පසුගිය පෙබරවාරි 24 වැනි බ්‍රහස්පතින්දා අලුයම, රුසියානු හමුදා යුක්රේනයේ fදාන්බාස් ප්‍රදේශයට ඇතුළුවීමෙන් ඇරඹුණු යුද්ධය, මෙම ලිපිය ලියන මොහොත වන විටත් නිමවී නැත්තේය. මේ වන විට දෙපාර්ශ්වයට ම බරපතල හානි සිදුව තිබෙන අතර, කුඩා ළමුන් ද ඇතුළුව අහිංසක සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් මිය යාම අතිශය කනගාටුදායකය. යුද්ධයේ මුල් දින දෙක තුන තුළ රුසියානු හමුදා පහසුවෙන් ඉදිරියට ඇදුණද, කීව් අගනුවරදී දැඩි ප්‍රතිරෝධයක් එල්ල කිරීමට යුක්රේනියානුවන් සමත්ව ඇති බවක් දැනගන්නට ඇත්තේය. මේ වන විට දෙපාර්ශ්වය අතර සාම සාකච්ඡා වට කිහිපයක් ම පැවැත්වුණද, සටන් විරාමයක් සඳහා රුසියාව පැත්තෙන් කිසිදු නම්‍යශීලී බවක් දක්නට නොලැබෙන්නේය. අනෙක් පැත්තෙන්, රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් අඩු, දේශපාලනයේ නවකයෙකු වන යුක්රේන ජනාධිපතිවරයා මෙම අර්බුදය කළමනාකරණය කරන ආකාරය කොතෙක් දුරට නිවැරදි ද යන ප්‍රශ්නය ද මතුව ඇත්තේය. කෙසේ වුවද, මොනම හේතුවක් නිසා හෝ යුද්ධයකට එළඹීම අනුමත කළ නොහැකිය. මොනම හේතුවක් නිසා හෝ මිනිසුන් මරාදැමීම අනුමත කළ නොහැකිය. ඒ අනුව බලනා විට, රුසියාව විසින් අරඹන ලද මෙම යුද්ධය කිසිසේත් අනුමත කළ නොහැකිය. යුක්රේන-රුසියානු දෙපාර්ශ්වය වහා ම සාකච්ඡා මේසය මත වාඩි වී මෙම අර්බුදය තව තවත් ඔඩු දුවන්නට ඉඩ නොදී විසඳා ගත යුතුය.
මේ අතර, මේ දිනවල මුළු ලෝකයේ ම අවධානය දිනාගත් එක් පුද්ගලයෙක් සිටින්නේය. බටහිර රටවලට, ඔහු කුරිරු, ඒකාධිපති පාලකයෙකු වන අතර, රුසියානු ජනතා බහුතරය ඔහුව දකින්නේ රුසියාවේ ආරක්‍ෂාව වෙනුවෙන් නිර්භයව පෙනී සිටින ශක්තිමත් නායකයෙකු හැටියටය. බහුතර රුසියානු ජනතාවට පමණක් නොව ලෝකයේ තවත් සමහර රටවලට ද මෙම පුද්ගලයාව පෙනෙන්නේ, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල නව යටත්විජිතවාදයට එරෙහිව නිර්භයව පෙනී සිටින සහ ලෝක බල තුලනයට නව මුහුණුවරක් එක් කළ හැකි ජවසම්පන්න නායකයෙකු හැටියටය. ඒ අන් කිසිවෙකු නොව, වත්මන් රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් ව්ලැදිමීරොවිච් පුටින් මහතාය.
1952 ඔක්තෝබර් 7 වැනිදා ශාන්ත පීටර්ස්බර්ග් (එවකට ලෙනින්ග්‍රාඩ්) නගරයේ උපත ලැබූ ව්ලැදිමීර් පුටින් පිරිමි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූයේය. එහෙත්, පුටින් උපත ලබන විට ඔහුගේ වැඩිමහල් සොහොයුරෝ දෙදෙනා ම මිය ගොස් සිටියහ. පුටින්ගේ සීයා, ස්පිරිfදාන් පුටින්, සෝවියට් දේශයේ නිර්මාතෘ විලැදිමීර් ලෙනින්ගේ සහ දෙවෙනි සෝවියට් නායක ජෝෂප් ස්ටාලින්ගේ අරක්කැමියා ලෙස සේවය කර තිබීම විශේෂත්‍වයක් වන්නේය. එමෙන්ම, පුටින්ගේ පියා, ව්ලැදිමීර් ස්පිරිfදානෝවිච් පුටින් දෙවෙනි ලෝක යුද්ධය ආරම්භයේදී, සෝවියට් රහස් ඔත්තු සේවය ලෙස කටයුතු කළ “එන්කේවීඩී” ආයතනයේ සේවය කර තිබීම ද විශේෂත්‍වයක් වන්නේය. මන්ද යත්, පසුකලෙක, ව්ලැදිමීර් පුටින් සේවය කළ කේජීබී ආයතනය බවට පත්වූයේ මෙම “එන්කේවීඩී” ආයතනය වීමය.
වත්මන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මල්ලවපොර, ජූඩෝ වැනි සටන් ක්‍රීඩා පුහුණුවීම ආරම්භ කළේ 12වැනි වියේ සිට මය. ඔහු කුඩා කාලයේ සිට ම පාපන්දු සහ අයිස් හොකී යන ක්‍රීඩා පිළිබඳව ද විශේෂ උනන්දුවක් දැක්වූයේය. තවද, ව්ලැදිමීර් පුටින් පාසල් කාලයේ සිටම, කාල් මාක්ස්, ෆෙඩ්රික් එංගල්ස්, විලැදිමීර් ලෙනින් යන අයගේ කෘතීන් කියවූ බව වාර්තා වන්නේය. පාසල් සමයේදී දෙවෙනි බස ලෙස ජර්මානු භාෂාව ඉගෙනගත් පුටින් හට ජර්මානු භාෂාව හොඳින් කතා කළ හැකි බව ද කියැවෙන්නේය. 1970 දී ලෙනින්ග්‍රාඩ් රාජ්‍ය විශ්ව විද්‍යාලයට ඇතුළු වූ පුටින්, 1975දී නීති උපාධිය ලබා ගත්තේය. ව්ලැදිමීර් පුටින්ගේ දේශපාලන ගුරුවරයා වූ මහාචාර්ය අනතෝලි සබ්චාක් මහතාව පුටින්ට හමුවන්නේ මේ අවධියේය. එනම්, පුටින් ලෙනින්ග්‍රාඩ් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්‍ෂකයෙකුව සිටියදීය.
1985 දී, මිහායිල් ගොර්බාචොව් මහතා සෝවියට් රාජ්‍ය නායකයා හැටියට පත්වීමෙන් පසුව, පෙරෙස්ත්‍රොයිකා නමින් හැඳින්වෙන ප්‍රතිසංවිධාන ක්‍රියාදාමයක් දියත් කරනු ලැබුවේය. 1982-1993 කාලය තුළ (වසර එකොළහක්), මොස්කව් නුවර ලුමුම්බා මිත්‍රත්ව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අපි, ගොර්බාචොව් පාලන සමයේ සෝවියට් දේශයේ සිදුවූ පරිවර්තන සියැසින් දුටුවෙමු. නව ප්‍රතිසංස්කරණ හමුවේ උද්දාමයට පත් සෝවියට් විද්‍යාඥයෝ විශාල පිරිසක් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසුණහ. 1991-1996 කාලය තුළ ශාන්ත පීටර්ස්බර්ග්හි නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය අනතෝලි සබ්චාක් එවැන්නෙකි. 1991-1992 කාලය තුළ මොස්කව් නුවර නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ ආර්ථික විද්‍යා මහාචාර්ය ගව්රීල් පපොව් මහතා ද තවත් එවැනිම අයෙකි. නවසිය හැත්තෑ ගණන්වල ලෙනින්ග්‍රාඩ් රාජ්‍ය විශ්ව විද්‍යාලයේදී ඇතිවූ අනතෝලි සබ්චාක් – ව්ලැදිමීර් පුටින් හිතවත්කම, 2000දී සබ්චාක් මිය යන තෙක්ම පැවතියේය. මහාචාර්ය අනතෝලි සබ්චාක් පුටින්ගේ පමණක් නොව, 2008-2012 කාලය තුළ රුසියානු ජනාධිපතිවරයාව සිටි දිමිත්‍රී මෙද්වියෙදියෙව්ගේ ද දේශපාලන ගුරුවරයා වන්නේය.
නීති උපාධිය අවසන් කළ ව්ලැදිමීර් පුටින් 1975දී සෝවියට් දේශයේ ප්‍රධාන ඔත්තු සේවය වූ කේජීබී ආයතනයේ සේවයට එක්වූයේය. 1954 මාර්තු මසයේ පිහිටවනු ලැබූ කේජීබී ආයතනය පසුකාලීනව ලෝකයේ ප්‍රබලත ම රහස් ඔත්තු සේවාවක් දක්වා දියුණු වූ බව අතිශයෝක්තියක් නොවන්නේය. 1975 සිට 1991 දක්වා, වසර 16ක් තුළ කේජීබී ආයතනයෙන් ලැබුණු පන්නරය පුටින්ගේ දේශපාලන ජීවිතයට මහත් පිටිවහලක් වූ බවට සැකයක් නැත්තේය.
පුටින්ගේ දේශපාලන දිවිය ඇරඹෙන්නේ, 1990දී, එවකට ශාන්ත පීටර්ස්බර්ග් නගරාධිපති මහාචාර්ය අනතෝලි සබ්චාක්ගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශකවරයා හැටියටය. 1994 මාර්තු මාසයේදී ශාන්ත පීටර්ස්බර්ග් උප නගරාධිපති ධූරයට පත්වන ව්ලැදිමීර් පුටින් 1996 දක්වා එම තනතුරේ කටයුතු කළේය. 1996 පැවති නගර සභා මැතිවරණයෙන් අනතෝලි සබ්චාක් පරාදවීමෙන් පසුව පුටින් මොස්කව්හි පදිංචියට ගියේය. 1997 මාර්තු මාසයේදී, එවකට රුසියානු ජනාධිපති බොරිස් යෙල්ත්සින් විසින් පුටින්ව ජනාධිපති කාර්යය මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස පත්කළේය. 1998 ජූලි මාසයේදී, යෙල්ත්සින් විසින් පුටින්ව ෆෙඩරල් ආරක්‍ෂක සේවයේ ප්‍රධානියා ලෙස පත්කළේය. ව්ලැදිමීර් පුටින්, 1999 අගෝස්තු 16 වැනිදා රුසියානු පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් (පක්‍ෂව 233; විරුද්ධව 84) අග්‍රාමාත්‍ය ධූරයට පත්වූයේය. මාස 18ක් තරම් වූ කෙටි කාලයක් තුළ පත්වූ පස්වැනි අගමැතිවරයා වූ පුටින් ද වැඩි කලක් එම තනතුරේ රැඳී නොසිටිනු ඇතැයි බොහෝ දෙනෙක් සිතූහ. එහෙත්, 1999 දෙසැම්බර් 31 වැනිදා, බොරිස් යෙල්ත්සින් හදිසියේම සිය තනතුරින් ඉල්ලා අස්වූ හෙයින්, ව්ලැදිමීර් පුටින් වැඩබලන ජනාධිපති ධූරයට පත්වූයේය.
2000 මාර්තුවේ පැවති ජනාධිපතිවරණයෙන් 53%ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් පුටින් රුසියානු ජනාධිපති ධූරයට පත්වූයේය. බලයට පත්වූ විගස, ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් ප්‍රතිසංස්කරණ රැසක් දියත් කිරීමට පුටින් ඉදිරිපත් වූයේය. මෙම කාලය තුළ, රුසියාවේ දළ ජාතික නිෂ්පාදනය 72% කින් ඉහළ ගිය අතර, පොදුවේ රුසියානුවන්ගේ ජීවන මට්ටම ඉහළ නැංගේය. 1991 දෙසැම්බරයේ සෝවියට් සමූහාණ්ඩු සංගමය බිඳ වැටීමෙන් පසුව අවපාතයකට ලක්වූ රුසියාවේ ආර්ථිකය යළි නඟා සිටුවීමට, සිය පළමු ධුර කාලය තුළ ජනාධිපති පුටින් සමත් වූ බව අතිශයෝක්තියක් නොවන්නේය. 2004 මාර්තුවේ පැවති ජනාධිපතිවරණයෙන් ව්ලැදිමීර් පුටින් දෙවෙනි වරටත් ජනාධිපති ධූරයට පත්වන්නේ 71%ක ඡන්ද ප්‍රතිශතයක් ලබමිනි. රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එක් පුද්ගලයෙකුට පිට පිට දෙවතාවකට වඩා ජනාධිපති ධූරය දැරිය නොහැකි බැවින්, 2008දී, පුටින්ගේ දේශපාලන සගයෙකු වන දිමිත්‍රී මෙද්වියෙදියෙව් ජනාධිපති ධූරයට පත්වූයේය. දිමිත්‍රී මෙද්වියෙදියෙව්ගේ පාලන කාලය තුළ (2008-2012), ව්ලැදිමීර් පුටින් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, නිල නොවන රාජ්‍ය නායකයා වූයේ පුටින් මය.
2012 මාර්තුවේ පැවති ජනාධිපතිවරණයෙන් 63.6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ව්ලැදිමීර් පුටින් තුන්වැනි වරටත් රුසියානු ජනාධිපති ධූරයට පත්වූයේය. අනතුරුව, 2018 ජනාධිපතිවරණයේදී 76%ක විශාල ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ව්ලැදිමීර් පුටින් සිව්වැනි වතාවටත් රුසියානු ජනාධිපති ධූරයට පත්වූයේය. මෙම අවස්ථා දෙකෙහිදීම බරපතළ ලෙස මැතිවරණ දූෂණ හා වංචා සිදුවූ බවට විරුද්ධ පක්‍ෂයෙන් චෝදනා එල්ල වූයේය.
1991 දෙසැම්බරයේ සෝවියට් සමූහාණ්ඩු සංගමය බිඳ වැටීම පිළිබඳව ව්ලැදිමීර් පුටින් තුළ ඇත්තේ කළකිරීමක් සහ කනගාටුවක් බව පැහැදිලිය. “සෝවියට් සමූහාණ්ඩු සංගමය බිඳ වැටීම යනු, විසිඑක්වැනි සියවසේ සිදුවූ විශාලතම ඛේදවාචකය” යැයි, 2005 ක්‍රෙම්ලිනයේ පැවති දේශනයකදී පුටින් පවසා තිබුණේය. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව, ලෝක බලතුලනය වෙනස් වූ අතර, ඇමෙරිකාව ලෝකයේ එකම සුපිරි බලවතා බවට පත්වූයේය. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව, රුසියානු ආර්ථිකය මෙන්ම ලෝකය තුළ හිමිව තිබුණු තත්ත්වය ද දැවැන්ත පිරිහීමකට ලක්වූයේය.
එහෙත්, සිය පාලන කාලය තුළ එම තත්ත්වය වෙනස් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමත්ව ඇත්තේය. යටකී පරිදි, පුටින්ගේ පාලන කාලය තුළ රුසියාව දැවැන්ත ආර්ථික සංවර්ධනයක් අත්කරගත් අතර, රුසියාව ලෝකයේ ප්‍රධාන ආර්ථික බලවතුන් පස්දෙනා අතරට පත්කිරීම ඔහුගේ ඉලක්කය බව කියැවෙන්නේය. පුටින්ගේ පාලන කාලය තුළ රුසියාවේ මිලිටරි බලය ද වර්ධනය වූ අතර, මේ වන විට, රුසියාව යළිත්, සෝවියට් සංගමය පරිදි ම, දැවැන්ත යුද බලවතෙකු වී හමාරය. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සමග කරට කර සිටිය හැකි යුද බලවතෙකු වී හමාරය. මෙවන් පසුබිමක් තුළ, රුසියානු නායකයා ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට හිසරදයක් වී තිබීම පුදුමයට කරුණක් නොවන්නේය.
යුක්රේනය ආක්‍රමණය කිරීමට පෙරාතුව සිටම, ව්ලැදිමීර් පුටින් ජනාධිපතිවරයා මුළු ලෝකයේ ම අවධානය දිනාගත් සුවිශේෂී චරිතයක් බවට පත්ව සිටියේය. පුටින් ගැන ලියැවුණු ගීත ගණනාවක් ම තිබෙන අතර, “පුටින්කා වොඩ්කා” නමින් වොඩ්කා විශේෂයක් ද රුසියාවේ නිෂ්පාදනය කෙරෙන්නේය. විවිධ ක්‍රීඩාවන්හි නිරතවීම, වන සතුන් සමග කටයුතු කිරීම වැනි ක්‍රියාකාරකම් හරහා පුටින් යනු ජවසම්පන්න, ශක්තිමත් පුද්ගලයෙකු යැයි ප්‍රතිරූපයක් ගොඩනගා ඇත්තේය. ඇමෙරිකානු ටයිම් සඟරාව, 2005 දී, වසරේ පුද්ගලයා ලෙස ව්ලැදිමීර් පුටින්ව නම් කරන ලද අතර, 2015දී, ලෝකයේ බලවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ අංක එකට නම් කරනු ලැබුවේය. රුසියාවේ ගැලවුම්කාරයා ලෙස ඇතමුන් පුටින්ව සලකන අතර, තවත් කොටසකට පුටින් යනු හිට්ලර්ටත් වඩා දරුණු ඒකාධිපති පාලකයෙකි. කෙසේ වුවද, මෙම බලවත් පුද්ගලයාගේ අනාගත ඉරණම යුක්රේන-රුසියානු යුද්ධය මත තීරණය වීමට ඉඩ ඇත්තේය.
– ජයන්ත ලාල් රත්නසේකර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...