පුරවැසි කොලම

ජනවරම ඉතා බරපතළ ලෙස උල්ලංඝණය කෙරෙන තත්ත්වයක් තුළ හෘදසාක්ෂිය සහ මහජන වගවීම ආරක්ෂා කරගනිමින් ආණ්ඩුව තුළ අමාත්‍ය ධුරයක් දැරිය නොහැකි බව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකරමින් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවිර මහතා සඳහන් කරයි.

ගුදම් පහසුකම්, බහාළුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද(08) සවස ජනාධිපතිවරයා වෙත යොමු කරමින් ඒ මහතා මෙසේ සඳහන්කර ඇත.

එම ලිපිය අසංෂිප්තව පහත පළ කර ඇත

“අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
ජනාධිපති කාර්යාලය
ගාලූ මුවදොර
කොළඹ 01.

අතිගරු ජනාධිපතිතුමනි,

ගුදම් පහසුකම්, බහාළුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම

වර්තමාන ආණ්ඩුවේ පැවැත්මට අදාළ ජනවරම නිර්මාණය කිරීමට පුරෝගාමී දායකත්වයක් ලබාදුන් පක්ෂයක සාමාජිකයෙකු ලෙස සහ මහජන නියෝජිතයෙකු ලෙස මෙන්ම රටවැසියෙකු ලෙස අද දින ඔබතුමා අමතනු ලබන්නේ බලවත් සිත් වේදනාවෙනි.

අතිගරු ජනාධිපතිතුමනි,

එදා 2019 නොවැම්බර් 16 වැනි දින ලාංකීය දෑහිතකාමී ජනතාව 69 ලක්ෂයේ ඓතිහාසික ජනවරමින් අප සදාදරණීය මාතෘභූමියේ භාරකාරත්වය ඔබතුමා වෙත පවරනු ලැබූයේ, ඔබතුමන් පිළිබඳව වූ ගැඹුරු විශ්වාසයකින් සහ බලාපොරොත්තුවෙනි.

අප දන්නා, විදේශගතව සිටි ශ‍්‍රී ලාංකිකයන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත විදේශගත ශ‍්‍රී ලාංකිකයෝ සිය පෞද්ගලික වියදමින් ගුවන් ටිකට් පත් ලබාගෙන 2019 නොවැම්බර් 16 වැනි දින හිමිදිරියේම ලංකාවට පැමිණ ඡන්දපොළට ගොස් ඔබතුමා වෙත ඡන්දය ලබාදී  නැවත ආපයින්ම විදේශගතවීමෙන් පෙන්නුම් කළේ ඔබතුමන් කෙරෙහි තැබුවා වූ එකී විශ්වාසයේ සහ බලාපොරොත්තුවේ ගැඹුර මිස අන් කිසිවක් නොවන බව  කිවමනාය. ඔවුන් ඔබතුමා වෙතින් අපේක්ෂා කළේ මව්බිමේත් ජනතාවගේත් සෞභාග්‍යවත් අනාගතයක් උදෙසා කලට වේලාවට නිවැරදි තීන්දු තීරණ ගන්නා නිර්භීත උසස් නායකත්ව පෞරුෂයකි.

එහෙත් අවාසනාවකට අද ඔබතුමන් වෙතින් විද්‍යාමාන වනුයේ ඊට බොහෝ සෙයින් වෙනස් නායකත්ව භාවිතාවකි. එකී අවාසනාවන්ත තත්වයට ඔබතුමන් පත්වූයේ, ඔබතුමාගේ ඓතිහාසික ජනවරමේ පූජනීය අභිලාෂ පිළිබඳව අල්පමාත‍්‍රයක තරම් තැකීමක් නොකරන ඔබතුමාගේ පවුලේ ඇතැම් සාමාජිකයින්ගේ සහ ඔබතුමන්ගේ සමීපතමයින්ගේ බලවත් තෙරපීම නිසා බව වටහාගැනීමට අපට අසීරු නැත. එකී දුෂ්ට තෙරපීම විසින් සිදුවූයේ ඔබතුමා කෙරෙහි අසීමිත විශ්වාසය තැබූ ජනතාව ඔබතුමා කෙරෙහි කලකිරවමින්, අතෘප්තියට පත්කරමින් සහ ඔබතුමාට එරෙහි ආස්ථානයකට කැඳවමින් මව්බිමට, ජනතාවට මෙන්ම ඔබතුමාට ද හතුරු මාවතකට ඔබතුමා ඇද වැටීමය.  

අතිගරු ජනාධිපතිතුමනි,

එම තත්වය තුළ මේ වනවිට ආණ්ඩුවේ ඇතැම් නායකයින් සහ ඔවුන්ගේ නියෝජිතයින් වූ ස්වාර්ථකාමී ඇතැම් නිලධාරීන් ද ඔබතුමාගේ පූජනීය ජනවරමට පිටුපාමින් කටයුතු කරන බව සහ ජනතා අපේක්ෂා ඉටු කිරීමට අසමත් වී ඇති බව ඉතා පැහැදිලි කරුණකි. කෝවිඩ් වසංගත තත්වය නිදහසට කරුණක් ලෙස ඉදිරිපත් කරමින් ආණ්ඩුවේ වැරදි ප‍්‍රතිපත්ති, ක‍්‍රියාමාර්ග සහ අසමත්කම් සාධාරණීකරණය කළ නොහැක. උද්ගතවී ඇති තත්වය තුළ ජනවරමට ගරු කරන ආණ්ඩුවේ පාර්ශවකරුවන් ජනවරම වෙනුවෙන් පෙනී සිටීම සහ ඒ සඳහා ආණ්ඩුව තුළ අරගල කිරීම වැලැක්විය නොහැක. අප විසින් ඒ ආකාරයට ජනවරම නියෝජනය කිරීම ආණ්ඩුවට එරෙහිවීමක් ලෙස අර්ථදැක්වීම බලවත් දේශපාලන වරදක් බව ඔබතුමා ඉතා කෙටි කාලයකින් තේරුම් ගනු ඇත.  

සැබෑ ලෙසම ආණ්ඩුවක් ආරක්ෂා වන්නේ ජනවරම ආරක්ෂා කෙරෙන තරමට බව දේශපාලන පරම සත්‍යයකි. ඒ බව ඉතිහාසය විසින් නැවතනැවතත් ඔප්පු කර ඇත. එසේම ආණ්ඩුවක් ජනවරමට එරෙහි වන්නේ බාහිර සාධකවලට වඩා අභ්‍යන්තර කුමන්ත‍්‍රණ නිසා බව ද පැහැදිලි සත්‍යයකි. අප රටේ 1976දී සහ 2014දී සිදුවූ දේ සහ අද සිදු වෙමින් පවතින දේ අතර බොහෝ සමානකම් ඇති බව අනාගතයේදී ඔබතුමාට වැටහෙනු ඇත. ඒ ආකාරයට ඉතිහාසය තුළ යම් සංසිද්ධීන් නැවතනැවතත් සිදුවන්නේ නම් එය බොහෝ විට ප‍්‍රකාශයට පත්වන්නේ ඛේදවාචකයක් ලෙස හෝ ප‍්‍රහසනයක් ලෙසිනි. එම සත්‍යය මත පිහිටා ජනවරම ආරක්ෂා කිරීම මගින් ආණ්ඩුව ආරක්ෂා කිරීමට ඉදිරිපත්වීම වරදක් ලෙස සලකා ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීම මගින් ජනවරම තවදුරටත් ඉතා බරපතළ ලෙස උල්ලංඝණය කෙරෙන බව ඔබතුමා විසින් වටහා නොගැනීම ඉතා කනගාටුදායක තත්වයකි.

අතිගරු ජනාධිපතිතුමනි,

මෙවැනි තත්වයක් තුළ හෘදසාක්ෂිය සහ ආත්ම ගරුත්වය මෙන්ම මහජන වගවීම ආරක්ෂා කර ගනිමින් ආණ්ඩුව තුළ අමාත්‍ය ධුරයක් දැරිය නොහැකි බව සඳහන් කළ යුතුය. ඊට අමතරව ආණ්ඩුවේ උපායමාර්ගික තේරීම් හෙවත් ගමන නිවැරදි නොවන තත්වයක් යටතේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් දැරීම මගින් තනි පුද්ගලයකු ලෙස අදාළ වැරදි නිවැරදි කළ නොහැකි බව ද අවධාරණය කළ යුතුය. ඒ අනුව අද දින ගුදම් පහසුකම්, බහාළුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔබතුමාට ඉතා කරුණාවෙන් දන්වා සිටිමි. නමුත් ආන්ඩුවේ ගමන නිවැරදි කිරීම මගින් ”මුළු රටම හරි මගට” ගැනීම සඳහා වන සමාජ වගකීම ආණ්ඩුව තුළ මෙන්ම මහජන වේදිකාව මත ද තවදුරටත් වඩා දිරිමත්ව සහ කැපවීමෙන් යුතුව ඉටුකරන බව ද දන්වා සිටිමි.

අවසාන වශයෙන් ඔබතුමා ජනාධිපතිවරයා ලෙස මුහුණ දෙමින් සිටින දේශපාලන අර්බුදය හමුවේ මා විසින් ගනු ලබන තීන්දුව මගින් සිදුවන අපහසුතාවන් පිළිබඳව මාගේ කනගාටුව ප‍්‍රකාශ කරමි.

මව්බිමේත්, ජනතාවගේත් උස් නිදහස සහ අභිවෘද්ධිය වෙනුවෙන් ගනු ලබන  ඕනෑම ප‍්‍රතිපත්තියකට හෝ ක‍්‍රියාමාර්ගයකට ඉතසිතින් සහයෝගය දැක්වීමට කටයුතු කරනු ලබන බව ද මෙහිලා දන්වා සිටිමි.

ජයන්ත සමරවීර (පා.ම.)
ගුදම් පහසුකම්, බහාළුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ
බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More