ඛනිජ තෙල් මිළ ඉහළ යාම සම්බන්ධයෙන් සමාජය පුරා විශාල ඝෝෂාවක් මේ දිනවල දකින්නට පුළුවන. එම ඝෝෂාව සමගි ජන බලවේගය ප්රමුඛව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජ ජාලා ක්‍රියාකාරින් සහ විවිධ උද්ඝෝෂකයන් විසින් දියත් කර ඇති බවක් දක්නට ලැබේ. එම උද්ඝෝෂකයන්ට නිවැරැදිව නිෂ්චිතව පිළිතුරු දෙනවා වෙනුවට ආණ්ඩුව පැත්තෙන් සිදු වන්නේ විපක්ෂය පරයා සිදු කරණ බෙරිහන් දීමක් යන්න අපගේ හැඟීමයි.
තෙල් මිළ වැඩි කිරීමේ තීරණය මුදල් ඇමතිවරයා හෝ රාජ්‍යය නිලධාරින් විසින් දැනුම් දෙන සම්ප්රදාය පසෙක තිබියදී වත්මන් ඛනිජ තෙල් අමාත්‍යය උදය ගම්මන්පිල මහතා විසින්ම ප්‍රකාශයට පත් කිරීමට යාමෙන් අවසානයේදී ඛනිජ තෙල් මිළ වැඩි කිරීම උදය ගම්මන්පිල ඇමතිවරයාගේ කැමැත්ත මත සිදුවූවක්ම බවට පත්ව තිබේ. එක පැත්තකින් උදය ගම්මන්පිල මහතා ඇතුලු මහින්ද සුළඟේ නිර්මාතෘවරුන් මෙන්ම ඉදිරිගාමී ක්රියාධරයන්ට සිදු වී ඇත්තේ” හිත හොඳ ගෑනි හැමදාම බඩින්” වැනි සිදුවිමක් දැයි සැක සිතෙන තරමටම පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ ඇමති මන්ත්‍රී උදවිය ප්‍රහාර එල්ල කරණ විලාසය අධ්‍යයනය කිරීමෙන් කෙනෙකුට සැක සිතිය හැකිය.
කරුණු මෙසේ තිබියදී සුභ සාධක රාජ්‍යයක් වූ අපේ රට කාලයක් තිස්සේ පවත්වා ගෙන එන සුභ සාධන ක්‍රියාවලිය ගෙන යාමට අවශ්‍යයවන නිෂ්පාදන ක්‍රියාවලියක් පවත්වාගෙන නොයන බව අවිවාදිතය. ඒ අනුව අනේක විධ බදු මතම රටේ ආර්ථිකය ගැට ගැසෙන බව නම් ආර්ථික විද්‍යාව ක්‍රමවත්ව හදාරා නැති අයෙකුට පවා පෙනී යන කරුණකි.
ඛනිජ තෙල් නීති ගත සංස්ථාව පිහිට වූ මුල් අවධියේ සිට පවත්වා ගෙන ආ ඒකාධිකාරිය තුළ ලෝක වෙළෙඳ පොලේ තෙල් මිළ උච්ඡාවචනය වුවද ඛනිජ තෙල් සංස්ථාව ආදායම් උපදවන වෙනත් ක්‍රම හරහා මහජනයාට අඩු මිළට ස්ථාවරව ඛනිජ තෙල් ලබා දීමේ හැකියාව තිබුණි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන තත්වයට පත් කරලීමට ජේ ආර් ජයවර්ධන මහතාගේ ධර්මිශ්ඨ පාලනයත් ආර් ප්‍රේමදාස මහතාගේ පාලනයත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙන්ම රනිල් වික්‍රමසිංහ පාලනයත් අපූරු දායකත්වයක් දැක්වූ බව සමගි ජන බලවේගයට අමතක වූවාට ජවිපෙ වත්මන් නායක කාරකාදීන් අමතක කළාට මතක තිබෙන්නෝ බොහෝ දෙනෙක් වෙසෙති.
පසුගිය යහපාලන ආණ්ඩුව කාලය තුළ තෙල් මිළ වැඩි කරණ ආකාරය කුමක්දැයි ඇසූ කළ මංගල සමරවීර එවකට හිටපු අමාත්‍යයවරය අපූරු උත්තරයක් දෙමින් ” මිළ සූත්‍රයට අනුව” බව පවසා සිටියේය. මිළ සූත්‍රය කුමක් දැයි ඇසූ කළ ” MRP = V1 + V2 + V3 + V4 ලෙස ” පුවරුවක ලියා ප්‍රදර්ශනය කළේය. මෙහි MRP යනු උපරිම සිල්ලර මිළ වන අතර V1 යනු ගොඩ බාන අවස්ථාවේ අදාළ ඛනිජ තෙල් ලීටරයක මිළ ද ,V2 යනු මෙහෙයුම් වියදම් ද, V3 යනු පරිපාලන වියදම්ද සහ V4 යනු අයකරණ බදුද ගවේෂණය කරමින් සොයා ගන්නට ජනතාවට සිදු විය.
මෙම සූත්‍රය හඳුන්වා දීමෙන් පසුව පැවැති මාධ්‍යය සාකච්ඡාවකදී සෑම මසකම 10 වෙනිදාට ඕනෑම පුරවැසියෙකුට තෙල් මිළ අඩුවනවාද නැද්ද යන්න ගණනය කළ හැකි බව මංගල සමරවීර එවකට අමාත්‍යයවරයා පැවසුවේ යැයි බීබීසී මාධ්‍යය සේවයේ අසාම් අමීන් මහතා සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් 2018 ඔක්තෝබර් 18 වනදා පවසා සිටියේය. අසාම් අමීන් වැඩිදුරටත් පවසා සිටියේ එම දිනට එවකට යහපාලන ආණ්ඩුව පෙට්‍රල් ලීටරයකට රුපියල් 53.68ක් සහ ඩීසල් ලීටරයකට රුපියල් 25.48ක් බදු ලෙස අයකරගෙන ඇති බවයි.
කෙසේ වුවද උදය ගම්මන්පිල මහතා ඛනිජ තෙල් අමාත්‍යයවරයාව පත්වූ විගසම මෙම මංගලගේ මිළ සූත්‍රය අත් හැර දැමූ බව සියල්ලෝම දන්නා කරුණකි.
මංගල සමරවීර හිටපු අමාත්‍යයවරයාගේ මිළ සූත්‍රයට අනුව තෙල් මිළ වැඩි කළේ නම් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් සඳහා V1 රුපියල් 97.70 ක් වන අතර V2 රුපියල් 10.88ක් ද V3 ශත 45ක් ද V4 රුපියල් 49.87ක් ද වේ. මීට අමතරව V5 හෙවත් වෙනත් වියදම් ලෙස එකතුවන ගණන රුපියල් 4.16 කි. ඒ අනුව මංගලගේ මිළ සූත්‍රයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක විකුනුම් මිළ රුපියල් 163.06 ක් විය යුතු වන්නේය. එහෙත් වර්තමාන ආණ්ඩුව වැඩි කළද උදය ගම්මන්පිල ඇමතිවරයා තනි හිතුමතයට වැඩි කළේ යැයි පවසන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 157 කි. ඒ අනුව උදය ගම්මන්පිල ඇමතිවරයා, යහපාලනය සිටියා නම් ලබා දෙන ඔක්ටේන් 92 තෙල් ලීටරයක මිළට වඩා රුපියල් 6.06ක් අඩුවෙන් ලබාදේ.
එලෙසම අසාම් අමීන් පවසන ලෙස මංගල සමරවීර මහතා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 53.68ක් බදු ලෙස අයකරණ විට උදය ගම්මන්පිල අයකර ඇත්තේ රුපියල් 49.86කි. මෙලෙසම මංගල සමරවීර අමාත්‍යයවරයාගේ මිළ සූත්‍රයට අනුව ඔක්ටේන් 95 විකිණිය යුත්තේ රුපියල් 184.78 කටය. එහෙත් ගම්මන්පිල අමාත්‍යයවරයා විකුණන්නේ රුපියල් 184.00කටය.
ඩීසල් ලීටරයක් මංගල සමරවීර අමාත්‍යයවරයාගේ මිළ සූත්‍රයට අනුව රුපියල් 121.75 ක් විය යුතුය. එහෙත් උදය ගම්මන්පිල අමාත්‍යයවරයාගේ විකුණුම් මිළ රුපියල් 111.00කි. ලංකා සුපර් ඩීසල් ලීටරයක් මංගල සමරවීර අමාත්‍යයවරයාගේ මිළ සූත්‍රයට අනුව රුපියල් 144.68ක් වන විට ගම්මන්පිල අමාත්‍යයවරයා රුපියල් 144.00කට විකුණයි.
අසාම් අමීන්ගේ 2018 ඔක්තෝබර් 18 ෆේස් බුක් සටහනට අනුව මංගල සමරවීර ඩීසල් ලීටරයකින් රුපියල් 25.48ක් බදු ලෙස අය කර ගන්නා විට උදය ගම්මන්පිල අයකරගෙන ඇත්තේ රුපියල් 15.32ක් පමණි.
මෙහි ඇති වැදගත්ම කාරණය වන්නේ මංගල සමරවීර අමාත්‍යයවරයා සියළු මිළ ගණන් තීරණය කරන්නේ ඩොලරයක වටිනාකම 2018 ඔක්තෝබර් 10 වෙනිදා රුපියල් 171.16 වැනි අගයක තිබීමත් උදය ගම්මන්පිල අමාත්‍යයවරයා ඛනිජ තෙල් මිළ තීරණය කරන්නේ ඩොලරයක මිළ රුපියල් 202.09 ක් වැනි අගයක තිබෙන විට වීමත්ය. අ
ප මෙම සටහන තබන්නේ මේ වන විට තෙල් මිළ වැඩි කිරීම ගම්මන්පිල අමාත්‍යයවරයාගේ හුදු තීරණයක් යැයි හැඟෙවෙන ලෙස සජබය සහ ජවිපෙය හැසිරෙන අවධියක වීමත් මංගල සමරවීර ඉදිරිපත් කළ මිළ සූත්‍රයේ වගකීම එවකට යහපාලන ආණ්ඩුව භාර ගැනීමත් යන සංදර්භයේ සිට බවද අවධාරණය කළ යුතුමය.
කෙසේ වෙතත් පසුගිය සඳුදා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරමින් බදු අඩු කිරීම හරහා තෙල් මිල අඩු කිරීම සඳහා යොමු කළ යෝජනාව සහ අදාළ සංදේශය වාර්තාගත නොකරම ඉවත් කිරීමටද තීරණය කර තිබූ බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ තහවුරු විය.
ඒ අනුව ඛනිජ තෙල් ඇමතිවරයා ලෙස ඉදිරිපත් කරණ යෝජනා කුණු කූඩයට දමමින් පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුව සහෝදර පක්ෂ අමාරුවේ දමන අදිසි හස්තය කාගේද කියා සොයා බැලීම ඉතා වැදගත්ය. සාහිත්‍යය සූරි ගුණදාස අමරසේකර මහතා පසුගියදා පෙන්වා දුන් 70-77 සමගි පෙරමුණු ආණ්ඩුවේ සිටි ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ අවතාරය කවුදැයි ජනතාවත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂත් හොඳින් හඳුනා ගත යුතුය.
ජීවන්ත ජයතිස්ස
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...