* චෙක් ලබා ගත් 167 දෙනා කවුද…?
* විසිවැනි සංශෝධනය ගැන මතය කුමක්ද…?
* ටී.එන්.එල්. නාලිකාවට තහංචි දැම්මේ විවේචනය කළ නිසාද…?
එක් පසෙකින් ඉන්දියන් සාගරයය. අනෙක් පසින් බේරේ වැවය. මේ දෙකටම මුහුණලා ඇති ජනාධිපති කාර්යාලයේ සිට ඔහු රට කරවීමේ කර්තව්‍යයේ නිරතව සිටියි. තමන්ගේ භාර්යාව අතින් නිමවූ දිවා ආහාරය ගැනීම සඳහා ඔහු ජනාධිපති පුටුවෙන් නැඟී සිටියේ ‘තාම දවල්ට කාලවත් නැහැ…’ යෑයි කියමිනි. ‘මම මේ කාර්යාලයට එන්නේ උදේ හතයි තිහට… ඒ තරමට වැඩ පිරිලා…’ යෑයි කියමින් දිවා ආහාරය සඳහා වාඩිගත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දිවයින ඉරිදා සංග්‍රහය සමඟ කරන ලද සාකච්ඡාවයි මේ.
ප්රශ්නය – සෝභිත හිමි සමරු උළෙලේදී ඔබ විසින් පවත්වන ලද කතාවෙන් පෙනී ගියේ, ඔබගේ අරමුණ කරා යැමේ දුෂ්කරතාවක් තිබෙන බවයි. ජනාධිපතිතුමනි… ඔබ දැන් සිටින්නේ පීඩනයකට ගොදුරු වෙලාද…? නැතිනම් තනිවෙලාද…?
පිළිතුර – කොහෙත්ම තනිවෙලා නැහැ. හැබැයි දූෂිතයන්ගෙන් වෙන් වෙලා.
ප්රශ්නය – ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ දූෂණයට විරුද්ධව බව සහ ඊට එරෙහිව ක්‍රියා කරන බව රටට ප්‍රතිඥාවක් ලෙස ලබා දෙමින්. ඒ කියන්නේ ඔබ කලින්ම දූෂිතයන්ගෙන් වෙන් වුණා කියන එකනේ… මෙතැනදී වෙන්වීම ලෙස සඳහන් වන්නේ, ඔබ සමඟ එකට ආණ්ඩු කරන පාර්ශවයේ දූෂිතයන් පිළිබඳව ද…?
ප්රශ්නය – දූෂිතයෝ කවුද… නැද්ද කියලා මුළු රටම දන්නවානේ… මට මගේ ප්‍රතිපත්ති වෙනස් කරන්න පුඑවන් කමක් නැහැ. මම සැමවිටම දූෂිත දේශපාලනයට විරුද්ධයි. දූෂණයට විරුද්ධව අරගල කරන කොට දූෂිත දේශපාලනඥයන් සන්ධානගත වෙනවා. එයයි අද සිදුවෙලා තිබෙන්නේ. ඉදිරියේදී ජනතාවම හඳුනා ගනී කවුද හරි… කවුද වැරදි කියලා… අද රටේ මහජනතාවට අවශ්‍ය වෙන්නේ දූෂිතයන්ගෙන් තොර දේශපාලන ව්‍යාපාරයක්. ඒ ජනතා අවශ්‍යතා අනුව මගේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ මම සකස් කරනවා. දූෂිත දේශපාලනයට විරුද්ධ සෑම කෙනෙක්ටම ඒ සඳහා එකතු වෙන ලෙස ආරාධනා කරනවා. ඒ සඳහා පක්ෂ බේදයකින් තොරව පුළුල්, ශක්තිමත් ජාතික දේශපාලන බලවේගයක් ගොඩනැඟීමට විශාල ජනතා සහයෝගයක් ලැබෙයි කියා මම විශ්වාස කරනවා.
ප්රශ්නය -ඔබ පක්ෂයේ විශාල ප්රතිසංවිධානයක් කළා. එම ප්රතිසංවිධානයේදී අපිට ඉතා පැහැදිලිව පෙනෙනවා ක්‍රියාකාරී දේශපාලනයේ නොමැති විශ්වවිද්‍යාල ආචාර්යවරයකු පක්ෂයේ ලේකම් බවට පත්කරනවා. ඒ අතර 16 කණ්ඩායමත් පක්ෂයේ සිටිනවා. එම කණ්ඩායම ඔබ සමඟ කටයුතු කරමින් මහින්ද රාජපක්ෂ මහත්මයා සමඟත් කටයුතු කරන පිරිසක්. ශ්‍රීලනිපයේ අලුත් ප්‍රතිසංස්කරණයේ අරමුණ පොහොට්ටුව සමඟ යා වෙන පාළමක් තැනීමද…?
පිළිතුර – නැහැ. පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය සහ ප්‍රතිපත්තිය තුළ ඒකරාශිව වැඩ කිරීමේ පසුබිම සකස් විය යුතුයි. මම මේ කතා කරන දූෂිත දේශපාලනයට විරුද්ධ ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟිය යුත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය තුළයි, කියා මම විශ්වාස කරනවා. ඒ තුළ රටේ මහජනයා බලාපොරොත්තු වන දිසාවට යා හැකියි කියා මම විශ්වාස කරනවා. අද ලංකාවේ සියලු දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ආරවුල් තිබෙනවා. අභ්‍යන්තර ආරවුලක් නැති කිසිදු දේශපාලන පක්ෂයක් නැහැ. කවුරු හරි කියනවා නම් ‘අපේ පක්ෂයේ එහෙම එකක් නැහැ…’ කියා එය සම්පූර්ණයෙන්ම මුළාවක්. රට වශයෙන් ගත්විට රටේ තිබෙන සියලු දේශපාලන පක්ෂවල අභ්‍යන්තර අර්බුද, ආරවුල් තිබෙනවා. රටේ අනාගතය සඳහා. එය නිරාකරණයේදී ඉතාමත් වැදගත්… එතැනදී වැදගත් වන්නේ අප යන ඉලක්කයයි. නිවැරදි වැඩපිළිවෙළ කුමක්ද? එම නිවැරදි වැඩපිළිවෙළක් සඳහා අවශ්‍ය එකතුවීමක් තමයි අද අවශ්‍ය වන්නේ.. ඉදිරියට කුමනාකාරයේ නින්දා, අභියෝග, බාධාවන් කොතෙක් ආවත් ඒ සියල්ල තුළ මම පුළුල් ජාතික දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟනවා.
ප්රශ්නය – ඔබගේ පුත් දහම් සිරිසේන මහතාට මහරගම ප්‍රදේශයේ සුවිසල් නිවසක් තිබෙන බවට වෙබ් අඩවි කිහිපයක සඳහන් කර තිබුණා. මේ චෝදනාව පිළිබඳව ඔබගේ ප්‍රතිචාරය කුමක්ද…?
පිළිතුර – මහරගම ගෙවල් ඕනතරම් ඇති. මහරගම විශාල ජනගහනයක් ඉන්නවානේ. ඒ නිසා ඔය පළාතේ ලොකු ගෙවල් හුඟාක් ඇති… ඔය කියන විදියේ මහරගම ගෙයක්, මටවත් මගේ දරුවෙකුටත් නැති බව, දන්න අය දන්නවා. සමාජ වෙබ්අඩවි, නොයෙක් කටකතා මාර්ගයෙන් ඉතාමත් අසත්‍ය දේවල් පතුරවා හරිනවා. ඔය කියන හැමදේටම, වෙන වෙනම උත්තර දෙන්න ගියොත් මට වෙන වැඩක් කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒවා ගැන නොසලකා, මම රට වෙනුවෙන් කළ යුතු වැඩ කොටසයි කරන්නේ. අසත්‍ය කියන දේ වේගයෙන් සමාජයට ගලා ගියත් එහි සත්‍යතාව සහ යථාර්ථය යම් ප්‍රමාදයකින් හෝ ජනතාව වෙත සන්නිවේදනය වෙනවා.. විදුලි වේගයටත් වඩා වේගයකින් අසත්‍යය ගමන් කරනවා. ගෙවල් පෙන්වන දේවල් නොයෙකුත් දේවල් සම්පූර්ණයෙන් මම ප්‍රතික්ෂේප කරනවා. ඒවා සංවිධානාත්මක අතර සාමාන්‍ය කතාවේදි කියන දේශපාලන මඩ ව්‍යාපාර තමයි. ඒ අපහාස සියල්ල කරන්නේ දූෂිතයන් සහ දූෂිතයන් රකින අය. සමාජ වෙබ් අඩවිද, විද්‍යුත් මාධ්‍යයද, මුද්‍රිත මාධ්‍යයද, කටකතාවෙන්ද ඒ සියලු දෙනා මට විරුද්ධව කතා කරන දූෂිත දේශපාලනඥයන් රැකීම සහ දූෂිත දේශපාලන ව්‍යාපාරවල තත්ත්වය සමහර විට දැනගෙන සමහර විට නොදැන කටයුතු කරන අය.
ප්රශ්නය – ඔබගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්රමුඛ ප්‍රතිපත්තිය වූ දින 100 යේ වැඩපිළිවෙළයි. ඒ පිළිබදව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඔබ විසින් පසුගියදා සිදු කළා. මේ ආණ්ඩුවේ අවුල පටන් ගත්තේ එම වැඩපිළිවෙළින් බව ඔබ සඳහන් කළා. එම වැඩපිළිවෙළ අවුලක් නම් අලුත් වැඩපිළිවෙළකට යන්න ඔබට තව කාලයක් තිබෙනවා. ශ්‍රීලනිපයේ ප්‍රතිසංවිධානය ඒ සඳහා සූදානමක් ද…?
පිළිතුර – දින 100 වැඩපිළිවෙළ පිළිබඳව මම පසුගිය දවස්වල පැහැදිලි කළා. රජයක් විදියට එවකට තිබුණේ දින 100 හදා ගන්න එක නොවේ. පාර්ලිමේන්තුවේ 47 ක් තියාගෙන, එක්සත් ජාතික පක්ෂයට දින 100 තුළ තිබුණා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න, තුනෙන් දෙකේ ඡන්දය ලැබිය යුතු පනත් සම්මත කරන්න, දුම්කොළ, මද්‍යසාර, ඖෂධ පිළිබඳ පනත් සම්මත කරන්න. ඒ ඔක්කොම අපි සම්මත කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්. අද ඒ දේවල් අමතක වෙලා. මතක තිබුණත් ඒ දේවල් නොමැති බව පෙන්වමින් සමාජයට වෙන දෙයක් පෙන්වන්න හදනවා. සමහරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මම භාරගත් නිසා මේ ආණ්ඩුවට ප්‍රශ්න ගොඩක් වුණා කියන්න කියලා හදනවා.
මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාරගත් නිසා තමයි, දින සියයේ වැඩපිළිවෙළේ බොහෝ දේවල් කරන්න පුළුවන් වුණේ. මම එදා කතාවේදී කිව්වේ, දින සියයේ වැඩපිළිවෙළ මම දන්නේ නැහැ කියලා නෙමේ… මේක හැදුවේ කවුද කියලා මම දන්නේ නැහැ කියලයි. ඒත් මගේ දේශපාලන විරුද්ධවාදීන්, ඇතැම් වෙලාවට මාධ්‍ය මේක සම්පූර්ණ විකෘති කරලා මේක මම දන්නේ නැහැ කියලා මම කිව්වා කියලා ප්‍රචාරය කළා. නමුත් මම පැහැදිලිව කිව්වේ මේ වැඩපිළිවෙළ හැදුවේ කවුද කියලා මම දන්නේ නැහැ කියන එකයි.
අපි ඒක ක්‍රියාත්මක කළා. ඇත්තටම ක්‍රියාත්මක කරන්න තිබ්බේ ඒක නෙමෙයි හරිනම්. මම ජනාධිපති ධුරයට පත්වුණු ගමන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නයි තිබුණේ. එහෙම කළා නම් මේ තියෙන ගොඩක් ප්‍රශ්න නැහැ. අලූත් පක්ෂ හැදෙන්නෙත් නැහැ.
ප්රශ්නය – සභාග රජයක් එන්නේ දේශපාලන අස්ථාවරභාවයත් සමඟ… එහි නායකයාට හැම තිස්සෙම දුක් කම්කටොලුවලට මුහුණ දෙන්න වෙනවා. මෙයින් ගැලවෙන අදහසක් ඔබට නැද්ද…? ස්ථිර වැඩපිළිවෙළකට යන්න තවමත් කාලය ඉතුරු වී තිබෙනවා නේද…?
පිළිතුර – ස්ථීර වැඩපිළිවෙළකට යන්න නම් පාර්ලිමේන්තුව විසුරුවන්න ඕන. පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයකට යන්න ඕන. පාර්ලිමේන්තුව විසුරුවන්න දැන් ජනාධිපතිවරයාට පුළුවන්කමක් නැහැ. පාර්ලිමේන්තුව විසුරුවන්න පු`එවන් වන්නේ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්තෙන් විතරයි. මේ නිසා පාර්ලිමේන්තුවේ තිබෙන ව්යqහය තුළ කළ යුතු වැඩකොටස් ඒකරාශීව කරන එක තමයි දැන් කළ යුතු වෙන්නේ. මතුපිටින් හා අභ්‍යන්තර වශයෙන් සෑම දේශපාලන පක්ෂයකම අර්බුද ඇතිවෙලා තිබෙනවා. මේ තත්ත්වය රටේ අනාගතය සඳහා බලපානවා. ඒ නිසා රටට ආදරේ තිබෙන සෑම කෙනෙක්ම ඒ අර්බුද අමතක කරලා රට වෙනුවෙන් එකට එක්ව වැඩකරන්න ඕනේ…
පාර්ලිමේන්තුව විසුරුවනවා නම් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරු කැමැත්තෙන් විසුරුවලා ඡන්දයකට යන්න ඕන.
ප්රශ්නය – ජනාධිපතිතුමනි, බැඳුම්කර ජාවාරම්කරුවන්ගෙන් චෙක් ලබා ගත් 118 ලැයිස්තුවක් තිබෙන බව සඳහන් වෙනවා. සමහර ආරංචි මාර්ග සඳහන් කරන්නේ 167 ලැයිස්තුවක් තියෙනවා කියලා. මේ නම් ලැයිස්තුව දන්නේ ඔබ පමණක් බව බොහෝ දෙනා කියනවා. දූෂණයට විරුද්ධව සටන් කරන ඔබ, මේ ලැයිස්තුව හෙළි නොකරන්නේ ඇයි…?
පිළිතුර – ඔය ගැන මගෙන් අහන අය ඉන්නේ අනවබෝධයක. ජනාධිපතිවරයා විසින් ජනාධිපති කොමිෂන් සභා පත්කරන්නේ ඔහුට තිබෙන ව්‍යවස්ථානුකූල බලතලයෙන්. බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සෙවීමට පත්කළ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් කොමිසමක්. ඒ කොමිසමෙන් ලබාදුන් නිර්දේශ, කළයුතු කාර්යයන්, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය, මහ බැංකුව ආදී ඒ ඒ ආයතන වලට භාරදීලා තිබෙනවා. එතකොට ඒ වැඩපිළිවෙළවල් දැන් ක්‍රියාත්මක වෙනවා. ඒ අතරවාරයේ මේ කොමිෂන් සභා වාර්තාවේ කරුණු පිළිබඳුව එළිදැක්වීමේ කිසිම නීතිමය අයිතියක් ජනාධිපතිවරයාට නැහැ.
ඒ නිසා බොරුවට කෑගහන මොළේ අමාරුකාරයෝ තේරුම්ගන්න ඕනේ, වේදිකාවේ වීරයෝ වෙන්නේ නැතිව, ඇත්ත මොකක්ද කියලා. මේ වගේ වාර්තාවක් සම්බන්ධයෙන් තිබෙන නීතිමය තත්ත්වය සහ ව්‍යවස්ථාපිත තත්ත්වය අනුවයි ඒ කටයුතු කළ යුතු වෙන්නේ… ඒ නිසා වැරදි වැඩවලට සම්බන්ධ කොමිෂන් සභාවෙන් බලාපොරොත්තු වූ අරමුණු ඉෂ්ට කරගැනීමේ විමර්ශනය තුළ ඉදිරියට ගෙනයන පරීක්ෂණ අනුව තමයි මේ පිරිස කවුද කියලා හෙළිවන්නේ… ඒ පරීක්ෂණ තුළින් හෙළිවීම විනා. ඔය කියන විදිහේ ලැයිස්තු ඕක ඇතුළේ තිබෙනවා කියලා මටනම් දැනගන්න නැහැ.
ප්රශ්නය – ඔබගේ මෑත කාලීන දේශපාලන ජීවිතයේ සියලු කරදර පටන් ගන්නේ බැඳුම්කර කොමිසම සමඟයි. ඔබ එහෙම නොකළා නම් ඔබට මිහිරි ජීවිතයක් ගතකරන ජනාධිපති කෙනෙක් විදියට ඉන්න තිබුණා. ඔබ මොකද මේ ගැන හිතන්නේ?
පිළිතුර – ඔව් ඉතිං මේකෙදි පුද්ගලිකව කවුරු හතුරුකම් කළත්, නින්දා අපහාස කළත්, මම ඒ කරපු දේ හරි. ඒක රට වෙනුවෙන් කළ දෙයක්. එතකොට ඔබ සඳුහන් කළා වගේ කොමිසම පත් නොකර හිටියා නම් මට කිසි කරදරයක් නැහැ. මටයි පවුලේ දරුවන්ටයි කරන නින්දා අපහාස මුකුත් නැහැ. එසේ වුවත් මම රට වෙනුවෙන් කළ යුතු දේ කළා. මට එන ඕනම ප්‍රශ්නයක් දෙවැනියි, රට තමයි පළමුවැනි. මේ කොමිෂන් සභාව පත්කිරීම තුළ තමයි, මේ විදියේ මං ගැන වැරදි මතයන් නිර්මාණය කරන්න ඇතැමි පිරිසක් උත්හාස කරමින් ඔය කටයුතු කරන්නේ.
ප්රශ්නය – නියෝජ්‍ය කථානායක තනතුර වෙනුවෙන් ඔබගේ පාර්ශවයෙන් නම් කළ සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැරදුණා. ඒක ඔබගේ පාර්ලිමේන්තු බලයේ තරම පිළිබඳ එක්තරා සංකේතයක් ලෙස පෙනී යනවා නේද?
පිළිතුර – නැහැ. පාර්ලිමේන්තුවේ කටයුතු වෙනයි. පාර්ලිමේන්තුවේ කථානායක, නියෝජ්‍ය කථානායක තෝරන විට බොහෝවිට පක්ෂමය තීන්දු තීරණවලට එහා ගිහින්, මන්ත්‍රීවරුන්ට නිදහසේ ඡන්දය භාවිත කිරීමේ අයිතිය, බොහෝ වෙලාවට ලැබිලා තිබෙනවා. ඉතිං ඒ අනුව තමයි ඔය නියෝජ්‍ය කථානායක තේරීමේ ඡන්දය සිදුකෙරුණේ… ඒ ඇරෙන්න ඒ ප්‍රතිඵලයෙන් මට බලපෑමක් නැහැ. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 අයිතියක්. ඒ නිසා ඒක ගැන මගේ වෙනත් මතයක් නැහැ.
ප්රශ්නය – 20 වන සංශෝධනයට ඔබ එකඟද?
පිළිතුර – 20 වැනි සංශෝධනය මට තවම ලැබිලා නැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා කියලා, මම මාධ්‍ය තුළින් දැකලා තිබෙනවා. නමුත් අද වන තෙක් මට 20 වැනි සංශෝධනයේ පිටපතක් ලැබිලා නැහැ. ඒ නිසා මට ඒ ගැන මුකුත් කියන්න බැහැ.
ප්රශ්නය – මාධ්‍ය නිදහස සුරකින බවට පැහැදිළි පොරොන්දුවක් දීලා තමයි ඔබ බලයට පත්වන්නේ… එසේ තිබියදී විදුලි සංදේශ කොමිසම විසින් ටී.එන්.එල් රුපවාහිනියේ විකාශන කුළුණක් සඳහා තහංචි පනවා, එහි තිබූ උපකරණ අධිකරණයට ඉදිරිපත් කරනවා. මේ තහංචියට පෙර එම නාලිකාව ඔබව විවේචනය කර තිබුණා. තහංචිය සඳහා අදිසි හේතුව බවට පත් වූවේ එම කාරණය බව ඇතැමුන් ප්‍රකාශ කළා. මේ තහංචිය සඳහා ඔබේ සම්බන්ධයක් තියෙන බවට රාවයක් පැතිරෙනවා…
පිළිතුර – ඔය කියන කටයුත්තට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. ආයතනික වශයෙන් ඒ ආයතන විසින් ගත් තීරණයක්. රටේ නීතිය කාටත් එකයි. ඒ ආයතනවලට ඒ බලය දීලා තිබෙනවා. ඒ අනුව ඒ ආයතනවල නිලධාරීන් කටයුතු කරලා තිබෙනවා. ඒ ඇරෙන්න මගේ පෞද්ගලික බලපෑමක් හෝ සම්බන්ධයක් ඔය කියන කාරණය සම්බන්ධයෙන් කොහෙත්ම නැහැ.
Irida Divaina
සාකච්ඡා කළේ
අනුර සොලමන්ස් – මනෝඡ් අබයදීර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...