පුරවැසි කොලම

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

ජනපති මෛත්‍රිපාල සිරිසේන “යහපාලන” රජයේ දින සියයේ වැඩපිළිවෙළ සැකසීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධතාවයක්‌ නැති බව පසුගිය මැයි 30 වැනි දින පැවසීය. සිවිල් සමාජ සංවිධාන ජනපතිවරයාගේ එම ප්‍රකාශය එකහෙළා ප්‍රතික්‌ෂේප කළේය. එම වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමේ අයිතිය අඩුවැඩි ලෙස යහපාලන පාර්ශවකරුවන් අතර බෙදීයන බව පැහැදිලිය. නමුත් එම යෝජනාව ව්‍යවස්‌ථාවට ඇතුළු කිරීමේ වැඩි වගකීම ශ්‍රීලනිපය සහා එහි හවුල්කාර පක්‍ෂවලින් සැදුන එක්‌සත් ජනතා නිදහස්‌ සංධානය ඉටු කරදුන් බව රටට මතක්‌ කරදිය යුතුව ඇත. එම යෝජනාව 19 වන සංශෝධනය ලෙස ව්‍යවස්‌ථාවට ඇතුලු කර ගැනීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අතිමහත් බහුතරයකින් සම්මත විය. කථානායක ඇතුළු මන්ත්‍රීවරු 225 න් 200 කට වඩා අධික ප්‍රමාණයක්‌ 19 වන සංශෝධනය පිළිගත්තේය. අප්‍රේල් අග 2015 සම්මත කරගත් 19 සංශෝධනයේ මහිමයෙන් බටහිර බලවත්තු අප රට යන දිසාව තීරණය කරන 2019 ජනපතිවරණයට බලපෑමක්‌ කර ඇත. එම සංශෝධනයට ඇතුළත් කර ඇති ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තු මැතිවරණයට හෝ ජනපතිවරණයට ඉදිරිපත් විය නොහැකි වගන්තිය හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ මඟ අහුරා ඇති බව පැහැදිලිය. හිටපු ආරක්‍ෂක ලේකම් රටේ නායකත්වයට තරගකිරීමට ඇති අවස්‌ථාව තිSරණය කිරීමේ අවසන් තීන්දුව ඔහු ඇමෙරිකානු පුරවැසියකු වීම හේතුවෙන් එම රාජ්‍ය දෙපාර්තමේන්තුව අතට පත්කර ඇත. මෙම තත්ත්වයට 19 වන සංශෝධනයට අත් එසවූ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වගකිව යුතුය.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ ප්‍රබලම අභියෝගය දෙවරක්‌ ජනපතිධුරය දැරූ අයකු නැවත ජනපතිවරණයට ඉදිරිපත් වීම නම්, 18 වන සංශෝධනය මාර්ගයෙන් එවකට ජනපති ඇතිකරගත් එම අවස්‌ථාව නව සංශෝධනය මාර්ගයෙන් නැති කිරීමට තිබිණි.

ඇමෙරිකානු භූමිකාව සම්බන්ධයෙන් සුනන්ද දේශප්‍රිය 2018 ජුනි මස 3, වැනි දින “රාවය”ට ලියූ “තහංචිමැද්දෙන් ගෝඨාගේ පෙරහැර” ශීර්ෂ පාඨය යටතේ වූ ලිපිය පහත සඳහන තිබිණි. ජවිපෙ විසින් ඉදිරිපත් කරන ලද 20 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට විරුද්ධවීමට පොහොට්‌ටු පක්‍ෂය තීරණය කිරීම විසින් පෙන්නුම් කරන්නේ ගෝඨාභයගේ ජනාධිපති ඉලක්‌කය එකී දේශපාලනයේ කේන්ද්‍රය වීමට පටන්ගෙන ඇති බවයි. මහින්ද රාජපක්‍ෂ කැමැති වුවත් නැතත් දැනට පෙනෙන හැටියට නම් පොහොට්‌ටු අපේක්‍ෂකයා වනු ඇත්තේ ගෝඨාභයයි.

එය වැළැක්‌විය හැකි ප්‍රධානතම සාධකය ඇත්තේ ඇමෙරිකාව අතෙහිය. කවර හෝ ක්‍රමයකින් ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිකම ඉවත්කර ගැනීම පමා කිරීමට ඇමෙරිකානු රාජ්‍ය තන්ත්‍රය පියවර ගතහොත් ගෝඨාභයගේ සිහිනය දෙදරා යනු ඇත. අවසාන විග්‍රහයේදී ගෝඨාභයගේ පෙරහැරේ තිරය එසවීම හෝ වැසීම ඇත්තේ ඇමෙරිකානු අධිරාජ්‍යවාදය අතෙහිය. රාජපක්‍ෂවරුන්ගේ ජනප්‍රිය දේශපාලනයේ පරම හතුරා වූ බටහිර දේශපාලනය මත ශ්‍රී ලංකාවේ යුදවාදී ජාතිකවාදී ජනප්‍රිය ඒකාධිපතියා වීමට පෙරුම්පුරන ගෝඨාභයගේ ඉරණම රැඳී තිබීම කුමන නම් දේශපාලන උත්ප්‍රාසයක්‌ද?”

ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ බාල සහෝදරයා ඇමෙරිකානු රාජ්‍ය තන්ත්‍රය පිළිබඳව පළකළ අදහස ගැඹුරින් සාකච්ඡාවට බඳුන් විය යුතුය.

පසුගිය ජුනි 10 වැනි දින හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ සහ ශ්‍රී ලංකාවෙන් නික්‌මයන ඉන්දියානු ඇමෙරිකානු ජාතික ඇමෙරිකානු තානාපති අතුල් කේෂාප් අතර සිදු වූ සුහද හමුවකදී තානාපතිවරයා යුද අපරාධ චෝදනා පිළිබඳව අවසන් නිගමනයට පැමිණෙන තුරු හිටපු ආරක්‍ෂක ලේකම්ට ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමට අවස්‌ථාවක්‌ නොමැති බවත්, ඔහු තරගයට ඉදිරිපත්වීම බටහිර රාජ්‍යයන් අනුමත නොකරන බවත් පැවසූ බව යාපනයේ පළවන “කලේයිකතීර්” දිනපතා පුවත්පත (ජුනි 12, 2018 කලාපය) උපුටා ගනිමින් කැනඩාවේ වෙසෙන ප්‍රවීණ මාධ්‍යවේදී ඩී. බී. එස්‌. ජයරාඡ් ලියූ වාර්තාව පසුගිය සතියේ අවධානයට යොමු විය. මෙම වාර්තාවේ සත්‍යතාවය පිළිබඳව මෙම ලියුම්කරු ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් කළ විමසීමට පැහැදිලි පිළිතුරක්‌ නොලැබිණි. ආරංචි මාර්ග පැවසූවේ කේෂාප් මධ්‍යම පෙළේ ඇමෙරිකානු රාජතාන්ත්‍රිකයකු වන බිස්‌වාල් 2014 පෙබරවාරි මස මුල කොළඹ කළ සංචාරයකදී එවකට ආරක්‍ෂක ලේකම් රාජපක්‍ෂ ඉතාම නරක ආකාරයෙන් ඇයට කථා කළ බවත්, ඔහුගේ එම හැසිරීම තනතුරට සුදුසු නොවන බවත් ඔහු ජනතාව ප්‍රියනොකරන පුද්ගලයකු බවත් ඔහු සමඟ නොයෙකුත් පුද්ගලයන් පවසා ඇති බවත්ය. ගෝඨාභය රාජපක්‍ෂ මෑතකදී චීනයේ කළ සංචාරය පිළිබඳව ද විමසීමක්‌ කළ බව එම ආරංචි මාර්ග පවසයි.

හිටපු ජනපතිවරයාගේ කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ ජුනි 10 හමුවීම පිළිබඳව පළවූ යම් වාර්තා විකෘති කර ඇති බවය.

ඇමෙරිකානු රාජ්‍ය තන්ත්‍රයට කළ හැකි අතපෙවීම පිළිබඳව සුනන්ද දේශප්‍රිය පැහැදිලිව පෙන්වාදී ඇත. “යහපාලන” යාන්ත්‍රණය ඇමරිකානු මැදිහත්වීම බලාපොරොත්තු වන බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඇමෙරිකානු මැදිහත්වීමෙන් පිහිට වූ යහපාලනය රැක ගැනීමට එම රාජ්‍ය තන්ත්‍රය ක්‍රියා කරනු ඇත. ඇමෙරිකානු මැදිහත්වීම පිළිබඳව පුදුම විය යුතු නැත.

“19” බිහි කිරීම

කිසිදු ආකාරයක අධිකරණ ක්‍රියාමාර්ගයක්‌ තුළ ඔප්පු නොවූ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය නැගු යුද අපරාධ චෝදනා මත ගෝඨාභය රාජපක්‍ෂ හිර කිරීමට තැත් කිරීම පිළිබඳව සලකා බැලිය යුත්තේ පසුගිය ජුනි 20 මෙම තත්ත්වයට මූලිකව වගකිව යුතු ඇමරිකාව, ජිනීවා කවුන්සිලයෙන් ඉවත්වීම තුළය.

ඊශ්‍රායලය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සම්පූර්ණයෙන්ම වැරදි බව පවසමින් ජිනීවා කවුන්සිලයෙන් ඉවත් වූ ඇමරිකාව, එම ආයතනය අසාධාරණයෙන් පිරී භූගත අසූචිවළක්‌ ලෙස හඳුන්වාදුන්නේය. පුදුමය එය නොවේ. ජිනීවා ක්‍රියාවලියෙන් ඉවත් වු එහි සාමාජික ඇමරිකාව ශ්‍රී ලංකාව 2015 ඔක්‌තෝම්බර් මස එකඟවූ පරිදි එම ක්‍රියාවලිය 2019 මාර්තු මස පූර්ණ කළ යුතු බව අවධාරණය කරයි. ලංකාවෙන් පිටවීයැමට නියමිත ඉන්දියානු ඇමරිකානු තානාපති අතුල් කේෂාප් මහතා ජුනි 20 දින රාත්‍රී එකඟ වූ ක්‍රියාමාර්ගය තුළ තවදුරටත් සිරිසේන – වික්‍රමසිංහ රජය ක්‍රියාකළ යුතු බව මතක්‌ කර දී තිබේ. ඇමරිකාව පවසන පරිදි ජිනීවා ක්‍රියාවලිය තුළ අසාධාරණයට ලක්‌ වූ එකම රට ඊශ්‍රායලයයි. ශ්‍රී ලංකාව අසූචිවළේ ක්‍රියාදාමයට තම කැමැත්තෙන්ම සහභාගී විය යුතුය.

මෙම තත්ත්වය පාර්ලිමේන්තුව සාකච්ඡාවට ලක්‌කළ යුතුය. අවාසනාවකට ශ්‍රීලනිපය සභා එජාපය බැඳුම්කර අසූචි වළේ වැටී ඇත. එම පක්‍ෂ දෙක වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒම පිළිබඳව සාධාරණ සැකයක්‌ ඇත.

ඇමරිකාව ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටින “පරම මිතුරු තත්ත්වයන්” තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන්ද කටයුතු කරන බවම සිතීම මුලාවකි. නමුත් ඇමරිකාව ප්‍රතික්‍ෂේප කරන ජිනීවා ක්‍රියාවලිය ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ යුතු බව නියම කිරීම මහත් අසාධාරණයකි. තම රටට කරන අසාධාරණය නිවට ලෙස පිළිගෙන කටයුතු කිරීම බහුතර ජනතාවට කරන ද්‍රෝහීකමකි.

විදේශීය මුදල් මත යෑපෙන රාජ්‍ය නොවන සංවිධාන රැල සභ ද්‍රවිඩ ජනතාවගේ මැදිහත්කරු ඇමරිකාව ලෙස පිළිගන්නා ද්‍රවිඩ ජාතික සංධානය නව ජිනීවා තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය සහ යහපාලන රජයේ ප්‍රතිචාරය ගැන අවධානයෙන් සිටිය යුතුය.

එක්‌සත් ජනතා නිදහස්‌ සංධානය කළ බලපෑම්මත “19” යම් වෙනස්‌කම්වලට භාජනය කළ නමුත් ද්විත්ව පුරවැසි භාවය ඇති පුද්ගලයකුට ජනපතිවරණයට හෝ මහමැතිවරණයකට ඉදිරිපත්විය නොහැකි බව සඳහන් වගන්තිය එලෙසම තබා ගත්තේය. ගෝඨාභය රාජපක්‍ෂට පමණක්‌ නොව ඇමෙරිකානු පුරවැසිභාවය හිමි බැසිල් රාජපක්‍ෂටද “19” බාධකයක්‌ වී ඇත. “19” අප්‍රේල් 2015 සම්මත වූයේ ඊට මාස දෙකකට පෙර එජාපය පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ආයතනය සමඟ එක්‌ වී පළමුවන මහ බැංකු වංචාව කළ පසුබිම තුළය. එම වංචාවේ බරපතල බව තේරුම් ගැනීමට සංධානයට නොහැකි වූ බව පැහැදිලිය. පාලනය මෙහෙයවන එජාපයට චෝදනා ගෙනෙන, මින් පෙර කිසි දිනක සිදු නොවූ මූල්‍ය වංචාවක්‌ සිදු වී ඇති මොහොතක, ජනපතිවරයා තම විධායක බලතල අඩුකර ගැනීමට කටයුතු කිරීම අනුවණ කමකි. එක්‌සත් ජනතා නිදහස්‌ සංධානයද එම අදූරදර්ශී ක්‍රියාපිළිවෙතට පූර්ණ සහයෝගය දී ඇත. සරත් වීරසේකර “19” ට විරුද්ධවීම පිළිබඳව ඇත්ත වශයෙන්ම ආඩම්බර විය හැක. “19” ගෙන ඒමේ ක්‍රියාවලිය පූර්ණ අධ්‍යයනයට ලක්‌විය යුතුය. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව අදාළ වගන්තිය යෝජනා කළ පුද්ගලයා/ කණ්‌ඩායම/ පක්‍ෂය “යහපාලනය” හේතුවෙන් ඉතාම කෙටි කලක්‌ තුළ රට අවුල් වී ඇමෙරිකානු පුරවැසිභාවය දරන ගෝඨාභය හෝ බැසිල් ජනපතිවරණයට ඉදිරිපත්වීමේ අවස්‌ථාව වසර 3 කට පෙර දැක්‌කා සේය. ඔවුන් දෙදෙනාට ම මහා මැතිවරණයකට ඉදිරිපත් වීමේ අවස්‌ථාවද “19” හරහා අහිමි කර ඇත.

ගාල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ තම ස්‌විස්‌ටර්ලන්ත පුරවැසිභාවය හේතුවෙන් මෑතකදී තම ආසනය අහිමිකර ගත්තාය. ගෝඨාභය රාජපක්‍ෂ පිළිබඳව ඇමෙරිකානු ස්‌ථාවරය පැහැදිලිව දැන ගැනීමට හැකිවන්නේ ඔහු තම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඉල්ලීමක්‌ කළහොත් පමණි. යාපනයේ මුද්‍රණය කරන “කලේයි කතීර්” පළකළ පරිදි යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ අවසන් වන තුරු ගෝඨාභය රාජපක්‍ෂට තම ඇමෙරිකානු පුරවැසි භාවය අතහැර දැමිය නොහැකි නම්, එම තීරණය බැසිල් රාජපක්‍ෂටද යම් ආකාරයකට බලපානු ඇත.

රාජපක්‍ෂවරු තුන් දෙනකුට සහ ෆොන්සේකාට යුද අපරාධ චෝදනා

යුද සමයේ ඇමෙරිකානු තානාපතිනිය පැට්‌ටි්‍රෂියා බුටෙනිස්‌ 2010 ජනවාරි මස 26 වැනිදින ජනපතිවරණයට සතියකට පමණ පෙර රාජ්‍ය දෙපාර්තමේන්තුවට යොමු කළ රහසිගත ලියවිල්ලක්‌ විකිලීක්‌ස්‌ වෙබ් අඩවිය පසුගිය රජය සමයේ හෙළිකළේය. කිසිදු සාධාරණ හේතු සාධකයක්‌ නොදක්‌වා එවකට ජනපති මහින්ද රාජපක්‍ෂ, ජෙනරාල් සරත් ෆොන්සේකා, ගෝඨාභය රාජපක්‍ෂ සහ බැසිල් රාජපක්‍ෂ යුද අපරාධකරුවන් ලෙස ඇය නම් කළේය. බුටෙනිස්‌ගේ චෝදනාව විකිලීක්‌ස්‌ හෙළිකළ අනෙකුත් රහස්‍ය ලියවිලි සමඟ සැසඳිය යුතුය. ෆොන්සේකා යුද අපරාධකරුවකු ලෙස හඳුන්වන කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය, ජයග්‍රාහි යුද හමුදාවේ නායකයාට ද්‍රවිඩ ඡන්දය ලබා දීමට ද්‍රවිඩ ජාතික සංධානයට බල කිරීම පුදුම සහගතය. මෙවැනි තොරතුරු හෙළි කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව විකිලීක්‌ස්‌ වෙබ් අඩවියට ණය ගැතිය. ෆොන්සේකා දිනවීමට ඇමෙරිකාව පිටුපස සිට කළ රහස්‌ මෙහෙයුම හේතුවෙන් ජෙනරාල්වරයාට සියලු උතුරු සහ නැගෙනහිර දිස්‌ත්‍රික්‌කවල ඉතා වැඩි ඡන්ද ප්‍රමාණයක්‌ ලබාගැනීමට හැකි විය.

අදටත් යුද අපරාධකරුවකු ලෙස හඳුන්වා දී ඇති ෆොන්සේකාට ද්‍රවිඩ ඡන්ද ලබාදීමට ඇමෙරිකාව කටයුතු කළේ ඇයි දැයි සුපිරි බලවතා අදටත් යම් පිළිතුරක්‌ දී නැත. එලෙසම, ඇමෙරිකාවේ බලපෑමට යට වී ආර්. සම්බන්ධන්ගේ ද්‍රවිඩ ජාතික සංධානය ෆොන්සේකාට ඡන්දය දීමට ද්‍රවිඩ ජනතාවගෙන් කළ ඉල්ලීමට ඉතාම යහපත් ප්‍රතිචාරයක්‌ ලබාදීම පිළිබඳව අධ්‍යයනයක්‌ කළ යුතුමය.

ත්‍රස්‌තවාදීන්ගේ අතකොලුවක්‌ වූ ද්‍රවිඩ ජාතික සංධානය 2010 ජනපතිවරණයේදී අසාර්ථක වූ ෆොන්සේකා දිනවීමේ මෙහෙයුමට සහභාගීවීම දෛවයේ සරදමකි. සුනන්ද දේශප්‍රිය පවසන පරිදි 2019 ජනපතිවරණයේදී හිටපු ආරක්‍ෂක ලේකම්වරයා තරගයට ඉදිරිපත්වීම රදාපවතින්නේ ඇමෙරිකාව අතේ නම්, මැතිවරණ ක්‍රමයම විගඩමකි. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව වගන්තිය 19 වන සංශෝධනයට ඇතුළු කිරීමට යෝජනා කළ පාර්ශවය යහපාලනයේ ගෞරවයට පාත්‍රවනු ඇත. ත්‍රස්‌තවාදීන් අපේක්‍ෂකයන් සහ ජනාධිපතිවරුන් ඝාතනය කරමින් ජනපතිවරණයට කළ බලපෑම තානාපති අංශ හරහා අද කෙරෙමින් පවතී. ඇත්ත වශයෙන්ම මෙය මහත් ෙ€දනීය තත්ත්වයකි. එජාප ජනාධිපති රණසිංහ ප්‍රේමදාස 1993 මැයි දින ආමර් වීදිය පොලිසිය ඉදිරිපිට මරාගෙන මැරෙන ද්‍රවිඩ ත්‍රස්‌තවාදියකු විසින් මරා දමන ලදි. ප්‍රේමදාස මරා දැමීමෙන් එවකට අගමැති ඩිංගිරි බණ්‌ඩා විඡේතුංග ජනපති පුටුවට ගියේය. ත්‍රස්‌තවාදීන් නැවතත් 1994 ඔක්‌තෝබර් මස අගදී ක්‍රියාත්මක විය. එජාප ජනපති අපේක්‍ෂක ගාමිණී දිසානායක කොළඹ තොටලඟදී මරා දැමීය. ප්‍රේමදාස සහ දිසානායක මරාගෙන මැරෙන ප්‍රහාරවලින් මරා දැමීම පිළිබඳව විමසීම් කළ යුත්තේ ත්‍රස්‌තවාදීන් 1993 අප්‍රේල් මස ලලිත් ඇතුලත්මුදල ඝාතනය කිරීම සැලකිල්ලට ගනිමිනි.

එම ඝාතන ත්‍රිත්වය එජාපය වැනසීය. අදටත් එජාපයට තම ඔළුව ඔසවාගත නොහැක. ත්‍රස්‌තවාදීන් 1999 දෙසැම්බර් මස ජනාධිපති අපේක්‍ෂිකා ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග ඝාතනය කිරීමට උත්සාහ කළේය. ඇය මරුමුවට පත් වූවා නම් බොහෝ විට එජාප නායක වික්‍රමසිංහ 1999 ජනපති වීමට ඉඩ තිබිණි. ඊට පසු පැවැති 2005 නොවැම්බර් මස ජනපතිවරණයේදී වික්‍රමසිංහ පැරදවීමට ත්‍රස්‌තවාදීන් සහ ද්‍රවිඩ ජාතික සංධානය කටයුතු කළේය. ද්‍රවිඩ ජනතාවට ඡන්දය පාවිච්චි කිරීම තහනම් කළේය. එවකට එජාප සභාපති මලික්‌ සමරවික්‍රම මෙම ලියුම්කරු සමඟ පැවසුවේ උතුරේ ඡන්දය වික්‍රමසිංහට අහිමිකිරීම හේතුවෙන් ඔහු පරාද වූ බවය. අගමැති මහින්ද රාජපක්‍ෂ වැඩි ඡන්ද 186,000 ජනපති විය. කිසිදා LTTE ය පරාජය කළ නොහැකි බව බටහිර රාජ්‍යයන් පැවසූවත් කොටි සංවිධානය යුද භූමියේදී විනාශ කර දැමීමට අවශ්‍ය දේශපාලන නායකත්වය මහින්ද රාජපක්‍ෂ දුන්නේය. ප්‍රබල ඇමෙරිකානු මැදිහත්වීමක්‌ සිදුවන්නේ 2010 ජනපතිවරණයේදීය. කිසිදා එකතු නොවන එජාපය සහ ජවිපේ යුද්ධය දිනූ ජෙනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙන් එකතු වූ අවස්‌ථාවේ, එම කණ්‌ඩායම ශක්‌තිමත් කිරීමට කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය මැදිහත් විය. කලකට පෙර (2001අග) කොටි සංවිධානය ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස හඳුන්වාදුන් ද්‍රවිඩ ජාතික සංධානය එජාප ජවිපේ සමඟ සංධානගත විය. හකීම්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ද ඇමෙරිකානු මෙහෙයුමට එකතු විය.

බ්‍රිතානය ජාතික ශලීල මුණසිංහ නායකත්වය දෙන “හංසයා” ලකුණ දරන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ෆොන්සේකා ඉදිරිපත් විය. ඇමෙරිකානු මෙහෙයුම වැරදිනි. නමුත් එජාපය නායකත්වය දුන් කණ්‌ඩායම 2015 ජනවාරි ජනපතිවරණයේදී ඇමෙරිකානු ඉලක්‌කය සපුරා ගත්තේය. එම ක්‍රියාන්විතයට ඉන්දියාව ලබාදුන් සහයෝගය සහ ඇමෙරිකාව දැරූ වියදම පිළිබඳව රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහනක්‌ කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීමට මියන්මාරය, නයිජීරියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල ඩොලර් මිලියන 582, 2014-2015 වැය කළ බව ප්‍රසිද්ධ ප්‍රකාශයක්‌ කර ඇත. එලෙසම ඩොලර් මිලියන 3.4 ක්‌ 2015 ජනපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවට ලබාදුන් බවද ඇමෙරිකාව හෙළි කර ඇත. මෙවැනි තත්ත්වයක්‌ තුළ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ජනපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්‌වීමට කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයක්‌ තුළ පරීක්‍ෂාවට බඳුන් නොවූ යුද අපරාධ චෝදනා මත උත්සාහ කිරීම විමර්ශනය කළ යුතුය.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ආණ්‌ඩුවලට අවශ්‍ය පරිදි ගොනුකළ යුද අපරාධ චෝදනා ඇමෙරිකානු සහ මහා බ්‍රිතාන්‍ය හමුදා/ තානාපති අංශ විසින්ම ප්‍රබල සැකයකට භාජනය කර ඇත. යුද සමයේ කොළඹ සේවය කළ ඇමෙරිකානු හමුදා නිලධාරී ලුතිනල් කර්නල් ලෝරන්ස්‌ ස්‌මිත් 2011 ජුනි මස මුල ශ්‍රී ලංකාවට එරෙහිව නැඟු යුද අපරාධ චෝදනා නිශේද කළ හැකි ප්‍රබල ප්‍රකාශයක්‌ පළමු වන ආරක්‍ෂක සමුළුවේදී කළ බව මෙම ලියුම්කරු හෙළි කළේය. පැවැති රාජපක්‍ෂ රජය මේ ප්‍රකාශය රටේ ආරක්‍ෂාවට යොදා ගැනීමට උත්සුක වූයේ නැත.

ස්‌මිත්ගේ සමකාලීනයකු වන ලුතිනල් කර්නල් ඇන්ටන් ගෑෂ් 2009 ජනවාරි මැයි වන්නි යුද බිමේ තත්ත්වය පිළිබඳව කළ රහස්‍ය වාර්තා නේස්‌බි සාමිවරයා පසුගිය 2017 ඔක්‌තොබර් මස බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හෙළි කළේය. යුද සමයේ කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයට අනුයුක්‌තව සිටි ගෑෂ් යුද සමයේ තම විදේශ කටයුතු අමාත්‍යාංශයට යෑවූ රහස්‍ය ලිපි තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාගත් නේස්‌බිට ශ්‍රී ලංකා රජය මල්තබා වැඳිය යුතුය. තත්ත්වය මෙසේ තිබියදී යුද අපරාධ චෝදනා මත සහ 19 වන ව්‍යවස්‌ථාව උපයෝගී කරගෙන ගෝඨාභය රාජපක්‍ෂට 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වැළැක්‌වීමට කටයුතු කිරීම කුමන්ත්‍රණයක්‌ද එම තත්ත්වය ඇත්ත වශයෙන්ම හෙළි කළ හැක්‌කේ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ සහ තානාපති කේෂාප්ට පමණි. ජනපත අපේක්‍ෂකත්වය ලබාගැනීමට අවශ්‍ය තම ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීමේ අවස්‌ථාව යුද අපරාධ චෝදනා මත අහිමි කිරීමේ තැතක්‌ ඇති බව මාධ්‍ය වාර්තා පිළිබඳව පැහැදිලි කිරීමක්‌ අදටත් නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More