පසුගිය මැයි 6 වැනිදා කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත සභාවේදී අංක 104 නමින් ශ්‍රී ලංකාවේ සිදු වූවා යැයි පවසන දෙමළ ජනයා සමූල ඝාතන ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම සඳහා අධ්‍යාපන සතියක් ප්‍රකාශයට පත් කිරීම සදහා පනතක් සම්මත කරනු ලැබීය. එසේ තෙවනවර කියවීමෙන් පසුව සම්මත කළ පනතට මේ වන පළාත් උප ආණ්ඩුකාරිවරිය අත්සන් තබා ඇති බවද වාර්තාවේ. ඒ අනුව සෑම වසරකම මැයි 18 දක්වා වන සතියක කාලය තුළ දෙමළ සමූල ඝාතනය පිළිබඳ අධ්‍යයනය කිරීම , මත පළ කිරීම සහ ශෝකය පළ කිරීම නාමයෙන් උද්ඝෝෂණ කිරීම මගින් සමාජ අවධානය දිනා ගැනීම වැනි දෙමළ ඩයස්පෝරාවේ උපාය මාර්ගික අරමුණු කිහිපයක් ඉටු කර ගැනීමට අවස්ථාව ලැබේ. ඒ ආකාරයට කැනඩාවේ ප්‍රාන්ත සභාවක මන්ත්‍රීවරයෙකු හා කොටි හිතවාදියෙකු වන විජේ තනිගාසලම් නැමති “හිටපු ශ්‍රී ලාංකිකයා” විසින් එසේ දෙමළ ඊළාම් අරමුණ වෙනුවෙන් විදේශ රටකදී නීතියක් සම්මත කර ගැනීමට සමත් වීම අළුත් තත්වයක් ලෙස පෙනේ. එහෙත් එම අවසන් අරමුණ වෙනුවෙන් කැනඩාවේ රාජ්‍ය සහ ඩයස්පෝරාව දීර්ඝ කාලයක සිට තවත් බොහෝ දේ කරමින් සිටිති.
මානව හිමිකම් සමුළුවේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව 46/1 යෝජනාව සම්මත කිරීම සඳහා බ්‍රිතාන්‍යට වඩා පෙරමුණ ගනු ලැබුවේ කැනේඩියානු රජයයි. එම යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා යුද අපරාධ සිදු කළ බව ඔප්පු කිරීම සඳහා තොරතුරු සහ සාක්ෂි ගොණු කොට ආරක්ෂා කිරීම මුල් කරගෙන විදේශීය යාන්ත්‍රණයක් පිහිටුවනු ලැබීය. ඒ අනුව අංක 104 පනත යනු එම ක්‍රියාවලියේම දිගුවක් බව පිළිගත හැක. කැනඩාවේ දෙමළ ජනගහනය 157,000 කි. එම ප්‍රමාණයෙන් 122,000ක් ජීවත් වන්නේ ටොරොන්ටෝ නගරය ආශ්‍රිතව වන අතර එම ප්‍රමාණය නගරයේ සමස්ථ ජනගහනයෙන් සියයට 4.4 කි. ටොරොන්ටෝ යනු ඔන්ටාරියෝ ප්‍රාන්තයේ අගනුවරයි. ඒ අනුව එම ඡන්ද බලය සහ ඩයස්පෝරාවේ මුදල් බලය භාවිත කරමින් කැනේඩියානු දේශපාලකයන් දෙමළ ඊළාම් අරමුණ වෙනුවෙන් ඉතා ප්‍රභල යොදා ගැනීමට හැකිවී ඇත.
කැනඩාව ලෝකයේ දෙමළ ඩයස්පෝරාව ක්‍රියාත්මක වන ප්‍රධාන රටකි. මෙම අංක 104 පනත සම්මත කරනු ලැබුවේ කැනඩා ද්‍රවිඩයන්ගේ ජාතික සම්මේලනය නැමති සංවිධානයක මැදිහත්වීමෙන් බව කියවෙි. එම සංවිධානය ශ්‍රී ලංකාවේ රජය විසින් තහනම් කොට තිබූ අතර පසුගිය ආණ්ඩුව විසින් එම තහනම ඉවත් කරනු ලැබීය. එවැනි සංවිධාන රාශියක බලපෑම මත කැනේඩියානු රජය යුද්ධය පැවති සමයේදී මෙන්ම ඉන් පසුවද බෙදුම්වාදයට හිතවාදීව ශ්‍රී ලංකාවේ රජයට එරෙහිව කටයුතු කළේය. කැනඩාවේ හිටපු අගමැති ස්ටීවන් හාපර් විසින් 2013 දී එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මානව හිමිකම් උල්ලංඝනය කරන බවට ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කරනු ලැබීය. කැනේඩියානු බැංකු සතුව පවතින කොටි සංවිධානය ඇතුළු තහනම් කළ සංවිධාන වල අරමුදල් පිළිබඳ විස්තර ශ්‍රී ලංකාවේ රජයට ලබා දීම කැනේඩියානු රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ අධිකරණයෙන් දඩුවම් ලබා දී ඇති ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බාර දීමද කැනේඩියානු රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඊට අමතරව කැනේඩියානු රජයේ අරමුදල් දෙමළ ඩයස්පෝරාවේ සංවිධාන ජාලයට ලබා දී ඇති බවටද එම රජයට චෝදනා එල්ල විය. ඒ අතර මේ වන විට කැනඩාවේ මහකොමසාරිස් ධූරය සඳහා පත් කළ ගුවන් හමුදා නිලධාරියෙකු වූ සුමංගල ඩයස් මහතාගේ පත්වීම කැනේඩියානු රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ ආකාරයට කැනේඩියානු දේශපාලකයන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව දිගින් දිගටම විවිධ ආකාරයට ප්‍රහාර එල්ල කරමින් සිටින බව රහසක් නෙවේ.
ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් ඩේව්ඩ් මැකෙන්සි මහතා කැඳවා අංක 104 පනත සහ ඊට අදාල ක්‍රියා පිළිිවෙත පිළිබඳව ශ්‍රී ලංකාවේ රජය ලෙස නිල වශයෙන් විරෝධය ප්‍රකාශ කළ බව වාර්තාවිය. නමුත් ඔන්ටාරියෝ ප්‍රාන්ත උප ආණ්ඩුකාරිවරිය අදාළ පනතට අත්සන් කරනු ලැබුවේ එසේ ශ්‍රී ලංකාවේ රජය විසින් නිල වශයෙන් විරෝධය පළ කිරීමෙන් පසුවය. කෙසේ වෙතත් ඇමෙරිකානු රජයට මෙන්ම කැනේඩියානු රජයටද ආදිවාසී ගෝත්‍රික ජනයා සමූල ඝාතනයකට ලක් කළ බවට ප්‍රභල චෝදනා සහ සාක්ෂි ඉදිරිපත්වී ඇත. දෙමළ ඩයස්පෝරාව විසින් චෝදනා එල්ල කරනු ලබන්නේ යුද්ධය පැවති සමයේදී මිය ගිය සිවිල් වැසියන්ගේ මරණ සම්බන්ධවය. එම සිවිල් වැසියන්ගේ මරණ වලින් අති බහුතරය කොටි සංවිධානය විසින් ඝාතණය කළ පිරිස් බව මෙන්ම සිවිල් වැසියන් ලෙස හැදින්වූ ඝාතණයට ලක්වූ අති බහුතරය සිවිල් ඇඳුමින් ක්‍රියා කළ සටන්කරුවන් බව ඔප්පු වී ඇත. අවසන් සටනේ දී 40,000ක් මිය ගිය බවට දෙමළ ඩයස්පෝරාව විසින් චෝදනා එල්ල කළද එක්සත්ජාතීන්ගේ කොළඹ කාර්යාලය විසින් කරනු ලැබූ සංගණනයේ දත්ත සහ එංගලන්තයේ නේස්බි සාමිවරයා විසින් ඉදිරිපත් කරන දත්ත අනුව එම ප්‍රමානය 7,000 කට ආසන්න ප්‍රමාණයකි. ඒ සියල්ල යුද්ධයේදී සහ අහිංසක සිවිල් වැසියන් මුදා ගැනීම සදහා දියත් කළ මානුෂීය මෙහෙයුම් වලදී සිදු වූ දේවල්ය. නමුත් කැනේඩියානු පොලීසිය විසින් ගෝත්‍රික ජනතාව දහස් ගණනින් මරා දැමූ බවට චෝදනා එල්ල වන්නේ සාමකාමී තත්වයක් යටතේය.
මේ ආකාරයට ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍ය පද්ධතියක් විසින් දිගින් දිගටම කටයුතු කරනු ලබන්නේ දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමට පමණක් නොවේ. ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුව හරහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා වලට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීම මෙන්ම හමුදා වලට එරෙහිව සමූල ඝාතන චෝදනා එල්ල කිරීම සිදුකරනු ලබන්නේ ද එක් අරමුණක් ඉටු කර ගැනීම සදහාය. එම අරමුණ නම් ඉන්දු පැසිපික් කලාපයේ වැදගත්ම යුද මර්මස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව බෙදා වෙන් කොට දීර්ඝකාලීන ගැටුම් තත්වයක් නිර්මාණය කිරීම මගින් ජාතයන්තර මැදිහත්වීමකට පාර කපා ගැනීමකටය. ජාත්‍යන්තර අත්දැකීම් අනුව එම මැදිහත්වීම් බොහෝවිට අවසන් වන්නේ බෙදා වෙන් කළ රාජ්‍යයන් දෙකේම විදේශීය හමුදා රැඳවීම මගිනි. ඒ අනුව ඇමෙරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග තම උවමනාවන් සඳහා දෙමළ ඩයස්පෝරාව යොදා ගන්නා බව පැහැදිලිවේ. නමුත් බොහෝ පිරිස් මතුපිටින් කරනු ලබන විග්‍රහයන්ට අනුව දෙමළ ඩයස්පෝරාව විසින් කැනේඩියානු දේශපාලනඥයන් මිළ දී ගැනීම හරහා මෙම තත්වය ඇති කරනු ලබයි. එම පැහැදිලි කිරීම් දෙක අතර සබඳතාවයක් තිබුනද වඩා නිවැරදි පැහැදිලි කිරීම වන්නේ පළමු පැහැදිලි කිරීම බව අනාගතයේදී ඔප්පු වන බවට කිසිදු සැකයක් නැත.
අධිරාජ්‍යවාදී මැදිහත්වීම මත ලෝකයේ බෙදා වෙන් කොට ඇති රටවල් 26 ක සිදු වූ දේ අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන්නේ ඒ කිසිදු රටක හමුදාවල් දෙකක් දෙපස සිට යුද්ධ කරමින් දේශසීමාවක් නීර්ණය කොට නොමැති බවය. එහිදී යොදා ගන්නා ප්‍රධාන න්‍යායාත්මක ප්‍රවේශය වන්නේ සන්නද්ධ ගැටුම් නිර්මාණයකොට ඒ මගින් කේවල් කිරීම හරහා ව්‍යවස්ථානුකූලව වෙනම රාජ්‍යක පරිපාලන බල ප්‍රදේශය සලකුණු කිරීමය. ශ්‍රී ලංකාවේදී 1987 දී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කරනු ලැබුවේ එම අවශ්‍යතාවය ඉටු කර ගැනීමයි. දෙවන ප්‍රවේශය වන්නේ සන්නද්ධ ගැටුම් සමනය කිරීමේ නාමයෙන් ජාත්‍යන්තර මැදිහත් වීමක් හරහා ගිවිසුමකට අනුව එම බල ඒකකයේ දේශසීමා සළකුණු කිරීමය. සුඩානයෙන් දකුණු සුඩානය වෙන් කරනු ලැබුවේ එම න්‍යායාත්මක ප්‍රවේශයට අනුවය. එහිදී එසේ ව්‍යවස්ථාව සහ නීතිය මගින් හෝ ජාත්‍යන්තර ගිවිසුමක් මගින් අනාගතයේ බෙදා වෙන් කෙරෙන රාජ්‍යයේ දේශ සීමාවන් සලකුණු කිරීමෙන් පසුව ජාත්‍යන්තර මැදිහත්වීමක් සාධාරණීකරනය කළ හැකි මට්ටමක ගැටුම් නැවත වටයකින් නිර්මාණය කිරීමෙන් පසුව අවසානයේදී රට බෙදා වෙන් කරනු ලබන්නේ එම ජාත්‍යන්තර මැදිහත්වීම මත යම් නීත්‍යානුකූලභාවයක් ආරෝපණය කරමිනි. ඒ සඳහා සුඩානයේදී යොදා ගනු ලැබුවේ එම මැදිහත්වීම තුළ එම ප්‍රදේශයේ පමණක් ජනමත විචාරණයක් පැවැත්වීමය.
එදා 2002 දී සටන් විරාම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේදී උත්සාහ කරනු ලැබුවේ ව්‍යවස්ථාව මගින් නිර්මාණය කළ බල ඒකකය ජාත්‍යන්තර ගිවිසුමක් මගින් තව දුරටත් තහවුරු කිරීමය. එනම් තාවකාලික ආණ්ඩුවක් නිර්මාණය කර එය නීතිගත කිරීමය. එය එක්තරා ආකාරයකට ඉතා සුවිශේෂී බෙදුම්වාදී අත්හදා බැලීමකි. එහිදී තාවකාලික ආණ්ඩු යෝජනාව මහජන විරෝධය නිසා අකුලාගනු ලැබුවද 2004 දී සුනාමි ව්‍යවසනය යොදා ගනිමින් සුනාමි සහන මණ්ඩලය නමින් තාවකාලික ආණ්ඩු යෝජනාව වෙනත් ආකාරයකට ගෙන එනු ලැබීය. එයද පරාජය කිරීමට එදා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික බලවේග වලට හැකි විය. යුද්ධය අවසන් කිරීම හෙවත් බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම පරාජය කිරීමෙන් පසුව බෙදුම්වාදී න්‍යායපත්‍රය හෙවත් මාර්ග සිතියම ඉදිරියට ගමන් කරනු ලබන්නේ වෙනත් උපාංග භාවිතා කරමිනි. එහිදී ප්‍රභාකරන්ගේ තුවක්කු වෙනුවට මානව හිමිකම් කෙවිට භාවිතා කරන ආකාරය ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුව හරහා දියත් වී ඇති මෙහෙයුම තුළින් පැහැදිලි වේ. මානව හිමිකම් කෙවිට යොදා ගනිමින් ඔවුන් විසින් ඉටු කරගනු ලබන ප්‍රධාන උපාය මාර්ගික අරමුණු 5ක් ඇත.
පළමුවැන්න කුමන හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට එරෙහිව පවතින ව්‍යවස්ථාමය බාධක ඉවත් කිරීමය. පරමාධිපත්‍යයේ බලය බෙදී යන ආකාරයට බල තල බෙදීම සඳහා ඉවත් කළ යුතු ව්‍යවස්ථාමය බාධාක 5 ක් ඇත. ඉන් පළමුවැන්න පළාත්සභාවක ප්‍රඥප්තියක් ආපසු හරවා යැවීම සඳහා ආණ්ඩුකාරවරයා සතු බලය අහෝසි කිරීමය. මහ ඇමති විමසා ආණ්ඩුකාරවරයා පත් කිරීම සදහා ප්‍රතිපාදනයක් පැනවීම මඟින් එම බාධකය ජය ගත හැක. දෙවැන්න ප්‍රතිපත්ති හැදීමේ බලය මධ්‍යම ආණ්ඩුව සතු වීමය. තුන්වන බාධකය පළාත් මූල්‍ය බලය පළාත් භාණ්ඩාගාරයක් මගින් ක්‍රියාත්මක නොවීමය. හතරවැන්න සමගාමී ලයිස්තුව මගින් පළාත් විෂයන්ට ඇඟිලි ගැසීම සඳහා මධ්‍යම ආණ්ඩුවට බලය තිබීමය. පස්වන බාධකය වන්නේ පළාත් වලට ඉඩම් බලතල ලබා දුන්නද ඉඩම් අයිතිය මධ්‍යම රජය යටතේ පැවතීමය. ඉතා සුළු ව්‍යවස්ථා සංශෝධන ප්‍රමාණයක් මගින් එම බාධක ගලවා ඉවත් කළ හැක. ගැටුම් නැවත ඇතිවීම වැලැක්වීමේ නාමයෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු බවට දිගින් දිගටම මානව හිමිකම් සමුළුවේ යෝජනා වලට ඇතුල් කෙරෙන්නේ ඒ නිසාය. යුද්ධයෙන් පසුව මානව හිමිකම් කෙවිට යොදා ගනිමින් දියත්වන බෙදුම්වාදී මාර්ග සිතියමේ මූලික සැතපුම් කණුවක් ඒ ආකාරයට පසු කළ හැක.
ඉහත් සඳහන් කළ උපාය මාර්ගික අරමුණු වලින් දෙවැන්න ආරක්ෂක හමුදා දුර්මුඛ කොට දුර්වල කිරීමය. ඊළාම් මාර්ග සිතියමේ අවසන් සැතපුම පසු කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් කැඳවා ගැනීම මුල් කරගත් ගැටුම් වලදී ආරක්ෂක හමුදා සක්‍රීයව තත්වය පාලනය කිරීමට නොහැකිව මානසිකව දුර්වල තත්වයක් ඇති කළ යුතු වේ. ආරක්ෂක හමුදා වලට රට තුළ දී පරිපාලන වශයෙන් දඩුවම් කිරීම, ජාත්‍යන්තර අධිකරණ බලය යටතේ විවිධ රටවලදී නඩු පැවරීම සදහා සාක්ෂි ගොනු කරන ජාත්‍යන්තර යාන්ත්‍රනයක් පිහිටවනු ලැබීම, විවිධ රටවලට වීසා ලබා නොදීම ආදී ආදී වශයෙන් විවිධ ක්‍රියාමාර්ග වල අවසන් අරමුණ ආරක්ෂක හමුදා දුර්මුඛ කොට දුර්වල කිරීමය. තුන්වන උපායමාර්ගික අරමුණ එම අවසන් සැතපුම පසු කරන සමයේදී රට තුළ ස්ථාවර ජාත්‍යන්තර මැදිහත්වීමක් පවත්වාගෙන යාමය. ඊනියා සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීමට ජිනීවා යෝජනා මඟින් බල කරනු ලබන්නේ එම උවමනා ඉටු කර ගැනීම සදහා බව ඉතා පැහැදිලිය. හතරවන උපායමාර්ගික අරමුණ වන්නේ එම අවසන් ගැටුමේදී රාජ්‍ය දුර්වල සහ අසරණ තත්වයකට පත් කිරීමය. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම සහ හමුදා සහ පොලීසිය තුළ ප්‍රතිසංස්කරණ යෝජනා කරනු ලබන්නේ ඒ සදහාය. එවැනි තත්වයක් තුළ විශේෂනේම ජාත්‍යන්තර මැදිහත්වීමකදී විධායක ජනාධිපතිවරයාට අසරණ බලා සිටීමට සිදුවනු ඇත. පස්වන උපායමාර්ගය අවසන් සටන තෙක් බෙදුම්වාදී බලවේග වල මානසික ශක්තිය පවත්වාගෙන යාමය.
ඒ ආකාරයට බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම් කිහිපයේදී සිදුවන ජාත්‍යන්තර මැදිහත්වීම් ජාත්‍යන්තර අධිකරණය දක්වා ගමන් කිරීමේ හැකියාව ඇත. ඊට අමතරව එවැනි මැදිහත්වීමකදී වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීම සදහා ප්‍රධාන නිර්නායක දෙකක් යොදා ගන්නා බව පෙනේ. ජාත්‍යන්තර අධිකරණයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පෘතුගාලය නඩු තීන්දුව අනුව වෙන්ව යාමේ අයිතිය තිබේද යන්න නීර්ණය කිරීම සදහා පරීක්ෂණ දෙකක් කළ හැක. එම නඩුව පවරනු ලැබුවේ ඉන්දුනීසියාවෙන් නැගෙනහිර ටිමෝරය බෙදා වෙන් කිරීමට අදාලවය. එම පරීක්ෂණ දෙකෙන් පළමුවැන්න ඉහත සඳහන් කළ ආකාරයට පරමාධිපත්‍ය බලය, මධ්‍යම රජය සහ පළාත් ආණ්ඩු අතර බෙදී ගොස් තිබේද යන්නය. ඒ අනුව යම් ජනතාවකට යම් භූගෝලීය ප්‍රදේශයකට අදාළව පරමාධිපතයයේ බලය බෙදී යන ආකාරයට බලය බෙදා ඇති විටක මධ්‍යම ආණ්ඩුව විසින් පළාත් ආණ්ඩුව සතු බල තල ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදේ නම් එම ජනතාවට වෙන්ව යාමේ අයිතිය ඇත. බෙදුම්වාදී බලවේග ව්‍යවස්ථා සංශෝධනයක් කර ගන්නා තෙක් අවසන් ගැටුම කල් දමනු ලබන්නේ මෙම න්‍යායාත්මක සහ ජාතයන්තර නීතිමය පදනම මතය. නැගෙනහිර ටිමෝරයට අදාල නඩු තීන්දුව අනුව දෙවන පරීක්ෂාව වන්නේ එම ජනතාව සමූල ඝාතනයටකට ලක්ව සිටීද යන්නය.
සමූල ඝාතන චෝදනාව තහවුරු කිරීම සදහා හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා නිතර කරුණු ඉදිරිපත් කරනු ලබන්නේද ඒ අනුවය. දැන් කැනඩාවේ ප්‍රාන්ත ආණ්ඩුවක් යොදා ගනිමින් සමූල ඝාතන චෝදනාව තව දුරටත් ඉහළට එසවීමට සහ ඊට අදාල අධ්‍යාපන සහ පර්යේෂණ ජාත්‍යන්තර මට්ටමින් සිදු කිරීමට පොටක් පාදා ගැනීමට බව ඉතා පැහැදිලිය. ඒ නිසා මෙම තත්වය හුදකලා සිදුවීමක් නොව ඊළාම් මාර්ග සිතියමට අනුව නිශ්චිත උපායමාර්ගික අරමුණකින් නිර්මාණයක් කෙරෙන්නක බව අවබෝධ කර ගත යුතුය.
එසේනම් ජාත්‍යන්තර නීතියට අනුව පරමාධිපත්‍ය බලය බෙදී යන ලෙස බලය බෙදා ඇති අවස්ථාවක එම බල ඒකකයේ එනම් පළාත් ආණ්ඩුවට පවරා ඇති බල තල ක්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය විසින් ඉඩ නොදේනම් හෝ එම භූමියේ ජනතාව සමූල ඝාතනයකට ලක්ව තිබේනම් හෝ එම කරුණු දෙකම සම්පූර්ණ වූ අවස්ථාවක එම ප්‍රාන්ත ආණ්ඩුවට වෙන්වීමේ අයිතිය හෙවත් ස්වයං පාලන අයිතිය ලැබේ. ඒ අනුව ඉහත සඳහන් කළ මානව හිමිකම් කෙවිට මගින් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන අරමුණු ඉටු කර ගන්නා අතර සමූල ඝාතන චෝදනාව ඔප්පු කිරීම සදහා කුමන හෝ ගොතන ලද හෝ ව්‍යාජ සාක්ෂි ප්‍රමාණයක් එකතුකර ගත හැකිනම් වෙනම රාජ්‍යය සිහිනය සැබෑ කර ගැනීමට වැඩි අවස්ථාවක් නිර්මාණය වේ. උදාහරණයක් ලෙස ව්‍යවස්ථා සංශෝධනයකට පසුව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමෙන් පසුව පළාත් ආණ්ඩුව විසින් පොලිස් බලතල යටතේ පොලිස් කොමිෂම පිහිටුවා මධ්‍යම රජය සමග ගැටුම්කාරී ලෙස වෙරළ ආරක්ෂක පොලීසියක් පිහිටුවීමට උත්සාහ කළහොත් ඇති වන තත්වය කුමක්ද?
එවැනි තත්වයකදී මධ්‍යම රජය විසින් බාධා පැමිණවුවහොත් සිවිල් ජනතාව බහුලව ගැටුමකට මැදිහත්වන ආකාරයට ප්‍රචන්ඩ විරෝධතා සංවිධානය කරනු ඇත. එවැනි තත්වයකදී කොසෝවෝ බෙදා වෙන් කිරීමේදී සිදු කළ ආකාරයට එනම් මළ මිනී 800ක් ගොඩ ගැසෙන තත්වයක් නිර්මාණයකොට නේටෝ හමුදාව මැදිහත් වූ ආකාරයට ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර හමුදාමය මැදිහත්වීමක් කිරීමට අවස්ථාව නිර්මාණය වේ. එම ක්‍රියාවලියට බහුතර ලෝක ප්‍රජාවගේ සහාය ලබා ගැනීම සඳහා සමූල ඝාතන චෝදනාව එනම් මානව සංහතියට එරෙහි අපරාධ චෝදනාව බෙදුම්වාදී බලවේග වලට ඉතා තීරණාත්මකව වැදගත් වනු ඇත. දැන් අංක 104 පනත මගින් කැනඩාවේ රජයේ අරමුදල් පවා යොදා ගනිමින් සමූල ඝාතන චෝදනා අධ්‍යයනය කිරීමේ සහ පර්යේෂණය කිරීමේ මුවාවෙන් ව්‍යාජ සාක්ෂි ගොණු කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කළ හැක. දැනටමත් ෆ්‍රැන්සිස් ඩොයිල් නැමති පර්යේෂකයෙකු විසින් රචිත ‘’ශ්‍රී ලංකාවේ දෙමළ සංහාරය ‘‘(The Tamil Genocide by Sri Lanka) නැමති ග්‍රන්ථය මගින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා සමූල ඝාතනය කිරීම වැලැක්වීමට නොහැකි වීම සමස්ථ ජාත්‍යන්තර ප්‍රජාවගේ වගකීම් පැහැර හැරීමක් ලෙස හුවා දක්වා ඇත.
එක්සත්ජාතීන්ගේ මහා මණ්ඩලයේ අංක 260 සහ 9/12/1948 දින දරන යෝජනාව මගින් සමූල ඝාතන වැලැක්වීම සහ ඊට දඩුවම් කිරීම සදහා ජාත්‍යන්තර සම්මුතියක් අත්සන්කොට ඇත. එහිදී සමූල ඝාතනයක් සිදුවන බව ඔප්පු කිරීම සදහා කරුණු 5ක් යටතේ සාක්ෂි ඉදිරිපත් කළ හැක. ඒවා ඉතා පුළුල් පරාසයක විහිදී ඇති බැවින් සහ යුද්ධයක් පැවති රටක තත්වයන්ට ඉතා පහසුවෙන් එවැනි චෝදනා එල්ල කිරීමේ ඉඩක් ඇත. ඒවා ඔප්පු කිරීම වෙනම කාර්යයකි. ඒ අනුව ගොඩනැගෙමින් පවතින තත්වය රජයේ වගකිවයුතු නායකයින් සහ ආයතන විසින් බරපතල ලෙස සැලකිල්ලට ගත යුතු බවට විවාදයක් නැත.
ඒ අනුව කැනඩා රජයේ ක්‍රියාකාරිත්වය පිළිබදව පැමිණිලි කළ හැකි සහ විරෝධතාවය දැක්විය හැකි සියළුම ආයතන සහ අවස්ථා යොදා ගනිමින් අංක 104 පනතට එරෙහිව ප්‍රභල ප්‍රහාරයක් එල්ල කළ යුතු බවට විවාදයක් තිබිය නොහැක. ඊට අමතරව යුද අපරාධ චෝදනා වලට මෙන්ම සමූල ඝාතන චෝදනා වලට එරෙහිව නීතිමය සහ කරුණුමය සාක්ෂි මානව හිමිකම් සමුළුව වේදිකාවක් ලෙස යොදා ගනිමින් ලෝකයට ඉදිරිපත් කළ යුතුය. එය ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් ජිනීවා මානව හිමිකම් සමුළුව හරහා ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කරනු ලබන ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් මෙන්ම රණවිරුවන්ගේ ආරක්ෂාව සහ ගෞරවය වෙනුවෙන් ආණ්ඩුව විසින් ඉටු කළ යුතු මූලික සහ අවම කොන්දේසියකි. එසේ ශ්‍රී ලංකාව විසින් ස්වාභාවික යුක්තිය හෙවත් චෝදනාවක් එල්ල වූ විට ඊට පිළිතුරු බැඳීමේ අයිතිය ඉල්ලා සිටින්නේ නම් කිසිදු රාජ්‍යයකට ඊට එරෙහිවිය නොහැක. එම ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවට සමහර විට ජාත්‍යන්තර අධිකරණය හමුවට යාමටද සිදු විය හැක. රජය වෙත පැවරී ඇති එම භාරදූර වගකීම එක් දිනකින් හෝ පමා කිරීම මගින් ඉතා කෙටි කාලයක් තුළ බරපතල වන්දියක් ගෙවීමට සිදු විය හැක.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...