“ජූලියේ ගිනි දැයට වින කළ දා
අසරණව අප සැවොම ඉකිබින්දා
අපේ කඳුළැල් ඔබ නොදුටු හින්දා
ඔබත් වියරුව අපට ගිනි බින්දා
වෛරයෙන් වෛරයම ලුහු බැන්දා”
මේ පද පෙළ ඇතුළත් වන්නේ මහාචාර්ය අතුල සුමතිපාලයන් විසින් ලියන ලද ගීතයකය. 1983 කළු ජූලිය පිළිබඳ ප්‍රති විශ්ලේෂණයක් සඳහා මේ පදවැල් ඉතා උචිත ප්‍රවේශයක් සපයයි. 1983 පිළිබඳව සාම්ප්‍රදායිකව ලියැවුණු හා ලියැවෙන බොහෝ දේ, පුද්ගල අත්දැකීම්, විග්‍රහ ආදිය කොතෙකුත් දැකිය හැකි නමුත් මෙතෙක් මේ සම්බන්ධව සාකච්ඡා වී නොමැති යටි පෙළක් මේ 1983 ජූලි සිදුවීම් හා සබැඳී පවතින අතර එය විමර්ශනය කිරීම මෙම ලිපියේ අරමුණයි.
1983 ජූලි යනු ලාංකේය ඉතිහාසයේ හැරුම් ලක්ෂ්‍යයකි. වෙනත් ලෙසකින් කිවහොත් 1983 ජූලි මස 23 වන දාට පෙර ලංකාව හා 1983 ජූලි මස 23ට පසු ලංකාව යනු දෙකක් මිස එකක් නොවේ. ඒ මෙරට ජාතික ගැටලුව, ජාතික රාජ්‍ය සීමාව හා කලාපීය සීමාව ඉක්මවා ලෝක දේශපාලන සිතියම තුළ ස්ථානගත කිරීම සිදුවන්නේ 1983 ජූලි මස සිදුවීම් හේතුවෙන් බැවිනි.
1983ට පෙර ජාතික ගැටලුවේ හැඩය
මෙරට සිංහල හා දෙමළ ජාතිකත්ව දෙක පදනම් කරගත් ජාතික ගැටලුව 1983 ජූලි 23ට පෙර හුදු ජාතික රාජ්‍ය සීමාව තුළ දැල්වෙමින් නිවෙමින් යළි දැල්වෙමින් පවතින ගිනි පුපුරක් සේ පැවතිණි. 1958, 1977 හා 1981මෙම ගිනි පුපුර සාපේක්ෂව තදින් ඇවිලුණු අවස්ථා තුනක් වූ නමුත් ඒ සිදුවීම් විදේශ රටවලට මැදිහත්විය හැකි තරම් මට්ටමකට වර්ධනය වූ ඒවා නොවිණි. කෙසේ වුවත් මෙරට තුළ පවතින මේ ජාතිවාදී ගිනිපුපුර හඳුනාගත් බටහිර බලවේග ‘රෙඩ්බානා’ වැනි රාජ්‍ය නොවන සංවිධාන හරහා මෙරට දෙමළ බෙදුම්වාදය පෝෂණය කිරීමේ ව්‍යාපෘති 70 දශකය වන විට ආරම්භ කරන්නට පටන්ගෙන තිබිණ. එහෙත් අන්තර්ජාතික ජනමාධ්‍ය න්‍යාය පත්‍රය තුළ උණුසුම් ප්‍රවෘත්තියක් වන ‘තුන්වන ලෝකයේ රටක සිවිල් යුද්ධයක්’ වශයෙන් යුරෝ – ඇමරිකා සමාජ මනෝභාවයට දැනෙන ලෙස අර්ථ ගැන්විය හැකි පරිමාණයට එය වැඩී නොතිබිණ.
1976 වසරේදී පමණ සිට කොටි සංවිධානය සිය ත්‍රස්ත ක්‍රියාකාරකම් ආරම්භ කර තිබුනද, උතුරේ වේදිකාව තුළ තවත් දේශපාලන සංවිධාන හා දෙමළ සටන්කාමී සංවිධාන ගණනාවක් ක්‍රියාත්මක වූ බැවින් කොටි සංවිධානය එතරම් කැපී පෙනුනේ නැත. කොටි ඇතුළු මෙම දෙමළ සංවිධානවල ක්‍රියාකාරීත්වයට දෙමළ සමාජය තුළ සාධාරණීකරණයක් ලැබී තිබූ නමුත්, මේ සඳහා සාමාජිකයින් බැඳුනේ දුරාවාරයේය. එසේ බැඳුණු සාමාජිකයින් බහුතරය දෙමළ සමාජයේ පහළ තීරු නියෝජනය කළ වුන්ය. ශ්‍රී ලංකා රජය සමග දේශපාලන අරගලයකින් සිය අයිතීන් දිනා ගැනීම හා ශ්‍රී ලංකා රජය සමග සන්නද්ධ අරගලයකින් සිය අයිතීන් දිනා ගැනීම යන කතිකා දෙක සාපේක්ෂව සමාන තලයක උතුරේ දේශපාලනය තුළ මතුව තිබිණි. එසේම මෙම කතිකා දෙකටම අදාළව ඉන්දියානු සාධකයේ මැදිහත්වීම අඩු වැඩි ප්‍රමාණයෙන් එවක සිදු වෙමින් පැවතිණි. වෙනත් ලෙසකින් කිවහොත් ඉන්දියාව මෙම කතිකාවන් දෙකට අදාළ සංවිධාන, මතවාදී වශයෙන්ද, භෞතික වශයෙන්ද පෝෂණය කිරීමට කටයුතු කරමින් තිබිණි. එහිදී ලංකාවේ එක්සත් ජනපද හිතවාදී ජයවර්ධන ආණ්ඩුව පාලනය කිරීමේ ‘දේශපාලන නිලය’ ලෙස උතුරේ දෙමළ ප්‍රශ්නය ඉන්දියාව විසින් අර්ථ කථනය කරගෙන තිබිණ. ඒ නිසා ඉන්දියානු විදේශ ප්‍රතිපත්තියේ නිශ්චිත තැනක් ලංකාවේ මෙම ප්‍රශ්නයට හැම විටම වෙන් වී පැවතිණි.
කෙසේ වතුදු එක්සත් ජනපදයේ අන්තර්ජාතික භූ දේශපාලන උපාය මාර්ගික සැලසුම්හි, දකුණු ආසියානු කලාපය තුළ ලංකාවේ භූ දේශපාලන වැදගත්කම පිළිබඳව සාකච්ඡාව 70 දශකයේ අගභාගය වන විට නිර්මාණය වී තිබිණ. එවකට එක්සත් ජනපද විරෝධී හා සෝවියට් හිතවාදී ආස්ථානයක සිටි ඉන්දියාව මෙල්ල කිරීමේ අවස්ථාවක් ලෙසද, ආසියානු කලාපය තුළ යුදමය වශයෙන් ත්‍රිකුණාමල වරායේ පවතින සදාතනික වැදගත්කමද මෙම සාකච්ඡාව සඳහා කේන්ද්‍රීය සාධක වී තිබිණි. එබඳු පසුබිමක මෙරට ජාතික ප්‍රශ්නය දකුණු ආසියානු කලාපයට – ඉන්දියාවට – දැනෙන සීමාවෙන් ඔබ්බට ගෙන, එය තමන්ට කළමනාකරණය කරගත හැකි දේශපාලන තලයකට ගෙන යාමේ අවශ්‍යතාව ඇමරිකා එක්සත් ජනපදයට තිබිණි. අනෙක් අතට ජාතිකත්වයන් දෙකක් අතර දුරාවාරයේ සිදුවන ගැටුමකට වඩා තමන්ට වෙළෙඳපොළ වාසියක් අත්පත් කරගත හැකි ‘සිවිල් යුද්ධයක්’ බවට එම ගැටුම සංවර්ධනය කර ගැනීමේ වෙළෙඳපොළ අවශ්‍යතාවක්ද අධිරාජ්‍යවාදී බලවේගවලට මෙයට සමාන්තරව තිබිණි.
මූලාශ්‍රවලට අනුව ගත් විට 1972 මැයි 21 දින අධිබලැති විදුලි කුළුනක් පුපුරුවා හැරීමෙන් ජනරජ දිනයේ යාපනය නගරය අඳුරේ තැබීමෙහි සිට 1983 ජූලි 17 දින හමුදා ඔත්තුකරුවකු වූ ඉන්ද්‍රන් කොලොම්බුතුරේදී පැහැරගෙන යාම දක්වා වන වසර 11කට ආසන්න කාලය තුළ ත්‍රස්තවාදී ක්‍රියා 67ක් ද, 1981 ඔක්තෝබර් 15 දින යාපනය කන්කසන්තුරේහිදී ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තු සෙබළකු ඝාතනය කිරීමේ සිට 1983 ජූනි 01 දින වවුනියා නගරයේදී ගුවන් හමුදා භටයකු ඝාතනය කිරීම දක්වා ත්‍රස්තවාදීන් විසින් ආරක්ෂක අංශ සාමාජිකයින් ඝාතනය කිරීම් 07ක්ද, 1977 පෙබරවාරි 14 සිට 1983 පෙබරවාරි 18 දින දක්වා පොලිස් නිලධාරීන් 31ක් ත්‍රස්තවාදීන් වෙතින් ඝාතනයට ලක් වීමද, 1972 ජූනි 04 දින සිට 1983 ජූනි 04 දින දක්වා දෙමළ සිවිල් වැසියන් 26ක් ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමද සිදුව තිබේ. මෙම සිදුවීම්වලට සමාන්තරව 1977 හා 1981 වසරවල සාපේක්ෂව ඉහළ පරිමාණයේ ගැටුම්ද රජයේ ආරක්ෂක අංශ විසින් සිදු කළ ඝාතනද පැවතිණි. නමුත් අන්තර්ජාතික යුද විශේෂඥයින්ගේ ගණන්බැලීම් හා තක්සේරු කිරීම්වලට අනුව මෙම තත්ත්වය ශ්‍රී ලංකාව තුළ ‘සිවිල් යුද්ධයක’ මට්ටමක ලා සැලකිය හැකි තත්ත්වයක් නොවන්නට ඇත.
‘වෙළෙඳපොළ වාසිය’ නොඑසේ නම් ‘වෙළෙඳපොළ අවශ්‍යතාව’ යන්න අප මෙහිදී නැවත අවධාරණය කරන අතර, ඕනෑම නිෂ්පාදන සමාගමක් ගත් විට සිය නිෂ්පාදන අලෙවිකර ලාභ ලැබීමට නම් වෙළෙඳපොළක් හා නිශ්චිත පාරිභෝගික කුලකයක් සිටීම අත්‍යවශ්‍ය කොන්දේසිය වේ. එහිදීද දුරාවාරයේ භාණ්ඩ කිහිපයක් අලෙවිවන වෙළෙඳපොළක් වෙනුවට, අඛණ්ඩව පුළුල් වන වෙළෙඳපොළ කොටසක් සහිත වෙළෙඳපොළක් පවත්වාගැනීම සෑම නිෂ්පාදන සමාගමකම ඉලක්කය වන්නේය. මෙම පොදු වෙළෙඳපොළ තර්කනය ඖෂධ නිෂ්පාදනය කරන සමාගමකට මෙන්ම, අවි ආයුධ නිෂ්පාදනය කරන සමාගමකටද එක සේ අදාළය. ඖෂධ සමාගමකට වෙළෙඳපොළක් නිර්මාණය වන අවස්ථාව ඊට අදාළ රෝගය ඇතිවීම හා පැතිරීම වන්නේ යම් සේද, අවි ආයුධ සමාගමකට වෙළෙඳපොළක් නිර්මාණය වන අවස්ථාව වන්නේ යුද්ධය ඇතිවීම හා එය පැවතීමයි. ඒ අනුව ගත් විට ශ්‍රී ලංකාව විදේශීය ආයුධ නිෂ්පාදන සමාගම් සඳහා වෙළෙඳපොළක් බවට පරිවර්තනය කර ගැනීමේ මූල බීජය ඒ වන විට මෙරට දේශපාලන සිතියම තුළ පැවති අතර, අවශ්‍ය වූයේ එම මූල බීජය තමන්ට අවශ්‍ය පරිමාණයේ වෙළෙඳපොළක් බවට පරිවර්තනය කර ගැනීමට අවැසි පූර්ව ක්‍රියා සිදු කිරීමයි. වෙනත් ලෙසකින් කිවහොත් ගිනි පුපුර, ගිනි මැලයක් බවට පරිවර්තනය කර ගැනීමයි.
එය හුදු හදිසියේ කළ හැකි කාර්යයක් නොවන අතර, එහිදී බුද්ධිමය වශයෙන් කළමනාකරණය කළ යුතු පාර්ශ්ව කිහිපයක් පවතී. “ලෝකයේ අවි නිෂ්පාදනය හා වෙළෙදාම ඉතා ප්‍රබල ව්‍යාපාර වේ. ඒවා නැඟී එන ත්‍රස්තවාදී ව්‍යාපාර කල් තබා හඳුනාගනිමින් ඔවුන්ට විවිධ සහයෝග ලබා දෙමින් තම ආයුධ මිල දී ගැනීමට සලස්වයි. අවි ආයුධ නිෂ්පාදන ව්‍යාපාරවල දේශපාලන බුද්ධි අංශ විසින් ත්‍රස්තවාදී සටන් පවා ඇතැම් රටවල ඉපිදවීමට ජාත්‍යන්තර වශයෙන් විවිධ බලවේග ක්‍රියාත්මක කරනු ලැබේ.” (ත්‍රස්තවාදයේ අභියෝගය : දර්ශනය, උපායමාර්ග හා එය පිටු දකින විධි – ඒ.එස්. බාලසූරිය, 1998) මෙබඳු පසුබිමක ලංකාව තුළ ආයුධ වෙළෙඳපොළක් බිහිකර ගැනීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසිය සම්පූර්ණ වී තිබූ අතර, අවශ්‍ය වූයේ එය වෙළෙඳපොළක් බවට වැඩි වර්ධනය කරගැනීමයි.
ඊශ්‍රායල් මොසාඩ් සංවිධානයේ නියෝජිතයකු ලෙස කලක් කටයුතු කළ වික්ටර් ඔස්ට්‍රොව්ස්කිගේ අනාවරණයන් මත ලියැවුණු By Way of Deception : The making and unmaking of a MOSSAD Officer නමැති ග්‍රන්ථයෙන් යුද්ධ හා ආයුධ වෙළෙඳාම සම්බන්ධව ඊශ්‍රායලය හා මොසාඩ් සංවිධානයේ මැදිහත්වීම් පිළිබඳව සුවිශේෂ අනාවරණයක් කෙරුණු අතර, එම ග්‍රන්ථයෙහි ලංකාව සම්බන්ධවද ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කෙරිණ. මෙම ග්‍රන්ථයට අනුව මොසාඩ් සංවිධානයේ ඈත පෙරදිග හා අප්‍රිකානු කලාප අංශය භාර සම්බන්ධීකරණ ප්‍රධානියා වූ Amy Yaar ලංකාවට අදාළ සැලසුම්වල තීරණාත්මක භූමිකාව නිරූපණය කර තිබේ. මෙම කලාපයට අයත් රටවල සිටි Amy Yaar ගේ නියෝජිතයින් ඇමරිකන් ඩොලර් මිලියන ගණන් වටිනා අවි ආයුධ ගනුදෙනුවලට මැදිහත් වී තිබෙන අතර, ඔවුන් අදියර 3ක් යටතේ ක්‍රියාත්මක වී තිබේ. පළමුව එම නියෝජිතයින් අදාළ රටට අවශ්‍ය කුමක්ද, ඒ රට බියක් දක්වන්නේ කුමන පාර්ශ්වවලට හා කටයුතුවලටද සහ අදාළ රට තම සතුරන් ලෙස සලකන්නේ කුමන පාර්ශ්වයක්ද යන්න අනාවරණය කරගනු ලැබේ. එසේ අනාවරණය කරගත් කරුණු අනුව අදාළ රටේ රජය සමග සම්බන්ධතා ඇති කර ගන්නා නියෝජිතයින්, සතුරු පාර්ශ්වය සමග සටන් කිරීම සඳහා එම රජයට ඊශ්‍රායලයේ අවි ආයුධ හා පුහුණුව ලබා දිය හැකි බව දැනුම් දෙනු ලැබේ. මෙම ආයුධ ගනුදෙනුවට අදාළ රටේ නායකයකු සම්බන්ධ වූ විට එම ගනුදෙනුවේ කොටසක් ලෙස ඊශ්‍රායලයේ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ හා මෙවලම් ද මිල දී ගත යුතු බවත්, ඊශ්‍රායලය සමග නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇති කරගන්නේ නම් මෙම ගනුදෙනු හා සම්බන්ධතා වඩාත් පුළුල් කර ගැනීමට අවස්ථාව උදාවන බවත් මොසාඩ් නියෝජිතයා විසින් එම රටේ රාජ්‍ය නායකයා වෙත දැනුම් දෙනු ලැබේ. ඔස්ට්‍රොව්ස්කිගේ මෙම අනාවරණයට අනුව Amy Yaar විසින් මෙහෙය වන ලද මොසාඩ් නියෝජිතයින් මෙකී කාර්යයන් සියල්ල ශ්‍රී ලංකාව තුළ සිදුකර තිබේ.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා ආගමනය
පසුගිය දශකයේ හතලිස් ගණන්වලදී ඊශ්‍රායලය නමැති රාජ්‍යය බිහිකිරීමෙන් පසු එය නිදහස් රාජ්‍යයක් ලෙස පිළිගැනීම හා ඒ සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇති කර ගැනීම අරාබි ලෝකය සහ ඉන්දියාව ඇතුළු පශ්චාත් යටත් විජිත රාජ්‍ය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි. නමුත් මෙරට පළමු අගමැතිවරයා වූ ඩී.එස්. සේනානායක ඊශ්‍රායලය සමග සම්බන්ධතාවකට මුල පිරුවේ බොහෝ ආසියානු හා අප්‍රිකානු රාජ්‍යයන්ගේ විරෝධය නොසලකා හරිමිනි. සේනානායක අගමැතිවරයාගේ අවධියේදී ලංකා නාවික හමුදාව සිය පළමු ප්‍රහාරක යාත්‍රාව (ගජබාහු 1) ඊශ්‍රායලයෙන් මිල දී ගත්තාය. ඊට අමතරව, මෙවක ඊශ්‍රායල තාක්ෂණික විශේෂඥයින් ශ්‍රී ලංකාවේ උතුරේ වියළි කලාපය තුළ නළ ලිං කැණීම සඳහා සහයෝගය ලබා දී තිබේ. (මේ නළ ලිං කැණීම අනුව ගත්විට 40 දශකයේ අග හා 50 දශකයේ මුල් භාගයේ සිට ඊශ්‍රායලය, මෙරට උතුරේ සමාජය තුළ වැඩ කරන්නට පටන්ගෙන තිබූ බව සිහියේ තබාගෙන සිටීම වැදගත් වනු ඇත.)
නමුත් මෙම ඊශ්‍රායල හා ලංකාව අතර මිත්‍ර සන්ථවය, 1956 එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරානායක අගමැතිවරයා පත්වීමත් සමග ආපස්සට ගිය අතර, බටහිරට ප්‍රතිපක්ෂ මතවාදයක සිටි අගමැති බණ්ඩාරනායක මහතා ඊශ්‍රායලයට එරෙහි අරාබි රාජ්‍ය සමග සන්ධානගත වෙමින් සූවස් ඇල සම්බන්ධ කාරණයේදී ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දුල් නසාර්ගේ තීරණය හා ඊජිප්තුවේ ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටියේය.
ඊළඟට, අගමැති සිරිමා බණ්ඩාරනායක මහත්මිය සිය නොබැඳි ප්‍රතිපත්තිය තුළ හිඳිමින් අරාබි රාජ්‍ය සේම ප්‍රසිද්ධියේම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කළ අතර, පලස්තීන විමුක්ති සංවිධානය සමග සම්බන්ධතා ස්ථාපිත කර ගත්තාය. කොළඹ ඊශ්‍රායල තානාපතිවරයා වූ Yitzhak Navon, ඊශ්‍රායල රාජ්‍යය සහමුලින් වනසන්නට කුමන්ත්‍රණ කරමින් සිටින අරාබි ත්‍රස්තවාදී සංවිධාන සමග ලංකාව පවත්වන මිත්‍ර සම්බන්ධතා හෙළා දුටුවේය. Navon මෙම ප්‍රකාශය කර තවත් මාස දෙකකට පසු, මැදපෙරදිගට පිටස්තරව ඊශ්‍රායලය නීත්‍යනුකූල තත්ත්වය ඉවත් කිරීම ගැන පලස්තීන විමුක්ති සංවිධානයේ සාර්ථකත්වයේ පැහැදිලි දර්ශකය වූයේ ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ 242 සම්මුතිය උල්ලංඝනය කරන බව අදහස් කරමින් බණ්ඩාරනායක මහත්මිය ඊශ්‍රායලය සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නවතා දැමීමයි. ඇය ගත් තීරණය අරාබි නායකයින් විසින් දැඩිව වර්ණනා කරනු ලැබුවේ එය පලස්තීන ‘විමුක්තිය’ පිණිස ගත් නිර්භීත පියවරක් ලෙසිනි. (Punsara Amarasinghe – The Israeli – Sri Lankan Relationship)
ඊශ්‍රායලය නැවත ලංකාවට සමීප වූයේ 1977 න් ඇරඹුණු ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේදීය. (ඊශ්‍රායලය නිල වශයෙන් මෙරට සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇති කර ගත්තේ 1984 වර්ෂයේදීය.) ජයවර්ධන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතා ඊශ්‍රායලයේ ජෙරුසලම්හි පිහිටි හෙබ්‍රෙව් සරසවියේ (Hebrew University) නීතිය පිළිබඳ ආචාර්යවරයකු ලෙස කලක් කටයුතු කර තිබූ බව මෙතැනදී වැදගත් කාරණයක් වන්නේ පසුව ඔහු ජයවර්ධන ආණ්ඩුව යටතේ ලංකාවේ පළමු ජාතික ආරක්ෂක අමාත්‍යවරයා බවට පත් වූ බැවිනි. එසේම, ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පුත්‍රයා වූ රවි ජයවර්ධන, ජයවර්ධන ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක උපදේශකයා බවට පත් වීමත් සමග මෙරට යුද හා ආරක්ෂක ක්‍රමෝපාය පිළිබඳ විශේෂඥ ඥානය ලබාගන්නා රට බවට පත් වූයේ ද ඊශ්‍රායලයයි. මූලාශ්‍රවලට අනුව, ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානයේ හිටපු නියෝජ්‍ය නායක ජනරාල් වර්නන් වෝල්ටර්ස්, ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ නියෝජිතයා ලෙස දෙවරක්ම මෙරටට පැමිණ ඇති අතර, පළමුවර පැමිණ ඊශ්‍රායලය හා ජයවර්ධන ආණ්ඩුව අතර සම්බන්ධය ඇති කර ගිය බව හෙළි වී තිබේ.
වික්ටර් ඔස්ට්‍රොව්ස්කිගේ අනාවරණයන් මත ලියැවුණු By Way of Deception : The making and unmaking of a MOSSAD Officer නමැති ග්‍රන්ථයෙන් ශ්‍රී ලංකාව පිළිබඳව අනාවරණය කළ කාරණා හේතුවෙන් ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් 1990 වසරේදී පත්කරන ලද මොසාඩ් කොමිසමේදී, රාජ්‍යයක් ලෙස ඊශ්‍රායලයේ භූමිකාව පිළිබඳව තමන් ලබා දුන් සාක්ෂ්‍යය මර්වින් ද සිල්වා සාරාංශගත කර ඇත්තේ මෙලෙසිනි.
“හමුදාකරණය කළ ආර්ථිකයක් හා සමාජයක් ඊශ්‍රායලය සතුව පවතී. අවි ආයුධ සහ විශේෂඥ ඥානය අලෙවිකිරීම එහි මුදල් උපයන අපනයන කර්මාන්තයකි. ඒ කර්මාන්තය සමෘද්ධිමත් වන්නේ යුද ගැටුම් මත මෙන්ම ඒවා විසඳනු වෙනුවට තව තවත් උත්සන්න කිරීම මතය. … කුමක් වෙතත් ඊශ්‍රායලයේ ආසියානු ප්‍රතිපත්තියේ අත්‍යවශ්‍ය අංගය වන්නේ ‘ආසියාව පිළිබඳ සිහිනය’ හා ‘ඉන්දියාවට ඇස ගසාගෙන සිටීම’ය. ඊශ්‍රායලය හා බුරුමය අතර ‘රික්තයක්’ පවතී. ඉන්දියාව ඉතා සමීපයෙන් පිහිටි ශ්‍රී ලංකාවට මේ රික්තය පිරවිය හැකි විය.”
මෙබඳු පසුබිමක ශ්‍රී ලංකාව පැත්තෙන් ගත් විට ඊශ්‍රායලය සමග පැවතියේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවක් වුවද, ඊශ්‍රායලයට ශ්‍රී ලංකාව විෂයයෙහි වූයේ තමන්ගේ භූ දේශපාලන මූලෝපායික සිතියම තුළ ස්ථානගත වූ ආසියානු කලාපීය වෙළෙඳපොළක් හා ආර්ථික – දේශපාලන මර්මස්ථානයක් පිළිබඳ ඉලක්කයකි. උතුරේ ප්‍රශ්නය නොඑසේ නම් දෙමළ සටන්කාමී සංවිධානවල බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ඊශ්‍රායලයෙන් ජයවර්ධන රජයට යුද හා ආරක්ෂක උපදෙස් ලැබෙන්නේ ඔවුන්ගේ මෙම ‘වෙළෙඳපොළ වුවමනාවට’ සරිලන පරිදි ය.
ජයවර්ධන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකු වූ ගාමිණී දිසානායකගේ නායකත්වය යටතේ උතුරු පළාතේ සිංහල ජනපද ඇති කිරීමේ ව්‍යාපෘතියක් 80 දශකයේ මුල් කාලයේ දියත් වූ අතර, මේ සඳහා ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ පුත් රවි ජයවර්ධනගේ අනුග්‍රහය ලැබී තිබිණ. මෙලෙස උතුරේ සිංහල ජනපද ඇති කිරීම ඇමතිවරයකුගේ හුදු පෞද්ගලික කැමැත්ත මත සිදු වූවක් යැයි සිතිය නොහැකි අතර, මෙය අනාගත ඉලක්කයක් වෙනුවෙන් කළමනාකරණය කරගැනීම සඳහා ඊශ්‍රායලයේ උපදෙස් මත සිදුවූවක් බව හඳුනාගත හැකිය. පලස්තීන භූමිය තුළ ඊශ්‍රායලය විසින් සිය ජනපද ගොඩනඟාගත් ආකාරයට සමාන භාවිතයක් මෙම ජනපද ඇති කිරීම තුළ හඳුනාගත හැකිය.
මෙසේ උතුරේ සිංහල ජනපද ඇති කිරීම, උතුරේ දෙමළ සමාජය වෙත ගෙන ගිය සංඥාව වූයේ දකුණේ සිංහල ආණ්ඩුව බලහත්කාරයෙන් උතුර එනම් තමන්ගේ භූමිය තුළ සිංහලයින් පදිංචි කරවන බවය. මෙතෙක් උතුරු පළාත තුළ, විශේෂයෙන්ම යාපනය තුළ සිංහල ජනතාව ව්‍යාපාර කටයුතු ආදිය කරමින් දෙමළ ජනතාව සමග මිශ්‍රව මනා සහයෝගයෙන් ජීවත් වූ අතර, ඒ තුළ දෙමළ සමාජයට ආගන්තුක යමක් නොදැනිණ. නමුත් මෙලෙස සිංහල ජනපද ඇති කිරීම තුළ දෙමළ සමාජ මනස තුළ නිර්මාණය වූයේ ‘සිංහල විරෝධී’ ආකල්පයකි. මෙහි අනාගත අරමුණ සහිත පුළුල් චිත්‍රය දන්නා ඊශ්‍රායලයට එම ව්‍යාපෘතිය වැදගත් වූයේ වෙනත් අර්ථයකිනි. පසුකාලීනව කොටි ත්‍රස්තවාදීන් සිංහල ජනතාව වෙත ප්‍රහාර එල්ල කිරීමේදී හා සමූල ඝාතන කිරීමේදී පළමු වටයේම ඉලක්ක කරගත්තේ මෙලෙස ගොඩනැඟූ සිංහල ජනපද / සිංහල ගම් වීම එම සැලසුමෙහි ඊශ්‍රායලයීය අරමුණ සඵල වීමය.
1977 න් පසුව ශ්‍රී ලංකාවේ ජයවර්ධන රජය සමග ඇති කරගෙන තිබූ සම්බන්ධතා මත මෙරට තුළ සිය ආරක්ෂක හා යුද සැලසුම් ක්‍රියාත්මක කිරීමේ පුළුල් පසුබිමක් ගොඩනඟාගැනීමට ඊශ්‍රායලය කටයුතු කරමින් තිබූ අතර, එය මතුපිටට පෙනුණු ප්‍රමාණය ඉක්මවා ගිය තියුණු උපාය මාර්ගික මැදිහත්වීමක් බව පසුකාලීන සිදුවීම් ප්‍රති විශ්ලේෂණය කිරීමේදී හඳුනාගත හැකි වේ.
ඉතිරි කොටස පසුවට…
ප්‍රභාත් චින්තක මීගොඩගේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...