දැන් ඇමෙරිකානු ජනපද සංගමයේ ජනාධිපති තනතුර දරන්නේ ජෝ බයිඩන්. ඔහු තමයි ඇමෙරිකානු ජනපද සංගමයේ 46 වැනි ජනාධිපතිවරයා. මේ දක්වා ඇමෙරිකාවේ මහ පුටුව හොබවපු අයගෙන් 44 දෙනෙක් සංස්ථාපිත ක්‍රිස්තියානි ආගම් අදහපු අය. ඒ 44 දෙනාගෙන් 42 දෙන්නෙක් ම රෙපරමාදු ආගම අදහපු අය. 1961 දී ජනාධිපති පදවියට පත්වෙච්ච ජෝන් කෙනඩි ඇදහුවේත් දැන් බලයේ ඉන්න ජෝ බයිඩන් අදහන්නෙත් කතෝලික ආගම. 1861 දී බලයට පත්වුණු එබ්‍රහම් ලින්කන් අදහපු ආගම ගැන නිරවුල් තොරතුරක් නෑ. සමහරු කියන විදිහට ඔහු යේසුස්වහන්සේව විශ්වාස කළා. තවත් සමහරු ඒ කතාව ප්‍රතික්‍ෂේප කරනවා.
ඇමෙරිකාවේ 3 වැනියාට ජනාධිපති වුණු තෝමස් ජෙෆසන් ටිකක් අමුතු කෙනෙක්. ඔහු ක්‍රිස්තියානි දේව ආගම පිළිගත්තා. ඒත් යේසුස්වහන්සේගේ දිව්‍යමය බව පිළිගත්තේ නෑ. ස්වභාවය සහ හේතුවාදය ඇසුරින් දෙවියන්ගේ පැවැත්ම තහවුරුකරන්න පුළුවන් කියලයි ඔහු කිව්වේ. ඒ හින්දා ඔහු කිසිම සංස්ථාපිත පල්ලියක සාමාජිකයෙක් වුනේ නෑ.
ජෙෆසන් කියන්නේ ලිබරල් ලෝකයේ මහා පොරක්. ඔහුට හැකියාවන් මහ ගොඩකුත් තිබුණා. ඇමෙරිකාව පිහිටුවන්න මුල්වෙච්ච ආරම්භක දේශපාලන නායකයෙක් වෙනවාට අමතරව, රාජතාන්ත්‍රිකයෙක්, නීතිය පිළිබඳ විශාරදයෙක්, දාර්ශනිකයෙක් විදිහටත් ඔහුට සැළැකුම් ලැබෙනවා.
තෝමස් ජෙෆසන් ජනාධිපති ධුරයට පත්වුනේ 1801 දී. ඒ වෙද්දි අලුත් රාජ්‍යය හොඳින් ස්ථාවර වෙලා තිබුණු හින්දා අලුතින් එන අයව පදිංචිකරන්න පුළුවන් බිම් හෙවීමේ වගකීමත් ඔහුට පැවැරුණා. ප්‍රංශයෙන් ලුයිසියානාව සල්ලිවලට ඇරගෙන රාජ්‍යයේ භූමි ප්‍රමාණය දෙගුණයක් දක්වා වැඩිකරගන්න ඔහුට පුළුවන් වුනා. ඒ එක්කම අලුතින් අල්ලගත්ත බිම්වලින් ස්වදේශීය ඉන්දියානුවන් ඉවත්කිරීමේ වැඩෙත් ඔහු පටන්ගත්තා. පාරම්පරිකව රැඳිලා හිටිය බිම්වලින් ඉවත්කරලා ඒ අයව බලහත්කාරයෙන් මිසිසිපි ගඟෙන් බටහිර පැත්තට යවපු ඒ ක්‍රියාන්විතය ඉතිහාසයට එකතුවෙලා තියෙන්නේ “ජනවාර්ගික සුද්දයක්” විදිහට. ඒ ක්‍රියාන්විතයේ දී, ස්වදේශික ඉන්දියානුවෝ විශාල ප්‍රමාණයක් මියගියා.
1804 දී දෙවැනි වතාවටත් ජනාධිපති තනතුරට පත්වෙච්ච ජෙෆසන් වහලුන් ආනයනය නැවැත්වීමේ පනතට අත්සන් කළා. හැබැයි වහලුන්ගෙන් වැඩගැනීම ගැන අකැමැත්තක් ඔහුට තිබුණේ නෑ. ඔහු ළඟත් වහල්ලු 600 ක් හිටියා. ඔහුගේ ගෙදරත් ඔහුට අයිති වතුපිටිවලත් ඒ වහල්ලු වැඩකළා. පාලනයක් නැතුව වහල්ලු ආනයනය කරලා ඇතිවෙන්න පුළුවන් සමාජ ප්‍රශ්න ගැන හිතලා ඒ තහනම පැනෙව්වා වෙන්න පුළුවන්.
ජෙෆසන් විවාහවෙලා හිටියේ මාර්තා වේල්ස් කියන නෝනාත් එක්ක. හැබැයි ඒ නෝනා ජෙෆසන් ජනාධිපති වෙන්න අවුරුදු 19 කට කලින් (1782 දී) මියගියා. මේ මාර්තා නෝනාගේ තාත්තා ජෝන් වේල්ස්. ඔහු වතුහිමියෙක්, වහල් වෙළෙන්දෙක්. ඒ වගේ ම, නීතිඥයෙක්. මාර්තා කියන්නේ ජෝන් වේල්ස්ගේ පළමුවැනි විවාහයේ දුව. ඒ පළමුවැනි විවාහය කරගනිද්දි වහල් කාන්තාවක් සහ ඇයගේ දුව තෑග්ගක් විදිහට මාර්තාගේ තාත්තාට (ජෝන්ට) ලැබුණා. ඊට පස්සේ ජෝන් තවත් විවාහ දෙකක් කරගත්තා. තුන්වැනි නෝනාත් මැරුණාට පස්සේ ජෝන් වේල්ස් ලිංගික සම්බන්ධකම් පැවැත්තුවේ අර තෑග්ගට ලැබුණු දුවත් එක්ක. ඒ විදිහට තවත් ළමයි හය දෙනෙක් හදන්න ඔහුට පුළුවන් වුනා. ඒ හය දෙනා අතරින් බාලයා (දුව) සැලී හෙමිංස්.
කලින් කියපු විදිහට ජෙෆසන්ගේ නෝනා (මාර්තා) මියගියේ 1782 අවුරුද්දේ. සැලී හෙමිංස් ඉපැදුණේ 1773 අවුරුද්දේ. මාර්තාගෙත් සැලී හෙමිංස්ගෙත් තාත්තා එක් කෙනෙක් (ඒ කියන්නේ ජෝන් වේල්ස්) හින්දා ඒ දෙන්නා “සහෝදරියෝ” විදිහට සළකන්න පුළුවන්. මාර්තා මියගිහිල්ලා අවුරුදු 4 ක් විතර ගතවෙද්දි මේ කතාවේ ප්‍රධාන නළුවා (තෝමස් ජෙෆසන්) සැලී එක්ක ලිංගික සම්බන්ධකමක් පටන් ඇරගෙන තිබුණා. කොහොම හරි සැලී ගැබිණියක් වෙද්දි ඇයගේ වයස අවුරුදු 16 ක්. ඒ වෙද්දි ජෙෆසන්ගේ වයස අවුරුදු 46 ක්. දෙන්නා විවාහ වුනේ නැතතත් මේ සම්බන්ධකම හරහා ජෙෆසන් මහත්තයාට දරුවෝ හය දෙනෙක් ලැබුණා. ඒ අතරින් හතර දෙනෙක් ලොකු මහත් වුනා කියලා කියනවා.
ඒ කාලයේ හැටියට මේවා සාමාන්‍ය දේවල්. ඒත් අර “ජනවාර්ගික සුද්දය” නම් තවදුරටත් කතාකරන්න පුළුවන් විශේෂිත මාතෘකාවක්. මොකද ජෙෆසන් මහත්තයා තමයි රැහෙන් එළියට ආවා කියන පළමුවැනි ජනාධිපතිවරයා. ඊට පස්සේ අය (කලින් කියපු විදිහට ලින්කන් ගැන පැහැදිළි නෑ) රැහෙන් එළියට ඇවිල්ලා තියෙනවා ද? ඉඩක් ලැබෙන වෙලාවක මේ ලිබරල් වික්‍රම ගැන තව කතාවක් දෙකක් කියන්න පුළුවන්.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...