රට තුළ උද්ගතව ඇති මහජන විරෝධතා හමුවේ ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
ඒ අනුව, ‘ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුවෙන් මහජන ආරක්ෂාව යටතේ සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සහ මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් සහ සේවා පවත්වා ගෙන යාම සඳහා,’ රට පුරා හදිසි අවස්ථා නීතිය ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ඊයේ (අප්‍රේල් 1) දා ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත.
මහජන ආරක්ෂක ආඥා පනතේ 02 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට හිමිව ඇති තම බලතල ප්‍රකාරව අප්‍රේල් 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නීතිය බලාත්මක වනු ඇත.
පසුගිය දා මිරිහාන ප්‍රදේශයේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවස ආසන්නයේ රැස් වූ ජනතාව විසින් විරෝධතා දක්වනු ලැබීම සහ පිරිසක් කලහකාරී ලෙස හැසිරීම මෙම හදිසි නීති පැනවීමට ආසන්න ම හේතුව වේ.
ඒ අනුව, පවතින තත්ත්වය හමුවේ හදිසි නීතිය සහ හදිසි නීතිය ප්‍රකාශයට පත් කර තිබීයදී ජනතාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් mawbima.lk වෙබ් අඩවිය නීතීඥ නිරූපා සේරසිංහ මහත්මියගෙන් කළ විමසීමක් අනුව පහත කරුණු පෙළගස්වා තිබේ.
හදිසි නීතිය කියන්නේ මොකක් ද?
හදිසි අවස්ථාවක්, සුවිශේෂී අවස්ථාවක්, රජයට සිදු වන සුවිශේෂී තර්ජනයක් අනුව ජනාධිපතිවරයාට බලතල තියෙනවා හදිසි නීතිය පනවන්න. නිවේදනයක් මගින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ බලයක් ජනාධිපතිවරයා සතුව පවතිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වගන්තිය යටතේ එවැනි හදිසි නීති රෙගුලාසි නිකුත් කළ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැරෙන්නට වෙනත් ඕනෑ ම නීතියක ප්‍රතිපාදන අභිබවා යන්න පුළුවන්.
හදිසි නීතිය පැනවූ පසු කොපමණ කාලයක් එය බලපැවැත්වෙනවා ද?
හදිසි අවස්ථා තත්ත්වයක් මාසයක කාලයක් සඳහා ජනාධිපතිවරයාට නිකුත් කිරීමට බලය පැවරී තිබෙනවා. මාසයක් ගතවීමට පෙර එය අවලංගු කිරීමට ද අවස්ථාව ඇත්තේ ජනාධිපතිවරයාට යි. ඒ වුණාට හදිසි නීතිය ප්‍රකාශයට පත් කරලා දින 14ක් ඇතුළත එම නිවේදනය පාර්ලිමේන්තුවට දාලා සම්මත කර ගත්තේ නැත්නම් මාසයක් ඇතුළත අහෝසි වෙනවා. සෑම දින 30කට ම වරක් හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කළ හැකි යි.
හදිසි නීතිය පැනවීමෙන් සාමාන්‍ය ජනතාවගේ ක්‍රියාකාරකම්වලට පවතින බලපෑම් මොනවා ද?
මේකෙන් මූලික අයිතිවාසිකම් ගොඩක් පාලනය වෙනවා.
1. අත්අඩංගුවට ගන්නකොට නිර්දෝෂී බවට පූර්ව නිගමනයක් කිරීම
2. ඔප්පු කිරීම
3. නීතිය ඉදිරියේ සමානකම මෙතනදී වෙනස් වෙනවා
4. සාමානය නීතිය යටතේ අත්අඩංගුවට ගත්තහම තියාගන්න කාලයට වඩා කාලය වෙනස් වෙනවා
5. රැස්වීමේ, අදහස් ප්‍රකාශනයේ නිදහස, සමාගම් පැවැත්වීමේ නිදහස, ගමන් කිරීමේ නිදහස, භාෂාවේ නිදහස වගේ දේවල්වලට අදාළ වන මූලික අයිතිවාසිකම් මේකෙදි සීමා වෙනවා.
හදිසි නීතිය යටතේ සීමා නොකළ හැකි දේවල් මුකුත් ම නැද්ද?
තියෙනවා. හෘදය සාක්ෂියේ, සිතීමේ නිදහස නැති වෙන්නේ නෑ. ඒ වගේ ම මොකක් හරි නිසා අත්අඩංගුවට ගත්තොත් අධිකරණයක් මගින් සාධාරණ නඩු විභාගයක් සඳහා අයිතියක් තියෙනවා.
හදිසි නීතිය නිසා ජනතාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න කොහොත් ම හැකියාවක් නැද්ද?
විශේෂයෙන් ම කියන්න ඕනෑ මේ වෙලාවේ සාමාන්‍ය මිනිස්සු බය කරන්න කරපු දෙයක් මේ වෙලාවේ හදිසි නීතිය දාපු එක. බය වෙන්න ඕනෑ නෑ. සාමකාමීව විරෝධතා දක්වන්න බයවෙන්න එපා. ඊයේ ඇත්තට ම මේ ප්‍රචණ්ඩ විදියට කටයුතු ඇති කරලා තියෙන්නේ සාමාන්‍ය අය නොවේ කියලා ඔප්පු වුණා. බස් එකට ගිනි තියපු කෙනා අත්අඩංගුවට ගත් අය අතර ඉන්නවා ද කියලා මහේස්ත්‍රාත්තුමා ඇහුවා. ඒත් ඒ කෙනා හිටියේ නෑ. ඒ ගොල්ලොගේ ම අය දාලා අනවශ්‍ය කලබල ඇති කරලා හදිසි නීතිය යටතේ කටයුතු කරයි. ඒ නිසා රටේ පුරවැසියන් සිහි බුද්ධියෙන් කටයුතු කරන්න ඕනෑ.
මේ නීතිය යටතේ යම් කෙනෙක් අත්අඩංගුවට ගත්තොත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොම ද?
සාමාන්‍ය නීතිය විතරක් ක්‍රියාත්මක වෙනකොට නම් යම් චෝදනාවකට අත්අඩංගුවට ගත්තොත් පැය 24ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කරන්න ඕනෑ. නමුත් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගත්තොත් රැඳවුම් නියෝගයක් මත දවස් 14ක් තබාගන්න පුළුවන් මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් නොකර. ඒක තවදුරට ත් දික් කර කර තියා ගන්නත් පුළුවන්. එහෙම අවස්ථාවක් වුණොත් පොලිසියෙන් අදාළ කෙනාට හානි වෙන්න පුළුවන් ඉඩ වැඩියි.
පොදු දේපළ පනත සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන්නේ කොයි ආකාරයට ද?
හදිසි නිතීය තියෙන්නේ ඒවා සියල්ලට ඉහළින්. නමුත් පොදු දේපළවලට හානි කිරීමක් වෙතොත් ඒ සම්බන්ධයෙන් එම පනත යටතේ ගත යුතු ක්‍රියාමාර්ග ත් ගන්නවා.
මේ අතර, අද පැවති මාධ්‍ය හමුවකදී ජ්‍යෙෂ්ඨ නීතිවේදී ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා සඳහන් කළේ, 1979 අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් විට ඔහුට එරෙහිව ඇති චෝදනාව ඉදිරිපත් කළ යුතු වුව ද හදිසි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවකදී එලෙස චෝදනාව දැනුම් දීම අවශ්‍ය නොවන බව ය.
එමෙන් ම හදිසි නීතිය යටතේ කිසිදු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ බලය පොලිස් දෙපාර්තමේන්තුවට සහ යුද්ධ හමුදාවට හිමි වන බව ඔහු පැවසීය.
කෙසේ නමුත් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය නොකළ යුතු අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තියේ සඳහන් පරිදි කිසිදු ආකාරයක වද හිංසාවකට හෝ අමානුෂික වද හිංසනයකට භාජනය කළ නොහැකි බව ද ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.
කාංචනා විජයබණ්ඩාර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...