මේ වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය බරපතල විදේශ විනිමය අර්බුදයක් කරා ගමන් කරමින් තිබෙන බව දැන් රහසක් නොවේ. දීර්ඝ කාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස මේ වන විට විදේශ විනිමය සංචිත බරපතල ලෙස පහත වැටී ඇත. එදා 2014 දී ඩොලර් බිලියන 8.2 ක් වූ විදේශ සංචිත ප්‍රමාණය 2021 මැද වන විට ඩොලර් බිලියන 4.1 දක්වා පහත වැටී ඇත. මේ වසර අවසාන වන විට ශ්‍රී ලංකාවේ සමස්ථ විදේශ ණය තොගය වූ ඇ.ඩොලර් බිලියන 33 කින් බිලියන 6.2 ක ආපසු ගෙවීමට සිදුවේ. ඒ අතුරින් බිලියන 1.5 ක් ජූලි මස අවසානයේදී ගෙවීමට සිදුවේ. ඒ සඳ හා ශ්‍රී ලංකාවේ රජය චීන රජය සමඟ ඇතිකරගත් මාර්තු මාසයේදී අත්සන් කළ විනිමය හුවමාරු ගිවිසුම මඟින් ඩොලර් බිලියන 1.5 ක් ලබා ගැනීමට සැලසුම්කර ඇති බව වාර්තා වේ. එහෙත් එම ගිවිසුම අත්සන් කිරීමේදී මහ බැංකුවේ නිලධාරීන් විසින් සිදුකළ අතපසු වීමක් හෝ වෙනත් හේතුවක් නිසා එම මුදල අදාළ කාරණය සඳහා යොදා ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවද වාර්තා වේ. එම ගිවිසුම පරික්ෂා කිරීමේදී 2 (6) වගන්තිය සහ 10 (3) වගන්ති දෙක මඟින් එම අවාසිදායක තත්වය ඇතිවී තිබෙන බව පැහැදිළි වේ.
ඒ පිළිබඳව සොයා බලා චීන රජය සමඟ වහාම සාකච්ඡා කොට ප්‍රශ්ණය නිරාකරණය නොකළහොත් බරපතල අර්බුදයකට මුහුණ දීමට සිදු විය හැක. එනම් කෙටි කාලීන ජාත්‍යන්තර ස්වයිරි බැදුම්කර වලට අදාළ ඇ.ඩො බිලියන 1.5 ක ගෙවීම් අනිවාර්යෙන්ම ගෙවීමට සිදුවන බැවින් එම විදේශ විනිමය ප්‍රමාණය සංචිත වලින් ගෙවීමට සිදු වේ. එසේ වුවහොත් මූලික ප්‍රමිතියක් වන මාස 3 ක ආනයන වියදම් පියවීම සඳහා අවශ්‍ය වන සංචිත ප්‍රමාණය පවත්වාගෙන යාමට නෙහැකි වනු ඇත. එවැනි තත්වයකදී ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම් වලදී ශ්‍රී ලංකාව තවදුරටත් පහළට ඇද වැටීමේ අනතුරක් මතු වේ. දැනටමත් පිළිගත් ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතන ත්‍රිත්වය විසින්ම ශ්‍රී ලංකාවේ තත්වය පහළ දමා ඇත. එවැනි තත්වයක් ඇති වුවහොත් ශ්‍රී ලංකාවේ ආනයනකරුවන්ට ණයවර ලිපි නිකුත් කිරීමේදී ස්ථීර කිරීමේ ගාස්තුවක් බැංකු වලට ගෙවීමට සිදුවන අතර 100% ණයවර ලිපියේ වටිනාකම පෙන්වීමට සිදු වන නිසා අමතර පොලී වියදමක්ද එකතු වේ.
එවැනි තත්වයකදී පරිභෝජන ද්‍රව්‍යය මහා පරිමාණයෙන් රටට ආනයනය කරන මහා සමාගම් වලට සහ මහා පරිමාණ ජාවාරම්කරුවන්ට ගැටළුවක් ඇති නොවේ. ඔවුන් මහා පරිමාණයෙන් ආනයනය කරන බැවින් ඒකකයකට වැටෙන ණයවර ලිපි ගාස්තුවද අඩුවේ. නමුත් කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් විසින් අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී ඔවුන්ගේ අමුද්‍රව්‍ය පිරිවැය 10% කින් පමණ වැඩි විය හැක. විශේෂයෙන්ම දැනටමත් අමුද්‍රව්‍ය මිල සහ නැව් ගාස්තු වැඩි වී ඇති තත්වයක් යටතේ සමස්ථ පිරිවැය වැඩි වීම වඩා බරපතල වේ. එවිට අපනයන වල තරඟකාරීත්වය අඩු වීම නිසා අර්බුදය තවදුරටත් වර්ධනය වේ. මේ තත්වයට පිළිතුරු ලෙස මුදල් රාජ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීම මත මහ බැංකු නිලධාරීන් විසින් ඉදිරිපත් කරන යෝජනා මඟින් කර්මාන්තකරුවන් කබලෙන් ලිපට වැටෙන තත්වයක් ඇති වන බව පැහැදිළිව පෙනේ.
ජාවාම්කරුවන්ට ගැටළු ඇති නොවේ
උදාහරණයක් ලෙස ඔවුන්ගේ පළමු යෝජනාව වන්නේ සමස්ථයක් ලෙස ආනයන අධෛර්යමත් කිරීම සඳහා සියලු ආනයන වලට ණයවර ලිපි අනිවාර්ය කිරීමය. නමුත් මුදල් වශයෙන් සෘජු ගෙවීම මත සුළු පරිමාණයෙන් අමුද්‍රව්‍ය ආනයනය කරන කර්මාන්තකරුවන් ඒ මඟින් බරපතල අර්බුදයකට ලක් වේ. විශේෂයෙන්ම යම් විදේශීය කුඩා පරිමාණ සැපයුම්කරුවන් ණයවර ලිපි මඟින් සැපයීම් සිදු කිරීමට අකමැත්තක් පෙන්විම නිසා තත්වය තවදුරටත් සංකීර්ණ වේ. නමුත් එසේ ණයවර ලිපි අනිවාර්ය කිරීම මඟින් තිරිඟු පිටි, කිරිපිටි ආදී මහා පරිමාණයෙන් ආහාර ආනයනය කරන සමාගම් වලට සහ සීනි, පොල්තෙල් ආදිය ආනයනය කරන ජාවාම්කරුවන්ට ඒ මඟින් ගැටළු ඇති නොවේ. කෙතරම් විදේශ විනිමය අර්බුදයක ගිලී සිටියද අප රටේ මූල්‍ය
පාලනයට වගකිව යුතු නිලධාරීන් එම මහා සමාගම් වලට සීමා පැනවීමට මැළිකම් පෙන්වති. ඒ බොහෝ සමාගම් අයුතු ලෙස බදු සහන ලබා ගැනීම මඟින් විශාල මූල්‍ය බලයක් සහිතව කටයුතු කරන බැවින් ඔවුන්ට ඕනෑම තරාතිරමක පුද්ගලයින් මිලදී ගැනීමේ හැකියාවද ඇත. ඊට අමතරව දේශීය කර්මාන්තකරුවන්ගේ අපනයන ආදායම් වලින් 25% ක් වහාම රුපියල් වලට පරිවර්තනය කළ යුතු බවට කොන්දේසි පැනවීම
නිසාද තවදුරටත් පිරිවැය වැඩි වීමක් සිදු වේ.
එසේ ඩොලර් ආදායම් රුපියල් වලට පරිවර්තනය කිරීමෙන් පසුව නැවත අමුද්‍රව්‍ය ආනයන සඳ හා ඩොලර් මිලදී ගැනීමේදී අමතර පිරිවැයක් දැරීමට සිදුවේ. විශේෂයෙන්ම සමස්ථ අමුද්‍රව්‍ය ආනයන පිරිවැයට සාපේක්ෂව විදේශීය වෙළඳපළ සීමා සහිත වීම නිසා එනම් දේශිය වෙළඳපොළ විදේශීය වෙළඳපොළට වඩා වැඩි නිසා විදේශීය ආදායමෙන් වැඩි ප්‍රමාණයක් අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා වැය කිරීමට සිදුවේ. එවැනි තත්වයක්
තුළ 25% රුපියල් වලට පරිවර්ථනය කිරීම මඟින් කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට වැඩි අසාධාරණයක් සිදුවේ. නමුත් තීන්දු ගන්නා නිලධාරිහු කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ සැබෑ ප්‍රශ්ණ පිළිබඳව අවබෝධයකින් තොරව සැමට සමාන කොන්දෙසි පනවති. අඩුතරමින් යම් සීමාවකට ඉහළ ආනයන වියදම් සහිත ආනයකරුවන්ට පමණක් එම කොන්දේසි පනවන්නේ නම් සාධාරණය කෙසේ වෙතත් අසාධාරණය අඩු වීමක් සිදුවේ. උදාහරණයක් ලෙස මාසයකට ඩොලර් ලක්ෂයකට වඩා අඩු ප්‍රමාණයකට අමුද්‍රව්‍ය ආනයන කරන කුඩා පරිමාණ කර්මාන්තකරුවන් 25% විනිමය මාරු කිරීමේ කොන්දේසියෙන් සහ ණයවර ලිපි අනිවාර්ය කිරීමේ කොන්දේසියෙන් නිදහස් කරනනේ නම් යම් සාධාරණයක් සිදුවේ.
එසේ වුවත් තීන්දු ගන්නා නිලධාරීන්ට දේශීය කර්මාන්ත කරුවන් සහ පරිභෝජන ද්‍රව්‍ය ආනයනය කරන ජාවාරම්කරුවන් අතර වෙනසක් නැත. ඇත්ත වශයෙන්ම ඔවුනට ආනයන පිරිවැය අඩු කිරීමට අවශ්‍ය නම් කළ යුත්තේ මහා පරිමාණ පරිභෝජන භාණ්ඩ ආනයනයට යම් සීමාවන් පැනවීමය. අඩු තරමින් ඔවුන්ට බලපත්‍ර සහ කෝටා ක්‍රමයක් හඳුන්වා දීම මඟින් යම් සීමාවක් පැනවීමට හෝ මෙම නිලධාරීන්ට ධෛර්යක් නැත. ඒ වෙනුවට ඔවුන් දේශීය කර්මාන්තකරුවාගේ ගෙල සිරවන ආකාරයට ඔවුන්ට පමණක් කෝටා ක්‍රමයක් යෝජනා කර ඇත. ඊට අනුව කර්මාන්තකරුවන්ට ආනයන කෝටා ලබාගැනීමේදී 2019 දී ආනයනය කළ ප්‍රමාණය මත කෝටාව තීරණය වේ. නමුත් 2015 සිට 2019 දක්වා දේශීය කර්මාන්ත පද්ධතියේ සිදුවුණු බිඳ වැටීම් නිසා අමුද්‍රව්‍ය ආනයනය පහළ මට්ටමක පැවතුණි. එම ප්‍රමාණයන් ඉහළයාමට පටන්ගන්නේ 2019 සිට 2020 දක්වා කාලයේදීය. ඒ මඟින් කර්මාන්ත කරුවන්ට පවතින අමුද්‍රව්‍ය අවශ්‍යතාවයට සරිලන ලෙස අමුද්‍රව්‍ය ආනයනය කිරීමට නොහැකි වේ. එවිට අවසානයේදී අපනයන ආදායම් අඩු වීම මඟින් විනිමය අර්බුදය තවදුරටත් වර්ධනය වේ.
එළවළු සහ පළතුරු ආනයනය සඳහා පමණක් ඩොලර් මිලියන 450ක්
මේ ආකාරයට අතීසාරයට අමුඩ ගසන උපදේශකයින් අඩු තරමින් තමාගේ අහඹු සහ තර්කානුකූල නොවන තීන්දු මඟින් ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වන විනිමය ප්‍රමාණය කොතෙක්දැයි සංඛ්‍යාත්මක අගයක් පෙන්වන්නේ නැත. උදාහරණයක් ලෙස අප රටේ ආහාර ආනයනය සඳහා දළ වශයෙන් ඩොලර් මිලියන 2500 ක් වැය කෙරේ. එළවළු සහ පළතුරු සඳහා පමණක් ඩොලර් මිලියන 450 ක් වැය කෙරෙන අතර අත්‍යවශ්‍ය නොවන සුළු ආහාර නිෂ්පාදන ආනයනය සඳහා ඩොලර් මිලියන 130 ක් වැයවේ. තිරිඟු පිටි හා කිරි පිටි ආනයනය සඳහා වසරකට ඩොලර් මිලියන 700 ක් පමණ වැය වේ. ඒ අනුව යම් සීමාවන් මඟින් විශේෂයෙන්ම කෝටා පැනවීම මඟින් ඉතා පහසුවෙන් වසරකට ඩොලර් මිලියන 500 ක් හෝ 600 ක් ඉතිරි කර ගැනීමේ හැකියාව ඇත. ඊට අමතරව පුද්ගලික වාහන ආනයනය සඳහා 2019 වසරේදී ඩොලර් මිලියන 900 ක් සහ ගෘහභාණ්ඩ ආනයනය සඳහා ඩොලර් මිලියන 175 ක් වැයකොටඇත. මේවා යම් පමණකට හෝ සීමා කළ යුතු බවක් මෙම ඊනියා උපදේශකයන් සඳහන් කරන්නේ නැත.
ඒ පිළිබඳව ප්‍රශ්න කරන විට ඔවුන් විසින් ලබාදෙන සරල උත්තරයක් ඇත. ඒ සමස්ථ ව්‍යුහාත්මක වෙනසකින් තොරව කුඩා වෙනස්කම් වලින් ප්‍රශ්ණය විසඳිය නොහැකි බවය. එහෙත් ඔවුහු ඒ සමඟම දේශීය ර්මාන්තකරුවා වලපල්ලට යවන කුඩා වෙනස්කම් පමණක් යෝජනා කරති. නමුත් ව්‍යුහාත්මක වෙනස්කම් අවශ්‍ය බවට ඔවුන් ගෙන එන මූලික තර්කයේ සත්‍යයක් ඇත. අප රටේ විදේශ විනිමය අර්බුදය දීර්ඝකාලීනව වර්ධනය වූ තත්වයකි. විශේෂයෙන්ම අප රටට අලවා තිබූ අඩු ආදායම් ලේබලය ගැලවීමෙන් පසුව බහු පාර්ශවීය ණය අරමුදල් අඩුවීම නිසා වාණිජ ණය ගැනීම් වැඩි විය. උදාහරණයක් ලෙස 2015 සහ 2020 අතර කාලයේදී අප රට ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර මඟින් ලබා ගෙන ඇති ණය ප්‍රමාණය ඇ.ඩොලර් බිලියන 6.7 කි. එනම් රටේ සමස්ථ ණය
තොගයෙන් 20% කි. එහිදී ඒ ආකාරයට ස්වෛරී බැදුම්කර වලින් ණය ලබාගැනීමේදී 6%ක පමණ ඉහළ පොලියක් ගෙවීමට සිදු වන නමුත් බහු පාර්ශවීය සහ ඒක පාර්ශවීය ණය පොලිය දළ වශයෙන් 1% පමණ වේ. ඒ අනුව වාණිජ ණය විශේෂයෙන්ම ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර මඟින් ණය බර බරපතලවන ආකාරය පැහැදිළි වේ. විශේෂයෙන්ම දීර්ඝ කාලීන ණය වසර 25 සිට 40 දක්වා ගෙවීමට සහන කාලයක් ලැබේ. නමුත් බැදුම්කර වසර 5 – 10 ත් අතර කාලයකදී පරිනත වේ. ඊට අමතරව බැදුම්කරයක කාලය පරිනත වූ විට සමස්ථ ප්‍රාග්ධනය ආපසු ගෙවීමට සිදුවේ.
මේ වන විට විදේශ ණය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 101% දක්වා ඉහළගොස් ඇති අතර පොලී ගෙවීම් රාජ්‍ය ආදයම් වලින් 50% අධික ප්‍රමාණයකි. කෙසේ වෙතත් පසුගිය වසරේදී ආනයන පිරිවැය ඩොලර් බිලියන 3.9 කින් අඩුකර ගැනීමට හැකිවී ඇත. විශේෂයෙන්ම ඒ තුළ ඛණිජ තෙල් පිරිවැය ඩොලර් බිලියන 1.35 කින් අඩු වී ඇත. එසේ වුවත් 2030 දක්වා සෑම වසරකම පරිනත වන ස්වෛරී බැදුම්කර වලට අදාළ ගෙවීම් කිරීමට සිදු වේ. ඒ අනුව ප්‍රශ්ණය ඉදිරියටත් බරපතල වන බවට සැකයක් නැත. අප රටේ වෙළඳ හිඟය පසුගිය වසර කිහිපය තුළ දළ වශයෙන් ඩොලර් බිලියන 10 ක මට්ටමේ පැවතුණි. එනම් අප රටේ අපනයන අදායම මෙන් දෙගුණයක් ආනයනය සඳහා වැයවේ. එවැනි තත්වයක් තුළ අපගේ ගෙවුම් ශේෂ හිඟය පියවාගනු ලබන්නේ
ප්‍රධාන වශයෙන් විදේශ රැකියා නියුක්තිකයින්ගේ ලේ දහඩිය කඳුලු තැවරුණු ඩොලර් බිලියන 8 ක පමණ වන ප්‍රේෂණ මඟිනි. ඉදිරියේදී එම ආදායම් මෙන්ම සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ඩොලර් ආදායම් තවදුරටත් අඩුවන බවට සැකයක් නැත.
වැඩි පොලියට ණය ලබාදීමෙන් පමණක් කර්මාන්තකරුවා නගා සිටුවිය නොහැක
එවැනි තත්වයක් තුළ බොහෝ උපදේශකයින්ගේ පැතලි උපදෙස් අනුව වෙළඳාම තවදුරටත් නිදහස් කිරීම, සංචාරක ව්‍යාපාරයේ ආදායම් වැඩි කිරීම හෝ අමුද්‍රව්‍යය ආනයනය පාලනය කිරීම වැනි ක්‍රියාමාර්ග වලින් තත්වය සමනය කිරීම කෙසේ වෙතත් තවදුරටත් වර්ධනය විය හැක. උදාහරණයක් ලෙස ආරක්ෂණවාදී ආනයන විකල්ප නිෂ්පාදනය දිරි ගැන්වීම සහ අත්‍යවශ්‍ය නොවන ආහාර සහ භාණ්ඩ ආනයනය සීමා
කිරීම වෙනුවට නිදහස් වෙළඳාම ප්‍රචලිත කිරීම මඟින් තවදුරටත් වෙළඳ හිඟය වර්ධනය විය හැකි බව කුඩා ළමයෙකුට වුවද තේරුම්ගත හැක. මෙම උපදේශකයින්ගේ තහනම් වචනය ආරක්ෂණවාදයයි. එනම් දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීම සඳහා බදු ප්‍රතිපත්ති සහ දිරිගැන්වීමේ පැකේජ හඳුන්වා දීමෙන් වැළකී සිටීමය. එනම් නිදහස් වෙළඳාම නාමයෙන් අසාධාරණ තරඟයකට තල්ලු කිරීම කර්මාන්තකරුවන් නොසලකා හැරීම
මඟින් ඔවුන්ගේ නිෂ්පාදන හැකියාව සහ විභවය වර්ධනය කළ හැකිද?
දේශීය කර්මාන්තකරුවන් විසින් තරඟකාරී ලෙස අපනයන වෙළඳපොළ අත්පත්කර ගැනීම සඳහා එක් පැත්තකින් ගුණාත්මක තත්වය වර්ධනය කරගත යුතු අතර අනෙක් පැත්තෙන් නිෂ්පාදන පිරිවැය අඩු කර ගත යුතුය. ගුණාත්මක තත්වය වර්ධනය කිරීම සඳහා ආයෝජනය දිරිමත් කළ හැක්කේ ඔවුන් දේශීය වෙළඳපොළ පුළුල් කර ගැනීමට රජය විසින් සහන ලබා දෙන්නේ නම් පමණි. නමුත් අප රටේ රාජ්‍යය රටේ විශාලතම
මිලදී ගන්නා ලෙස දේශීය නිෂ්පාදන මිලදී ගැනීම සඳහා අනිවාර්ය ප්‍රමුඛතාවයක් ලබාදී නැත. එවැනි තත්වයක් යටතේ වැඩි පොලියට ණය ලබාදීමෙන් පමණක් කර්මාන්තකරුවා නගාසිටුවිය නොහැක. බොහෝ විට ඒ මඟින් සිදුවන්නේ බැංකු පොහොසත් කිරීම සහ කර්මාන්තකරුවගේ දේපළ බැංකුවට සින්න වන තත්වයක් ඇතිවීමය. ඒ අකාරයට මහා ප්‍රශ්ණයකට මුදල් අමාත්‍යංශය නිලධාරීන් සහ මහ බැංකුවේ නිලධාරීන් ඉහත සඳහන් කළ ආකාරයට අහඹු සරල පිළිතුරු සෙවීම කෙතරම් කණගාටුදායකද? විශේෂයෙන්ම විදේශ විනිමය අර්බුදයට මුහුණ දීමේදී අපනයන ආදායම් වැඩි කිරීම සඳහා කළ හැකි සුවිශේෂි මහා පරිමාන ආයෝජන පිළිබඳ ඔවුන් වචනයක් හෝ කතා කරන්නේ නැත.
උදාහරණයක් ලෙස ලෝකයේ හොඳම මිනිරන් ඇති අප රටේ මිනිරන් අපනයනය කරන්නේ කළු ගල් වැනි දෙයක් අපනයනය කරන ආකාරයට තුට්ටු දෙකටය. නමුත් මිනිරන් වලින් නිපදවන ග්‍රැෆේන් හෙවත් කළු රත්තරන් නැමැති නිෂ්පාදන අපනයනය කරන්නේ නම් දැනට උපයන විදේශ විනිමය ආදායම මෙන් දහස් ගුණයක් ඉපයීමේ හැකියාව ඇත. එවැනි නිෂ්පාදන වර්ග 30 ක් පමණ ජාත්‍යන්තර වෙළඳපොළට ඉදිරිපත්
කිරීමේ හැකියාව ඇත. අප රටේ මිනිරන් පතලක් හිමි ඉන්ජිනේරුවෙකු වන පුද්ගලික ආයෝජකයෙකුගේ යෝජනා වලට අනුව ඩොලර් මිලියන 100 ක ආයෝජනයකින් වසර 5කදී ඩොලර් මිලියන 5000 ක අපනයන ආදායමක් ලබා ගත හැක. එහෙත් එවැනි දේ පිළිබඳව අප රටේ ඊනියා ආර්ථික ඝාතක උපදේශකයිනට අවබෝධයක් නැත. එසේ නැතහොත් ඒවා සිතා මතා වලක්වන බව පිළිගැනීමට සිදු වේ. අවසාන වශයෙන් මෙම
ලියුම්කරුගේ මිත්‍ර ඉන්දියානු විද්වතෙකුගේ ප්‍රකාශයකින් මෙම ලිපිය අවසන් කළ යුතුය.
“ශ්‍රී ලාංකිකයින් යනු මහා ධන නිධානයක් මත ගෝනි පඩංගුවක් එලාගෙන පෘතුගීසි බයිලා කියමින් නිදා වැටෙන ජාතියකි!”
වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...