පුරවැසි කොලම

(ලාංකේය දේශපාලනයේ ‘රනිල් වික්‍රමසිංහ සාධකය: ප්‍රති විශ්ලේෂණයක් II)

ලාංකේය සමාජයෙහි රනිල් වික්‍රමසිංහ හැඳින්වීමේදී යොදන වැකියක් තිබේ. එනම්, ‘රනිල් මොළකාරයා’ යනුවෙනි. එය ඇත්තකි. සාමාන්‍ය ජනවහරේ මෙම ‘මොළකාරයා’ යනුවෙන් යොදන වචනය විෂයානුබද්ධ සන්දර්භයකදී අපට යෙදිය හැක්කේ ‘උපාය මාර්ගික විශේෂඥයා’ වශයෙනි. රනිල් වික්‍රමසිංහ යනු සැබැවින්ම මෙරට අධිරාජ්‍යවාදී උපාය මාර්ගික විශේෂඥයා වන අතර, ඔහු සිය දේශපාලන භාවිතය හැම විටම පෙළ ගස්වන්නේ අධිරාජ්‍යවාදී මූලෝපායික දැක්මකිනි.

ලාංකේය දේශපාලනයේ උපාය මාර්ගික විශේෂඥයින් හා ප්‍රති උපායමාර්ගික විශේෂඥයින්

පශ්චාත් යටත් විජිත ලාංකේය දේශපාලනයේ, උපාය මාර්ගික විශේෂඥයින් සිව් දෙනෙකු හඳුනාගත හැකිය. මෙරට පළමු අධිරාජ්‍යවාදී උපාය මාර්ගික විශේෂඥයා ජේ.ආර්. ජයවර්ධන වූ අතර, ඔහුගේ උපාය මාර්ගයට අභියෝග කළ ප්‍රතිපක්ෂ උපාය මාර්ගික විශේෂඥයා, නොඑසේ නම් උපාය මාර්ගික ‘අනෙකා’ වූයේ රෝහණ විජේවීර ය.

ජේ.ආර්.ගෙන් පසු මෙරට අධිරාජ්‍යවාදී උපාය මාර්ගික විශේෂඥයා රනිල් වික්‍රමසිංහ වන අතර, ඔහුගේ උපාය මාර්ගයට අභියෝග කළ ප්‍රතිපක්ෂ උපාය මාර්ගික විශේෂඥයා වූයේ සෝමවංශ අමරසිංහ ය.

මෙහි දැකිය හැකි සමාන තත්ත්වයක් නම් අධිරාජ්‍යවාදී උපාය මාර්ගික විශේෂඥයින් දෙදෙනා එකම දේශපාලන පක්ෂයකින් (එක්සත් ජාතික පක්ෂය) නිර්මාණය වීමත්, ඊට ප්‍රතිපක්ෂ උපාය මාර්ගික විශේෂඥයින් දෙදෙනාද එකම දේශපාලන පක්ෂයකින් (ජනතා විමුක්ති පෙරමුණ) නිර්මාණය වීමත්ය.

අද වන විට මෙරට ඉතිරිව සිටින එකම දේශපාලන උපාය මාර්ගික විශේෂඥයා රනිල් වික්‍රමසිංහ වේ. මේ ගෙවෙන පශ්චාත් අමරසිංහ යුගයේ ‘රනිල් වික්‍රමසිංහ’ නමැති අධිරාජ්‍යවාදී උපාය මාර්ගික විශේෂඥයාට ප්‍රතිපක්ෂ උපාය මාර්ගික විශේෂඥයා ජනතා විමුක්ති පෙරමුණ තුළින් ගොඩනොනැඟුණු අතර, එවැන්නකු එම පක්ෂය තුළින් යළි ගොඩනැඟීමේ කිසිදු විභවයක්ද නූතන දේශපාලන සන්දර්භය තුළ නොපවතී.

එ.ජා.ප.ය තුළ රනිල් ස්ථාවර කිරීම

ඓතිහාසිකව බලන විට අධිරාජ්‍යවාදී ඒජන්තයා ලෙස රනිල් වික්‍රමසිංහගේ නායකත්ව භූමිකාව එක්සත් ජාතික පක්ෂය තුළ ස්ථාවර කිරීම ක්‍රමානුකූලව හා සියුම්ව සිදු වූවකි.

පශ්චාත් ප්‍රේමදාස යුගයේ එක්සත් ජාතික පක්ෂය තුළ බලය සම්බන්ධ තියුණු තරගයක් පැවතිණි. ඒ තරගයේ ප්‍රමුඛයින් දෙදෙනා වූයේ ගාමිණී දිසානායක හා රනිල් වික්‍රමසිංහ ය. 1994 ජනාධිපතිවරණය ඉදිරිපිට මෙම තරගය වඩාත් තියුණු ලෙස මතුපිටට පැමිණි අතර, එයින් රනිල් වික්‍රමසිංහ පරදවා ගාමිණී දිසානායක ජය ලැබීය. ඒ අනුව ගාමිණී දිසානායක ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තෝරා ගැනිණි. නමුත් ‘ගාමිණී දිසානායක’ යනු එක්සත් ජාතික පක්ෂය තුළින් අධිරාජ්‍යාවාදීන් දකින යුරෝ – ඇමරිකානු සිහිනයට සුදුසු චරිතය නොවීය. 1994 ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වන ලද රැස්වීමකදී මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදියෙකුගේ ප්‍රහාරයකින් එ.ජා.ප.යේ ජනාධිපතිවරණ අපේක්ෂක ගාමීණී දිසානායක ඝාතනය වන්නේ මෙබඳු පසුබිමකය. එතැන් සිට රනිල්ට අභියෝගයක් නොමැති පිට්ටනියක් බවට එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කෙරිණ.

නමුත් 90 දශකයේ අවසාන භාගය වන විට නැවතත් එක්සත් ජාතික පක්ෂය තුළ රනිල්ගේ නායකත්ව භූමිකාවට අභියෝගකාරී චරිතයක් නිර්මාණය වෙමින් තිබිණ. ඒ ‘ගාමිණී අතුකෝරල’ය. ඔහුද දේශපාලන රැළියක් අතරතුර රෝගාතුර වීමෙන් හදිසියේ මරණයට පත් විණි. මෙය සැකකටයුතු මරණයක් බවට චෝදනා මතු වුවද ඒවා ක්‍රමයෙන් වියැකී ගියේය.

ස්වාභාවික ලෝක ධර්මය තුළ මෙබඳු මරණ අහම්බයන් ලෙස සැලකුනද, අන්තර්ජාතික ඔත්තු සේවා විසින් මෙහෙයවන නූතන ලෝක දේශපාලන සන්දර්භය තුළ මෙබඳු ‘අහම්බයන්’, අහම්බයන් ම නොවන බවට අත්දැකීම් ලෝකය තුළ කොතෙකුත් තිබේ. කෙසේ හෝ ගාමිණී අතුකෝරලගේ මරණින් පසු නැවතත් එක්සත් ජාතික පක්ෂය තුළ රනිල්ට අවශ්‍ය පිට්ටනිය නිර්මාණය විණි.

නැවතත් කලකට පසු එක්සත් ජාතික පක්ෂය තුළ රනිල් වික්‍රමසිංහට අභියෝගකාරී ලෙස සජිත් ප්‍රේමදාස චරිතය නිර්මාණය වූ අතර, ඔහු වටා භූමියේ සැලකිය යුතු දේශපාලන පෙළගැස්මක් තිබුනේ වුවද, ඔහුට එක්සත් ජාතික පක්ෂයෙන් ගොස් වෙනත් පක්ෂයක් ගොඩනඟාගෙන දේශපාලනය කිරීමට සිදු වූවා මිස, කිසි විටෙක එ.ජා.ප. නායකත්ව භූමිකාව ලබා ගැනීමට හැකි වූයේ නැත.

මෙම ඓතිහාසික අවස්ථා තුනම අනුව බලන විට, එක්සත් ජාතික පක්ෂය තුළින් රනිල් වික්‍රමසිංහ අධිරාජ්‍යවාදී බලවේගයට නැතිවම බැරි මිනිහා වීමේ අභිලාෂය හඳුනාගත හැකි වේ.

2001 : රනිල්ගේ උපාය මාර්ගික මොහොත

එක්සත් ජනපද භූ දේශපාලන උපාය මාර්ගය තුළ 1977 දී ජේ.ආර්.ජයවර්ධනට ඉටු කිරීමට ලැබුණු ඉහළම පැවරුම වූයේ මෙරට තුළ නව ලිබරල්වාදී නිදහස් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය ස්ථාපිත කොට ඊට අවශ්‍ය ලෙස දේශපාලන – සමාජ – ආර්ථික ව්‍යුහාත්මක ගැලපුම් නිර්මාණය කොට දීමයි. ඔහු එම පැවරුම සාර්ථකව නිම කිරීමට සමත් විය. ඔහුගේ මෙම වැඩපිළි‍වෙළට ප්‍රතිපක්ෂ මතවාදී භාවිතයන් එවක රෝහණ විජේවීරගේ උපායමාර්ගික දැක්ම යටතේ ජනතා විමුක්ති පෙරමු‍ණේ ක්‍රියාකාරීත්වය හරහා ගොඩනැගුණද, 1983 එම පක්ෂය තහනම් කිරීම තුළ එම ප්‍රතිපක්ෂ භාවිතය සැලකිය යුතු තරමකට අඩපණ කර දමන්නට ජේ.ආර්. ජයවර්ධන සමත් විණි.

ජේ.ආර්. ගෙන් පසු යුගයේ රනිල් වික්‍රමසිංහගේ පැවරුම ඉටුකරගත යුතු මොහොත වූයේ මෙයයි. ඒ අනුව ඉන්(1977) වසර 24කට පසු රනිල් වික්‍රමසිංහ වෙත එක්සත් ජනපද භූ දේශපාලන උපාය මාර්ගය තුළ ඉටු කිරීමට ලැබුණු ඉහළම පැවරුම වූයේ මෙරට බෙදා වෙන් කොට කොටි සංවිධානයට වෙනම රාජ්‍යයක් නිර්මාණය කර දීමේ වැඩපිළිවෙළයි. රනිල් මෙබඳු දැවැන්ත පැවරුමක් ඉටු කරන්නට සැරසෙන්නේ එවක මෙරට ‘දෙවැනි පුරවැසියාගේ භූමිකාවේ’ සිටය. ජාත්‍යන්තර බලවේගවල සෘජු මැදිහත්වීම යටතේ 2002 පෙබරවාරියේ අගමැති රනිල් වික්‍රමසිංහ හා කොටි නායක ප්‍රභාකරන් අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම මෙම පැවරුමට අදාළ මූලෝපායික සැලසුම විණි. ඒ අනුව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තිස් වසරක් තිස්සේ සිහින දුටු ලාංකේය මොහොත ඒ ඔස්සේ ගොඩනැඟෙන්නට සියලු යටිතල පහසුකම් නිර්මාණය වී තිබිණි.

නමුත් මෙතැනදී රනිල් හරහා ප්‍රකාශිත, මෙරට බෙදා වෙන් කිරීමේ අධිරාජ්‍යවාදී උපාය මාර්ගික වැඩපිළිවෙළට ප්‍රතිපක්ෂ, ප්‍රති උපාය මාර්ගික විශේෂඥයා ජනතා විමුක්ති පෙරමුණෙහි නායකත්ව භූමිකාව තුළ සිටියේය. ඒ සෝමවංශ අමරසිංහය. ‘රතු කොඩිය හදවතේ තබාගෙන සිංහ කොඩිය අතට ගැනීමේ’ නව දේශපාලන උපාය මාර්ගය තුළ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකත්වයද, ඉන්පසු ලාංකේය සමාජයද පෙළ ගැස්වීමේ නියාමක කාර්යභාරය – ප්‍රති උපායමාර්ගික කාර්යභාරය – සිදු කළේ ඔහුය. ඒ අනුව, ජාත්‍යන්තර බලවේගවල සෘජු මැදිහත්වීම යටතේ 2002 පෙබරවාරියේ අගමැති රනිල් වික්‍රමසිංහ හා කොටි නායක ප්‍රභාකරන් අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම ඔස්සේ ක්‍රමානුකූලව මේ රට බෙදා වෙන් කිරීමේ ව්‍යාපෘතිය සිදු කෙරෙන බවට මතවාදීමය වශයෙන් සමාජය තුළ පැළ කළ ‘මතය’ වටා ජනතාව පෙළ ගැසිණි. රනිල්ගේ අධිරාජ්‍යවාදී උපායමාර්ගික පැවරුම පරාජය කිරීමේ ප්‍රති උපාය මාර්ගය දියත් වූයේ මෙලෙසිනි. එසේම ඉන් නොනැවතී මේ උපාය මාර්ගයට අවැසි ලෙස මහින්ද රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා කිරීමට අවැසි සමාජ මනස ගොඩනැඟීමේ කාර්යභාරය ජ.වි.පෙ. හරහා මෙවක දියත්විණි.

මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය 2009 මැයි මාසයේ දැකිය හැකි විය. ඒ, වසර 30ක් මෙරට අධිරාජ්‍යවාදී උපාය මාර්ගය තුළ පැවති කොටි සංවිධානය භෞතික වශයෙන් සහමුලින්ම පරාජය කිරීමයි. එය රනිල් නමැති අධිරාජ්‍යවාදී උපාය මාර්ගික විශේෂඥයාගේ පරාජයක් වූ අතර, අවසාන විග්‍රහයේදී එය ආසියානු කලාපය තුළ දශක කිහිපයක් තිස්සේ පවත්වාගෙන ආ ඇමරිකානු භූ දේශපාලන උපාය මාර්ගික සැලසුමක දැවැන්ත පරාජයක් විණි. ආසියානු කලාපය තුළ අධිරාජ්‍යවාදී උපාය මාර්ගයක්, ප්‍රති උපාය මාර්ගයක් මගින් බිඳ දැමූ ප්‍රධාන අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකිය.

2010 රනිල්ගේ දේශපාලන හැසිරීම

මහින්ද රාජපක්ෂගේ දේශපාලන නායකත්වය යටතේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම තුළ තමන්ට කලාපීය වශයෙන් අත්වූ දැවැන්ත පරාජයට ප්‍රතිප්‍රහාරය දිය යුතු ආසන්නම මොහොත ලෙස එක්සත් ජනපදය හඳුනාගත්තේ 2010 ජනාධිපතිවරණයයි. නමුත් මෙතැනදී තමන්ගේ නිත්‍ය උපාය මාර්ගික ඒජන්තයා වූ රනිල් වික්‍රමසිංහට සුදුසු දේශපාලන පිටියක් මෙරට නොමැති බව එක්සත් ජනපදයේ තක්සේරුව විය. ඒ අනුව, රනිල් පසෙකට ගෙන මහින්ද රාජපක්ෂට එරෙහිව වඩාත්ම ගැලපෙන ‘පොදු අපේක්ෂකයකු’ ඉදිරිපත් කිරීමේ උපක්‍රමික අවශ්‍යතාව අනුව යමින් ‘දේශපාලන යුද වීරයා’ වූ මහින්ද රාජපක්ෂට එරෙහිව ‘සංකේතීය මිලිටරි යුද වීරයා’ වූ සරත් ෆොන්සේකා ‘පොදු අපේක්ෂක’ භූමිකාව තුළ ස්ථානගත කරන ලදී.

හිටපු යුද හමුදාපතිවරයා වූ සරත් ෆොන්සේකා එලෙස පාවිච්චි කිරීම සිතාගැනීමට අසීරු තරමේ ‘භූමිකා කළමනාකරණයක්’ වූ නමුත්, එක්සත් ජනපද ඔත්තු සේවා විසින් ලොව පුරා සිදු කර ඇති ‘භූමිකා කළමනාකරණයන්’ අනුව බලන විට එය කිසිසේත්ම පුදුම විය යුතු තත්ත්වයක් නොවේ. මෙතැනදී අධිරාජ්‍යවාදී එක්සත් ජාතික පක්ෂය මෙන්ම, අධිරාජ්‍ය විරෝධීව සිටි ජනතා විමුක්ති පෙරමුණද මෙම පොදු අපේක්ෂක භූමිකාව කේන්ද්‍ර කොට ගෙන එකම වේදිකාවක් මත සමානව කළමනාකරණය කරගන්නට එක්සත් ජනපදය සමත් විය. ඒ වන විට ජනතා විමුක්ති පෙරමුණ තුළ සෝමවංශ අමරසිංහගේ භූමිකාව බිඳවැටෙන ලෙස අභ්‍යන්තර කොන්දේසි පෙළ ගැසී තිබිණ. මේ තත්ත්වය තුළ රනිල් වික්‍රමසිංහගේ උපාය මාර්ගයට ප්‍රතිපක්ෂ අනෙකා නොමැතිව ගමන ඇරඹී තිබිණ.

2015 රනිල්ගේ දේශපාලන හැසිරීම

2015 යනු එක්සත් ජනපද – ඉන්දියානු මැදිහත්වීම විසින් නිර්මාණය කරන ලද ලාංකේය දේශපාලන මොහොතක් විණි. 2015 ජනාධිපතිවර‍ණයේදීද රනිල් පසෙකට ගෙන ඒ සමකාලීන දේශපාලන භූමියට උචිත ‘චරිතයක්’ කළමනාකරණය කරන්නට ගත් උත්සාහය නැවතත් දැකිය හැකිය. මෙහිදී සෘජුවම දේශපාලනික වශයෙන් රනිල්ට එකඟ නොවන පක්ෂ ගණනාවක් පොදු වේදිකාවක් මතට ගෙන ඒමට අවැසි ලෙස ‘මෛත්‍රීපාල සිරිසේන’ මහින්ද රාජපක්ෂගේ දේශපාලන අභ්‍යන්තරයෙන්ම ගලවාගන්නා ලදී. මෙහිදී ‘රෝ’ ඔත්තු සේවය චන්ද්‍රිකා බණ්ඩාරනායක හරහා මෙම කාර්යයට මැදිහත්වීම සිදු කළාය. ප්‍රති උපාය මාර්ගික විශේෂඥයකුගෙන් තොර, එනම් ‘හිසක් නැති’ කවන්ධයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ නැවතත් මෙම සැලසුම තුළ ක්‍රියාත්මක වූයේය.

2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බවට පත් වූ අතර, ඉන් පසුව රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරන ලදී.

රනිල් නැවත අගමැතිවරයා ලෙස අධිරාජ්‍යවාදය වෙනුවෙන් වූ පැවරුම් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම කාලය යොදාගත්තේය. මහ බැංකු බැඳුම්කර වංචාව ආර්ථික තලයේදී මෙරටට එල්ල වූ දරුණුතම ‘අභ්‍යන්තර ප්‍රහාරය’(?) වූ අතර, 2019 වසරේ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ‘රෝ’ ඔත්තු සේවාවේ මැදිහත්වීමෙන් මෑත කාලීනව මෙරට තුළ සිදු කළ රැළි බලපෑමක් සහිත බරපතළ ප්‍රහාරයක් විණි. එසේම, රනිල් වික්‍රමසිංහ තමන්ගේ උපාය මාර්ගයට ප්‍රතිපක්ෂ දේශපාලනයක යෙදී සිටි තෝරාගත් දේශපාලන චරිතවලට එරෙහිව කටයුතු කිරීමද මෙවක කැපී පෙනුණු දේශපාලන භාවිතයක් විණි. එසේම මේ කිසිවක් දේශපාලන අහම්බයන් නොවන අතර, ඒ හා බැඳුණු නිශ්චිත උපක්‍රමික හස්ථයන් තිබේ. එසේම, ඒ සියල්ල සමග බැඳුණු නිශ්චිත භූමිකාවක් රනිල් වික්‍රමසිංහට තිබේ.

අනෙක් අතට රනිල් වික්‍රමසිංහගේ මෙම අවධිය තුළ එක්සත් ජනපදය වෙනුවෙන් වූ දැවැන්ත පැවරුමක් නැවත ලැබී තිබිණ. ඒ, එම්.සී.සී. ගිවිසුම හරහා මෙරට භූමිය එක්සත් ජනපදයේ ආර්ථික කටයුතු වෙනුවෙන් අත්පත් කරගැනීමේ සැලසුමයි.

2021 රනිල්ගේ පුනරාගමනය

2020 මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පරාජයකට ලක් වීම තුළ පොතේ හැටියට රනිල් වික්‍රමසිංහ නැවත ජාතික ලයිස්තුවෙන් හෝ මන්ත්‍රීවරයකු ලෙස නැවත පාර්ලිමේන්තුවට ආ යුතු නොවීය. නමුත් අධිරාජ්‍යවාදී උපක්‍රම තුළ, සතුරා විස්මයට පත්කරමින් අනපේක්ෂිත ලෙස සිදු කරන මැදිහත්වීම් පවතී. වර්තමාන ආණ්ඩුව තුළ අර්බුද මතු වන විට ඊට සමාන්තරව පිටතින් අවශ්‍යම මොහොතේ නැවත ‘රනිල් වික්‍රමසිංහ’ ස්ථානගත කරන්නේ එබඳු උපක්‍රමයක් ලෙසිනි. විපක්ෂ නායක ලෙස සජිත්ගේ අසමත්භාවය තුළ, විසිරුණු විපක්ෂයේ පක්ෂ නැවත රනිල් වටා සංකේන්ද්‍රණය කිරීමත්, ඒ අනුව ඉදිරි දේශපාලන උපාය මාර්ග දියත් කිරීමත් මිස රනිල්ගේ බල තණ්හාව පිළිබඳ කාරණයක් මෙතැනට අදාළ වන්නේ නැත.

ආණ්ඩුවේ ඇතුළත සතුරා මෙන්ම පිටත සතුරාද ක්‍රමානුකූලව ගොඩනැංවෙමින් තිබෙන දේශපාලන සන්දර්භයක, නැවත බරපතළ අධිරාජ්‍යවාදී උපක්‍රමික සැලසුමක් දියත් වෙමින් තිබෙන බව පැහැදිලිය. කට මැත දොඩවන ආණ්ඩුවේ බොහෝ දේශපාලකයින්ට එබඳු සැලසුම් පිළිබඳ දේශපාලන විඥානයක් නොපවතින බැවින් අනපේක්ෂිත දේශපාලන පිපිරුමකට පසු තමන්ගේ කෑල්ල අත්පත් කරගැනීමේ පුද්ගලවාදී සටන් මිස, රටට වූ හානිය/ රටට වන හානිය ගැන කිසිදු තක්සේරුවක්ද නොමැත. එබඳු දේශපාලන සන්දර්භයක් යනු එක්සත් ජනපද අධිරාජ්‍යවාදී බලවේගවලට මනා තෝතැන්නක් වන අතර, රනිල් වික්‍රමසිංහ නැවත පාර්ලිමේන්තුව තුළ ස්ථානගත කරන්නේ එබඳු අර්ථයකින් බව නිසැකය.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් නඩත්තු කරනු ලබන ‘දේශපාලන චරිත’ සෑම රටකම සිටින අතර, ඒ දේශපාලන චරිත අවශ්‍යම අවස්ථාවේ කළමනාකරණය කිරීම තුළ අදාළ රටේ දේශපාලනයේ සිදු කරන තියුණු චලනයන් ගැන කොතෙකුත් උදාහරණ ලෝකයේ රටවල් තුළින් හමුවේ. රුසියාව තුළ පුටින්ට එරෙහිව අන්තර්ජාතික ජනමාධ්‍ය විසින් ඉහළට ඔසොවා තබා ඇති චරිතය මෑත කාලීන හොඳම උදාහරණයකි.

මේ අර්ථයෙන් ගත් විට ‘ලාංකේය දේශපාලනයේ රනිල් වික්‍රමසිංහ සාධකය’ යනු හැදෑරිය යුතුම ‘විෂයයක්’ වන අතර, ඒ හරහා ලැබෙන්නේ නූතන ලෝක දේශපාලන සන්දර්භය තුළ එක්සත් ජනපද මැදිහත්වීම්හි හරස් කඩක් පිළිබඳ අවබෝධයක් මිස අන් යමක් නොවේ. රනිල්ගේ සෑබෑ දේශපාලනය පැරදවිය හැක්කේ මේ අවබෝධය හරහා මිස, ඔහු විහිලුවකට නිමිත්තක් කර ගැනීමෙන් නොවේ.

ප්‍රභාත් චින්තක මීගොඩගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More