දේශීය පුවත්

නීතිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැමිණ ඇති ස්ථාවරය පිළිගනිමින් ඔහු අත්අඩංගුවට ගැනීම හෝ ඔහුට…එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම සහමුලින්ම තහනම් කරමින් අභියාචනාධිකරණය ඊයේ (14දා) නියෝගයක් නිකුත් කළේය.

එම තහනම් නියෝගය නිකුත් කරන ලද්දේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී්‍රති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා විනිසුරු අර්ජුන ඔබේසේකර මහතාගෙන් සමන්විත වූ ද්විපුද්ගල අභියාචනාධිකරණය විනිශ්චය මණ්ඩලය විසිනි.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (එෆ්.සී.අයි.ඩී) විසින් තමාට එරෙහිව පොදු දේපළ පනත යටතේ අභූත චෝදනාවක් ඉදිරිපත් කොට තමා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බැවින් එය වළක්වාලීම සඳහා මෙලෙස තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා 2015 අප්‍රේල් මස 5 වැනි දින මෙම පෙත්සම හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ගොනු කරනු ලැබ තිබිණි.

පෙත්සම පෙරේදා (13දා) කැඳවන ලද අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ විශේෂ මතයක් ඉදිරිපත් කිරීමට ඇති බැවින් පෙත්සම ඊයේ (14දා) දිනට යළි කැඳවන ලෙසටය.

ඒ අනුව පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, නීතිපතිවරයා, පෙත්සම්කාර හිටපු ආරක්ෂක ලේකම්වරයා සමඟ එළැඹ ඇති එකඟතාව පිළිබඳ දැනුම් දෙමින් ඒ පිළිබඳ ලිඛිත ප්‍රකාශයද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලිසබ්රි යන මහත්වරුන් ජේ‍යෂ්ඨ නීතිඥ සුගත් කල්දේරා මහතා සමඟ ජේ‍යෂ්ඨ නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත පෙනී සිටිමින් ප්‍රකාශ කර සිටියේ එම එකඟතාව ප්‍රමාණවත් නොවන බවත් එහි අන්තර්ගතය නියෝගයක් වශයෙන් අධිකරණය විසින් නිකුත් කරන්නේ නම් මිස තම සේවාදායකයා වන හිටපු ආරක්ෂක ලේකම්වරයා සෑහීමට පත් නොවන බවට තමාට උපදෙස් ලැබී ඇති බවය.

ඒ අනුව දීර්ඝ වේලාවක් තිස්සේ එම කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ නීතිඥවරුන් සහ විනිසුරු මඬුල්ල අතර අදහස් හුවමාරුවක් සිදුවූ අතර එකඟත්වයකට එළැඹීමට අපහසු වීම මත මිනිත්තු 10ක විරාමයක් ලබා දෙමින් දෙපාර්ශ්වයේ නීනිඥවරුන්ට අධිකරණ ශාලාවෙන් පිටතට ගොස් එකඟතාවකට පැමිණෙන ලෙස විනිසුරු මණ්ඩලය දැනුම් දුන්නේය.

යළි පෙත්සම කැඳවූ අවස්ථාවේදීද දෙපාර්ශ්වයම දන්වා සිටියේ අධිකරණ නියෝගයක අවශ්‍යතාවක් පැහැදිලිවම පෙනෙන බැවින් එවැනි නියෝගයක් නිකුත් කරන ලෙසය.

ඊට ප්‍රතිචාර දක්වමින් විනිසුරුවරයා සිනාමුසුව කියා සිටියේ නීතිපතිවරයා ඇඟ බේරාගෙන වගකීම අධිකරණයේ කරපිට පැටවීමට උත්සාහ දරන ආකාරයක් පෙනෙනා බවය.

තවත් මිනිත්තු 10ක පමණ කාලයක් තිස්සේ මෙම කරුණ සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර ඉදිරිපත් වූ අතර අවසානයේ විනිසුරු ඔබේසේකර මහතාගේ අදහසට අනුව දෙපාර්ශ්වයේ එකඟතාව මත පදනම්ව නියෝග කරන බවට ප්‍රකාශනයක් නිකුත් කරන බව සභාපති විනිසුරුවරයා දන්වා සිටියේය.

එපරිදි ඉහත නියෝග නිකුත් කළ අතර එමඟින් මෙසේ ප්‍රකාශ විය.

1. 2018-05-04 දින නිකුත් කොට ඇති අතුරු නියෝගයට ස්ථාවර තහනම් නියෝගයක් ලෙස බලාත්මක කිරීම.

2. පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයා විසින් නිකුත් කොට ඇති පී-30 වශයෙන් සලකුණු කොට ඇති ලේඛනය බල රහිත බවට පත් කිරීම.

3. පෙත්සම්කරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම වැළැක්වීම හා ඒ අනුව පෙත්සම්කරු කුමන අයුරකින් හෝ අත්අඩංගුවට ගැනීම වැළැක්වීම.

තවද දෙපාර්ශ්වයේ එකඟතාව පරිදි 2018 ජූනි මස 25 වැනි දින පෙරවරු 9.00ට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබාදීමටත්,

නොතීසියක් ලද විටෙක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමටත් කටයුතු කළ යුතු බවද නියෝගයේ සඳහන් විය.
පෙත්සම යළි ජූලි මස 25 වැනි දින කැඳවීමටද දින නියම විය.

මව්බිම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More