මීට වසර 30 කට පෙර අප රටේ ආරම්භ කළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් රජයට පවරා ගනු ලැබූවේ වෛද්‍ය සිසුන් 34 දෙනෙකුගේ සහ සෙසු විශ්ව විද්‍යාල සිසුන් 235 කගේ ජීවිත බිලි දෙමින් ලේ ගංගාවක පිහිනා ගොස් එතෙර වීමෙනි. එදා රාගම විශ්ව විද්‍යාලය රජයට පවරා ගනිමින් එදා පැවති රජය පරාජය බාරගනු ලැබුවේ නව නීතියක් සම්මක නිරීම මඟිනි. ඒ නිසා මහා විනාශයක සෙසු ප්‍රතිඵල එසේම තිබියදී කෙසේ හෝ රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්ණයට විසඳුමක් ලැබුණි. එහෙත් ඒ මහා ලේ තැවැරුණු ඉතිහාස කථාව අමතක කරමින් එදා රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි වූ පාර්ශව නියෝජනය වූ රජයකින් “සයිටම්” නමින් පෞද්ගලික විශ්ව විද්‍යාලයක් නැවත ආරම්භ කිරීම එක්තරා ආකාරයකට ඉතිහාසයේ සරදමකි. එසේ වුවත් විශ්ව විද්‍යාල සිසුන්ගේ අප්‍රතිභත ධෛර්යය සහ කැපවීම මත ඊට එරෙහිව සටන තාවකාලික ජයග්‍රහණයකින් අවසන් විය. එම සටන රාගම වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දියත් වූ සටන් මෙන් ලේ වැගිරීමක් තොරව අවසන් කළ හැකි වන්නේ ඊට වෛද්‍ය ශිෂ්‍ය දෙමාපියන් ඇතුළු ඉතා පුළුල් බහුජන පෙරමුණක සහය ලැබුණු බැවිනි.
නමුත් එදා සයිටම් විරෝධී සටන වෛද්‍ය සිසු දෙමාපියන්ගේ උපවාසය මුල්කරගෙන ඉතා තීරණාත්මක සන්ධිස්ථානයක් ලඟ වූ අවස්ථාවේදී රාගම සටන ජයග්‍රහණයෙන් අවසන් කළ ආකාරයට විධිමත්ව නව නීතියක් සම්මත කිරීම මඟින් ප්‍රශ්ණය විසඳීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් නොවිනි. එම සටනට දායක වූ පිරිසට ඊට අදාළව අත්දැකීම් නොතිබුණද ඊට දේශපාලන නායකත්වය සැපයූ පිරිසට ඒ පිළිබඳව අවබෝධයක් තිබුණි. එදා කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශය ඉදිරිපිට වෛද්‍ය සිසු දෙමාපියන් ආරම්භ කළ අඛණ්ඩ උපවාසයට සහය පළ කිරීම සඳහා සහභාගි වූ මෙම ලියුම්කරු විසින් එම ස්ථානයේදී මුණ ගැසුණු ප්‍රභල වෘත්තීය සමිති නායකයෙකුට රාගම සටනේ අවසන් ජයග්‍රහණයේ න්‍යායාත්මක පදනම පැහැදිළි කරන්නට යෙදුණි. නමුත් අවසානයේදී එසේ නව නීතියක් මඟින් සයිටම් සිසුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු පිළිබඳව ප්‍රතිපාදන පැනවීම සඳහා බල කිරීමට අදාළ පාර්ශව අසමත් වීම නිසා එදා පැවති රජයට ශිෂ්‍ය ව්‍යාපාරයට කොකා පෙන්වීමට හැකියාවක් ලැබුණි.
ඒ අනුව සයිටම් සිසුන්ගේ ඉරනම නව පනතක් මගින් තීන්දු කිරීම නොකළ බැවින් එදා රාගම සටනේදී දිවි පුදා රැක ගත් නිදහස් අධ්‍යාපනයේ මූලධර්ම වලට අභියෝග කරන වෙනත් පනතක් ඉදිරිපත් කිරීමට එදා පැවති රජයට හැකියාව ලැබුණි. සයිටම් සටන පරාජය වීමෙන් පසුව එදා පැවති රජය පරිපාලන තීන්දුවක් මගින් සයිටම් සිසුන් රජයේ විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුල් කිරීමෙන් ප්‍රශ්ණය අවසන් වන බවට මතයක් ඇති කරන ලදී. ඉන් පසුව බලධාරීන් විසින් ඉතා සූක්ෂමව රජයේ විශ්ව විද්‍යාලයක අනුබද්ධ විශ්වවිද්‍යාලයක් හෝ පීඨයක් ලෙස පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සඳහා නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරනු ලැබීය. එම නව පනත මගින් 1981 අංක 68 දරණ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්විද්‍යාල පනත ඉවත් කෙරෙන අතර මුල් පනතේ අඩංගු නොවූ සුවිශේෂී බලතල ප්‍රමාණයක් එම ආයතනයට ලබා දේ. නමුත් නව පනතේ දීර්ඝ නාමයේ ඒ බව සඳහන් නොවේ. එම දීර්ඝ නාමය මගින් විශ්වවිද්‍යාලය පිහිටුවීම සහ අදාල ඉඩම පවරා දීම වැනි සරල කාරණා සඳහා එම නව පනත අවශ්‍ය වන බවක් පෙන්වා ඇත. එම පනත් කෙටුම්පත ගැසට් කරනු ලැබුවේ 2018 අප්‍රෙල් මස 11 වන දිනය.
එසේ පසුගිය රජය විසික් ගැසට් කළ පනත වර්ථමාන රජය විසින් 2021 මැයි මස 26 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එම පනත් කෙටුම්පතේ මුල් පිටුවේ සඳහන් වන්නේ අදාළ කෙටුම්පත 2018 අප්‍රේල් 11 වනදා ගැසට් කළ කෙටුම්පත බවය. ඒ අනුව වර්ථමාන ආණ්ඩුව විසින් පසුගිය රජය විසින් සකස් කළ පනත් කෙටුම්පත නැවත සංශෝධනයට ලක් කර නොමැති බව පැහැදිලිවේ. එසේනම් එදා තිබූ රජයේ අරමුණ වර්තමාන රජයටත් වලංගු වන බව පිළිගැනීමට සිදුවේ. එසේ වුවත් වර්ථමාන ආණ්ඩුවේ ජනවරම අනුව ඒ ආකාරයට පසුගිය රජය විසින් සිදු කළ වැරදි තහවුරු කිරීමට අවකාශයක් නැත. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට අදාලව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විශේෂයෙන් සඳහන් නොවුනද මේ ආණ්ඩුවේ ජනවරමට අනුව එදා කළ බරපතල වැරදි නැවත කිරීමට කිසිසේත්ම ඉඩක් නැති බව දේශපාලනයේ ‘‘ අයන්න‘‘ දන්නා කෙනෙකුට තේරුම් ගත හැක. එම පනත් කෙටුම්පත මගින් ආරක්ෂක අංශ වලට සහ රාජ්‍ය අංශයට අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම යන මූලික බලතල තුල සඟවා වෙනත් විෂයන් පිළිබඳව ශාස්ත්‍රීය අධ්‍යාපනයක් සඳහා පහසුකම් සැලසීම (5(ඇ) සහ වෙනත් ශාස්ත්‍රීය ආයතන විසින් පවත්වන පාඨමාලා පිළිගැනීම සහ එම පාඨමාලා සදහා උපාධි පිරිනැමීම (5(උ)) සදහා බලතල කොතලාවල විශ්ව විද්‍යාලයට ලබා දී ඇත. බළලා මල්ලෙන් එළියට පනින්නේ එහිදීය.
ඊට අමතරව වෙනත් උසස් අධ්‍යාපන ආයතන සමග අනුබද්ධව කටයුතු කිරීම (5ඌ) සහ ඒ සියලු කටයුතු සදහා ගාස්තු අය කිරීම (5 (එ) සදහා නව පනත මගින් විශ්ව විද්‍යාලයට බලය පවරා ඇත.ඒ අනුව සයිටම් වැනි පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් හෝ වෙනත් ආගමික ආයතනයක් මගින් පවත්වාගෙන යාමට නියමිත පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආදී ඕනෑම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් හෝ පුද්ගලික විශ්ව විද්‍යාලයක් අනුබද්ධ ආයතන ලෙස පිළිගැනීමට කොතලාවල විශ්ව විද්‍යාලයට හැකියාව ඇත.එවැනි තත්වයකදී අදාල පාඨමාලා සදහා උපාධි පිරිනැමීමේ බලය ද කොතලාවල විශ්ව විද්‍යාලයට ලැබේ.එනම් රාජ්‍ය විශ්ව විද්‍යාලයන් මගින් පෞද්ගලික උපාධි, විශේෂයෙන් ම වෛද්‍ය උපාධි පිරිනැමීමේ තත්වය මෙම නව පනත මගින් ඇති කෙරේ.එම තත්වය සයිටම් වැනි ආයතනයකින් පුද්ගලික වෛද්‍ය උපාධි පිරිනැමීමට වඩා බරපතල තත්වයකි.විශේෂයෙන් ම රජයේ විශ්ව විද්‍යාල මගින් පුද්ගලික වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යාමට ඒ මගින් අවස්ථාව සැලසීම නිසා එම තත්වය මගින් නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියේ මූලික මූලධර්ම පවා උල්ලංගනය වේ.
ඒ සියල්ලට ම වඩා මෙම නව පනත මගින් 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත අභිබවා ක්‍රියාකිරීමට කොතලාවල විශ්වවිද්‍යාලයට බලය පවරා ඇත. විශ්ව විද්‍යාල පනතේ 28 වන වගන්තියේ විධිවිධාන වලට පටහැනිව වුව ද උපාධි පිරිනැමීමේ බලය නව පනත් මගින් ලබාගෙන ඇත. ඒ අනුව මෙම නව පනත මගින් ඇතිකරන තත්වය සයිටම් නමින් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමේදී තිබූ තත්වයට වඩා නිදහස් අධ්‍යාපනයේ මූල ධර්ම වලට හානිදායක බව පැහැදිලිව පෙනේ. ඒ අතර මෙම පනත අනුව විශ්ව විද්‍යාලයේ උපකුලපති ධූරයට ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත් කළ යුතු වේ. එම නිලධාරියා තත්කාලීනව හමුදා සේවයේ නියුක්ත වූවකු බැවින් ඔහුට සිය නිල ඇදුම අදිමින් උප කුලපති පුටුවේ වාඩිවීමේ හැකියාව ලැබේ. ඒ අනුව එම තත්වය ද මීට පෙර මෙවැනි පුළුල් බලතල සහිත විද්‍යාලයක දක්නට ලැබුණු තත්වයක් නොවේ. ඊට අමතරව විශ්ව විද්‍යාලයේ පාලක සභාවේ සාමාජිකයින් 9 දෙනා අතරින් 7 දෙනෙකු ආරක්ෂක හමුදා සහ ආරක්ෂක අමාත්‍යංශය නියෝජනය කරයි. එම තත්වය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ආරක්ෂක හමුදා වලට අධ්‍යාපන අවස්ථා ලබා දීමට සීමා වන තත්වයකදී ගැටළුවක් නොවූව ද එම ආයතනයට ලබා දෙන නව බලතල අනුව එය විශේෂ තත්වයකි.
මෙම පනත සකස් කළ පුද්ගලයන්ට එම සමස්ථ ක්‍රියාවලියට මුල්වූ හේතු පිළිබඳව ගැඹුරු දේශපාලන අවබෝධයක් නොමැති බව ඉතා පැහැදිළිය. රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට මෙන්ම සයිටම් නම් වූ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දියත් වූ ශිෂ්‍ය සටන් පිළිබඳව සහ ඊට අදාළව සිසුන් පමණක් නොව රටක් ලෙසද ගෙවා ඇති මහා වන්දිය පිළිබඳව නිවැරදි කියවීමක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට නොමැතිවීම පුදුමයට කරුණක් නොවේ. ඊට හේතුව එම අවස්ථා දෙකේදීම ඔවුන් විත්තිකරුවන්ගේ භූමිකාව රඟදැක්වීමය. නමුත් එම අවස්ථාවලදී පැමිණිලිකරුවන්ගේ සහ යම් විටෙක විනිශ්චයකරුවාගේ භූමිකාව රඟ දක්වන ලද වර්තමාන ආණ්ඩුවේ පාර්ශව කරුවන්ට එක්සත් ජාතික පක්ෂ රජයක් විසින් පවත්වාගෙන යනු ලැබූ මූලික ප්‍රතිපත්තිමය වරදක් සාධාරණීකරණය කිරීමට හෝ තවදුරටත් පවත්වාගෙන යාමට කිසිඳු සදාචාර බලයක් නොමැති බවට විවාදයක් නැත. එහිදී කණගාටුදායක තත්වය වන්නේ එපමණ විශාල වන්දියක් ගෙවා ඇති තත්වයක් යටතේ පවා පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳව පොදු එකඟතාවයක් ඇති කර ගැනීමට ජාතියක් ලෙස අප අසමත් වීමය.
පුද්ගලික විශ්වවිද්‍යාල, විශේෂයෙන්ම පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳව සමාජයේ විවිධ පාර්ශව වලින් සහ විශේෂයෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ගේන් එල්ල වන විරෝධය ආණ්ඩු විරෝධයක් ලෙස සලකා කටයුතු කිරීම නිස ඒ පිටුපස පවතින ගැඹුරු සත්‍යය තේරුම් ගැනීමට අපහසු වේ. එම විරෝධය ඓතිහාසික කාරණා මත පදනම් වන්නකි. අප රටේ බෞද්ධ සභ්‍යත්වය තුළ වෙදකම සහ ගුරුකම දෙවැනි වූයේ භික්ෂූත්වයට සහ රජකමට පමණි. ලෝකයේ කිසිඳු ශිෂ්ඨාචාරයක නොපැවති ආකාරයට අප රටේ ඓතිහාසිකව පොදු මහජන යහපත මුල්කර ගත් සහ වාණිජ අරමුණු වලින් ව්‍යුක්ත වූ අධ්‍යාපන සහ සෞඛ්‍ය පද්ධති අඛණ්ඩව පවත්වාගෙන එනු ලැබීය. යටත් විජිත පාලකයින් පවා ඒ ඓතිහාසික සත්‍යය පිළිගනිමින් කටයුතු කළ බව සත්‍යයකි. නිදහස් අධ්‍යාපනයට අදළව 1943 දී කන්නන්ගර ශ්‍රීමතානන්ගේ මූලිකත්වයෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්තිය එම ඓතිහාසික ක්‍රියාවලියේ ඉතා තර්කානුකූල වර්ධනයකි. අප රටේ යම් කාලයක් නාමිකව පැවති බටහිර වෛද්‍ය සේවා පොදු මහජනයාට සමීප වන්නේ ක්‍රමානුකූලව නිදහස් අධ්‍යාපනයේ වර්ධනයට සාපේක්ෂවය. අප රටේ වෙනත් කිසිඳු රටක නොමැති ආකාරයට නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය ව්‍යුහාත්මකව ඒකීයව බැඳී ඇත. නිදහස් අධ්‍යාපනයට එල්ල කරනු ලබන කුමන හෝ ප්‍රහාරයක් මඟින් අවසානයේදී නිදහස් සෞඛ්‍ය සේවයට තුවාල සිදුවේ. අප රටේ සාපේෂව ඉතා අඩු පිරිවැයක් ජාතික මට්ටමින් සමානාත්මතාවය තහවුරු කෙරෙන ආකාරයට නිදහස් සෞඛ්‍ය සේවය පවත්වාගෙන යාමට හැකි වී ඇත්තේ නිදහස් අධ්‍යාපනයට පින් සිදු වන්නටය.
පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේදී වෙනත් කිසිඳු පාඨමාලාවකට වඩා ආකාර දෙකකට අප රටේ ඓතිහාසිකව පැවති අධ්‍යාපන සහ සෞඛ්‍ය පද්ධතිවලට අගතියක් සිදුවේ. එක් පැත්තකින් පුද්ගලික විශ්ව විද්‍යාලයකින් බිහිවන වෛද්‍යවරයෙකු විසින් නිදහස් සෞඛ්‍ය සේවයට ලබා දිය යුතු දායකත්වය අධ්‍යාත්මිකව අනිවාර්ය නොවේ. අනෙක් පැත්තෙන් ගත් විට මුදල් අයකරමින් වෛද්‍යවරුන් පුහුණු කරන ආයතනයකට නිදහස් සෞඛ්‍ය සේවය සතු සම්පත්, දේපළ හෝ රෝගීන් නොමිලේ හෝ මුදල් ගෙවා භාවිතා කිරීමට ඉඩ දීම මගින් මූලධාර්මික වරදක් සිදු වේ. මුදල් අය කරමින් සහ ලාභ ඉපයීම මුල්කරගෙන පවත්වාගෙන යනු ලබන පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක ඉගෙනුම් කටයුතු සඳහා නිදහස් සෞඛ්‍ය සේවය භාවිතා කිරීමේදී ඒ සඳහා රජයට මුදල් ගෙවීම මගින් වඩා නරක තත්වයක් එනම් සදාචාර ප්‍රශ්නයක් ඇතිවේ. ඒ අනුව ලාභ නොලබන ආයතනයක් වුවද ඉගෙනීම සඳහා මුදල් අය කරන තත්වයක් තුළ නිදහස් සෞඛ්‍ය සේවය එම ක්‍රියාවලියට යොදා ගැනීම සදාචාර සම්පන්න නොවේ. අප රටේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේදී සහ ඒ සඳහා රජයේ රෝහල් භාවිතා කිරීමේදී ඓතිහාසිකව පවතින විරෝධය තේරුම් ගත යුත්තේ මෙම සුවිශේෂී මහා පින්තූරය සැලකිල්ලට ගනිමිනි.
ඒ අනුව යමෙකුට යම් විකල්පයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ. එනම් අදාළ වෛද්‍ය විද්‍යාලය මගින් ශික්ෂණ රෝහලක් පවත්වාගෙන යාමය. එහෙත් එවැනි තත්වයකදී පවා නිදහස් සෞඛ්‍ය සේවයේ මූලධර්ම වලට අනුව එම රෝහල අදාල පුද්ගලික ආයතනයේ වියදමින් නිදහස් සෞඛ්‍ය සේවාවක් ලෙස පවත්වාගෙන යාමට සිදුවේ. එසේම එම රෝහලට නිදහස් සෞඛ්‍ය සේවයේ සෙසු රෝහල් පද්ධතිය යොදා ගැනීමෙන් තොරව සෑම මට්ටමකම සේවා සැපයීමට හැකියාව තිබිය යුතුය. එවැනි තත්වයකදී අප රටේ වෛද්‍ය අධ්‍යාපනය සදහා අය කරනු ලබන ගාස්තු ලෝකයේ පවතින ගාස්තු අතර ඉහළම මට්ටමකට ලගා වනු ඇත. අප රටේ වෛද්‍ය අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමට මුල් වූ සියලු පිරිස් ඊට දායක වූයේ ඉහළ ලාභය යන සාධකය මුල්කරගෙනය. ඒ නිසා එවැනි තත්වයක් කිසිසේත්ම ප්‍රායෝගික වන්නේ නැත. එසේනම් ඉන්දියාව වැනි රටක් සාපේක්ෂව අඩු මුදලට වෛද්‍ය අධ්‍යාපනය ලබාදෙන්නේ කෙසේදැයි යමෙකුට ප්‍රශ්න කළ හැක. ඊට දියහැකි පිළිතුර ඉතා සරලය. එවැනි රටවල අප රටේ මෙන් නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපන පද්ධති මහජන බදු මුදලින් පවත්වාගෙන යන්නේ නැත. එවැනි තත්වයක් තුළ එවැනි රටකදී ඉහත සදහන් කළ අප රටේදී පැන නගින සදාචාර හෝ ආධ්‍යාත්මික ගැටළුව පැන නගින්නේ නැත.
මෙම සියලු තර්ක වැදගත් වන්නේ වෙනත් විෂයන්ට අදාලව පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිළිබද විරෝධය නොදක්වන පිරිස් පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට පමණක් විරුද්ධ වන්නේ කුමක් නිසාදැයි ප්‍රශ්න කළහොත් පමණි. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය මූලධාර්මිකව පිළිගන්නා අයෙකුට කිසිදු ආකාරයකට මුදල් අය කරන අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවාවන් පිළිගැනීමට හැකියාවක් නැත. එම තත්වය කිසිදු රටක ප්‍රායෝගිකව පවතින තත්වයක් නොවේ. ඒ නිසා මෙම ඓතිහාසික සංකීර්ණ ගැටළුව පිළිබදව පොදු ජාතික එකගතාවයක් ඇති කර ගැනීම සහ අනාගතයේදී එම පිළිගැනීම් ව්‍යවස්ථාගත කිරීම ද වැදගත්වේ.
එහිදී තවත් අතුරු තර්කයකටද පිළිතුරු ලබා දීමට සිදුවේ. එනම් දේශීයව පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම මගින් විදේශීය වෛද්‍ය උපාධි සඳහා දෙමාපියන් පුද්ගලිකව වැය කරන මුදල් විශේෂයෙන්ම දේශීය විනිමය, රට තුළ ඉතිරි කර ගැනීම යන තර්කයට පිළිතුරු ලබා දීමට සිදු වේ. එහිදී විදේශ ගත වූ ශ්‍රී ලාංකිකයින් තමා උපයන විදේශ විනිමය වැයකොට තම දරුවන්ට විදේශයකදී වෛද්‍ය අධ්‍යාපනය ලබා දීම පිළිබඳව කිසිවෙකුට ගැටළුවක් තිබිය නොහැක. මේ වන විට එවැනි අයට දේශීයව රජයේ වෛද්‍ය පීඨ වල යම් සුළු ප්‍රතිශතයක් වෙන්කොට ඇති අතර යම් ගෙවීමක් විදේශ විනිමය මඟින් සිදු කිරීමටද ප්‍රතිපාදන පනවා ඇත. කෙසේ වෙතත් විදේශීය වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව ප්‍රශ්ණයක් මතු වන්නේ නම් ඒ විදේශ අධ්‍යාපනය සඳහා වැය කරන මුදල් දෙමාපියන්ගේ පුද්ගලික කැමැත්ත මත සිදු කළද ඒ සඳහා රටේ විදේශ විනිමය වැය කිරීම පිළිබඳවය. ඒ පිළිබඳ විදේශ විනිමය සංචිත අනුව රජයට තීන්දුවක් ගැනිමට සිදු විය හැක. නමුත් දෙමාපියන්ගේ පුද්ගලික උවමනාව මත රට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවිය යුතුය යන තර්කය මහා ප්‍රශ්ණයට සාපේක්ෂව කිසිසේත්ම සාධාරණ නොවේ.
අප රටේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පවතින විරෝධය ඉහත සඳහන් කළ ආකාරයට ඓතිහාසික සභ්‍යත්ව උරුමය සහ වටිනාකම් පද්ධතිය සමඟ මෙන්ම නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය පිළිබඳව තත්කාලීනව පවතින මතවාද සමඟ බැඳී ඇත. එම විරෝධය ප්‍රචණ්ඩ ආකාරට ප්‍රකාශයට පත් වීම නිසා අප රටේ වෛද්‍ය සිසුන් 34 දෙනෙකු සහ විශ්ව විද්‍යාල සිසුන් සිය ගණනින් ජීවිත පූජා කොට ඇති බව අමතක නොකළ යුතුය. ඒ නිසා අප රටේ පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට ඉඩක් නැත යන ජාතික ප්‍රතිපත්තිය පිළිගැනීමට පාලකයින් අසමත් වේ නම් තවත් සිසු ජීවිත බිලි ගනිමින් පාඩම් ඉගෙන ගැනීමට සිදු වනු ඇත. කොතලාවල විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරනු ලබන්නේ මූලික වශයෙන් ඉතා ලාභදායි ව්‍යාපාරයක් වන පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම සඳහා බව ඉතා පැහැදිළිය. ඒ නිසා ඉහත සඳහන් කළ මහා පින්තූරය තේරුම් ගැනීමෙන් තොරව සහ ඊට ගරු කිරීමෙන් තොරව කොතලාවල විශ්ව විද්‍යාල පනත නමින් ගෙන එන කූඨ නීති සංශෝධනය සම්මත කිරීමට වර්තමාන පාලකයින් ක්‍රියාකළහොත් සිසුන්ට මෙන්ම ඔවුන්ටද බරපතල වන්දියක් ගෙවීමට සිදුවනු ඇත. ඒ බව තේරුම් ගැනීමට දිව්‍ය ඥාණයක් අවශ්‍යද?
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...