පුරවැසි කොලම

ලෝකයේ බොහෝ පිළිගත් විද්වතුන්ගේ අදහස් දැක්වීම් අනුව ලෝක ප්‍රජාවට කෝවිඩ් වසංගතය සමඟ තවත් වසර 2 ක් ජීවත් වීමට සිදුවිය හැක. විශේෂයෙන්ම නව ප්‍රභේද බිහිවීම සහ ඒවායේ හැසිරීම් වල වෙනස්කම් නිසා තත්වය පාලනය කිරීම අසීරු වී ඇත. රුසියාවේ ජනාධිපති වැල්ඩිමීර් පූටින්ගේ ජ්‍යේෂ්ඨ උපදේශකයෙකු වන වෛද්‍ය ලියොනිඩ් රෝෂාල්ට අනුව මෙම වසංගතය ජෛව අවි ප්‍රහාරයක පෙරහුරුවක් ලෙස සලකා කටයුතු කළ යුතුය. පෙරහුරුවකදී මුහු‍ණ දෙන තත්වය මෙතරම් බරපතල නම් සැබෑ තත්වයන් ඊට වඩා බරපතල විය යුතුය. කෙසේ වෙතත් මෙම පුරෝකථනය කිරීමට අපහසු තත්වයන්ට මුහුණ දීම සඳහා රාජ්‍යය විශේෂයෙන්ම ආරක්ෂක හමුදා මෙන්ම මහජනයාද විධිමත් ලෙස සහ සංවිධානාත්මකව සූදානම් විය බව ඔහු විසින් අවධාරණය කොට ඇත.

ඔහුට අනුව ආරක්ෂක හමුදා යොදා ගනිමින් ආවේක්ෂණ ක්‍රියාවලියක් සහ පළමු ප්‍රතිචාරය සඳහා සංවිධාන ව්‍යුහය, වගකීම් පැවරීම සහ ක්‍රියාවලි සහ පටිපාටි ඇතුළත් මහා සැලසුමක් සකස් කිරීම වැදගත් වේ. එම මහා සැලසුම හෙවත් රාමුව තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල භූමිකාව සලකුණු කළ යුතු බව ඔහුගේ මතය වේ. ඔහුට අනුව මෙම පෙරසූදානම ගෘහස්ථ මට්ටමින් ආරම්භ කළ යුතුය. ඊට ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාවයද ඇතුළත් විය යුතු බව සහ මහජනයාට පුහුණුව ලබා දීමේ වැ-දගත් කමද ඔහු අවධාරණය කරයි. එසේම ගෘහස්ථ මට්ටමේ සිට ප්‍රදේශීය, දිස්ත්‍රික්, පළාත්සහ ජාතික මට්ටම් වලින් ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය සඳහා නිෂ්චිත වගකීම් සහිත පාලන ව්‍යුහයක් අවශ්‍ය බව ඔහු කියයි. ඊට අමතරව අනතුරු ඇඟවීමේ මට්ටම් සහ ඒ ඒ මට්ටම් වලදී කළ යුතු දේ මෙන්ම වගකීම් පිළිබඳවද ලේඛනගත උපදෙස් ලබා දිය යුතු බව සහ ඒවා නීතිගත කළ යුතු බව ඔහු අවධාරණය කරයි. එවැනි උපදෙස් පිළිපදින බව පෙනෙන නවසීලන්තය වැනි රටවල් ඉතා පැහැදිළි අනතුරු ඇඟවීමේ මට්ටම් 4 ක් හඳුන්වා දී ඇත. එම මට්ටම් තීරණය කිරීම සඳහා අනතුරු ඇඟයීමේ නිර්ණායක හඳුන්වා දී ඇත. එසේම ඒ ඒ මට්ටම් වලදී කළ යුතු දේ සහ නොකළ යුතු දේ මෙන්ම අදාළ නිලධාරීන්ගේ සහ මහජනයාගේ වගකීම්ද පැහැදිළිව සඳහන් වේ. එහෙත් අවාසනාවකට අප රටේ බලධාරීන් වැඩ වල ගිලී සිටීම නිසා ඔවුනට එවැනි ප්‍රවේශයන් අධ්‍යනය කිරීමට අවස්ථාවක් නැති බව පෙනේ.

ඒ අනුව කෝව්ඩ් වසංගතයට මුහුණදෙමින් නැගී සිටීම සඳහා වන මූලික පූර්ව කොන්දේසිය වන්නේ බලධාරීන්ගේ කැමැත්ත හෝ නියෝග මත පදනම් නොවන හක්තිමත් වසංගත පාලන යාන්ත්‍රණයක් පද්ධතිගත කිරීම බව ඉතා පැහැදිළිය. ඒ නිසා යළි නැගීසිටීමට අදාළ උපාය මාර්ග කථා කිරීමට පෙර මෙම මූලික පූර්ව කොන්දේසිය ඉටු කරන ලෙස ආණ්ඩුවට මෙන්ම වගකිව යුතු රාජ්‍ය නිලධාරීන්ට බලකිරීම ඉතා වැදගත් වේ. එහිදී නැගී සිටීමක් පිළිබඳව කතිකාව පැන නගින්නේ දැන් වැටී සිටින නිසා හෝ වැටෙමින් සිටින නිසාය. එම වැටීම කොවිඩ් වසංගතයට පෙර සිටම දක්නට ලැබුණු දෙයක් බව සැඟවිය නොහැක. ඒනිසා කොවිඩ් නිසා සිදු වූයේ වැටීමේ සීඝ්‍රතාවය වැඩි වීමක් බවට විවාදයක් තිබිය නොහැක. එසේ නම් නැගී සිටීමේ උපාය මාර්ගය තේරීමේදී වැටීමට හේතු වූ මූලික සාධක සියල්ල සැලකිල්ලට ගැනීම වැදගත් වේ. අප රටේ සංවර්ධනය නාමයෙන් මෙතෙක් කාලයක් කරනු ලැබුවේ අත්තිවාරමක් නොමැතිව උස් බිත්ති බැඳීමට උත්සහා කිරීමය. නමුත් ශක්තිමත් අත්තිවාරමක් නොමැතිව බඳිනු ලබන බිත්ති කඩා වැටෙන ආකාරය අපි අද අත් දකිමු.

අප රට මේ වසරේදී ගෙවීමට ඇති විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.8 කි. ගතවූ මාස 4 තුළ එම ප්‍රමාණයෙන් ගෙවා ඇති කොටස ඩොලර් බිලියන 1.6 ක් පමණි. එවැනි තත්වයක් තිබියදී වසංගතය පැවැති පසුගිය වසර තුළ අප රටට ආනයනය කරන ආහාර සඳහා වැය කෙරෙන විදේශ විනිමය ප්‍රමාණය 10% කින් වැඩි වී ඇත. අතීසාරයට අමුඩ ගසන නිලධාරීන් පිරිසක් එක් අමුඩයක් තෙමෙන විට තව එකක් ගසති. ඔවුන් වරින් වර ආනයනකරුවන්ගේ සිත් නොරිදෙන ලෙස ආනයන වලට සීමා පනවති. එම තීන්දු ආනයනකරුවන්ගේ උදහසට ලක් වූ විට ඒවා නැවත වෙනස් කරති. ඒ නිසා වෛද්‍ය ලියොනිඩ් රොෂාල්ගේ න්‍යාය අනුව කෝවිඩ් වසංගතය සමඟ නැඟී සිටීම සඳහා පූර්ව කොන්දේසි කිහිපයක් සපුරාගත යුතු අතර ඉන් පසුව මහජන එකඟතාවයෙන් යුතුව උපාය මාර්ගික රාමුවක් තුළ කටයුතු කිරීමට සිදුවේ. එම පූර්ව කොන්දේසි අතුරින් පළමු වැන්න ඉහත සඳහන් කළ ආකාරයට අනතුරු ඇඟවීමේ මට්ටම්, ඊට අදාළ නිර්ණායක සහ එක් එක් මට්ටම් වලදී පනවනු ලබන සීමාවන් මෙන්ම වගකීම් පැවරෙන ආකාරය ආදී නිෂ්චිත මඟපෙන්වීම් සහිත රෙගුලාසි නීතිගත කිරීමය. දෙවනුව කෝවිඩ් පාලනය සහ ඒ තුළ ජාතික ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා අවශ්‍යවන තීරණාත්මක  වෙනස්කම් පිළිබඳව මානසික බාධක වලින් තොරව රජය සහ මහජනයා අතර විවෘත සංවාදයක් ඇති කළ යුතුය. එවැන්නක් අවශ්‍ය වන්නේ මහජනයා කෙසේ හෝ කැමති කරවා ගැනීම සඳහා මිස මහජනයා අතුරින් සුළු පිරිසක් විසින් පනවනු ලබන මානසික බාධක වලට යටත්වීම සඳහා නොවේ. ඉන්දියාවේ කුම්භමේලා උත්සවයට සීමා පැනවීමට තිබූ මානසික බාධක නිසා අගමැති නරේන්ද්‍ර මෝඩිට විශාල වන්දියක් ගෙවීමට සිදු වී ඇත. ඊට සමාන ආකාරයට නුවරඑළියේ වසන්ත සැණකෙළියට සහ අවුරුදු සමයේ රෙදි කඩ වන්දනාවට යම් සීමා පැනවීමට නොහැකි වීම නිසා අද “අවුරුදු පොකුරේ” තරම අපි අත් විඳිමින් සිටිමු.

තුන්වන පූර්ව කොන්දේසිය වන්නේ රටේ ආර්ථිකයට, බහුතරයක් ජනතාවගේ ජිවිත වලට මෙන්ම ආහාර සුරක්ෂිතතාවය බලපාන තීන්දු තීරණ ගැනීමේදී විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීමය. එනම් ජනාධිපති කාර්යාලයේ හෝ භාණ්ඩාගාරයේ ඉහළ නිලධාරීන් දෙතුන් දෙනෙකුගේ කැමැත්ත හෝ අකමැත්ත මත එම වැදගත් තීන්දු ගැනීම වෙනුවට ඊට අදාළ නිශ්චිත උපාය මාර්ගික රාමුව කුමක්දැයි මහජනයා විවෘත දැනුම් දීම සහ ඔවුන්ගේ ආශිර්වාදය ඒ සඳහා ලබා ගැනීමය. එම පූර්ව කොන්දේසි ත්‍රිත්වය සම්පූර්ණ කර ගැනීමෙන් තොරව නැගී සිටීමේ උපාය මාර්ග පිළිබඳව කථා කිරීම යනු ඵලක් නැති ක්‍රියාවකි. ඊට හේතුව එසේ නොමැතිව එම උපාය මාර්ගික ප්‍රවේශය සාර්ථක කර ගැනීමට නොහැකි වීමය, විශේෂයෙන්ම ඊට මහජන සහය ලබා ගත නොහැකි වීමය. ඉහත දෙවන පූර්ව කොන්දේසිය අනුව මහජන මතය සකස් කිරීමේදී ඉතා පැහැදිළිව මෙතෙක් කරමින් සිටි ආකාරය සහ දැන් කරමින් සිටින ආකාරය වෙනස් කළ යුතු බව දැඩි සේ අවධාරණය විය යුතුය. එනම් දැන් පවත්වාගෙන යනු ලබන ආර්ථික මොඩලය සහ පරිභෝජන සංස්කෘතිය සහ මුලින්ම වෙනස් කිරීමට සිදු වන බව සහ එසේ නොවේ නම් නැගී සිටීමක් සඳහා කථා කළ නොහැකි බව මහා සමාජය පිළිගත යුතුය. ඒ අනුව සුළුතරයකට ආර්ථික ඉඩ ප්‍රස්ථා ලැබෙන නගර ආශ්‍රිත ඉදි කිරීම් මුල්කර ගත් ආර්ථික මොඩලය වෙනුවට රටේ බහුතර ජනතාවකට ආර්ථික ඉඩප්‍රස්ථා ලැබෙන සහ ආහාර සුරක්ෂිතතාවය මෙන්ම නිෂ්පාදන පද්ධතියේ පරාධීනත්වය අවම කරන සහ වෙළඳපොළ සාධාරණත්වය මුල්කර ගත් ආර්ථික මොඩලයක් තේරීමට සිදු වේ.

එවැනි ආර්ථික මොඩලයක මූලික ලක්ෂණ හෙවත් උපාය මාර්ගික රාමුවට මූලික සහ කේන්ද්‍රීය සාධක 08 ක් අයත් වේ. එම අට වැදෑරුම් උපාය මාර්ගික රාමුවේ පළමු බලකණුව වන්නේ රටේ ආහාර සුරක්ෂිතතාවයට ප්‍රමඛතාවය දෙමින් ඊට අදාළ මූලික වෙළඳපොළ ත්‍රිත්වය තුළ පවතින මිල විකෘතින් නිවැරදි කිරීමය. එනම් සහල් / තිරිඟු පිටි තරඟකාරි වෙළඳපොළ, ආහාරයට ගන්නා තෙල් වෙළඳපළ සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන වෙළඳපළ යන වෙළඳපළ ත්‍රිත්වය තුළ පවතින මිල විකෘතීන් නිවැරදි කිරීමය. ඒ සඳහා මූලික වශයෙන් කළ යුත්තේ එක් දෙයක් පමණි. එනම් සහල්, පොල්තෙල් සහ කිරිපිටි යන ආහාර වලට දේශීය නිෂ්පාදන පිරිවැය අනුව මිලසූත්‍ර හඳුන්වා දීම සහ ඊට විකල්ප ආනයනික ආහාර වන තිරිඟු පිටි, ආනයනික තෙල් වර්ග සහ කිරි පිටි වර්ග වල මිල දේශීය නිෂ්පාදන වල මිලට වඩා 5 – 10% ප්‍රමාණයකින් ඉහළ මට්ටමක පවතින ලෙස එම ආනයනික ආහාර වලට විශේෂ පරිභෝජන බදු පැනවීමය. එහිදී කිරි ආර්ථිකය ප්‍රමාණාත්මකව විශාල නොවුනද එම වෙළඳපොළ වැදගත් වන්නේ ඒ මඟින් කිරි ගොවිතැන ප්‍රචලිත කිරීම හරහා බහුතරයක් ජනතාවට ආර්ථික ඉඩ ප්‍රස්ථා ලැබෙන බැවිනි.

ඒ ආකාරයට වෙළඳපොළ මිල විකෘතීන් නිවැරදි කිරීමේදී ආනයනික ආහාර වර්ග බාල කිරීම මඟින් මිල අඩු කිරීම නීතිය මඟින් නැවැත්වීමද වැදගත් වේ. උදාහරණයක් ලෙස පොල් තෙල් වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීම සහ කිරි පිටි වලට කිරි මේදය වෙනුවට ෆාම් තෙල් එකතු කිරීම ආදිය මඟින් සිදු කරන විකෘතීන් නිවරදි කිරීම ආනයන අපනයන පාලන පනත සහ පාරිභෝගික අධිකාරි පනත සහ ආහාර පනත යටතේ සිදු කළ හැක. ඒ මඟින් ආහාර සුරක්ෂිතතාවයට අදාළව පමණක් නොව ආහාර ආරක්ෂාව සහ මහජන සෞඛ්‍යට අදාළවද විශාල ප්‍රතිලාභ අත්පත්කරගත හැක. එහිදී බදු පැනවීමේ ප්‍රතිපත්ති පිළිබඳ විවෘත භාවය නැමැති පූර්ව කොන්දේසිය යටතේ මෙම තීන්දු පිළිබඳව මහජනයා දැනුවත් කළ විට සහ අදාළ බදු ආදායම් දේශිය නිෂ්පාදනය ඉහළ නැන්වීම සහ අඩු අදායම් ලාභීන්ට සහන සැලසීම සඳහා පමණක් යොදවන බව සහතික කළ විට මහජන සහාය ලබා ගැනීම යනු දුෂ්කර ව්‍යායාමයක් නොවේ. එහෙත් දැන් සිදු කරන ආකාරයට එනම් ආනයනකරුවන්ගේ උවමනාවන්ට අනුව සහ එවැනි තීන්දු පිළිබඳ මහජන විරෝධය ඇතිවන ලෙස නිලධාරීන් කිහිප දෙනෙකු හොර රහසින් කටයුතු කරන්නේ නම් ඊට මහජන සහය ලබා ගැනීමට හැකි වන්නේ නැත. ඒ ආකාරයට වෙළඳපළ මිල විකෘතීන් නිවැරදි කළ විට ඉතා කෙටි කළකින් දේශීය නිෂ්පාදනය දිරි ගැන්වීම මඟින් මිල පහත දැමීමටද අවස්ථාව නිර්මාණය වේ. ගොවියා හෙවත් නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා යන පාර්ශව දෙකටම සාධාරණය ඉටු කළ හැක්කේ එවැනි ප්‍රවේශයක් මඟින් පමණි.

දෙවැනි උපාය මාර්ගික ප්‍රවේශය ආහාර නිෂ්පාදන පද්ධතිය පරාධීනත්වයෙන් ගලවා ගැනීමය. එහිදී ආහාර නිෂ්පාදන පද්ධතිය පිළිබඳව විශේෂයෙන් අවධාරණය කළ යුතු වන්නේ එය වසංගතය තුළ යළි නැගිටීමේදී ඉතා තීරණාත්මක සාධකයක් ලෙස විශේෂයෙන්ම මහජන සහය ලබා ගැනීමේදී වැදගත් වීම නිසාය. ජනාධිපතිතුමා විසින් රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ගනු ලැබූ තීන්දුව මඟින් ඊට අදාළව බරපතල, තීන්දු ගැනීමට ආණ්ඩුව බිය නොවන බව ප්‍රදර්ශණය කොට ඇත. දැන් අවශ්‍ය වන්නේ යම් කාලයක් තුළ ස්වභාවික ගොවිතැන් ක්‍රම ප්‍රචලිත කරන අතර ආනයනික රසායනික පොහොර සහ පළිභෝධනාශක භාවිතය අවම කිරීම සඳහා ජාතික සැලසුමක් ඉදිරිපත් කිරීමය. තුන්වන උපාය මාර්ගික ප්‍රවේශය වන්නේ බහුතරයක් ජනතාවට විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව අතට අරමුදල් ගලායන සහ ඔවුන් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලින් ගලවා ගත හැකි තත්වයක් නිර්මා‍ණය කිරීමය. ඒ සඳහා එක් පැත්තකින් කෘෂි නිෂ්පාදනය සඳහා ස්ථාවර මිලක් ලැබෙන ස්ථීර යාන්ත්‍රණයක් පිහිටුවිය යුතුය. උදාහරණයක් ලෙස ගොවියා තොග වෙළඳුන්ගේ සහ තැරැව්කරුවන්ගේ ප්‍රාණ ඇපකාරයෙකු බවට පත් කරන ආර්ථික මධ්‍යස්ථාන වෙනුවට ගොවියාට බලය සහිත විකුණුම් මධ්‍යස්ථාන පිහිටුවා ගොවි සමූපකාර සහ අලෙවි සමූපාකාර ජාලයක් පිහිටුවීම ඉතා වැදගත් වේ.

ග්‍රාමීය ජනයාගේ නිෂ්පාදන වලට ඉහළ මිලක් ලබා දීම සඳහා පියවර කිහිපයක් ගත හැක. පළමු වැන්න වී සඳහා වන සහතික මිල රු. 60 දක්වා වැඩි කිරීමය. දෙවැන්න ගොවියා තම නිෂ්පාදන වලට වටිනාකම් එකතු කොට වෙළඳපළට විකිණීම දිරිමත් කිරීමය. උදාහරණයක් ලෙස කුඩා පරිමාණ මෝල් පද්ධතිය යොදා ගනිමින් ගොවියා විසින් සහල් නිෂ්පාදනය කොට වෙළඳපළට ඉදිරිපත් කිරීම දිරි ගැන්විය හැක. එය කළ හැක්කේ ඊට පහසුකම් සලසන මට්ටමක සහල් මිල තීරණය කිරීම මඟිනි. ඊට අමතරව රසායනික පොහොර භාවිතය අඩු කරමින් ස්වභාවික ගොවිතැන්ක්‍රම ප්‍රචලිත කරන යම් කාලයක් තුළ පොහොර සහනාධාරය සෘජුව ගොවියාට ගෙවිය හැක. එම අරමුදල් ගොවිජන බැංකුව හරහා සිදු කිරීම මඟින් එම බැංකුවට නැවත පණදී ගොවියා ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලින් ගලවා ගැනීමේ කාර්ය්‍ය සඳහා යෙදවිය හැක. ඒ සඳහා සමෘද්ධි බැංකු සහ සමූපකාර ග්‍රාමීය බැංකු ජාලයද යොදා ගත යුතු අතර මහා පරිමාන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වලට පොලී සීමා පනවා දැනට ලබා දී ඇති ණය සඳහා පොලී සහනයක් ද ලබා දිය යුතුය.

භෝග වගාව මඟින් පමණක් ගොවියාගේ ආදායම් මට්ටම වැඩි කිරීම සඳහා වන ප්‍රධාන බාධකය වන්නේ ඉඩම් සීමා කමය. ශ්‍රී ලංකාවේ ගොවීන්ගෙන් 75% කට අයත් වන්නේ අක්කර දෙකක් හෝ ඊට අඩු භූමි ප්‍රමාණයකි. ඒ අනුව ගොවියාගේ ආදායම් වැඩි කිරීම සඳහා වන ප්‍රධාන උපාය මාර්ගික ප්‍රවේශයක් වන්නේ භෝග වගාව සමඟ කිරි ගොවිතැන ඒකාබද්ධ කිරීමය. ඒ සඳහා ඉහත සඳහන් කළ ආකාරයට කිරි ආශ්‍රිත නිෂ්පාදන වෙළඳපොළ තුළ පවතින මිල විකෘතීන් නිවැරදි කිරීම මෙන්ම ගොවීන්ට දෙනුන් ලබා දීම සඳහා ජාතික පශු සම්පත් මණ්ඩලය මඟින් මහා පරිමාණ කිරි ගව අභිජනන වැඩසටහනක් දියත් කිරීමද අවශ්‍ය වේ. හතරවන උපාය මාර්ගික ප්‍රවේශය වන්නේ නිෂ්පාදන යටිතල පහසුකම් පද්ධතිය ශක්තිමත් කිරීමය. එම ප්‍රවේශය තුළ උදාහරණයක් ලෙස එක් පැත්තකින් 35,000 ක් පමණ වන කුඩා වැව් අමුණු සහ ඒ ආශ්‍රිත පරිසර පද්ධති යථාවන් කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතුය. ඒ සඳහා ආරක්ෂක හමුදා සතු සම්පත් සහ පිරිස් බලය යොදා ගත හැක. අනෙක් පැත්තෙන් තරුණ පරපුර නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගැනීම සඳහා  අවශ්‍ය පිරිස් බලය තාක්ෂණික ශිල්පීන් ලෙස පුහුණු කිරීමය. ඒ සඳහා පවතින වෘතිය අධ්‍යාපන ආයතන පද්ධතියට අමතරව ආරක්ෂක හමුදා සතු සම්පත් යොදා ගැනීමද වැදගත් වේ.

ආර්ථික මොඩලය වෙනස් කරන පස්වන උපාය මාර්ගික ප්‍රවේශය වන්නේ පරිභෝජන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා එනම් ආනයනික නිෂ්පාදන වෙනුවට දේශීය නිෂ්පාදන පරිභෝජනය ප්‍රචලිත කිරීමය. ඒ සඳහා රජයේ මැදිහත්වීමෙන් ජාතික මට්ටමින් මහා පරිමාණ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළ යුතු අතර ඊට අදාළව මානසික බලපෑම ඇති කිරීම සඳහාද යම් පියවර ගත යුතුය. ඒ අතුරින් පළමු වැන්න ඉහත සඳහන් කළ ආකාරයට ආනයනික නිෂ්පාදන විශේෂයෙන්ම අහාර වල මිල දේශීය නිෂ්පාදන මිලට වඩා ඉහළ මට්ටමක පවතින ලෙස බදු පැනවීමය. දෙවැන්න මහජනයා තුළ මානසික බලපෑම ඇති කිරීම සඳහා රාජ්‍ය ආයතන පද්ධතිය යොදා ගනිමින් දේශීය ආහාර ප්‍රචලිත කිරීම සඳහා කටයුතු කිරීමය. එහිදී පාසල් ආපනශාලා තුළ තිරිඟු පිටි ආහාර සහ පැණි බීම ආදිය විකිණීම තහනම් කරමින් 2011 දී නිකුත් කළ චක්‍රලේඛය බලාත්මක කිරීම මඟින් දරුවන් අතර විශාල මානසික බලපෑමක් ඇති කළ හැක. පාළාත් පාලන ආයතන මඟින් දේශීය නිෂ්පාදන අලෙවිය සඳහා විශේෂ පහසුකම් සැලසීම සහ ස.තො.ස මඟින් දේශීය නිෂ්පාදන අලෙවිය සඳහා ප්‍රමුඛතාවය ලබාදීම මඟින් අවස්ථා නිර්මාණය කළ හැක.

හයවැනි උපාය මාර්ගික ප්‍රවේශය වන්නේ රටට අයත් භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමය. ඒ අනුව රජයට අයත් ඵලදායි ලෙස ප්‍රයෝජනයට නොගන්නා භූමිය විශේෂයෙන්ම බීජ ගොවිපල ඇතුළු ගොවිපළ ජාලයට නැවත පණදිය යුතුය. ඒ සඳහාද වෛද්‍ය ලියොනිඩ් රොෂාල් කියන ආකාරයට ආරක්ෂක හමුදා සතු සම්පත් යොදා ගත යුතුය. පෞද්ගලික ඉඩම් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා පොල් ඉඩම් වල යටි වගා ඇතුළු ඵලදායිතාවය වැඩි කිරීම සඳහා දිරිගැන්වීම් පැකේජයක් රජය විසින් ලබා දිය යුතුය. ඒ තුළ ජල සැපයුම සඳහා ණය පහසුකම් ලබාදීම ආදියට අමතරව තාක්ෂණික පුහුණුව සහ අධීක්ෂණය සඳහා බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන් ජාලයද යොදා ගත යුතුය. මෙම ක්‍රියාවලිය ප්‍රචාරක සහ අධ්‍යාපන වැඩසටහන් සහිතව මහා පරිමාන ජාතික ව්‍යාපෘතියක් ලෙස දියත් කළ යුතුය. එම ක්‍රියාවලිය තුළ තරුණ ගොවි සමාජ හරහා තරුණ පරපුර නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගැනීම සඳහා රජයට අයත් වනාන්තර නොවන ඉඩම් සමූහ ගොවිපළ පදනම යටතේ යම් දිරි ගැන්වීම් පැකේජයක් සමඟ නිදහස් කළ හැක. පාසල් ඇතුළු රජයට අයත් භූමිවල පමණක් නොව පංසල් ඇතුළු පොදු භූමි සහ මුඩු බිම් වල කොස්, දෙල් වැනි ආහාරයට ගත හැකි ශාක රෝපණ වැඩපිළිවෙළක් සේම මධ්‍යගතව යෙදවුම් ලබාදීමෙන් තොරව ගෙවතු වගාව ප්‍රචලිත කිරීමද ඒ සමස්ථයට අයත් වේ.

හත්වැන්න කුඩා හා මධ්‍යම පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලිය දිරිමත් කිරීම මුල්කරගෙන වෙළඳපල අවශ්‍යතා නිර්මාණය කිරීම සඳහා රාජ්‍ය මැදහත් වීම අනිවාර්ය්‍ය සාධකයක් ලෙස පිළිගැනීමය. ඒ සඳහා බහු විධ ක්‍රියාමාර්ග තේරීමට සිදුවේ. ඉහත සඳහන් කළ ආකාරයට ස.තො.ස ආදී ආයතන මඟින් අවස්ථා වර්ධනය කිරීමට අමතරව රාජ්‍යය රටේ විශාලතම මිලදී ගන්නා ලෙස දේශීය නිෂ්පාදන මිලදී ගැනීම සඳහා අනවාර්ය ප්‍රමුඛතාවය ලබා දිය යුතුය. එම ක්‍රියාවලිය තුළ දේශීය නිෂ්පාදකයා දිරිගැන්වීම සඳහා විශේෂී සහන පැකේජයක් ඉදිරිපත් කළ යුතුය. සංවර්ධන බැංකු පද්ධතිය ශක්තිමත් කිරීම මඟින් සහන පොලී ණය ලබා දීමට අමතරව දැනට ගෙවාගත නොහැකි ණය සඳහා විනිවිදභාවයෙන් යුතුව පොදු සහන පැකේජයක් ඉදිරිපත් කළ යුතුය.

මෙම උපාය මාර්ගික ප්‍රවේශයන් සියල්ල වැදගත් වන්නේ නව ආර්ථික මොඩලයක් නිර්මාණය කිරීම හෙවත් රටේ ආර්ථිකයේ පදනම ශක්තිමත් කිරීම සඳහාය. ඊට අමතරව අටවැනි උපාය මාර්ගික ප්‍රවේශය වන්නේ එසේ ශක්තිමත් කරනු ලබන පදනම මත රට සතු සම්පත් භාවිතාකොට මහා පරිමාණ නිෂ්පාදන ව්‍යාපෘති දිරිමත් කිරීමය. ඉන් පළමු වැන්න ලෝකයේ හොඳම මිනිරන් ලෙස සැලකෙන අපේ රටේ මිනිරන් වලින් කළු රත්තරන් හෙවත් ග්‍රැෆින් නිපදවීම සඳහා මහා පරිමාන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමය. ඒ සඳහා ඩොලර්  මිලියන 100 ක් වැනි සුළු මුදලක් ආයෝජනය කොට සමස්ථ ඇඟළුම් ක්ෂේත්‍රය සහ සංචාරක ක්ෂේත්‍රය තුළින් උපයන විදේශ විනිමයට සමාන ප්‍රමාණයක් ඉපයිය හැකිය. ඉහත සඳහන් කළ මූලික උපාය මාර්ග හත මඟින් ආර්ථිකයේ පදනම ශක්තිමත් කළ පසුව අට වැනි උපායමාර්ගය අනුව එවැනි තවත් බොහෝ උස් බිත්ති බැඳීමට අප වැනි සම්පත් පිරි උපාය මාර්ගික මර්මස්ථානයක පිහිටි රටකට කළ නොහැකි දෙයක් නොවේ.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More