2022.02.25 දින හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසන පරිදි ඉන්දියාව සහ ලංකාව අතර ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ (යුධ) ගිවිසුමක් පිලිබද පිඹුරුපත් සකස් කෙරෙමින් තිබේ (නෙවිල් ලද්දූවේහෙට්ටි, The Island, 04.03.2022).
MCC ආදී ගිවිසුම් තුළින් ලංකාව තනිකරම ඇමරිකා එක්සත් ජනපදයේ ග්‍රහණයට ගැනීමට නොහැකි වූ නිසා දැන් ඇමරිකාවේ උපාය මාර්ගය වී තිබෙන්නේ ඉන්දියාව හරහා ශ්‍රී ලංකාව තමන්ගේ පිළට කෙසේ හෝ එකතු කර ගැනීමය. ඉන්දියා-පැසිෆික් සාගර කලාපයේ ඇමරිකානු ආරක්ෂක එකඟතාවය Quad (ක්වොඩ්) නමින් හැඳින්වේ. එයට ඉන්දියාව, ජපානය, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව යන රටවල් අයිති වේ.
Quad සමූහය, අද යුක්රේනය හරහා රුසියාව මෙල්ල කරන නේටෝ සංවිධානයේ පොඩි මල්ලී කෙනෙකු වෙයි.
ඉන්දියාව සමග යුධ ගිවිසුමකට එක්වීම, ඇමරිකාව සමග කරට අත දාගෙන, චීනය තරහ කරගන්නා වැඩකි. එනම් ඉතාම භයානක තත්ත්වයකි. ඇමරිකාව සහ ඉන්දියාව, චීනය මෙල්ල කිරීමට ලංකාව භාවිතා කරනු ඇත.
යුක්රේනයේ තත්වය ඇස් පනාපිට පෙනෙන්නට තිබියදී, කිසිම ලෝක බලවතෙකු සමඟ යුද ගිවිසුම් වලට යෑම අනුවණ කමක් බව තේරුම් ගැනීමට අටුවා ටීකා අවශ්‍ය නැත.
ඔය කියන ගිවිසුම් වල ඇතුලත් කරුණු කුමක්දැයි හෙළිදරව් කරගැනීමට ජාතික සංවිධාන වහාම ක්‍රියා කළ යුතුය.
ශ්‍රී ලංකාව නොබැඳි රටක් (non-aligned / neutral) වශයෙන් පැවතීමේ වැදගත්කම ජනතාවට ඒත්තු ගැන්වීම ද රටට ආදරයක් ඇති ජාතික සංවිධාන වල වගකීමක් වන්නේ නොබැඳි, නොබැඳි කීවද ඒ පිලිබඳ ජනතාවට තේරුමක් නැති බැවිනි. උගතුන්ටද තේරුමක් නැත. මා ඔබගෙන් ලංකාව නොබැඳි රටක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඇසුවොත් ඔබ දෙන උත්තරය කුමක්ද? මට නම් උත්තරයක් නැත.
නොබැඳි ජාතීන් (non-aligned) යනුවෙන් කොටසක් සිටියේ සෝවියට් දේශය සහ ඇමරිකාව අතර සීතල යුද්ධය පැවති අවධියේය. එය කඳවුරකි. එකල ලංකාව ලෝකයේ “පොරක්” වීය. එනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ලංකාව පිටුපස රටවල් විශාල ප්‍රමාණයක් සිටියහ. අද ඔවුන්ගෙන් අප ඡන්දයක් ඉල්ලූ විට ඔවුන් ඡන්දය දෙන්නේ වෙන අයටය. එම නොබැඳි යැයි කිවූ රටවල් සමූහය එකතු කරන පොදු හේතුවක් අද නැත.
මේ අතර “මධ්‍යස්ථ” හෝ “පැත්තක් නොගන්නා” (neutral) යනුවෙන් තමුන් නම් කර ගන්නා රටවල් කීපයක්ද ලෝකයේ ඇත. ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රියාව, ෆින්ලන්තය, ස්වීඩනය neutral රටවල් ලෙස කියාගනු ලබයි. ඒ තමුන් අන් රටවල අර්බුදයන් වලදී “පැත්තක්” නොගන්නා අර්ථයෙනි. එකී රටවල් බටහිර වුවද නේටෝ සංවිධානයේ රටවල් නොවේ. අනික් අතට එකී “මධ්‍යස්ථ” රටවල් “නොබැඳි” රටවල් නොවේ. “නොබැඳි” යනු කඳවුරක් වන අතර “මධ්‍යස්ථ” රටවල් සිටින්නේ තනි තනිවය.
සීතල යුද්ධය පැවති සමයේ ලෝකයේ නේටෝ සහ වෝර්සෝ යන යුධ කඳවුරු දෙකක් පැවතිණ. මෙකී “මධ්‍යස්ථ” රටවල් එම කඳවුරු වලට අයත් නොවූ අතර නොබැඳි රටවල් කොටසටද අයත් නොවීය. “මධ්‍යස්ථ” කීවද මෙම රටවල් අද යුක්රේනියානු ප්රශ්නයේදී රුසියාවට එරෙහිව නේටෝව සමඟ කඳවුරු ගතවී ඇත.
අද ලෝකයේ ප්‍රධාන බලවතුන් දෙදෙනා වන්නේ ඇමෙරිකාව සහ චීනයයි. ඇමෙරිකාවට නේටෝව තුල බල කඳවුරක් ඇත. චීනය තනියෙන්ය. රුසියාවද නැවත බලවත් රටක් වෙමින් තිබේ. ඇමෙරිකාවට Quad හරහා ඕස්ට්‍රේලියාව, ජපානය, ඉන්දියාව ඇතුලත් බල කඳවුරු කුලකයක් ද ANZUS හරහා ඔස්ට්‍ර්ලියාව, නවසීලන්තය ඇතුලත් බල කඳවුරු කුලකයක්ද ඇත. ඊට අමතරව Partnership for Peace නමින් නේටෝවේ පරිධියේ කුලකයක්ද ඇත; නේටෝ සාමාජිකත්වය ලබාගත් බොහෝ නැගෙනහිර යුරෝපීය රටවල් නේටෝවට පියවර තැබුවේ එම පරිධියේ සංවිධානය හරහාය.
ලෝකය මෙසේ වෙනස් වී ඇති බැවින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව neutral රටක් යැයි කීමෙන් අදහස් කරන්නේ කුමක්දැයි අර්ථදක්වා ගත යුතුය. ලංකාව ස්වාධීන හෝ නොබැඳි රටක් නම් “India first” සංකල්පයක් අපගේ විදේශ ප්‍රතිපත්තිය තුල තිබිය නොහැක. යුක්රේනය රුසියාව තරහා කරගන්නාක් මෙන් මුග්ධයන් නොවී අප ඉන්දියාව තරහා නොකර ගැනීමට මුල් තැන දීම වෙනම කාරණයකි. India first යන්නෙන් අදහස් වන්නේ එය නම්, එය එසේ අර්ථදක්වා ගත යුතුය (JR ජනාධිපතිවරයා ලබා දුන් පාඩම මතක් කර ගනිමු).
විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නොබැඳි බව හෝ මධ්‍යස්ථ බව (non-aligned/neutral) අර්ථදක්වා ගත යුත්තේ (definition) මෙම අපැහැදිලි ස්වභාවය නිසාය.
ස්විට්සර්ලන්තයේ ප්‍රධානම පුවත්පතක් වන ජර්මන් බසින් පලවන NZZ පුවත්පතේ පසුගියදා පලවූ ලිපියකට අනුව රටකට තම විදේශ ප්‍රතිපත්තිය “මධ්‍යස්ථ” (neutral) යැයි කීමට කාරණා තුනක් සම්පූර්ණ විය යුතුය:
1. මුලින්ම එම රටට මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් තිබිය යුතුය.
2. රටේ ජනතාවට තම රට ජාත්‍යන්තර අර්බුද සම්බන්ධයෙන් මධ්‍යස්ථ ස්ථාවරයක් ගැනීම පිලිබඳ දැක්මක්/වුවමනාවක් තිබිය යුතුය.
3. ලෝකයේ අනිකුත් රටවල් එම මධ්‍යස්ථ බව පිළිගත යුතුය.
ඉහත දැක්වූ තුන්වන කාරණය අපට වැදගත්ය. යම් කලෙක චීනය සහ ඇමෙරිකානු කඳවුර අතර අර්බුදයක් ඇති වන අවස්ථාවකදී ලංකාව පැත්තක් නොගෙන සීටීමේ වැදගත්කම පිළිබඳව එම රටවල එකඟතාවය ලබාගැනීම වැදගත් යැයි සිතමි. ඉන්දියාව සහ පාකිස්තානය සම්බන්ධයෙන්ද එසේය.
රුවන්වැලිසෑය අසළ කතාවෙි දී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව නොබැඳි (“We will be a neutral country”), හැටියට කටයුතු කරනු ඇති බව ලෝකයට හඬගා කීවේය. එතුමා එසේ “neutral” ලෙසට අදහස් කළේ කුමක්ද යැයි පැහැදිලි කර ගැනීමද රටේ ජනතාවට වැදගත් කාරණයකි. එය අර්ථදක්වා ලියා තැබිය යුතු කාරණයකි.
– රනිල් ජයනෙත්ති –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...