Uncategorized

ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වීමේ ක්‍රියාවලිය ආරම්භ වී මේ වනවිට මාස 6කට වැඩි කාලයක් ගතවී ඇත. දේශපාලන අර්බුදය වියුක්තව විසඳීම සඳහා බලය අතහැරීමේ සිට බලය අත්පත් කර ගැනීම දක්වා විවිධ අත්හදාබැලීම් සිදුකර ඇත. එහෙත් මේ වනතෙක් මූල හේතුව වූ ආර්ථික අර්බුදය විසදීම සඳහා සංයුක්ත උපාය මාර්ගික යෝජනාවක් ආණ්ඩුව විසින් රටට ඉදිරිපත් කර නැත. ඒ නිසා අර්බුදය විසදීමට ආණ්ඩුවට උවමනාවක් සහ හැකියාවක් තිබෙන බවට මහජන විශ්වාසය තහවුරු කිරීමට ද නොහැකි වී ඇත.

එවැනි තත්වයක් තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අස්ථාවර කර ජාත්‍යන්තර මැදිහත් වීමකට දැනුම්වත්ව සහ එසේ නොමැතිව පාර කපන ඊනියා අරගලකරුවන්ට දේශපාලන අවකාශයක් නිර්මාණය වී ඇත. වෙනත් වචනවලින් කියන්නේ නම් අරගලකරුවන්ගේ දේශපාලන අවි උඳුරාගැනීමට හෙවත් ඔවුන් නිරායුද කිරීමට ආණ්ඩුව අසමත් වී ඇත. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ආර්ථික අර්බුදය තවදුරටත් උත්සන්න වීම තුළ දරිද්‍රතාවට ගොදුරුවන අති බහුතරයක් පොදු මහජනතාව ප්‍රචණ්ඩ දේශපාලන අරගලවලට යොමු වීමය. ඒ මගින් අර්බුදය තවදුරටත් උත්සන්න වන අතර ඉහත සඳහන් කළ ආපදාඅධිරාජ්‍යවාදී මෙහෙයුම්වලට අවස්ථාව නිර්මාණය වේ.

එවැනි තත්වයක් තුළ පවා වීදිබසින සටන්කරුවන් විසින් හෝ පාර්ලිමේන්තුව තුළ ඝෝෂාකරන විපක්ෂ බලවේග විසින් වහාම අර්බුදය විසඳීම සඳහා නිශ්චිත උපායමාර්ගික වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කළයුතු බවට ආණ්ඩුවට බලකිරීමක් සිදු නොකිරීම පුදුමසහගතය. අඩු තරමින් එවැනි වැඩපිළිවෙළක අඩංගු වියයුතු නිශ්චිත යෝජනා පිළිබිඹු වන ආකාරයට සටන් පාඨ ඉදිරිපත් කිරීමට ඔවුන් අසමත් වී ඇත. ඒ වෙනුවට ‘වීදිබසිනු! සහ ආණ්ඩුව පලවා හරිනු!‘ යන සටන්පාඨය පමණක් පුනරුච්චාරණය කිරීමෙන් අර්බුදය විසඳිය හැකිද? යම් නායකයින් ස්වේච්ඡාවෙන් බලය අතහැර පලාගිය ද ආණ්ඩුවක් පලවාහැරීමේ නීත්‍යානුකූල සහ ප්‍රායෝගික ක්‍රමවේදය වන්නේ මැතිවරණයකදී ආණ්ඩුව පරාජය කිරීම ය.

එහෙත් මෙවැනි අර්බුදකාරී තත්වයක් තුළ මැතිවරණ පැවැත්වීම දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව විසින් ඉල්ලා සිටින විසඳුමක් නම් නොවේ. එක්පැත්තකින් කුසගින්නෙන් පෙළෙන ජනතාව අතට ආහාර සලාකයක් වෙනුවට ඡන්ද පත්‍රිකාවක් ලබාදීම සාධාරණ ද? අනෙක් පැත්තෙන් නොසන්සුන්කාරී වාතාවරණයක් තුළ පවත්වන මැතිවරණයකින් සැබෑ ජනමතය පිළිබිඹුවන බවට විශ්වාසය තැබිය හැකි ද?

ඒ නිසා ජාතික සංවිධාන ලෙස අපගේ මතයවන්නේ අර්බුදය විසදීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් සමඟ මැතිවරණය පැවැත්වීමට නියමිත කාලවකවානු ප්‍රකාශයට පත් කළ යුතු බවය. නමුත් ‘පය බරවායට පිටිකර බෙහෙත් බඳින‘ ආණ්ඩුව සියල්ලට විසඳුම් ලෙස ජාතික සභාවක් පත්කර ඇත. එය කිසිසේත්ම සර්වපාක්ෂික වැඩපිළිවෙළක් පදනම් කරගෙන පිහිටුවනු ලබන සර්වපාක්ෂික ආණ්ඩුවකට විකල්පයක් ලෙස සැලකිය නොහැක. ඒ ආකාරයට මෙතෙක් ජනතාවට අසමත්භාවය ප්‍රදර්ශනය කරඇති දේශපාලන නායකයින් ගේ පුටු හෝ නාම පුවරු වෙනස් කිරීමෙන් අර්බුදයට විසඳුම් ලබාදිය නොහැකි බව ඉතා පැහැදිලිය. කෙසේ වෙතත් විපක්ෂයේ යම් දේශපාලන පක්ෂ ඉතා නිවැරදි ලෙස ඊට විරෝධය පළකර ඇති බව සහ තවත් පක්ෂ දෙගිඩියාවකින් පසුවන බව දැන් පැහැදිලි වේ. කෙසේ වෙතත් දෙගිඩියාවක් ඇතිවන්නේ නිශ්චිත දාර්ශනික සහ න්යාතයාත්මක පදනමක් මෙන්ම උපායමාර්ගික ප්‍රවේශයක් නොමැතිකම නිසා බව ද සඳහන් කළ යුතුය. ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ විසින් අර්බුදය විසඳීම සඳහා මාර්තු මාසයේදී ඉදිරිපත් කළ වැඩපිළිවෙළ ඉහළට එසවීමට එම පාර්ශව විසින්කටයුතු නොකිරීම ද ප්‍රහේලිකාවකි.

ඒ නිසා ජාතික සංවිධාන නියෝජනය කරමින් සියලූම දේශපාලන නායකයින් වෙත පහත සඳහන් යෝජනා ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

1. ජාතිකසභාවක් වෙනුවට වහාම සර්වපාක්ෂික සමුළුවක් කැඳවීම සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දේශපාලනපක්ෂවලට ඒ සඳහා ආරාධනා කිරීම.

2. ජාතික සංවිධාන සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ නියෝජිතයින්ට නිරීක්ෂකයින් ලෙස ඊට සහභාගිවීමට අවස්ථාව සැලසීම.

3. පළමු වටයේදීම මේ වන විට අර්බුදය විසඳීම සඳහා දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධාන විසින් ඉදිරිපත්කර ඇති උපායමාර්ගික ප්‍රවේශයන් සහිත වැඩපිළිවෙළවල් එම සමුළුවට ඉදිරිපත්කිරීම සහ දෙවනුව සෙසු පක්ෂවලට තම යෝජනා සහ ප්‍රතියෝජනා ඉදිරිපත් කිරීමට කාල රාමුවක් ලබාදීම මෙන්ම එම සියලූ යෝජනා ප්‍රසිද්ධියට පත්කිරීම.

4. යම් නිශ්චිත කාල රාමුවක් තුළ සර්වපාක්ෂික ජාතික වැඩපිළිවෙළට එකඟතාව ලබා ගැනීම සහ එය මහජන සංවාදයට ලක් කරන අතර වෙනස්කම් සඳහා ඉඩකඩ සහිතව ඒ මත පදනම්ව හෙවත් එය ක්‍රියාත්මක කිරීම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම.

5. උපාය මාර්ගික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම. අධීක්ෂණය කිරීම සඳහා ජාතික සභාවක් හෝ මහජන සභාවක් හෝ අධීක්ෂණ සභාවක් පත්කිරීම සහ ඒ තුළ ජාතික සංවිධාන සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙන්ම ස්වාධීන විද්වතුන්ට ද නියෝජනයක් ලබා දීම.

මේ වගට,
ආචාර්ය ගුණදාස අමරසේකර
කැඳවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව
2022-09-29



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More