USAID : ජනමාධ්‍ය න්‍යාය පත්‍රය වෙත මැදිහත්වීම
USAID හි ඓතිහාසික ගමන් මඟ හා දිශානතිය විශ්ලේෂණය කර බැලීමේදී එය ලෝකයේ විවිධ රටවල් විෂයෙහි ක්‍රියාත්මක වී ඇති – මැදිහත් වී ඇති පරාසය ඉතා පුළුල්ය. එබඳු පසුබිමක ඇමරිකානු භූ දේශපාලන න්‍යාය පත්‍රයට අවශ්‍ය ලෙස එම රටවල් හැසිරවීම බරපතළ ලෙස සිදු කර ඇති හා සිදු කරමින් ඇති බව පෙනේ. මේ සඳහා ලෝකයේ විවිධ රටවලින් උදාහරණ හමුවන අතර, මෙම සිදුවීම් මගින් USAID ආයතනයේ සැබෑ ස්වභාවය මනාව නිරාවරණය කරයි.
කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ සමග දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් ලොව ප්‍රකට ග්රන්ථයක් සම්පාදනය කළ ඉග්නාෂියෝ රැමොනේ සඳහන් කරන ආකාරයට, “ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවේ රැඳී සිටින කස්ත්‍රෝ විරෝධී බලවේග ශක්තිමත් කිරීමට 1996 වසරේ සිට USAID ආයතනය ඇමරිකන් ඩොලර් මිලියන 65ක් පරිත්‍යාග කොට ඇත. ඍජුවම එක්සත් ජනපද රජයෙන් USAID ආයතනය යැපෙන අතර, කස්ත්‍රෝ විරෝධී කණ්ඩායම්වලට ආධාර වැඩි කිරීමක් වශයෙන් 2004 මැයි මාසයේදී බුෂ් පරිපාලනය විසින් ඇමරිකන් ඩොලර් මිලියන 80ක් ලබා දී ඇත. කියුබාව සම්බන්ධව ව්‍යාජ ප්‍රචාර කිරීම වෙනුවෙන් එක්සත් ජනපද රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියන ගණනින් මුදල් පොට්ටනි ලබන ලොව පුරා විසිරී සිටින මාධ්‍යකරුවන් ගණන සුලු පටු නැත.”
මෙහිදී ලංකාව සම්බන්ධවද හඳුනාගත යුතු ඉතා වැදගත් කාරණයක් තිබේ. එනම් USAID ආයතනයේ අනුග්‍රහය යටතේ මෙරට තරුණ ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීමේ වැඩසටහන්, පුහුණු වැඩමුළු පැවැත්වෙන අතර, මේවාට ඉල්ලුම් කිරීම සඳහා වන දැන්වීම් පුවත්පත්වල වරින් වර පළ කෙරේ. පුරවැසි මාධ්‍යවේදය, සමාජ මාධ්‍ය සංදේශ සකස් කිරීම, කෙටි වාර්තා චිත්‍රපට – වැඩසටහන් නිර්මාණය කිරීම, ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම ආදී විෂය රාමුවක් යටතේ ලබා දෙන මෙම පුහුණු මගින් ඇමරිකානු දැක්මට අනුව මොළ සෝදාගත් ජනමාධ්‍ය පරම්පරාවක් මෙරට තුළ රහසේ ගොඩනඟමින් පවතින අතර, මෙරට දේශපාලනය තුළ තීරණාත්මක මොහොතක මේ පරම්පරාව වැඩට බසිනු ඇති බවට කිසිදු සැකයක් නැත. විශේෂයෙන්ම නූතන දේශපාලන සන්නිවේදනය තුළ ‘සමාජ මාධ්‍ය භූමිකාව’ තීරණාත්මක සාධකය වී ඇති ජාතික හා අන්තර්ජාතික පසුබිමක මෙම USAID අනුග්‍රහය යටතේ මෙරට තුළ නිර්මාණය වන මාධ්‍ය ප්‍රවණතාව අවතක්සේරු කළ යුත්තක් නොවේ.
USAID : අධ්‍යාපන අන්තර්ගතය සැකසීම
USAID ආයතනයේ මැදිහත්වීම් පරාසය කෙතරම් පුළුල් හා දීර්ඝකාලීන අරමුණු සහිතද යන්න එය සිය ඉලක්කගත රටවල සමාජ – සංස්කෘතික කතිකාවට සිදු කරන මැදිහත්වීම්වලින් පෙනේ. මෙහිදී යම් රටක අධ්‍යාපනයට මැදිහත්වීම සම්බන්ධව සුවිශේෂ උදාහරණයක් ඇෆ්ගනිස්ථානයෙන් හමු වේ. මහාචාර්ය මුහම්මද් මම්දානි සඳහන් කරන ආකාරයට, “1980 ගණන්වලදී මුජහිදීන්වරු ඇෆ්ගනිස්ථානය සඳහා අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කළහ. මෙහි ළමයින්ගේ පෙළ පොත් සැලසුම් කිරීමේදී ලැබුණු ඇමරිකානු ආධාර ගැන නිදසුනක් පර්වේස් හුඩ්භෝයි ඉදිරිපත් කරයි. ඒ අනුව මෙම කාර්යය සඳහා 1986 සැප්තැම්බර් සිට 1994 ජූනි දක්වා USAID ප්‍රදාන යටතේ නෙබුස්කා විශ්ව විද්‍යාලයට ඇමරිකන් ඩොලර් මිලියන 50ක් ලැබී තිබිණි. තුන්වන ශ්‍රේණියේ ගණිතය පෙළ පොතේ මෙසේ දැක්වේ. ‘එක් මුජහිදීන් කණ්ඩායමක් රුසියානු භටයින් 50කට පහර එල්ල කරයි. එම ප්‍රහාරයේදී රුසියානු භටයෝ 20ක් මිය ගියහ. රුසියානුවන් කී දෙනෙක් පළා ගියේද?’
සිව්වන ශ්‍රේණියේ පෙළ පොතක මෙසේ සඳහන් වේ. ‘කලෂ්නිකෝව් (සෝවියට් දේශයේ නිෂ්පාදිත අර්ධ ස්වයංක්‍රීය මැෂින් තුවක්කුවක්) උණ්ඩයක වේගය තත්පරයට මීටර් 800කි. රුසියානුවකු මුජහිදීන්වරයකුට වඩා මීටර් 3200ක් ඈතින් සිටී. මුජහිදීන්වරයා රුසියානුවාගේ හිසට ඉලක්කය අල්ලා වෙඩි තබයි. උණ්ඩය රුසියානුවාගේ නළල පසාරු කරගෙන යාමට තත්පර කීයක් ගත වේදැයි ගණනය කරන්න.’
මෙම වැඩසටහන 1994 දී අවසන් වුවද පොත් බෙදාහැරීම අඛණ්ඩව සිදු විය. තම සතුරාගේ ඇස් උගුල්ලා දැමීමට, දෙපා කපා දැමීමට ඇෆ්ගන් දරුවන් දිරිගන්වන, එක්සත් ජනපද අනුග්‍රහය යටතේ රචිත පෙළ පොත් තවමත් එහි මුල් ස්වභාවයෙන්ම පාකිස්ථානයේ සහ ඇෆ්ගනිස්ථානයේ බහුලව තිබේ.” (‘ත්රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය’, මහාචාර්ය මුහම්මද් මම්දානි – අනුවාදය, උදිත අලහකෝන්)
2000 පමණ වන තුරු අපේ රටේ උසස් අධ්‍යයන ක්ෂේත්රය තුළ ‘ගැටුම් නිරාකරණය’ යනුවෙන් විෂයයක් එතරම් ප්‍රචලිතව නොපැවතිණි. 1990 දශකයේ මැද භාගයේ පමණ, මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න විසින් කැලණිය විශ්ව විද්‍යාලයට මෙම විෂයය හඳුන්වා දෙන ලදී. දෙදහස් ගණන්වල මුල් භාගය වන විට මෙරට තවත් විශ්ව විද්‍යාල කිහිපයකම ගැටුම් අධ්‍යයනය ආශ්රිත පාඨමාලා ඇරඹිණි. මීට සමාන්තර සමකාලීන ලාංකේය දේශපාලන සන්දර්භය සැලකූ විට උතුරු නැඟෙනහිර යුද්ධය හා සම්බන්ධව රාජ්‍ය නොවන සංවිධාන විසින් මේ වන විට ප්‍රබල භූමිකාවක් නිරූපණය කරන්නට පටන්ගෙන තිබූ අතර, ගැටුම් අධ්‍යයනය – ගැටුම් නිරාකරණය – ගැටුම් කළමනාකරණය වැනි මාතෘකා වඩාත්ම සාකච්ඡා වූයේ මෙම රාජ්‍ය නොවන සංවිධාන හා සබැඳි කතිකාව තුළ ය. මෙම රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධව කටයුතු කළ මෙරට විශ්ව විද්‍යාලවල දේශපාලන විද්‍යා හා සමාජ විද්‍යා අධ්‍යයන අංශවලට සම්බන්ධ ආචාර්යවරුන් විසින් මෙම විෂය ක්ෂේත්රය විශ්ව විද්‍යාල අධ්‍යයන ක්ෂේත්රයට ඇතුළත් කිරීමට කටයුතු කරන ලදී. අද වන විට මෙම ‘ගැටුම් අධ්‍යයනය’ විෂයට අදාළ ඇතැම් කරුණු මෙරට පාසල් විෂය මාලාවට පවා ඇතුළත් කර තිබේ. මේවා මෙසේ සිදුවීම පිටුපස ඇති හස්ථයන් කෙබඳුදැයි, සෙසු රටවල මීට සමාන්තර සිද්ධීන් ඇසුරෙන් අනුමාන කළ හැකිය.
අතීත ඓන්ද්‍රීය අත්දැකීම් රහිතව, කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම හුදු අතීත සිදුවීමක් පමණක් ලෙස හඳුනාගන්නා අපේ රටේ පසුකාලීන ශිෂ්‍ය පරම්පරාව තුළ මෙම සිවිල් යුද්ධය, ගැටුම් කළමනාකරණ විෂය ප්රවේශයකින් දකින විට, එය එසේ යුදමය වශයෙන් පරාජය නොකොට ‘අන්තර්ජාතික මැදිහත්කරුවන්’ හරහා සමථයකට පත් කරගත හැකිව තිබූ ගැටුමක් ලෙස හඳුනාගන්නා අතර, ඊට රටක් ලෙස ගෙවීමට සිදුවන වන්දිය කෙබඳුදැයි ඔවුන්ට අදාළ නොවේ. ‘සාම ප්රවේශයකින්’ මෙයට මැදිහත් වූ අන්තර්ජාතික පාර්ශ්ව (මෙම විෂය තුළ ‘තෙවන පාර්ශ්වය’ලෙස හැඳින්වෙන) මෙම විෂය තුළ සාධාරණීකරණය වන අතර, එම ‘තෙවන පාර්ශ්වයේ මැදිහත්වීම’ නොතකා හැර එම ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කරමින් ශ්‍රී ලංකා රජය වරදක් කළ බවට මනෝභාවයක් නිර්මාණය කරයි. මෙබඳු මතවාදයක් අවශ්‍ය වන්නේ කාහටද යන්න, අදටත් ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩ කළ බවට චෝදනා කරමින් ඊට එරෙහිව අන්තර්ජාතික තලයේ ක්‍රියාකරන ඇමරිකා එක්සත් ජනපදය හා ඊට අනුගත සංවිධානවල චර්යාවන් දෙස බැලීමෙන් හඳුනාගත හැකිය. එබඳු මතවාදයක්, එබඳු මනෝභාවයක් මෙරට පසුකාලීන පරම්පරා තුළ ගොඩනඟා තිබීම දීර්ඝ කාලීන වශයෙන් ගත්විට මෙරට තුළ USAID ආයතනයේ අනාගත උපායමාර්ගික ව්‍යාපෘති සඳහා ආයෝජනයක් වනු ඇති බව නිසැකය.
USAID : දශක හයක ශේෂ පත්‍රය
මේ අනුව ගත් විට දශක හයක් (1961 -2021) තිස්සේ අපේ රට ඇතුළු පරිධියේ රාජ්‍යවල දේශපාලන – ආර්ථික – සංවර්ධන – සමාජ සංස්කෘතික න්‍යාය පත්‍රය සකස් වී ඇත්තේ අඩු වැඩි වශයෙන් මෙම USAID ආයතනය විසින් පුළුල් පරාසයක ක්‍රියාත්මක කර ඇති හා කරමින් තිබෙන එක්සත් ජනපද භූ දේශපාලන උපාය මාර්ගය තුළ පැහැදිලිව පෙනේ.
ජ්‍යෙෂ්ඨ නීතීඥ ගෝමීන් දයාසිරි මහතා සමග 2008 වසරේදී මෙම ලියුම්කරු විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔහු දක්වන ලද අදහසක් මෙහිදී නැවත සඳහන් කිරීම අවශ්‍ය වේ. “ සීඅයිඒ වැනි ඔත්තු සේවා සංවිධාන නිල වශයෙන් කරන ලද සමහර කාර්යයන් මේ වන විට සමහර රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉටු කරමින් සිටී. මෙම රාජ්‍ය නොවන සංවිධාන යැපෙන්නේ බටහිර රාජ්‍යවල අරමුදල් හෝ ඒ රටවල බහුජාතික සමාගම්වලින් ලැබෙන මුදල්වලිනි. මෙම රාජ්‍ය නොවන සංවිධාන නිල වශයෙන් රටකට ඇතුළු වන්නේ එම රටට කිසියම් සේවයක් කිරීමට බව පැවසුවද, ඒවායේ නියම අරමුණ වන්නේ හැකි තාක් දුරට එම රට තුළ තමන්ට අවශ්‍ය දේශපාලනික, ආර්ථික හෝ ඇතැම්විට ආගමික විශ්වාස ප්‍රචලිත කිරීමයි. බටහිර බලපෑම් ඇති නොයෙක් රටවලට එම කාර්යය සඳහා යවන පළමු පෙළේ සොල්දාදුවන් වශයෙන් මෙම රාජ්‍ය නොවන සංවිධානවල ක්රියාකාරීකයින් සැලකිය හැකිය. ඔවුහු යම් රාජ්‍යයකට පැමිණි පසු ඒ රාජ්‍යය තුළ, සමාජය තුළ නොයෙකුත් අර්බුද ඇති කර, ඒ මගින් විදේශ සංවිධානවලට තොරතුරු සපයමින් එවැනි ඔත්තු සේවා සංවිධානවලට හා වෙළෙඳ සමාගම්වලට ඒවායේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ආධාර කරති.”
USAID ආයතනය සම්බන්ධව ගත් විට අදටත් මෙම කාරණය වලංගුය. පසුගියදා වාර්තා වූයේ ඇමරිකානු ජාතික හිටපු හමුදා නිලධාරීන් දෙදෙනකු සී.අයි.ඒ. සංවිධානයට සම්බන්ධ සංවිධානයක් වන USAID ආයතනය ඔස්සේ මෙරටට පැමිණ රහස් කටයුතුවල නිරත වී ඇති බවයි. ශ්‍රී ලංකා රජය මේ වන විට ගනිමින් සිටින දේශපාලන තීන්දු තීරණ සම්බන්ධව ඇමරිකා එක්සත් ජනපදයට පැහැදිලි ප්රතිවිරෝධයක් පවතින බව පැහැදිලිය. මෙහිදී කලාපීය දේශපාලන අවකාශය තුළ චීනයේ භූමිකාව පුළුල් වීමත්, චීනය සමග ශ්‍රී ලංකාවේ පවතින මිතුරු ගනුදෙනුවත් තුළ ඇමරිකාවට ලංකාව සම්බන්ධව ක්‍රියාත්මක කළ හැකි සැලසුම් නැවත කිරා මැන බැලීමක් අවශ්‍ය වී ඇති බවට සැකයක් නැත. උතුර තුළ නැවත තමන්ගේ ඉලක්ක සපුරාගත හැකි හා මෙරට අස්ථාවර කළ හැකි ප්‍රවේශයක් පාදාගැනීමට ඇමරිකාවට අවශ්‍ය බවට විවාදයක් නැත. එබඳු පසුබිමක මෙම ඇමරිකානු හමුදා නිලධාරීන් දෙදෙනාගේ ආගමනය පිළිබඳ පුළුල් හඳුනාගැනීමක් හා විශ්ලේෂණයක් අවශ්‍ය වන අතර, එය USAID ආයතනයේ පූර්ව මැදිහත්වීම් සම්බන්ධ විශාල චිත්‍රය තුළ තබා විශ්ලේෂණය කර ගත යුතුය.
බුද්ධි අංශ කාර්යභාරය කුමක්ද?
USAID ආයතනය සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නේ ඇමරිකානු ජාතිකයින් හරහා පමණක් නොවේ. ඒ ක්‍රියාන්විතය තුළ විවිධ නම්වලින් යුතු රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම, දේශීය විද්වතුන්, රාජ්‍ය නිලධාරීන්, පවතින රජයේ දේශපාලකයන් හා විපක්ෂයේ දේශපාලකයන්, ආර්ථික විශේෂඥයින්, ජනමාධ්‍යවේදීන්, විවිධ විෂය ක්ෂේත්රවල විශේෂඥයින් මෙන්ම පාවිච්චි කළ හැකි සියලු පුද්ගල චරිත පාවිච්චි කරනු ලැබේ. මෑතකදී අභාවයට පත් ලංකාවේ ‘සන්නිවේදන ගුරු’ ලෙස සම්භාවනාවට පත්ව සිටි විද්වතා එබඳු ඇමරිකානු න්‍යාය පත්රයකට වැඩ කළ නියෝජිතයකු බව එවක ප්‍රසිද්ධ රහසක් විණි.
මෙබඳු සන්දර්භයක ඇමරිකානු හිතවාදී නොවන දේශපාලන ආස්ථානයක සිටගන්නා රජයකට සිදුවන්නේ ‘ඇස් දහසක් – කන් දහසක්’ සහිතව, තියුණු බුද්ධිමය සංවේදීතාවක් සහිතව සිය දේශපාලන ගමන යාමටය. එහිදී පිටත සතුරා පැහැදිලිව හඳුනාගත හැකි නමුත් ඇතුළත සිට ක්‍රියාත්මක වන පිටත සතුරාගේ මිතුරා හඳුනාගැනීම පහසු නැත. ඒ මිතුරු වෙස්ගත් සතුරා පෙනෙන්නේ ‘වැඩේ පත්තු වූ’ විටය.
1990 දශකයේ මුල් භාගයේදී දයාසේන ගුණසිංහ මහතා සිය තීරු ලිපියක මෙසේ ලීවේය. “ලංකාවට ඇත්තේ ඔත්තු සේවාවන්ට වඩා පත්තු සේවාවන්ය. එසේ කියන්නේ අපහාසයට, උපහාසයට හෝ පරිහාසයට නොවේ. එම ඔත්තු සේවා බොහෝ විට ක්‍රියාත්මක වන්නේ පත්තු වූ පසුව බැවිනි… ඒ අතින් බලන විට අපේ ඔත්තු සේවාව අංජනම් දේවියට සහ හනුමාට පවරා දෙනවා නම් මීට වඩා කාර්යක්ෂම සේවයක් ලබා ගත හැකි වනු නිසැකය. ඒ සඳහා වැය වන්නේ අඳුනට හා බුලත් කොලයට යන මුදල පමණක් හෙයින් එන්.අයි.බී. හා සී.ඊ.බී. වැනි විවිධාකාර පත්තු සේවා සඳහා නිකරුණේ කැප කෙරෙන ධන සම්භාරය ද ඉතිරි කර ගත හැකිය. එසේ මුත් මෙය විහිලුවක් නොව ඉතා බැරෑරුම් දෙයකි. දෑස් දෙකන් නොමැති හමුදාවක් විසින් ආරක්ෂා කරනු ලබන යම් ජනතාවක් වෙතොත් එම ජනතාවද දංගෙඩිය ඉදිරියේ පෙළ ගැස්වූ සිව්පා සතුන් රංචුවක් වැනිය. ඔවුන්ගේ අවසාන ඉරණම අනිවාර්යය. එමෙන්ම පැහැදිලිය.”
ඔහු මෙසේ ලියන්නේ 1992 වසරේය. ඒ එවක තිබූ සන්දර්භය තුළය. නමුත් පසුකාලීනව අපේ බුද්ධි අංශ කෙතරම් ප්‍රබල තත්ත්වයකට පත් වී දැයි ඔප්පු කරනු ලැබුවේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙහි ලා බුද්ධි අංශ ලබාදුන් ඉහළතම දායකත්වයෙනි.
නමුත් අද පවතින සන්දර්භය තුළ මෙරට බුද්ධි අංශවල ක්‍රියාත්මක පරාසය වෙනස් තලයක් දක්වා පුළුල් කළ යුතුව තිබේ. USAID ආයතනය වැනි විදේශ ආධාර ලබන සංවිධාන මෙරටට මැදිහත්වන බහුවිධ ආකාර විශ්ලේෂණය කරගැනීම මෙරට බුද්ධි අංශවල දැනට පවතින විෂය රාමුවට කෙසේ අදාළ වන්නේ දැයි අපි නොදනිමු. කෙසේ වෙතත් එවැනි විෂයයක් මෙරට බුද්ධි අංශවල විෂය පරාසයට අනිවාර්යෙන්ම අවශ්‍ය බව අපි යෝජනා කරමු.
නූතන ලාංකේය හා අන්තර්ජාතික දේශපාලන සන්දර්භයේ ස්වභාවය සම්බන්ධව කියැවීමක් නැති – අවබෝධයක් නැති, දුර දැක්මක් නැති, දේශපාලකයින් සාතිශය බහුතරයක් අරක් ගෙන සිටින (මේ අතර විදේශ ඔත්තු සේවාවලට අවැසි නියෝජිත භූමිකාව ඉටු කරන පක්ෂ – විපක්ෂ මහජන නියෝජිතයින්ද සිටින බව ඔවුන්ගේ දේශපාලන තීන්දු තීරණ ගැනීම් හා දේශපාලන හැසිරීම් පිළිබඳ විශ්ලේෂණයකදී හඳුනාගත හැකිය.) පාර්ලිමේන්තුවට වඩා, පුරවැසියන් වශයෙන් විශ්වාසය තැබීමට සිදුවන්නේ ‘ඇස් කන් ඇරගත් බුද්ධි අංශ යාන්ත්‍රණයක්’ වෙත ය. මෙහිදී ‘පුද්ගල බද්ධ හෝ දේශපාලන පක්ෂ හෝ න්‍යාය පත්රවලට’ වඩා රට වෙනුවෙන් වූ න්‍යාය පත්‍රයක් ඒවාට වඩාත් අවශ්‍ය යැයි අප විශ්වාස කරන්නේ USAID වැනි විදේශාධාර යටතේ ක්‍රියාත්මක වන ආයතන හරහා දියත් වී ඇති, දියත් වන හා දියත්වීමට නියමිත කුමන්ත්රණවලින් පරාජය වන්නේ පුද්ගලයකු හෝ කණ්ඩායමක් හෝ නොව රට බැවිනි. එසේ පරාජය වුවහොත් අපට කනගාටුවෙන් වුවත් කීමට සිදුවන්නේද ‘ලංකාවට ඇත්තේ ඔත්තු සේවාවන්ට වඩා පත්තු සේවාවන්’ බවය.
ප්‍රභාත් චින්තක මීගොඩගේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...