ආචාර්ය ගාමිණී කොරයා මහතා එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා ආර්ථික සංවර්ධන සංවිධානයේ සභාපතිවරයාව සිටියදී ඔහුගෙන් මෙබඳු ප්‍රශ්නයක් අසන ලදී.
“තුන්වන ලෝකයේ රටවල් සියල්ල ලබාගන්නා ණයවලින් සංවර්ධනය වීම වෙනුවට, දිනෙන් දිනම ආර්ථික අර්බුදයේ පතුලට යමින් තිබීමට හේතුව කුමක්ද?”
“ඊට හේතුව මේ රටවල් සියල්ලටම සිටින්නේ එකම මුදල් ඇමතිවරයෙක් වීමයි. ඒ මුදල් ඇමතිවරයා ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි…”
ඔහු කීවේය. ඔහුගේ මෙම පිළිතුර, අපේ වැනි පරිධියේ රටවල් සිර කොට ඇති ආර්ථික උගුලේ ස්වභාවය අපූරුවට හුවා දක්වයි.
දශක 7ක් තිස්සේ ශ්‍රී ලංකාව සිර කෙරුණු ණය උගුලේ උච්ඡතම අවස්ථාව කරා මේ වන විට රට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව පත්ව ඇති මේ ව්‍යසනයේ පරිමාණය පෙන්වා දීමට ඇති හොඳම නිදසුන ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු බටහිර මූල්‍ය ආයතන ආර්ජන්ටිනාවට අත්කර දුන් ඉරණමයි. ආර්ජන්ටිනාව ලෝක බැංකු රූකඩයක් බවට පත් වූයේ හමුදාව විසින් රාජ්‍ය බලය අල්ලාගෙන, එය සහමුලින්ම ‘ඇමරිකානු කෙසෙල් රාජ්‍යයක්’ (American Banana State) බවට පත් වූ පසුය.
1976 සිට 1983 දක්වා මෙම හමුදා පාලනය යටතේ ආර්ජන්ටිනාවේ විදේශ ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 8 සිට 43 දක්වා වර්ධනය විය. ඊට හේතු වූයේ ආර්ජන්ටිනාවේ සංවර්ධනය සඳහා ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් ණය හා ඒ ණයවලින් ‘සංවර්ධනය’වීමට සකසා දුන් සංවර්ධන සැලසුම්ය. ඒ සංවර්ධන ණය ශ්‍රී ලංකාවේ මෙන්ම සංවර්ධනයට සොච්චමක් වැය කරන විට දේශපාලකයින් හා නිලධාරීන් මහා පරිමාණයෙන් ගසා කෑමට කටයුතු කිරීම සිදු විණි. ඒ නිසා ගන්නා ණය මුදල් මගින් රටේ සැබෑ සංවර්ධනයක් සිදු නොවුණි.
මේ නිසා ආර්ජන්ටිනාව තුළ ඇති නැති පරතරය ඉහළ යාමෙන් දිළිඳු බව ශීඝ්‍රයෙන් වර්ධනය වීම, උද්ධමනය වැඩි වීම, විරැකියාව වර්ධනය වීම ඇතුළු සියලු සමාජ – ආර්ථික ව්‍යසන වර්ධනය වීම නවතාලීමේ කිසිදු හැකියාවක් එරට රජයට නොවීය. මේ තත්ත්වයෙන් ගොඩ ඒමට ලෝක බැංකුවෙන් ලැබුණු උපදෙස් වට්ටෝරුව වූයේ ආයෝජකයින් දිරි ගැන්විය හැකි සෑම දෙයක්ම කිරීම, රජයේ ආයතන සියල්ල පෞද්ගලිකකරණය කිරීම, වැඩි වැඩියෙන් ණය ගැනීම හා වැඩි වැඩියෙන් මුදල් අච්චු ගැසීම යනාදියයි.
මෙම ක්‍රියා මාර්ග, ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වූ අතර, ආර්ජන්ටිනාව දිනෙන් දින ආර්ථික ප්‍රපාතය වෙත ඇදී යමින් දැවැන්ත ලෙස සමාජ අසහනය වර්ධනය වීමට පටන් ගැනිණ. 2001 වන විට ආර්ජන්ටිනාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 147ක් දක්වා ඉහළ ගියේය. ඒ ණය වෙනුවෙන් ගෙවීමට තිබූ ණය වාරික හා පොළිය ඩොලර් බිලියන 19 දක්වා ඉහළ ගියේය. 2001 මාර්තු වන විට ආර්ජන්ටිනාවේ ආර්ථික අමාත්‍ය ලුයිස් මැෂිනියා ඉල්ලා අස්විය. 2001 අගෝස්තු වන විට, ආර්ථික අර්බුදය තවත් උත්සන්න වූ අතර, විශ්‍රාම වැටුප් ගෙවීම හා වෙනත් වියදම් කප්පාදු කිරීම ප්‍රකාශයට පත් කෙරිණ. 2001 සැප්තැම්බර් වන විට, ණය ගෙවීම පැහැර හැරීම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ආර්ජන්ටිනාවට ඇමරිකානු ඩොලර් බිලියන 8ක හදිසි ණයක් ලබා දුන්නේය. අර්බුදය නිමා වීම වෙනුවට සිදු වූයේ එය තවත් උත්සන්න කරමින් 2001 නොවැම්බර් වන විට එරට රජය, තැන්පත් පොළී අනුපාතික මත ආවරණයක් පැනවීමය. ඒ සමගම බොහෝ බැංකු ගිණුම් විදේශගත විය.ඒ නිසාම බැංකුවල ද්‍රවශීලතාව අර්බුදයට ලක් විය. බැංකු හා විදේශ විනිමය ගනුදෙනු පාලනය කිරීමක් සිදු විය. පෞද්ගලික ගිණුම්වලින් මසකට ලබාගත හැකි මුදල සීමා කෙරිණ. 2001 දෙසැම්බර් වන විට, තම විදේශ ණය ගෙවීමට නොහැකි තරමට සිය ආර්ථිකය බිඳ වැටී තිබෙන බව ආර්ජන්ටිනාව ප්‍රකාශ කළේය.
ආර්ජන්ටිනාවේ ආර්ථික අර්බුදය මෙලෙස වර්ධනය වන කාලය තුළ දේශීය හා විදේශීය ධනවතුන්ට එරටින් උපයාගත් මුදල් රටින් පිටකර ගැනීමට අවස්ථාව ලබා දුන් අතර, ඒ නිසා ආර්ජන්ටීනියානු ජනතාවට තම ඉතිරුම්වල අගය පහත වැටීම හා රැකියා අහිමිවීම දෙස අසරණව බලා සිටීම හැර වෙනත් කළ හැකි දෙයක් නොවීය.
ඒ සමගම රට පුරාම ආර්ජන්ටිනා රජයට එරෙහිව දැවැන්ත ජනතා විරෝධතා හා වීදි සටන් ඇරඹිණ. විශාල වශයෙන් ජනතාව මේ විරෝධතාවලට එක් විය.
උද්ධමනයේ ප්‍රතිඵලය වූයේ ජනතාවට එදිනෙදා ආහාර ගැනීමට පවා මුදල් නොමැති වීමයි. ඒ නිසා ආර්ජන්ටිනා ජනතාවට සිදු වූයේ ජීවත්වීම පිණිස අතට හසුවන තැනකින් ආහාර පිණිස මොනයම් දෙයක් හෝ කොල්ලකෑමටය. ඒ නිසාම වීදිවලට පැමිණි ජනතාව එරට බැංකුවලට හා කඩසාප්පුවලට කඩා වැදී ඒවා බිඳ දමමින් ඒවාහි භාණ්ඩ කොල්ලකන ආකාරය එවක ජාත්‍යන්තර මාධ්‍ය ආයතන විසින් ලොව පුරා විකාශය කළ ආකාරය අපට මතක ය.
‘අපි බැංකුවක් කොල්ල කෑවොත් වැරදියි. ඒත් ලෝක බැංකුව අපේ රටම කොල්ල කන එක උන්ට හරි වැඩක්…’ යැයි කියමින් ජනතාව වීදි දිගේ කෑගැසූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
ශ්‍රී ලංකාව මේ වන විට එළඹ ඇත්තේ එබඳු ආර්ජන්ටිනියානු පන්නයේ අර්බුදයක් කරා ය. අද දවසේ ගෑස් පෝලිම්වල, ඉන්ධන පෝලිම්වල එකිනෙකා මරාගන්නා ශ්‍රී ලංකා ජනතාව, ඊළඟ මොහොතේ එබඳු ක්‍රියාමාර්ගයක් කරා තල්ලු නොවෙතැයි සිතීමට කිසිදු හේතුවක් නැත.
‘ශ්‍රී ලංකාව අයි.එම්.එෆ්. වෙත වහාම යා යුතු’යැයි කියන දේශපාලකයින් හා නිලධාරීන් එහි අවසන් ඉරණම නොදන්නවා විය නොහැකිය. එබඳු ඉරණමක් ඔස්සේ ශ්‍රී ලංකාව ඊළඟ මොහොතේ එක්සත් ජනපද – ඉන්දියානු අධිරාජ්‍යවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ අවශ්‍යතාව ඉටු කරමින් සිටින බවට සැකයක් නැත.
මෙරට ඊනියා ආර්ථික උපදේශකයින් (ආර්ථික ඝාතකයින්) කියා සිටින්නේ මෙබඳු ආර්ථික අර්බුදයකදී ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වන මඟ මිස, මින් ගොඩ යා හැකි අන් මඟක් නොමැති බවය. එය කෙතරම් කාලකන්නි අදහසක් දැයි සහ එබඳු උපදෙස් අනුගමනය කරන රටක අනාගතය කෙසේ වේදැයි පැහැදිලි වන අදහසක් පවසා ඇත්තේ ජෝෂප් ස්ටිග්ලිට්ස්ය. ස්ටිග්ලිට්ස් යනු ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විශේෂඥයකු මෙන්ම, හිටපු ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ ආර්ථික උපදේශකයාය. ආර්ථික විද්‍යාව වෙනුවෙන් වරෙක නොබෙල් ත්‍යාගය ලැබූ පුද්ගලයාය. ඔහු මෙසේ පවසා තිබිණ.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පිළිපදිමින් සංවර්ධනය කරා යාමට දිළිඳු ජාතීන්ට කිසි දිනෙක හැකි වන්නේ නැත. මූල්‍ය අරමුදල දිළිඳු රටවලට උපදෙස් දෙන්නේ කෙනෙකුට සිය දිවි හානි කරගන්නට උපදෙස් දෙන නරුමයකු ලෙසිනි. ඒ නිසා දිළිඳු රටවල් දිළිඳුකමින් වැනසෙනු ඇත.”
ප්‍රභාත් චින්තක මීගොඩගේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...