පුරවැසි කොලම

කාබනික පොහොර ආනයනය හෙවත් ‘අලුත් උගුලක්’ කැන්දා ගෙන ඒම

අපේ රටේ කෘෂිකර්මය ආශ්‍රිතව ගොඩනඟා තිබෙන මෙම පංච විධ උගුල් මගින් සමස්ත රටටම කර ඇති හා කරමින් ඇති බලපෑම දැවැන්තය. රසායනික පොහොර හා කෘෂි රසායන භාවිතය සීමාකළ විට මෙරට විවිධ පාර්ශ්ව වෙතින් මතු වුනු විරෝධය පිටුපස ඇත්තේ ඒ බලපෑම් කිරීම් සමග බැඳී සිටින එකම බලවේගයකි. ‘අස්වැන්න අඩු වන බවට’ වන මහා පොදු චෝදනාව නඟන කිසිවකුත් මෙරට කෘෂි අස්වනුවලින් විශාල ප්‍රතිශතයක් පසු අස්වනු හානි නිසා (ප්‍රවාහනය, ගබඩා කිරීම ආදී තත්ත්වයන් නිසා) අපතේ යෑම ගැන කිසිවක් නොකියති. රසායනික පොහොර යොදා වැඩි අස්වනු ලබාගෙන ඉන් ඉහළ ප්‍රතිශතයක් අපතේ යනවා නම්, රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදා වගා කොට ඒ ලැබෙන අස්වනු නිසි ලෙස කළමනාකරණය කිරීමට කටයුතු කරන්නේ නම් මෙබඳු ගැටලුවක් උද්ගත නොවේ.

කොටි ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බවට ගොඩනඟා තිබූ යථාර්ථය, කොටි ත්‍රස්තවාදය පරාජය කළ හැකි බවටත්, අවසානයේ අප එය පරාජය කළා යන තත්ත්වයටත් ගෙන ඒමට නිසි ක්‍රමවේද තුළ, කොටුවෙන් පිටත සිතීම් තුළ, දැවැන්ත කැපකිරීම් තුළ, නිසි කළමනාකරණයන් තුළ රටක් ලෙස සමත් වීමු. නමුත් ඉන් පසු පළාත් සභා සඳහා බලතල ලබා දෙන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූයේ නම් ත්‍රස්තවාදය පරාජය කිරීම අර්ථ විරහිත වනු ඇත. එපරිද්දෙන්ම රටක් ලෙස ‘කෘෂි රසායන ත්‍රස්තවාදයෙන්’ ගැලවීමට නොහැකි බවට ගොඩනඟා තිබෙන යථාර්ථය, ‘කෘෂි රසායන ත්‍රස්තවාදය’ පරාජය කළ හැකි බවට විශ්වාසයක් ගොඩනැඟෙමින් පවතින මේ මොහොතේ කාබනික පොහොර ලෙස විදේශ රටවල නාගරික අපද්‍රව්‍ය හා මිනිස් මළ ආනයනය කරන්නට කටයුතු කරන්නේ නම්, එය වෙනත් වටයකින් පෙර කී බහුජාතික සමාගම් උගුලේම වැටෙන්නට යන ගමනක් වනු නිසැකය. මන්ද යත් මේ ආනයනය කළ කාබනික පොහොර යෙදීම හරහා ඇතිවන ගැටලු නිසැකවම බැර වන්නේ ‘රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යෙදීමේ’ ගිණුමට බැවින් ඒ වෙනුවට අලුත් වටයකින් නැවත රසායනික පොහොර හා කෘෂි රසායන වෙත යොමුවීමටම ප්‍රවේශයක් මේ හරහා ගොඩනඟාගැනීමේ විභවය තිබෙන බව ප්‍රතික්ෂේප කළ නොහැකිය. “අපි කිවුවෙ ඕකනේ, කාබනික පොහොර අසාර්ථක බව දැන් පේනවනේ. එකම විසඳුම රසායනික පොහොර තමයි.” යන මතවාදය නැවත මතුවීම වළක්වා ගත හැක්කේ කාබනික පොහොර ආනයනය කිරීම අත්හිටුවීමෙන් මිස වෙනත් ආකාරයකින් නොවේ. කාබනික පොහොර ආනයනය කිරීමට ලබා දී ඇති අවකාශය තුළ රසායනික පොහොර නිෂ්පාදන සමාගම්වලටම මේ රටේ කෘෂිකර්මාන්තය වැනසීම සඳහා (මෙහිදී කාබනික පොහොර ලෙස සැලසුම් කොට මෙරට කෘෂි වගාබිම් වනසන ඕනෑම වසංගතයක් මෙරටට ඇතුළු කිරීමට අවස්ථාව ඇත.)  අලුත් වටයකින් උගුලක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබී තිබේ.

මේ තත්ත්වය තුළ පෙර කී පංච විධ උගුල්වලින් ගැලවීම පිණිස, ඒවා පරාජය කිරීම පිණිස කාබනික පොහොර ආනයන උගුලින්ද ගැලවීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. එය නොතකා කටයුතු කළ හොත් සිදුවනු ඇත්තේ අලුත් උගුලක් සොයා ගෙන විත් ස්වකැමැත්තෙන් එහි සිරවීමය.

ප්‍රංශ පුවත්පත්කලාවේදියකු සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී, නවීන කෘෂිකර්මාන්තය වෙනුවට සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රමවලට යොමුවීමේ වැදගත්කම පිළිබඳව අවධාරනය කරමින් ජේම්ස් ගෝල්ඩ් ස්මිත් ලබාදෙන පිළිතුර මේ මොහොතේ ලාංකේය සමාජ මොහොතට ද අතිශයින්ම අදාළ වේ.

“ප්‍රශ්නය – අධිවේගී කෘෂිකාර්මික ක්‍රම වෙනුවට අධිවේගීභාවය අඩු ක්‍රම වෙතට යොමුවුවහොත් අවාසි වන්නේ කාටද? ජය ලබන්නේ කවුද?

පිළිතුර – අපි ජයගන්නන්ගෙන් පටන්ගනිමු. ග්‍රාමීය ප්‍රජාවන්ගේ ස්ථාවරභාවය ප්‍රතිෂ්ඨාපනය වනු ඇත. නගර සහ ඒවායේ පදිංචිකරුවන්ට යහපත සැලසෙනුයේ ගම්බද පළාත්වලින් නගර බලා ගලා එන ජන සන්නිපාතය නැවතෙන බැවිනි. පාරිභෝගිකයාට සෞඛ්‍ය සම්පන්න ආහාර කෑමට ගතහැකි වනවා ඇත. රසායනික සහ ජෛව තාක්ෂණික නිෂ්පාදන මගින් සිදුවිය හැකි පාරිසරික දූෂණ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වනවා ඇත. ලෝකය පුරාම ජාතීන් ඉඩම් අතහැර යාම නිසා රැකියා අහිමි වන ජනතාවට සුබසාධන සඳහා දැරීමට සිදුවන වියදම් බරින් නිදහස් වනු ඇත. එපමණක් නොව, ගම්බදින් අවතැන් වන්නන්ට නගරබද වාසස්ථාන සඳහා යටිතල පහසුකම් වෙනුවෙන් තව තවත් වියදම් දැරීමට සිදු නොවනු ඇත.

පරාජය ලබන්නන් හඳුනාගැනීම පහසුය. ඔවුහු රසායන සහ ජෛව තාක්ෂණ කර්මාන්තකරුවන්, ඔවුන්ගේ වැටුප් ලබන විශේෂඥයින් සහ වන්දිභට්ටයෝය.”

  ප්‍රභාත් චින්තක මීගොඩගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More