විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් කැබිනට් අමාත්‍යධූර වලින් නෙරපා හැරීම පිළිබඳව ලංකා ලිඩ් නිවුස් වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතා ප්‍රකාශ කර සිටියේ රාජපක්ෂවරුන් උපරිමයෙන් රටට සේවය කර ඇති බවත් ඔවුන්ට ගෞරවණීය විශ්‍රාමික ජීවිතයක් ගතකිරීමට ඉඩ හැරීම සහ ඒ සඳහා කඩිනම්ව රාජපක්ෂවරුන් හිත් සකසාගෙන කටයුතු කිරීම සුදුසු බවත් ය. එතුමා ප්‍රකාශ කළ සම්පූර්ණ අදහශ පහත දැක්වේ.
“යුද්ධය කළමනාකරණය කිරීමේදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහත්වරුන් අනභිභවනීය කාර්‍යභාරයක් සිදුකලා. යුද්ධය ජයගැනීමෙන් පසුව මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් තවදුරටත් ජනතාවගේ හදවතේ රැඳෙමින් හිටියත් අභාග්‍යයකට බැසිල් රාජපක්ෂයන් පිළිබඳව එවන් සුන්දර සිතුවිල්ලක් නොවෙයි ජනතාවගේ සිත් සතන් තුළ වර්ධනය වුනේ. 2014 දී විමල් ඇතුළු කණ්ඩායම මහින්දගෙ රජයට කරුණු 12 කින් යුත් ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කළ. එසේ සිදුකළේ ගරා වැටෙමින් ආ එවක පාලනය පිළිබඳව සද්භාවයෙන් යුතුව ප්‍රතිසංස්කරණය කිරීමට. නමුත් මහින්දගෙ රජය ඒගැන ඇහුම්කන් දුන්නෙ නෑ. රතනහිමි ප්‍රමුඛ කණ්ඩායම ඒ ඉල්ලීම් ප්‍රමාණය තිස්දෙක දක්වා වැඩිකරා. රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයේදී රනිල්ගේ නායකත්වයෙන් යුත් එවක විපක්ෂය හිටිය ස්ථාවරයේ අයහපත් බව සළකා විමල්ගෙ කණ්ඩායම නැවත මහින්ද සමග එකතු වුවත් “දූෂණය පළමුව” ලෙස සළකා කටයුතු කළ කණ්ඩායම ප්‍රභලවීමෙන් මහින්දට ගෙදර යන්න සිදුවුනා. එදා දූෂණය සමග ඥාති සංග්‍රහයත් ගජමිතුරු සංග්‍රහයත් තදින්ම විවේචනයට ලක් වුනා. එදා රතන හිමියන් ප්‍රමුඛ කණ්ඩායම හිටියෙ රට 2001 න් එහාට තිබුන තත්ත්වයටත් වැඩිය බරපතල තත්ත්වයකට ගියත් කමක් නෑ දූෂණය නැතිකරනවනම් යන ස්ථාවරයේයි. දැන් ආරක්ෂාවටත් දූෂණයටත් අමතරව අකාර්‍යක්ෂමතාව කියන මාතෘකාවක් ප්‍රභල ලෙස ඉදිරියට ඇවිල්ල. ඒ අනුව මෙවර මාතෘකාවෙ පළමු ස්ථානය අකාර්‍යක්ෂමතාවයයි. ඒ පිළිබඳව තමයි ආණ්ඩුවේ අනෙකුත් පක්ෂ 11හේ කණ්ඩායම මාර්තු දෙවනිදා කතා කළේ. ඊට පෙර දින ඒ පිළිබඳව මහබැංකු අධිපතිතුමත් ප්‍රකාශයක් නිකුත්කර තිබුණ. අකාර්‍යක්ෂමතාවය වර්ධනය වෙද්දි, ලබාදුන් බදුසහනවල වාසියක් සාමාන්‍ය ජනතාවට නොලැබීමෙන් බදුසහනයේ සැබෑ වාසිදායකයින් ගජමිතුරන් පමණක් යැයි “දූෂණ” චෝදනා එල්ල වෙද්දි, තවදුරටත් සාමූහික වගකීමක් ගැනීමේ අවධානම දැරීමට විමල්ලා සූදානම් නැති බව තමයි එම රැස්වීමෙන් පෙන්නුවෙ. නායකයා පත්තරෙන්වත් රට තොට පිළිබඳව තොරතුරු නොදන්න බවක් තමයි රට වටෙන් ඇහෙන්න තියෙන්නෙ. දැන් සිදුවෙලා තියෙන්නෙ අකාර්‍යක්ෂමතාවය බලහත්කාරයෙන් ආඥාදායකත්වය භාවිතාකර අත්තනෝමතිකව යටකර දැමීමක්. අකාර්‍යක්ෂමතාවය එයින් වසාගැනීමට හැකියාවක් නැහැ. අකාර්‍යක්ෂමතාවය මර්දනය කිරීම අකාර්‍යක්ෂමතාවය පෙන්වාදුන් කණ්ඩායම් මර්දනය කිරීමෙන් කළ නොහැකියි කියන කාරණය දැනගන්න මහ ලොකු දේශපාලන විඥානයක් තිබිය යුතු නෑ. එහිදීත් ඥාතියා රැක ගැනීමට සාමූහික වගකීම රැකීම කියන සංකල්පය අවභාවිතා කර ඇති බවට චෝදනා වෙනව. කරුණු දොළහ නොපිළිගත් මහින්දට සිදුවුන හරිය අප කාටත් අමතක නැහැ. නමුත් රාජපක්ෂලට එම පාඩම් මතක නැහැ වගේ තමයි පෙනෙන්නෙ.
විමල්ගෙ කතාවෙ වැදගත්ම කොටස තමයි රජය ප්‍රශ්ණය අවබෝධකරගෙන තියෙන ආකාරය පිළිබඳව විවරණය. එක්කො මෝඩකම, නැතිනම් රට අගාධයට දමා ආපදා කළමනාකරණයෙන් හාම්පුතුන්ට අවශ්‍ය තැනට රට රැගෙන යෑම. අපට පෙනෙන්නෙ මේ දෙකම දෙවිදියකට දෙදෙනෙකුට බලපාන බවයි. පළමුවැන්න දේශපාලනය පිළිබඳව, විශේෂයෙන් දේශපාලනය කළමණාකරණයේ, ආධුනිකභාවය පෙන්නුම් කිරීම. මෙය අළුත් කාරණයක් නොවෙයි. ජනාධිපතිවරණයට පෙර සිටම සාකච්ඡාකළ කාරණයක්. දෙවැනි ඉලක්කය දුෂ්ඨ මෙන්ම ප්‍රභලයි. එනම් ආපදා කළමණාකරණයෙන් ඉන්දුනීසියා වර්ගයේ බෙදුම්වාදී විසඳුමකට රට තල්ලු කිරීමේ මොඩලය. අවාසනාවට විපක්ෂයේ අරමුණ සහ දෙවැනි අරමුණ සමපාත වෙනව. ජනතාව මේ පිළිබඳව අවධියෙන් සිටිය යුතුයි. නමුත් ජනතාවත් එවන් දැනුවත් භාවයකින් කටයුතු කරණව පෙනෙන්න නෑ. විශේෂයෙන්ම සෞඛ්‍ය සේවය මුදානොගත් කළාපයක් බවට පත්වෙලා. අධ්‍යාපනයත් තිබෙන්නේ මුදවානොගත් කළාපයේ. රාජ්‍ය සේවයේ අනෙකුත් අවශේෂ සේවා සැපයුම් කරුවන්ද සිටින්නේ තවත් මුදවානොගත් කළාපවල . එයාල තරඟෙට රට අස්ථාවර කරන්න ඉල්ලීම් ඉදිරිපත් කරනව. මෙයින් තැලෙන පෙලෙන අනෙකුත් ජනයාත් මුදවානොගත් කළාපෙ තමයි ඉල්ලීම් දිනාගන්න හොඳම කළාපෙ කියල හිතල එම කළාපෙට යනව. රට දිනෙන් දින අස්ථාවර වීමෙන් රට බේරා ගැනීමට සුකර්නෝපුත්‍රියෙක් ඒමේ සම්භාවිතාව ඇතිවෙනව. තෙල් නැතිවීමෙන්, විදුලිය නැතිවීමෙන්, ලැබෙන තෙල් ටිකත් විශේෂිත කොටස් වලට පමණක් නිකුත් කිරීමෙන් තෙල් පෝලිමේ හිටියත් තෙල් නොලැබීමේ බලාපොරොත්තු කඩවීමේ කේන්තියෙනුත් මහජනයා ඉන්දුනීසියානු මොඩලය සරණ යනව. මෙයත් එක්තරා විදියක ” ස්ප්‍රිංග්” එකක් තමයි.
එක රටක් එක නීතියක් ඇතිකරමියි කියා දුන්න පොරොන්දුවත් දැන් වල්වැදී අවසන්. එම්සීසී ගිවිසුමත් අත්සන් නොකරම කැබලි වශයෙන් එමින් පවතිනව. ඒ සඳහා සුදුසුම වෙනස් කිරීම අමාත්‍ය මණ්ඩලයේද සිදුවීමට නියමිත බව පෙනෙන්න තියෙනව. ජිනීවා එහෙම පිටින්ම නාටකයක් බවට පත්වී හමාරයි. ඒක නැවත විරුවා ඇවිත් බේරගනියි කියන බලාපොරොත්තුවට ලඝු කළ නොහැකි තත්ත්වයට පත්කරල. ජිනීවා අන්ඩදමා පැච් දමා රෙපයාර් කරන්න හැකි ටියුබ් එකක් නොවෙයි. ඉන්දියාව කියන හැටියට 13 දීල බේර ගැනීමටනම් විරුවන්ගෙත් කැමැත්ත, විරුවන් පිළිබඳවත් අපට එන්නෙ සැකයක්. ආපදා කළමණාකරණයේ ඉන්දුනීසියානු මොඩල් එක විරුවන්ගේ ප්‍රශ්නය විසඳීමටත් යොදා ගැනීමේ මෙම සැළසුම සමගත් ගැලපෙනව.
1976 සිදුවූ සිදුවීම් මාලාව තමයි නැවත වටයකින් එන්නෙ. එදා මැතිණිගෙ රජයෙ හිටිය ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකත් කරේ එදා හිටිය වාමාංශිකයින්ව ආණ්ඩුවෙන් එළියට දාල 77 දී ජේආර්ට එන්න පාර කපපු එකයි. අද ඉන්න ෆීලික්ස් ඩයස් කරන්නෙත් රජයේ ඉන්න ප්‍රගතිශීලීන් කපා හැරීමයි. විමල්ල ගත් තීරණයත් යම්කිසි බළල් අතකට හසුවීමක්ද කියන්න කාලය ඉක්මන් වැඩියි. බර අවියකින් ප්‍රහාර එල්ල කරහම මල්ටි බැරල් ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවෙන බව නොදැන සිටිය නොහැකියි. විමල්ල හිතුවනම් අත කරකවන විට පාපහරක් නොලැබේවි කියල ඒකත් විශාල අඩුපාඩුවක්. මෙවන් ප්‍රහාරයක් එල්ල වේවි කියල හිතන්න නැතුව ඇති කියල තමයි අද දින තිබුන පුවත්පත් සාකච්ඡාව බැලීමේදී පැහැදිලි වෙන්නෙ. ප්ලෑන් බී එකක් පිළිබඳව කිසිම සැළැස්මක් නැති බව පෙනෙන්න තිබුන. ජනාධිපතිතුමාගෙ තීරණය පිළිබඳව”සාකැස්ටික්” ස්තුතිය පුද කළත් එම තීරණය යම්කිසි දුරකට විශ්මය දනවන බවක් පෙන්නුම් කරන ස්වභාවයක් දක්නට තිබුන. කෙසේවුවත් තිරෙන් පිටුපස තිබුන කාරණා බොහොමයක් එළියට පැමිණිය. ඒ හේතුවෙන් ඉතිරි රාජපක්ෂ වරුන් කෙරෙහි අප්‍රසාදය බෙහෙවින් වැඩි උනා.
මේ තත්ත්වය මත නැවත මැතිවරණයකින් බලයට ඒමට කිසිදු රාජපක්ෂ කෙනෙකුට මෑතකදී හැකිවේවි කියා හිතන්න අපහසුයි. හේතුව පෙර වැරදි සාදාගෙන යහපත් ලෙස රට කරමියි කියා මහින්ද රාජපක්ෂ මැතිතුමා දුන් පොරොන්දුව රැකීමට අනෙකුත් රාජපක්ෂවරුන් මෙවර අපොහොසත්වී තිබීමයි. අකාර්‍යක්ෂමතාවය යන ප්‍රශ්නය විසඳන්නෙ ඥාතිත්වය මූළික කරගෙනනම් වත්මන් අර්බුද විසඳීමට වත්මන් රජයට හැකියාවක් ඇත්ද යන ප්‍රශ්ණය ප්‍රභලව මතුවෙනව. එබැවින් ගෞරවණීය ලෙස විශ්‍රාම යනවද නැත්ද කියන එක රාජපක්ෂ වරුන් සතු තීරණයක්.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...