පුරවැසි කොලම

1886 මැයි 4 වැනිදා, චිකාගෝ නුවර දී පොලිසිය හා කම්කරු විරෝධතාකරුවන් අතර පැය අටේ වැඩ දිනයක් ඉල්ලා කළ අරගලය ජාත්‍යන්තර කම්කරු අයිතිවාසිකම් පිළිබඳ ඉතිහාසයට අලුත් යමක් එකතු කරනු ලැබුවේය. තවද කම්කරුවන්ගේ ලෙයින් නැහැවුණු රතු කොඩියක්ද කම්කරු පන්තියට දායාද කරමිනි. එය පාදක කොටගෙන සෑම වසරකම මැයි පළමු වැනිදා මැයි දිනය සැමරීම දෙවැනි ජාත්‍යන්තරය විසින් 1889 දී ආරම්භ කරන ලදී.

වැඩවර්ජන වූ කලී කම්කරු පන්තියේ අයිතිවාසිකම් දිනා ගැනීමට මෙන්ම ඔවුන් බලගැන්වීම සඳහා ද නිර්මාණය වූ බලවත් අවියකි. වැඩවර්ජන කාර්මික විප්ලවය හා එකට බැඳුණු ක්‍රියාදාමයක් බවට පත්වූයේ එමගින් ශ්‍රම දායකයන්ට යම් ආකාරයක බලයක් නතුකර ගැනීමට හැකි වූ නිසාය. කම්කරුවන් විසින් තම ශ්‍රමය ලබා නොදීම මගින් ප්‍රාග්ධනය බලාධිකාරයට අභියෝග කිරීමට වැඩවර්ජන අවියක් ලෙස භාවිත කිරීමේ හැකියාව වැඩ කරන ජනතාව ගොඩ නගා ගන්නා ලදී.

වැඩ වර්ජන පිළිබඳ ඉතිහාසය සැලකීමේදී මූලික වශයෙන් වැඩ වර්ජනවල මූලික පදනම වූයේ ඒ ඒ වෘත්තීන්වලට අවේණික වූ මූල්‍ය ප්‍රතිලාභ හා අයිතිවාසිකම් ලබාගැනීම සඳහා මෙන්ම අසාධාරණ කම්කරු නීති රීති සහ ක්‍රියාමාර්ගවලට එරෙහිව කටයුතු කිරීමය. මේ ආකාරයට බලන කල සමිතිවල මූලික යොමුව ඒ ඒ වෘත්තීන්වලට අදාළ වෘත්තිමය අයිතිවාසිකම් සහ වඩා හොඳ ජීවන තත්ත්වයන් හා වඩා හොඳ රැකියා පරිසරය ආදිය ලබාගැනීම සඳහා කටයුතු කිරීමයි. එහිදී වෘත්තීය ක්‍රියාමාර්ග සේව්‍යය හා සේවකයා අතර අරගලයක් ගැටුමක් බවට පත්විය.

එලෙස වැඩ වර්ජන අයිතීන් පිළිගන්නා අතරම, එම වැඩ වර්ජන සදාචාරාත්මක නොවන සහ නීත්‍යානුකූල නොවන වැඩවර්ජන වශයෙන් සලකනු ලැබුවේ ශාරීරික වශයෙන් යමෙකුට තම සේවය කරන ආයතනයට පැමිණීම හෝ පිටවීම වැළැක්වීම, වැඩ වර්ජන නොකරන උදවියට තර්ජන කිරීම සහ මානසික බලපෑම් ඇති කිරීම, පාලකයන්ට ප්‍රහාර එල්ල කිරීමත්ය. මේ නයින් බලන කල සදාචාරාත්මක වූ විරෝධය පෑමක් සඳහා තම ශ්‍රම ආධිපත්‍ය යොදාගැනීම වැඩ වර්ජනවල මූලික පදනම විය.

මේ ලෙසටම වැඩ වර්ජකයන්ට එරෙහිව බලහත්කාරය, ශාරික පීඩන තර්ජන ආදිය යොමුකිරීම සදාචාර විරෝධී මෙන්ම නීති විරෝධී බවද පිළිගැනිණි. මේ ලෙසටම වැඩ වර්ජකයන් විසින් හාම්පුතුන්ට හෝ වැඩවර්ජනයක් නොකරන උදවියට බලහත්කාරකම් කිරීම ද සදාචාරාත්මක නොවන බවට මතවාදී එකඟතාවන් ගොඩනැගිණි.

වැඩ වර්ජනය වූ කලී සේවකයන්ගේ මූලික අයිතියක් බව කාට හෝ විවාද කළ නොහැකි සේම එම වැඩවර්ජන තුළ සදාචාරාත්මක ලෙස ගනුදෙනුව කළමනාකරණය කිරීමේ වගකීම ද වෘත්තීය සමිතිවලට තිබෙන බවද නොකියාම බැරිය. එසේනම් වැඩ වර්ජනය වූ බරපතළ අවිය සටනකදී පාවිච්චි කළ යුත්තේ ඉතාම සන්යමයෙන්ය. එසේ නම් පළවෙනි අවිය වැඩවර්ජන දැයි කෙනෙකුට තර්ක කළ හැක. මන්දයත් ඉන් මෙපිට කළ හැකිවන නොයෙක් සටන් ක්‍රියාමාර්ග ඇති නිසාය.

යුද්ධයකදි වුවද අවි ප්‍රහාර යොදාගත හැක්කේ සාධාරණ පදනම් මතය. බර අවි යොදා ජනතාවට එරෙහිව කරන ප්‍රහාර සදාචාර විරෝධී, මූලික අයිතිවාසිකම්වලට විරෝධී ක්‍රියාමාර්ග බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ගෝලීය බලවේග විසින් පුන පුනා කියනු ලබයි. එසේනම් සදාචාර විරෝධි වන්නේ නිරායුද ජනතාවට දැඩි ලෙස බලපාන , අවැද හෝ අකටයුතුකම් සිදුවන්නේ යුද අවිවලින් පමණක්ද. යුද්ධයේදී ද්‍රව්‍යමය හා ශාරීරික පීඩාවන් සිදුවන බව අපි හොඳින් දනිමු. ඒ ලෙසටම බරපතළ මානසික පිඩාවන් ද වන බවත් අප හොඳින් දනිමු. එහෙත් මෙවන් මානසික හා ශාරීරික පීඩාවන් වන්නේ යුද්ධයක් හරහා පමණක්ද. අසාධාරණ, හාම්පුතාට නොව අහිංසක මහජනතාවට බරපතළ පීඩාවන් ගෙන දෙන සදාචාර විරෝධි ලෙස ලෙස යොදා ගන්න ‘වැඩ වර්ජන බර අවි’ පිළිබද සමාජ කතිකාවක් ගොඩනැගෙන්නේ නැත්තේ මන්ද? වෘත්තීය ක්ෂේත්‍ර තුළ ශාරීරික බලහත්කාරයට වඩා මානසික බලහත්කාරය මේ සඳහා බලපාන්නේ නැද්ද?

එසේනම් වැඩ වර්ජනය සදාචාර අවියක් ලෙස පාවිච්චි කොට ජනතාවගේ අති බහුතරයකට අසාධාරණයක්, බලපෑමක්, අගතියක් වෙන ආකාරය වැඩ වර්ජන බර අවි භාවිත වේනම් එය සදාචාරාත්මක ද නැද්ද යන කරුණ පිළිබඳ සමාජ කතිකාවතක් ගෙන ඒම කොතරම් අභියෝගයක් වුවද කළ යුතුම දෙයකි.

එයට හේතුව අනුගත වීමට ඉඩ නොදිය යුතු නිසාය. සොලමන් ඇශ් මෙන්ම මිල්ග්‍රෑම් යන සමාජ විද්‍යඥයන් පෙන්වාදුන් social learning theory නමින් හැඳුන්වූ සංකල්පය තුළ විග්‍රහ වන්නේ නිහඬ බහුතරයේ මතය යටපත් කොට ක්‍රියාකාරී සුළුතරය බහුතර මතය නිහඬ කරන ආකාරයයි. එම පර් යේෂණ කඩතුර විවර කරන වැදගත් පර් යේෂණය. එම පරීක්ෂණවලදී එකසමාන සිරස් ඉරි 6ක් ද එම හයට වඩා කුඩා ඉරක්ද සටහන් කර මේවා එක සමානද නැද්ද යන්න කණ්ඩායමකින් අසන ලදී. එම කණ්ඩායමේ නම දෙනෙකුගෙන් අට දෙනෙකුම පර් යේෂකගේ ගෝලයන් (ඉත්තන් විය). වරකදී කණ්ඩායම පිටින් පැමිණියේ එක අයකු පමණි. පර් යේෂකගේ ගෝලයන් අට දෙනාම ඉරි හතම එක සමාන බව පැවසු විට කණ්ඩායමට පිටින් පැමිණි බොහෝ දෙනෙකුද කියා සිටියේ ඉරි සියල්ල එක සමාන බවය. එහෙත් ඉරි හත එක සමාන නොවන බවට පර් යේෂකය අභියෝග කළ විට ඔවුන් කියා සිටියේ බහුතරයගේ මතයට එරෙහි වීමට නොහැකි නිසා එසේ කී බවයි. අසාධාරණ, සදාචාර විරෝධී විරෝධතා තුළද සිදුවන්නේ මෙයයි. මෙවන් විරෝධතා මහා පාරට ගෙනෙන විට ඒ තුළ අදාළ ක්ෂේත්‍රයන්ගෙන් සහභාගි වන්නේ අදාළ කොටසින් කුමන ප්‍රතිශතයක්ද?

මේ ප්‍රශ්නය මතු කිරීම කාලීන වන්නේ මෑතකදී අපි මෑතක දී අප දුටු ප්‍රධාන සිදුවීම් දෙකක් මුල් කොටගෙනය. එකක් නම් මතක සිදුවූ දුම්රිය වැඩ වර්ජනයයි. මෙහිදී දුම්රිය මගින් දැඩි අපහසුතාවකට පත් කරමින් දුම්රිය ස්ථාන දෙකක් අතර තම දුම්රිය නවත්වා සේවකයන් ඉන් බැස ගිය අයුරු අපට අසන්නට ලැබිණි. මෙම ක්‍රියාමාර්ගවලින් පීඩාවට පත් වූයේ එහි ගමන් කළ අහිංසක මගීන්ය. එහි බරපතළකම පැහැදිලි කිරීමට නම් මීට වඩා හොඳ උදාහරණයක් ගත හැක. එනම් වෛද්‍යවරයෙක් ශල්‍යකර්මයක් කිරීම සඳහා රෝගියකු ශල්‍යාගාරයකට ගෙන ගොස් ඔහු සිහි නැති කොට ඔහුගේ උදරය පලා එම ශල්‍යකර්මය භාගයකට කරගෙන යන අවස්ථාවේදී වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් වැඩ වර්ජනයකට යොමු වුණා නම් එය කොතරම් සාධාරණ දැයි මෙම දුම්රිය වැඩවර්ජනය රියැදුරන් හා අනෙක් අදාළ පාර්ශ්වයන්ගෙන් ප්‍රශ්න කළ යුතුව ඇත. මෙම සංසිද්ධීන් දෙකේ මට නම් වෙනසකට ඇත්තේ ශල්‍යකර්මයට භාජන වූ රෝගියා නිර්වින්දනය කර තිබීමත් දුම්රියේ ගමන් කළ පුද්ගලයා නිර්වින්දනය කර නොතිබීමත් පමණි. මෙම තත්ත්වයට පත්වූයේ දුම්රිය රියැදුරාගේ මව හෝ පියා නම් ඔහු එය සාධාරණය කරනවාද?

එසේම ගුරු වැඩවර්ජනය දී ද මතු වූ සදාචාර විරෝධී කරුණු කතා කිරීමට අප බය විය යුතු නැත. ගුරු වැඩවර්ජනය වූ කලී අතිශය සාධාරණ ප්‍රශ්නයක් මුල් කොටගෙන සිදුවූ වැඩවර්ජනයකි. එය අවුරුදු ගණනාවක් නොවිසඳුණු ඔවුන්ගේ වැටුප් ගැටලුව විසඳිය යුතු තිබුණේ මීට බොහෝ කලකට පෙරය. එම ඉල්ලීම් සාධාරණය. ඒ ගැන කිසිදු තර්කයක් තිබිය නොහැක. එහෙත් එම ඉල්ලීම් ලබාගැනීම සඳහා ඔවුන් අවස්ථාව කරගනු ලැබූයේ කොවිඩ් වසංගතය හමුවේය. අධ්‍යාපනයට බරපතළ ගැටලුවක් මතුවී මතු වී තිබුණු අවස්ථාවකය, අර්බුදය නිසා හැම සෑම ආකාරයකම විෂමතාවන් පුළුල් වෙමින් පැවති අවධියක, ඇති හැකි සහ නැති බැරි සිසුන් අතර මෙන්ම පහසුකම් ඇති සහ පහසුකම් නැති සිසුන් අතර මාර්ග ගත අධ්‍යාපනය සඳහා පහසුකම් මද සහ පහසුකම් යම් ප්‍රමාණයක් තිබෙන සිසුන් අතර ඇති පරතරය වැඩිවෙමින් පවතිද්දී මෙම වැඩවර්ජනය විසින් අවසාන බලපෑම් කරනු ලැබුයේ අහිංසක සිසුන්ට හා ඔවුන්ගේ දෙමාපියන්ටය. මෙම කටයුත්ත නිරායුධ ජනතාවට එරෙහිව යුද්ධයකදී බර අවි එල්ල කිරීමට වඩා වෙනස් වන්නේ කෙසේදැයි මට නම් තේරුම් ගත නොහැකිය. මේ තත්ත්වය වඩාත් බරපතළ වන්නේ කොවිඩ් වසංගතය හමුවේ පාසල් වසා ඇති කාලය තුළදී ගුරුවරුන්ට පමණක් නොව සමස්ත රාජ්‍ය යන්ත්‍රය තුළ කිසිවෙකුටත් ඔවුන් ලද වැටුප අඩු නොවීමයි. ඔවුන් බොහෝ දෙනකු තමන්ගේ නිවෙස් තුළ සිටිය අතර මුළු වකවානුවලදී නිවසේ සිට වැඩ කිරීමේ කටයුත්තක් සිදු නොවිණි. එලෙස මහජනතාව විසින් ගෙවන බදු මුදලින් වැටුප් ලබන මේ රජයේ සේවකයන් කළ කටයුත්ත සදාචාරාත්මක ද නැද්ද යන්න සාකච්ඡා කිරීම රටේ පුරවැසියෙකුට බරපතළ යුතුකමක් ඇත. මෙම කාලයේ දියත්වූ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැඩවර්ජන පිළිබඳවද කිව ඇත්තේ එයමය. ගහෙන් වැටුන මිනිසාට ගොනෙකු ඇන්නා සේ සිදුවන මේ කටයුතු කෙතරම් සාධාරණද. දේශපාලකයන්ගේ වැරදි විවේචනය කරමින් ඒවාට අභියෝග මෙන්ම විසඳුම් ලෙස තවත් වරදක් කිරීමෙන් ඒ වරද නිවැරදි වන්නේද?

සමස්ත ගුරු පරම්පරාවේ අති බහුතරය ස්වේච්ඡාවෙන් කැමැත්තෙන් මේ වැඩ වර්ජනයට සහභාගි වූවා යැයි මා කිසිසේත් පිළිනොගනිමි. එය සොලමන් ඇශ් හා මිල්ග්‍රම්ගේ අනුගත වීම බව විශ්වාස කරමි.

විදුලිබල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරිවරයා හැර අනෙක් සියලු ඉංජිනේරුවන් ඔවුන්ගේ වෘත්තිය සමිතියේ සාමාජිකයන්ය. ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලදී අගතියට පත්වන්නේ කවුරුන්ද? මහජනතාවය.

භාහු බලය දීම, අවි සහිත හෝ අවි රහිත ‘ත්‍රස්තවාදය’ බිය වැද්දීම, හිංසනය, භිෂණය, සරල භාෂාවෙන් ‘තග’ මේ මොන වචන භාවිත කළත් එය බලහත්කාරය. එය විවෘත බිය වැද්දීමයි. රාගම වෛද්‍ය පිඨයේ සිසුනට එල්ලවූ ඒ නිර්ලජ්ජිත ප්‍රහාරය බලහත්කාරය. එය විවෘත බලහත් කරයි. එලෙසම මානසික උපක්‍රම උපයෝගී කොටගෙන අනුගත වීමට බලකෙරෙන සියලුම ආවෘත ක්‍රමවේදයන්ද බලහත් කරයි.

එම බලහත්කාරය සදාචාර විරෝධී වන්නේ ඒවා පාලකයන් විසින් සිදුකරන විට දී පමණක් නොවේ. 21 වන සියවස තුළ කාන්තා හිංසනයට ඉඩ කඩක් නොමැති සේම අවදානමට ලක්විය හැකි (vulnerable) සමාජ ස්ථරයන්ට එරෙහිව කරනු ලබන සියලු ආකාරයේ ශාරීරික මෙන්ම මානසික බලහත්කාරයන් හා පිඩනයන්ට එරෙහි වීම සෑම දෙනාගේම වගකීමකි. අහිංසක රෝගීන්, පාසල් දරුවන්, පාරිභෝගිකයන් මූණ පාන්නේ බල අරගලයකටය. සේව්‍යය සේවකයා අතර ඇතිවන අසාධාරණයේදී සේවකයාට තම අයිතීන් වෙනුවෙන් ඉඩක් ඇත්නම් රෝගීන්, පාසල් දරුවන්, පාරිභෝගිකයන් යම් අවස්ථාවකදී සෞඛ්‍ය සේවකයන්, ගුරුවරුන්, ව්‍යාපාර බලාධිකරින්ගේ වින්දිතයන් බවට පත්වෙද්දී ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටිය යුත්තේ කව්ද? පිඩකයා හා පිඩිතයා සෑමවිටම රජය හා ජනතාව පමණක් නොවේ, එම වචන දෙක සාපේක්ෂය.

මෙම නිසා සැමවිටම පිඩිතයාගේ පැත්තේ සිට ගැනීමට අපේ හෘද සාක්කියට බලකර සිටිය යුතුව ඇත. මන්ද යුක්තිය හා සදාචාරාත්මක වගකීම ඇත්තේ පීඩිතයගෙ පැත්තේ සිට ගැනීමටය. වෘත්තිය අරගල හා අයිතිවාසිකම දිනාගැනීම සඳහා කරනු ලබන අරගල තුළ අහිංසක ජනතාව වින්දිතයන් බවට පත් නොවිය යුතුය යන සදාචාරාත්මක මනෝභාවය වෙනුවෙන් හඬ නැගීමට කාලය පැමිණ ඇත.

මහාචාර්ය අතුල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More