වා ගත හැකියි.
මෙම අතුරු වාර්තාව මගින් ඉදිරිපත් කරනු ලබන අතුරු යෝජනා – කළ යුතු දේ
• කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු නිළධාරී යාන්ත්‍රණයත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විද්වත් දැනුමත් මේ කාර්යය සදහා මුල පටන් නිසි පිළිගැනීමෙන් යුතුව දායක කරගත යුතුය.
• අපේ පාරම්පරික බීජ සංචිතය සොයා ආරක්ෂා කරගැනීමත් මේ ව්‍යාපෘතියේ කොටසක් ලෙසම හඳුනාගත යුතුය.
• ඒක භෝගවගාව වෙනුවට හැකි සෑම විටම බහු භෝග හෝ අතරමැදි භෝග වගාවට යොමු විය යුතුය.
• Azolla ග්ලිරිසීඩියා වැනි නයිට්‍රජන් ප්‍රභව සහ ජීව මුත්‍රා, ගැඩවිලි ගහණ, IMO තාක්ෂණය ආදිය ද ප්‍රවර්ධනය කළ යුතුය.
• ඒ ඒ ප්‍රදේශවල/කලාපවල එකම වගාවක් වගා කිරීමේදී වුවද ප්‍රාදේශීය සහ කලාපීය වශයෙන් පසේ තත්වය වෙන වෙනම පරීක්ෂා කර බලා අවශ්‍ය මාත්‍රාවෙන් පමණක් අඩුපාඩු සැපයිය යුතුය. ඒ සැපයීමත් රසායනික පොහොර මගින් නොව ස්වාභාවික සහ කාබනික ලෙස විය යුතුය.
• කාබනික පොහොර සපයා ගන්නා අවස්ථාවන් හිදී ඒ ඒ ප්‍රදේශය තුල වගාබිම් අවටින්ම අවශ්‍ය පොහොර සකස් කරගැනීමේ ක්‍රමවේදයන් සකස් විය යුතුය.
• තවත් සමහර ප්‍රදේශවල පසට ගැලපෙන වගාවන් නිර්දේශ කළ යුතුය. මෙයින් පස අලුතින් කෘතිමව සූදානම් කිරීමේ අවශ්‍යතාවය නැතිව යනු ඇත හෝ අවම වනු ඇත.
• Zero budget natural farming සංකල්පය තවත් විකල්පයක් ලෙස හදුනාගත යුතුය. මෙය එළවළු භෝග වගාව සදහා විශේෂයෙන් සුදුසු වනු ඇත.
• ආහාර විවිධාංගීකරණය මගින් ජනතාව පරිභෝජනය සඳහා අද සුලභව නොගන්නා භෝග සඳහා යොමු කළ යුතුය.
• සමහර සුවිශේෂී භෝග වර්ග සම්බන්ධයෙන් වඩාත් නිර්මාණශීලී සහ අවශ්‍ය අවස්ථාවලදී ප්‍රධාන ධාරාවෙන් ඉවත තබා තීරණ ගැනීමට කටයුතු කළ යුතුය.
• සමස්ත කාර්යය නියාමනය සදහා සහ අවශ්‍ය පහසුකම් සැපයීම සදහා නව නියාමන ආයතන ඇතිකළ යුතුය. නැතහොත් පවතින නියාමන ආයතනයන්හි විෂය පථය වැඩිදියුණු කර ඉලක්ක සහ බලතල ලබාදිය යුතුය.
• 2021.03.29 දින දරණ කැබිනට් තීරණයට අනුව “නයිට්‍රජන් සහිත රසායනික පොහොර භාවිත පිළිබදව පර්යේෂණ ව්‍යාපෘතිය” ද මෙම රසායනික පොහොර තහනම්කිරීමේ තීරණයට පරස්පර නොවන පරිදි ක්‍රියාත්මක කිරීමට නියෝග කළ යුතුය.
• කාබනික පොහොර සේම ක්ෂුද්‍ර ජීවීන් අනුසාරයෙන් නිශ්පාදනය කර දැනටමත් ශ්‍රී ලංකාව තුළ භාවිතා වන ජෛව පොහොර වැනි තවත් විකල්ප කෙරෙහිද යොමු විය යුතුය.
මෙම අතුරු වාර්තාව මගින් ඉදිරිපත් කරනු ලබන අතුරු යෝජනා – නොකළ යුතු දේ
• කාබනික පොහොර ආනයනය කිසිසේත් නොකළ යුතුය. රසායනික පොහොර වලින් සිදුවන හානියට වැඩි හානියක් ආනයනික කොම්පෝස්ට් සමග පැමිණීමට බොහෝ අවකාශ තිබෙන බැර ලෝහ සහ නාගරික, සායනික, න්‍යෂ්ටික අපද්‍රව්‍ය මගින් සිදුවිය හැකි බැවිනි.
• විදේශීය ක්ෂුද්‍ර ජීවීන් ආනයනික කොම්පෝස්ට් පොහොර සමග රටට ඇතුල් වීමෙන් අපේ රටේ ජෛව විවිධත්වයටත් එහි තුලනයටත් හානි සිදුවිය හැකි බැවිනි.
• නාගරික අපද්‍රව්‍ය නිසි අධීක්ෂණයකින් තොරව කොම්පෝස්ට් බවට පත් කිරීමද උචිත නොවේ. නිසි පරීක්ෂාව පවත්වාගැනීමට අපොහොසත් වුවහොත් හානිකර බැරලෝහ ආදිය පවා එක්වීමට ඉඩ ඇති බැවිනි.
ඉදිරියේදී වඩාත් සවිස්තරාත්මක වාර්තාවක් මගින් මේ කරුනු වඩාත් විද්‍යාත්මකව තහවුරු කරනතෙක් සහ ඉන් ඉදිරියටත් අතිගරු ජනාධිපතිතුමන් විසින් ගනු ලැබූ මේ තීරණයට ශක්තියක් වෙමින් ඒම තීරණය වෙනුවෙන් පෙනී සිටින බවද මෙයින් ප්‍රකාශ කර සිටින්නෙමු.
ඉංජිනේරු කපිල පෙරේරා – ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද
කුලතුංග රාජපක්ෂ – ලේකම්
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මව්බිම ලංකා පදනම
(වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නියෝජනය කරන සංවිධාන සහ වෘත්තීය සංගම් පහත පරිදි වේ.)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...