ලංකාවේ කෘෂි රසායන ආනයනය අත්හිටුවීමත් සමග, අපේ රටේ කෘෂිකර්මය පිළිබඳ නව කතිකාවක් ඇරඹී තිබේ. එය, අඩ සියවසකට නො අඩු කාලයක් තිස්සේ අන්තර්ජාතික මූල්‍ය ආයතන හා බහුජාතික සමාගම් විසින් මේ රට මත විවිධ උපායික සැලසුම් හරහා ගොඩනැඟූ නවීන කෘෂිකර්මයේ ආදීනව හරහා සෞඛ්‍ය – ආර්ථික – සමාජ – දේශපාලන යන ක්ෂේත්‍ර වෙතින් මතු වන නව කියැවීමකි. මෙම ක්‍රමයට එරෙහිව දශක ගණනාවක් තිස්සේ හුදෙකලාව හෝ අසංවිධිතව නැඟුණු විරෝධය වඩාත් පුළුල් හා සංවිධානාත්මක තලයක දියත්ව ඇති මේ මොහොතේ, අන්තර්ජාතික මූල්‍ය ආයතන හා බහුජාතික සමාගම් ජාලය දශක ගණනාවක් තිස්සේ හරිත විප්ලවය යටතේ අපේ වැනි රටවල් තල්ලු කළ කෘෂිකාර්මික උගුල පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් අවශ්‍ය වේ. මන්ද යත් මේ ‘උගුල’ ගැන පුළුල් හඳුනාගැනීමකින් තොරව කටයුතු කිරීමෙන් අලුත් වටයකින් ඒ උගුලටම ගොදුරු වීමේ විභවය පවතින බැවිනි.
අන්තර් ජාතික මූල්‍යායතන හා බහුජාතික සමාගම් විසින් නවීන කෘෂිකර්මාන්තය යන තේමාව යටතේ නිර්මාණය කර ඇත්තේ පංචවිධ උගුලකි. ඒ උගුලට අඩු වැඩි වශයෙන් අපේ වැනි පරිවාරයේ රටවල් බොහොමයක් ගොදුරු වී තිබේ. ඒ උගුලට ගොදුරු වීමේ ප්‍රතිඵල ලෙස ආර්ථික වශයෙන්ද, පාරිසරික වශයෙන්ද, සෞඛ්‍ය වශයෙන්ද රටක් ලෙස – සමාජයක් ලෙස නොහිම් වන්දියක් ගෙවමින් සිටිමු.
අපේ රටවල පැවති කෘෂිකර්මාන්තය තුළ කුඩා පරිමාණ වගාබිම්හි ඉතා කාර්යක්ෂම ලෙස වගා කටයුතු කිරීමට ගොවීහු සමත්වූහ. ඔවුහු එකකට එකක් වෙනස් බෝග කිහිපයක් එකම බිමේ වගා කළහ. මෙම ක්‍රමය බෙහෙවින්ම පරිසර හිතකාමී වූයේය. පසුගිය සියවසේ අසූ ගණන්වල සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵල අනුව, බ්‍රිතාන්‍යයේ සැල්ෆෝර්ඩ් සරසවියේ පාරිසරික සම්පත් අංශයේ ආචාර්ය පැමලා එම්. ගූඩි සඳහන් කර තිබුනේ, “ලෝකයේ තිබෙන කුඩා පරිමාණයේ වගා බිම් අතරින් හොඳම තැනට ගැනෙන්නේ ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ගෙවතු වගාව බව තම අධ්‍යයනවලදී හඳුනාගෙන තිබෙන බවයි.” ඇය වැඩි දුරටත් සඳහන් කරන ආකාරයට, “සුළු පරිමාණයේ වගා බිමක් සේ යොදා ගැනෙන්නේ අක්කර එකේ සිට එක හමාර දක්වා වපසරියක්. එහි බෝග විවිධාංගීකරණය වැඩියි. බාහිරින් වගාවට එකතු කරන පොහොර හා කෘමි නාශක ප්‍රමාණය අවමයි. වගාව පවත්වාගෙන යන්නේ තිරසාරව බිම ප්‍රයෝජනයට ගත හැකි වන අයුරින්. කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ගෙවතු වගාව සිදු කෙරුණේ මේ ලක්ෂණ පදනම් කර ගනිමිනි. තුන්වන ලෝකයේ රටවලට පමණක් නොව සංවර්ධිත රටවලටද වඩාත් ගැලපෙන්නේ සුළු පරිමාණයේ වගා බිම් ක්‍රමයයි. නමුත් පසුගිය කාලය තුළ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් ආධාර ලබා දුන්නේ මහා පරිමාණයේ වගා බිම් ව්‍යාප්ත කිරීමටය. නමුත් ලෝකයේ එවැනි විශාල පරිමාණයේ වගා බිම් අසාර්ථක වී තිබේ.”
අපේ රටේ ගෙවත්තේ සැකැස්ම ගැන මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුවේ. මෙහි තමන්ට සෑහෙන පරිදි ආහාර බෝග ගණනාවක් මෙන්ම ඖෂධීය ශාක ගණනාවක්ද වවාගැනීමට කටයුතු කර තිබිණි. එසේම හිමිකාරීත්වය අනුව ඉඩමක් අනෙක් ඉඩමෙන් වෙන් කරන මායිම් වැට පවා ඊට අනන්‍ය ශාක ගණනාවකින් සමන්විත විණි. ඒ සඳහා මුරුංගා වැනි ආහාරමය හා ඖෂධමය වටිනාකමක් සහිත ශාක තෝරාගෙන තිබිණ. මෙරට වැසියාගේ ආහාර සහිත ‘ශීතකරණය’ මෙන්ම ශාක ඖෂධ සහිත ‘ඔසුසල’ වූයේද තම ගෙවත්තයි. ගෙවත්ත කෙළවර බොහෝ විට වූයේ සිය කුඹුරය. මේ සියල්ල එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් සබැඳුණු කොටස් විය. මේ තත්ත්වය තුළ මෙරට නිවාස ඒකකයක් යනු ස්වයං පෝෂිත පැවැත්මක් සහතික කරගත් තැනක් විණි.
ආචාර්ය සූරිය ගුණසේකර සඳහන් කරන ආකාරයට, “අපගේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය කෙරුණේ අස්වැන්න වඩ වඩාත් ඉහළ නංවා ගැනීමට නොවේ. කෘෂිකාර්මික කටයුතු හුදෙක් එම කාර්යය සඳහා පමණක් නොකෙරුණු අතර, බොහෝ සමාජයීය අවශ්‍යතා සපුරාගැනීම ඒ හා බද්ධව තිබිණ. සොබාදහමින් ලබා දුන් අස්වැන්නෙන් සෑහීමට පත් වූ අතර, එමගින් දෙන ඉහළම ඵලය ලබාගැනීමට හැකි ශිල්ප ක්‍රම ඔවුන් සතු විය. එක් බෝගයක අස්වැන්න වඩ වඩා ඉහළ නැංවීම වෙනුවට හැම නිවර්තනික රටකම යොදාගත් ක්‍රමය වූයේ බෝග කිහිපයක් එකම බිමේ වවා (මිශ්‍ර බෝග) එකවර අස්වනු කිහිපයක් ලබා ගැනීමය.” අපේ රටේ කෘෂිකර්මය බහුවිධ අතින් සාර්ථක වූයේ මෙම විවිධත්ව කළමනාකරණය තුළය. ඇත්තෙන්ම මෙම බෝග විවිධත්වය යනු ජාන විවිධත්වයයි. ඒ අනුව අතීත ලාංකේය වැසියා සිය ගෙවත්තේ විවිධ බෝග වගාකිරීම හරහා සිදු කළේ නූතන හඳුනාගැනීම්වලට අනුව ජාන විවිධත්වය කළමනාකරණය කිරීමයි.
නමුත් අන්තර්ජාතික කෘෂි විශේෂඥයින්ගේ උපදෙස් අනුව ලෝකයේ දියුණු රටවල සිදු කළ මහා පරිමාණ වගා බිම්වල අසාර්ථකත්වය පෙන්වන කොතෙකුත් උදාහරණ තිබේ. ජේම්ස් ගෝල්ඩ් ස්මිත් පෙන්වා දෙන ආකාරයට, “ජාන විවිධත්වය නැති වීමෙන් උද්ගත විය හැකි අන්තරායන් ගැන සුප්‍රකට අනතුරු හැඟවීම් බොහෝ ගණනක් ඉතිහාසයෙන් සැපයේ. නිදසුනක් වශයෙන් ලෝකය පුරා තවමත් අර්තාපල් වර්ග 5000ක් ඇත. එහෙත් අයර්ලන්තයේ 19 වන සියවසේදී, සියලුම අර්තාපල් වර්ග පැවතගෙන ආවේ වර්ග දෙකකිනි. ජාන සීමිතභාවය හේතු කොට ගෙන අර්තාපල් කොළ රෝගයට ඔරොත්තු දිය නොහැකිව වසංගත තත්ත්වයට උත්සන්න වීමෙන්, මහා සාගතය හට ගත්තේය. 1960 ගණන්වල දකුණු දිග ධාන්‍ය කොළ රෝගයට අනතුරුව, වසංගතයට ප්‍රධාන හේතුව ධාන්‍ය වර්ගයේ ඒකාකාරභාවය යැයි එක්සත් ජනපද ජාතික විද්‍යා පීඨය සනාථ කළේය. එක් සංයුතියක් අලුත් කොළ රෝගයට ගොදුරු වන සුලු බවට පත් වූ විට, සමස්ත ඇමරිකානු වගාවම අනතුරට පත් විය යන්න එම විද්‍යාපීඨයේ නිගමනය විය. 1970 ගණන්වල රුසියානු තිරිඟු වසංගතය පිළිබඳවද එම කරුණ සැබෑ විය. හෙක්ටයාර් හතලිස් ලක්ෂයක ‘පුදුම බෝගය’ යන විරුදාවලි ලත් එකම ධාන්‍යයක් ඉසිනු ලැබීය. අනපේක්ෂිත ලෙස සහ විද්‍යාත්මක පර්යේෂණ සියල්ල තිබියදීත්, දැඩි ශීත ඍතුවට ඔරොත්තු දීමේ හැකියාව මෙම ධාන්‍ය වර්ගයට නොතිබුණි. ජාන සමානතාව නිසා හටගත් විපාකය වූයේ සමස්ත බෝගයම පාලු වීමය.”
නමුත් ලෝක බැංකුව හා අන්තර්ජාතික මූල්‍ය අරමුදල යන මූල්‍ය ආයතන මෙන්ම, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයද සාර්ථක බව සඳහන් කරන්නේ හා නිර්දේශ කරන්නේ මහා පරිමාණ වගා බිම් ය. මේ මහා පරිමාණ වගා අනුව භූමිය ඵලදායී ලෙස යොදා ගැනීමට ගොවීන්ට නොහැකි වී තිබේ. එපමණක් නොව මෙම වගා ක්‍රමය තුළ කුඩා ගොවීන්ට සිය පැවැත්ම පවා අහෝසි වන තත්ත්වයක් නිර්මාණය කර තිබේ. කෘෂිකර්මය පිළිබඳ ලේකම් වූ බ්‍රට්ස්ට අනුව, “රීතිය නම්, එක්කෝ විශාල විය යුතුය. නැතිනම් ඉවත්ව යා යුතුය.” එනම් කුඩා ගොවීන්ට මේ ක්‍රමය තුළ ඉඩක් නැත. මේ ක්‍රමය තුළ පැවතිය හැක්කේ විශාල ඉඩම්වල මහා පරිමාණ වගා කටයුතු කරන ගොවීන් අතලොස්සකට හෝ බහුජාතික සමාගම්වලට පමණකි. මෙලෙස ඉඩම් සීමිත පිරිසක් අත සංකේන්ද්‍රණය වීම, අඳ ගොවි තත්ත්වය සහ ඉඩම් අහිමි වී යාම නිසා කුලීකරුවන් බවට පත්වීම ආදිය මේ කෘෂි සැලසුම් ක්‍රියාවට නැංවුණු සෑම රටකටම පොදු ඛේදවාචක ය. එක්සත් ජාතීන්ගේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල 1992 දී ලෝකයේ ග්‍රාමීය දිළිඳුභාවය පිළිබඳව රටවල් 114ක කළ අධ්‍යයනයකට අනුව ගෙවුණු වසර 20 (එනම්, 1972 -1992) තුළ, ඒ රටවල් 114 අතරින් වැඩිම වේගයකින් ග්‍රාමීය දිළිඳුභාවය වර්ධනය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ බව අනාවරණය විය.
ලංකාවට අනන්‍යව පැවති ස්වයංපෝෂිත කුඩා පරිමාණ වගා බිමේ සිට හරිත විප්ලව සැලසුම්කරුවන්ගේ සිහිනය වූ මහා පරිමාණ වගාබිම් වෙත ලංකාව තල්ලු කිරීම තුළ රටක් ලෙස, සමාජයක් ලෙස අප අත්පත් කරගත් ප්‍රතිඵල, එම සැලසුම් සකස්කළ අන්තර්ජාතික ආයතනවලම අධ්‍යයනවලින් පෙන්වා දෙන්නේ මෙලෙසිනි.
මේ ‘මහා පරිමාණ වගාබිම’ නමැති උගුල තුළ අප රටක් ලෙස සිරකළ අවස්ථාවයි.
ලෝක බැංකුවේ ප්‍රමුඛ මැදිහත්වීම සහිතව නිවර්තන කලාපීය රටවල් පුරා පතුරුවා හළ හරිත විප්ලවයේ හෙවත් නවීන කෘෂිකර්මාන්තයේ ආත්මගත ලක්ෂණය වූයේ රසායනික පොහොර හා පළිබෝධනාශක භාවිතයයි. පෝෂණය පිළිබඳ කාරණා නොසලකා, අස්වැන්න වැඩි කිරීමේ කේන්ද්‍රීය අරමුණ සපුරාගනු වස් නිර්මාණය කෙරුණු නව බීජ සදහා මෙම රසායනික පොහොර අනිවාර්යයෙන්ම භාවිත කළ යුතු වූයේය. නව බීජ නිෂ්පාදනයත්, ඊට අනුරූප රසායන පොහොර හා පළිබෝධ නාශක නිෂ්පාදනයත් එකම බහුජාතික සමාගම් විසින් සිදු කෙරිණ.
මහාචාර්ය අලවත්තාගොඩ පේමදාස සඳහන් කරන ආකාරයට, “කෘත්‍රිම පොහොර භාවිතය ඇරඹුණු පනහේ දශකයේ අග දී ගොවියාට පොහොර ලැබුනේ නිකම්ම මෙනි. දුම්වැටි ප්‍රචාරණය සඳහා පැකට්ටු ගණන් මඟ දිගටම දම දමා ගිය දුම්කොළ සමාගම් මෙන්, කෘත්‍රිම පොහොරද ඇදහිය නොහැකි තරමේ ලාභයට දීමට තරම් බහුජාතික සමාගම්කරුවෝ වෙස්සන්තරලා වූහ. නිකම්ම වාගේ ලැබෙන පොහොර සැබැවින්ම සූරාකෑමේ ආරම්භයක් බව ගොවියෝ නොදත්හ. බහුජාතික උප්පරවැට්ටිය ආරම්භයේ දී ක්‍රියාත්මක වූයේ ඇමක් ගිල්ලවීමෙනි. දැන් ගොවීන් බහුජාතික සමාගම්වල බිලියේ පැටලී හමාරය. කෘත්‍රිම පොහොර කවර මිලකට වුවද ගැනීම අනිවාර්යය.”
මෙම රසායනික පොහොර උගුල ඇටවීමට පෙර, අපේ රටවල පැවතියේ ඓන්ද්‍රීය කෘෂිකර්මයකි. ඒ තුළ ස්වභාවික පරිසරය සමග මනා වූ සබැඳියාවක් සහිත කෘෂි පිළිවෙත් පැවතිණි. මේ පිළිවෙත් මගින් ජෛව විවිධත්ව පෝෂණයක් මිස ජෛව විවිධත්වය වැනසීමක් සිදු නොවීය. පැරණි ගොවියෝ ‘විශේෂඥයින් ’ නොවූහ. නමුත් තමන්ගේ කෘෂිකාර්මික කාර්යය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඔවුන් සතු විය. තමන් විවිධ බෝග වගා කරන පසේ ව්‍යුහය පවත්වාගැනීමටත් ජලයෙන් හා සුළඟින් වන ඛාදනය වළක්වාගැනීමටත් අවශ්‍ය කරන ශක්තිය පසට ලැබෙන්නේ ඊට එකතු වන ඓන්ද්‍රිය ද්‍රව්‍යවලින් බව ගොවීහු කාලාන්තරයක් තිස්සේ දැන සිටියහ. පසෙහි ව්‍යුහය රැකෙන පිළිවෙත් ඔවුන්ගේ වගාබිම්හි ක්‍රියාවට නැංවුණේ ඒ දැනුම්වත්භාවය නිසාය. නමුත් ‘වැඩි අස්වැන්න’ යන කාරණය පෙරට ගෙන අනෙකුත් සියලු සාධනීය ශක්තීන් නොසලකා හැරුණු රසායනික කෘෂිකර්මාන්ත පිළිවෙත් විසින් ඓන්ද්‍රීය කෘෂිකාර්මික පිළිවෙත් අවඥාවෙන් හෙළා දැක ගොවිබිම්වලින් පළවා හැරිණි. මේ කාර්යය සඳහා අපේ රටවලම විශේෂඥයින්ගේ දායකත්වය නොමසුරුව ලැබිණි. නව රසායනික පොහොර භාවිතය නිසා සිදුවන වාසි පිළිබඳ දිවා රෑ ප්‍රචාරය කෙරිණි. 60 -70-80 දශකවල මෙරට ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහන් – ගුවන්විදුලි නාට්‍ය සඳහා මෙම රසායන ද්‍රව්‍ය නිෂ්පාදන සමාගම් අනුග්‍රහය දක්වන ලදී. ඇතැම් ගුවන්විදුලි නාට්‍යවල අන්තර්ගතය සකස් වූයේම, මෙම කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතයට යොමු වීම සඳහා ගොවියාගේ මනස සකස් කරන ආකාරයකිනි.
1960-1970 දශකවලදී හරිත විප්ලවය වැළඳගත් සංවර්ධනය වෙමින් පවතින රටවල් දැවැන්ත සම්පත් ප්‍රමාණයක් කෘත්‍රිම පොහොර ආනයනය, නිෂ්පාදනය, සහනාධාර ලෙස හා බෙදා හැරීම සඳහා වැය කළේය. අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් මේ සඳහා අවශ්‍ය ණය පහසුකම් සම්පාදනය කරන ලදී.
පොහොර හා කෘෂි රසායන නිෂ්පාදන සමාගම්වල ලාභය තරකරනු පිණිස අපේ වැනි රටවල් කැපකර ඇත්තේ මුදල් පමණක් නොවේ. පරිසරය, පස, ජෛව විවිධත්වය, මිනිස් ජීවිත ආදී මේ සියල්ල ඒ වෙනුවෙන් අප වනසාගෙන තිබේ.
ප්‍රභාත් චින්තක මීගොඩගේ
ඉතිරි කොටස පසුවට…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...