පානදුරාවාදය සහ නූතන ලැඩ් දහදුරාවාදය ..!
– කුමාර ලියනගේ
1873 අගෝස්තු මස 26වැනි දිනයට යෙදුණු, බෞද්ධ සැදැහැවතුන් වෙනුවෙන් කුරුකුලසූරිය කොර්නේලිස් ප්‍රේරා ද, කතෝලික බැතිමතුන් වෙනුවෙන් මත්තෙස් සුවාරිස් ගුණවර්ධන ද, අත්සන් තබා පවත්වන ලද පානදුරාවාදය යනු, මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් සහ දාවිත් ද සිල්වා පාදිලි උන්නාන්සේ අතර පැවැති ප්‍රසිද්ධ විවාදයකි. මෙකී සංවාදය ඉතා විධිමත් ආකෘතියක් යටතේ පවත්වා තිබෙන අතර, එයින් අරමුණු කෙරී තිබෙන්නේ සමාජයට වැඩදායක හරවත් සංවාදයක් බව කිය හැකි ය. පාර්ශ්වයන් දෙකක් අතර විවෘත සන්දර්භයක සියල්ල එළිපිට සිදු වන නිසා, එවැනි සංවාදයකින් කිසිවකුටත් අවැඩක් සිදු වන්නේ නැත. අවසානයේ සිදු විය හැකි දෙය නම් සත්‍යය ඉස්මතු වී බොරුව යටපත් වීම ය. ඒ අනුව කවර දෘෂ්ඨිකෝණයකින් බැලුව ද, පානදුරාවාදය වැනි සංවාද සමාජ ප්‍රගතිකාරක ය. ඒවා සිදු වූයේ එළිපිට ය. සතරකන්, සත්කන් මන්ත්‍රණ තිබුණේ නැත.
පානදුරාවාදය පැවැත්වී අවුරුදු 146කට පමණ පසු ව මෙකල අප ගේ සමාජයේ සිදු වෙමින් තිබෙන දේ, ඊට හාත්පසින් ම වෙනස් බව මොළයක් ඇති ඕනෑම අයකුට පියවි සිතින් සිතන්නේ නම් වටහා ගත හැකි වනු ඇත. අද විවෘත සමාජ සංවාද නැත. විවිධ කල්ලි ය. විවිධ යටිකූට්ටු වැඩ ය. බෙලිකැපිලි ය. පුහු ප්‍රතිරූපකයෝ ය. සාහිත්‍ය මං පහරන්නෝ ය. ආගමික බූතසේවාකාරයෝ ය. මෙසේ කැඩී බිඳී තිබෙන සමාජයකින් අපට බලාපොරොත්තු විය හැකි වන්නේ වි-සංස්කෘතික චින්තනයකි. එය අද අපට යහමින් දැකිය හැකි ය. තරුණ දේශපාලන ව්‍යාපාරවල ද, විශ්වවිද්‍යාල පද්ධතියේ ද, පාසල් අධ්‍යාපනයේ ද, බහුජන විඥාපන මාධ්‍යයේ ද, සමාජජාලාවල ද, කලා සංස්කෘතික ක්ෂේත්‍රයේ ද, මහපාරේ ද, අද ඔජ වැඩෙමින් තිබෙන්නේ එය ය.
මෙරට අඛණ්ඩ පොදුජන සාහිත්‍ය සම්ප්‍රදාය ඇතැම් කාලවකවානුවල ගරා වැටුණේ ආක්‍රමණිකයා ගෙන් හෝ සංක්‍රමණිකයා ගෙන් හෝ නො වේ. ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා, හෙන්රි පාකර්, ජෝන් ඩොයිලි වැන්නන් විසින් සිදු කෙරුණු කාර්යභාරය ඊට උදාහරණ ය. ඔවුහු පොදුජන සාහිත්‍යය, පොදුජන සංස්කෘතිය, පොදුජන තාක්ෂණය වැනි සමාජාංග ප්‍රාමාණික මට්ටමින් අධ්‍යයනය කළ හ. එක්රැස් කළ හ. විශ්ලේෂණය කළ හ. අවසානයේදී ඒවා තම තමන් ගේ විෂයානුබද්ධ කටයුතුවලට සම්බන්ධ කර ගත් හ. යටත්විජිතකරණයට යොදා ගත් හ.
මෙය බටහිර අධිරාජ්‍යවාදී දේශපාලනයේ එක් ප්‍රධාන උපායමාර්ගයකි.
අදත් බලය යනු දැනුම එක්රැස් කිරීම ය. ඒවා විභේදනය කිරීම ය. නිදර්ශනයක් වශයෙන් ඉංග්‍රීසි ආණ්ඩුවට උඩරට සහ පහතරට වශයෙන් දිගුකාලීන භේදයක් මේ රට තුළ නිර්මාණය කිරීමට හැකි වූයේ ජොන් ඩොයිලි වැන්නන් විසින් එක්රැස් කරන ලද දේශීය දැනුම් පද්ධතිය නිසා ය. ඔවුහු ඒවායේ අංග, ප්‍රත්‍යාංග නිවැරැදි ව හඳුනා ගත් හ. විශ්ලේෂණය කළ හ. අවසානයේ උඩ-පාත භේදභින්න කළ හ. දැන් එයින් ගැලවීමක් නැත. මේවා බටහිර යටත්විජිතවාදයේ ක්‍රමෝපාය ය. එහෙයින් එදා ඔවුන් විසින් දැනුම එක්රැස් කරන ලද්දේ අපට තිබෙන ආදරයකට නො වේ. අද බෙල් ගෙන් තොර සීගිරියක් නැත. පාකර් ගෙන් තොර වැවු සංස්කෘතියක් නැත. එය කොපමණ දුර ගොස් තිබෙනවා ද යත්, අද අප ගේ විශ්වවිද්‍යාල පද්ධතියට අවශ්‍ය වන දේශීය වාරි තාක්ෂණික දැනුම තිබෙන්නේ එංගලන්තයේ ය. ඔවුන් ගේ විශ්වවිද්‍යාලවල ය. ඒ මඟින් අපි ඔවුන් ගේ දැනුම් වහලුන් බවට පත් වූයෙමු. කවර හෝ ජාතියකට තමන් ගේ දේශීය දැනුම අහිමි වීම යනු, ඔවුන් ගේ ජාතියේ අවසානය ය. සිංහල ජාතිය අද මුහුණ දෙමින් තිබෙන අභ්‍යන්තරික අර්බුදය වන්නේ ජාතිකත්වය අහිමි කර ගැනීම ය.
මේ පිළිබඳ ව පියදාස සිරිසේන ‘සිංහල ජාතිය’ පුවත්පතෙහි ලා සිදු කර තිබෙන ප්‍රකාශයක් තවත් සියවස් ගණනකට අදාළ කර ගත හැකි ය.
‘ජාතික උගැන්මක් නැති පුද්ගලයා පරාර්ථකාමය අස්ථානයේ යොදවනු ලැබේ.’
නූතනයේ මෙලෙස සිදු කර ගැනෙමින් තිබෙන ස්වයංඝාතක ජාතික සාහිත්‍ය සහ කලා විහීන ක්‍රියාවලිය අප හඳුන්වන්නේ ‘ලැඩ් දහදුරාවාදය’ නමිනි. ‘ලැඞ් සංස්කෘතිය’ යනු අමෙරිකාව, බ්‍රිතාන්‍ය ප්‍රමුඛ නව ලිබරල්වාදී රටවල ගොඩ නැඟී තිබෙන තරුණ සමාජ වසංගතයකි. එකී රටවලට ද මර්දනය කළ යුතු ගෝතකරුමයක් වී තිබෙන ‘ලැඩ්’ මනෝභාවය, අප සිංහලයට පරිවර්තනය කර හඳුන්වා දීමට නො යන්නේ, ඒ මඟින් අදාළ සංඥාර්ථය නිෂ්පන්න නො වන බැවිනි. ‘යැංකි’ , ‘හිපි’ යන්න, ‘යැංකි’, ‘හිපි’ වශයෙන් ම හැඳින් වූ අතීතාදර්ශය අපට මෙහි ලා මඟ පෙන්වා දී තිබේ. ඒ අනුව ‘ලැඩ්’ යන්න ද, සිංහලයට පෙරළිය යුතු නැති බව අප ගේ අදහස ය.
සංස්කෘතියක් ලෙස බටහිරයන් විසින් හඳුන්වනු ලබන මේ සමාජ ව්‍යසනය, ඇත්ත වශයෙන් ම සංස්කෘතියක් නො ව, විසංස්කෘතියක් ලෙස හඳුන්වා දෙනු මනා ය. ‘ලැඩ් දහදුරාවාදය’ යන්න අප විසින් භාවිතයට ගැනෙන්නේ ඒ අර්ථයෙනි.
නව ලිබරල්වාදී බටහිර රටවලින් බිහිවුණු තරුණ ’වල්බූරු නිදහස’ පසුකාලය වන විට විසංස්කෘතියක් බවට පත් වුණු අතර, අද එය ඒ රටවලට ද හිසරදයක් වී තිබෙන බව ප්‍රකට ය. නිදර්ශනයක් වශයෙන් මේ ‘ලැඩ් කල්ලි’ නිසා සිදු වෙමින් තිබෙන ලිංගික හිංසනය 50% ඉක්මවා ගොස් ඇතැයි, බටහිර සමාජ විද්‍යාඥයෝ ම පෙන්වා දෙති. ඒවා අන්තර්ජාතික මට්ටමින් සාකච්ඡා නො වීම, මේ පිළිබඳ ව සිදු වන එක් අවාසිදායක තත්ත්වයකි. සියල්ල එරටවල මාධ්‍ය තුළ වසං කෙරෙමින් පවතී.
එහි ලා ඇති ව තිබෙන බටහිර සමාජ මනෝභාවය වටහා ගැනීමට ඔවුන් අතර ප්‍රකට lad in night – guy in day යන, ජන කියමනෙන් ම අවබෝධ කර ගත හැකි ය. මෙය අප ගේ ජන කියමනක් වන, ‘දවල් මිගෙල් – රෑ දනියෙල්’ වැන්නකි.
ශ්‍රී ලාංකික ‘ලැඩ් දහදුරාවාදයට’ විවිධ මුහුණුවර තිබේ. ජනමාධ්‍ය, ජනප්‍රිය කලාව, සමාජජාලා, උසස් අධ්‍යාපන ආයතන, විශ්වවිද්‍යාල, ජාත්‍යන්තර පාසල්, ටියුෂන් ආදිය මේ ‘ලැඞ් දහදුරාවාදයේ’ වාහකයෝ වෙති. නො එසේ නම්, ‘ලැඞ් කේන්ද්‍ර’ බවට පත් ව තිබේ. සරම අඳින්නා නව ලිබරල්න මෙවලම්වලින් නවීකරණය වීමට වැර දරන මුග්ධ සමාජයක ජීවත් වන අපට, පාදඩ ‘ලැඩ් දහදුරාවාදීන්’ යනු, එක් අතකින් විකටයෝ පිරිසක් වෙති.
ඇතැම් විට ඔවුහු ඉංග්‍රීසි දැන ගත්තත්, ඉංග්‍රීසි සමාජය නො දනිති. ඉංග්‍රීසි සංස්කෘතිය නො දනිති. ඉංග්‍රීසි විසංස්කෘතිය නො දනිති. ඉංග්‍රීසියෙන් කරන සියල්ල වැදගත් යයි සිතති. එය තෝරා බේරා ගැනීමට තරම් විවේක බුද්ධියක් නැති, අල්පශ්‍රැතයෝ වෙති.
‘පානදුරාවාදය’ සමාජ සංවාදයට දායක වූවෝ, උන්නතිකාමින් වන්නෝ මේ නිසා ය. ඔවුන්ට හරි වැරැද්ද තෝරා බේරා ගැනීමේ අන්තර්ඥානය තිබිණි. සමාජ අවබෝධය තිබිණි.
හීඩි මිර්සා පෙන්වා දෙන පරිදි උසස් අධ්‍යාපනයේ නිරත වුවත්, මේ ‘ලැඩ් දහදුරාවාදින්’ සමාජ පීඩිතයෝ ය. එය කුලමල, ධන, බල ආදියෙන් ලද්දකි. ඒ අනුව ‘ලැඩ් දහදුරාවාදය’ විලසින් ප්‍රකාශ වන්නේ අවපීඩන තත්ත්වයක් බව කිය හැකි ය. මෙරටට ද එය අනන්‍ය වන්නේ කිසියම් කාලවකවානුවක සමාජයේ ආන්තිකකරණයට ලක් වූ පිරිසක් විසින් ව්‍යාජ ආකාරයෙන් මුදා හැරෙන අතීත පීඩාකාරිත්වයක නූතන මුහුණුවර ලෙසිනි.
පසුගිය සමයේ ‘අලුත් පරපුර’ යනුවෙන් මතු ව ආ තරුණ දේශපාලන කල්ලිවාදය තුළ අඩුවැඩි වශයෙන් ප්‍රදර්ශනය වූයේ ද, මෙකී ‘ලැඞ් දහදුරාවාදය’ ය. ඒවාට උඩගෙඩි දෙන, තරුණ නව ලිබරල් දේශපාලකයෝ ද, විශ්වවිද්‍යාල මහාචාර්ය, ආචාර්ය පට්ටම්ලාභීහු ද, ඊනියා සිවිල් ක්‍රියාකාරිකයෝ ද, ‘නව රැල්ලේ’ සිනමාකරුවෝ ද, පුවත්පත්කරුවෝ ද, FM මාධ්‍යකරුවෝ ද, නවකථාකරුවෝ ද, කෙටි චිත්‍රපටිකරුවෝ ද, නාට්‍යකරුවෝ ද, මියුසික් වීඩියෝකරුවෝ ද, කලා විචාරකයෝ ද වෙති. ඔවුන්ට රටක් නැත. ජාතියක් නැත. ජන්මයක් නැත. ඇත්තේ ‘ලැඩ් දහදුරාවාදය’ පමණි. ඒ අනුව ලිංගිකත්වය පමණ ඉක්මවා හුවා දැක්වෙන විවිධ අදහස් සමාජ ගත කරති. විවිධ ‘ලැඩ් දහදුරාවාදීන්ට’ ලයිසන් දෙති.
‘ලැඩ් දහදුරාවාදීන් ගේ’ සමාජ ආක්‍රමණය මෙපමණ උග්‍ර වෙමින් තිබියදීත් ඊට එරෙහි වන්නන් අවම වී තිබෙන්නේ ප්‍රධාන ධාරාවේ සංවාද තුළ ඒ පිළිබඳ සවිඥානභාවයක් නැතිකම ය. ඇතැම් විට මෙරට තුළ ‘ලැඩ් දහදුරාවාදය’ පිළිබඳ ව පළ වන ප්‍රථම සහ අවසාන ලිපිය ද මෙය විය හැකි ය.
මේ ‘ලැඩ් දහදුරාවාදය’ විවිධ ආගමික සහ සාහිත්යික රස වින්දන වැඩසටහන් ආකාරයට ද සිදු කෙරෙමින් තිබෙන අතර, බැලූබැල්මට ඉතා යහපත් සමාජ සත්කාරක ක්‍රියාවලියක් ලෙස දෘශ්‍යමාන වේ. එහෙත් ඒ පිටුපස ඇත්තේ අදිසි ක්‍රියාවලියකි. නූතන මාදිලියේ ආක්‍රමණයකි. අපට, අප ගේ අපේකම නැති කිරීමට ගන්නා උත්සාහයකි. එහි අනිටු ප්‍රතිඵල අත්වන්නේ තවත් දශක ගණනකදී ය. ඔවුන් විසින් එක් අතකින් ඝාතනය කෙරෙමින් තිබෙන්නේ සිංහල භාෂාවේ සංස්කෘතික දේශපාලනය ය. භාෂාව සංස්කෘතියක් ලෙස ඉදිරියට ගලා ගිය ද, එහි දේශපාලනය, බඩගෝස්තරවාදී වෙළෙඳපළ විසින් යටපත් කෙරෙන සමයක් උදා කෙරෙමින් තිබේ. ඒවාට උල්පන්දම් දෙන්නෝ විසංස්කෘතිකයෝ ය. ඔවුහු වනාහි බටහිර රාජ්‍ය නො වන සංවිධාන විසින් නැටවෙන රූකඩයෝ වෙති. තමන් ගේ පවුලේ දරිද්‍රතාව නමැති හැව ඇර ගැනීම සඳහා කොළඹ ගල්වැටි අස්සෙන්, මුල් අස්සෙන් රිංගන මේ ග්‍රාමීය විෂඝෝර සර්පයන්, ඇතැම් හවසක සිටින්නේ තායිලන්ත, කොරියානු අවන්හල්වල ගෙම්බන් ගිලිමිනි. මේ දහදුරාවාදීන් ගෙන් සාහිත්‍ය සමාජය ගලවා ගත යුතු කාලය දැන් එළැඹ තිබේ.
පිටරටවලට ගොස් ධර්මසේන හාමුදුරුවන් ගේ භාෂා ආකෘතිය පිළිබඳ ව, වෑත්තෑවේ හිමියන් ගේ රූපක භාවිතය පිළිබඳ ව, ජාතක පොතේ නූතනත්වය පිළිබඳ ව පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කර විවිධ උපාධි වරදාන ලබා ගන්නා ඇතැම් ඊනියා රැඩිකල් බුද්ධිමත්තු, නැවත ලංකාවට පැමිණ සිංහල බෞද්ධ සම්ප්‍රදායට එරෙහි ව අත්තනෝමත පළ කරති. ඊට ගරහති. බටහිරට ආවඩති. බටහිර කවි කියවති. සිංහල කාව්‍ය සම්ප්‍රදායට බැට දෙවති. චක්ගෝලයන් ලවා විකාර ලියවති.
දුර්දාන්ත ධනවාදීන් භංග කිරීම සඳහා නිර්ධන පන්තියේ වීරයකු ලෙස මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ, 71 කැරැල්ලට කිසිදු සම්බන්ධතාවක් නැති ගුණදාස කපුගේ, සූරියමලේ සිට සහ සන්ෆ්ලවර් දක්වා සංකේතාත්මක චරිතය බවට පත් කර ගත් වමේ කාඩරය මෙන්, මොවුන් ද සිදු කරමින් සිටින්නේ තක්කඩි ලෙස රට නොමඟ යැවීමකි.
කවිය ද, නවකතාව ද, කෙටිකතාව ද ඇත්තේ කොළඹ යයි අඟවා, ගමට සාහිත්‍ය වැඩමුළු පැවැත්වීම, මේ ලැඩ් දහදුරාවාදීන් ගේ කූට වෙළෙඳ උපක්‍රමයකි. ඒ මගින් ආහාර සුවය ද, ප්‍රවාහන සුවය ද, ලිංගික සුවය ද, රා සුවය ද, දඩමස් සුවය ද විඳ ගනිති. තමන් ගේ වළ වැසිකිලිය ශුද්ධ කරන්නට ආ දෙමළ කාන්තාවට ලිංගික අඩන්තේට්ටම් කළ නෙරූදා පන්නයේ දහදුරාවාදීන් ලෙස කටයුතු කරන මේ සාහිත්‍ය කල්ලි, මෙරට ප්‍රත්‍යන්ත ප්‍රදේශ දැන් ගොදුරුගම් බවට පත් කර ගනිමින් සිටිති. ඔවුන්ට සාහිත්‍යය උගන්වන මුවාවෙන් රටේ කරක් ගසන්නට අවශ්‍ය මුදල් ගම්බද මිනිසුන් ගෙන් ම උපයා ගනිති. සිංහල සාහිත්යික මහා සම්ප්‍රදාය බැහැර කර සිදු කෙරෙන මෙවැනි ව්‍යාපෘතිවලින්, සමාජ සේවය සිදු කර ගැනෙන්නේ ද ඔවුන්ට ම ය. අවසානයේ ගම්මුන්ට ලැබෙන්නේ හිස් ටින් එකකි.
සිංහල කාව්‍ය සම්ප්‍රදාය නිශේධ කර බටහිර කාව්‍ය ආකෘති මෙරට තුළ නැවත රෝපණය කිරීමට දැරෙන මේ තැත අප හඳුනා ගන්නේ සමාජ විරෝධී ‘ලැඩ් කල්ලි’ වසංගතයක් ලෙස ය. ඔවුන් පිටුපස වක්‍රාකාරව අදෘශ්‍යමාන ලෙස තිබෙන්නේ රාජ්‍ය විකේන්ද්‍රණ, ෆෙඩරල්වාදී දේශපාලනයේ වි-සංස්කෘතික හස්තය බව පෙනේ. ඇතැම් විට ඒ සඳහා සැපයෙන විදේශ මුදල් ආධාර ද තිබිය හැකි ය. කලකට පෙර මේ ධාරාව මතු වෙමින් ආවේ ‘චුයින්ගම්-බ්‍රේස්ලට් මානසිකත්වයක්’ ගොඩ නඟමිනි. එහි දේශපාලනික පාක්ෂිකත්වය එළිපිට ප්‍රදර්ශනය විණි. ඒ නිසා පොදුජන සමාජයෙන් දැන් එය බැහැර වී, වෙනත් වෙනත් වේශවලින් සමාජයේ විවිධ ක්ෂේත්‍රවලට ඉහඳ තබමින් සිටීි. මෙවැනි ව්‍යාපෘතියකට ජනතා බලයක් දී නොමැති හෙයින්, ඊට අදාළ වි-සංස්කෘතික කටයුතුවලට ද සමාජයේ ඉඩක් තිබිය නො හැකි ය. ඔවුනොවුන් අතර කවර පෞද්ගලික සම්බන්ධතා පැවැතිය හැකි වුවත්, මෙබඳු දේශපාලන වන්දිභට්ට කල්ලි සිදු කරමින් තිබෙන සමාජ හානිය වහා හෙළිදරව් කර ගත යුතු ය. ඊනියා පශ්චාත් නූතන සාහිත්‍යකරුවන් ලෙස පෙනී සිටින මේ සමාජ දූෂිතයන් අනාගත පරපුරට සිදු කරමින් සිටින්නේ අගතියකි. ඒ අනුව සිදු වන්නේ අංකුර සාහිත්‍යකරුවන් සංස්කෘතික වශයෙන් අවතැන් වීමකි. උපන් රට තුළ ම විදේශිකයකු ලෙස ජීවත් විය හැකි පුද්ගල චරිත හැසිරීමක් ඇති කර ගත හැකි මේ ක්‍රමය, ඊනියා ජාත්‍යන්තරවාදයක් ලෙස හුවා දැක්වෙති. ඒ සඳහා තාගෝර් චරිතය ප්‍රමුඛ සියලු සාහිත්‍යධරයන් කෙළෙසා දැමෙතිි.
මොවුහු දවල්ට නිදහස් සාහිත්‍යකරුවෝ ද (?), රෑට පක්ෂ බැලයෝ ද, වෙති. මේ වූකලි වසර දහයක, විස්සක ඈත ප්‍රතිඵල නෙළන ජාති භ්‍රෂ්ට ව්‍යාපෘතියක් බව සඳහන් කළ යුතු ය.
සමාජජාලා වෙබ් අඩවිවල ද, දේශීයත්වයට, ජාතිකත්වයට එරෙහි ව විවිධ අභූත අදහස් පතුරුවන ‘ලැඞ් දහදුරාවාදීන්ට’, පානදුරාවාදීන්ට මෙන් ශාස්ත්‍රීය පසුබිමක් නැත. ඒ නිසා ඔවුන් සමඟ කළ හැකි ශාස්ත්‍රීය සංවාදයක් ද නැත. මුහුණට මුහුණ සංවාදයකට ගොනු වනු වෙනුවට අසභ්‍ය දේ ලියා පැන යන මේ මුග්ධයන්ට රාජ්‍යානුග්‍රහයක් ද ලැබෙන බව පෙනෙන්නේ ඊළඟ නිමේශයේ ඔවුන් දේශපාලකයන් ගේ ව්‍යාපෘතිවලට උපදෙස් දෙන්නන් ලෙස කටයුතු කරන්නන් ද වන බැවිනි.
පුදුමය වන්නේ, බටහිර රටවල ‘ලැඩ් දහදුරාවාදීන්ට’ එරෙහි ව ජනමත ගොඩ නඟා තිබුණත්, මෙරට තුළ තවමත් එවැන්නක් ඉස්මතු නොවී ම ය.
අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් ආචාර්ය උපාධියක් ලබා ගත්තවුන්, ඉන්ධනහල්වල තෙල් ගැසූ අය, පීසා හට්වල කෝකියන්, සුපිරි අලෙවිසල්වල බිම ශුද්ධ පවිත්‍ර කළ අය, පත්තර බෙදූ අය, නගර සභාවල වැඩ කළ අය, කේඑෆ්සී අවන්හල්වල වේටර්වරුන් … මෙහි පැමිණ ලබා දෙන අන්තර්ජාතික දේශනවල තිබෙන තුප්පහි විසංස්කෘතික යෝජනා
වහා බැහැර කරන සමාජ මනොභාවයක් රට තුළ ඇති කළ යුතු ය. මෙලෙස තමන්ගේ අත්තනෝමත රටට ඉදිරිපත් කරමින්, ජාතික අනන්‍යතාව පිරිහෙලන්නට කැස කවන මේ ‘ලැඩ් කල්ලි’ සමාජ අපරාධකරුවන්, රටට සිදු කරමින් තිබෙන වින්නැහිය බොහෝ දෙනකුට අවබෝධ වනු ඇත්තේ සියල්ල සිදු වූ පසු ව ය.
සැ.යු. –
රෙදි සෝදන කුඩු කොම්පැණිකාරයන් මුලින් ම ගමට එන්නේ, නාන ළිං ශුද්ධ පවිත්‍ර කිරීමේ පරම මානව හිතවාදී ශ්‍රමදානකරුවන් වේශයෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...