පුරවැසි කොලම

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතන බවට පුවත හදිසියේම ඇස ගැටුනේ 25 වන සිකුරාදා දහවලේය.

රටක රාජ්‍ය නායකයා ජාතිය ඇමතීම යනු එෆ්.එම්. නාලිකාවක නිවේදකයකු දෛනික කාල සටහනකට කට මැත දොඩවනවා බඳු අවස්ථාවක් නොවේ. එබැවින් මෙරට පුරවැසියන් සිකුරාදා රාත්‍රී 8.30 වන විට සූදානම් වී සිටියේ ‘සූරිය සිරස’ හෝ ‘අරා සහ පැස්බරා’ හෝ අසන්නට නොව, රට හමුවේ සෑම අතකින්ම උද්ගත වී තිබෙන බරපතළ තත්ත්වය හමුවේ ජනාධිපතිවරයාගේ උපාය මාර්ගික දැක්ම ප්‍රකාශයට පත්වන, එසේම පුරවැසියාට කිසියම් දිරියක් වඩවන එම සුවිශේෂ හා වැදගත් ප්‍රකාශයට සවන් දීමටය. රාජ්‍ය නායකයකු ජාතිය අමතන්නේ රටක එබඳු බරපතළ සමාජ – දේශපාලන තත්ත්වයක් පවතින අවස්ථාවකදී බව මෙරට හා ලෝක අත්දැකීම් අනුව පුරවැසියා දනී.

වේලාව- රාත්‍රී 8.30යි. අවාසනාවක මහත ! ජාතිය ඇමතීම සඳහා ජනාධිපතිවරයා ස්ථානගත කොට සිටි ආකාරය හා පසුතලය දුටු පළමු නිමේෂයේම, ජනාධිපති මාධ්‍ය විශේෂඥයින් එබඳු අවස්ථාවකට අදාළ මොන්ටිසෝරි දැනුමවත් රහිත ළදරු දෙබෑයන් දෙදෙනකු බව රට හමුවේ ප්‍රදර්ශනය කර සිටියේය.

ජනාධිපතිවරයා ස්ථානගත කොට තිබූ අවකාශය දකිද්දී, ඒ සිඟිති මාධ්‍ය මොළ විසින් අනුකරණය කරන්නට උත්සාහ ගෙන තිබුණේ ඇමරිකාවේ ජනාධිපතිවරුන් ධවල මන්දිර ගෙවත්තේ සිට ජාතිය අමතන අවස්ථාව බව පුරවැසියාට රහසක් නොවීය.

එළිමහන් පරිසරයක සිට ජනාධිපතිවරයා ජාතිය ඇමතීම කිසිසේත්ම ගැටලුවක් නොවූවත්, එම භූමිකාවට හා එම අවස්ථාවට උචිත පසුතලයක්, සැකැස්මක් එහිදී අනිවාර්යයෙන්ම පැවතිය යුතුමය. එබඳු සාමාන්‍ය කල්පනාවක් හෝ ඉපදීමට නම් ජනාධිපතිවරයාට ලැබුණු ජනවරම කෙබඳුද යන්න පිළිබඳව ඓන්ද්‍රීය අවබෝධයක් මෙන්ම, මෙරට සංස්කෘතිය පිළිබඳ මාධ්‍ය විඥානයක්ද එය සැලසුම්කරන මාධ්‍ය විශේෂඥයින්ට තිබිය යුතුය. නමුත් ඔවුන්ට එබඳු දැක්මක් හෝ අවබෝධයක් හෝ අහලකින්වත් නැති බව පෙන්වා දුන්නේ, පෞද්ගලික ගුවන්විදුලි/ රූපවාහිනී නාලිකා භාෂාවෙන්ම කියන්නේ නම් ‘නැවත නැවතත් රට හමුවේ තහවුරු කරමිනි.’

ජනාධිපතිවරයා ජාතිය අමතන එම එළිමහන් පසුතලය කිසිසේත්ම ‘තෝරා නොගත යුතු’ තෝරාගැනීමක් බව පෙනුනේ රූප රාමුව තුළ එහෙන් මෙහෙන් දැල් වැටවල්, මල් පෝච්චි ද අතරේ පෙනෙන නොපෙනෙන සේ රුවන්වැලි සෑයද පැත්තකින් තබන්නට එම මාධ්‍ය විශේෂඥයින් කටයුතු කර තිබූ බැවිනි. රුවන්වැලිසෑය අභිමුව දිවුරුම් දුන් ජනාධිපතිවරයාගේ පසුබිමෙහි, දැන් රුවන්වැලි සෑය අසීරුවෙන් හා නොතරම් රූප රාමුවක බහාලන්නට උත්සාහ කිරීම වෙනත් දේශපාලන සංකේතකරණයක් දැයි දන්නේ ඔවුන්මය. ‘මාධ්‍ය සංකේතකරණය’ හෝ ‘සංඥාර්ථවේදය’ ගැන ගැඹුරු  මාධ්‍ය සාක්ෂරතාවක් නැති අප වැනි පෘථග්ජනයින්ට නොපෙනෙන වැදගත්කමක් එම දැල්වැටවල්, මල්පෝච්චි හා රුවන්සැලි සෑ සේයාවේ පවතින බව ජනාධිපති මාධ්‍ය විශේෂඥයින්ට තිබුනා වන්නටද පිළිවන.

එසේම ජනාධිපතිවරයා ජාතිය අමතන රූප රාමු සංස්කරණය පවා මෙරට රූපවාහිනිය පැමිණි මුල් යුගයේ තිබූ තාක්ෂණික තත්ත්වයවත් රැක ගැනීමට අසමත් වී තිබූ බව පෙනෙන්නට තිබිණි. එය ඉහළ මුද්‍රණ තාක්ෂණයක් පවතිද්දී, ඉතා වැදගත් ලේඛනයක් ගල් අච්චුවේ මුද්‍රණය කරන්නට ගත් උත්සාහයක් වැන්න. දුර රූප – මධ්‍යම රූප කලවම් කරගෙන මොකද්දෝ විකාරයක් කරන්නට ගත් උත්සාහය තුළ, පුරවැසියාට රූප රාමු වෙත නිසි අවධානයක් රඳවාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබිණි.

එපමණක් නොව ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාවේ පිටපත් රචකයා එය ලියා ඇත්තේ රජයේ මාධ්‍ය ප්‍රකාශකයා විසින් එය කියවන්නේය යන මානසිකත්වයෙන් මිස රටේ රාජ්‍ය නායකයා විසින් කියවනු ලබන්නක්ය යන මානසිකත්වයකින් නොවේ. එහි අන්තර්ගතය ගතහොත් එය එක් එක් අමාත්‍යාංශවල මාධ්‍ය ලේකම්වරුන් විසින් හෝ රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් හෝ කළ යුතු ප්‍රකාශ මිස රාජ්‍ය නායකයා විසින් කළ යුතු මට්ටමේ ප්‍රකාශ නොවේ. මෙම අපූරු මාධ්‍ය විශේෂඥයින් විසින් රටේ රාජ්‍ය නායකයා, රජයේ මාධ්‍ය ප්‍රකාශක තත්ත්වයට පත් කර තිබිණ.

රාජ්‍ය නායකයා විසින් කරන ප්‍රකාශයක තිබිය යුතු භාෂා පෞරුෂය හා අනන්‍යතාව රකින්නට තරම් අවබෝධයක් එම පිටපත් රචකයාට හෝ එය අධීක්ෂණය කළ මාධ්‍ය විශේෂඥයින්ට හෝ තිබෙන බවක් පෙනෙන්නට නොවීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතිය අමතා කළ ප්‍රකාශවල අන්තර්ගතයේ, භාෂාවේ, ස්වරයේ, පෞරුෂයේ හා අනන්‍යතාවේ ගුණය සුරකින්නට එම ප්‍රකාශවල පිටපත් රචකයා / රචකයින් කටයුතු කර තිබූ බව පුරවැසියාට තවමත් මතක ය.

අනෙක් වැදගත්ම කාරණය වන්නේ කතාවේ ගැඹුරු බව හා කෙටි බවය. ජනාධිපතිවරයගේ කතාව අවසානයේ පුරවැසියාට සංවේදනය විය යුත්තේ ‘අනේ තව ටිකක් කතා කළා නම්..’ කියා මිස, ‘අනේ යාන්තං ඇති කතාව නැවැත්තුවා’ කියා නොවේ. එහෙත් මේ මාධ්‍ය විශේෂඥයින් දෙදෙනා සැලසුම් කර තිබුනේ ඉහත කී ‘අනේ යාන්තං ඇති කතාව නැවැත්තුවා’යන දෙවැනි සිතිවිල්ල මෙරට පුරවැසියාගේ සිතෙහි අවසානයට උපදවන ලෙසිනි. ජනාධිපතිවරයකුගේ තබා කිසිදු කථිකයකුගේ කතාවක් අවසානයේ මෙබඳු ආකල්පයක් ශ්‍රාවකයා තුළ ඇතිවිය යුතු නොවේ.

අනේ ඉතිං, උදේම විහිලුවක් කරගෙන, කළු නික ටිකක් සොයාගෙන, රට්ටු හිනස්සාගෙන එදා වේල හොයාගත් ඇත්තන්ගේ සම් මස් ඇට සිඳ ශරීරගතව ඇත්තේ එම මාධ්‍ය චර්යාව බැවින් ගිය ගිය තැන මතුවන්නේ ඒ සුපුරුදු ‘රට්ටු හිනස්සන’ චර්යාවය. ආ ගිය වෙන වෙන තැන්වල රට්ටු හිනස්සන එක ගැන අපේ කම්පාවක් නොවූවද, මේ දෙබෑයන් දැන් ගොස් ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශයට බැවින් එතැන සිට රට්ටු හිනැස්සීමට යාම නම් පුරවැසියාට ඉවසිය හැක්කක් නොවේ.

කෙසේ වෙතත්, අවසාන වශයෙන් කියන්නට ඇත්තේ පසුගිය 25 වන සිකුරාදා දහවලේ ලද පුවතට අනුව ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ජාතිය අමතන තුරු මෙරට පුරවැසියන් තවමත් බලා සිටින බවය.

ප්‍රභාත් චින්තක මීගොඩගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More