අපේ වැනි රටවල පැවති කෘෂි කර්මය තුළ මිනිස් ශ්‍රමය වැඩියෙන් යොදා ගැනුණු අතර, සරල යන්ත්‍ර සහිත තාක්ෂණයක්ද භාවිත කෙරිණ. එබැවින් අපේ රටවල පැවතියේ යාන්ත්‍රික නොවූ , එමෙන්ම පැවති සමකාලීන සමාජ – ආර්ථික කොන්දේසි හා සමගාමී වූ ශ්‍රම සූක්ෂ්ම කෘෂි කර්මයකි.
බටහිර කෘෂි විශේෂඥයෝ මෙම ක්‍රම හෙළා දකිමින් මේවා අකාර්යක්ෂම, යල්පැන ගිය ක්‍රම බවත් මහා පරිමාණ කෘෂි කර්මාන්තයකට මෙම ක්‍රම නොගැලපෙන බවත් පැවසූහ. ‘අස්වැන්න වැඩි කිරීම’ පෙරට ගනිමින් ඔවුන් යෝජනා කළේ යාන්ත්‍රික ක්‍රම වැඩියෙන් භාවිත කරන ප්‍රාග්ධන සූක්ෂ්ම කෘෂි කර්මාන්තයකි. මිනිස් ශ්‍රමය ඉතා අඩුවෙන් අවශ්‍ය කරන්නා වූ මෙම නූතන යන්ත්‍ර සූත්‍ර ඉතා කාර්යක්ෂම බවත්, කෘෂි කර්මාන්තයේ වැඩි ඵලදායීබවක් මේ හරහා ගොඩනැඟෙනු ඇති බවත් පැවසුණි. මේ අනුව කෘෂි උපකරණ නවීකරණය කළ යුතු වීම ඔවුන්ට අනුව අත්‍යවශ්‍ය කාර්යයක් විණි. සැබැවින්ම ගතහොත් එතෙක් පැවති සාම්ප්‍රදායික කෘෂිකර්මය තුළ කෘෂි යන්ත්‍රෝපකරණ වෙළෙඳපොළකට ඉඩක් නොවීය. එහෙත් මෙම නව කෘෂිකර්මාන්තයේ එක් කොටසක් වූයේ කෘෂි යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කරන බහුජාතික සමාගම් සඳහා වෙළෙඳ පොළක් ද නිර්මාණය කිරීමයි.
මුල් කාලයේ ඇතැම් ආධාර ආයතන මගින් කෘෂි කර්මය නවීකරණය කිරීම සඳහා යන්ත්‍ර සූත්‍ර නොමිලේ සපයන ලදී. ට්‍රැක්ටර් භාවිතය මෙරට ගොවිබිම් වෙතට පැමිණෙන්නේ මෙසේ කෘෂිකර්මාන්තය නවීකරණය යටතේය. මෑතක් වන තුරුම යන්ත්‍ර මගින් සී සෑම අත්‍යවශ්‍ය ඉතා ඵලදායී හා කාර්යක්ෂම නූතන කෘෂිකාර්මික අංගයක් වශයෙන් පිළිගැනීමට ලක් වුණි. නමුත් පර්යේෂණවලින් හෙළිවන තොරතුරු අනුව එම තත්ත්වය වෙනස් වෙමින් තිබේ.
ජර්මනියේ කීල් සරසවියේ රේනර් හෝන් පවසන්නේ යන්ත්‍ර මගින් සීසෑම නිසා වගා බිමක අස්වැන්න 80% අගයක් දක්වා පහත වැටෙන බවයි. පසෙහි ඇති කුඩා ජල මාර්ග පද්ධති බිඳ වැටීම, ශාක පෝෂණය කෙරෙහි ඉතා ඍජු බලපෑම් ඇති කරන සතුන් විනාශ වී යාම ආදිය මේ තත්ත්වයට හේතු වේ. මේ ආකාරයට යුරෝපයේ පමණක් වගා භූමි හෙක්ටයාර් මිලියන 30ක් පමණ ගුණාත්මකව පහළ අගයක් ඇති භූමි බවට දැනටමත් පත්ව තිබෙන බව හෝන් ඇතුළු පිරිස කළ පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබේ.
මෙරට ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ විශේෂඥයකු හා වියළි කලාපයේ සමාජ – ආර්ථික පර්යේෂණවල දීර්ඝ කාලයක් නිරත වූ පර්යේෂකයකු මෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයකු ද වූ, එසේම ‘නියඟය සහ ගොවියා’ නමැති පර්යේෂණ ග්‍රන්ථයේ කතුවරයා වන ආචාර්ය එම්.යූ.ඒ.තෙන්නකෝන් මහතා සමග මෙම ලියුම්කරු කලකට ඉහත පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු දැක්වූ අදහසක් මෙතැනදී සඳහන් කිරීම වැදගත් වේ. ආචාර්ය තෙන්නකෝන් මෙසේ පවසයි. “අපට වැරදුණේ අපි මේ කෘෂිකර්මාන්තය කියන එක කරල. මේක කර්මාන්තයක් නෙවෙයි, කෘෂි සංස්කෘතියක්. ඒක ඉංග්‍රීසියෙන් හරි, Agri + Culture (කෘෂි සංස්කෘතිය). අපි ඒක සිංහලට ගන්නකොට Agri + industry වෙලා. ඒක බහුබූතයක්. 1998 මමත් සහභාගි වුණු එක්තරා සාකච්ඡාවකට මෙහෙ හිටපු ඇමරිකන් විශේෂඥයකුත් සහභාගි වුණා. ඔහු එතැනදි කියනවා, කුඹුරෙන් අවසාන මී හරකාත් පැන්නුවොත් තමයි මේ රටේ කෘෂිකර්මාන්තය දියුණු වෙන්නේ කියලා. මම කෙළින්ම කිවුවා එතකොට, සමහර මීහරක් දන්නේ නැහැ, මීහරකා අපේ සංස්කෘතියෙම අංගයක් බව කියලා.”
මෙරට කෘෂිකර්මාන්තයේ මී ගවයින් යොදාගෙන සී සෑමේදී යොදාගත් සාම්ප්‍රදායික නගුල් මගින් මතුපිට පස පමණක් උඩට ආ අතර එය සාරවත් පස වූ බැවින් අමුතුවෙන් කෘත්‍රිම පොහොර යෙදීමට අවශ්‍යතාවක් නොවීය. නමුත් ට්‍රැක්ටර් යොදාගෙන සී සෑමේදී වඩා ගැඹුරු පස ඉහළට ආ අතර, එම පස සාරවත් පසක් නොවූ බැවින් එහි වගා කිරීම සඳහා පිටතින් පොහොර යෙදීම අනිවාර්ය අවශ්‍යතාවක් විණි. නවීන තාක්ෂණය ද නැවත රසායනික පොහොර උගුල වෙත ගොවියා ගැට ගැසීමට සැලසුම් කර ඇත්තේ එලෙසිනි.
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ගොවිතැන ගැන හදාළ The Ecologist සඟරාවේ කර්තෘ එඩ්වඩ් ගෝල්ඩ්ස්මිත් කියන්නේ නවීකරණය යටතේ සිංහල මිනිසුන්ට අලුතින් ලබා ගැනීමට ඇති එකම දෙය වීල්බැරෝව පමණක් බව කියන උපාලි සේනානායකගේ අදහස නිවැරදි බවයි. (සූරිය ගුණසේකර – ‘සංවර්ධන ඇදහිල්ල’)
ගෙවුණු දශක කිහිපය තිස්සේ නව කෘෂි උපකරණ ආනයනය වෙනුවෙන් රටක් ලෙස වැය කළ මුදලින් තර වූයේ බහුජාතික සමාගම්වල ධනයයි.
මේ ‘නවීන කෘෂි තාක්ෂණය’ නමැති උගුල තුළ අප රටක් ලෙස සිරකර ඇති ආකාරයයි.
රටක කෘෂි කර්මයේ ප්‍රධාන අරමුණ විය යුත්තේ තම රටේ ජනතාවගේ ආහාර අවශ්‍යතාව පළමුව සපුරාලීමය. ඓතිහාසික වශයෙන්ම රටේ ආර්ථික – නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඉතා වැඩි බරක් කෘෂිකර්මය, විශේෂයෙන්ම වී ගොවිතැන විසින් දරනු ලැබූ ශ්‍රී ලංකාව වැනි රටක නිරතුරුව මෙම අරමුණ වෙත ඉලක්කගතව කෘෂිකර්මය සිදු කිරීමේ වැදගත්කම අමුතුවෙන් සඳහන් නොකළ යුතු තරම්ය.
“ශ්‍රී ලංකාවේ අපට (අපේ පැරැන්නන්ට) වී ගොවිතැන යනු සිය ජීවිතයයි. අපේ ජීවන පුරුදු, සිරිත් විරිත්, භාෂාව, කලාව, ක්‍රීඩාව ආදී සමාජයීය ජීවිතයේ සෑම අනුෂාංගයක්ම වී ගොවිතැන කේන්ද්‍ර කොටගත් ඒවා වේ. එහෙත් නව ආර්ථික රටාවකට අනුව නව නිෂ්පාදන සම්බන්ධකම් හඳුනාගැනීමත් සමග ශ්‍රී ලාංකිකයා මේ සියලු සංස්කෘතික සම්බන්ධකම්වලින් විනිර්මුක්ත කෙරිණි. තවදුරටත් වී ගොවිතැන යනු අපේ ජීවිතය නොවේ.” (සටහන, ශ්‍රී ලංකා මහ බැංකුව – 1999 මාර්තු)
අපේ රටේ කෘෂිකර්මයේ ප්‍රධාන අරමුණ නොසලකා හැරීම ආරම්භ වූයේ මෙරට කෘෂිකර්මය අපනයනය අරමුණු කොටගත්, එමෙන්ම වෙළෙඳපොළ වුවමනාවන් පමණක් අරමුණු කොටගත් එකක් විය යුතු බවට ලෝක බැංකුව නිර්දේශ කිරීමත් සමගය. අපේ රටේ කෘෂිකර්මයේ විනාශය ආරම්භ වූයේ මෙරටේ ආර්ථිකය ස්වයංපෝෂිත නොවී, ‘අපනයනය’ අරමුණු කොටගත්තක් විය යුතුය යන දර්ශනයෙනි. කෘෂිකර්මය අපනයනය කරා යොමු කිරීම තුළින් ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම හා සාගින්න තුරන් කිරීමට වඩා කෘෂිකර්මය වාණිජකරණයට යොමු කිරීම අපේක්ෂා කෙරිණි.
ආචාර්ය වන්දනා ශිවා සඳහන් කරන ආකාරයට, “ආපසු හැරී බලනවිට මට කල්පනා වන්නේ හරිත විප්ලවයේ සැබෑ අරමුණ කෘෂිකර්මය ලෝකගත කිරීම බවයි. ලෝකයේ අප ජීවත්වන ප්‍රදේශවල ආර්ථික කටයුතු වැඩි ප්‍රමාණයක් කළේ ප්‍රජාවන් විසිනි. ගොවියෝ එකට එක්ව ආහාර නිෂ්පාදනය කළහ. වෙනත් අය වෙනත් වැඩ කළහ. නමුත් දැන් සිදු වී තිබෙන්නේ අර ගොවීන් විසින් කළ කටයුතු, කාර්යභාර ගොවීන්ගෙන් ඉවත්කිරීමට සැලසුම් කිරීමයි. එය කරන්නේ මධ්‍යගත ක්‍රමයක් මගිනි. එසේ කරන්නේ ඇයි? ඒවා ලෝකගත කෙරුණු ක්‍රමයක් තුළට ගෙනැවිත් ක්ෂණිකව පුද්ගලගත කිරීම සඳහාය. මධ්‍යගත කිරීම මගින් මිස එය කළ හැකි අන් ක්‍රමයක් නැත. ප්‍රජා මට්ටමේ සිට එක එල්ලේම පුද්ගලගත කරන්නට පියවර ගතහොත් සමාගම්වලට ගොවි ජනතාව ග්‍රහණය කරගත නොහැකි වේ. ඒ නිසා එය සිදු කරන්නේ රාජ්‍ය පාලනයට යටත් ක්‍රමයක් තුළ මධ්‍යගත පාලනයක් වෙත යාමෙනි. ඒ අනුව හරිත විප්ලවය රිංගවා තිබෙන්නේ කෘෂිකර්මය ලෝකගතකරණ වැඩසටහනේ අනිවාර්ය පියවරක් හැටියටය.”
ලෝක බැංකුව ප්‍රමුඛ අන්තර්ජාතික මූල්‍ය ආයතන අපේ රටේ කෘෂිකර්මය සම්බන්ධව උපදෙස් – නිර්දේශ ලබා දී ඇත්තේ සහ ලබා දෙන්නේ මෙම සැලසුම මත පදනම් වෙමින් බව පැහැදිලිය.
අපනයනය පිණිස කෘෂිකාර්මික නිෂ්පාදන කළ යුත්තේ රටේ ආහාර අවශ්‍යතාව සපුරාලීම නමැති ප්‍රධාන කාරණය ජයග්‍රහණය කිරීමෙන් පසුවය. සහ එම කෘෂිකාර්මික ජයග්‍රහණය අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත් තත්ත්වයකට රටේ කෘෂි නිෂ්පාදන ක්ෂේත්‍රය ගොඩනඟාගැනීමෙන් පසුවය. නමුත් ලෝක බැංකුවට අවශ්‍ය වන්නේ රටේ කෘෂි නිෂ්පාදන අතින් ස්වයංපෝෂී ආර්ථිකයක් නොව, සුලු පරිමාණ ගොවීන් කෘෂිකර්මාන්තයෙන් එළවා දමා, දැවැන්ත බහුජාතික සමාගම්වලට මෙරට භූමිය අක්කර දහස් ගණනින් පවරා දී අපනයනය ඉලක්ක කොටගත් මහා පරිමාණ කෘෂි කර්මාන්තයක් පවත්වාගෙන යාමටය. 1977න් පසු මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උපායමාර්ගික ප්‍රතිසංස්කරණ සිදුකර තිබෙනුයේ මේ සැලසුම් තුළය.
මේ සඳහා අවැසි මොළ සකස් කිරීම සඳහා ක්ෂේත්‍රයේ විද්වතුන් විවිධ ආකාරයෙන් දායක වී තිබේ. පාසල් අධ්‍යාපනය තුළ පවා මෙරට සාම්ප්‍රදායික කෘෂිකර්මය, යැපුම් කෘෂිකර්මය ඵලදායී නොවන බවටත්, නවීන කෘෂි රසායන හා යන්ත්‍රෝපකරණ මත පදනම් වූ මහාපරිමාණ කෘෂිකර්මය වැදගත් බවටත් වන මතය 80 දශකයේ සිට මත සම්පාදනය කරන ලදී. පොහොර සහනාධාර හරහා ගොවීන් පාලනය කළ හැකි තත්ත්වයක් පවත්වාගෙන යන ලදී. කෘෂිකාර්මික විෂයට අදාළ විදේශ ශිෂ්‍යත්ව හරහා ලෝක බැංකුවට හා බහුජාතික කෘෂි සමාගම්වලට අවැසි විශේෂඥයින් කුලකයක් ගොඩනඟාගන්නා ලදී. මෙරට කෘෂිකර්මය හා සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදන හා ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයේ තීරණාත්මක අංශ තුළ මෙම කුලකයේ සාමාජිකයින් ස්ථානගත කළ විට ක්‍රියාවලිය බාධා විරහිතව පවත්වාගෙන යාමට හැකි වේ.
අප මෙතෙක් සාකච්ඡා කළ උගුල් අතරින් පළමු උගුල් හතර හඳුන්වාදෙමින් ඒවා වරින්වර යාවත්කාලීන කරමින් ඒවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අවැසි භූමිය සකස් කිරීම සිදුවන්නේ මෙම කෘෂි උපදෙස් – නිර්දේශ උගුල මගිනි.
පෙනුමෙන් එය අනෙක් උගුල් තරම් භයානක නැතැයි පෙනුනද, වඩාත් බිහිසුණු වන්නේද, මේ උගුලේ න්‍යෂ්ටික කාර්යභාරය ඉටු කරන්නේද මෙම කෘෂි උපදෙස් – නිර්දේශ සම්බන්ධ උගුල යි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...