පුරවැසි කොලම

1983 ජූලි 23/24 : බෙදුම් රේඛාව නිර්මාණය කිරීම

1983 ජූලි 23 වන දා ශ්‍රී ලංකා හමුදා සෙබළුන් 13 දෙනකු කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයකින් මරුමුවට පත් වීමෙන් පසු, ජයවර්ධන ආණ්ඩුව ගත් තීරණයට සමාන්තරව කළු ජූලිය ඇරඹුණු බව ප්‍රසිද්ධ රහස වේ. මේ සිදුවීම් සම්බන්ධව ජයවර්ධන ආණ්ඩුවේ ගාමිණී දිසානායක හා සිරිල් මැතිව් යන මැති ඇමතිවරුන්ගේ ඉහළ දායකත්වයක් ලැබී තිබූ බවද ප්‍රසිද්ධ රහසක් වේ. නමුත් මේ සමයට අදාළ එක් සුවිශේෂ අප්‍රකට රහසක් ඇති අතර, එය නම් 1990 වසරේදී පත් කෙරුණු ‘මොසාඩ් කොමිසම’ හමුවට කැඳවුණු ජයවර්ධන යුගයේ කටයුතු කළ මැති ඇමතිවරුන්ට හා නිලධාරීන්ට පිළිතුරු දීමට හැකියාවක් නොවූ එක් පැනයක් තිබූ බවයි. ඒ, 1983 ජූලි 14 වැනි දා ලංකාවට පැමිණ අගෝස්තු 06 දින දක්වා මෙරට රැඳී සිටි ඊශ්‍රායල නියෝජිත පිරිස මෙරටට පැමිණි අරමුණ කුමක්දැයි නිශ්චිතව කියන්නට සමත් නොවීමයි. මෙම ඊශ්‍රායල නියෝජිත කණ්ඩායම මෙරට රැඳී හුන් වකවානුව හා ජූලි මස ජයවර්ධන ආණ්ඩුව ආරක්ෂාව විෂයයෙහි ගත් තීරණ හා සිදුවීම් සමග මනාව සමපාත වේ.

1983 ජූලි 24 වැනි දා ඇරඹුණේ මෙරට ඉතිහාසය තුළ අන් කවරදාකවත් නොවූ අන්දමේ පූර්ව සැලසුම්සහිත හා තිරශ්චීන ජන සංහාරයකි. එම්.ආර්. නාරායන් ස්වාමි සිය Inside an Elusive Mind : Prabhakaran කෘතියෙහි මෙසේ සඳහන් කරයි.

“ජූලි 24 වැනි දා සන්ධ්‍යාවේ කොළඹ නගරය මධ්‍යයේ පිහිටි සුසාන භූමියක් අසල   ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රදේශයක් ග්‍රහණයට හසුකර ගැනුණු කලබලවලට ප්‍රථම වරට මුල පිරෙනු දැක ගත හැකි විය. සුසාන භූමිය පිහිටා තිබුනේ ජනාධිපති ජයවර්ධනගේ නිවසින් එතරම් දුරින් නොවේ. මිය ගිය සොල්දාදුවන්ගේ මළ සිරුරු මිහිදන් කිරීමට බලධාරීන් මුලින් තීරණය කර  තිබුනේ මෙහිය. මිය ගියවුන්ගේ පවුලේ සාමාජිකයෝ රටේ වෙනත් ප්‍රදේශවලින් ඒ වන විටත් අවමඟුල සිදු කෙරෙන ස්ථානය කරා ළඟා වී සිටියහ.

සෙනග වැඩි වන්නට පටන් ගැනීමත් සමග ආරම්භයේ හැඟීම් මැඬ පවත්වාගෙන සිටි පිරිසගේ මනෝගතීන්ද වෙනස් වන්නට පටන් ගති. විනය කඩ කිරීම නිසා සේවයෙන් නෙරපා දමා තිබූ හමුදා සෙබළු කණ්ඩායමක් මිය ගිය සොල්දාදුවන් වෙනුවෙන් පළිය ගන්නා බව පවසමින් මොර දුන්හ. කෝපයට පත් වාමාංශිකයින් කණ්ඩායමක් පැතිර යමින් තිබූ කෝපාග්නියට ආණ්ඩු විරෝධී ව්‍යාජ අර්ථකථනයක් ලබා දීමට වෑයම් කළ ද එය අසාර්ථක විය. කළුවර වැටෙත්ම පාලක පක්ෂයේ නායකයින් විසින් මෙහෙයවනු ලැබූ සැහැසි කල්ලි ගොරහැඩි දෙමළ විරෝධී සටන් පාඨ මොර දෙන්නට වූහ.

එදින රාත්‍රියේ තන්හි තන්හි ප්‍රචණ්ඩ ක්‍රියා පැන නැඟිණි. සිංහල සැහැසි කල්ලිවල ප්‍රථම ගොදුරු වූයේ අවාසනාවන්ත ලෙස ඒ මොහොතේ ඒ ස්ථානය පසු කර යාමට සිදුව තිබූ අහිංසක දෙමළ ජාතිකයින්ය. ප්‍රදේශ ගණනාවක දෙමළ කඩ සාප්පු කොල්ල කනු ලැබ ගිනි තැබිණි. කලබලකාරී තත්ත්වයක පැහැදිලි සලකුණු තිබියදීත් ඇඳිරි නීතිය පනවනු නොලැබීය. ජනාධිපති ජයවර්ධනගේ නිවසේ සිට කඩ සාප්පු ගිනි ගෙන දැවෙනු දැක ගත හැකි විය. එක් දෙයක් සිදු විය. කලින් දිනයේ පිරිස් පාලනය කිරීමට උත්සාහ දරමින් වීදිවල සිටිනු දක්නා ලද පොලිස් නිලධාරීහු පැහැදිලිවම අතුරුදන් වී සිටියහ.”

නාරායන් ස්වාමි තවදුරටත් ජූලි සිදුවීම් මෙසේ විස්තර කරයි.

“අනතුරුව එක් වරම කොල්ලකාරී සන්නද්ධ සැහැසි කල්ලි විසින් කොළඹ නගරය සිය පාලනය යටතට පත් කර ගන්නා ලදී. ඒ වන තෙක්ම තැනෙක සාප්පුවක්ද තවත් තැනෙක මහ මඟ යමින් තිබූ වාහනයක්ද ඉලක්ක කර ගනිමින් හුදෙකලාව සිදු කෙරෙමින් තිබූ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිහිත ප්‍රචණ්ඩත්වයක් බවට පරිවර්තනය විය. අලවංගු, පොරෝ, උදලු, පිහියා මෙන්ම පෙට්‍රල් හා ඩීසල් පිරවූ භාජනවලින් ද සන්නද්ධ වූ සැහැසි කල්ලි දෙමළ ජාතිකයින්ගේ නිවාස හඳුනා ගැනීම සඳහා ඡන්ද ලැයිස්තු කියවමින් නගරය පුරා සැරිසරන්නට පටන් ගත්හ.

සැහැසි කල්ලි දක්නට දුර්ලභ අන්දමේ ක්‍රෑරත්වයකින් යුතුව අහිංසක දෙමළ ජාතික පිරිමින්ට, ගැහැනුන්ට හා ළමයින්ට පහර දීමත් සමග අනපේක්ෂිත හෙණයක් පතිත වූවාක් මෙන් හිටිවනම නගරය රුධිරයෙන් තෙත්ව ගියේය. මීට පෙර 1956, 1958, 1977 හා 1981 යන වර්ෂවල දෙමළ ජාතිකයින්ට එරෙහිව සංවිහිත ප්‍රහාර එල්ල කෙරිණි. එහෙත් ඒ එකදු ප්‍රහාරයක් වත් 1983 ජූලි මාසයේ සිදු වූ සිද්ධීන්ගේ මට්ටමට යන්තමින් හෝ සමීප නොවීය. එය රටේ ප්‍රධාන සුළුතර ජනවර්ගය සැබැවින්ම විනාශ කර  දැමීමේ ක්‍රමානුකූල ප්‍රයත්නයක් ලෙස ක්‍රියාවට නැඟුණු රාජ්‍යයේ අනුග්‍රහ ලද මහා ජන සංහාරයක් විය. ජයවර්ධනගේ කැබිනට් මණ්ඩලයේ සිටි අතිශයින්ම ස්වෝත්තමවාදී සිංහල ඇමතිවරුන් විසින් අධීක්ෂණය කරන ලදුව පොලීසියෙන් එල්ල වන කිසිදු උපද්‍රවයකින් තොරව සන්නද්ධ සැහැසි කල්ලි දෙමළ ජාතිකයින්ගේ නිවාස තෝරාගෙන ඒවාට පෙට්‍රල් බෝම්බ එල්ල කළහ.” (‘ප්‍රභාකරන් – දුරවබෝධ මනසක ඇතුළාන්තය’, එම්.ආර්. නාරායන් ස්වාමි – පරිවර්තනය, සේපාල විජේසේකර, විජිත යාපා ප්‍රකාශන)

‘අරමුණක් නැති’ ඊශ්‍රායල නියෝජිත පිරිස මෙරට රැඳී සිටි කාලය හා කළු ජූලි සිදුවීම් ඇරඹී පැවතුණු කාල සීමාව මනාව සමපාත වීම අහම්බයක් යැයි, අන්තර්ජාතික වශයෙන් ඊශ්‍රායලයේ පූර්ව මැදිහත්වීම් හා මෙහෙයුම් සම්බන්ධ අවබෝධයක් තුළ කිසි විටෙක විශ්වාස කළ නොහැකිය. එසේම ඒ වන විටත් ඊශ්‍රායලය මෙරට රජයට යුද හා ආරක්ෂක උපදෙස් ලබා දෙමින් සිටි යථාර්ථයක මෙම සිදුවීම් අහඹු පැන නැඟීමක් ලෙස හඳුනාගැනීමට පදනමක් නොමැත. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමීපතමයින් දෙදෙනකු වූ ගාමිණී දිසානායක හා සිරිල් මැතිව් යන දෙදෙනා දෙමළ ජනතාවට එරෙහි කලකෝළාහලවල ප්‍රධාන අනුග්‍රාහකයින් ලෙස ක්‍රියාකිරීම ජයවර්ධන ජනාධිපතිවරයා හා ඔහුගේ යුද හා ආරක්ෂක කවයට සම්බන්ධ සෙසු අය නොදැනුම්වත්ව සිදු වූ ක්‍රියාවක් යැයි විශ්වාස කළ නොහැකිය. එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිතිය වන ‘ජාතික සේවක සංගමයේ සාමාජිකයින්’මෙම සංහාරයේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කිරීම කිසිසේත්ම අහම්බයක් වන්නේ නැත. දෙමළ ජනතාවට එරෙහි කෝලාහල මැඩපැවැත්වීමට පොලීසිය හා හමුදාව යෙදවීමට රජය කටයුතු නොකිරීම හා ඇතැම් ස්ථානවල දෙමළ ජනතාවට කළ ප්‍රහාරවලට හමුදා හා පොලිස් නිලධාරීන් සම්බන්ධ වීම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ පෞද්ගලික කැමැත්ත – අකැමැත්ත මත  තීරණය වූවක් හෝ සිදු වූවක් හෝ යැයි විශ්වාස කළ නොහැකිය. එපමණක් නොව, මෙරට එක්සත් ජනපද හා යුරෝපා රටවලට අදාළ තානාපති කාර්යාලවල දොරකඩ සිදුවුණු මෙම මානව විරෝධී ක්‍රියාදාමය වැළැක්වීමට ඒ රටවල් ප්‍රමාණවත් මැදිහත්වීමක් නොකිරීම, ඔවුන්ගේ කාර්යභාරය අමතක වීමෙන් සිදුවූ දෙයක් යැයි විශ්වාස කළ නොහැකිය. එවකට ජයවර්ධන රජය සිය සුවිශේෂ තීන්දු තීරණ එක්සත් ජනපද හා බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්ගේ උපදෙස් හා දැනුම්වත්භාවය මත ගනිද්දී මෙම කැරලි කෝලාහල පමණක් ‘ඉබේ පැන නැඟී – ඉබේ පැතිර යාමට ඇති’ දේශපාලන අවකාශය අප තේරුම් ගත යුත්තේ කෙසේද?

මේ සිදුවීම් මෙසේ සිදුවෙද්දී, නියමිත තිර පිටපතට අනුව ක්‍රියාකරමින් එක්සත් ජනපද හා බටහිර රාජ්‍ය තාන්ත්‍රික පාර්ශ්ව මෙම ගැටුම් වැළැක්වීමට ‘මැදිහත් නොවෙත්දී’ ලංකාව තුළ සිටි අන්තර්ජාතික ජනමාධ්‍ය නියෝජිතයින් සිය කාර්යභාරය මැනවින් ඉටුකරමින් සිටි ආකාරය, මෙම වාර්තාවලින් පෙනේ.

1983 ජූලි 21 වන දා බ්‍රිතාන්‍යයේ The Times පුවත්පත ශ්‍රී ලංකාව සම්බන්ධව මෙසේ වාර්තා කරයි.

“ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය, අත්‍යවශ්‍ය සැපයුම්, කැරලි සඳහා පෙළඹවීම, කැරලි කෝලාහළ හෝ සිවිල් කලබල සඳහා පෙළඹවීම් ගැන සියලුම ප්‍රවෘත්ති මත දේශීය හා විදේශීය වශයෙන් බලපැවැත්වෙන පුවත්පත්කලා වාරණයක් පැනවීමට රජය ඊයේ කටයුතු කළාය.”

1983 ජූලි 26 වන දා බ්‍රිතාන්‍යයේ  Daily Telegraph පුවත්පත  වාර්තා කරන්නේ මෙලෙසිනි.

“මෝටර් රථ පදවන්නන් ඔවුන්ගේ මෝටර් රථවලින් පිටතට ඇදගෙන ආවේ ඔවුන්ට ගල් හා පොලුවලින් පහර දීමටය. අනෙක් අය පිහි සහ පොරෝවලින් කපා දැමිණි. තරුණ සිංහල කළහකාරීන් දෙමළ ජාතික සුලුතරය වෙන් කර ගැනීම සඳහා නිවාස කඩ සාප්පු කොල්ලකමින් සහ ඒවාට ගිනි තබමින් වීදි හරහා කලබලයෙන් දිව ගියහ. එක් කළහකාරයකු කොළඹ ඇස් රෝහල අසලින් ගිය දෙමළ පාපැදිකරුවකුට පහර දුන්නේය. පාපැදිකරුවා සිය පාපැදියෙන් බිමට ඇද දමා පෙට්‍රල් පොඟවා ඔහුට ගිනි තබන්නට සැරසිණ. ඔහු භීතියෙන් කෑ ගසමින් වීදියේ දිව යද්දී ඔහු නැවත අල්ලාගත් කළහකාරීහු ඔහු බිම පෙරළාගෙන කැළෑ පිහිවලින් කපා දැමූහ.”

මේ, 1983 ජූලි 27 වන දා The Times පුවත්පතේ වාර්තාවයි.

“කලබල ආරම්භ වූ පසුගිය සතියේ දී ශ්‍රී ලංකාවේ උතුරෙහි, යාපනයට ආසන්නයේ බස් නැවතුමක සිටි නව යොවුන් දැරියන් තිදෙනකු සොල්දාදුවන් විසින් පැහැරගෙන ගොස් දූෂණය කිරීම සම්බන්ධව මෙහි බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකේය දෙමළ ජාතිකයින් 25,000ක් පමණ චෝදනා කළහ. පසුව එක් දැරියක සිය දිවි නසාගෙන ඇති බව කියැවුණි. එසේම ඔවුහු එම ස්ථානයේම පොලිස් හා හමුදා කණ්ඩායමක් විසින් පාසල් ශිෂ්‍යයින් හය දෙනෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති තවත් දාමරිකකමක් පිළිබඳව චෝදනා කරති. දෙමළ ගරිල්ලන් විසින් සෙනසුරාදා ශ්‍රී ලංකා හමුදා වාහනයකට පහර දී සොල්දාදුවන් 13 දෙනකු මිය ගිය අවස්ථාවට පළිගැනීමක් ලෙස ඉහත සිදුවීම් සිදුවන බවට ඔවුහු චෝදනා කරති.”

1983 ජූලි 27 වන දා The Times පුවත්පතේ මෙලෙස නැවත වාර්තා කරයි.

“වර්තමාන හිරිහැරවලට වැඩි වශයෙන් යොමු වී සිටින්නේ සිංහලයින්ගේ තාඩන පීඩනවලට ලක් වී ඇතැයි හැඟෙන හොඳින් උගත්, ප්‍රබල ලංකා දෙමළ සුලුතරයයි. ඔවුන්ට උතුරේ ඇත්තේ අඩු කර්මාන්ත අවස්ථාවීම පමණක් නොව විශ්ව විද්‍යාලයට තෝරාගැනීමේ ජයග්‍රහණවලදී දෙමළ ශිෂ්‍යයින්ට වෙනස් ලෙස සලකා ඇත. ඔවුන් සුලුතරය වූවාට බ්‍රිතාන්‍ය පාලනය යටතේ අවුරුදු ගණනක් පුරා දෙමළුන් ව්‍යාපාර සහ පරිපාලනයේ ඉහළ රැකියා දැරූ අතර, සිංහල පාලනය යටතේ ඔවුන්ට නැති වී ඇත්තේද එම රැකියායි. ඒ අනුව වර්තමාන ප්‍රචණ්ඩත්වයට හේතුව විය යුත්තේ බෙදුණු ආර්ථික කොන්දේසි තුළය.”

1983 ජූලි 28 වන දා The Times පුවත්පතේ මෙලෙස සඳහන් කරයි.

“ඊයේ කොළඹ නගරය පුරාම සිය ගණන් වෙළෙඳසැල්, කාර්යාල, ගබඩා සහ නිවාස වෙතින් දුම් නැඟිණි. දෙමළ ජාතිකයකු සන්තක හෝ ජීවත්වන ඕනෑම ව්‍යාපාරයක්, ඕනෑම නිවසක් දාමරික කණ්ඩායම්වල ප්‍රහාරයට ලක් ව තිබේ.

රජයේ නිලධාරීන් ඊයේ ඇස්තමේන්තු කළේ නගරය තුළ ව්‍යාපාර 20,000ක් ප්‍රහාරයට ලක්ව ඇති බව සහ කැරලි කෝලාහල හා කොල්ලකෑම්වල සංවිධානාත්මක හා සැලසුම්කළ ආකාරයක් ඇති බවයි. බ්‍රිතාන්‍යය තමන්ගේ තිබුණු කොලනියට නිදහස ලබා දීමට ප්‍රමාද වූ ප්‍රධාන හේතුවක් වන්නේ බහුතරය, දෙමළ සුළුතරය භය ගන්වා පාලනය කරනු ඇතැයි යන බිය නිසාය. නමුත් බහුතර සිංහලයින්ට දැනෙන්නේ ඔවුන්ට තර්ජනයක් එල්ල වන්නේ ඉන්දියාවේ මිලියන 40ක් වූ දෙමළ ජනතාවගෙන් බවයි.”

ලෝක සිතියම තුළ ‘ශ්‍රී ලංකාව’ යනුවෙන් රටක් ඇති බවට ඇතැම් රටවල ජනතාව පළමු වරට දැනගත්තේ මෙම අන්තර්ජාතික ප්‍රවෘත්ති වාර්තා මගින් විය හැකිය. ඒ ද යහපත් ප්‍රතිරූපයක් සහිතව නොව, රටේ සුලු ජාතිකත්වයක් ඝාතනය කරන තිරශ්චීන ජාතියක් වෙසෙන රටක් ලෙසිනි. ඇත්තෙන්ම, මේ සම්බන්ධ විශාල චිත්‍රය තුළ සිටි සැලසුම්කරුවන්ට අවශ්‍ය වූයේද ලෝකය තුළ එබඳු  ප්‍රතිරූපයක් ශ්‍රී ලංකාව විෂයෙහි නිර්මාණය කිරීමයි.

ජූලි ප්‍රහාර මගින් එතෙක් රට පුරා ව්‍යාප්තව සිටි දෙමළ ජනතාව යාපනය කේන්ද්‍ර කොටගත් උතුරු ප්‍රදේශය වෙත සංකේන්ද්‍රණය කෙරුණු අතර, ඊට සමාන්තරව උතුරේ සිටි සිංහල ජනතාවට පහර දී දකුණ වෙත පළවා හැරීමට කටයුතු කෙරිණ.

දෙමළ ජනතාව ඉලක්ක කරගෙන සිදු කෙරුණු මෙම ම්ලේච්ඡ සංහාරය කිසිසේත්ම සමස්ත සිංහල ජාතිකත්වයේ ප්‍රකාශනය නොවූ නමුත් මෙම සිදුවීම අන්තර්ජාතික තලයේ නිර්මාණය කරන ලද්දේ එය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහි සමස්ත සිංහල ජනතාවගේ ප්‍රකාශනය ලෙසිනි. මෙම මෙහෙයුම පිටුපස සිටි සැලසුම්කරුවන්ට එම චිත්‍රය අන්තර්ජාතික තලයේ ගොඩනැඟීම අවශ්‍ය වූයේ   තමන්ගේ මහා සැලැස්මේ ඊළඟ අදියර සාර්ථක වීම සඳහා එම ජාත්‍යන්තර මතවාදය හා මනෝභාවය අත්‍යවශ්‍ය බැවිනි. මෙම දැවැන්ත සංහාරය දෙස සියුම්ව බැලීමේදී ඒ තුළ සැඟවුණු අනන්‍යතා ලකුණ එනම් ‘ඊශ්‍රායල ලකුණ’ හඳුනාගත හැකිය. ඒ, ඊශ්‍රායලය විසින් පලස්තීනුවන්ට පහර දී පලවා හැර ඔවුන්ගේ දේපළ හා භූමිය අත්පත් කර ගැනීමේ ක්‍රියාදාමයට සමපාත වන ක්‍රියාදාමයක් 1983 ජූලි ලංකාවේ සිදුවීම් තුළ පැවතීමයි.

එතෙක් සිංහල – දෙමළ වශයෙන් බෙදුම් රේඛාව අපැහැදිලිව, බොඳවි තිබූ මෙරට ජාතික ගැටලුව, ජූලි සංහාරයෙන් පසු පැහැදිලි බෙදුම් රේඛාවක් සහිතව ‘දෙමළ හින්දු උතුර – සිංහල බෞද්ධ දකුණ’ ලෙස ඛණ්ඩනය විණි. විශේෂයෙන්ම මෙම හැඳින්වීම අන්තර්ජාතික මාධ්‍ය අවකාශය තුළ ප්‍රබල ලෙස මතුකෙරුණු අතර, ‘දකුණේ සිංහල ආණ්ඩුව’ යන වචනය අන්තර්ජාතික ජනමාධ්‍ය සංදේශ අතරට පැමිණියේද මෙකලය

ප්‍රභාත් චින්තක මීගොඩගේ

ඉතිරි කොටස පසුවට…

ඊශ්‍රායලය තැනූ පිට්ටනියේ 30 වසරක් යුද වැදුණු ශ්‍රී ලංකාව(1983 කළු ජූලියේ ඊශ්‍රායල භූමිකාව :දේශපාලන අන්වීක්ෂ පරීක්ෂාවක්)-පළමු කොටස



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More