පුරවැසි කොලම

මහෞෂධලා මෙන් පෙනී සිටි කේවට්ට රැළක් වටකරගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා දෙවසරකුත් මාස කිහිපයක් තිස්සේ ගිය ගමන මේ වන විට ඇත්තේ තීරණාත්මක කඩඉමකට ළඟාවීය.

මේ රටේ ආරක්‍ෂක ලේකම්වරයා ලෙස අතීතයේ ප‍්‍රතාපවත් ප‍්‍රතිරූපයක් ගොඩනඟා ගනිමින් ඉකුත් 2019 වසර වන විට ජනප‍්‍රසාදයේ හිනිපෙත්තටම ළඟා වී සිටි ගෝඨාභය රාජපක්‍ෂයන්ට අද දවසේ හිමිවී තිබෙන තැන පිළිබඳ විමසීමෙන් බැලීමේදී එය මැනවින් තහවුරු වන්නකි.

වැඩකරන අපේ විරුවා. මව්බිමට පෙමින් සැමදා කියමින් පොදු ජන ජයරාවේ නැඟූ ජනතාවම අද ගෝඨා ගෝ හෝම් හෙවත් ගෝඨා ගෙදර යන්න නොව ගෝඨා ගෙදර පලයන් යැයි කියමින් සිටින්නාහ.

මේ ගෝඨා ගෝ හෝම් යන්න මේ රට තුළ කි‍්‍රයාත්මක ඕජස් ගලන මජර දේශපාලනය තුළින්ම බිහි කෙරුණු වදනක් විය හැකිය. එහෙත් එය දැන් දැවැන්ත ලෙස ජනගත වී අවසන්ය. ඉන්ධන ටික, ගෑස් ටික සහ විදුලිය අහිමිව සහ අහස උසට නැඟ ඇති බඩුමිල හමුවේ ජන ජීවිතය උඩුයටිකුරු වීමෙන් හෙම්බත්ව සිටින ජනතාව අද ගෝඨා ගෝ හෝම් යැයි කියනුයේ බොහෝ වෛරී හැඟීම්ද සමඟ වන්නාහ.

එසේ වෛර හැඟීම් ඇතිවී තිබෙන්නේ මීට දෙවසරකට පෙර ගෝඨාභය රාජපක්‍ෂයන්ට බොහෝ සේ කැමැත්ත දැක්වූ සහ ආදරය කළ ජනතාව වෙතින්ම වීමද මෙහිදී දක්නට ලැබෙන විශේෂත්වයක් වී ඇත.

මෙවන් තත්ත්වයක් ඇතිවූයේ ඇයි? අද රට පත්ව ඇති අර්බුදයේ සැබෑ වගඋත්තරකරුවා ගෝඨාභය රාජපක්‍ෂද? මේ ප‍්‍රශ්නයට දීමට පිළිතුරු දෙකක් අපට ඇත. ඉන් පළමු පිළිතුර වන්නේ ඇති වූ සියලූ තත්ත්වයන්ට වගකිවයුත්තා ගෝඨාභය රාජපක්‍ෂ නොවන බවය.

එසේම මේ වන විට රට ඉදිරියේ ඇති නිමාවක් නොපෙනෙන අර්බුදයේ පැහැදිලි වගඋත්තරකරුවා ගෝඨාභය රාජපක්‍ෂ යැයි දෙවන පිළිතුර ලෙස වගකීමෙන් අපට සඳහන් කළ හැකිය.

අප එසේ ගෝඨාභය රාජපක්‍ෂයන් වගඋත්තරකරුවකු කරනුයේ ඇයි? හෙතෙම මේ රටේ ජනාධිපතිවරයා දක්වා පැමිණි ගමනේදී ඔහු වෙනුවෙන් කැපවී කටයුතු කෙරුවෝ බොහෝ වූහ.

එහෙත් ගෝඨාභය ජනාධිපති වීමෙන් පසු ඒ සියලූ දෙනා පසෙක සිටියදී ඇතැම් නිරාගමික මතවාදීහු මෙන්ම ජනතාවාදී සහ යථාර්ථවාදී සිතුවිලි රහිත මේ මහපොළොව මත දෙපයින් නොසිටි ගන්ධබ්බයෝ රෑනක් ජනපතිවරයා වටකර ගත්හ. ඒ අතරේ පරණ හොරු ද වූහ.

පොදුජන සිතුවිලි සහ රට තුළ සිදු වන්නේ කුමක්ද යන්න මෙන්ම යහපත අයහපත පිළිබඳ කිසිදු හැඟීමක් දැනීමක් නොතිබුණු ඔවුහු සිතාමතාම බිම් මට්ටමේ සත්‍යය ජනපතිවරයට වසන් කළෝය. යථාර්ථය නොදත් රාජ්‍ය පාලකයා ඇතැම් තීන්දු තීරණ ගනිද්දී ඒවායෙහි ඇති ගුණ දොස් සහ හරි වැරදි පෙන්වා දෙන්නට කිසිවකුත් නොවීය.

වටේ සිටියෝ සියලූ දෙනා එකිනෙකා පරයා නැගී සිටින්නට පොරකෑහ. උගත්තු, වියත්තු මෙන්ම විෂය ප‍්‍රාමාණික දැනුමැත්තෝ මේකී ගන්ධබ්බ ?නේ කූඨක කම් ඉදිරියේ විසිවී ගියේය. මේ තත්ත්වය තුළ තනිවූ ගෝඨාභය වටේ සිටි පිරිස කෙරෙහි විශ්වාසය තබා කිසිත් සිදු නොවන්නේ යැයි සිතමින් නිද්‍රාශීලී මිනිසකු සේ කි‍්‍රයාත්මක විය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තුළ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ ¥විල්ලක් තරම් දෙයක්වත් දකින්නට නොවීය.

මේ තත්ත්වය තුළ උපරිමයෙන් විඳවූවෝ මේ රටේ ගොවි, කම්කරු ආදී වශයෙන් සමස්ත කණ්ඩායම් නියෝජනය කළා වූ පොදු ජනතාවය. එහෙත් එකී විඳවිල්ල අවසානයේ ආණ්ඩුව ඇද වැටෙන වළේ තරම පිළිබඳවවත් ජනපතිවරයාට වැටහීමක් තිබුණේ නැත. සියල්ල තිබුණේ සඟවා දමාය. සියල්ල තිබුණේ අරාජිකවය.

ඉකුත් දා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බිම්ස්ටෙක් සමුළුව අමතන්නට සූදනම්ව සිය කාර්ය මණ්ඩලයේ පිරිසක් සමඟ සිදුකළ කතාබහක දෙබස් ඇතුළත් වීඩියෝවක් පිටතට පැමිණ තිබීම අද ජනාධිපති කාර්යාලයේ ඇති අරාජික බව සනාථ කිරීමට ඇති පැහැදිලි උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකිය.

මේ වන විට එකී වීඩියෝව පිටතට යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය සහ සමාජ මාධ්‍ය අංශය එකිනෙකාට චෝදනා කරගනිමින් සිටින බව ජනාධිපති කාර්යාලයෙන් වාර්තා වන්නකි. එහෙත් ජනපතිවරයාට හානිවන සේ එම වීඩියෝව පිටතට යැවූ කෙනා කවුදැයි තවමත් රහසක් බවට පත්ව ඇත. ඉතින් තවත් කතා කරන්නට දෙයක් තිබේද? මෙසේ වන්නේ ජනපතිවරයා නිද්‍රාශීලී වීම හමුවේ නොවේද? හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සිටියේ නම් මෙසේ වන්නේ නැත.

මෙකී නිද්‍රාශීලී බව පෙන්වා දීමට ඇති තවත් සුවිශේෂී උදාහරණයක් වන්නේ සියලූ දුක්ඛ දෝමනස්සයන් මැද අද රටේ ජනතාව මුහුණ දී සිටින විදුලි අර්බුදය ය. මේ විදුලි අර්බුදය ආරම්භ වූයේ කොතැනින්ද?

බොහෝ දුරට ආණ්ඩුවට දැන් ඒ ආරම්භය අමතකව තිබෙන්නට පුළුවන. එහෙත් අපට අමතක නැත. විදුලිබල මණ්ඩලය තුළ කි‍්‍රයාත්මක ඉංජිනේරු ත‍්‍රස්තවාදය විසින් ඉකුත් දෙසැම්බර් 03 වැනිදා මුළු රටම එකතැන නවතමින් කඩාකප්පල්කාරීව සිදු කළ විදුලිය බිඳ වැට්ටවීමෙන් මේ ආරම්භය සිදුවිය.

කොත්මලේ බලාගාරයෙන් උත්පාදනය කෙරෙන විදුලිය ජාතික පද්ධතියට එක්කිරීමේදී පාලනය කරනු ලබන රිලේ යන්ත‍්‍ර දෙකක දෝෂ ඇතිකරමින් මේ කුමන්ත‍්‍රණය දියත් කර තිබිණි.

එම සිද්ධියේදී කුමන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කළ උන් මෙන්ම ඊට ඇති දේශපාලන සබඳතාද හෙළි කර පෙන්වා දෙන්නට අප කටයුතු කළද ඒ කිසිවකුටත් කිසිදු දඬුවමක් දෙන්නට ආණ්ඩුව අසමත් විය.

ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව කළේ තොණ්ඩුව බෙල්ලටම හිරවෙනතුරු බකන්නිලා සිටීමය. එකවරම සිදු කෙරුණු මෙකී විදුලිය බිඳ වැටීමෙන් එදා නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත‍්‍රයක් කැඞී ගියේය.

එය අලූත්වැඩියා කෙරුණේ මාස එකහමාරකට පමණ පසු ඉකුත් පෙබරවාරියේ මැදභාගයේදීය. එකී කාලය තුළ රුපියල් බිලියන ගණනාවක පාඩුවක් රටේ ආර්ථිකයට සිදු වෙද්දී විදුලි ඉල්ලූම සපුරාලීම සඳහා ජලවිදුලි බලාගාර උපරිමයෙන් කි‍්‍රයාත්මක කිරීමට ඉංජිනේරු ත‍්‍රස්තවාදීහු කටයුතු කළහ.

මේ අතරේ රට ඉදිරියේ ඩොලර් අර්බුදයක් මතුවෙමින් තිබියදී ඉන්ධන මඟින් විදුලිය උත්පාදනය කිරීමද සිදු විය. අවසානයේ මාස එකහමාරක කාලයක් අඛණ්ඩව සිදු කෙරුණු මෙම කි‍්‍රයාදාමය තුළ ජලවිදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජලය සිඳී ගියේය.

ඒ සමඟම රට තුළ ඩොලර් අර්බුදයක්ද ඇතිවිය. ඩොලර් අර්බුදය හමුවේ විදුලිය නිෂ්පාදනය ඉන්ධන නොමැති වීමෙන් ජල විදුලි බලාගාර තව තවත් උපරිමයෙන් කි‍්‍රයාත්මක විය. එහිදී සිදුවූයේ බලා සිටියදී ජලාශ සිඳී යෑමය.

ඉතිහාසයේ පළමු වතාවට පැය දහතුනක විදුලි කප්පාදුවකට මුහුණ දීමට මෙරට ජනතාවට සිදුවූයේ මේ නිසා නොවේද? එහෙත් විදුලිබල මණ්ඩලයේ දෙතුන් දෙනකු එක්වී දේශපාලන හස්තයකද සහායෙන් සිදු කළ මෙම කුමන්ත‍්‍රණය තුළ අද රටම අරාජික වී තිබියදීත් කුමන්ත‍්‍රණකරුවෝ නිදැල්ලේ සිටින්නාහ.

විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශන දෙකකින්ම සියලූ තතු අනාවරණය වී තිබියදීත් කුමන්ත‍්‍රණකරුවන් එසේ නිදැල්ලේ සිටිනුයේ ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව නිද්‍රාශීලී වීම නිසා නොවේද?

එකී නිද්‍රාශීලී බව තුළ වගකීමෙන් සහ විඳවන ජනතාවගෙන් එල්ල වන උදහසෙන් ගැලවෙන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට නොහැකිය. මෙම සිද්ධියේදී එක් අවස්ථාවක කුමන්ත‍්‍රණය දියත් කළ ඉංජිනේරු ත‍්‍රස්තවාදීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට ඔන්න මෙන්න තිබියදී හිටි හැටියේ සියලූ පරීක්‍ෂණ යටපත් විය.

අද විදුලිය නොමැතිව රටම විඳවන්නේ එවන් තත්ත්වයක් තුළ නොවේද? ත‍්‍රස්තවාදීහු සිය කුමන්ත‍්‍රණය තුළින් ජලාශ සිදු දැමූහ. විදුලිය උත්පාදනයට ඞීසල් බලාගාර කි‍්‍රයාත්මක කිරීම හමුවේ මහා භාණ්ඩාගාරයේ ඩොලර්ද සිඳ දැමූහ. කුමන්ත‍්‍රණය අනාවරණය වුවද උන් නිදැල්ලේය.

එහෙම කටයුතු සිදු වන්නේ නම් එක රටක් එක නීතියක් කියමින් බලයට පත්වූ ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුවෙන් මේ රටට ඇති වැඩක් තිබේද? නැත කොහොත්ම නැත. අද රට පුරා ජනතාව එක හඬින් කියන්නේද ඒ කතාවය. ගෝඨාභය රජය නිද්‍රාශීලී යැයි අප කීවේද මේ නිසාය. මෙය නිද්‍රාශීලී වීමක් නොවේද?

ගත යුතු තැනදී නිසි තීන්දුව නොගෙන රටක් විඳවන තැනට සමස්තය රැගෙන යන්නට ආණ්ඩුවක් කටයුතු කරන්නේ නම් ඒ පාලනය තුළ ජනතාවාදී බවක් තිබෙන්නේද?

රට තුළ පවතින විදුලි අර්බුදය හමුවේ මේ මොහොත වන විට ආණ්ඩුවට එල්ල වන චෝදනා ඉතා බරපතළය. එක් අතකට බලන කල එය සුපිරි ඉල්ලාගෙන කෑමකි. ආණ්ඩුව බලයට පැමිණීමේදී සඳහන් වූ එක් වැදගත් ප‍්‍රකාශයක් බවට පුනර්ජනනීය බලශක්තිය යන්න සඳහන්ව තිබිණි.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්මෙහිදී ඒ බව සඳහන්ව ඇත. එහෙත් එදා සිට මේ දක්වාම මෙකී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන්ටද බාධක දමන්නෝ කවරහුද? ඔවුහු විදුලිබල මණ්ඩලයට අරක්ගෙන සිටින විදුලි ඉංජිනේරු ත‍්‍රස්තවාදීහු නොවෙතිද?

ගෙවී ගිය දෙවසරක කාලය තුළ මෙකී ත‍්‍රස්තවාදීන්ට ඉඩක් නොතබා අවම තරමින් මෙගවොට් දහය බැගින් වූ සූර්ය පැනල ව්‍යාපෘතියවත් කි‍්‍රයාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කළේ නම් අද රටේ ජනතාව විදුලිය ඉදිරියේ මෙසේ විඳවන්නේ නැත.

රටේ නිවාසවල වහලවල් මත සූර්ය පැනල ඉදිකර විදුලිය ලබා ගනිමින් ජනතාවටද ප‍්‍රතිලාභයක් අත්කරදීම වැඩපිළිවෙළ වුවද එයටද එරෙහි වූවෝ මේ ඉංජිනේරුවෝ නොවෙතිද? මෙගාවොට් දහය බැගින් වූ සූර්ය පැනල දෙසීයක් ඉදිකරවීමට ගෙවී ගිය කාලය තුළ රජය කටයුතු කළේ නම් එයින් උත්පාදනය වන විදුලිය ප‍්‍රමාණය මෙගවොට් දෙදහසකි.

එසේ වූයේ නම් අද රටම අර්බුදයට පත් කරමින් සිදු කෙරෙන විදුලි කප්පාදුවට තිත තැබෙන්නේය. එහෙත් කොටි ත‍්‍රස්තවාදය පරදවන්නට උර දුන් ගෝඨාභය රාජපක්‍ෂට විදුලිබල මණ්ඩලය තුළ කි‍්‍රයාත්මක ත‍්‍රස්තවාදයට මුහුණ දෙන්නට නොහැකි වීම හමුවේ රටම දැන් විඳවන්නේය.

ඒ අතින් බලන කල රටේ ජනතාව අද ගෝඨා ගෝ හෝම් කීම අතිශය සාධාරණය. එසේම ඉකුත් දෙසැම්බර් තුන්වැනිදා සිදුවූ රටපුරා විදුලිය බිඳ වැටීමේ සිද්ධියට සම්බන්ධ වූවන්ට නිසි දඬුවම් ලබා දුන්නේ නම් අද දවසේ රටේ ජනතාවට මෙලෙස විඳවන්නට සිදුවන්නේද නැත. එහෙත් දඬුවම් කිරීම වෙනුවට සිදුවූයේ විවිධ බලපෑම් තුළ පරීක්‍ෂණ යට යෑමය. අද ජනාධිපතිවරයා සහ ආණ්ඩුව වෙත පරාවළල්ලක් වී පැමිණ තිබෙන්නේ මෙසේ නීතිය නැවීමේ ප‍්‍රතිඵලය.

ආණ්ඩුව මෙසේ නිද්‍රාශීලී වීම හමුවේ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු ත‍්‍රස්තවාදය මේ මොහොතේත් ඇත්තේ සකී‍්‍රයවය. එයට පැහැදිලි උදාහරණයක් මේ වන විට විමලසුරේන්ද්‍ර බලාගාරය තුළ ඇත.

ලක්‍ෂපාන බලාගාර ජාලයේ එකක් ලෙස ඇති විමලසුරේන්ද්‍ර බලාගාරයේ එක් ජනන යන්ත‍්‍රයක් මේ වන විට තිබෙන්නේ අකී‍්‍රයවය. එයට හේතුව කුමක් වී තිබේද? ත‍්‍රස්තවාදය කි‍්‍රයාත්මක විය. නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම හමුවේ එම ජනන යන්ත‍්‍රයේ බෙයාරිං පද්ධතියට හානි සිදුවීමෙන් එය අකී‍්‍රය විය.

පැය දහතුනක් විදුලිය කැපෙන දිනවලද එය අකී‍්‍රයව තිබිණි. එහෙත් ඊට පහතින් ඇති බලාගාරයේ ජනන යන්ත‍්‍ර දෙක අඛණ්ඩව කි‍්‍රයාත්මක කළ යුතුව තිබුණු නිසා අවසානයේ සිදුවූයේ විමලසුරේන්ද්‍ර බලාගාරයේ අකී‍්‍රය යන්ත‍්‍රය ඇති මාර්ගය ඔස්සේ ගලා යන ජලයද නිකරුණේ මුදා හරින්නටය.

රටම බරපතළ විදුලි අර්බුදයක සිරවී සිටින මොහොතේත් ඒ ත‍්‍රස්තවාදය කි‍්‍රයාත්මක වූයේ එසේය. එහෙත් මේවා ජනාධිපති ගෝඨාභය දන්නේ නැත. ජනාධිපතිවරයා පමණක් නොව විදුලිබල ඇමැතිනී පවිත‍්‍රාදේවී වන්නිආරච්චි මහත්මියද නොදන්නීය. මන්ද ත‍්‍රස්තවාදය විසින් ඒ විනාශයන් උපක‍්‍රමශීලීව වසන් කරන නිසාය.

මේ අන්දමට හෙට දිනයේ අකි‍්‍රය වන්නේ කුමන ජනන යන්ත‍්‍රයදැයි අද කිසිවකුටත් අනුමාන කළ නොහැකි කරුණක් බවට පත්ව ඇත. සියල්ල සිදු වන්නේ කුමන්ත‍්‍රණවල සැලසුම් අනුවය. ඒ සියලූ දේ පවතින්නේ බිම්මට්ටමෙනුත් පහළය. එහෙයින් බිම්මට්ටමේ තත්ත්වයවත් හරිහැටි වාර්තා නොවන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට කිසිසේත්ම මේවා දැනගැනීමට ලැබෙන්නේම නැත.

එහෙයින් ත‍්‍රස්තවාදය සැමදා ජය ගනින්දී ගෙදර ගියේ ආණ්ඩුය. විදුලිබල මණ්ඩලයේ කි‍්‍රයාත්මක ඉංජිනේරු ත‍්‍රස්තවාදය එසේ ජනතා අප‍්‍රසාදය ඇතිකර ආණ්ඩු පෙරළා දමන තැනට මඟ සැකසූ අවස්ථා බොහෝය. දැන් ගෝඨාභය ආණ්ඩුවද එහි ගොදුරක් වී අවසන්ය.

ගෙවී ගිය දෙවසරක කාලය තුළ රටට අත්කර දුන් ඉරණම හමුවේ පුදුමයට කරුණ වන්නේ වත්මන් ආණ්ඩුව තවමත් බලයේ සිටීමය. එසේ කියනු හැර වෙන කියන්නට දෙයක් දැන් ඉතිරි වී නැත.

මේ වන විට රටේ පවතින විදුලි අර්බුදය හමුවේ ඇතිවී තිබෙනුයේ ජනතාවට විදුලිය නොමැතිව විඳවන්නට සිදුවීම පමණක්ද? නැත. අද විදුලිය හමුවේ මුළු රට අරාජික වී එකිනෙකා අතර පවතින සබඳතා පවා බිඳවැටෙන තත්ත්වයක් නිර්මාණය වී අවසන්ය.

හිටි හැටියේ තමන් අත වූ ජංගම දුරකථනවල සංඥා බිඳ වැටීමේ අත්දැකීමකට මුහුණදීමට පසුගිය දිනවල රටේ බහුතරයක් ජනතාවට සිදුවිය. එයටද හේතුව වී තිබුණේ දීර්ඝ කාලයක් විදුලිය කප්පාදු කිරීමේ තත්ත්වය ය.

රට පුරා ඇති දුරකථන සංඥා කුලූනු මඟින් සංඥා නිකුත් කිරීමේදී එහි කි‍්‍රයාකාරිත්වයට විදුලිය යොදා ගන්නේය. ඒ සඳහා විදුලිය ගබඩා කරගෙන පාලනය කරනු ලබන උපකරණයක් එම සංඥා කුලූනුවල සවිකර ඇත.

එහෙත් දීර්ඝ කාලයක් විදුලිය කපා දැමීමේදී අවශ්‍ය විදුලිය ප‍්‍රමාණය නොමැති වීම හේතුවෙන් අදාළ උපකරණ ආරෝපණය සිදු නොවන විට දුරකථන සංඥා කුලූනු මගින් ලබා දෙන සංඥා බිඳ වැටෙන්නේ ස්වයංකී‍්‍රයවය.

එහිදී පළමුව අන්තර්ජාල සබඳතා බිඳවැටීම ඇරඹී ක‍්‍රමයෙන් දුරකථන සංඥාවල ප‍්‍රබලත්වය අඩුවීම සිදුවන අතර එයද මේ වන විට විදුලිය කප්පාදුව හමුවේ කිසිවකුත් නොදැනම මතුවී තිබෙන අර්බුදයකි.

මේ අන්දමට විදුලිය නොමැතිව සන්නිවේදනය බිඳ වැටෙද්දී තවත් පැත්තකින් රටේ දරුවන්ගේ අධ්‍යාපනයටද දැඩි ප‍්‍රහාරයක් එල්ල වීම වළක්වාගත නොහැක්කකි.

පසුගිය කොරෝනා සමයේ කි‍්‍රයාත්මක වූ පරිදි අන්තර්ජාලය ඔස්සේ රටේ දරුවන් අධ්‍යාපනයට යොමුවීම දැනුදු ඇතැම් අවස්ථාවල සිදුවන්නකි. එහෙත් දුරකථන සංඥා බිඳ වැටීමේදී එසේ ලබන අධ්‍යාපනය අහිමි වීමෙන් මේ වන විට දරුවෝද දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිති.

අද ඇතිවී තිබෙන විදුලිය අර්බුදය හමුවේ ඉදිරියේ වර්ෂාව ලැබෙන තුරු එයට විසඳුමක් ලැබෙනු ඇතැයි සිතීමද විහිළුවක් බවට පත්ව තිබෙන්නකි. වර්ෂාව ලැබී හෝ එම තත්ත්වය යම්තාක් සමනය වුවද රටේ ඇති අනෙකුත් ගැටලූ විසෙඳන දිනයක් සිතා ගැනීමටවත් නොහැකිව තිබෙන්නකි.

එම තත්ත්වය හමුවේ අද රටේ ජනතාව කිසිවක් සිතාගත නොහැකිව කම්පනයට පත්ව සිටින්නාහ. ඉදිරියේදී ඒ කම්පනය විවිධ ආකාරයෙන් පුපුරා යන්නට ඉඩ ඇත. ඒ අනුව ගෝඨා ගෝ හෝම් ලෙසින් නැගෙන ජනතා හඬි තවදුරටත් නින්නාද දෙනු ඇත. එය වැළැක්විය නොහැකි තත්ත්වයකි.

සිදුවන සියල්ල තුළ අද රටේ මිනිස්සු පුදුමාකාර ලෙස අසරණව සිටින්නාහ. හැමදාමත් අප සිට ගත්තේද එසේ අසරණ වූ පීඩිතයන් සමඟය. එනිසා දැන් අපටද කියන්නට ඉතිරිව ඇත්තේ මුළු ආණ්ඩුවම ‘ගෝ හෝම්’ කියාය.

සමන් ගමගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More