පසුගියදා මාධ්‍යය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනු ලැබුවේ යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ජී.එස් .පී නම් බදු සහන වැඩපිළිවෙල අහෝසි වුවහොත් ඩොලරය රුපියල් 300 ක් විය හැකි බවය. එතුමා එවැන්නක් ප්‍රාර්ථනා කරන බවක් සඳහන් නොවුනද ආණ්ඩුව යම් අර්බුදයකට ලක් වීම යනු ඕනෑම විපක්ෂ බලවේගයක් විසින් අපේක්ෂා කරන දෙයක් බවට විවාදයක් නැත. හිටපු අගමැතිවරයාගේ ප්‍රකාශය කෙටි කලකට යථාර්තයක් බවට පත්වීමේ අනතුරක් තිබෙන බව විවාදයකින් තොරව පිළිගත හැක. එසේ රුපියලේ අගය පහත වැටීම මේ වන විටත් සිදුවෙමින් පවතින දෙයකි. ජී.එස්.පී සහනය අහෝසි වීම නිසා සිදුවිය හැක්කේ එම වැටීමේ සීඝ්‍රතාවය වැඩිවීම පමණි. නමුත් එම ප්‍රමාණය හිටපු අගමැතිවරයා විසින් අනුමාන කරන තරම් බරපතල නොවිය හැක. එහෙත් රජය පැත්තෙන් තත්වය පාලනය කිරීම සඳහා ගනු ලබන උපාය මාර්ගික ක්‍රියා මාර්ග මොනවාදැයි මේ වන තුරු පැහැදිලි නැත.
ජී.එස්.පී සහනය මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රාශියකට හිමි වන්නේ 1970 තරම් ඈත කාලයක සිටය. එම සහනය නිසා එනම් යුරෝපා රටවල් විසින් යම් භාණ්ඩ ආනයනය කිරීමේදී පනවනු ලබන ආනයන බදු යම් පමණකට ලිහිල් කිරීම නිසා ශ්‍රී ලංකාවේ නිපදවන ඇඟළුම්, පිඟන් භාණ්ඩ, රබර් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමුඛව භාණ්ඩ 20 කට අධික ප්‍රමාණයකට වෙළඳපල පුළුල් වී ඇත. නමුත් ඒ සැම භාණ්ඩයකම නිෂ්පාදනය ඉහළ දැමීම මගින් එම සමස්ථ වෙළඳපල වාසිය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී නැත. එම සහනය මගින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වලට යුරෝපයේ වෙළඳපලවල් තුළ ප්‍රමාණාත්මක තරඟකාරී වාසියක් ලැබුනද එම භාණ්ඩ වලට සාපේක්ෂව ඉහළ මිලක් ලැබෙන්නේ නැත. ඒ නිසා එම සහනය මගින් යුරෝපයේ වැසියන්ට අඩු මිලට එම භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව ලැබේ. එම ක්‍රියාවලිය තුළ පාර්ශව දෙකටම වෙළඳපල වාසියක් ලැබේ.
ජී.එස්.පී ලීවරය
නමුත් එසේ ලබා දෙන සාපේක්ෂව සුලු ප්‍රමාණයක් වන වෙළඳපල වාසිය යුරෝපා රටවල් විසින් ශ්‍රී ලංකාව මට්ටු කිරීම සඳහා කෙවිටක් හෙවත් ලීවරයක් ලෙස භාවිතා කරන බව දැන් පැහැදිලිව දැක ගත හැක. මීට පෙර ජී.එස්.පී යනුවෙන් හැදින්වූ සාමාන්‍ය සහන හෙවත් බදු යම් ප්‍රමාණයකට අඩු කිරීමේ සහනය 2010 දී අත්හිටවනු ලැබීය. එදා එම සාමාන්‍ය සහනය අහෝසි කරනු ලැබුවේ යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය අධ්‍යයනය කිරීම සඳහා 2008 දී පත් කරන ලද කමිටුවේ වාර්තාව 2009 දී නිකුත් වීමෙන් පසුවය. එහිදී මුලික වශයෙන් සිවිල් සහ ප්‍රජාතාන්ත්‍රවාදී අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය, වද හිංසා පැමිණවීමට එරෙහි ප්‍රඥප්තිය සහ ළමා අයිතිවාසාකම් පිළිබඳ ප්‍රඥප්තිය ආදී මානව හිමිකම් වලට අදාල මූලික ප්‍රඥප්ති ත්‍රිත්වයකට අදාලව ශ්‍රී ලංකා රජයේ ක්‍රියාකාරීත්වය විමසා බලනු ලැබූ බව සඳහන් විය. එසේ වුවත් 2009 දී ළමා සොල්දාදුවන් නිදහස් කරගත් සහ ලක්ෂ තුනක සිවිල් ජනතාව වද හිංසා වලින් මුදා ගත් ශ්‍රී ලංකා රජයට 2010දී ජී.එස්.පී සහනය අහෝසි කරනු ලැබීය.
ඒ අනුව යුද්දය පැවති කාලයේ තිබූ තත්වය හුවා දක්වා යුද්දය අවසන් කිරීමෙන් පසුව එනම් තත්වය යහපත් අතට හැරවීමෙන් පසුව එම දඩුවම ලබා දුන් බව සැඟවිය නොහැක. එදා 2010 දී ජී.එස්.පී සාමාන්‍යය සහනය අහෝසි කරනු ලැබුවේ මාස 6 කට පසුව ක්‍රියාත්මක වන ලෙසය. යුරෝපා සංගමය විසින් ඊට හේතු දක්වමින් සඳහන් කරනු ලැබුවේ වැරදි නිවරදි කිරීම සඳහා අවස්ථාව ලබා දීම සඳහා එසේ කාලය ලබා දෙන බවය. ඒ අනුව එම සහනය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන කටයුතු වලට අත දැමීම සඳහා ලිවරයක් ලෙස භාවිතා කෙරෙන බව පැහැදිලිවේ. කෙසේ වෙතත් ඒ වන විට මානව හිමිකම් සමුළුව හරහා ශ්‍රී ලංකාව මත පැටවූ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එකඟ නොවීය. ඒ අනුව එම සහනය අහෝසි කෙරුණු අතර 2008 ගෝලීය ආර්ථික අවපාතය නිසා ඇතිවූ තත්වය මෙන්ම යුද්දයෙන් පසුව මුහුණ දීමට සිදු වූ නව අභියෝග වලටද මුහුණ දෙමින් එම ආපදාව දරා ගැනීමට ශ්‍රී ලංකාවේ රජයට හැකි විය.
ජී.එස්.පී “ප්ලස්” විශේෂණ පදය සහ අමතර කොන්දේසි
ඉන් පසුව 2015 දී නව රජයක් බලයට පත් වීමෙන් පසුව මානව හිමිකම් සමුළුවේ 30/1 යෝජනාවට එකඟ වීම සහ ඊට අනුව ත්‍රස්තවදෙය වැලැක්වීමේ පනත් අහෝසි කිරීම ආදී කොන්දේසි වලට එකඟ වීම නිසා 2017 ජූනි මාසයේ ජී.එස්.පී සහනය නැවත ශ්‍රී ලංකාවේ රජයට හිමි විය. ඒ අනුව එම සහනය ජාත්‍යන්තර දේශපාලන කෙවිටක් හෝ ලිවරයක් ලෙස භාවිතා කෙරෙන බව තව දුරටත් තහවුරු විය. කෙසේ වෙතත් එසේ ජී.එස්.පී සහනය නැවත ලබා දීමේ දී ‘‘ ප්ලස්‘‘ යන විශේෂණ පදයද එකතු විය. එනම් ඉතා යටහත්ව කීකරු වීම නිසා ඉතා හොඳින් සැලකීමද සිදු විය. ‘‘ ජී.එස්.පී ප්ලස්‘‘ සහනය අනුව ආනයන බදු සම්පූර්ණයෙන්ම ඉවත්වන අතර ඊට අනුව වෙළඳපල අවස්ථා වර්ධනය වන බව සඳහන් විය. නමුත් ඒ සඳහා අමතර කොන්දේසි ප්‍රමාණයක් පනවනු ලැබීය. එසේ රටවල් 8 කට ජී.එස්.පී ප්ලස් සහනය ලැබුණු අතර ශ්‍රී ලංකාවට අදාල කොන්දේසි ප්‍රමාණය තව දුරටත් වැඩි කරනු ලැබීය.
උදාහරණයක් ලෙස මානව හිමිකම් වලට අදාල ජාත්‍යන්තර ප්‍රඥප්ති 27 කට අදාලව ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය පරීක්ෂා කිරීමට ඒ මඟින් එකඟ විය. ඊට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමේ කොන්දේසිය සුවිශේෂී ලෙස ඇතුල් කරනු ලැබීය. යුරෝපා සංගමයට අනුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ලිංගික අපයෝජනය, කෘර ලෙස සැලකීම සහ බලහත්කාරයෙන් පාපොච්චාරණය ලබා ගැනීම ආදී මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සිදුවේ. මෙවර ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහෝසි කිරීම සඳහා 11/06/2021 දින යුරෝපා පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ යෝජනාවට විවිධ චෝදනා රාශියක් ඇතුළත් කොට තිබුණි. එහිදී ඉස්ලාම් අන්තවාදී ක්‍රියාවලට වගකිව යුතු බවට නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුයට ගැනීම වැනි හුදකලා සිදුවීම් පවා ලබා සඳහන් කිරීම විශේෂ තත්වයකි. ඊට අමතරව සිවිල් කටයුතු හමුදා කරණය කිරීම, වගවීමේ ක්‍රියාවලියට එරෙහිව දේශපාලන මැදිහත්වීම් සිදු කිරීම, සමාජ ක්‍රියාකාරිකයින් මර්ධනය කිරීම සහ ව්‍යවස්ථාව මඟින් මහජනයාට ලබා දී තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩ ව්‍යවස්ථා සංශෝධනයක මඟින් සීමා කිරීම ආදී චෝදනා රාශියක් ජී.එස්.පී ප්ලස් සහනය අහෝසි කිරීමේ යෝජනාවට ඇතුලත් විය.
එසේ සම්මත වූ යෝජනාව නිෂ්චිතව ක්‍රියාත්මක කෙරන දිනය මේ වන තුරු පනවා නොමැති වුවත් මීට පෙර සිදු කළ ආකාරයට ඒ මඟින් ආණ්ඩුවේ අත ඇඹරීම සඳහා යම් කාලයක් ගැනීමට ඉඩ ඇත. එනම් ආණ්ඩුවට යටත් වීම සඳහා යම් ඉඩක් තබන බවට සැකයක් නැත. එදා 2010 දී තහනම් කළ අවස්ථාවේදී මාස 6 ක කාලයක් ලබා දුන් අතර එදා පැවති මහින්ද රාජපක්ෂ රජය ඊට යටත් නොවීම නිසා එම උපක්‍රමය වලංගු නොවීය. කෙසේ වෙතත් වර්තමාන ගෝලීය ආර්ථික අර්බුදය සහ ඒ තුළ ශ්‍රී ලංකාව සිටින අවාසි දායක තත්වය තුළ ජී.එස්.පී සහනය අහෝසි වීම මඟින් සිදු වන වෙළඳ අවාසිය යම් පමණකට බරපතල වන බව පිළිගැනීමට සිදුවේ. මේ වන විට ශ්‍රී ලංකාවේ අපනයන වලින් 22.4% ක් යුරෝපා රටවල් සමඟ සිදු කරන අතර ඒ අතුරින් ඇඟලුම් සඳහා වන කොටස 52% කි. එසේ වුවත් ඒ සමස්ථ ප්‍රමාණය යුරෝපයේ සමස්ථ වෙළඳාමෙන් 0.1% පමණ සුළු ප්‍රමාණයකි. පසුගිය වසරේ ජී.එස්.පී ප්ලස් සහනය සහිතව ශ්‍රී ලංකාව විසින් සිදු කළ අපනයන වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 කි. නමුත් ජී.එස්.පී ප්ලස් සහනය අහෝසි කිරීම මඟින් එම සමස්ථ අපනයන ආදායම අහිමි වීමක් සිදු නොවේ.
ජී.එස්.පී සහනය නොමැතිව වෙළඳපොළ අත්පත් කර ගැනීම
උදාහරණයක් ලෙස ජී.එස්.පී සහනය නිසා ශ්‍රී ලකාවට ලැබී ඇති වෙළඳ වාසිය 20% පමණ වේ. ජී.එස්.පී සහනය අහෝසි කිරීමට පෙර 2008 දී යූරෝ මිලියන 3500 ක් වූ වෙළඳාම සහනය අහෝසි කිරීමෙන් පසුව යුරෝ මිලියන 3000 ක් දක්වා පහත වැටුණද නැවත 2011 සිට යුරෝ මිලියන 3500 මට්ටමට ළඟා වීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ අනුව පෙනී යන්නේ ජී.එස්.පී සහනය නොමැතිව වෙනත් ආකාරයකට වෙළඳපොළ නැවත අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත. එනම් අපනයන විවිධත්වය යන වටිනාකම් එකතු කිරීමේ ක්‍රියාවලිය හරහා සහන නොමැතිව යම් පමණකට වෙළඳපොළ නැවත අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත. ජි.එස් පී සහනය “ප්ලස් කිරීම” මඟින් වැඩි වාසියක් අත්වන බව පැවසුවද එසේ සහන සියල්ල නැවත ලබාදීමෙන් පසුව අපනයන ආදායම වැඩි වී ඇත්තේ දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 කට අඩු ප්‍රමාණකිනි. ඒ අනුව මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 3000 ක මට්ටමේ පවතින වෙළඳාම ඇමරිකානු ඩොලර් මිලියන 2500 දක්වා පහත වැටීමේ තත්වයක් ඇති විය හැක. ඊට අමතරව ජී.එස්.පී වැඩසටහනට අනුව කුමන තත්වයක යටතේ වුවත් ඒ සියළු සහන 2023 දී අහෝසි වීමට නියමිතව තිබුණි.
එසේ නම් ජී.එස්.පී ප්ලස් සහනය අහෝසි කිරීම මඟින් ඇති වන තත්වය මූල්‍යමය වශයෙන් කළමණාකරණය කර ගැනීමට සිදු වන්නේ වසර 2 ක කාලයකට පමණි. ඒ අනුව සිදු වී ඇත්තේ ඉදිරි වසර 2 කට පසුව මුහුණ දීමට සිදු වන අභියෝගය වසර 2 කින් ඉදිරියට පැමිණීමය. එදා 2010 දී මුහුණ දුන් ආකාරයට නිසි උපාය මාර්ගික ප්‍රවේශයක් මත කටයුත කළ හොත් එම මූල්‍ය අර්බුදයට මුහුණ දීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබෙන බව ඉතා පැහැදිළිය. නමුත් එම අර්බුදයේ ගැඹුර දෙස බැලීමේදී එම අභියෝගය වෙළෙඳ පොල අර්බුද හෝ විදේශ විනිමය ගැටලුවක් බවට ලඝු කිරීම කිසිසේත්ම ප්‍රඥාගෝචර නොවේ. එනම් මුල්‍යයය අර්බුදය ඇති කිරීම මඟින් නිර්මාණය කිරීමට නියමිත දේශපාලන අර්බුදයේ ගැඹුර වටහා ගැනීමත් ඉතා වැදගත් වේ. උදාහරණයක් ලෙස ජී.එස්.පී සහනය අහෝසි වීම නිසා ඇති වන වෙළඳ හිඟයට හෝ ගෙවුම් ශේෂ හිඟයට වඩා එම සහනය අහෝසි කිරීම නම් වූ ලිවරය මඟින් නිර්මාණය කිරීමට නියමිත දේශපාලන අර්බුදය ගැඹුරින් වටහා ගනීම ඉතා වැදගත් වේ.
යුරෝපා සංගමය විසින් මේ ආකාරයට ජී.එස්.පී සහනය අහෝසි කිරීමට තීරණය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉලක්ක සහගත සම්බාධක පනවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වරිය විසින් පසුගිය මාර්තු මාසයේදී කරනු ලැබූ ඉල්ලීම අනුව බව ඉතා පැහැදිළිය. ඒ අනුව විවිධ රටවල් ඒක පාර්ශවීයව ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ වෙළඳ සහ ආර්ථික සම්බාධක පැනවීමේ හැකියාව ඇත. ශ්‍රී ලංකාවට මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාව ප්‍රතික්ෂේප කරන අතර යුරෝපා සංගමයේ යෝජනාවට පක්ෂ වීමේ හැකියාවක් නැත. එම ක්‍රියාවලි දෙකම එකම දේශපාලන වුවමනාවක් සමඟ ගැටගැසී ඇත. එනම් ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග වල වුවමනාව මත මානව හිමිකම් යොදා ගනිමින් බෙදුම්වාදී මාර්ග සිතියමට අනුව ඉදිරියට ගමන් කිරීම සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය දුර්වල කිරීම යන ද්විත්ව ක්‍රියාවලිය ඉදිරියට තල්ලු කරනු ලබන්නේ ජී.එස්.පී සහන අහෝසි කිරීම වැනි ආර්ථික ලිවරයන් මඟින් බව ඉතා පැහැදිළිව යටහා ගත හැක.
අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ද්විත්ව උපාය මාර්ගික ප්‍රවේශය
ඒ අනුව යටත් වීම යනු කිසිසේත්ම මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වන විසඳුමක් නොවන බව ඉතා පැහැදළිය. එසේ නම් කළ යුත්තේ කුමක්ද? ඒ සඳහා ද්විත්ව උපාය මාර්ගික ප්‍රවේශයක් අවශ්‍ය වන බව ඉතා පැහැදිළිය. පළමු වැන්න ගොඩ නැගෙමින් පවතින ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා නිසි උපාය මාර්ගික ප්‍රවේශයකට අවතීර්ණ වීමය. දෙවැන්න මාවන හිමිකම් කෙවිට යොදා ගනිමින් කරනු ලබන කේවල් කිරීමට මුහුණ දීමය. පළමු අභියෝගයට මුහුණ දීම සඳහා නිෂ්චිත කාල රාමුවක් තුළ විදේශ විනිමය ආදායම් ඉහළ දැමීම සහ වියදම් අඩු කිරීම යන සරල ප්‍රවේශය හැර අන් මගක් නැත. එක් පැත්තකින් අත්‍යව්‍ය නොවන ආහාර ආනයන සීමා කිරීම මඟින් පමණක් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ඉතිරි කර ගැනීමට හැකියාව තිබෙන බව මහ බැංකු දත්ත පරික්ෂා කිරීමේදී පෙනී යයි. ඒ අනුව ජනතාව සමඟ සංවාදයක් මඟින් යටත් වීමද පටි තද කිරීමද යන ප්‍රශ්ණය විසඳා ගැනීමට සිදු වේ. එසේ වුවත් වඩා කණගාටුදායක තත්වය වන්නේ පසුගිය වසරේ යුරෝපයෙන් ලැබණු අපනයන ආදායම වන දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3000 ක ප්‍රමාණය එක් කර්මාන්තයක් සඳහා ඩොලර් මිලියන සියයක් ආයෝජනය කිරීම මඟින් පමණක් උපයා ගැනීමට හැකි වීමය.
උදාහරණයක් ලෙස ලෝකයේ හොඳම මිනිරන් තිබෙන අප රටේ ඩොලර් මිලියන 100 ක ආයෝජනයක් මඟින් පළමු වසරේදීම ඇමරිකානු ඩොලර් මිලියන 500 ක විදේශ විනිමය ඉපයිය හැකි බවට සහ වසර 3 කදී එම ප්‍රමාණය වසරකට ඩොලර් මිලියන 3000 ක් දක්වා වැඩි කළ හැකි බවට දේශීය ආයෝජකයින් විසින් පැහැදිළි සාක්ෂි සහිතව යෝජනා ඉදිරිපත් කොට ඇත. නමුත් රජයට උපදෙස් දෙන වසර 30 කට අධික කාලයක් ඒවා දෙස නොබැලූ ඊනියා උපදේශකයින්ට අනුව ඒ කිසිවක් කළ නොහැක. ඔවුනට අනුව කළ යුත්තේ තව දුරටත් ණය ගැනීම සහ එළුවාගේ වෘෂණ කෝෂ දෙස බලා සිටින නරියා මෙන් විදේශ ආයෝජන දෙස බලා සිටීමය. ඊට අමතරව මානව හිමිකම් ලිවරය යොදා ගනිමින් සිදු කරන ජාත්‍යන්තර දේශපාලන මෙහෙයුම පරාජය කිරීම සඳහා විදේශ අමාත්‍යංශයේ පාත් ෆයින්ඩර් කාරයින්ට පාර සොයා ගැනීමේ හැකියාවක් නැති බව දැන් හොඳින් ඔප්පු වී ඇත. ඒ නිසා දැන් කළ යුත්තේ යුරෝපා සංගමයේ ප්‍රහාරය ආශිර්වාදයක් කර ගනිමින් මෙතෙක් පැමිණි ගමන දෙස ආපසු හැරී බැලීම සහ නිර්භයව ගමන හැරවීම සඳහා පියවර ගැනීමය. නමුත් එවැන්නක් සඳහා ආණ්ඩුවට උපදෙස් දෙන ආර්ථික සහ දේශපාලන ඝාතකයින් ඉඩ ලබා දෙනු ඇත්ද යන්න සැක සහිතය.
වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...