පුරවැසි කොලම

ග.අ.ඥා. හිමියන් එක රටක් එක නීතියක් ව්‍යාපෘතිය බාර ගැනීම සහ ඊට සමාන්තරව උගත්, ධර්මධර, විනයධර ආරණ්‍යවාසී ස්වාමින් වහන්සේලාට පරුෂ වචනයෙන් බැණ අඩ ගැසීම [1, 2, 3, 4, 5] ගැන සංවාදයක් ගොඩ නැගිලා තියෙනවා. මේ නිසා, මේ සටහන මේ පිලිබඳ කියවීමට සුදුසුම කාලය ලෙස සලකනවා.
අති ගෞරවණිය මඩිහේ පඥාසීහ මහා නායක ස්වාමින් වහන්සේගේ සිංහලයා සහ සිංහල බෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් දියත්කල වැඩටසටහන්, ව්‍යාපෘති, සහ උන්වහන්සේගේ වැඩපිළිවෙළ බොහෝදුරට ඉතාම ගෞරවණිය රාජ්‍යතාන්ත්‍රික ස්වභාවයක් ගත්තා. ඊට හේතු වෙන්න ඇත්තේ, දැඩි විනයක් නඩත්තු කල මහරගම ධර්මායතනය සහ බම්බලපිලිටිය වජිරාරාමය මුලික කරගත් සම්ප්‍රදාය සහ උන්වහන්සේ සිංහලයේ (නිළ නොලත්) අවසාන සංඝ නායක ලෙස දැරූ උත්තරීතර තනතුරේ ගෞරවය විය හැකියි.
නමුත් උන් වහන්සේගේ අවසාන කාලයේ ඔත්පල තත්වය නිසා බොහෝදුරට ජාතික ව්‍යාපාරයට මැදිහත්වීම් වලින් ව්‍යුක්තව වැඩවසන්න සිද්දවුනා. මේ අතරේ, දුර්වල (ආර්ථිකයෙන්, මතින්, පවුල් ජිවිතයෙන්) සිංහලයා, බෞද්ධ සිද්ධස්ථානවල අක්‍රමිකතා, ලංකාවේ 21නි සියවසේ ජිහාඩ් අන්තවාදයේ පියා අශ්රොෆ් සහ එලිටිටියි බෙදුම්වාදයන්, සහ චන්ද්‍රිකා සහ රනිල් බලය වෙනුවෙන් සිද්ද කල අනවරත පාවාදීම් හමුවේ සැලකිය යුතු ලෙස උගත් ධර්මධර සහ විනයධර භික්ෂු නායකත්වයක අවශ්‍යතාවය දැනෙමින් පැවතියා.

මේ වකවානුව වෙනකොට, 90 දශකයේ ඉදල ඊනියා සහජීවන සාම තවලන් සහ අතොරක් නැති රා.නො.ස. නිසාවෙන් ජනමාධ්‍යට සිංහලයා ගැන කථා කිරීම, ඒ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිඳිම, බුද්ධ වන්දනාව, පිරිත්, සහ ධර්ම දේශණා අසාත්මික ලෙස ගෙන සහ වාරණ පනවාගත් කාලයක්.
මේ හිඩැස පුරවමින් තමයි, ගෞරවණිය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ ජාතික සංවාදයට එකතුවෙන්නේ. “මිනිසා හදා රට හදමු, සිංහලයාගේ සමගිය ජාතික සමගියේ පදනම වේ” යන ධර්මායතන සහ වජිරාරාම ආදර්ශ වැකිය කරගනිම්න් සෝම ස්වාමින් වහන්සේ විසින් අපේ අඩුපාඩු හදාගෙන රට හදන ව්‍යාපෘතියක් අරඹනවා. ඒ වගේම, උන් වහන්සේගේ හදිසි අදිසි අපවත් වීම රටම සලිත කරනවා.
මේ අතර, සෝම ස්වාමින් වහන්සේගේ අපවත්වීමත් එක්ක ආශ්චර්යකින් මෙන් රට පුරාම නැවත අලුත් ජීවයකින් සිංහලත්වය සහ බෞද්ධකම ගැන පුනරුදයක් ඇතිවුනා. මේක කවුරුත් අත්දැකපු කාරණයක්.

නමුත් උන් වහන්සේගේ හදිසි අපවත්වීමත් ජාතික ව්‍යාපාරයට නැවත උගත් ධර්මධර සහ විනයධර භික්ෂු නායකත්වයක රික්තයක් ඇතිවෙනවා. බොහෝ උගත් ධර්මධර විනයධර භික්ෂුන් වහන්සේලා සෝම හිමියන්ගේ රික්තය පුරවන්න උත්සාහ කරත් කෙටි කාලයක් තුල උන්වහන්සේ සිදුකල ජාතික සහ ශාෂණික සේවාව කිසිවකුට සමකල නොහැකි, අමරණීය සේවාවක් බවයි මගේ විශ්වාසය.
මේ නව පුනරදයත් එක්ක, කාට කාටත් තේරෙන්න ගන්නවා තවදුරටත් රබර් බෝලයක් වතුරේ ඔබාගෙන ඉන්නවා වගේ සිංහල බෞද්ධකම මගහැර යා නොහැකි මට්ටමේ “සිංහල බෞද්ධ ජාතිකත්වය” දේශපාලන ප්‍රාතිහාර්යක් ලෙස තීරණාත්මක සාධකයක් වෙලා කියල. දේශපාලනයේ සිදුවෙන වෙනස්කම් වලට සමාන්තරව, ව්‍යාපාරික ක්ෂේශ්ත්‍රයන් (ජනමාධය සහ ඇතුළු මහජනතාව සමග ගනුදෙනු කරන ආයතන) පවා මේ වෙනසට අනුගත වෙනවා. උදා; විදිහට රටේ අනු සහ ප්‍රධාන ජනමාධය ආයතන වලට එතෙක් දශකයකට වඩා වහකඳුරු වෙලා තිබ්බ බුද්ධ වන්දනාව, පිරිත්, සහ ධර්ම දේශණා නව ආරකින් එකතුවෙන්නේ ඒ විදිහට.

මේ එක්කම, දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් භික්ෂුන්ට තියෙන ඉල්ලුම නිසාවෙන් ඒ වෙනුවෙනුත් වෙළඳපලක් නිර්මාණය වෙනවා. බුද්ධ චිවරය ඇලජික් වුන ජ.වි.පෙ. පවා දඹර අමිල හිමි මුලික කරගනිමින් ඔවුන්ගේ භික්ෂු පෙරමුණ කරලියට ගේන්නේ මීට සමාන්තර වකවානුවේ. ග.අ.ඥා. හිමියන්ගේ ආගමනය සිද්දවෙන්නෙත් මේ පරිසරය තුල. ස්වාභාවයෙන් ග.අ.ඥා. හිමියන් බලවත් ලෙස අවධානය හඹායන්නෙක්.
මේ ඇමිණුම් පිංතුර සටහනේ පරිදි;


මගේ දැනුවත්භාවයේ හැටියට ග.අ.ඥා. හිමිගේ මුල්ම එකතුවිම වෙන්නේ ජාතික සංඝ සභාව හරහා සිහළ උරුමයට. එයින් පසුව, හෙළ උරුමයටත්, ජාතික සංඝ සම්මේනලයටත් එකතු වෙනවා. මේ වකවානුවේ, මේ බහුතර ආයතන වල භික්ෂු බලාධිකාරය තිබ්බේ රතන හාමුදුරුවන්ට. කථාවට කියන්නේ, රතන හාමුදුරුවෝ ඔලුවෙන් හිටගන්න කිවුවත් කරන මට්ටමේ භයක් පක්ෂපාතිත්වයක් ග.අ.ඥා. හිමිට තිබිලා තියෙනවා. කොහොම හරි, මේ හෑම තැනකම උන්වහන්සේ ක්ෂුද්‍ර චරිතයක් වුනා මිසක් සැලකිය යුතු තැනක් ලැබුනේ නැති වීමට ප්‍රධාන හේතුවක් වෙන්නේ, ඔළුවෙන් වැඩ කල යුතු තැන්වල ඇඟේ පතේ හයිය පෙන්නන දුර්වලතාවය නිසා. නමුත් මුන් වහන්සේගේ මධුර ධර්ම දේශණා ශයිලිය කැපිපෙනුන හැකියාවක් වෙනවා. ඒ අනුව තමයි, 2005 විහාර මහා දේවි උද්‍යානයේ පැවති පෙම්වතුන්ගේ දිනයේ ධර්ම දේශනා අවස්ථාව ලැබෙන්නේ. මතක විදිහට, 2005 සුනාමි සහන පනතට විරුද්දව කොළඹ පැවති විරෝදතාවයකදි පෙන්වපු අඥාන ආවේගශීලි හැසිරීම එවක ග.අ.ඥා. හිමි සමග සමීපව වැඩකරපු කාගේත් පාහේ විවේචනයට ලක්වුණා ඔහුව පසෙකට කරනු ලැබුවා..

“රවී කරුණානායකගේ එජාප” ව්‍යාපෘතිය

මෙවැනි හේතු රාශියක් නිසා එම කණ්ඩායමෙන් කොන් වීම සහ සුපුරුදු අවධානය හඹායාමේ චරිත ස්වභාවය උන්වහන්සේවට බලාපොරොත්තු වෙන පිළිගැනීමක් නොලැබෙන තැන, දැඩි භික්ෂු හිඟයක් පෙළෙමින් හිටිය එජාප රවී කාරුනාණයකගේ ව්‍යාපෘතියට උන් වහන්සේ එකතුවෙනවා. හොඳට මතක් කරගන්න මේ වකවානුවේ එජාප තත්වය මොන වගේද කියල. මම හිතන්නේ, මෙතනින් පස්සේ, ජාතිකත්වය වෙනුවෙන් වූ සැබෑ හැඟීමෙන් වැඩ කිරීමේ උවමනාව තිබු භික්ෂුව වෙනුවට ඉල්ලුමට සැපයුම ලෙස අනෙකාගේ (වාණිජ) ව්‍යාපෘති වෙනුවෙන් භික්ෂු ආත්මය දියකරන චරිතය ඉස්මතු වෙනවා.
ඒ අනුව, උන්වහන්සේ එජාපට එතෙක් දැඩි අහේනියක්ව පැවති එජාප භික්ෂු පෙරමුණ නිර්මාණය කිරීමේ නායකත්වය ගන්නවා. එතැනින් ඔබ්බට ලංකාවේ සුළු කාලයකට නව ලිබරල් ක්‍රමයේ රන් දෙවොල (ජාති සහ දේශ ද්‍රෝහී ව්‍යාපාරයේ සියලු පකිර්ලාගේ මහ ගෙදර) පාක්‍යසොතිලාටත් සම්බන්ධ වීමක් වුන බවයි දැනුවත්. අදටත් රවී කරුණායක සහ අසාද් සාලි වැන්නවුන් මුන් වහන්සේගේ ගජ මිතුරන්. ඔහොම ගිහින් නුල කැඩුන සරුංගලය ආයිමත් යුධ පාක්ෂික පෙරමුණට බල්ටියක් ගහන්නේ, එවක කොළඹ පැවති යුද විරෝධී රැළියක ඩෙඟා නැටීමෙන් පස්සේ. කොහොමත් ඉස්සර ඉදලම, ඔලුව වෙහෙසා කරන වැඩ වෙනුවට කඳ වෙහෙසා කරන වැඩවලදී උන් වහන්සේ ඉදිරියෙන් හිටියා.

“බොදු බල සේනා” ව්‍යාපෘතිය

ඔහොම ඉස්සරහට එනකොට, යුද්දය අවසන් වීමත් එක්ක පශ්චාත් යුද පරිසරයට හැඩගැහෙන්න වීම නිසා ටික කාලයක් වැඩි කථා බහක් නොතිබ්බත්, බොදු බල සේනා (බො.බ.සේ.) නමින් කිරම විමලජෝති හිමිගේ නායකත්වයෙන් සංවිධාන ව්‍යුහයක් ගොඩ නැගෙනවා. පසුකාලීනව, ඉතාම සුළු කාලයකින් බො.බ.සේ. ගමනේ හානිකර තත්වය දැක්ක උන්වහන්සේ අප්‍රසිද්ද ඉන් ඉවත් වීමත් සමග එය බො.බ.සේ. ග.අ.ඥා. හිමිගේ සහ දිලන්ත විතානගෙලාගේ ව්‍යාපෘතියක් බවට පත්වෙනවා.
ඒ වගේම, ඩිලන්ත විතානගේ, ග.අ.ඥා. හිමි, සහ විතරන්දෙනියේ හිමි ඇතුළු පිරිස 2011දි සිදුකල රහසිගත නෝර්වේ ගමන, අන්තර්ජාතික රා.නො.ස. වන වර්ඩ්විව් සභාපති ආන ෆියොටොෆ් අතර සම්බන්ධය හුදෙක් අහම්බයන්ද? ඒ වගේම, එරික් සෝල්හයිම් ස්වයං චරිතාපදානෙ ලියල තියෙන්නේ කොළඹ පිහිටි ආන ෆියොටොෆ්ගේ නිවසේදීයි.

මේවා හුදෙක් අහම්බයන්ද.

මේ එක්කම තමයි, සමාජ මාධ්‍ය හලාල් විරෝදය මතුවෙන්නේ. මේ රැල්ලේ ඉතාම සුක්ෂමව බො.බ.සේ. විසින් ග්‍රහණය කරගෙන, එය ඔවුන්ගේ ව්‍යාපෘතියක් කරගන්නවා. මෙතැනදී, සිද්දවෙන හලාල් විරෝදී පිලේ ඇතිවෙන ප්‍රධාන කථිකා දෙකක්; නීතිමය ක්‍රියාමාර්ග හරහා එතෙක් ඊනියා හලාල් සහතිකය මුවාවෙන් අනිතිකව අයකරගත් රුපියල් බිලියන ගණනක් වූ ධනය අයකර ගැනීමට සහ බුද්ධිමය දේපළ පැහැරගැනීම් වලට එරෙහිව වන්දි ජයිමතුල් උලමා සභාවෙන් (ජ.උ.ස.) අයකරගැනීම සහ/ හෝ ස්ථිර ලෙසම හලාල් තහනමකට යා යුතු බව. බො.බ.සේ. මේ ව්‍යාපෘතිය ඔවුන්ගේ ග්‍රහණයට ගැනීමත් සමග, බො.බ.සේ. සහ ජ.උ.ස. අතර අතරමැදි කරු විදිහට ඉදිරිපත්වෙන්නේ බැසිල්. කථාව අවසාන වෙන්නේ, ජ.උ.ස. හලාල් නිත්‍යානුකුල කර ගැනීමට සහන කාලයක් ලබාදීමෙන්. දැන් ඕනම කෙනෙක්ට තේරෙන්න ඕනේ මොන වගේ ගනුදෙනුවක්ද වෙන්න ඇත්තේ කියල.

ඊට අමතරව, එතෙක් මෙතෙක් බො.බ.සේ. ගැලරිය චුන් වෙන්න වැඩ කරා ඇරෙන්න, නව ලිබරල් කඳවුරට [6] ලංකාවේ බෞද්ධ ත්‍රස්ථවාදය, ලංකාවේ බෞද්ධ අන්තවාදයට 21නි සියවසට අවශ්‍ය කරන සාක්ෂි නිර්මාණය කිරීමෙන් ඔබ්බට වෙනත් ඉදිකටු තුඩක හෝ ජයග්‍රහණයක් තියෙනවද…? පසුගිය කාලයේ බො.බ.සේ. ව්‍යාපෘතිය විසුරුවා හරිනවා. එතැන් සිට මේ දක්වා ආපු ගමනේදී, අමතර කාරණයක් විදිහට, පහුගිය අවුරුද්දේ උන්වහන්සේට ප්‍රාඩෝ රථයක් තෑගි ලැබීම ගැන ඊට මුස්ලිම් සංවිධාන වල සම්බන්ධය ප්‍රශ්න කරේ, කාලයක් උන්වහන්සේගේ ලඟින් වැඩ කරපු තරුණ භික්ෂුන්වහන්සේ නමක්මයි. මේකට උන් වහන්සේ සැහෙන්න කලබල වුන බවක් පේන්න තිබුනා.
ඒ වගේම, රාත්‍රියට මධු විතින් සප්පායම් වීම, වෙනත් භික්ෂුත්වයට අකැප අපචාර වැනි දේ නිසාම විවිධ ගැටුම් ඇතිකරගැනීම ප්‍රසිද්ද කාරණයක්. සමහර එවැනි ගැටුම් ජාතියට ශාෂණයට මුවාවී තමන්ගේ ආරක්ෂා සලසාගත් අවස්ථාද ඕනේ තරම්. කොටින්ම, බුද්ධ වචනයට අනුව, උන් වහන්සේ පාරාජිකා භික්ෂුවක්. නමුත් චිවරය දැරීම නිසා, පැවිද්දෙකුට ලබා දිය යුතු අවම සහ ප්‍රමාණවත් ගෞරවය ලබාදීම බෞද්ධයන් හැටියට අපේ වගකීමක් [7]. ඒත් පුද්ගලයා ගැන මනා අවබෝධයෙන් යුතුව මිසක් අන්ධ භක්තියකින් නෙමෙයි.

“එක රටක් එක නීතියක්” ව්‍යාපෘතිය

ගෝඨාභය රජයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වුන “එක රටක් එක නීතියක්” ක්‍රියාත්මක කිරීමට ප්‍රමාදය සහ ජනතා කළකිරිම/ අප්‍රසාදය සමනය කරන්න, ඒ ව්‍යාපෘතිය පැවරෙන්නේ ග.අ.ඥා. හිමිට. දැන් මේකේ අවසානය මොකක් වෙයිද කියල අමුතුවෙන් කථා කරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. මොකද ලිහල බලපු මල්ලේ ඔබල බලන්න දෙයක් නැති නිසා. කොහොම නමුත් “එක රටක් එක නීතියක්” වැනි ව්‍යාපෘතියක් සැබෑවටම කෙරෙන වැඩක් නම්, බාර දිය යුතුව තියෙන්නේ නීතිය පිලිබඳ හසල දැනුමක් තියෙන කයිවාරුවෙන් නෙමෙයි, වැඩ වලින් ප්‍රතිඵල පෙන්නපු ශාශ්ත්‍රීය පදනමක් සහිත කා අතරත් අවිවාදයෙන් ගෞරවයට පාත්‍ර වුන උගත් දේශමාමක කණ්ඩායමකට. ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරණාගම වැනි උගතුන් ඊට ඔනෙවටත් වඩා ඉහලින් සුදුස්සන්. එහි නායකත්වයට භික්ෂුන් වහන්සේලාගේ දායකත්වය අවශ්‍ය නම්, ඊටත් ඉහටත් උඩින් සුදුස්සන් ඕනෑ තරම්. ශාස්ත්‍රීය සහ විනයවත් භික්ෂු ජිවිත ගත කරන උගත්, ධර්මධර, විනයධර අස්ගිරි පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී ස්වාමින් වහන්සේ සහ ප්‍රධාන ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද ස්වාමින් වහන්සේ වැනි කා අතරත් ගෞරවය සහ ප්‍රසාදය දිනාගත් නායක හිමිවරුන් දැක්විය හැකියි. උන්වහන්සේලාගේ දේශපාලනකින් තොරව නිස්සරණධ්‍යානයෙන් සිදුකර ඇති සහ සිදුකරන සේවාව ග.අ.ඥා. හිමිගේ වයසත් ඉක්මවා යනවා.

මේ අනුව, වියතුන්ගේ රජයක් බිහිකරන පොරොන්දුව පිට පැමිණි ගෝඨාභය ජනාධිපති “එක රටක් එක නීතියක්” ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනයට නඩු විසි ගණනක් තියනවා කියන නුගත් ත්‍රාඩ පාරාජිකා පැවිදි ජිවිතයක් ගත කරන ග.අ.ඥා. හිමිගේ නායකත්වයෙන් කමිටුවක් පත් කිරීම හා ඒ හරහා ඒ කමිටුව ලබාදෙන වාර්ථාවට බලාපොරොත්තු වෙන පිළිගැනීම වටිනාකම මොකක්ද? හුදෙක්ම ඒ ගැන බලාපොරොත්තු දල්වාගෙන ඉන්න ගැලරිය ස්වයං වින්දනයෙන් සහ පිනවීමෙන් ඔබ්බට නොකෙරෙන වැඩේට කෝඳුරු තෙල් හොයන්න කමිටුවක් දැම්මට දෙවෙනි වෙන්නේ නැහැ. මම දකින විදිහට, ග.අ.ඥා. හිමියන් තමයි ජාතික ව්‍යාපාරයේ භික්ෂු මැදිහත්වීම වාණිජ කරණයේ නිර්මාතෘ සහ ඒ වෙළඳපලේ ප්‍රමුඛයා වෙන්නේ.

දුර්මත

ඒවගේම, සමාජයේ බරපතල දුර්මතයක් තියෙනවා, ආරණ්‍යවාසී ස්වාමින් වහන්සේලාගෙන් ජාතියට හෝ ශාෂණයට වෙන සෙතක් නැති බවත්, “ජාතිය හෝ ශාෂණය” රැකෙන්නේ නගරයේ භික්ෂුන් වහන්සේලාගේ සහ දේශපාලකයන්ගේ පිහිට නිසාවෙන් පමණක් බවත්. මේ අදහස මම සපුරා බැහැර කරනවා. ජිවයේ පැවැත්මට අත්‍යවශ්‍ය ඔක්සිජන් නිෂ්පාදනයේ 80% ආසන්න දායකත්වය දක්වන්නේ ගොඩබිම අහස උසට දිවෙන වනස්පතීන් නොව, සාගරයේ නිහඬව වැඩෙන ඇල්ගී සහ බැකිටිරියා මගින්. එපරිදිම, අපේ රට පුණ්‍ය භූමියක් බවත්, එය ශාශානාරක්ෂණ සම්‍යක් දුෂ්ඨික දෙවියන් සහ බ්‍රහම්යන්ගේ රැකවරණය ලැබෙන්නේ, මුලිකවම ලක්දිව සසුනේ ග්‍රාමවාසී වේවා, ආරණ්‍යවාසී වේවා සීලයෙන් සහ ගුණයෙන් පිරිපුන් යතිවරයන් වහන්සේලා නිසාම පමණක් බවයි. එතනින් පරිබාහිර සියල්ලන්ගේ දායකත්වය තෘතිකයි සහ ප්‍රාථමික බවයි මම අත්දැකීමෙන් යුතුව දැඩිව විශ්වාස කරන්නේ.
තවත් දුර්මතයක් සමාජයට මුදාහරිමින් තියෙනවා, ඒ තමයි ග.අ.ඥා. හිමියන් අති පුජනිය මිගෙට්ටුවත්තේ හිමි, වාරියපොළ හිමි, සහ කුඩාපොළ හිමි පරම්පරාවේ බව. මේක හරියට වෙනත් ක්ෂිරපතයක් සහ මේ පොළව සසදනවා වගේ අඥාන නොමනා ක්‍රියාවක්. මේ කිසිදු හිමිනමක් සීලයෙන් හෝ ගුණයෙන් පිරුහුණු හෝ පාරාජිකා ආසනයට හෝ පැමිණි උතුමන්ලා හෝ දේශද්‍රෝහීන් සමඟ ව්‍යාපෘති කළවුන් නොවන බවත්, මේ 19 හෝ 20 වෙනි සියවස නොවෙන බවත් කරුණාවෙන් මතක් කරනවා.
ආශ්‍රිත ඇමිණුම්;
[1] https://youtu.be/d8UD5mO7vR8
[2] https://youtu.be/EHANzb-rYcQ
[3] https://youtu.be/xSpQYzTMw08
[4] https://youtu.be/TCGdaYhbvsQ
[5] තරුණ ආරණ්‍යවාසි සිල්වත් භික්ෂුන් වහන්සේලා සම්බන්ධව මගේ මතය මීට වඩා වෙනස් පුළුල්ව කියවීමක් සහිත ගෞරවණියව කල යුතු නිසාවෙන්, දැනට උන් වහන්සේලාගේ එළබීම් සම්බන්ධව පසුවට කථා කිරීමේ බලාපොරොත්තුවෙන් බහා තබනවා.
[6] Nirmal Dewasiri, New Buddhist Extremism and the Challenges to Ethno-Religious Coexistence in Sri Lanka, International Centre for Ethnic Studies, October 2016
[7] රත්නත්‍ර‍ය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය, https://pitaka.lk/books/bauddhayage-athpotha/6-7.html

 

सिरूवीर ठकिर्ल



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More