පුරවැසි කොලම

පසුගිය රජය විසින් 2018 දී සම්මත කිරිමට උත්සාහ කර මහජන විරෝධය නිසා අකුලාගත් කොතලාවල විශ්ව විද්‍යාල (සංශෝධන) පනත නැවත වර්තමාන රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මගින් සුවිශේෂී දේශපාලන සංවාදයක් සහ ප‍්‍රවණතාවයක් පැනනැගී ඇත. එහිදී දැනුම්වත් උගත් මහා සංඝරත්නය පවා ඇත්ත සහ බොරුව පටලවා ගන්නා ආකාරයක් දක්නට ලැබුණි.

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිපාණන් පනත පිළිබඳව හෝ ඊට එරෙහිව පැන නගින විරෝධතා පිළිබඳව ගැඹුරු අධ්‍යයනයකින් තොරව සඳහන් සඳහන් කරන්නේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල සංශෝධන පනතට එරෙහි වන්නන් එම විශ්වවිද්‍යාලය වසා දැමීම සඳහා ආණ්ඩුවට බලපෑම් කරන බවය. එසේ වුවත් 2018දී සහ නැවත 2021 දී ඉදිරිපත් කරන සංශෝධන පනත් අත්හිටුවීම හෝ ඉවත දැමීම මගින් පවතින විශ්වවිද්‍යාලයට කිසිදු අගතියක් සිදු වන්නේ නැත. අගතියක් සිදු වනවානම් එසේ සිදුවිය හැක්කේ වර්තමාන පනත මගින් අමාත්‍යවරයාට ලබා දෙන විශේෂ බලතල නිසා බවටද තර්ක කළ හැක.

එදා 1981 දී කොතලාවල ආරක්ෂක විද්‍යායතනය පිහිටුවීමේදී එම පනත මගින් ඊට විශ්ව විද්‍යාලයක තත්ත්වය හිමිවූයේ නැත. එම ආයතනය පිහිටවනු ලැබුවේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට විධිමත් ලෙස ආයතනගත පුහුණුව සහ අධ්‍යාපන අවස්ථා නිර්මාණය කිරීම සඳහාය. පසුව ඉතා නිවැරදි ලෙස 1988දී එම පනත සංශෝධනය කිරීම මගින් අදාළ ආයතනය විශ්වවිද්‍යාල මට්ටමට උසස් කරනු ලැබීය. ඉන්පසුව 2008 දී අදාළ පනත සංශෝධනය කිරීම මගින් එම විශ්වවිද්‍යාලය හරහා වෙනත් පාඨමාලා හඳුන්වාදීමට සහ ආරක්ෂක හමුදාවලට අයත් නොවන සිසුන්ටද අධ්‍යාපන අවස්ථාව නිර්මාණය කිරීමට එවකට පැවති ආණ්ඩුව විසින් කටයුතු කරන ලදී. ඊට එරෙහිව කිසිදු මහජන විරෝධයක් එල්ල නොවූ අතර එම විශ්ව විද්‍යාලය ඉතා උසස් මට්ටමින් තම ජාතික වගකීම ඉටු කරනු ලැබීය. එම විශ්ව විද්‍යාලය මගින් තවදුරටත් නව පාඨමාලා හදුන්වාදීම සහ විශ්වවිද්‍යාය මගින් තවදුරටත් නව පාඨමාලා හදුන්වාදීම සහ අවස්ථා පුළුල් කිරීම සදහා කිසිදු නීතිමය බාධාවක් නොමැති අතර රජය විසින් අරමුදල් ලබාදෙන්නේනම් එම කාර්යය ඉටුකිරීමේ හැකියාව එම විශ්වවිද්‍යාලයේ බලධාරීන්ට හැකියාව තිබෙන බවට විවාදයක් නැත.

රාගම පුද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි කිරීමේ සටන්පාඨය

එසේම මහජන  විරෝධය මැද එම පනතට නැවත සංශෝධනයයක් ගෙන ඒමට අවශ්‍යය වන්නේ කුමක් නිසාද? එම හේතුව එම විශ්වවිද්‍යාලයේ දියුණුවට කිසිසේත්ම අදාළ වන්නක් නොවේ. එදා 2018 වසරේදී ‘‘සයිටම්” නමින් පිහිටුවා තිබූ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නමින් හඳුන්වමින් පවත්වාගෙන යනු ලැබූ ව්‍යාපාරික මධ්‍යස්ථානයේ ගොදුරක් බවට පත් වූ සිසුන්ට සහනයක් ලබාදීම සඳහා එම විශ්වවිද්‍යාල යොදා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නැගුණි. එනම් මහජන විරෝධය නිසා වසා දැමීමට සිදු වූ පුද්ගලික ආයතනයක සිසුන්ගේ අධ්‍යාපනය අවසන් කිරීම සඳහා රජය සතු සම්පත් යොදා ගැනීම සඳහා ය. ඒ ආකාරයට එම සිසුන්ට සහන සැලසීම පිළිබඳ කිසිවෙකුගේ විරෝධයක් එල්ල වූයේ නැත. නමුත් එම සාධාරණ වුවමනාව ඉටු කිරීමේ මුවාවෙන් සයිටම් වැනි ආයතන රාශියක් පිහිටුවා ඒවාට රජයේ විශ්වවිද්‍යාලයක උපාධියක් ලබාදීමේ කූට සැලැස්මක් ක‍්‍රියාත්මක විය හැකි බව සයිටම් විරෝධී සටනේ නායකයින් තේරුම් ගෙන නොතිබුණි. මෙම ලියුම්කරු යම් නායකයින්ට ඒ පිළිබඳව අවධාරණය කළ ද ‘‘සයිටම් අහෝසි කරනු” යන සරල සටන් පාඨයෙන් ඔබ්බට සැලසුමක් තිබුණේ නැත.

නමුත් එදා 1989දී රාගම පුද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි කිරීමේ සටන්පාඨය ජයග‍්‍රහණය කිරීමේදී එම ආයතනයට සහ සිසුන්ට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් එදා නායකයින්ට තිබුණි. ඒ අනුව ඊට අදාළ පනත් සහ ක‍්‍රියාවලිය පිළිබඳව පැහැදිලි ඉහළ තාවයක් ඇති විය. ඒ අනුව නව නීතියක් මගින් ප‍්‍රශ්නය විසඳනු ලැබීය. නමුත් සයිටම් විරෝධී සටනේ නායකයින්ට එම දුර දක්නා නුවණ නොතිබූ බැවින් එදා පැවැති ආණ්ඩුව සයිටම් සිසුන්ට පමණක් නොව අනාගතයේ සයිටම් වැනි ආයතන ජාලයක් පිහිටුවීම නිසා නීතියක් මගින් කුමන්ත්‍රණයක් දියත් කිරීමට හැකිවිය. නමුත් එම කුමන්ත‍්‍රණය එළිදරව් වීමෙන් පසුව ඊට විරෝධය එල්ල වීම නිසා එම පනත තාවකාලිකව අකුලාගන්නා අතර සැැබෑ ලෙසම අදාළ අරමුණට අවශ්‍ය වූ විශේස විධිවිධාන පනතක් සම්මත කිරීම මගින් සයිටම් සිසුන්ගේ ප‍්‍රශ්නය විසඳනු ලැබීය.

සයිටම් සටනේ නායකයින් සටන  ජයග‍්‍රහණයෙන් අවසන් කිරීමේ දී එම විශේෂ විධිවිධාන පනත පිළිබඳව එකඟතාවයකට පැමිණුනානම් කූට ලෙස පුද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමේ පනතක් ගෙන ඒමට ඉඩක් හෝ අවස්ථාවක් ලැබෙන්නේ නැත. නමුත් අවස්ථාව ලද පමණින් තම කූඨ අරමුණු ඉටුකර ගැනීමට යම් පිරිසක් සූදානම්ව සිටි බව එම ක‍්‍රියාවලිය තුළින් පැහැදිලි විය. එම පිරිස් විරෝධය හමුවේ පියවරක් පිටුපසට ගත්තද තම අරමුණු අත් නොහළ බව වර්තමාන ආණ්ඩුව ඊට ගොදුරු කර ගැනීමෙන් පැහැදිලි වේ. විශේෂයෙන් ම වර්තමාන ආණ්ඩුව යටතේ නව පනත් සහ සංශෝධන පනත් 35කට ආසන්න ප‍්‍රමාණයක් ගෙන ඒම සඳහා යම් ක‍්‍රියාවලියක් දියත් වී ඇති තත්වයක් යටතේ කොතලාවල විශ්වවිද්‍යාල පනත හරහා පුද්ගලීකරණ ක‍්‍රියාවලියට නැවත පණ දීමට උත්සාහයක් ගන්නා බව පිළිගැනීමට හැක. එදා 2003 දී යළි පුබුදමු ශ‍්‍රී ලංකා වැඩසටහන යටතේද එවැනිම පණත් ප‍්‍රමාණයක් විශේෂයෙන්ම අධ්‍යාපනය සහ රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීමේ ක‍්‍රියාවලියට අදාළව ගෙන ඒමට උත්සාහයක් ගැණුනි. වර්තමාණයේ අධිකරණ අමාත්‍යාංශය හරහා දියත්වන ‘‘කඩිනම් නීති සංශෝධන ක‍්‍රියාවලිය” යළි පුබුදමු ශ‍්‍රී ලංකා වැඩසටහනේ ප‍්‍රතිනිර්මාණයක් විය හැකි බවට චෝදනා එල්ල වී ඇත.

ජාත්‍යන්තර පාසල් නමින් ප‍්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනය පුද්ගලීකරණය  කිරීමේ ක‍්‍රියාවලිය

ඊට අමතරව සයිටම් වැනි පුද්ගලිකව වෛද්‍ය විද්‍යාල නීතිගත කිරීමේ උවමනාව ගත් විට ජාතිවාදී සහ ආගම්වාදී පදනමෙන් වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේ උත්සාහය සහ 2018 දී අකුලාගත් පනත නැවත ගෙන ඒමේ උත්සාහය අතර සබඳතාවයක් තිබිය හැක. විශේෂයෙන්ම පුද්ගලික ෂරියා විශ්වවිද්‍යාලය ආශ‍්‍රිතව වෛද්‍ය පීඨයක් පිහිටුවීමේ සැලසුම මෙන්ම දෙමළ ඩයස්පෝරාවේ මැදිහත්වීම මත උතුරු පළාතේ වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීම සඳහා ඉඩම් මිලදී ගැනීම වැනි තත්ත්වයන් යටතේ එම පිරිස් වර්තමාන ආණ්ඩුව යටතේ තමාට එදා 2018දී ඉටුකරගත නොහැකි වූ අරමුණු ඉටුකර ගැනීම සඳහා කූට උත්සාහයක් ගන්නා බවට සාධාරණව උපකල්පනය කළ හැක. එසේ වුවත් ජනාධිපතිතුමා මහා සංඝරත්නයට අදාළ කරුණ පිළිබඳව පැහැදිලි කිරීමේ දී සඳහන් කොට ඇත්තේ විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහා පුද්ගලික වෛද්‍ය විද්‍යාල වැනි ආයතන නීති ගත කිරීම කළ යුතු බව ය. සමහර විට එතුමා විදේශීය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම සඳහා වැයකරන මුදල් රට තුල ඉතිරි කර ගැනීම වැනි සරල තර්කයක් මත එම අදහස් ප‍්‍රකාශ කළා විය හැක.

එසේ වුවත් එක් පැත්තකින් ගත් විට පොදු මහා මහජනයා අතරින් පුද්ගලිකව රුපියල් වලින් අමතර පිරිවැයක් දැරීමට හැකි පිරිස් විසින් රටේ විදේශ විනිමය වැය කොට තම දරුවන්ට අධ්‍යාපනය ලබා දීම වැලැක්වීම සඳහා එම පුද්ගලික ආයතන ශ‍්‍රී ලංකාවේ පිහිටවිය යුතුය යන තර්කය පිළිගන්නේනම් වෙනත් බරපතල තර්ක ද ඉදිරිපත් විය හැක. උදාහරණයක් ලෙස පසුගිය දිනවල අප රටේ බාලවයස්කාර දැරියක් ලිංගික සේවා සඳහා මිලදී ගත් අය වැනි පිරිස් එවැනි සේවා ලබාගැනීම සඳහා තායිලන්තය වැනි රටවලදී අප රටේ විදේශ විනිමය වැයකිරීම වැලැක්වීම මුල්කරගෙන එවැනි සේවා සදහා පුද්ගලික අංශය විසින් අප රටේදී ලබාදිය යුතුයැයි තර්ක කළ හැක. අනෙක් පැත්තෙන් ගත්විට දේශීය හෝ විදේශීය ආයතන විසින් දේශියව පවත්වාගෙන යන පුද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා අයකරන මුදලින් කොපමණ ප‍්‍රමාණයක් ලාභය ලෙස හෙවත් විදේශ විනිමය ලෙස විදේශීය රටවලට බැර වනවාද යන්න පිළිබඳව සහතිකයක් ලබා දිය නොහැක.

කෙසේ වෙතත් මේ වන විට විදේශීය රටවල සේවය කරන ශ‍්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට විදේශ විනිමය මගින් ගෙවීම් කිරීමේ පදනම මත   සාධාරණ මුදලක් අයකරමින් දේශීය රාජ්‍ය විශ්වවිද්‍යාල ආශ‍්‍රිතව අවස්ථා ප‍්‍රමාණයක් ලබාදෙන ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක වේ. ඒ පිළිබඳ සිසුන්ගේ විරෝධයක් එල්ල වී නැත. ඊට අමතරව රජයේ විශ්වවිද්‍යාලයක් වන විවෘත විශ්වවිද්‍යාලයේ   යම් පාඨමාලා ගාස්තුවක් අය කිරීම පිළිබඳ මහජන විරෝධයක් නැත. රජයේ මූලික පිරිවැය දරමින් විවෘත විශ්වවිද්‍යාලය වැනි විශේෂිත ආයතනයක් විශේෂයෙන්ම රැකියා කරන්නන් සඳහා ඉදිරිපත් කරන පාථමාලා සඳහා සුළු ප‍්‍රතිශතයක් ලෙස යම් පිරිවැයක් යෙදවීමේ පදනම මත මුදලක් අය කිරීම මගින් නිදහස් අධ්‍යාපනයේ මූලධර්ම බරපතළ ලෙස උල්ලංඝනය නොවෙයි. නමුත් එය දිරිමත් කළ යුතු බවක් ඒ මගින් අදහස් නොවේ. ඊට අමතරව අප රටේ දැනටමත් රජයට අනුබද්ධව සහ එසේ නොමැතිව සම්පූර්ණයෙන්ම පුද්ගලික අයිතිය ඇති විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යාපන පාඨමාලා ක‍්‍රියාත්මක වේ. එම තත්ත්වය ජාත්‍යන්තර පාසල් නමින් ප‍්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනය පුද්ගලීකරණය  කිරීමේ ක‍්‍රියාවලියේම දිගුවකි. නමුත් නිදහස් සෞඛ්‍ය සේවය එසේම තිබියදී පුද්ගලික රෝහල් පවතින ආකාරයට ඒවායේ පැවැත්ම ද යම් මට්ටමකට තහවුරු වී ඇත.

අන්තවාදී සහ ආගම්වාදී පදනමකින් වෛද්‍යවරු බිහිකිරීම

නිදහස් අධ්‍යාපනයේ මූලධර්ම වලට අප රටේ දීර්ඝ කාලයක සිට යම් ප‍්‍රහාරයක් එල්ල වෙමින් තිබෙන බව මෙන්ම පවතින ක‍්‍රමය තුළ එම තත්වය සම්පූර්ණයෙන්ම වැළැක්විය නොහැකි බවද සත්‍යයකි. කෙසේ වුවත් යම් තීරණාත්මක හෙවත් මාරාන්තික ප‍්‍රහාර එල්ල වන අවස්ථාවලදී ඊට එරෙහි නොවුණහොත් නිදහස් අධ්‍යාපනයේ ගෙළ සිඳ දැමීමට වැඩි කලක් ගත නොවනු ඇත. පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට එරෙහි පවතින විශේෂිත විරෝධය සාධාරණීකරණය වන්නේ එම කියවා ගැනීම තුළ ය. එක් පැත්තකින් පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ඉතා ලාභදායී ව්‍යාපාරයක්වූ නිසා වෙනත් පාථමාලා වලට වඩා එම පාඨමාලා පුද්ගලික අංශයට ආකර්ෂණීය වී ඇත. අනෙක් පැත්තෙන් ආගමික අන්තවාදී සහ ජාතිවාදී බලවේග අන්තවාදී සහ ආගම්වාදී පදනමකින් වෛද්‍යවරු බිහිකිරීම සඳහා ගන්නා වූ දුෂ්ට උත්සාහය නිසා ද පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම විශේෂිත තත්ත්වයක් බවට පත්වී ඇත.

නමුත් වෛද්‍ය අධ්‍යාපනය පුද්ගලීකරණ කිරීමට ගන්නා වූ උත්සාහය තුළ නිදහස් සෞඛ්‍ය සේවයටද බරපතළ ප‍්‍රහාරයක් එල්ල වේ. එය ආකාර දෙකකට සිදු වේ. එක් පැත්තකින් නිදහස් සෞඛ්‍ය සේවය පවත්වාගෙන යාමේදී නිදහස් අධ්‍යාපනය මගින් බිහිවන සෞඛ්‍ය සේවකයින්ගේ භූමිකාව තීරණාත්මක වේ. පුද්ගලික අංශය මගින් බිහි කරන සෞඛ්‍ය වෘත්තිකයින් යොදාගනිමින් නිදහස් සෞඛ්‍ය සේවයක් පවත්වාගෙන යාම ප‍්‍රායෝගිකව කළ හැකි දෙයක් නොවේ. විශේෂයෙන්ම පිරිවැය සාධකය නිසා නිදහස් සෞඛ්‍ය සේවයට සීමා පැනවීමක් සිදුවේ. අනිත් පැත්තෙන් ලාභ ලබන පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සඳහා නිදහස් සෞඛ්‍ය සේවයේ සම්පත් යොදා ගැනීමට ඉඩදීම බලවත් වරදකි. එසේනම් අංගසම්පූර්ණ පුද්ගලික රෝහල් සෞඛ්‍ය සේවා පද්ධතියක් තිබේ නම් ඒවා යොදාගනිමින් පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ලබා දිය හැකි නොවේ ද යන ප‍්‍රශ්නය මතුවේ. එහෙත් එම පුද්ගලික රෝහල්වලින් ප‍්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට නිදහස් සෞඛ්‍ය සේවයේ සියලූම සේවා ලබා දීමට සිදුවේ. එවැන්නක් කිසිසේත්ම ප‍්‍රායෝගිකව සිදු කළ නොහැක. ශ‍්‍රී ලංකාවේ පුද්ගලික රෝහල් විසින් ලබා දෙන්නේ අභ්‍යන්තර රෝගී ප‍්‍රතිකාර සේවා වලින් 10%ක් පමණි. ඊට අමතරව එවැනි තත්ත්වයක් සංකල්පීයව සැලකිල්ලට ගත්තද ඒ සඳහා ලෝකයේ වැඩිම වෛද්‍ය අධ්‍යාපන ගාස්තුව අය කිරීමට සිදුවේ. ඒ නිසා සිහි බුද්ධිය ඇති ඕනෑම පාලකයෙකුට ගත හැකි හොඳම තීන්දුව වන්නේ කළ නොහැකි දේ අත්හැරීම නොවේද?

ලෝකයේ විවිධ රටවල ඓතිහාසික සභ්‍යත්ව උරුමය සහ වටිනාකම් පද්ධතිය අනුව කළ නොහැකි බොහෝ දේ තිබෙන බව තේරුම් ගෙන කටයුතු කරන පාලකයෝ බොහෝ සිටිති. ඔවුන් මහජනයා අතර දීර්ඝකාලීනව ආදරයට සහ ගෞරවයට පාත‍්‍ර වන බව ද සත්‍යයකි. සංචාරක කර්මාන්තය ප‍්‍රචලිත කිරීම සඳහා තායිලන්තය කරන දේ කිරීමට ශ‍්‍රී ලංකාවේ කිසිදු පාලකයකුට හැකියාව ලැබෙන්නේ නැත. ශ‍්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය යනු සභ්‍යත්වය උරුමයකි. පසුකාලීනව කන්නන්ගර මැතිතුමන් 1943 දී නීතිගත කිරීමට යෝජනා කරනු ලබන්නේ ඒ උරුමය මිස ආගන්තුක නව සංකල්පයක් නොවේ. අප රටේ නිදහස් අධ්‍යාපනයට පින් සිදුවන්නට සමාජ හිනිමගේ ඉහළට නැගී බොහෝ  අයට ඒ පිළිබඳ හෘදසාක්ෂියේ බරක් නැත. නමුත් යම් පිරිසක් ඒ උරුමය දිවි හිමියෙන් රැකිය යුතු යැයි සිතති. එදා රාගම පුද්ගලික විශ්ව විද්‍යාලයට එරෙහිව දියත් වූ ප‍්‍රචණ්ඩ විරෝධය නිසා වෛද්‍ය සිසුන් 34 දෙනෙකු සහ සෙසු විශ්වවිද්‍යාල සිසුන් 235 දෙනෙකු ජීවිත පූජා කරන්නේ ඒ සුවිශේෂී තත්ත්වය නිසාය. ව්‍යාජ සටන් සඳහා සිසුන් මාස ගණන් සටන් බිම්වල තබා ගැනීමේ හැකියාවක් නැත. මේ ගැඹුරු සත්‍ය තේරුම් ගැනීමට නොහැකි වූ පාලකයින් නිසා අප රටක් ලෙස විශාල වන්දියක් දැනටමත් ගෙවා ඇත.

අප රටේ දක්ෂිණාංශික කුමන්ත‍්‍රණවලින් ආණ්ඩු පෙරළීමේ දී සිසු සටන් යොදා ගැනීම පිළිබඳ බොහෝ අත්දැකීම් ඇත. එදා 1976 දී එක් සිසුවකුගේ මළකඳක් මගින් මහා ආණ්ඩු විරෝධයක් නිර්මාණය කළ සටනට දායක වූ ශිෂ්‍ය නායකයෙකු ලෙස මෙම ලියුම්කරුට ඉතා ඉතා කටුක අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවිය. ඉන් පසුව 1989 දී ලේ ගංගාවකින් එතෙර වී රාගම වෛද්‍ය විද්‍යාල සටන ජයග‍්‍රහණය කළ ආකාරය පිළිබඳ මෙම ලියුම්කරු පළමු පෙළේ සාක්ෂිකරුවෙකි. එම අත්දැකීම් අනුව වර්තමානයේ කොතලාවල විශ්ව විද්‍යාල පනත මුල්කරගෙන වර්ධනය වන තත්ත්වය බරපතළ ආණ්ඩු විරෝධි අරගලයක් බවට වර්ධනය වීමේ අවදානමක් තිබෙන බව ඉතා පැහැදිලිව දැක ගත හැක. ආණ්ඩුව මුහුණ දෙමින් තිබෙන බරපතළ ආර්ථික සහ සමාජ ගැටලූ සමග සැසදීමේ දී මෙම නිශ්චිත මොහොතේ දී එවැනි තත්ත්වයක් නිර්මාණය කරගැනීමේ උවමනාව කුමක් දැයි පැහැදිලි නැත. සමහර විට එය ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුව තුළින් ම දියත් වන කුමන්ත‍්‍රණයක් ද විය හැක. ගොඩනැගෙමින් පවතින තත්වය තුළ රටට එරෙහිව දියත්වන දීර්ඝකාලීන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයේ නිර්මාපකයින් ඉතා සතුටින් බලා සිටින බවට කිසිදු සැකයක් නැත. ඒ නිසා මෙම ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා කැප වූවන් අතර අයකු ලෙස පාලකයින්ට පෙන්වාදිය යුත්තේ කොතලාවල විශ්ව විද්‍යාල පනත නම් වූ මර උගුලට පය නොතබන ලෙසය.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More